ඉතිහාසයේ ප්‍රථම වතාවට ජනාධිපති
ලේකම්වරයකු හිරේ යෑවූ සිල් රෙදි නඩුව...

2017-09-12 11:57:00       60
feature-top
සිරභාරයට පත් හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් අනුෂ පැල්පිට
හොරු අල්ලන්නට පොරොන්දු වී බලයට පැමිණි ආණ්‌ඩුව අවුරුදු දෙකක්‌ කෙකර ගා අමාරුවෙන් බිත්තරයක්‌ දමා තිබේ. ඒ අනුව දූෂණ චෝදනා යටතේ පළමුවෙන්ම සිපිරි ගෙදරට යාමට සිදුවූයේ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගටත්, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් අනුෂ පැල්පිටටත්ය. මේ කතාවේ අගමුල මේ වන විටත් රටේ වැඩි දෙනෙක්‌ දන්නා බවට සැකයක්‌ නැත. 2014 ඔක්‌තෝබර් මස 30 වැනිදාත් 2015 ජනවාරි මස 5 වැනිදාත් අතර කාලයේ කෙළඹදී පැමිණිල්ල නොදත් පිරිසක්‌ සමග එක්‌ව විදුලි සංදේශ නියාමන කොමිසමේ ප්‍රතිපාදනවලට පටහැනි අන්දමට එම ගිණුම භාවිත කර විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට අයත් රුපියල් කෝටි 60 ක මුදලක්‌ ජනාධිපති ලේකම් කාර්යාලය නමින් ලංකා බැංකුවේ තැප්‍රොබේන් ශාඛාවේ ගිණුමට බැර කිරීමට කුමන්ත්‍රණය කරනු ලැබී යෑයිද, ඒ අනුව සිල් රෙදි ලබාගෙන එම මුදල වංචා කරනු ලැබී යෑයිද, ඒ සඳහා ආධාර හා අනුබල ලබාදෙනු ලැබී යෑයිද යනුවෙන් පොදු දේපළ පනත යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා තුනක්‌ යටතේ ඒ දෙදෙනාට විරුද්ධව නඩු පවරා තිබිණි. මෙහිදී මුලින්ම විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා තිබුණේ පොදු දේපළ පනත යටතේය. පසුව පැමිණිල්ලේ සාක්‌කි විභාගය අවසන් කර විත්තිය වෙනුවෙන් සාක්‌කි ඉදිරිපත් කරමින් තිබියදී පොදු දේපළ පනත යටතේ ඉදිරිපත්කොට තිබූ අධි චෝදනා පත්‍රය සංශෝධනය කොට දණ්‌ඩ නීති සංග්‍රහය යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ඉදිරිපත් කිරීමට නීතිපතිවරයා පියවරගෙන තිබිණි. විත්තිකරුවන් වැරදිකරුවන් කිරීමට හේතු අඩංගු නඩු තීන්දුව පැයක පමණ කාලයක්‌ පුරා කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග විසින් කියවනු ලැබීය.

සිල් රෙදි ව්‍යාපෘතියකට යෙදවීම සඳහා රුපියල් මිලියන 600 ක එනම් රුපියල් කෝටි 60 ක මුදලක්‌ ලබාදෙන ලෙස පළමුවැනි විත්තිකාර අනුෂ පැල්පිටට ලැබුණු ලිත නියෝගයට අනුව ඔහු විසින් දෙවැනි විත්තිකාර ලලිත් වීරතුංගගේ නමින් ඇති ගිණුමකට 2014 දෙසැම්බර් 3 වැනි දින මෙම මුදල් ප්‍රේෂණය කර තිබේ. එමෙන්ම එම මුදල් ප්‍රේෂණය කර ඇත්තේ එදිනම මුදල් ලබාගත හැකිවන ආකාරයට යෑයිද විනිසුරුවරයා සඳහන් කර තිබිණි. එපමණක්‌ නොව එම මුදල් එම කටයුත්තට යෙදවීම සඳහා මුදාහැර ඇත්තේ විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්‍ෂ මණ්‌ඩලයෙන් කලින් අනුමැතියක්‌ හෝ ලබානොගෙන බවද එහිදී විනිසුරුවරයා සඳහන් කර තිබිණි. එහෙත් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ මණ්‌ඩලයේ අනුමැතියක්‌ ලැබුණද එම කොමිසමේ අභිප්‍රායට පටහැනි කාරණයකට මුදල් යෙදවීම නීති විරෝධී බවත්, 2015 ජනවාරි මාසයේ ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමසාරිස්‌වරයා විසින් ගැසට්‌ නිවේදනයක්‌ නිකුත් කර තිබියදී ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වන අපේක්‍ෂකයකුගේ දැන්වීම ඇතුළත් කොට සිල් රෙදි බෙදා දීමෙන් එක්‌ අපේක්‍ෂකයකුට වාසියක්‌ මෙන්ම අනෙක්‌ අපේක්‍ෂකයාට පාඩුවක්‌ සිදුවන බවත් විනිසුරුවරයා පවසා තිබිණි.

සිල් රෙදි බෙදා දීමක්‌ වැනි හදිසියේ සිදුකිරීමට අවශ්‍ය නොවන කටයුත්තකට මැතිවරණයක්‌ ප්‍රකාශයට පත්කර ඇති අවස්‌ථාවක හදිසියේ මුදල් වෙන් කිරීම සැකයට බඳුන් වන කාරණයක්‌ බවත් එම මුදල් එසේ හදිසියේ වෙන් කිරීමට කිසිදු සාධාරණ හේතුවක්‌ විත්තිකරුවන් විසින් ඉදිරිපත් කරනු ලැබ නැති බවත් විනිසුරුවරයා සඳහන් කර තිබිණි. එහිදී විනිසුරුවරයා වැඩිදුරටත් සඳහන් කර තිබුණේ මැතිවරණයක්‌ ප්‍රකාශයට පත්කර ඇති අවස්‌ථාවක සිල් රෙදි බෙදාදීම සාමාන්‍ය කටයුත්තක්‌ වුවද එය නතර කර දැමිය යුතු බවය. විත්තිකරුවන්ට එරෙහි චෝදනා සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුවන්ට දඬුවම් නියම කිරීමට පෙර කරුණු ඉදිරිපත් කරන ලෙස දෙපාර්ශ්වයේම නීතිඥවරුන්ට දැනුම් දී තිබිණි. එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ කරුණු දක්‌වමින් මෙම නඩුවේ එක්‌ චෝදනාවක්‌ සඳහා වසර දෙක බැගින් බරපතළ වැඩ සහිත සිරදඬුවම්, දඩ සහ වන්දි නියම කළ යුතු බව පවසා තිබිණි. එමෙන්ම රාජකාරිමය හැකියාව සහ බලය අතර විත්තිකරුවන් එම බලය හා හැකියාව භාවිත කරමින් මෙම අපරාධය සිදුකර ඇතැයි කී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා විත්තිකරුවන්ට සුදුසු සිරදඬුවමක්‌ නියම කරන ලෙසද අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එහිදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්‌ස කීවේ තම සේවාදායකයන්ට රුපියල් කෝටි 60 ක මුදලක්‌ සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබුණද ඔවුන් ඉන් එක්‌ රුපියලක්‌ හෝ තමන්ගේ පරිහරණය සඳහා යොදාගෙන නැති බවය. චෝදනාව "සිල්රෙදි බෙදාදීම" වුවද විත්තිකරුවන් දෙදෙනා සන්තකයේ එක රෙදි කැබැල්ලක්‌ හෝ නොතිබුණු බවද ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්‌ස කියා තිබිණි. ඒ නිසාම විත්තිකරුවන්ට දඬුවම් නියම කිරීමේදී එම කරුණුද සැලකිල්ලට ගන්නා ලෙස හෙතෙම අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

අවසන ඉදිරිපත් වූ සියලු කරුණු සැලකිල්ලට ගත් විනිසුරුවරයා පළමුවැනි චෝදනාවට විත්තිකරුවන් දෙදෙනාට වසර 1 1/2 බැගින් බරපතළ වැඩසහිත සිරදඬුවමක්‌ද, රුපියල් ලක්‍ෂ දහය බැගින් දඩද නියම කළේය. එම දඩ මුදල් නොගෙවුවහොත් මාස හය බැගින් බරපතළ වැඩ සහිත සිරදඬුවමක්‌ ද නියම කළේය.

පළමු විත්තිකරු වරදකරු වූ දෙවැනි චෝදනාවට අවුරුදු 1 1/2 බැගින් බරපතළ වැඩ සහිත සිරදඬුවමක්‌ද, රුපියල් ලක්‍ෂ 10 ක දඩයක්‌ද නියම කළ අතර දඩ මුදල් නොගෙවුවහොත් මාස හයක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්‌ නියම කෙරිණි. දෙවැනි විත්තිකරු වරදකරු වූ තුන්වැනි චෝදනාවට අවුරුදු 1 1/2 බැගින් බරපතළ වැඩ සහිත සිරදඬුවමක්‌ සහ රුපියල් ලක්‍ෂ දහයක දඩයක්‌ද නියම කළ අතර දඩ මුදල් නොගෙවුවහොත් මාස හයක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්‌ද නියම කළේය. එමෙන්ම විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට රුපියල් කෝටි 5 බැගින් වන්දි ගෙවන ලෙසද විත්තිකරුවන් දෙදෙනාට එම වන්දි මුදල ගෙවීමට නොහැකි වුවහොත් අමතර වසර දෙක බැගින් බරපතළ වැඩ සහිත සිරදඬුවම්ද නියම කෙරිණි. දඩ හා වන්දි මුදල් ලබන ඔක්‌තෝම්බර් 10 වැනිදාට පෙර ගෙවන ලෙසද නියම කෙරිණි.

මෙම නඩුව දූෂණ මර්දන ලේකම් කාර්යාලයේ හා පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසයේ විමර්ශනවලින් පසුව චෝදනා ගොනු කරනු ලැබීමෙන් පසුව විමසා අවසන් වූ ප්‍රථම නඩු විභාගයද වෙයි. විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව නඩු පවරා තිබුණේ 2015 අගෝස්‌තු 28 වැනිදාය.

මේ සමස්‌ත නඩු විභාගය තුළම, රාජ්‍ය සේවය, රාජ්‍ය සේවයේ නියුතු නිලධාරීන් හා දේශපාලනය අතර තිබිය යුතු "සීමාව" ගැනත් රාජ්‍ය සේවය තුළ කොතරම් නරක ආකාරයට දේශපාලනය විසිරී ඇතිදැයි යන්න තේරුම් ගැනීමටත් උදාහරණ බොහෝමයක්‌ තිබිණි.

නඩුව විභාග වන අවස්‌ථාවේදී හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග ප්‍රකාශ කරන ලද කාරණයකින්ම ඒ බව සනාථ වේ. ඔහු ප්‍රකාශ කර තිබුණේ ජනාධිපති ලේකම්වරයා ලෙස තමා, ජනාධිපතිවරයා ලබාදෙන නියෝග ක්‍රියාත්මක කිරීමට බැඳී සිටින බවත් ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ නියෝග මත සිල් රෙදි බෙදීමේ කටයුතු සිදුවූ බවත්ය. බොහෝවිට රාජ්‍ය නිලධාරීන් ක්‍රියාත්මක වන්නේ කොළ, නිල් හෝ රතු පිළක සිට නොවේ. රාජ්‍ය සේවකයාද අර්ධ වශයෙන් නොව පූර්ණ වශයෙන්ම දේශපාලන ක්‍රියාධරයකු බවට පත්වන්නේ 77 න් පසු එළැඹි දේශපාලන වටපිටාව තුළය. බොහෝවිට රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් නැගෙන චෝදනා බොහෝමයක අවලස්‌සන චරිත රඟපා ඇත්තේ දේශපාලනඥයින්ය. එහෙත් දංගෙඩියට හිස තැබිය යුත්තේ රාජ්‍ය සේවකයාය. ලලිත් වීරතුංග යනු රාජ්‍ය නිලධාරියකු හැටියට විශිෂ්ටත්වයට පත් කීර්තිමත් රාජ්‍ය නිලධාරියෙකි. එමෙන්ම අනුෂ පැල්පිට ද ක්‍රියාශීලී, ප්‍රවීණතම පරිපාලන නිලධාරියෙකු ලෙස නමක්‌ දිනා ගත්තෙකි. සිල්රෙදි නඩුවේ විත්තිකරුවෙකුව සිටි අනුෂ පැල්පිට සම්බන්ධයෙන් දැක්‌වූ අදහස්‌ හා ඒ සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග නිසාම එවකට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිටි ජිනසිරි දඩල්ලගේට සිය තනතුර අතහැර යන්නට සිදුවිණි. එකල මේ සම්බන්ධයෙන් ඔහු දැක්‌වූ ඉතා වැදගත් අදහසක සංක්‍ෂිප්තය මෙසේය.

"රාජ්‍ය සේවය යනු රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමයි. එය පත්වන ඕනෑම රජයක්‌ සම්බන්ධයෙන් වලංගු කාරණයකි. එසේ බලන කල රාජ්‍ය සේවය වෙනමද, රාජ්‍ය ප්‍රතිපත්ති වෙනමද යනුවෙන් යමක්‌ නැත. රාජ්‍ය නිලධරයෙකු වැඩ කරන්නේ මේ ක්‍රියාදාමයට අනුවය. යම් යම් කාලවල ඒ ප්‍රතිපත්තිවල තිබුණු අඩුලුහුඬුකම් නිසා ඒ ඒ රජයන් පරාජයට පත්වෙලා තියෙනවා. මේ ප්‍රතිපත්ති හදන්නේ දේශපාලනඥයින්. මේවා ක්‍රියාත්මක කරන්නේ රාජ්‍ය සේවකයින්. හැබැයි එසේ වූ පමණින් සියලු දේවල වගකීම රාජ්‍ය සේවකයා පිට පටවන්නට බැහැ.

ඇත්ත වශයෙන්ම "පසුබිමේ තීන්දු තීරණ" ගන්නා දේශපාලනඥයින් සමග රාජ්‍ය නිලධාරියකු ගනුදෙනු කිරීම සරල කටයුත්තක්‌ නොවේ. එතැනදී "ආයතන සංග්‍රහය, මුදල් රෙගුලාසි" අමතක කර කටයුතු කරන්නට රාජ්‍ය නිලධාරියාට සිදුවේ. සිල් රෙදි තීන්දුවට එරෙහිව අභියාචනයක්‌ ඉදිරිපත් කරන බව ලලිත් වීරතුංග හා අනුෂ පැල්පිට යන මහත්වරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්‌ස අධිකරණයට දැනුම්දී තිබිණි.

Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks

More News »