පිළිමය රු. කෝටි පනස්‌ පහයි විකුණන්න ගිය හොරු මාට්‌ටු....

2017-08-08 10:04:00       555
feature-top
* වෙස්‌වලාගත් පොලිස්‌ නිලධාරියෙක්‌
   බ්‍රෝකර් ලෙස පෙනී සිටියි...

ඉකුත් දිනක පානදුර වලාන මධ්‍යම දූෂණ මර්ධන ඒකකය වෙත ඔත්තුකරුවෙකුගේ මාර්ගයෙන් නීති විරෝධීව සිදු කරන්නට යන ඡාවාරමක්‌ පිළිබඳ තොරතුරක්‌ අනාවරණය වන්නේය. ඉන් කියවෙන්නේ මිල කල නොහැකි පෞරානික වටිනාකමකින් යුත් දඹ රන් බුදුපිළිමයක්‌ සහිත ගලින් නිම කරවන ලද චෛත්‍යයක්‌ ඡාවාරම් කරුවන් පිරිසක්‌ විසින් වෙනත් පුද්ගලයෙකුට අලෙවි කිරීමට සැලසුම්කර ඇති ඡාවාරමක සුළමුලය.

පානදුර වලාන දූෂණ මර්ධන ඒකකයේ වැඩ බලන අධ්‍යක්‍ෂ සහකාර පොලිස්‌ අධිකරී හේමාල් ප්‍රශාන්ත මහතා වෙත සිය පුද්ගලික ඔත්තුකරුවෙකුගේ මාර්ගයෙන් ලැබෙන මෙම තොරතුරෙහි වැඩි දුරටත් සඳහන්ව ඇත්තේ අදාළ ජාවාරම රුපියල් කෝටි 50 ක මිලකට සිදු කිරීමට සැලසුම් කර ඇති බවක්‌ය.

තමන් වෙත ලද තොරතුරු පිළිබඳ වඩාත් විමසිලිමත්වන සහකාර පොලිස්‌ අධිකාරීවරයා ඒ පිළිබඳ වැඩිදුරටත් තොරතුරු විමසීමේදී හෙලි වී ඇත්තේ අදාළ ඡාවාරම ඇඹිලිපිටිය ප්‍රදේශය මුල්කරගෙන සිදුකිරීමට නියමිත බවත් එය මිලදී ගැනීමට ඒ වන විටත් පුද්ගලයෙකු ඉදිරිපත්ව ඇති බවත්ය. එසේ මිලදී ගන්නා දඹ රන් පිළිමය විදේශීයයෙකු හට අලෙවි කිරීමට සූදානමක්‌ පවතින බවක්‌ද ඔත්තු කරු විසින් ලබා දුන් තොරතුරුවල වැඩි දුරටත් සඳහන්ව ඇත.

තමන් වෙත ලැබුණ තොරතුරු අනුව මෙම ජාවාරම සිදු කරන ඡාවාරම්කරුවන් කෙසේ හෝ අත්අඩංගුවට ගත යුතු බව තීරණය කරන සහකාර පොලිස්‌ අධිකාරීවරයා පළමුව ඒ පිළිබඳ තම උසස්‌ නිලධාරීන් දැනුවත් කරන්නේය. ඉන් අනතුරුව වලාන දූෂණ මර්ධන ඒකකයට අනුයුක්‌තව සේවය කරන පොලිස්‌ නිලධාරීන් පිරිසක්‌ තමන් වෙත කැඳවන සහකාර පොලිස්‌ අධිකාරීවරයා සිද්ධිය පිළිබඳව ඔවුන් දැනුවත් කර වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ කඩිනමින් එම වැටලීම සිදු කළ යුතු බවය.

ඒ අනුව පානදුර වලාන දූෂණ මර්ධන ඒකකයේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක රංජිත් රාජපක්‍ෂ මහතාගේ උපදෙස්‌ මත පොලිස්‌ නිලධාරීන් කණ්‌ඩායමක්‌ අදාළ වැටලීම සඳහා සූදානම් වන අතර එම සැලසුම් ක්‍රියාත්මක කර ඇත්තේ ඉතාමත් සූක්‌ෂම ආකාරයෙන්ය. එවැනි වැටලීම් පිළිබඳ මනා අවබෝධයක්‌ ඇති නිලධාරීන් පිරිසක්‌ මේ සඳහා ඉදිරිපත් වන අතර ඔවුන් එම වැටලීම සිදුකර ඇත්තේ පියවර කීපයක්‌ ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුවය.

පළමුව සහකාර පොලිස්‌ අධිකාරීවරයාට ඔත්තුව ලබා දුන් පුද්ගලයා සමඟ එක්‌ පොලිස්‌ නිලධාරිවරයෙකු ඇඹිලිපිsටිය ප්‍රදේශයට පිටත් කොට හරින අතර ඔහුගේ ජවනිකාව වී ඇත්තේ විකිණීමට නියමිත දඹරන් බුදු පිළිමය මිලදී ගැනීමේ අතරමැදියෙකු ලෙස පෙනී සිටීමය. ඒ පිළිබඳ මනා දැනීමක්‌ ඇති නිලධාරියෙකු මේ සඳහා යොදාගන්නා අතර මෙහෙයුම ඇරඹෙන්නේ ඔහුගේ මැදිහත්වීම මතය.

ඒ අනුව තොරතුරු ලබාදුන් පුද්ගලයා සමඟ ඉකුත් 31 දා ඇඹිලිපිටිය ප්‍රදේශයට යන සිවිල් ඇදුමින් සැරසුන පොලිස්‌ කොස්‌තාපල්වරයෙකු අදාල ජාවාරමට සම්බන්ධ වෙනත් අතර මැදියෙකු මුණගැසෙන අතර එහිදී පොලිස්‌ කොස්‌තාපල්වරයා විසින් පවසා සිටින්නේ තමන් දන්නා හඳුනන ව්‍යාපාරිකයෙකු රන් පිළිමය මිලදී ගැනීමට කැමැත්තෙන් සිටින බවත් ඒ සඳහා රුපියල් කෝටි 55 ක මුදලක්‌ ගෙවීමට ඔහු සූදානමින් සිටින බවත් තමන්ට එම ගනුදෙනුවේ තැරැව්කරුවෙකු ලෙස පෙනී සිටිය හැකි ඇඹිලිපිටිය ප්‍රදේශයේදී මුණ ගැසුන තැරැව්කරුට ඒ බව පවසා සිටීමෙන් අනතුරුව ඔහු විසින් ප්‍රකාශ කර ඇත්තේ ඒ පිළිබඳව තමන් පිළිමයෙ හිමිකරුවන් සමඟ කතා කිරීමෙන් අනතුරුව පිළිතුරක්‌ ලබා දිය හැකි බවත්ය. අනතුරුව දුරකථන අංක හුවමාරු කර ගන්නා දෙපාරිස විසිරී යනඅ තර පොලිස්‌ කොස්‌තාපල්වරයා සහ ඔත්තුකරු නැවත පානදුර බලා පැමිණ සිද්ධිය පිළිබඳ සිය උසස්‌ නිලධාරීන් දැනුවත් කර ඇත.


වැටලීම සිදුකළ පොලිස්‌ කණ්‌ඩායම
ඉන් අනතුරුව ගත වී ඇත්තේ එක්‌ දිනක්‌ පමණය. ඉකුත් 01 දා පොලිස්‌ කොස්‌තාපල්වරයාගේ පෞද්ගලික දුරකථනයට ඇමතුමක්‌ ලබා ගන්නා ඇඹිලිපිටිය ප්‍රදේශයේදී මුණ ගැසුන තැරැව් කරු ප්‍රකාශ කර ඇත්තේ ගනු දෙනුව සිදුකිරීම සඳහා රන් පිළිමයේ හිමිකරුවන් කැමැත්තෙන් පසුවන බවක්‌ය. ඒ සඳහා දිනයක්‌ වේලාවක්‌ හා ස්‌ථානයක්‌ කතිකා කර ගන්නා ඇඹිලිපිටියේ තැරැව් කරු එහිදී වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ අලෙවි කිරීමට නියමිත පිළිමය නිධානයකින් ලබාගත් එකක්‌ බැවින් වස්‌දොස්‌ නොවදින ආකාරයට ගනුදෙනුව සිදු කළ යුතු බවත් ඒ සඳහා උදෑසන කාලය වඩාත් යෝග්‍ය වන බවත්ය.

ඒ වන විටත් ජාවාරම් කරුවන් විසින් විකිණීමට නියමිත රන් පිළිමය තැන්පත් කොට ඇති චෛතයේ ඡායාරූප දුරකථන මාර්ගයෙන් පොලිස්‌ නිලධාරීන්ට ලැබී තිබී ඇති අතර වැටලීම සඳහා පොලිස්‌ නිලධාරීන් කණ්‌ඩායම ඇඹිලිපිටිය ප්‍රදේශයට පිටත්ව යන්නේ ඉන් අනතුරුවය.

එම පොලිස්‌ නිලධාරීන් කණ්‌ඩායමට සහකාර පොලිස්‌ අධිකාරී හේමාල් ප්‍රශාන්ත මහතාද අයත් වන අතර ඔහු ඇතුළු නිලධාරීන් 9 දෙනෙකුගෙන් යුත් කණ්‌ඩායමක්‌ ඊට ඇතුලත් වී ඇත. ඉකුත් 02 දා රාත්‍රියේ පානදුරයෙන් පිටත්ව යන පොලිස්‌ නිලධාරීන් කණ්‌ඩායම අළුයම 3.00 ට පමණ ඇඹිලිපිටිය ප්‍රදේශයට ගොස්‌ ඇත. දුරකථන මාර්ගයෙන් පොලිස්‌ කොස්‌තාපල්වරයා ඇමතූ ඇඹිලිපිටිය තැරැව්කරු මුදල් ද රැගෙන පැමිණිය යුතු බවත් මුදල් රැගෙනවිත් ඇද්දැයි බැලීමෙන් අනතුරුව ගනුදෙනුව සිද්ධ වන බවත් ප්‍රකාශ කිරීම හේතුවෙන් පොලිස්‌ කණ්‌ඩායම එහි ගොස්‌ ඇත්තේ බීෆ් කේස්‌ එකක තැන්පත් කළ යම් මුදල් ප්‍රමාණයක්‌ද රැගෙනය.

ගමන සඳහා පොලිස්‌ ජීප් රථයක්‌ සහ වෑන් රථයක්‌ යොදා ගන්නා පොලිසිය කණ්‌ඩායම් දෙකකට බෙදී ඇඹිලිපිටියට යන අතර ඇඹිලිපිටිය ගොස්‌ දුරකථනය මගින් පවසා ඇත්තේ මුදල් ද රැගෙන තමන් ඇඹිලිපිටිය පැමිණ ඇති බවත් ගනුදෙනුව හැකි ඉක්‌මනින් නිමා කොට තමන්ට කොළඹ යා යුතු බවත්ය.

එයට පිළිතුර දෙන තැරැව්කරු ප්‍රකාශ කොට ඇත්තේ උදෑසන 6.00 ට පමණ පිළිමයද රැගෙන පිරිසක්‌ ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැව අසලට පැමිණෙන බවය. ඒ අනුව සිවිල් ඇඳුමින් සැරසුන පොලිස්‌ නිලධාරීන් පිරිසක්‌ ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැව අසලට ගොස්‌ ඇති අතර තවත් පිරිසක්‌ අවට රැකවල්ලා විමසිලිමත්වන්නේ රන් පිළිමයද රැගෙන ජාවාරම් කරුවන් එම ස්‌ථානයට පැමිණෙන තුරුය. ඒ අනුව උදෑසන 6.30 ට පමණ ත්‍රීරෝද රථයක නැගුන දෙදෙනෙක්‌ චන්ද්‍රිකා වැව අසලට පැමිණ ඇති අතර වෑන් රථයට මදක්‌ එපිටින් ත්‍රීරෝද රථය නතර කර ඇති ඔවුන් ඒ අසලට පැමිණෙන ලෙස පොලිස්‌ කොස්‌තාපල්වරයාට අතින් සංඥා කර ඇත.

ගොදුර තමන් අභිමුවට පැමිණ ඇති බව තේරුම් ගන්නා පොලිස්‌ කොස්‌තාපල්වරයා ඒ අසලට ගොස්‌ තමන් මුදල්ද රැගෙන පැමිණි බව ජාවාරම් කරුවන්ට ප්‍රකාශ කර ඇත. ඉන් අනතුරුව ඡාවාරම්කරුවන් එම ස්‌ථානයෙන් පිටත්ව ගොස්‌ ඇත්තේ රන් පිළිමය රැගෙන නැවතත් එම ස්‌ථානයට පැමිණීමේ පොරොන්දුව පිටය. ඉන් අනතුරුව පැයකට ආසන්න කාලයක්‌ ගතවීමත් සමඟ ජාවාරම්කරුවන් නැවත පැමිණ ඇත්තෙ ගනුදෙනුව නිමා කිරීමේ අරමුණින් යුතුව රන් පිළිමයද රැගෙනය.

පොලිස්‌ නිලධාරීන් පිරිසක්‌ වෑන් රථයේ සිටින අතර තුර එක්‌ නිලධාරියෙක්‌ වෑන් රථයෙන් බැස නැවත ජාවාරම් කරුවන් සමීපයට ගොස්‌ ඇත්තේ අදාල පිළිමය ත්‍රිවිල් රථයේ තිබේ දැයි සැක හැර දැනගැනීමට පිණිසය. ත්‍රිවිල් රථය අසලට ගොස්‌ ඇති පොලිස්‌ නිලධාරියාට දැකගත හැකි වී ඇත්තේ පිළිමය සහිත අඟල් 14 පමණ උසකින් යුත් චෛත්‍යයක්‌ ත්‍රීවිල් රථයේ පිටුපස අසුනට ඉහළින් ඇති කොටසේ රදවා තිබෙන අයුරුයි. වහාම ක්‍රියාත්මක වී ඇති ඔහු ඒ පිළිබඳව අවට රුකවල්ලා සිටින අනෙක්‌ නිලධාරීන්ට පැවසීමට උත්සාහ කිරීමත් සමඟ සැකකරුවන් පලා යැමට උත්සාහ දරා ඇතත් පොලිසියෙන් මීදී පලා යැමට නොහැකි වන අයුරින් නිලධාරීන් පිරිස ඔවුන්ව වටකර ඇති අතර ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉන් අනතුරුවය.

පසුව ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත්තේ විකිණීම පිණිස රැගෙන ආ රන් පිළිමය වෙනත් පුද්ගලයෙකුට අයිති එකක්‌ බවත් ඔහු විසින් තමන්ට එය අලෙවි කිරීම පිණිස ලබා දුන් බවත්ය. එය රුපියල් කෝටි 5 කට අලෙවි කිරීමේ පොරොන්දුව පිට ලබාගත් බවත් තැරැව්කරුවන්ගේ මාර්ගයෙන් එය රුපියල් කෝටි 50 කට අලෙවි කිරීමට සැලසුම් කර තිබූ බවත්ය.

වලාන දූෂණ මර්ධන ඒකකය වෙත ලැබුන තොරතුරක්‌ මත උපාය දූතයන් මාර්ගයෙන් එම වැටලීම සිදුකොට අත්අඩංගුවට ගත් භාණ්‌ඩ අතර නිල්සහ රතු වර්ණයෙන් යුත් මැණික්‌ ගල් හතරක්‌, රන් පිළිමයක්‌ හා එය තැන්පත් කොට තිබු කළුගලින් නිම කරන ලද චෛත්‍යයක්‌ අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබෙන අතර මෙම ජාවාරමට සම්බන්ධව අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 26 හා 36 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙක්‌ය.

සැකකරුවන් මේ වන විට රක්‍ෂිත බන්ධගාරගත කොට ඇති අතර පුරා වස්‌තුව යෑයි සැකකරණ අත්අඩංගුවට ගත් භාණ්‌ඩ පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ සිදු කිරීමට පුරා විද්‍යා දෙපාර්තමේන්තුව භාරයට පත් කොට ඇත.

මෙම මෙහෙයුම නියෝජ්‍ය පොලිස්‌පති ප්‍රියන්ත ජයකොඩි මහතාගේ අධීක්‌ෂණය යටතේ සහකාර පොලිස්‌ අධිකාරී හේමාල් ප්‍රශාන්ත මහතාගේ මෙහෙයවීම මත ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක රංජිත් රාජපක්‍ෂ මහතාගේ උපදෙස්‌ පිට උප පොලිස්‌ පරීක්‍ෂක සම්පත්, පො. සැ. 39546 වික්‍රමරත්න පො. කො. 428 ජයලාල්, පො. කො. 39706 සිල්වා පො. කො. 76176 සදිශ්, පො. කො. 30848 තේනුවර, පො. කො. 88723 සිසිර, පො. කො. රි. 15932 බන්ඩාර යන නිලධාරීන් විසින් සිදු කොට ඇත.



Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks

More News »