ඉන්දියාවෙන් යාපනයට ගේන කේ. ජී.
වලානෙන් ගොස්‌ අල්ලපු හැටි...

2017-08-21 10:32:00       521
feature-top
කේරල ගංජා (කේ. ජී.) යනු ඉන්දියාවේ සිට මෙරට ගෙන්වන මත්ද්‍රව්‍යයක්‌ය. ඒ සම්බන්ධයෙන් මත් ලෝලීන් තුළ ඇත්තේ ඉහළ ඇල්මක්‌ බව හැඟී යන්නේ දිනපතා රටේ කුමන ප්‍රදේශයකින් හෝ කේ. ජී. ළඟ තබාගත්තවුන්, මහා පරිමාණ ජාවාරම්කරුවන් සහ ඔවුන් සතුව පවතින කේරළ ගංජා තොග පිටින් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව සඳහන් පුවත් මාධ්‍ය මගින් නිතර වාර්තා කිරීම හේතුවෙන්ය.

සැබැවින්ම කේරළ ගංජා ඉන්දියාවේ සිට රැගෙන එන්නේද එසේ නොමැතිනම් මෙරට වැවෙන ගංජා සමග වෙනත් වස විස මුහුකර කේ. ජී. නමින් අලෙවි කරනවාද? යන්න වරින් වර පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශයට පවා ගැටලුවක්‌ වී ඇත්තේ ඒ තරමටම කේ. ජී. විසින් රට තුළ වසංගතයක්‌ නිර්මාණය කරන්නට ගැනීමත් සමඟය.

ඉකුත් දිනක ඉන්දියාවත් ලංකාවත් අතර කලක පටන් සිදුකරගෙන ගොස්‌ ඇති මහා පරිමාණ කේ. ජී. ජාවාරමක්‌ කොටුකර ගැනීමට පානදුර වලාන දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් පිරිසක්‌ සමත්වීමත් සමඟ මෙරටට මුහුදු මාර්ග මගින් කේ. ජී. රැගෙන ඒමේ එක්‌ මධ්‍යස්‌ථානයක්‌ අනාවරණය කර ගැනීමට හැකිවිය. මෙය ලියන මොහොත වන විටද පොලිසිය විසින් ඒ පිළිබඳ වැඩිදුරටත් පරීක්‍ෂණ සිදුකරන අතර නුදුරේ දිනක ඒ පිළිබඳ වැඩිදුරටත් තොරතුරු රටට අනාවරණය වනු ඇත. ඒ හරහා මෙරට කේ. ජී. පැමිණෙන එක්‌ මාර්ගයක්‌ පිළිබඳව තොරතුරු රට හමුවේ හෙළිදරව්වීමට නියමිතය. පහත සඳහන් වන්නේ කලක පටන් යාපනය අර්ධද්වීපයේ පලෙයි පොලිස්‌ වසමට අයත් අයියකච්චි ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකින් අනතුරුව රට පුරා කේ. ජී. බෙදාහරින ලද මහා පරිමාණ ජාවාරමක්‌ සහ ඒ පිළිබඳ තොරතුරු රැසක්‌ අනාවරණය කරගත් කථාවක්‌ය.

පානදුර වලාන දූෂණ මර්දන ඒකකයට ලැබෙන යම් යම් තොරතුරු මත ක්‍රියාත්මක වන දූෂණ මර්ධන ඒකක නිලධාරීන් ඒ පිළිබඳව සිය උපරිම අවධානය යොමු කරනු ලබන්නේ තමන් වෙත ලැබෙන තොරතුරුවල නිවැරදිභාවය පිළිබඳ පැහැදිළි තක්‌සේරුවකට පැමිණීමෙන් අනතුරුවය.

ඒ අනුව ඉකුත් දිනක ඔවුන් වෙත ලැබුණ තොරතුරකින් අනාවරණය කර ඇත්තේ යාපනය පලෙයි ප්‍රදේශයේ අයිකච්චි හන්දිය ආශ්‍රීතව සිදුකරගෙන යන මහා පරිමාණ කේරළ ගංජා (කේ. ජී) ජාවාරමක්‌ පිළබඳ තොරතුරක්‌ය.

වලාන දූෂණ මර්ධන ඒකකය වෙත ලැබුණ තොරතුරු අනුව එම ජාවාරම සිදුකරනු ලැබ ඇත්තේ හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් පිරිසක්‌ විසින්ය. ඔවුන් විසින් අධිවේගී බෝට්‌ටු භාවිතා කරමින් දිනපතා ඉන්දියාවේ සිට මෙරටට කේ. ජී. රැගෙන එන බවත්, ඉන්දියාවට ගොස්‌ මෙරටට කේ. ජී. රැගෙන ඒම පිණිස ඔවුන්ට ගතවන්නේ පැයක තරම් කාලයක්‌ බවත් එම ජාවාරම පලෙයි පොලිස්‌ වසමට අයත් උඩත්තුරෙයි වෙරළ තීරය මුල්කර ගනිමින් සිදුවන බවත් වලාන දූෂණ මර්ධන ඒකකය විසින් වැඩිදුරටත් තොරතුරු අනාවරණය කර ගන්නේය.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම සැළසුම් කරන්නේ ඉන් අනතුරුවය. කලක්‌ එල්. ටී. ටී. ඊ. පාලනයට යටත්ව තිබූ ප්‍රදේශයක්‌ වීමත් මේ වනවිටත් මුළුමනින්ම ද්‍රවිඩ ජාතිකයන් ජීවත්වන ප්‍රදේශයක මෙම වැටලීම සිදු කරන්නට වීමත් පිළිබඳ පුළුල්ව කල්පනා කර බලන වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් ඒ සඳහා වෙනස්‌ම ආකාරයේ සැළසුමක්‌ ක්‍රියාත්මක කරන්නේ මෙම වැටලීමේ ඇති බරපතළකම පිළිබඳව පූර්ණ අවබෝධයක්‌ ලබා ගැනීමෙන් අනතුරුවය.

වලාන දූෂණ මර්ධන ඒකකයේ අධ්‍යක්‍ෂ සහකාර පොලිස්‌ අධිකාරි හේමාල් ප්‍රශාන්ත මහතා විසින් ඒ සඳහා දොළොස්‌ දෙනෙකුගෙන් යුත් නිලධාරීන් කණ්‌ඩායමක්‌ පත්කරන අතර ඒ සඳහා තෝරාගෙන ඇත්තේ මෙවැනි වැටලීම් සඳහා මනා පුහුණුවක්‌ සහ පළපුරුද්දක්‌ සහිත නිලධාරීන් පිරිසක්‌ය.


පළමුව යාපනය ප්‍රදේශය මුල්කරගෙන පවත්වාගෙන ගිය කේ.ජී ජාවාරමට සම්බන්ධ අතරමැදියකුගේ දුරකථන අංකයක්‌ හඳුනා ගන්නා නිලධාරී කණ්‌ඩායම දෙමළ භාෂාව හොඳින් කථා කළ හැකි පොලිස්‌ නිලධාරියකු හරහා යාපනයේ අතරමැදියා වෙත දුරකථන ඇමතුමක්‌ ලබා දෙන්නේය. එම සංවාදයේදී මුස්‌ලිම් ව්‍යාපාරිකයකු ලෙස පෙනී සිටි පොලිස්‌ නිලධාරියකු අතරමැදියා අමතමින් ප්‍රකාශ කර ඇතේ තමන් කොළඹ ප්‍රදේශය ආශ්‍රිතව කේ. ජි. බෙදාහැරීමේ ව්‍යාපාරයක නිරත වන බවත් මේ වනවිට කේ. ජී. ලබා ගැනීමේ විවිධ අපහසුතා පවතින බැවින් තම ව්‍යාපාර කටයුතු කඩාවැටීමේ අවධානමක්‌ පවතින බවත්ය. තවදුරටත් තමන්ට කේ. ජී. ජාවාරමේ යෙදීමේ අවශ්‍යතාවය පවතින බැවින් මුස්‌ලිම් ව්‍යාපාරිකයකු ලෙස පෙනී සිටි පොලිස්‌ නිලධාරියා අවසානයේදී යාපනයේ අතරමැදියාගෙන් විමසා ඇත්තේ ඒ සඳහා තමන්ට උදව් කළ හැකිද යන්නත් හැකියාවක්‌ වෙතොත් හැකි ඉක්‌මනින් තමන්ට කේරල ගංජා (කේජී) කිලෝ 25 ක්‌ ලබා ගැනීමට අතරමැදියකු ලෙස කටයුතු කරන ලෙසත්ය. මුස්‌ලිම් ජාතික ව්‍යාපාරිකයකු ලෙස රංගනයේ යෙදෙමින් චතුර ලෙස දමිළ භාෂාව හසුරුවමින් පොලිස්‌ නිලධාරියා යාපනයේ අතරමැදියා සමඟ ඇසුරක්‌ ගොඩනඟා ගන්නා අතර අවසානයේ දෙපාර්ශ්වයේ එකඟතාවය මත ගනුදෙනු සිද්ධ කිරීමට දිනයක්‌ සහ ස්‌ථානයක්‌ තීරණය කර ගත්තේය.

කථාබහ කරගත් පරිදි ගනුදෙනුව පිණිස වලාන දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් 12 දෙනකු ඉකුත් 11 දා උදෑසන පානදුරෙන් යාපනය බලා පිටත්ව යන අතර ගමනෙහි ඇති අවධානම පිළිබඳ සැලකිල්මත් වූ වලාන දූෂණ මර්ධන ඒකකයේ අධ්‍යක්‍ෂ සහකාර පොලිස්‌ අධිකාරී හේමාල් ප්‍රශාන්ත මහතා ද තම නිලධාරීන් සමඟ යාපනය බලා පිටත්ව ගොස්‌ ඇත.

පැය 10 කට ආසන්න දීර්ඝ ගමනකින් අනතුරුව නිලධාරීන් කණ්‌ඩායම රාත්‍රි 7.00 ට පමණ යාපනය ප්‍රදේශයට ළඟාවී ඇති අතර අදාළ ජාවාරම වැටලීමේ මෙහෙයුම ආරම්භ කර ඇත්තේ ඉන් අනතුරුවය. උදාවන ඕනෑම අභියෝගයකට මුහුණදීමේ සූදානමින් පොලිස්‌ නිලධාරීන් පිරිස කණ්‌ඩායම් දෙකකට බෙදී යාපනය අයියකච්චි හන්දිය අසළට ගොස්‌ තම 'අතරමැදියා' අමතමින් ද්‍රවිඩ භාෂාවෙන් ප්‍රකාශකර ඇත්තේ අදාළ ස්‌ථානයට තමන් පැමිණි බවත් තමන් ඇනවුම් කළ කේරළ ගංජා තොගය හැකි ඉක්‌මනින් එම ස්‌ථානයට රැගෙන එන ලෙසත්ය.

ඒ වනවිටත් ජාවාරම්කරුවන් මුණගැසීම පිණිස මුස්‌ලිම් ව්‍යාපාරිකයන්ගේ වෙස්‌ ගත් පොලිස්‌ නිළධාරීන් දෙදෙනෙක්‌ වෙනම සූදානම්ව සිට ඇති අතර ඔවුන් ජාවාරම්කරුවන් විසින් සඳහන් කළ ස්‌ථානයට ගොස්‌ ඇත්තේ කිසිවෙකුටත් සැක නොසිතෙන අයුරින් පුද්ගලික වෑන් රථයකින්ය. මේ අතර වෙනත් ස්‌ථානයක රැකවල්ලා සිටින සහකාර පොලිස්‌ අධිකාරිවරයා ඇතුළු අනෙකුත් නිලධාරීන් දුරකථන තාක්‌ෂණය හරහා මුස්‌ලිම් වෙස්‌ගත් පොලිස්‌ නිලධාරීන් සමඟ සම්බන්ධ වෙමින් සිදුවන්නේ කුමක්‌ද යන්න පිළිබඳ විපරමින් පසුවී ඇත්තේ ඕනෑම තත්ත්වයකට මුහුණදීමේ සූදානමිනි.

අතරමැදියා විසින් පවසන ලද ස්‌ථානයට යන වෙස්‌ගත් පොලිස්‌ නිලධාරීන් රෑ අඳුර මුවාවී මඳ වේලාවක්‌ ගතවනවිට පාගමනින් පැමිණි දෙදෙනෙක්‌ පළමු තම ගනුදෙනුකරුවන් පැමිණ ඇත්දැයි විපරම් කර බලා එම ස්‌ථානයෙන් පිටත්ව ගොස්‌ ඇති අතර ඔවුන් පිටව ගොස්‌ ඇත්තේ පොලිස්‌ නිලධාරීන් සතුව අදාළ මුදල් ප්‍රමාණයද ඇත්දැයි පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව 'බඩු' රැගෙන එන පොරොන්දුව පිටය.

කාලය තප්පර විනාඩි බවට පත්වෙමින් පැය දෙකකට ආසන්න කාලයක්‌ ගතවී ඇතත් පොරොන්දු පරිදි 'බඩු' රැගෙන කිසිවකු නොපැමිණීම ඔවුන්ට තරමක ගැටලුවක්‌ වී ඇත. වරින් වර දුරකථන ඇමතුම් මගින් පොලිස්‌ නිලධාරීන් අමතමින් ජාවාරම්කරුවන් ප්‍රකාශ කර ඇත්තේ මාර්ගය දිගේ ඉදිරියට පැමිණෙන ලෙසත් අතරමග මුණගැසී ගනුදෙනු නිමා කළ හැකි බවත්ය. එවිට පොලිසිය එම ඉල්ලීමට එකඟව මඳ දුරක්‌ ඉදිරියට ගොස්‌ පවසා ඇත්තේ තමන් ඇනවුම් කළ කේ. ජී. කිලෝ 20 මිලදී ගැනීමට පෙර එහි තත්ත්වය බැලිය යුතු බැවින් අදාළ "බඩු තොගය තමන්ට දැක බලා ගැනීමට සලස්‌වන ලෙසය.

ඒ අනුව මඳ වේලාවක්‌ ගතවීමත් සමඟ යතුරුපැදියක නැගුණ තරුණයකු අදාළ කේරල ගංජා තොගය සමඟ පොලිස්‌ නිලධාරීන් සමීපයට පැමිණ සිය යතුරුපැදිය නවතා ඒ මත වූ පොහොර උරයේ ගැටය ලිහිල් කොට මුස්‌ලිම් වෙස්‌ගත් පොලිස්‌ නිලධාරියා වෙත කේරල ගංජා තොගය පෙන්වීමට යැමත් සමඟම තරුණයාව පොලිස්‌ නිලධාරීන් දෙදෙනා විසින් තමන්ගේ ග්‍රහණයට ගෙන ඇත්තේ ඔහුට කිසිවක්‌ හිතා ගැනීමටවත් නොහැකි අයුරින්ය. මේ සියල්ල දුරකථන තාක්‌ෂණය හරහා අනෙක්‌ පොලිස්‌ නිලධාරීන්ට දැක ගැනීමට ලැබීමත් සමඟ ඔවුන් එම ස්‌ථානයට සැනකින් පිවිසෙන අතර වැඩිදුර මෙහෙයුම් සිද්ධ කරන්නේ ඉන් අනතුරුවය.

අත්අඩංගුවට ගත් පුද්ගලයාගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවී ඇති තොරතුරුවලට අනුව කලක පටන් මෙම ජාවාරම සිද්ධකර ඇත්තේ යාපනය උඩුත්තුරෙයි වෙරළ තීරය මුල්කර ගනිමින්ය. පැයක කාලයක්‌ ඇතුළත් ඉන්දියාවට බෝaට්‌ටු මගින් ගොස්‌ මෙම ජාවාරම්කරුවන් විසින් කේරල ගංජා රැගෙන විත් උඩුත්තුරෙයි මුහුදු වෙරළේ තැන තැන වළලා තබන අතර ගනුදෙනු සිදුවන්නේ ඇනවුම් කළ ප්‍රමාණයට අනුවය. ඒ අනුව යාපනයේදී කේරල ගංජා කිලෝ එකක්‌ රුපියල් ලක්‌ෂයකට ජාවාරම්කරුවන් විසින් අලෙවි කොට ඇත.

මෙම වැටලීම සඳහා පානදුර වලාන දූෂණ මර්ධන ඒකකයේ අධ්‍යක්‍ෂ සහකාර පොලිස්‌ අධිකාරි හේමාල් ප්‍රශාන්ත මහතාගේ උපදෙස්‌ හා සම්බන්ධවීම මත උ. පො. ප. අජිත් ශාන්ත, උ. පො. ප. ජයසිංහ, පො. සැ. (28176) ජයලත්, පො. සැ. (39546) වික්‍රමරත්න, පො. කො. (39706) සිල්වා, පො. කො. (428) ජයලාල්, පො. කො. (2921) පද්මසිරි, පො. කො. (70407) සඳරුවන්, පො. කො. (78228), එරන්ද, පො. කො. (38604), රංගන, පො. කො. (84889), උදයකුමාර, පො. කො. (76176) සදිශ් යන නිලධාරීන් සහභාගි වූහ.



Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks

More News »