ව්‍යාජ බිල්පත්වලට මුවාවී බදු වංචා කළ දළකාරයෝ

2017-09-06 03:23:00       581
feature-top
යෝජිත නව බදු පනත යටතේ ඉදිරි දෙවසරේදී ඉලක්කගත බදු ආදායම වැඩි කිරීමේ යෝජනා මේ වන විට සාකච්ඡා වෙමින් තිබේ.

මතෛක් පැවැති සෘජු බදු සියයට විස්සක් අය කිරීමේ ප්‍රමාණය සියයට හතළිහ දක්වා වැඩි කරන්නට තීරණය වන්නේද ‍පොඩි මිනිසාට වඩා ධනවතුන්ට සෘජු බදු අවම තැනක තිබිම නිසාය. මේ නිසාම වක්‍ර බදු ප්‍රමාණය ද 80 සිට 60 දක්වා අඩු කිරීමටද යෝජනා විය.

මේ සියලු කරුණු මගින් රජයේ බදු ආදායම ඉහළ නැංවීමට සාකච්ඡා කරන අතරේ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවටත් කොළය වසා කෝටිපති ව්‍යාපාරිකයන් කරන වැට් බදු ජාවාරමක් අනාවරණය වන්නේ කොළඹ වංචා විමර්ශන ඒකකය ඇරඹූ විමර්ශනයකදීය.

මෙම විමර්ශන ආරම්භයේදීම දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව දැක්වූ උදාසීනකමට අනුව මෙම වංචාව පසුපස දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේත් සෙවණැලි සිටින බවට වූ සැක සංකා දැන් දැන් තහවුරු වෙමින් තිබේ.

කොළඹ දිසාව භාර නියෝජ්‍ය ‍පොලිස්පති ලලිත් පතිනායක මහතා වෙත කොටහේන පරණ යොන් වීදියේ තොග වශයෙන් යකඩ ගෙන්වන ජනතා ස්ටීල්, රිලැක්ස් ස්ටීල් නමැති ආයතනවලින් ලද පැමිණිල්ලක් මෙම වැට් බදු වංචාව සොයා ගැනීමට පාදක වූයේය.

තම ආයතන බිල්පත් ලෙසින් ව්‍යාජ බිල්පත් මුද්‍රණය කර රුපියල් කෝටි ගණනක යකඩ මිලදී ගන්නා මුවාවෙන් හොර බිල්පත් යොදා වැට් බදු වංචාව කරගෙන යන බවට ලද පැමිණිල්ල යොමු කෙරෙන්නේ කොළඹ වංචා විමර්ශන ඒකකය වෙතය.

එකී අධ්‍යක්ෂ ‍පොලිස් අධිකාරි රොහාන් ප්‍රේමරත්න මහතාගේ අධීක්ෂණයෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ‍පොලිස් අධිකාරි රේණුකා ජයසුන්දර මහත්මියගේ මෙහෙයවීමෙන් ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක අනුර රන්දෙණිය, උප ‍පොලිස් පරීක්ෂක කස්තුරිසිංහ, සැරයන් රංජිත් (13374) ඇතුළු කණ්ඩායමක් වෙත විමර්ශන භාර කෙරිණි.

ඒ අනුව කොළඹ වංචා විමර්ශන අංශය අරඹන ලද විමර්ශනයට අනුව සැරයන් රංජිත් (13374) ලබාගත් තොරතුරු පිටකොටුවේ යකඩ කඩවල සේවය කරන සේවකයන් පිරිසක් හා ඔවුන් අතර සිටින අතරමැදියකු ගැන අනාවරණය වන්නේය. එම තොරතුරු මත රාජලිංගම් සබේසන්, ක්‍රිෂ්ණසාමි ගජේන්ද්‍රන්, මාරිමුත්තු අස්වින්දා, සෙල්වරාජ් රනිෂ් තුවාන්, ටෙටේ‍රන් ටෙල්ඩර් ජෙයකුමාර්, සෙල්ලදොරේ ප්‍රශාන් යන කණ්ඩායම අත්අඩංගුවට ගැනිණි. ප්‍රශාන් නමැත්තා බ්ලූමැන්ඩල් තට්ටු නිවාසයේ මුද්‍රණාලයක ව්‍යාජ බිල්පත් මුද්‍රණය කළ පුද්ගලයාය. මෙම පිරිසගෙන් ලද තොරතුරු ඔස්සේ ලාල් මෙන්ඩිස් නමැති අය අත්අඩංගුවට ගැනෙන්නේ මෙම ව්‍යාජ බිල්පත් එකතු කර ආයතනවලට විකුණන චෝදනාවටය. ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් බසාර් එකේ යකඩ ඇතුළු දෑ මිලදී ගන්නේ ලාල් මගිනි.

‍පොලිස් විමර්ශනවලට අනුව බිල්පතේ වටිනාකම අනුව හොර බිලට ලබාදෙන කොමිස් මුදල තීරණය වෙන්නේය. බිල්පතේ වටිනාකම අනුව රුපියල් ලක්ෂයකට රුපියල් දෙදහසක් වශයෙන් කොමිස් මුදල් ගෙවයි. මෙම ජාවාරම්කරුවන් රුපියල් කෝටි ගණනක බිල්පත් ලියා වැට් බදු මුදලද අය කළ බවට සටහන් කර ව්‍යාජ බිල්පත නිකුත් කරන්නේ කිසිදු යකඩ භාණ්ඩයක් මිලදී නොගෙනමය.

මෙම ව්‍යාජ බිල්පත් සියල්ල සකස් කරදී ඇත්තේ ‍පොළොන්නරුවේ අභයවර්ධන කන්ස්ට්‍රක්ෂන් නමැති රජයේ බලපත්‍රලාභී කොන්ත්‍රාත්කාර සමාගමකටය. මෙම සමාගම ජාවාරමට සම්බන්ධ වී සිටින කොළඹ කාක්කන්ගෙන් ලබා ගන්නා බිල්පත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන්නේ තමන් වැට් බදු ගෙවා භාණ්ඩ මිලදී ගත් අයුරෙනි. එම බිල්පත් ඉදිරිපත් කර රජයෙන් වැට් බදු සහන ලබා ගන්නා මෙකී වංචාකාර සමාගමේත් මතෛක් කරන ලද විමර්ශනවලට අනුව රුපියල් පනස් දෙලක්ෂ අසූහතරදහස් පන්සිය දාහතරක මුදලක් වැට් බද්දක් වංචා කර ඇත. මෙම ප්‍රමාණය ‍පොලිස් විමර්ශනවලදී සොයාගත් ව්‍යාජ බිල්පත්වල තිබූ වැට් බදුවල වටිනාකම පමණය. විමර්ශනවලට අනුව වැට් බදු වංචාව ඇරඹෙන්නේ 2014 වසරේ සිටය.

රජයේ ගොඩනැගිලි, මාර්ග ඇතුළු ඉදිකිරීම් කොන්ත්‍රාත් ලබා ගන්නා මෙම සමාගම් තම ඉදිකිරීම් සඳහා ලබාගන්නා අමුද්‍රව්‍ය සඳහා හොර බිල්පත්වලින් වැට් බදු ගෙවූ බව පෙන්වා මෙම ජාවාරම කර ඇති බව ‍පොලිස් විමර්ශනවලින් සනාථ කර ගන්නා තුරු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වගකිවයුත්තන් නිද්‍රාශීලීව සිටියාද? ජාවාරමුන් සමග එක්වී වංචාවක් කළාද යන්න පැන නගින ගැටලුවය. එම දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයක් පවා තිබියදී සියලු දෙනාගේ දෑස් වසා වසර ගණනක් මෙම ජාවාරම සිදුවූවාද යන උභතෝකෝටික ප්‍රශ්නය රට හමුවේ ඇත.

අධිකරණ නියෝගයක් මගින් වැට් බදු වංචාව ගැන තොරතුරු සොයන්නට ගිය වංචා විමර්ශන ඒකකයේ නිලධාරීන්ව නොතකමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමහරක් කටයුතු කළ ආකාරයෙන්ම මෙම ජාවාරම්වලට සම්බන්ධ අය තැන තැන සිටින බව පසක් විය.

වංචා විමර්ශන අංශයේ අධ්‍යක්ෂ ‍පොලිස් අධිකාරි රොහාන් ප්‍රේමරත්න මහතා දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා දැනුම්වත් කර ව්‍යාජ වැට් බදු වංචාවට අදාළ චෝදනා එල්ල වූ සමාගමේ වැට් අංකයට අදාළ පසුගිය වසර කිහිපයේ තොරතුරු ඉල්ලීය.

මේ පිළිබඳ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා මැදිහත් වී විශේෂ විමර්ශන ඒකකයට විමර්ශනයක් පවා භාර දෙන්නේ තම ආයතනයේ ජාවාරමට සම්බන්ධ වූවන් සිටී නම් ඔවුන්ද කොටු කර ගන්නටය.

අවාසනාවකට මෙන් මේ වනතුරුත් 2014, 2015 වසරවලට අදාළ වැට් බදු ගෙවූ ප්‍රමාණයන් සොයා ගැනීමට දේශීය ආදයම් දෙපාර්තමේන්තුවට නොහැකි වී තිබේ. කෙසේ වුවද වංචා විමර්ශන අංශයේ අධ්‍යක්ෂවරයා විසින් ‍පොලිස් සැරයන් රංජිත් (13374) හට විමර්ශන ඉදිරියට පවත්වාගෙන යෑමට දුන් අභියෝගය අනුව සැරයන් රංජිත් මෙම ජාවාරමේ තොරතුරු රැසක් අනාවරණය කරන්නේය.

රුපියල් කෝටියක භාණ්ඩ මිලදී ගත් බවට පෙන්වා නිකුත් කරන ලද බිල්පත්වල වටිනාකමට වැට් බද්ද ලෙසින් සියයට පහළොවක අගය එකතු කළ ලක්ෂ පහළොවක වැට් බදු මුදලක් සඳහන් කර අය කර ගැනීමට ජාවාරම්කරුවන්ට මේ ජාවාරම යටතේ හැකියාව ඇත්තේය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ දැනට බදු අය කරන ක්‍රමවේදයේ ඇති දුර්වලතා නිසා බොහොමයක් ව්‍යාපාරිකයන්ට බදු හිලෙන් රිංගා යෑමේ හැකියාව ලැබි තිබෙන බව මෙම විමර්ශන මගින් අනාවරණය වන්නේය. කොළ කැබැල්ලක ලැබිම් හා ගෙවීම් අඩු කර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ පසුව හිස්මුදුනින් එම තොරතුරු පිළිගන්නේ බිල්පත්වල දත්ත ගෙන්වා ගැනීමකින් තොරවය. දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව බිල්පත්වල දත්ත නොගෙන්වා ව්‍යාපාරිකයන් එවන කොළයක් මත පදනම් වී බදු අය කර ගැනීමේ ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කළ බව තහවුරු වන්නේ මෙම විමර්ශන අතරේය.

මේ අනුව සැක පහළ වන්නේ රට පුරා ඇති මෙවැනි මහා පරිමාණ ආයතන බොහොමයක්ම මේ අයුරින් වැට් බදු වංචා කරන්නට ඇති වගය. මේ ගැන සොයන්නට කිසිවෙකුටවත් වුවමනාවක් නොතිබිම පසුපසද දැඩි සැකයක් පහළ වන්නේය.

2016 ජනවාරි 01දා සිට වැට් බදුවල සාරාංශයක් සී.ඩී. තැටිවල ගබඩා කිරීමට නව චක්‍ර‍ලේඛයක්ද ඇත්තේය. කාර්තුවකට වැට් බදු ගණනය කිරීමේදී අදාළ දිනය, මුදල මෙන්ම බිල්පත්වල විස්තර පෙන්වා නිසි පරිදි පරීක්ෂාවකට ලක් කළ යුතු වුවද එවැන්නක් මතෛක් සිදුවූ බවට සාක්ෂි විමර්ශනවලදී තහවුරු වන්නේ නැත.

ඉදිකිරීම් ආයතනයක් ලෙස ලියාපදිංචි කිරීමේදී සඟවන බදු ආදායම් ගණනයට ලක් වන්නේද නැත.

මේ සියලු කරුණු මගින් අනාවරණය වන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සතු බදු අය කිරීමේ ක්‍රමවේදවල දුර්වලතාවලින් කෝටි ප්‍රකෝටිපතියන් වූ ඉදිකිරීම් සමාගම් ඇතුළු සමාගම්කරුවන් උපරිම ලාභ ලබා රජයට වැට් බදු වංචා කර ඇති වගය. රජයෙන් වැඩිපුරම පහසුකම් ලබා ගන්නා මෙවැනි සමාගම් සොච්චම් මුදලක් රජයට බදු වශයෙන් ගෙවා අධික ලාභ ලබා ගන්නා වග මෙයින් අනාවරණය වෙමින් තිබේ.

‍පොඩි මිනිසාගෙන් වැට් බදු ලෙස අය කර ගන්නා මුදලද මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට යෙදවුම් බද්ද නමින් අය කර ගැනීමට වරප්‍රසාද පවා තිබියදී මහා පරිමාණයෙන් වැට් බදු වංචා කර ඇති වග අනාවරණය වන්නේය.

දේශීය ආදායම් බදු කොමසාරිස් ජනරාල්ගේ හා වංචා විමර්ශන අංශයේ විමර්ශනවලට අනුව මෙම වැට් බදු වංචාවේ අක්මුල් ගිය තැන් සියල්ල සොයා ගතහොත් මීටත් වඩා සිදුවූ ජාවාරම් අනාවරණය කර ගැනීමටද හැකි වෙයි.

සියල්ල පදනම් වන්නේ නිසි විමර්ශනයක් කර වගකිවයුත්තන් සොයා ගැනීම මින් මෙවැනි මහා පරිමාණ ජාවාරම්කරුවන් රජයටත් කෝටි ගණන් වංචා කරද්දී ‍පොඩි මිනිසා මත පමණක් බදු බර පනවා රජය අපේක්ෂා කරන ඉලක්කගත බදු ආදායම වෙත යාම රජයටත් අභියෝගයකි. කළ යුත්තේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අළු ගසා නැගිට්ටවා නිසි බදු ක්‍රමවේදයක් යටතේ බදු හොරු අල්ලන දැලක් එළීමය.


More News »