බූරු ‍පොළේ ඔත්තුවකින් කොල්ල කෑ ලක්ෂ 77 දින පහකින් ඇල්ලූ හැටි

2017-07-13 10:44:00       587
feature-top
විසි හැවිරිදි  නිපුණ රාගම බූරු‍පොළකදී දුන් ඔත්තුවකින් එස්.එෆ්. ජගත් මංකොල්ලයක් සැලසුම් කරන්නේ ජූනි 26 දාටය.

කලින් දින දෙක සති අන්තයක් වන නිසා  විශාල මුදලක් කොල්ලකෑමට හැකි  බව එස්.එෆ්. ජගත්  නිපුණ දුන් ඔත්තුවෙන් අනුමත කළේය. වත්තල කැන්ඩි  ආයතනයේ සෙනසුරාදා හා ඉරිදා දින දෙකේ එකතුවන මුදල් සඳුදා උදෑසනම කඩවත කැන්ඩි ආයතනය වෙත රැගෙන යන බව එහි කලින් සේවකයකු වූ නිපුණ හොඳින් දැන සිටියේය. ඒ අනුව නිපුණ තමා දන්නා සියලු විස්තර එස්.එෆ්.  ජගත්ගේ කනේ තැබුවේය.

රාමලාන් දිනය වෙනුවෙන් වැඩිපුර ගනුදෙනු සිදුවන නිසා විශාල මුදලක් එකතු වන බව සිතා ඉක්මනින් සැලසුම් ක්‍රියාත්මක කරන්නට එස්.එෆ්. ජගත් වාහනයක් සොයන්නේ මේ අනුවය.

තමා සමග හිතවත්කම් ඇති  අය ලවා මංකොල්ලයට යෑමට මෝටර් රථයක් සොයද්දී මාතරින් කුලියට මෝටර් රථයක් ගැනීමට හැකිවන්නේ ඉකුත් 24 දාය. ඉන්පසුව රහසිගතව අවි ආයුද සියල්ල එක්රැස් කරගන්නා එස්.එෆ්. ජගත් සැලසුම සූදානම්  කරන්නේය.

මෝටර් රථයේ නැගී ආයුධ සන්නද්ධව පැමිණෙන එස්.එෆ්. ජගත් ඇතුළු සිව්දෙනකු ටී. 56 අවි දෙකකින් වෙඩි තබා රාගම බැසිලිකා පාසල ආසන්නයේදී වත්තල කැන්ඩි ආයතනයට අයත් රුපියල් හැත්තෑහත් ලක්ෂ අසූහත්දහසක මුදලක් ජූනි 26 දා කොල්ලකාගෙන යන්නේ කිසිදු සාක්ෂියක් නොතබමිනි.

මංකොල්ලය සිදුවූ ප්‍රදේශය අවට සී.සී.ටී.වී. දර්ශන නරඹද්දී මංකොල්ලයට පැමිණි මෝටර් රථයේ අංක තහඩු සොයා ගැනුණද  වැඩිදුර පරීක්ෂණවලදී තහවුරු වන්නේ එය ව්‍යාජ අංක තහඩුවක් බවය.

බස්නාහිර දකුණ භාර නියෝජ්‍ය ‍පොලිස්පති කපිල  ජයසේකර මහතාගේ  නියෝග මත කැලණිය ‍පොලිස් අධිකාරි උපාලි ජයසිංහ මහතා කෙසේ හෝ මංකොල්ලයේ සුලමුල සොයා  ගන්නට විමර්ශන කණ්ඩායම්වලට දිගින් දිගටම උපදෙස් දුන්නේය.
කිසිදු තොරතුරක් පැය විසිහතරක් යනතුරුත් සොයාගත නොහැකිවුවත් විමර්ශන කණ්ඩායම් දුරකථන ජාල විශ්‍ලේෂණය කිරීමට මෙන්ම බුද්ධි තොරතුරු සොයා යන්නට වූහ.
මේ අතරේ කැලණිය ‍පොලිස් විශේෂ කර්යාංශයේ ‍පොලිස් සැරයන් දිසානායක (55410)ට ලැබුණු තොරතුරක් කැලණිය විශේෂ කාර්යාංශයේ ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක සමන් ගුණරත්න මහතාට දැනුම් දෙන්නේය.  වහාම මේ බව ‍පොලිස් අධිකාරී උපාලි ජයසිංහ මහතාට දන්වා ලබාගත් උපදෙස් මත ඔව්හු තොරතුර ඔස්සේ හඹා යති.

එම තොරතුරට අනුව කියවෙන්නේ කඳානේ පදිංචි එස්.එෆ්. ජගත් නමැති හමුදාවෙන් පැනගිය අයකු මෙම මංකොල්ලය මෙහෙයවා ඇති බවය.

එස්.එෆ්. ජගත් ගැන තොරතුරු සොයා යද්දී එස්.එෆ්. ජගත් මාබෝ‍ලේ හෝටලයක කණ්ඩායමක් සමග තේ බොමින් සිටින බවට  බුද්ධි අංශයට තොරතුරු ලැබුණි. මේ අනුව  ‍පොලිස් අධිකාරි උපාලි ජයසිංහ මහතාට දන්වා වැටලීමට යාමට අවසර ඉල්ලද්දී ඔහුත් විමර්ශන කණ්ඩායම් සමග වැටලීමට එක්වූයේය.

කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. රවීන්ද්‍ර පෑලියගොඩ විශේෂ කාර්යාංශයේ ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක සමන් ගුණරත්න,  කොස්තාපල්වරුන් වන බණ්ඩාර (53253), සෝමසිරි (14668), ජයසිංහ (68698), රොෂාන් (80519), දේදුනු (73099), සැරයන් ධර්මසිරි (33507) ඇතුළු කණ්ඩායමක් විමර්ශන සඳහා එක්වූහ. රාගම ‍පොලිසියේ උප ‍පොලිස් පරීක්ෂක බණ්ඩාර සහ ‍පොලිස් කොස්තාපල් හේරත් (66504) යන අය ද මේ විමර්ශනයට එක්වූහ.

එස්. එෆ්. ජගත්ගෙන් දිගින් දිගටම ප්‍රශ්න කරද්දී අනාවරණය වන්නේ මෝටර් රථය මාතරින් කුලියට ගත් එකක් බවය. මාතර බලාගිය කණ්ඩායම් ජගත්ගේ තොරතුරු මත මෝටර් රථය සොයාගත් අතර එය දිනකට රුපියල් දසදහසකට කුලියට ගත් එකක් විය.

මෙම කොල්ලයට එක් වූ රන්නේ හමුදාවේ සේවය කර පලාගිය පුෂ්පකුමාර නමැති සෙබළකු ගැන ජගත්ගෙන් හෙළිවන්නේය.

දිගින් දිගටම ප්‍රශ්න කරද්දී මංකොල්ලයේ සැලසුම අනාවරණය වුවත් අවි ආයුධ ගෙන ආ හමුදා සේවයේ සිටින සෙබළා ගැන හා මුදල් ගැන තොරතුරු සොයාගත නොහැකිය.

හෙළි වූ තොරතුරු අනුව මාතරින් කුලියට ගත් මෝටර් රථයෙන් ජුනි 24 දා රාත්‍රියේ පන්නිපිටියේ මාර්ගය අසල වූ ගරාජයකට පැමිණෙන්නේ එහි අලුත්වැඩියාවකට දැමූ වාහනවල අංක තහඩු ගැලවීමටය. එහිදී කාර් එකක අංක තහඩු දෙකක් හා වෑන් රියක අංක තහඩුවක් ගලවාගෙන කඩුවෙල පාළු ඉඩමකට එන්නේ ව්‍යාජ අංක තහඩු සවිකර ගැනීමටය.

වත්තල කැන්ඩි ආයතනය අසලට එස්.එෆ්. ජගත් ඇතුළු කණ්ඩායම එන්නේ ඔත්තුකරු වූ නිපුණ රැගෙන යාමටය.
නිපුණව දමාගත් කණ්ඩායම කැන්ඩි ආයතනයෙන් මුදල් රැගෙන එන ත්‍රිරෝද රථය අපේක්ෂාවෙන් මග රැක සිටියහ. නිපුණගේ ඔත්තුවෙන් ත්‍රිරෝද රථයක් ගැන කියුවුණ ද මුදල් රැගෙන පිටත් වූයේ වෑන් රථයකි.

වත්තල සිට රාගම දෙසට යමින් තිබූ වෑන් රථය හරස් කර එයින් පිටතට පනින අවිගත් මංකොල්ලකරුවන් දෙදෙනා දිගට හරහට වෑන් රථයේ රෝදවලට වෙඩි තබා වෑන් රථය තුළ ටියුලිප් බෑගයක දමා තිබූ මුදල් බෑගය කොල්ල කන්නේ නිමේෂයකිනි. අතරමගදී තම ඔත්තුකරු වූ නිපුණ මගින් බස්සවා එස්එෆ් ජගත් ඇතුළු කණ්ඩායම යළිත් කඩුවෙල පාළු ඉඩමට එන්නේ ව්‍යාජ අංක තහඩු ගලවා වාහනයේ අංක තහඩු සවිකර ගැනීමටය.

එතැනදී ලක්ෂ පහළොව බැගින් කොටස් පහකට බෙදා ඉතිරි මුදල ටී. 56 අවි දෙක දුන් පුද්ගලයාට දීමට යැයි කියා වෙන් කළේ ය.

මෙම පිරිසට එස්.එෆ්. ජගත්, පුෂ්පකුමාර, ප්‍රගීත්, මහේෂ්, ඉන්දික යන පස් දෙනා එක්ව සිටියහ.

මුදල් බෙදාගත් පසුව පස් දෙනාගෙන් ලක්ෂය බැගින් යළි එකතු කරන්නේ ඔත්තුව දුන් නිපුනට දීමටය.

මෙම පිරිසෙන් ඉන්දික ව්‍යාජ අංක තහඩු හා මුදල් රැගෙන බැස යන්නේ පිළියන්දල පිහිටි සොයුරියගේ නවාතැනට යෑමටය.

අනෙක් කණ්ඩායම රත්නපුර පාරෙන් ඇඹිලිපිටිය බලා යන්නේ ගිනි අවි දෙකද රැගෙනය. රන්නේ පුෂ්පකුමාර කමාන්ඩෝ රෙජිමේන්තුවේ සිට එය හැර ගිය සෙබළෙකි. පුෂ්පකුමාර රන්නේ දී මුදල් සමග බැසයන අතර, ප්‍රගීත් හා එස්.එෆ්. ජගත් තණමල්විල දී බස්සවා ගිනි අවි දෙක භාරදීමට මෝටර් රථයේ තනිවම යන්නේ හමුදා සේවයේ සිටියදීම කොල්ලයට පැමිණි මහේෂ්ය.
යළිත් මෝටර් රථය ගෙනැවිත් දුන් පසුව එස්. එෆ්. ජගත් තමාගේ ලක්ෂ පහළොවත්, ඔත්තුකරුවන්ගේ ලක්ෂ පහත් රැගෙන කොළඹට එන්නේ මෝටර් රථයද මාතර කුලී ස්ථානයට ලබා දීමෙන් පසුවය.

මේ ආකාරයට මංකොල්ලය සිදුකර පලාගිය ද බුද්ධි අංශ මෙහෙයුමකින් එස්. එෆ්. ජගත් කොටු වන්නේ නොසිතූ විරූ ලෙසය. තමාට ලද මුදල් බූරු ගසා පරාද වූ බව එස්. එෆ්. ජගත් මුලදී පා‍පොච්චාරණය කළේ ය.

ජගත්ගේ තොරතුරු මත රන්නේ දී පුෂ්පකුමාර අත්අඩංගුවට ගත් අතර ඔහු සන්තකයේ වූ මුදල්ද සොයා ගන්නා ලදී. පුෂ්පකුමාරගේ තොරතුරු මත රඹුක්කන පදිංචි ඉන්දික ද ප්‍රගීත්වද කොටුකර ගනිති.

ඉන්පසු විමර්ශන කණ්ඩායම්වලට වූ අභියෝගය වූයේ ප්‍රහාරය මෙහෙය වූ කෙරුම්කාරයා හා ටී 56 අවි දෙක සොයා ගැනීමය.

මේ කිසිවකුට මහේෂ් සිටින නිවසක් ගැන තොරතුරක් නොවීය. මහේෂ් උපක්‍රමයක් ලෙස සියලු දෙනා හමුවන්නේ තණමල්විලට පැමිණය. පසුව ගිනි අවි හා මුදල් දෙන්නට යන්නේත්, ජගත් හා ඉන්දික අතරමග දමාය. ඒ නිසා මහේෂ්ගේ දුරකථන අංකය හැර කිසිවක් ‍පොලිස් විමර්ශන කණ්ඩායම්වලට සොයාගත නොහැකිය.
දුරකථන අංකය මාදුරුඔය කඳවුරකින් ක්‍රියාත්මක වුවද කඳවුරු තුනක් වූයෙන් සැකකරු හඳුනා ගැනීමේ භාරධූර කාර්යයක් විය.

ඒ අතරතුර පෑලියගොඩ විශේෂකාර්යාංශයේ නිලධාරීහු මාතරට ගොස් මංකොල්ලයට යොදාගත් මෝටර් රථයේ වී.පී.එස්. තාක්ෂණය ඔස්සේ  සවිකර  ඇති ලුහුබැඳීම් පද්ධතිය (traking System) ඔස්සේ මෝටර් රථය ගිය මාර්ගය අධ්‍යයනය කළහ. එම තොරතුරු විශ්‍ලේෂණයේදී මෝටර් රථය මංකොල්ලය සඳහා ගෙනගිය මාර්ගය මෙන්ම පලාගිය මාර්ගය ද  සටහන්ව තිබිණි.

එම තොරතුරු විශ්‍ලේෂණයේදී  මහේෂ් තණමල්විලදී ගිනිඅවි දීමට යන ස්ථානයේ ග්‍රිඩ් අංකය විමර්ශන කණ්ඩායම් ලබාගත්තේය.  එම තොරතුරු ඔස්සේ තණමල්විල නිවස  සොයාගොස් වැටලූ විට හමුදා සෙබළා රාජකරි සඳහා ගොස් ඇතැයි අනාවරණය විය.

සැකකරුගේ බිරිඳවත් මාදුරුඔය සේවය කරන බව හැරෙන්නට හරිහමන්  විස්තරයක් නොදැන සිටීම නිසාම මහේෂ්ගේ නිවසේ ලිපිගොනු පරීක්ෂාකාර  කඳවුරේ තොරතුරු  ලබාගත්තේය.

‍පොලිස් අධිකාරි උපාලි ජයසිංහ  මහතා මහේෂ්ගේ සේවය කරන කඳවුරේ තොරතුරු ලබාදුන් පසුව මහේෂ්ව හමුදා කඳවුරේ ප්‍රධානින් ලවා හමුදා සිර මැදිරියේ රඳවන්නේ විමර්ශන කණ්ඩායම් එහි යනතුරුය.

මේ අතරේ ‍පොලිස් විශේෂ කාර්යාංශයේ නිලධාරීන් මහේෂ්ගේ බිරිඳගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී ටෙඩි  බෙයාර් කෙනකුගේ ඇතුළට දමා මසා තිබූ රුපියල් ලක්ෂ දහසයක් හමුවන්නේය.

මේක නිධානයකින් ගත් බඩු වගයක් විකුණලා ගත්ත සල්ලි.  වස් ඇරලා නැහැ.  ඒ නිසා මේ සල්ලි අරන් තියන්නැයි මහේෂ් තම බිරිඳට කියා මෙම මුදල් සඟවා තැබුවේය.

මහේෂ්ගේ සොහොයුරකුගෙන් ප්‍රශ්න කිරීමේදී කොල්ලයට යොදාගත් ටී 56 ගිනිඅවියක් කොටස්වලට ගලවා ප්ලාස්ටික් බට ඇතුළේ රිංගවා කැලයක වළලා තිබියදී සොයා  ගන්නා ලදී.   අනෙක් ගිනි අවිය සොයාගත්තේ ඉංජිනේරු බළකා කඳවුරට ගොස් අල්ලාගත් මහේෂ්ගෙන් ප්‍රශ්න කිරීමේදීය. මහේෂ් එම කඳවුරේ හමුදා රියැදුරෙකු ලෙස කටයුතු කළ අයකු වූ  අතර රාජකාරියේ යෙදී සිටියදී කෙටි නිවාඩුවක් දමා පැමිණ කොල්ලය මෙහෙයවා තිබුණේය.

මහේෂ්ගේ නිවසේ පසුපස හුඹසක සඟවා තිබි අනෙක් ගිනි අවියද සොයාගත්  අතර මාතරට ගංවතුර ගැලූ මොහොතේ වසන්ත නමැත්තකු ගිනිඅවි දෙක ගෙනවිත් පරිස්සමට තමාට දුන්බව මහේස් හෙළිකළේය.

එක් සැකකරුවකුගේ කොල්ලකන ලද මුදල් ලක්ෂ 6ක් තැඹිලි ගහක් යට වළදමා තිබියදී සොයාගන්නා ලදී. මේ ආකාරයට සඳුදා වන විට ලක්ෂ හතළිහක පමණ මුදලක් සොයාගත් අතර  එස්.එෆ්. ජගත්ගේ නිවසේ යතුරුපැදියක සඟවා තැබූ එක්ලක්ෂ තිස්දහසක මුදලක් ද පසුදින හමුවූයේ විමර්ශනවලදීය.

මෙම කොල්ලයේ ඔත්තුකරුවූ නිපුණ අත්අඩංගුවට පත්වන්නේ ඔහුගේ පියා රාගම රෝහ‍ලේදී එදින මියගොස් මෘත ශරීරය භාරගැනීමට  ගොස් සිටියදීය. පිළිකා රෝගයකින් පෙළුණු තම පියාට කොල්ලයෙන් ලද ලක්ෂ පහෙන් ලක්ෂය බැගින් වටිනා එන්නත් දෙකක් ලබාදුන් බව නිපුණගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවිය.

කිසිදු සාක්ෂියක් නොතබා සිදුකළ ලක්ෂ හැත්තෑහතේ මංකොල්ලයේ සියලු තොරතුරු දින පහක් ඇතුළත සොයාගන්නට ‍පොලිස් විශේෂ කාර්යාංශය සාර්ථක බුද්ධි මෙහෙයුමේ ප්‍රතිඵලයක් ලෙසිනි.



Wmqgd .ekSu ��r mqj;am; weiqfrks

More News »