සතොසේ සැඟවූ කොකේන් කාගෙද?

2017-07-28 11:14:00       523
feature-top
බ්‍රසීලයේ සිට මෙරටට සීනි ගෙන්වීමේදී විනිවිද පෙනෙන ඉටි ආවරණ තුළ ඒවා ගබඩා කර එවන්නැයි ශ්‍රී ලංකා රේගුව වරෙක බ්‍රසීල රජයේ නියෝජිතයන්ට දන්වා තිබිණි.

එපමණක් නොව බ්‍රසීලයේ සිට එන සීනි කන්ටේනර්වලට ජී.පී.එස්. තාක්ෂණය ඔස්සේ ගමන් ගන්නා මාර්ගය සොයා ගන්නා උපකරණ (ට්ඉ ඊපචජඬඪදඨ ඉරඵ) සවිකරන ලෙසටද දන්වා ඇතත් එවැන්නක්ද මතෛක් සිදු වී නොමැත.

පිරි ධනවතුන් මෙන්ම විදේශිකයන් පරිහරණය කරන මත්ද්‍රව්‍යයක් වන කොකේන් තොග පිටින් මෙරටින් මතුවන්නට පටන් ගත්තේ දැනට වසරකට පෙර සිටය.

කොකේන් අත්අඩංගුවට ගත් බොහෝ අවස්ථාවලදී ඒවා  සීනි කන්ටේනර් තුළ සඟවා තිබිමද විශේෂත්වයක් විය. අත්අඩංගුවට ගත් සියලුම සීනි කන්ටේනර් බ්‍රසීලයේ සිට ආ ඒවා ද විය.

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කොකේන් ජාවාරම සඳහා සීනි තෝරාගත්තේ රේගු පරීක්ෂාවේදී ස්කෑනර් යන්ත්‍රවලින් බේරීයාමටය.  සීනි අංශු අතරින් ස්කෑනරයේ කිරණ ගමන් නොකරන හෙයින් කොකේන් සඟවා ඇති තැන් පහසුවෙන් හසු නොවන  බව ජාත්‍යන්තර ජාවාරම්කරුවන් විසින් හොඳින් දැන සිටීම මෙම කෙකේන් ජාවාරමට සීනි තෝරාගැනීමට හේතුවක් බව පැහැදිලිය.

ආන්දෝලනාත්මක සීනි කන්ටේනර් ගැන මෙම සතියේ යළි කතාබහට ලක්වන්නේ රත්මලාන ආර්ථික මධ්‍යස්ථානයේ සතොස  ගබඩාවක කන්ටේනරයක තිබි රුපියල් කෝටි තුන්සියයකට අධික වටිනා කොකේන් කිලෝග්‍රෑම් 218කුත් ග්‍රෑම් 600ක් අත්අඩංගුවට ගැනීමත් සමගිනි. පසුගිය බදාදා (19) පස්වරුවේ ගල්කිස්ස ‍පොලිසියට ලද ඔත්තුවකට අනුව මුලින්ම සීනි කිලෝ දහසය බැගින් වූ පැකට් දහයක් සොයා ගැනුණේය. ඉන්පසුව ඉතිරි ප්‍රමාණය අසුවන්නේ සීනි කන්ටේනර්වල සීනි ගොඩබෑමට ගිය කුඩුවලට ඇබ්බැහි වූ කුලීකාරයන්  ළඟ තිබියදීය.  කන්ටේනරයෙන් සීනි ගොඩබෑම සිදුකරන අතරේ  හමුවූ මෙම සැකකටයුතු කොකේන් පාර්සල් ගැන එහි සිටි වගකිවයුත්තන් සේවකයන් දැනුවත් කිරීමෙන් පසු ‍පොලිසියට දැනුම් දී තිබිණ.

‍පොලිසිය එහි එන අතරතුර මෙම  පාර්සල් දෙක කුඩුවලට ඇබ්බැහිවූවන්  විසින් සඟවා තිබූ අතර ‍පොලිසිය ඒවා සොයාගත්තේ එසේ සඟවා තිබියදීය.

මෙම  සීනි තොගද බ්‍රසීලයේ සිට කාලයක් තිස්සේ ලංකාවට සීනි ආනයනය කරන ආනයනකරුවකු විසින් මෙරටට ගෙන ආ  කන්ටේනර් අතරේ වූ එකකි. කොකේන් තිබුණේ ඒ කන්ටේනරයකය.

පසුගිය වසරේ ජුනි 12 දා ‍පොලිස් විශේෂ කාර්ය බළකායේ උප ‍පොලිස් පරීක්ෂක කේ.ඒ. ප්‍රේමලාල්ට ලද තොරතුරක් මත සීනි තොග අතරේ වූ කොකේන් කිලෝ අසූවක් මුල්වරට සොයාගත්තේය. බ්‍රසීලයේ සිට මෙරටට මහා පරිමාණ වශයෙන්   සීනි ආනයනය කරන සමාගමකින් ගෙන්වූ සීනි කන්ටේනර් අතරේ තිබි තිබියදීය. ඒවා සොයා ගත්තේද රේගු  ස්කෑනරයටවත් හසුනොවී වරායෙන් පිටතට ගොස්   වැල්ලම්පිටියේ ගබඩාවක තිබියදීය.

කෙසේ වුවද මෙම සීනි ගෙන්වූ ව්‍යාපාරිකයා වසර විසි පහක් තිස්සේ බ්‍රසීලයෙන් හා පාකිස්තානයෙන් සීනි ගෙන්වූ අයකු වූ අතර ඔහු මෙම කොකේන් ජාවාරමට සම්බන්ධ බවට අනාවරණය නොවිණි.

එම විමර්ශන අරඹා මාසයක් යද්දී ‍පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයට ලද තොරතුරක් මත පෑලියගොඩ අංගණයක වූ සීනි කන්ටේනරයක තිබි තවත් කොකේන් කිලෝ 301 ක් හමුවන්නේය.

යළිත් නොවැම්බර් 10 දා කැලණිය, පෙතියාගොඩදී සීනි කන්ටේනර් අතරේ ආ තවත් කොකේන් කිලෝ 32 ක් සොයා ගැනෙන්නේය. එම විමර්ශන අතරේ ‍පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත ලද තොරතුරු ඔස්සේ තවත් කොකේන් කිලෝ දෙසීයක් සොයාගන්නට හැකිවන්නේද ඔරුගොඩවත්තේ සීනි කන්ටේනර් තුළ තිබියදීය.

යළි දෙසැම්බර් 09 ශ්‍රී ලංකාව හරහා සිල්පර කොටන් රැගෙන යන කන්ටේනරයක් කොළඹ වරායේදී පරීක්ෂා කළ මත්ද්‍රව්‍ය නාශක අංශය තවත් කොකේන් කිලෝ 800 ක් අල්ලා ගත්තේ මෙම විමර්ශන අතරේය.

සීනි ආනයනකරුවන් මෙම සිදුවීම් සමග බ්‍රසීලයෙන් සීනි ආනයනය කිරීම පවා සීමා කරන්නේ බ්‍රසීලයෙන් ආනයනය කළ සීනි කන්ටේනර් තුළ කොකේන් හසුවන්නට වීම නිසාය.
මෙවර හමුවූ සීනි කන්ටේනරය මීට පෙර විමර්ශන සඳහා නවත්වාගත් සීනි කන්ටේනර් හයසියය අතරේ  වූ එකක් බවට සැක පහලවී ඇත්තේය.

සීනි ආනයනකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී ඔවුන් ප්‍රකාශ දී තිබුණේ තමන් ආනයනය කරන කන්ටේනර් තුළ කොකේන් පාර්සල් තිබිම ගැන නොදන්නා වගය.
විමර්ශනවලදී කියවෙන්නේ පාකිස්තානයේ සිට ක්‍රියාත්මක වන ඩාවුඩ් ඉබ්‍රහිම්ගේ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලය මගින් ශ්‍රී ලංකාව කේන්ද්‍ර කරගෙන යුරෝපයට කොකේන් පටවන ජාවාරමක් සිදුකෙරෙන වගය. ඩාවුඩ් ඉබ්‍රහිම් ජාත්‍යන්තර ත්‍රස්ත හා මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධාන නායකයකු වන අතර ඉබ්‍රහිම්ගේ කණ්ඩායම් මෙරටත් ක්‍රියාත්මක වන බව  මින් හෙළිවන්නේය.

ජාත්‍යන්තර මුහුදේදී නැව්වල කාර්ය මණ්ඩල හා  කපිතාන්වරුන් සම්බන්ධ කරගෙන නැවේදීම  කන්ටේනර් තුළට කොකේන් පාර්සල් දමන බවට විමර්ශනවලදී අනාවරණය වන්නේය. ඒ අනුව දිගු කාලයක් තිස්සේ මෙරටට සීනි ගෙන එන ව්‍යාපාරිකයන්ගේ කන්ටේනර් දීර්ඝ පරීක්ෂාවට ලක්නොවන නිසා වරායෙන් පිටතට ගිය පසු කන්ටේනරය පිටින්ම මිලදී ගන්නට සංවිධානාත්මක කණ්ඩායම් ද මෙරට තුළ සිට ඇත.

ශ්‍රී ලංකාව හරහා යුරෝපයට යැවෙන කන්ටේනර් අතරේ කොකේන් ප්‍රතිඅපනයන කිරීමේ කටයුතුත් සිදුවන්නේ මෙරට සිටින ඩාවුඩ් ඉබ්‍රහිම්ගේ ක්‍රියාකාරීන් මගින්ය.
මෙම මහා ජාවාරමට සම්බන්ධ අයගෙන් කිසිවකුත්  අත්අඩංගුවට ගැනීමට කිසිදු කණ්ඩායමක් සමත්වී නොමැත. අත්අඩංගුවට ගෙන ඇත්තේ කොකේන් තොග පමණකි. රටපුරා කුඩු අල්ලන මහා මෙහෙයුම් සිදුවුවත් තෝරුන් මෝරුන් වෙනුවට හාල්මැස්සන් කොටුකරන මෙහෙයුම් නම් ඇතිතරම් ඇත්තේය.

රත්මලාන සතොස ගබඩාවල තිබූ කන්ටේනරයේ අසුවූ  කොකේන් ජාවාරම පසුපස ප්‍රබල හස්තයක් ඇතිබවට දැනට තොරතුරු කියවෙන්නේය. ගබඩාවේ මුරකරුවන්ද කලින්ම මාරුකර ඇති වගද කියවෙන්නේය. මේ සියල්ල විමර්ශනවලදී හෙළිකරගත හැකිවන්නේය.

මෙම කන්ටේනරය වරායෙන් පිට කරන ඩබ්ලිව්. ටී. ආර්. සමරකෝන් ඇන්ඩ් සන්ස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය එම කන්ටේනරයත් සමග තවත් අඩි විස්සේ කන්ටේනර් දහයක් මුදාගෙන යන්නේය. එම කන්ටේනර් දහයේ වූ බහාලුම් 5400 ක් තුළ සීනි කිලෝ දෙලක්ෂ හැත්තෑදහසක් තිබූ අතර ඒවා ඉකුත් 18 දා රාත්‍රියේ වරායෙන් මුදාගෙන ගොස් ඇත්තේ ය.

බ්‍රසීලයෙන් මෙරටට ගෙන ආ සීනි කන්ටේනර් ආර්. සී. ටී. බහාලුම් අංගණයේ දී පරීක්ෂා කිරීමට රේගුව යොමුවන්නේත් මෙම සීනි මුදාගත් සමාගම ඇතුළු සීනි ආනයනකරුවන් දිගින් දිගටම ඉදිරිපත් කළ ඉල්ලීම් නිසාය.

“රේගුවේ අධි අවදානම් භාණ්ඩ පරීක්ෂණ ඒකකයට (Highrisk Unit) තමයි සීනි ගෙන්වන කන්ටේනර් ඇතුළේ කොකේන් අහුවුණු සැපයුම්කරුවන්ගේ කන්ටේනර් පරීක්ෂා කරන්න දුන්නේ. ඊට පස්සේ සීනි ආනයනකරුවන් එම පරීක්ෂාවේ දී සිදු වන ප්‍රමාදය හා කම්කරු ගාස්තු ගෙවීම නිසා සීනි මිල ඉහළ යන්නට හැකි බවට රජයට පෙන්වා දුන්නා. නමුත් අවසානයේ බ්‍රසීලයෙන් හැර වෙනත් රටවලින් ගෙන එන සීනි කන්ටේනර් ආර්.සී.ටී. එකේ චෙක් කරන්න රේගුව එකඟ වුණා. පස්සේ අදාළ සමාගම දිගින් දිගටම ලිඛිතව ඉල්ලා සිටියා තමන්ගේ බ්‍රසීල කන්ටේනර් ආර්.සී.ටී. එකේ පරීක්ෂා කරන්න දෙන්න කියලා. එතැනදී නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරයකු යටතේ සහකාර රේගු අධිකාරිවරුන්, නියෝජ්‍ය රේගු අධිකාරිවරුන් ඇතුළු කණ්ඩායම පරීක්ෂාවකට ලක් වෙනවා. ආහාර පරීක්ෂකවරුන්ද මෙම පරීක්ෂාවන් සිදුවන තැන ඉන්නවා”යැයි රේගු ප්‍රධානියකු හෙළි කළේ ය.

මේ වන විට ප්‍රශ්නය වී ඇත්තේ රේගුවේ දී දැඩිව පරීක්ෂණ කළා නම් කොකේන් පිටව ගියේ කෙසේද යන්නය. මේ නිසා එම කන්ටේනර් මුදාහැරීමට අදාළ රේගු නිලධාරින් තිදෙනකු ආර්.සී.ටී, අංගණයෙන් ඉවත්කර ඔවුන්ට එරෙහිව විමර්ශනයක් ඇරඹීමට රේගු අධ්‍යක්ෂ ජනරාල් චූලානන්ද පෙරේරා නියෝග කර ඇත.

කොකේන් හමු වූ පළමුවැනි සීනි තොගය අඩංගු කන්ටේනරය හසු වූ මොහොතේ රේගුව මගින් ඇම්බ්‍රෝ සුගර් නමැති ආයතනයේ හිමිකරු වාසුදේවන් නමැත්තාද සැකපිට අත්අඩංගුවට ගත්තේය. ඉන්පසුව කොකේන් මෙරටට ගෙන්වීමට ආනයනකරු සම්බන්ධ නොවන බවට හෙළිවීම නිසා ඔහු ඇපමත මුදා හැරෙන්නේය.

දෙවැනි වරට කොකේන් කිලෝ 301 ක් ‍පොලිස් මත්ද්‍රව්‍යනාශක අංශයට ඔත්තුව දෙන්නේ වාසුදේවන්ගේ සමාගමෙන්මය. ඒ මෙම ආයතනය බ්‍රසීලයෙන් ආනයනය කළ සීනි කන්ටේනර් අතරේ තිබි සැකකටයුතු සීනි ගෝනි අසුවීමත් සමගය.

මෙම සිදුවීම් සමග සීනි ආනයනයකරුවන්ට රේගු පරීක්ෂාවෙන් තොරව කන්ටේනර් මුදාගෙන නොයන්නැයි මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය නියෝගයක්ද පනවා තිබිණි.
ඉන්පසුව යළිත් කොකේන් කිලෝ 219 ක් සොයා ගැනෙන්නේ සමරකෝන් සමාගමෙන් තම කන්ටේනර් තුළ කොකේන් පාර්සල් ඇති බවට දැනුම් දීම නිසාය.

මෙම තත්ත්වය මත විමර්ශනය කිරීමේදී අනාවරණය වන්නේ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බ්‍රසීලයේ සීනි රැගෙන එන කන්ටේනර් අඩංගු නැව්වල කප්පිත්තන්ගේ සහායෙන් මුහුද මැදදී කොකේන් පාර්සල් රිංගවන බවය. නැව තුළදීම සීනි කන්ටේනර්වල සීනි මිටි ඉවත්කර ඇතුළතින් කොකේන් පාර්සල් තබා යළි කන්ටේනරයට සීනි පටවා මුද්‍රා තබන්නේ මෙම ජාවාරම්කරුවන්ය. ඉන්පසුව නැව පෘතුගාලයේ පරීක්ෂා කිරීම් අඩු වරායකට ගෙනගොස් එතැන සිට ප්‍රති අපනයන කන්ටේනර් ලෙසින් වරායේ කාලයක් රඳවා තැබිම සිදු කරන්නේ සැක නොහිතෙන්නටය. ඒ අතරතුර පිටමං කරන්නට  හැකි කොකේන් පාර්සල් එතැනින් ජාරාවරම්කරුවන්ගේ අතට පත්වන්නේ ය. පෘතුගාලයේ වරායෙන් පිටමං කරගත නොහැකිවන කන්ටේනර් නැවත අනෙක් රටවලට ගෙනගොස් තම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතට පත් කිරීම මෙකී ජාවාරමට සම්බන්ධ අයගේ සැලසුම බව අනාවරණය වන්නේය.

මෙවර අත්අඩංගුවට පත් වූ කොකේන් තොගය අඩංගු සීනි කන්ටේනර් බ්‍රසීලයේ සෙන්තෝන් වාරයෙන් පිටවන්නේ පසුගිය වසරේ සැප්තැම්බර් 22 දාය. නැව ස්පාඤ්ඤයට ගොස්, ඉතාලියටත්, සෞදි අරාබියේ සින්නදුල්ලා වරායටත් යන්නේය.

යළි නොවැම්බර් 16 දා කොළඹ වරායට  ළඟා වන්නේ සමරකෝන් ඇන්ඩ් සන්ස් සමාගමෙන් කළ ඇණවුමකට අනුවය. බ්‍රසීලයෙන් සීනි කන්ටේනර් නැව්ගත කරද්දී මිලදී ගන්නා සමාගමක් සඳහන් නොවන අතර මුහුද මැදදී ලංසු තබා විවිධ සමාගම් විසින් තම ඇණවුම් ලබා දීම මගින් සීනි මෙරටට ආනයනය කිරීම සිදුවන්නේය.

මෙම සීනි කන්ටේනර් වරායෙන් නිදහස් කරගත් පසුව රජිතා පල්සර් ස්පිකින් ඇන්ඩ් ‍ප්‍රොසෙසින් ඉන්ඩ්‍රස්ටිස් යන සමාගම විසින් සමරකෝන් සමාගමෙන් මිලදී ගන්නා සීනි කන්ටේනරය ලංකා සතොසට ලබා දෙන්නේ එහි සැපයුම්කරුවකු ලෙසය.

සතොසට සීනි මෙට්‍රික්ටොන් පන්සියයක් මෙම සමාගම හරහා ගන්නේ ටෙන්ඩර් කැඳවීමක් මතය.
මේ සියලු කරුණු කාරණා අනාවරණය වුවද, කොකේන් ශ්‍රී ලංකාව හරහා ප්‍රතිඅපනයනය කරන ඩාව්ඩ් ඉබ්‍රාහිම්ගේ ජාලයේ ශ්‍රී ලංකා නියෝජිතයා යැයි සැකකරන ප්‍රකෝටිපති මුස්ලිම් ජාතිකයකු පසුපස විමර්ශන කණ්ඩායම් යන්නේය. ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයකු සේ පෙනී සිටින ගල්කිස්ස කේන්ද්‍ර කරගත් මෙම ප්‍රකෝටිපතියාගේ මීට සම්බන්ධයක් ඇතිද යන්න පිළිබඳ විමර්ශන තවම අවසන් නැත.

කොකේන් මහත්වරුන් පානය කරන මත්ද්‍රව්‍ය්‍යක් (Gentlemen Drugs) ලෙස හඳුන්වන්නේ මෙහි එක් ග්‍රෑමයක් රුපියල් පහළොස් දහසකට වඩා වැඩි මිලකට විකිණෙන නිසාය. එවන් මිලකට විකිණෙන කොකේන් මෙතරම් ප්‍රමාණයක් ලංකා වෙළෙඳ‍පොළේ නොවිකුණන බව නම් සාධක ඇති බව මත්ද්‍රව්‍ය නාශක අංශය කියන්නේය.

මේ සියලු කරුණු කාරණා අනුව මෙම මත්ද්‍රව්‍ය රටින් පිටට ගෙන ගොස් විකුණන්නට වුවද මෙරටට ගෙන ඒම නවත්වන්නට රේගු නිලධාරින්ට පමණක් නොහැකිය.
ලාභය මත පදනම්ව සීනි ආනයනයකරුවන් පරීක්ෂා කිරීම්වලට ඉඩ නොදී ඉක්මනින් තම තොගය විකුණා සාක්කුව පුරවා ගැනීමට පුරුදුව ඇත්තේ රටක් බිල්ලට දීය. යම් හෙයකින් යුරෝපයට ලංකාවෙන් යැවෙන භාණ්ඩ අධි ආරක්ෂාවට ලක් කරන්නට වුවහොත් ලංකාවට එය දැඩිව බලපෑ හැකිය. එවැනි කළු පැල්ලමක් මෙම තත්ත්වය තුළ ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන, ප්‍රතිඅපනයනය කරන භාණ්ඩවලටද එල්ලවිය හැකිය. එවන් තත්ත්වයකදී ජාතික ප්‍රශ්නයක් වන මෙවැනි කාරණයකදී සීනි ආනයනකරුවන්ට තමන්ගේ කන්ටේනර් තුළට මේවා ඇතුළුවන්නේ කෙසේ දැයි කිව නොහැකි බව කියා ගැලවී යාමට ඉඩ නොදිය යුතුය.

දැන් කළ යුත්තේ සියලු දෙනා රේගුවෙත් සහාය ඇතිව මෙම ජාවාරමට වැට බැඳීමට එක් වීමයි.

බ්‍රසීලයෙන් පිටත්වී පෘතුගාලය හරහා එන සීනි කන්ටේනර් දැඩි පරීක්ෂාවට ලක් කළ යුතු බවට රේගුව දැඩි මතයක සිටියදී සීනි ආනයනකරුවන් රජයට විවිධ බලපෑම් එල්ල කර සෝදිසි කිරීම් ලිහිලි කර ගැනීම නිසා ජාවාරම්කරුවන්ට රිසි සේ ජාවාරම සිදුකරගත හැකිව තිබේ.

රේගුවේ හිල්වලින් රිංගා සතොසට කොකේන් ගියේ කෙසේද යන්න මෙන්ම මතෛක් ආ කොකේන්වල මහ මොළකරුවන් කව්දැයි යන්න හෙළිකිරීම බලධාරින්ගේ වගකීමය.

මෙකී කණ්ඩායම්වලට  සම්බන්ධ මහ මොළකරුවන්ගේ වුවමනාවට මන්නාරමේ ඇති ඉන්දියාව හරහා මත්කුඩු හා අවිආයුධ මෙරටට ගෙන ඒවා එලුම්කලන්පිඩ්ඩි හොර තිප්‍පොළේ බලය අල්ලන සටනක් ද මේ වනවිට ක්‍රියාත්මකය. අධිකරණ නියෝගවත් නොසලකා එම ඉඩම්වල  බලය අල්ලා තම ජාවාරම් ක්‍රියාත්මක කරන්නට සංවිධානාත්මක කණ්ඩායම් සැරසෙන බව බුද්ධි අංශ අනතුරු අඟවා තිබුණේය.

මන්නාරම් දූපත හරහා ලංකාව ජාත්‍යන්තර  ත්‍රස්ත සංවිධානවල තෝතැන්නක් කරන්නටද ඉඩ ඇතිවග බුද්ධි අංශ අනතුරු අඟවන්නේද මේ අතරේය.
කොළඹ වරායෙන් රට තුළට එන මත්ද්‍රව්‍ය  ජාවාරමේ මෙරට මහ මොළකරුවන්  කොටු නොකළහොත්  මුළු රටම මත් රකුසා විසින් ගිලගන්නාවූ අවදානමක් ද ඇත්තේය.



Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks

More News »