විනිසුරුවන්ට වෙඩි තබා පොලීසියට
කැපුම් තුවාල කර යාපනය මේ සැරසෙන්නේ
ඊළඟ යුද්ධයටද ?

2017-08-09 10:43:00       527
feature-top
යාපනයේ කෝපායි පොලිස්‌ වසම තුළ පිහිටි පොන්නාඩි හන්දිය අසලදී පසුගිය ඉරිදා සවස රාජකාරියේ යෙදී සිටි පොලිස්‌ නිලධාරීන් දෙදෙනකුව කඩුවලින් කපා බරපතළ තුවාල සිදුකිරීමත් සමඟම ඉලන්චෙලියන් විනිසුරුවරයා යාපනයේ සිට දකුණට දුන් සංහිඳියාවේ පාඩම වෙනත් පිටුවකට පෙරළී ගොස්‌ තිබේ.

යතුරුපැදි පෙරහැරකින් පැමිණි දෙමළ තරුණයන් දහ දෙනකු විසින් කඩුවලින් කපා දැමූ පොලිස්‌ නිලධාරීන් දෙදෙනාගෙන් එක්‌ අයෙකු ද්‍රවිඩ ජාතික පොලිස්‌ නිලධාරියෙකු වන අතර අනෙක්‌ නිලධාරියා සිංහල ජාතිකයෙකි.

පොලිස්‌ නිලධාරීන් දෙදෙනාව කපා දැමීමට හේතුව කුමක්‌ වුවත් යාපනයේ තරුණයන් පිරිසකට මහ දවල් මේ අන්දමේ සිද්ධියක්‌ සිදුකොට පලායැමට තරම් "හයියක්‌" ලැබී තිබේ. එසේම ඔවුන් වීරයින් මෙන් කෑකෝ ගසමින් එම ප්‍රදේශය දෙවනත් කොට ඇත. මේ සිද්ධියත් යාපනයේ මහාධිකරණ විනිසුරු මානික්‌කවාසගර් ඉලන්චෙලියන්ගේ ආරක්‌ෂාවට සිටි පොලිස්‌ සැරයන් හේමචන්ද්‍රට වෙඩි තැබීමේ සිද්ධියත් උතුරේ සිදුවන සෙසු සිද්ධීන් දෙසත් ඉතා වුවමනාවෙන් බලනවිට උතුර තුළ කිසියම් අලුත් දෙයක්‌ සිදුවෙමින් පවතී.

මෙවැනි ක්‍රියාදාමයන් සඳහා කිසි විටෙකත් සාමාන්‍ය පුද්ගලයන්ට අවතීර්ණ විය නොහැක. මෙවැනි සිද්ධීන් පසුපස ඉතා පළපුරුදු පිරිස්‌ සිටින බවට කිසිදු සැකයක්‌ද නොමැත.

උතුරේ ඉතා සුලු සිද්ධියක්‌ පවා සිදුවන විට දකුණේ වැසියෝ "ආයෙත් වැඩේ පටන් අරගෙන වගේ" යනුවෙන් සැකයෙන් මුසුව කතා කිරීම මේ වනවිට පුදුමසහගත නොවන තත්ත්වයකට පත්ව තිබේ.

ඉලන්චෙලියන් විනිසුරුවරයාට වෙඩි තැබීමේ සිද්ධියෙන් දින හතරකට පසුව යාපනයේදී පොලිස්‌ නිලධාරීන් දෙදෙනකුට පහරදීමේ සිද්ධිය පිටුපස සිටින්නේද එල්. ටී. ටී. ඊ. යට දර දිය අදින ලද තරුණයින් පිරිසක්‌ බවට තොරතුරු වාර්තාවේ. ඔවුන්ද පුනරුත්ථාපනය වූ පිරිසක්‌ හෝ ආරක්‌ෂක අංශ හමුවේ අත්අඩංගුවට නොගත් පිරිසකි.

ඉලන්චෙලියන් විනිසුරුවරයාගේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු එල්. ටී. ටී. ඊ. යේ සිටියද ඔහු රජයේ පුනරුත්ථාපන වැඩසටහනට හසු නොවූ පුද්ගලයෙකි. එනම් ඔහු මේ රට තුළ සැඟවී සිටින එල්. ටී. ඊ. සාමාජිකයෙකි. රට තුළ සැඟවී සිටියේද? තවදුරටත් සැඟවී සිටින්නේද? යන එල්. ටී. ටී. ටී. ඊ. සාමාජික සාමාජිකාවන් පිරිස මේ යාපනයේදී හමුවූ පිස්‌තෝලකරුවාම පමණක්‌ නොවේ.

අපේ රටේ ආරක්‌ෂක අංශ පෙන්වා දෙන අන්දමට උතුරු ප්‍රදේශය තුළ පමණක්‌ සැඟවී සිටින පුනරුත්ථාපනය නොවූ එල්. ටී. ටී. ඊ. සාමාජික සාමාජිකාවන් පිරිස දෙසීයකටද අධිකය. සැඟවී හොරට සිටින එල්. ටී. ටී. ඊ. සාමාජිකයන්ගේ පිටට තට්‌ටුකොට එකයි, දෙකයි, තුනයි වශයෙන් අපේ ආරක්‌ෂක අංශවලට ගණන් කිරීමට හැකියාවක්‌ නොමැත. බුද්ධි අංශ විසින් සපයා ගන්නා ලද තොරතුරුවලට අනුව දැනට හෙළිකරගෙන ඇත්තේ හොරට සැඟවී සිටින එල්. ටී. ටී. ඊ. සාමාජික, සාමාජිකාවන්ගේ ගණන දෙසීයකට මඳක්‌ වැඩි බව පමණකි.

මේ රටේ කිසිදු හොරෙකු එළිපිට වාසය කරන්නේ නැත. ආරක්‌ෂක අංශවල දෑස්‌වලට වැලිගසා එල්. ටී. ටී. ඊ. සාමාජික, සාමාජිකාවන් සැඟවී සිටින්නේද මේ රටේ අනෙක්‌ හොරුන් සැඟවී සිටින අන්දමටමය.

මේ වනවිට උතුරු ප්‍රදේශය තුළ "දවල් මිගෙල් රෑ දනියෙල්" චරිත රඟපානු ලබන්නේ මේ හොර කොටි රැළ බවට පසුගිය කාලය තුළ අවශ්‍ය තරම් සාධක අපිට හමුවිණි. ඉලන්චෙලියන් විනිසුරුවරයාගේ සිද්ධියට සම්බන්ධ වූ හොර එල්. ටී. ටී. ඊ. සාමාජිකයා ක්‍රියාත්මක වූයේ දෙනෝ දාහක්‌ බලා සිටියදී සවස්‌ කාලයේදීය.

යාපනය නල්ලූර් වැනි ප්‍රදේශයක්‌ සෑමවිටම ජනාකීර්ණ වන්නේ නල්ලූර් පුදබිමට වෙලාවක්‌ කලාවක්‌ නොමැතිව වැසියන් වන්දනාමාන, පුද පූජා කටයුතු සඳහා පැමිණෙන නිසාවෙනි. එවැනි කලබල පරිසරයකදී කිසිදු බියක්‌ සැකක්‌ නොමැතිව හොර කොටි සාමාජිකයකුට ක්‍රියාත්මක විය හැකිනම් රාත්‍රි කාලයේදී හා ජනශූන්‍ය ප්‍රදේශවලදී මේ කොටි සාමාජිකයන්ට ඕනෑම ජවුසමක්‌ නැටිය හැකිය.

ඉලන්චෙලියන් විනිසුරුවරයාගේ සිද්ධිය සිදුවී එහි උණුසුම මැකීයැමටත් පෙර පට්‌ට දවල් මෝටර් රථයකින් පැමිණි හොර කොටියකු වවුනියාව දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලයේ ඔසවා තිබූ සිංහ ධජය පහළට දමා එය පාගා පලා ගියේය. දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලය තුළ පොලිස්‌ මුරපොළක්‌ ක්‍රියාත්මක වන අතර ඒ භූමිය වටාද නිරන්තරයෙන් දිවා රාත්‍රි දෙකෙහිම පොලිස්‌ නිලධාරීහු ගැවසෙති. නමුත් හොර කොටියා මේ සියල්ල සිදුකොට දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාල භූමියෙන් පිටව ගියේය.

පොලිසියට ලැබුණු තොරතුරු මත ඔහුව පසුව අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවුණි. එහෙත ¨ඔහු මන්ද මානසිකත්වයෙන් එසේත් නොමැතිනම් "පිස්‌සුවකින්" පෙළෙන උම්මත්තකයෙකු සේ සලකා පොලිසිය ඔහුව නඩු නොමැතිවම නිදහස්‌ කළේය.

අපේ රටේ උම්මත්තකයන්ට රිය පැදවීමේ බලපත්‍ර ලබාදී තිබේ. මහපාරේ උම්මත්තකයන් රිය පදවන්නේ නම් නියම මිනිසුන්ගේ ජීවිතවලට එන අවදානම සුළුපටු නොවේ. මෙකී උම්මත්තකයාට වැළඳී ඇත්තේ ජාතික ධජය බිම දමා පෑගීමේ පිස්‌සුවක්‌ පමණද? ඔහුට ඒසා මහත් විශාල දෙයක්‌ කිරීමට හැකියාවක්‌ ඇත්නම් ඇත්තෙන්ම ඔහුට පිස්‌සුවක්‌ තිබේද? මේවා අපට විස¹ ගැනීමට නොහැකි ප්‍රශ්න බවට මෙන්ම අවබෝධ කරගත නොහැකි ප්‍රශ්න බවට පත්ව තිබේ.

යාපනයේ නල්ලූර් ප්‍රදේශයේද හොර කොටියා පොලිස්‌ සැරයන්වරයාගේ පිස්‌තෝලය උදුරාගෙන ඔහුටම වෙඩි තබද්දී පොලිසිය ප්‍රකාශ කළේ බීමත්ව සිටි පිරිසක්‌ මේ වෙඩි තැබීම සිදුකළ බවය. සිද්ධිය වූ තැන පොලිස්‌ සැරයන්වරයා සමඟ මත්පැන් පානය නොකළ සන්නද්ධ පොලිස්‌ නිලධාරීන් තුන්දෙනෙකුම සිටියහ. ඔවුන්ගේ තුවක්‌කු ක්‍රියාත්මක නොවූවත් බීමත්ව සිටියේ යෑයි කියන හොර කොටියා නිවැරදි ඉලක්‌කය ගෙන පොලිස්‌ සැරයන්වරයාටද තවත් පොලිස්‌ කොස්‌තාපල්වරයකුටද වෙඩි තබා තුවාල සිදු කළේය. බීමත්ව සිටි අයෙකුටත්, උම්මත්තකයන්ටත් මෙවැනි දේවල් කළ හැකිනම් හොඳ සිහියෙන් සිටින පිරිස්‌ කරන්නේ කුමක්‌ද? යන්න අපට නම් ගැටලුවකි.

මේ රටේ යුද සමයටත් පෙර එනම් 1977 කාල වකවානුවේදී එල්. ටී. ටී. ඊ. ය ක්‍රියාත්මක වනවිටත් අපේ රටේ පාලකයෝ මෙන්ම ආරක්‌ෂක අංශ ප්‍රකාශයට පත්කළ විහිලු කතා ඕනෑ තරම්ය. අත්අඩංගුවට ගත් ප්‍රභාකරන් නිදහස්‌කොට ගෙදර යෑවීමට තරම් විහිලුකාර පිරිසක්‌ එදා ද අප රට තුළ සිටියහ.

වසර තිහක්‌ම ඒ නිදහස්‌ කළ ප්‍රභාකරන්ගෙන් මුළු රටම ගුටි කෑවද? තවත් අපේ මෝඩ කතා හා මෝඩ ක්‍රියා නතර වී නොමැත. පුනරුත්ථාපනය නොවූ එල්. ටී. ටී.ඊ. සාමාජික සාමාජිකාවන් දෙසීයකට මඳක්‌ වැඩි පිරිසක්‌ මේ රටේ උතුරු පළාත තුළ පමණක්‌ සිටින බවට තොරතුරු හෙළි වුවත් ඔවුන්ගෙන් එක්‌ සාමාජිකයකු හෝ මේ වනතුරු ආරක්‌ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන නොමැත. ඉලන්චෙලියන් විනිසුරුවරයාගේ සිද්ධියට සම්බන්ධ හොර කොටියාද පොලිසිය ගොස්‌ අත්අඩංගුවට නොගත්තේය. කිසියම් හේතුවක්‌ නිසා ඔහු පැමිණ පොලිසියට බාර වූයේය. වෙඩි තැබූ සැණින් ඔහු බස්‌ රියක නැගී හෝ දකුණට පැමිණ කොළඹ දෙමළ ගෙදරක සැඟවිණි නම් පොලිසියට තවමත් ඔහුව අත්අඩංගුවට ගැනීමට නොහැකි වන්නේය.

අපි මේ කියන උතුරේ සැඟවුණු කොටි අත්අඩංගුවට ගන්නේ ඔවුන් යම් දාමරික ක්‍රියාවකට සම්බන්ධ වුවහොත් පමණි. අත්අඩංගුවට ගත් පසුව ඔහු කොටියෙක්‌ යෑයි විලිලැඡ්ජාවක්‌ නොමැතිව ප්‍රකාශයට පත් කරයි. ඒ කොටින් පිස්‌තෝල පත්තු කිරීමට පෙර හෝ වෙනත් සාපරාධී ක්‍රියාවල නිරත වීමට පෙර අත්අඩංගුවට ගැනීමට නොහැකි වන්නේ මන්ද?

ඉලන්චෙලියන් විනිසුරුවරයාගේ සිද්ධියට පෙර උතුරේ තවත් අවස්‌ථා කිහිපයකදීම බොහෝ දේ සිදුවිය. කිලිනොච්චියේ පලෙයි ප්‍රදේශයේදී පොලිස්‌ මෝටර් රථයකට සැඟවී සිටි තුවක්‌කුකරුවකු ටී. 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි ප්‍රහාර තුනක්‌ම එල්ල කළේය. ඒ තුවක්‌කුකරු වෙඩි තබා පලාගොස්‌ සැඟවුණා පමණි. සැකකරු තවමත් නිධන්ගත පුද්ගලයෙකි. මේ ක්‍රියාවට සම්බන්ධ පුද්ගලයා කෙදිනක හෝ පැමිණ බාරවූයේ නම් හෝ අත්අඩංගුවට පත්වූයේ නම් ඔහුද පුනරුත්ථාපනය නොවූ එල්. ටී. ටී. ඊ. සාමාජිකයකු බවට පොලිසියට ප්‍රකාශයක්‌ කිරීම අනිවාර්යෙන්ම සිදුවන්නකි.

යාපනයේ පේදුරුතුඩුව ප්‍රදේශයේදී වැලි පටවා ගත් ටිපර් රථයකට පොලිසිය වෙඩි තැබීමෙන් එක්‌ පුද්ගලයකු මිය ගියේය. පැය කීපයක්‌ යැමට පෙර වෙඩි තැබීම සිදුකළ යාපනයේ පදිංචි දෙමළ ජාතික පොලිස්‌ පරීක්‍ෂකවරයාගේ නිවස කුඩු පට්‌ටම් කළේය. මේ ක්‍රියාව සඳහා තරුණයන් පිරිසක්‌ ගොස්‌ ඇත්තේ යතුරුපැදි පෙරහැරකිනි. සාමාන්‍ය දෙමළ තරුණයන්ට මෙවැනි විගඩමක්‌ නැටීමට ශක්‌තියත් කිසිසේත් නොමැත. මේ නිසා මේ පසුපස සිටින්නේද පුනරුත්ථාපනය නොවූ එල්. ටී. ටී. ඊ. සාමාජික පිරිසක්‌ බවට කතා දෙකක්‌ නොමැත.

ඊටත් පෙර යාපනයේ ඉතිහාසය දෙස බලන විට (මෑත කාලීන ඉතිහාසය) යාපනය තුළ බිහිවූ සන්නද්ධ කණ්‌ඩායම් අපමණය. "ආවා ගෲප්" "ගියා ගෲප්" ..."එනවා ගෲප්" වශයෙන් ඔවුන්ට රම්බෝ චිත්‍රපටවල මෙන් ආරූඪ නම් පටබැඳ එල්ලුවා මිස ඔවුන් කවුරුන්ද ඔවුන්ගේ සම්භවය කුමක්‌ද යන්න කිසිවකු විසින් හෝ සොයා නොබැලූහ. වාසනාවකට ඔවුන් අත තිබුණේ පොලු, මුගුරු, කඩු, කිණිසි හා විශාල පිහි කිහිපයක්‌ පමණි.

මේ තරම් සිදුවීම් අප හුවා දක්‌වන්නේ පුනරුත්ථාපනය නොවූ හොර කොටින්ගෙන් ඉදිරියේදී සිදුවිය හැකි අවදානම් සහගත තත්ත්වයන් පෙන්වා දීමටය. පුනරුත්ථාපනය නොවූ කොටි මේ අන්දමට හැසිරෙද්දී රජයෙන් පුනරුත්ථාපනය වූ කොටින්ගේ වර්තමාන තත්ත්වය කෙරෙහිද අවධානය යොමු කිරීම ඉතා වැදගත් වෙයි.

අද වනවිට පුනරුත්ථාපනය වූ කොටින්ගෙන් විශාල පිරිසකට රැකියා නොමැත. පුනරුත්ථාපනය වූ පිරිසෙන් කොටසක්‌ ආරක්‌ෂක අංශවලට එක්‌වී රාජ්‍ය සේවකයන් බවට පත්ව සිටිති. පෙදරේරු, වඩුවැඩ, රූපලාවන්‍ය වැනි පාඨමාලාවන් හදාරා සමාජගත වූ පිරිසට අද ස්‌ථිර ආදායම් මාර්ගයක්‌ නොමැත. ආර්ථික දරිද්‍රතාවය නිසා උතුරේ සිදුවන විවිධ කොල්ලකෑම්, හොරකම් හා තවත් අපරාධ ක්‍රියාවලට සහසම්බන්ධ වන්නේ මේ පිරිසෙන් කොටසක්‌ය. මේ හේතුව නිසා රජයෙන් පුනරුත්ථාපනය වූ හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජික සාමාජිකාවන්ගේ ක්‍රියා කලාපයන් ගැනද සොයා බැලිය යතුවෙයි.

මේ දෙවර්ගයේම පිරිස උතුරු කරලියේ විවිධ භූමිකා රඟදක්‌වන අතරතුර යුරෝපා සංගමය මගින් එල්. ටී. ටී. ඊ. ය සඳහා වූ තහනම ඉවත්කොට තිබේ. විශාල පිරිසක්‌ ලෝක සංවිධානවලට බලපෑම් කරමින් ඉල්ලා සිටින්නේ ශ්‍රී ලංකාව තුළද පනවා ඇති එල්. ටී. ටී. ඊ. තහනම ඉවත් කරන ලෙසයි. මේ රටේ ක්‍රියාත්මක ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත අහෝසි කර ගැනීමට කෙරෙන බලපෑම අතිවිශාලය. මේ පනත ඉවත් කිරීමේ තත්ත්වය දැන් වැට උඩට පැමිණ තිබේ. පනින රිලවුන්ට ඉනිමං සකසා දීමට දෙමළ ඩයස්‌ පෝරාව වලිකති. මේ අතරතුර එල්. ටී. ටී. ඊ. ක්‍රියාකාරකම් වෙනස්‌ මුහුණුවරවල් තුළින් උතුරු පළාත තුළ ක්‍රියාත්මක වෙයි. මේ රටේ යළිත් යුද්ධයක්‌ ඇතිවීමට තරම් ඇති ඉඩකඩ වත්මන් පරිසරය තුළ ඉතා අල්ප බව සත්‍යයකි. නමුත් සැකය හා අවිශ්වාසය සමග සිදුවන දේ බොහෝය. මේ ක්‍රියාකාරකම් උතුරු පළාත තුළ යළිත් ඔඩු දිවීමට පෙර සමනය කිරීමේ වගකීම ඇත්තේ රජය සතුවය. උතුරේ වැසියන්ට පමණක්‌ නොව සමස්‌ත ශ්‍රී ලාංකික වැසියන්ට සාමයෙන්, සමගියෙන් හා සමාදානයෙන් යුතුව ජීවත්වීමට හැකි සාමකාමී වාතාවරණයක්‌ සකසා දිය යුත්තේ රජය විසින්මය. එය රජයේ වගකීමක්‌ද වන්නේය.



Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks

More News »