ඇඩ්‍රස්‌ නැති තීන්දු දෙන පාතාලයේ උසාවි

2018-01-16 12:39:00       672
feature-top
යමෙකුට අසාධාරණයක්‌ වූ විට එයට නිසි විසඳුමක්‌ නැත්නම් ඔහුට වසම භාර ග්‍රාමසේවක වෙත යා හැක. ඔහුගෙන් සාධාරණයක්‌ ඉටු නොවුණොත් යා යුත්තේ පොලීසියටයි. රැගෙන එන නඩුව විසඳන්නට පොලීසියටද බැරිනම් ඔවුන් එය සමථ මණ්‌ඩලය වෙත යොමු කරයි. එතැනින්ද උත්තරයක්‌ නැත්නම් අවසානයේදී පිහිට පතන්නට වන්නේ අධිකරණයක හෙවත් උසාවියකයි.

අද අප රටේ නා නා වර්ගයේ උසාවි දක්‌නට ලැබේ. ඉඩම් නඩු, දික්‌කසාද වන්දි ආදී දේ සඳහා දිස්‌ත්‍රික්‌ උසාවිද මිනීමැරුම් සොරකම් අපරාධ මත්ද්‍රව්‍ය සඳහා මහෙස්‌ත්‍රාත් උසාවිද ළමුන් සඳහා ළමා උසාවිද කම්කරු ගැටලු සඳහා කම්කරු උසාවිද ඊට අමතරව ජංගම උසාවි, මහාධිකරණ උපරිමාධි කරණ අභියාචනාධිකරණ වශයෙන්ද උසාවි වර්ග අප රටේ ඇත.

මේ එකී නොකී සෑම උසාවියකටම ගොස්‌ අවසානයේ තමාට සතුටුවිය හැකි සාධාරණ තීන්දුවක්‌ නොලැබුණු කල බොහෝ අය නීතිය තමා අතට ගන්නටද උත්සාහ කරති. තවත් සමහරක්‌ කරන්නේ කිසිම අධිකරණයකට යැමට කලින් නීතිය තම අතට ගැනීමයිs. මේ කිසිම ක්‍රමයකින් සාධාරණයක්‌ නොලබන හෝ ඉහත කී අධිකරණ පිළිබඳ විශ්වාසයක්‌ හෝ ගරුත්වයක්‌ නැති අය තෝරා ගන්නා වෙනත් විකල්පයක්‌ තිබේ.

ඒ නීත්‍යනුකූල නොවන, බලපත්‍ර නැති, උගත් වැදගත් නීතිඥවරුන් නොමැති බී වාර්තා ඇහින් දුටු සාක්‌කි නඩු භාණ්‌ඩ ආදී දේ ගැන එතරම් නොතකන කැලෑ උසාවියක හෝ පාතාල උසාවියක සරණ පැතීමයි. මෙය අද අප සමාජයේ බහුලව සිදුවන්නකි.

“මේක මට අපේ අම්මගෙන් ලැබිච්චි ඉඩම. දැන් කෝටි ගාණක්‌ වටිනව. ඉඩම අම්ම මට ලියද්දිම කට්‌ටියක්‌ ගෙදර පදිංචි වෙලයි හිටියෙ. ඒ අය හොඳ සල්ලිකාරයෝ. හැබැයි දරුණු මිනිස්‌සු. අපි ටික කාලයකට රට ගිහින් එද්දී එයාලා හොර ඔප්පුවක්‌ හදාගෙන ගෙයි අයිsතිය එයාලට හරවගෙන. අපි ගෙදර ඉල්ලන්න ගියාම අපට මරණ තර්ජන කරනවා අපට වෙච්ච අසාධාරණයට විරුද්ධව අපි අවුරුදු ගාණක්‌ නඩු කිව්වා අන්තිමේදී තීන්දුව ආවා අයිතිය අපේ කියල ඒත් අර කට්‌ටිය තීන්දුවට විරුද්ධව ඇපිල් කළා, ආයෙමත් නඩුව ඇදෙන්න ගත්තා.

ඔහොම ඉන්නකොට තමයි මට නිහාල් අයිය හම්බවුණේ එයා අපේ මහත්තයගෙ මල්ලිගෙ හිතවතෙක්‌. අපි එයාට අපේ කතාව කිව්වා නිහාල් අයියා දවසක්‌ අපි දෙගොල්ලන්වම එයාගෙ ගෙදරට ගෙන්නුවා දෙපැත්තෙන්ම විස්‌තර ඇහුවා, දවස්‌ පහයි ගියේ. අර බලෙන් හිටපු කට්‌ටිය කාටත් නොකිය ගෙදරින් යන්න ගියා. නඩුවත් ඉල්ලල අස්‌කර ගත්තා ඇත්තටම මට දරුණුයි කියන පාතාලෙ නිහාල් අයිය ගැන පුදුම විශ්වාසයක්‌ ඇති වුණේ එයා දැන් මැරුණත් අපි තාම පින් දෙනව අපට සාධාරණය ඉටු කරල දුන්නට”.

ඒ රාජගිරිය පැත්තේ වෙසෙන අගතියට පත් කාන්තාවක්‌ තමාට සාධාරණය ඉටු කර දුන් පාතාල නායක යෙකු ගැන පැහැදීමෙන් කතා කළ අන්දමයි ඒ අපි මේ කතාවටත් ඇහුම්කන් දෙමු.

“අර ඉස්‌සරහ තියෙන ලී බඩු වැඩ පොලෙන් එන ලී කුඩු නිසා ගමට හරිම කරදරයි. ගෙවල් නාස්‌ති වෙනව විතරක්‌ නෙමෙයි. මිනිස්‌සු අසනීපත් වෙනවා. පරිසර අධිකාරියට කිව්වත් පොලීසි ගියත් නඩු දැම්මත් වැඩක්‌ වුණේ නැහැ. ලී මෝලේ අයිතිකාරයගෙ ගෑනි ටිකක්‌ අමුතු විදිහක්‌ ඇහැගහල පස්‌ස නටෝල දඟරෙ දැම්මම ඕනි කෙනෙක්‌ එයාට ඇඹරෙනව. ගැනිට විරුද්ධව කවුරුත් ඇක්‌ෂන් ගන්නෙ නැහැ. බැරිම තැන අර ඉස්‌සරහ ගෙදර කුමාර කියන මනුස්‌සයා එයාගෙ පවුලත් එක්‌ක පලාතේ හයිරංකාර දරමඩුව වත්තෙ පොඩි මහත්තයා හම්බුවෙන්න ගිහින් මේ නඩුව කියල තියෙනව.

කිසි කතාවක්‌ නැහැ සති දෙකෙන් වැඩේ විසඳල දෙන්නම් කිව්වලු අදම කට්‌ටියක්‌ යවල වෝනිං එකක්‌ දෙන්නම් කියල ඒ යන අයට සලකන්නයි වාහනේටයි ගෙවන්නයි රුපියල් පාළොස්‌දාහක ඇඩ්වාන්ස්‌ එකකුත් අරගෙන දැන් වැඩේ භාර දීල අවුරුද්දකටත් වැඩී රුපියල් පනස්‌දාහකට වඩා සල්ලිම දීල තියෙනවා. කිසිම විසඳුමක්‌ නැහැ, අපිට ආරංචි හැටියට සුදු මහත්තයා දෙපැත්තෙන්ම ජරාව කනවලු ඒ මදිවට කුමාරගෙ පවුලටත් අනං මනං යෝජනා ගේනවලු ඕවට තමයි මහත්තයො කියන්නෙ බල්ලො එක්‌ක ලගින්න ගියාම මැක්‌කො වහනව කියල.

මිනී මැරීම, මත් කුඩු ජාවාරම, කප්පම් ගැනීම අවි ආයුධ වෙළෙඳාමට මෙන්ම නඩු ඇසීමටද පාතාලයේ කෙරුමන් ඉතා ඇල්මක්‌ දක්‌වයි. ඇත්තටම ඒ අගතියට පත් අයට සාධාරණයක්‌ ඉටු කිරීමට නොව නඩු අසන මුවාවෙන් තවත් ගාණක්‌ සොයා ගැනිමටයි. එමෙන්ම තමන්ට ගෞරවයක්‌ නම්බුවක්‌ ආදේශනය කර ගැනීමටයි දෙපැත්තෙන්ම මුදල් අය කර එක්‌ පැත්තකටවත් සතුටුදායක තීන්දු නොදෙන කැගෑ උසාවි ගැන අනන්තවත් වාර්තා අපට ලැබී ඇත. අසාධාරණයට පත්ව ඇත්තේ රූමත් කාන්තාවක්‌ හෝ තරුණියක්‌ නම් ගාස්‌තුව වශයෙන් ලිංගික සන්තර්පණයක්‌ ලබා ගැනීමටද මෙම පාතාල නඩුකාරයෝ අවලං වෙති.

පාතාලයේ නඩු අසන අන්දම මමත් කීප වරක්‌ම දැක ඇත්තෙමි. ඉන් වඩාත්ම මා සිත් ගත්තේ පූසා හෙවත් එරිකා එක්‌තරා යකඩ හොරෙකුට තම ගුහාවේ සිට දුන් පුදුමාකාර තීන්දුවයි. අනෙක රාණි අක්‌කා වෙත නඩුවක්‌ රැගෙන ආ අහිංසක තරුණයාට මාස කීපයක්‌ දඬුවම් නියම කර ඉන්පසු යුක්‌තිය පසිඳලූ ආකාරයයි.

එරිකා යනු සුප්‍රසිද්ධ ධනවත් පාතාල නායකයෙකුගේ බාල සහෝදරයායි. ඔහු කොතරම් වැරදි කළත් හිතහොඳ මිනිහෙක්‌ බවට පාතාල සමාජයේ මතයක්‌ පැවතුණි. අබලි වාහන වෙන්දේසි වලින් වාහන මිලට ගෙන විකිණීම සහ යකඩ ඇලුමිනියම් ව්‍යාපාරය නිසා මහත් මුදලක්‌ උපයන එරිකාගේ පරණ බඩු ඉස්‌ටෝරුවට රිංගූ හොරෙක්‌ බෙල්ලෙන්ම අල්ලා ගැනීමට එරිකාගේ ගෝලයන්ට හැකි වූ අතර ඔහු කුදලාගෙන එරිකා වෙත ගෙනාවේය.

පැය කීපයක්‌ හොරාගෙන් බොහෝ ලෙස ප්‍රශ්න කළ එරිකා තම සගයෙක්‌ව යවා හොරාගේ විස්‌තර වාර්තාව පැය දෙකකින් ගෙන්වා ගත්තේය. එම වාර්තාවට අනුව ඒ හොරා කලින් මත් කුඩු වලට ඇබ්බැහිව සිටි අයෙකි, දැන් රස්‌සාවක්‌ නැත. පියා අත්හැර ගොස්‌ ඇති අතර මව පිළිකා රෝගයෙන් පීඩා විඳියි. ඔහු හොරකම් කරන්නේ අම්මාට අවශ්‍ය බෙහෙත් මිලදී ගැනීමටයි. කතාව ඇසූ උගුරෙන් කතා කරන එරිකා ගොරෝසු හඬින් තම තීන්දුව දෙන්නේ මෙසේය.

“අඩෝ අප්පුහාමි හෙට උදේම ඇවිත් තනියම මගේ පල්ලෙහා ඉස්‌ටෝරුව අස්‌ කරපං ඒකේ තියෙන ලොකු යකඩ මට තියල පොඩි පොඩි ඒව උඹ අරං ගිහිං විකුණල අම්මට මාසෙකට බොහෙත් අරන් තියහං මීට පස්‌සෙ හොරකං නොකර ඉන්න බලපං සල්ලි නැත්නං මට කියහං.”

ඒ සඳහන් කළේ වරක්‌ මගේ මිතුරෙකුගේ ජීප් රථයකට අවශ්‍ය ටයරයක්‌ සොයා ගැනීමට එරිකා සොයා ගිය දිනක ඔහු සමග කතා කරමින් සිටිද්දී ඇසින් දුටු සිද්ධියකි.

තොග වශයෙන් හොර විස්‌කි විකුණන බූරුවා ගස්‌සවන දේශපාලන ලොක්‌කන් කීප දෙනෙකු ළඟින් තියාගෙන අල්ලේ නටවන ලොකු ලොකු තැන් වලට ලාබාල ගැටිස්‌සියන් සපයන රාණි අක්‌කාගේ ඥාති මල්ලී රවී මගේ පාසල් මිතුරෙකි. ඒ නිසා රාණි අක්‌කාට අපව හොඳටම විශ්වාසය. සමහරදාට ඇය මා ඉදිරියේම දුරකථනය මගින් ව්‍යාපාර කරයි. කප්පම් ගනී. බියර් බොයි. සිගරට්‌ උරයි නඩු අසයි.

වයස පනහකට ඉතා ආසන්න ඇය මේ වන විට තියාගෙන ඉන්නේ අවුරුදු තිහක විතර ලාබාල තරුණයෙකි. මෙයට වසර කිපයකට පෙර ඒ තරුණයාව රාණි අක්‌කා වෙත යොමු කරන්නේ ඈත පලාතක ප්‍රාදේශීය මන්ත්‍රී කෙනෙකු විසිනි. ඒ එම තරුණයා තමාගේ දියණිය සමග පෙමින් වෙලී ඇති නිසා ඊට දඬුවමක්‌ වශයෙන් අතක්‌ පයක්‌ ඉවත් කර දමන්නට හෝ කුඩු ග්‍රෑම් දෙකකට වැඩි ප්‍රමාණයක්‌ අතින් දමා දීර්ඝ කාලයක්‌ හිරගත කරනු පිණිසයි. නමුත් තරුණයාගේ දේහ ලක්‍ෂණ මනාව නිරීක්‍ෂණය කරන පාතාල නඩුකාරිය තරුණයාව තම සම්බාහන මධ්‍යස්‌ථානයේ භාරකරු ලෙස රස්‌සාවට යවා මාස හයකට පසු නැවත ගෙන්වා ගෙන තම අනියම් පුරුෂයා වශයෙන් තබා ගනී.

විසඳනු පිණිස පාතාලය වෙත ලැබෙන නඩු එක්‌ එක්‌ මුහුණුවර ගනී. වැඩියෙන්ම එනවා යෑයි කියන්නේ ඉඩම් සහ දේපල ගැටලුය. ඒ අතරට හොර ඔප්පු කේස්‌ බලහත්කාරයෙන් රැඳී සිටීම් බූදල් ප්‍රශ්න වාහන අයිතිය වැනි කාරණා සුලබය. බොහෝ කැලෑ උසාවි වල අය කරන ගාස්‌තුව ඉතා ඉහළය. සමහරවිට නඩුව අවසන් වෙද්දී නඩුවේ අගයට වඩා නඩු ගාස්‌තුව දෙගුණ තෙගුණ වන අවස්‌ථා ද ඇත.

පාතාල නඩුකාරයෝ මුදල් හෝ වෙනත් වාසි සඳහා අනුන්ගේ නඩු අසනවා මෙන්ම තමන්ට එරෙහිව එන අයට තීන්දු දීමටද නඩු අසති. සමහර විට ඒ තනියමය. එසේත් නැත්නම් විනිශ්චය මණ්‌ඩල සාමාජිකයන් කීප දෙනෙකු සහිත ජූරියක්‌ සමගිනි. මොවුන්ගේ උසාවිය බොහෝවිට ජංගමය. ස්‌ථිර තැනක්‌ නැත. සමහරවිට එය ඔවුන්ගේ නිවසයි. නැතිනම් හෝටලයකි එහෙමත් නැත්නම් තැබෑරුමක්‌ හෝ අවන් හලකි. සමහර සොහොන් භූමි තුළත් අඳුරු ගුබ්බෑයම් තුළත් නඩු අසා තීන්දු දෙති.

සමාජ වාර්තාවලට අනුව එක්‌ පාතාල නායකයෙක්‌ තමාව පාවා දුන් කලු නමැත්තාට එරෙහිව නඩුව අසා ඇත්තේ අත්තිඩිය පැත්තේ තිබුනු ගනිකා නිවසක්‌ තුළ චූදිතයාව නිරුවත් කරමිනි අවට සිටි ලිංගික ශ්‍රමිකාවන්වද කැඳවා වටේට හිටුවා ඒ තරුණියන්ගේ යට ජංගි ගලවා එකින් එක ඔහුගේ කට තුළට ඇතුළ් කරමින් ඔහු කර ඇති වරද සිහිගන්වා ඇත. තමාව නොමරා අභය දානය දෙන ලෙස කොතෙක්‌ පින්සෙණ්‌ඩු වුණද කලුගේ දැවී පිළිස්‌සී කලුවී ගිය සිරුර පසුදා අසල වෙලක්‌ ඉස්‌මත්තේ තිබී පොලීසියට හමු විය.

දරුණුම වරදකට දෙන දඬුවම මරණය වන අතර අත පය අරන් දැමීම, ඇසිඩ් ගැසීම, කට කැපීම, කන ඉවත් කිරීම, සමීප ඥාතී ස්‌ත්‍රීන්ට ලිංගික හිරිහැර කිරීම, රහස්‌ ස්‌ථාන වලට අනවශ්‍ය දේ ඇතුළු කර වධ දීම දෙවැනි පෙළට එන දරුණු දඬුවම්ය.

හිසකෙස්‌ කපා දැමීම, මහ මඟ ප්‍රසිද්ධියේ දණ ගස්‌සවා තැබීම, නිරුවත් කර මහ මඟ ඇවිද්දවීම, දැලි පිහියකින් තට්‌ටමේ ඉරක්‌ ඇඳීම වැනි දේ සිල්ලර දඬුවම් ගනයට වැටේ.

ටීම් එක කියා එකක්‌ පසුගිය කාලය තුළ මාලිගාවත්තේ මුස්‌ලිම් පාතාලය තුළින් ක්‍රියාත්මක විය. ඔවුන්ද නඩු ඇසීමටත් දඬුවම් කිරීමටත් මාර ඇල්මක්‌ දැක්‌වූහ. මාලිගාවත්තේ ඇපල්වත්ත නම් ස්‌ථානයේ පවත්වාගෙන ගිය සිරමැදිරි වධකාගාර ගැන පොලිස්‌ වාර්තා මගින් අපට දැනගන්නට හැකිය .

යුනිට්‌ටෝ කියා පිරිසක්‌ ගැනද පසුගිය කාලය තුළ අපි අසා ඇත්තෙමු. ඔවුන් තුළ නඩු ඇසීමක්‌ නැත. තියෙන්නේ දඬුවම් දීම පමණි. ලොකු ලොකු තැන් වල අසන නඩුවට දෙන තීරණ මත යුනිට්‌ටෝ කරන්නේ දඬුවම ක්‍රියාත්මක කිරීම පමණි. ඒ අනුව වෙඩි තබා මරා දැමීම පිහියකින් කපා කොටා මරා දැමීම කඩුවෙන් කොටා ගෙල වෙන් කිරීම ටයර් දමා හෝ වාහනය තුළම පුළුස්‌සා මැරෙන්නට ඉඩ හැරීම වැනි දේ සිදුවෙයි. ඇසිඩ් බාත් එකේ බැස්‌සවීම යනු ඇඩ්රස්‌ නැති මරණයකි. ඇසිඩ් වලට මස්‌ හම පිච්චී යනවා සේම ඇටකටු පවා වතුර මෙන් දියවී යයි. මෙහි මැරුණෙ කවුද කියා ඩී එන් ඒ පරීක්‍ෂණයකින් වත් හොයන්න බැරි බව අප අසා ඇති කරුණකි.

බ්‍රෙෂ්ට්‌ගේ හුණුවටයේ කතාවේ එන අසඩක්‌ නමැත්තාද පාදඩ පහත් සංස්‌කෘතිය නියෝජනය කරන නඩුකාරයෙකි. නමුත් ඔහු දෙන අමුතු තීන්දු නිසා බොහෝ අයට සාධාරණය ඉෂ්ට වෙයි. කැලෑවේ නඩු අහන්නේ සිංහයා බව අපි කුඩා කල පොත් පත් වලින් කියවා ඇත්තෙමු. සිංහයා දෙන තින්දු තීරණ ඉතා සාධාරණය. නමුත් බොරුවෙන් පත්වීම් ලැබ නඩු අසන නරියන් ගැනත් ඉඳහිට අපි අසා ඇත්තෙමු. ඌ දෙන්නේ තමාට හෝ තම මිතුරන්ට වාසි සහගත අසාධාරණ තීන්දු බව අපට පෙනේ.

පාතාලය යනු සාධාරණ ස්‌ථානයක්‌ නොවන නිසා එහි අසන නඩුද කිසිසේත්ම සාධාරණ නොවේ. තමාට සිදු වුණ අවනඩුව හෝ අසාධාරණය පාතාල නඩුකාරයන් වෙත ගෙන යන්නේද සාධාරණ මිනිසුන් නොවන බව මගේ අදහසයි. නමුත් පොලිසියෙන් නීතියෙන් අධිකරණයෙන් සාධාරණයක්‌ ඉෂ්ට නොවුණු කල ඕනෑම සාධාරණ අයෙක්‌ සිතන්නේ කොහෙන් හෝ තමාට සාධාරණයක්‌ ලබා ගැනීමටයි. සුළුතරයක්‌ දෙනා හෝ පාතාල උසාවි හෝ කැලෑ අධිකරණයේ පිහිට පතන්නේ මේ හේතුව නිසාය.

නීතීය සංකේත කරන්නේ රෙදි කඩකින් දෑස්‌ වසාගත් අතකින් සැතක්‌ සහ අනිත් අතින් සමබර තරාදියකුත් ගත් කන්‍යා රුවකින් බව අපි දනිමු. පසුගිය සමහර අශීලාචාර අමනයන් විසින් වරින් වර මෙම නීතියේ කන්‍යාව දූෂණයට ලක්‌ කිරීම නිසා ඇගේ හිරි ඔතප් සහ පාරිශුද්ධත්වය සිඳී බිඳී ගොස්‌ නීතිය වල් වැදී ඇති බව බොහෝ අය කියති. එමෙන්ම නීතිය කරන කන්‍යාව වෙනුවට බොහෝ වර දූෂණයට අපහරණයට ලක්‌ වූ සල්ලාල ස්‌ත්‍රීන් ගණිකාවන් වැන්නෝ බලය අතට ගෙන කැලෑ උසාවි තුළින් නීතිය කරන්නට යැම මෙහි එක්‌ ප්‍රතිඵලයකි.

යහපාලනයක්‌ පොරොන්දුව බලයට ආ කණ්‌ඩායමක්‌ දැන් රට කරවන නිසා යළින් නීතිය නිසි ලෙස සංස්‌ථාපනය කොට කැලෑ උසාවි පාතාල අධිකරණ ආදිය වසා දමා සාමය සාධාරණත්වය රජ කරවන නීති පද්ධතියකින් හෙබි සමාජයක්‌ උදා කරනු ඇතැයි අපි උදක්‌ම බලාපොරොත්තු වෙමු

courtesy : wishmalokaya.com


More News »