මාස හයක්‌ තිස්‌සේ පාසල් දැරියට පොට වැරැද්දූ ත්‍රිරෝද රථ රියෑදුරු කොටුවෙලා!

2018-11-09 03:18:00       105
feature-top
වයස 14 ක බාලවයස්‌කාර පාසල් දැරියක්‌ අපයෝජනයට ලක්‌කළ බවට සැක පුද්ගලයකු දැරිය සමග ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී කොහුවල මංසන්ධියේදී අත්අඩංගුවට ගත් බව කොහුවලපොලිසිය පවසයි.
 
 මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුබෝවිල ප්‍රදේශයේ පදිංචි වයස 20 ක්‌ වන ත්‍රිරෝද රථ රියෑදුරකු හා අටවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසල් සිසුවියක බවත් පොලිසිය හඳුනාගෙන ඇත.
 
 ඉකුත් 05 දින මෙම සිසුවිය පාසලට නොපැමිණ ඇති බව දන්වා පාසලෙන් ලද දුරකථන ඇමතුමට අනුව ඇයගේ මව ඒ පිළිබඳ කොහුවල පොලිසියට පැමිණිලි කර තිබේ. පැමිණිල්ලේ සඳහන් පරිදි දැරිය සමග සමීප සබඳතා පැවැත්වූ අයකුගේ දුරකථන ජාලය හා සම්බන්ධ වූ පොලිසියට ඔහු මහරගම ප්‍රදේශයේ සිටින බවට හෝඩුවාවක්‌ ලැබී ඇත. ඒ අනුව පාසල ඇරෙන මොහොතේ ඔවුන් පැමිණෙනු ඇතැයි සිතා කොහුවල මංසන්ධියේ රැකවල්ලා සිටි පොලිසියට සැකකරු සමග දැරිය අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ.
 
 මොවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී මාස හයක පමණ කාලයක්‌ සිට පාසල් යන මුවාවෙන් නිවසින් පිටවී ගොස්‌ අනාචාරයේ හැසිරී ඇති බව අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි. ඒ අනුව මහරගම ආසන්නයේ උද්‍යානයක ත්‍රිරෝද රථය තුළදී සහ දින කීපයක්‌ සැකකරුගේ නිවසේදී ද දැරිය අපයෝජනයට ලක්‌ වී ඇති බව හෙළිවී තිබේ. කළුබෝවිල රෝහලේ පැවති අධිකරණ වෛද්‍ය පරීක්‍ෂණ වාර්තාවෙන් ද දැරියගේ අපයෝජන තත්ත්වය සනාථ වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.
 
 මේ වන විට සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර පාසල් සිසුවිය පරිවාස භාරයට යොමු කරන බවත් පොලිසිය පැවසීය. කොහුවල පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක සනත් රංජිත් මහතාගේ උපදෙස්‌ මත දූෂණ මර්දන ඒකකයේ ස්‌ථානාධිපති උප පොලිස්‌ පරීක්‍ෂක එච්. ඇම්. සිරිවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස්‌ පරීක්‍ෂක ජයසංඛ, පොලිස්‌ කොස්‌තාපල්වරුන් වන බණ්‌ඩාර (75707), ගුරුගේ (38531), කාන්තා පොලිස්‌ කොස්‌තාපල් ගීතානිS (6955) යන නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ සිදුකරති.

උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »