පොලිසියේ හතරවැනියාගේ දෑතට මාංචු වැටුණ හැටි...

2017-07-25 10:56:00       579
feature-top
ශිවලෝගනාදන් විද්‍යා දියණිය කාලකණ්‌ණි පාදඩයන් පිරිසක්‌ විසින් අමානුෂික ලෙස දූෂණය කර ඝාතනය කරන්නේ 2015 වසරේ මැයි මස 13 වැනිදාය. මෙරට මහත් ආන්දෝලනයක්‌ ඇතිකළ සිද්ධියක්‌ බවට පත්විය. එලෙස ඇයව ඝාතනය කර දින කිහිපයක්‌ ගෙවීමට මත්තෙන් එයට සම්බන්ධ වූ පාදඩයන් පිරිස අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවිය.

එම ඝාතන සිද්ධියේ මහ මොළකරු ලෙස ක්‍රියා කර ඇත්තේ මහාලිංගම් ශිෂි කුමාර්ය. ඔහු හැඳින් වෙන්නේ ස්‌විස්‌ කුමාර් ලෙසය. එහෙත් ඔහු අත්අඩංගුවට පත්ව සිටියදී එක්‌වරම නිදහස්‌ විය. එලෙස ඔහු නිදහස්‌ වන්නේ උසස්‌ පොලිස්‌ නිලධාරියකුගේ උදව් උපකාර මත බව පසුව හෙළිවිය. එම සිද්ධිය සැකෙවින් මෙසේය.

විද්‍යා දියණිය ඝාතනයත් සමඟ යාපනයේ වෙසෙන සියලුම ජනතාව සිටියේ ඒ ගැන විමසිල්ලෙන්ය. එයට සම්බන්ධ කිහිප දෙනකු පොලිසියට අත්අඩංගුවට ගැනීමට හැකි වුවත් එහි ප්‍රධාන මොළකරු මහාලිංගම් ශිෂි කුමාර් හෙවත් ස්‌විස්‌ කුමාර් අත්අඩංගුවට ගැනීමට පොලිසියට නොහැකි විය. මුදල් අතින් අඩුවක්‌ නොතිබුණ එම පාදඩයා බැලුවේ කෝටියක්‌ හෝ වියදම් කර මෙම අපරාධයෙන් බේරීමටයි. ඒ සඳහා ඔහු නොගත් උත්සාහයක්‌ නොමැත.

විද්‍යා දියණිය ඝාතන සිද්ධියට ස්‌විස්‌ කුමාර් නමැති නරුමයා සම්බන්ධ බව මුළු යාපනය ප්‍රදේශයේ ජනතාවම දැන සිටියහ. එම නිසා බොහෝ ජනතාව ස්‌විස්‌ කුමාර් ගැන ඇස ගසාගෙන සිටියේය. අපරාධකරුවකුට සැමදා සැඟවී සිටිය නොහැකිය යන කියමන සනාථ කරමින් ස්‌විස්‌ කුමාර්ව යාපනය ප්‍රදේශයේ තරුණයන් පිරිසකගේ අතට හසුවිය. එම තරුණයෝ සහ ගම්වාසීන් එකතුවී මෙම නරුමයාට ගස්‌බැඳ පහරදී පොලිසියට භාර දුන්හ.

තමිල් මාරන් නීති පීඨයේ හිටපු පීඨාධිපතිවරයෙකි. ඔහු ස්‌විස්‌ කුමාර්ගේ ළඟම හිතවතෙකි. මෙම ඝාතන සිද්ධියෙන් තමාව නිදහස්‌ කරදෙන ලෙස ස්‌විස්‌ කුමාර් කිහිපවරක්‌ම තමිල් මාරන්ට පවසා තිබේ. පළමුව අකමැති වුවත් පසුව තම යහළුවා බේරා ගැනීමට ඔහු ඉදිරිපත් වී තිබේ. එවකට උතුරු පළාත භාරව සිටියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ලලිත් ජයසිංහ මහතා ය.


ලලිත් ජයසිංහ

නියෝජ්‍ය පොලිස්‌පති ලලිත් ජයසිංහ සහ තමිල් මාරන් අතර ලොකු මිත්‍රකමක්‌ ගොඩනැඟී තිබුණේ දැනට වසර කිහිපයක සිටයි. තමිල් මාරන් එම මිත්‍රකම හරහා ස්‌විස්‌ කුමාර් බේරා ගැනීමට කල්පනා කළේය. ඒ අනුව තමිල් මාරන් නියෝජ්‍ය පොලිස්‌පති ලලිත් ජයසිංහ හමුවිය.

නියෝජ්‍ය පොලිස්‌පතිවරයා හමුවූ තමිල් මාරන් ඔහුට පවසා ඇත්තේ ස්‌විස්‌ කුමාර් අසවල් ස්‌ථානයේ දැන් සිටින බවත්, ඔහුව නිදහස්‌ කරදෙන ලෙසත් දෙදෙනා අතර තව බොහෝ දේවල් කතා වන්නට ඇත. එහෙත් මෙම අවස්‌ථාවේදී ඒ පිළිබඳව කිසිවක්‌ පළ කිරීමේ හැකියාවක්‌ අපට නොමැත. (එයට හේතුව වන්නේ අධිකරණයේ මේ පිළිබඳව නඩුවක්‌ විභාග වීමය.)

තමිල් මාරන් හමුවීමෙන් පසු නියෝජ්‍ය පොලිස්‌පති ලලිත් ජයසිංහ ඇතුළු පොලිස්‌ නිලධාරීන් පවසන්නේ ස්‌විස්‌ කුමාර් විද්‍යා ඝාතන සිද්ධියට සම්බන්ධ නොමැති බව සහ ගම්මුන් ඔහුට පහරදී ඇති බවයි. එමනිසා කටඋත්තරයක්‌ ගෙන ඔහුව නිදහස්‌ කරන ලෙසයි. උසස්‌ පොලිස්‌ නිලධාරියාගේ අණ අකුරටම පිළිපදිමින් අදාළ පොලිස්‌ නිලධාරීහු ස්‌විස්‌ කුමාර් නමැති නරුමයාව නිදහස්‌ කළේය.

ස්‌විස්‌ කුමාර් නිදහස්‌ කළ බව දැනගත් යාපනයේ ජනතාව වියරුවෙන් මෙන් හැසිරුණාහ. ඔවුහු විරෝධතා පෙළපාලි ගොස්‌ පොලිසියට බැන වදිමින් යාපනය අධිකරණයට පවා ගල්මුල් ප්‍රහාර එල්ල කළහ. ඒ අතර ස්‌විස්‌ කුමාර් නමැති නරුමයා කාටත් හොරෙන් යාපනය නගරයෙන් පැන ගත්තේය. එදිනම අධිකරණය විසින් ස්‌විස්‌ කුමාර්ට විදේශ ගතවීම තහනම් කරන ලදී. එලෙස අධිකරණය මගින් නියෝගයක්‌ නිකුත් කළේ එවකට හිටපු පොලිස්‌පතිවරයාගේ ඉල්ලීමකට අනුවයි.


ස්‌විස්‌ කුමාර්

යාපනයෙන් වැල්ලවත්තට පැමිණි ස්‌විස්‌ කුමාර් කුඩා ලොඡ් එකක රහසිගත ජීවිතයක්‌ ගත කළේය. ඒ අතර විද්‍යා ඝාතන නඩුවද දිගින් දිගටම අධිකරණයේ විභාග වෙමින් තිබුණි. එහිදී අනාවරණය වූයේ ස්‌විස්‌ කුමාර් නමැත්තාගේ කීමකට අනුව විද්‍යා ඝාතනය සිදුවී ඇති බවයි. එම නරුමයාට වුවමනා වී තිබුණේ විද්‍යා දියණියව දූෂණය කරන අයුරු වීඩියෝ කර මරා දැමීමටයි. එලෙස දූෂණය කරන වීඩියෝ පට යුරෝපා රටවල විශාල මුදලකට විකිණිය හැකි බව එම නරුමයා දැන සිටියේය.

නීතිය හමුවේ කට්‌ටි පනිමින් සිටි ස්‌විස්‌ කුමාර් නමැති නරුමයා අත්අඩංගුවට ගැනීම සඳහා එවකට පොලිස්‌පතිව සිටි ඉලංගකෝන් මහතා විශේෂිත පොලිස්‌ නිලධාරී කණ්‌ඩායමක්‌ පත් කළේය. ඔවුහු දස අතේ එම නරුමයාව සොයමින් සිටියහ. ඔය අතර ස්‌විස්‌ කුමාරගේ පිංතූරයක්‌ අන්තර්ජාලයේ පළකර තිබුණි.

අන්තර්ජාලයේ පළකර තිබූ ඡායාරූපය හඳුනාගත් එක්‌තරා පුද්ගලයකු වැල්ලවත්ත පොලිසියට දුරකථන ඇමතුමක්‌ ලබාදී ස්‌විස්‌ කුමාර් හොර රහසේ රැඳී සිටින ස්‌ථානය පැවසුවේය. ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිස්‌ නිලධාරීහු අදාළ ස්‌ථානය වටලා එම නරුමයාව අත්අඩංගුවට ගත්හ.

පසුගිය මාසයේ සිට එකදිගට සති කිහිපයක්‌ විද්‍යා ඝාතන නඩුව විභාග විය. එහිදී ස්‌විස්‌ කුමාර් බේරා ගැනීමට ඉහළ පොලිස්‌ නිලධාරියකු සම්බන්ධ වී ඇති බව අනාවරණය විය. එම නිසා ඒ පිළිබඳවද පරීක්‍ෂණයක්‌ පවත්වන ලෙස අධිකරණය විසින් නියෝග කළේය. ඒ අනුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කළ පරීක්‍ෂණවලදී හෙළිවූයේ නියෝජ්‍ය පොලිස්‌පති ලලිත් ජයසිංහ විද්‍යා ඝාතනයේ ප්‍රධාන සැකකරු වන ස්‌විස්‌ කුමාර්ව යාපනය පොලිසියට භාරදීමෙන් පසු ඔහුට පැන යැමට ආධාර අනුබල දී ඇති බවයි.

එම චෝදනා මත පසුගිය සතියේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් නියෝජ්‍ය පොලිස්‌පති ලලිත් ජයසිංහ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය. එහිදී ඔහුව රක්‌ෂිත බන්ධනාගාර ගතකළ අතර ජාතික පොලිස්‌ කොමිෂන් සභාව ඔහුගේ සේවය අත්හිටුවීමටද තීරණය කර තිබිණි.

නීතිය රැකීමට සිටින සමහර නිලධාරිනුත් බියක්‌ සැකක්‌ නොමැතිව නීති විරෝධී ක්‍රියා සිදු කරන්නේ නම් සිවිල් ජනතාව ගැන කවර කතාද?

Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks

More News »