කිඹුල් ඔත්තුවෙන් හෙළිවූ පොරෝ පහරේ අභිරහස

2017-07-07 11:14:00       527
feature-top
ඕනෑම ඝාතනයකදී මළ සිරුරෙන් හෝ එහි ඉතිරිව ගිය සුන්බුන්වලින් හෙළි කර ගත හැකි සාක්‍ෂි බොහෝය. මියගිය හැටි, මරණයට හේතුව, මියගිය තැන, හුස්‌ම ගිය දවස හා වේලාව, මියගොස්‌ ඇත්තේ කවුරුන්ද යන වග පමණක්‌ නොව මෙම තොරතුරුවලින් හෙළි කරගත හැකි සාක්‍ෂි අති විශාලය. එසේ මළ සිරුරකින් හෙළි කර ගන්නා තොරතුරු හඳුන්වනු ලබන්නේ නිහඬ සාක්‍ෂි ලෙසය. වරදකරු පෝරකයට යෑවීමටත්, ඔහු නිදොස්‌ අහිංසකයකු නම් චෝදනාවලින් නිදහස්‌ කර ගැනීමටත් එම නිහඬ සාක්‍ෂි බොහෝ සෙයින් ඉවහල් වේ. එහෙත් එම නිහඬ සාක්‍ෂි එක්‌රැස්‌ කිරීම ලේසි පහසු කටයුත්තක්‌ නොවේ. ඒ සම්බන්ධයෙන් විශේෂ ප්‍රාගුණ්‍යයක්‌ සහිත විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරියකුට හැර මළ සිරුරක්‌ කතා කරවීමට නොහැකිය. එමෙන්ම මළ සිරුර කතා කරවීමේ කලාව අපූරුතම විද්‍යාවකි. එකී අපූරුතම විද්‍යාව ප්‍රගුණ කළ මෙන්ම මළ සිරුරු කතා කරවපු අපූරු මිනිසෙක්‌ දැන් අප ඉදිරිපිට සිටී. ඔහු ඩබ්ලිව්. ටී. එම්. මහින්දරත්නය. මෙරට සිදු වූ සාහසික අපරාධ රැසක සුලමුල හෙළි කරගැනීමට දායක වූ ඔහු දැන් වරලත් අධිකරණ වෛද්‍ය විද්‍යාඥයෙකි. එමෙන්ම ප්‍රවීන ජනමාධ්‍යවේදියෙකි. ඔහු විසින් රචිත 'පෝරකය ඉව කළ මිනිස්‌සු' ග්‍රන්ථය අදට ද පාඨකයන් අතර ජනප්‍රිය රහස්‌ පරීක්‍ෂණ ග්‍රන්ථයකි. එංගලන්තයේ හර්ට්‌ෆිර්ඩ්ෂයර් ප්‍රාන්තයේ ජාතික සෞඛ්‍ය නිලධාරියකු ලෙස සේවයේ නිරතව සිටින ඔහු පසුගිය දිනක ලංකාවට පැමිණි මොහොතක 'දිවයින' කාර්යාලයට ද පැමිණියේය. එසේ පැමිණි මොහොතේදී අප ඔහු සමඟ මෙරට මෙන්ම ලෝකයේ මළ සිරුරු කතා කරවමින් හෙළිදරව් කර ගත් ආන්දෝලනාත්මක මරණ පරීක්‍ෂණ කිහිපයක්‌ ගැන කතා බහ කළෙමු. මේ ඔහු සමඟ කළ සාකච්ඡාවෙන් පසු පෙළගැසෙන කතා මාලාවේ තෙවැනි කොටසය.

රියන්ගොඩ ලෙබ්බේ දක්‍ෂ ව්‍යාපාරිකයෙක්‌. කාලයට උචිත විදිහට ව්‍යාපාර පටන් ගන්න උපන් හපනෙක්‌. රට තුළ දුම්කොළවලට ඉල්ලුම වැඩි වෙනකොට ලෙබ්බේ දුම්කොළ වගා කරන්න තීරණයක්‌ ගත්තා. ඒ සඳහා ඔහු තෝරගත්තේ දුම්කොළවලට හොඳ පසක්‌ තියෙන දමනුකොළපැලස්‌ස. අක්‌කර ගාණක ඉඩමක්‌ මිලට ගත් ලෙබ්බේ දුම්කොළ වගාව පටන් ගත්තා. සේවකයන් හත්අට දෙනකු හේනේ වැඩ කළා. සේවකයන්ට කෑම බීම ගෙනත් දාන්න, පඩි නඩි ගෙවන්න ලෙබ්බේ මාසෙකට වතාවක්‌, දෙකක්‌ හේනට ආවා. ලෙබ්බෙ හොඳට අඩි පුඩි ගහන මනුස්‌සයා නිසා ඔහු ආපු දවසට වාඩියේ වැඩ කරන අයට මඟුල් ගෙයක්‌ වගෙයි. ඒත් ලෙබ්බේ රෑට වාඩියේ නතර වුණේ නෑ. ඒ වෙනකොට රෑ පහන් කරන්න හේන පහළ පැලක්‌ හොයාගෙන තිබුණා.

ඒ පැලේ ජීවත් වුණේ රන් මැණිකයි ඇයගේ පුතයි, දුවයි විතරයි. රන් මැණිකාගේ මනුස්‌සයා නැති වෙලා. ඇය ගමේ ගොඩේ කුලියක්‌ මලියක්‌ කරලා ගන්න සොච්චම ඇරෙන්න ඒ පවුලට වෙනත් ආදායම් තිබුණේ නෑ. අගහිඟකම්වලින් මිරිකිලා හිටියේ. එහෙම ඉන්න අතරේ තමයි රන් මැණිකට තනි රකින්න ලෙබ්බේ එන්න පටන් ගත්තේ. ලෙබ්බේ ව්‍යාපාරවලට වගේම ගෑනු දැලේ දාගන්නත් දක්‍ෂයා. ඒ වගේම ඔහු ගෑනුන්ට අත දිගහැරලා වියදම් කළා. ලෙබ්බේ එන්න යන්න ගත්තට පස්‌සේ රන් මැණිකලාගේ ගෙදරත් අගහිඟකම් අඩු වුණා. රන්මැණිකා අලුත් චීත්ත අඳින්න පටන් ගත්තා. දොaණිඇන්දා පාට, පාට සාය හැට්‌ට අඳින්න ගත්තා. කන බොන මනුස්‌සයා නිසා ලෙබ්බේ ආපු දවස්‌වලට රන් මැණිකාගේ ගෙදර මස්‌, මාළු හැලි පිටින් තැම්බෙනවා. ඒ නිසා කරදඬු උස්‌ මහත් වෙච්ච පුතයි, දුවයි ලෙබ්බේ ගෙදරට එන යන එකට විරුද්ධ වුණේ නෑ. ගෙදරට ආපු වෙලාවට රන් මැණිකාගේ දුවත් ලෙබ්බේට කන්න බොන්න දීලා හොඳට සැලකුවා.

කාලය ගෙවී ගියා. දවසක්‌ දුම්කොළ වාඩියට ආපසු ලෙබ්බේ අතුරුදන් වෙලා කියලා ගම පුරා ලැව්ගින්න වගේ පැතිරිලා ගියා. පොලිසියත් ගමට ආවා. පොලිසිය මුලින්ම ගියේ රන් මැණිකාගේ ගෙදරට.

'අනේ මහත්තයෝ... මුදලාලි පෙරේදා රෑ ඇවිත් කෑම කාලා එළියේ පිලේ නිදාගත්තා. වෙනදා පාන්දර ජාමේ වෙනකොට ඇහැරිලා වාඩියට යනවා. ඒත් ඊයේ උදේ ඉර පායනකණුත් නැගිට්‌ටේ නෑ. පස්‌සේ මම කතා කළා. කහට උගුරක්‌ බීලා නාගන්න ඕනේ කියලා වැව දිහාට ගියා...' ඒ ලෙබ්බේගේ හදිසි අතුරුදන්වීම ගැන රන් මැණිකා දුන්න සාක්‍ෂියේ කොටසක්‌.

'අනේ අපිට සලකගෙන හිටිය මනුස්‌සයා... මොනව වුණාද කියලා දන්නේ දෙවියෝ තමයි...' රන් මැණිකා පොලිස්‌ නිලධාරීන් ඉදිරිපිට විලාප දෙන්නට පටන් ගත්තා.

'අපේ මුදලාලිට කිසිම කෙනෙක්‌ හතුරුකම් කළේ නෑ. මුදලාලි මේ වතාවේ එනකොට අපිට පඩි ගෙවන්න සල්ලිත් අරගෙන ඇවිත් තිබුණා. ඒ සල්ලි ටිකත් අතුරුදන්. මම නම් කියන්නෙ කවුරුහරි සල්ලි ගන්න මුදලාලිට අනතුරක්‌ කරලා තියෙනවා...' දුම්කොළ වාඩියේ භාරකරු පොලිසියේ ඉදිරියේ එහෙම කියා හිටියා.

ලෙබ්බේ නාන්න ගිය වැව පොලිසිය සෝදිසි කළා. ඒත් කිසිම හෝඩුවාවක්‌ ලැබුණේ නෑ...

'නාන්න ගිහින් අනතුරක්‌ වුණා නම්. ඒ මනුස්‌සයා ගලවපු ඇඳුම් ගොඩ තියෙන්න ඕනෑ. එහෙම සළකුණක්‌වත් නෑ. මේක කවදාවත් දියේ ගිලිලා වෙච්ච මරණයක්‌ නෙමෙයි...' පොලිස්‌ නිලධාරියකුගේ කතාවට පොලිස්‌ පරීක්‍ෂකවරයාගේ හිතේ කුකුසක්‌ ඇති වුණා. ලෙබ්බේගේ නිවසින් විමසූ විට දැනගන්න ලැබුණේ ලෙබ්බේ වාඩියට එනකොට රුපියල් 7000 ක්‌ රැගෙන ආ බවයි. පොලිස්‌ නිලධාරීන් ලෙබ්බේ ආ ගිය තැන් සෝදිසි කරන්න පටන් ගත්තා.

'එදා හොඳට බීලා හිටියේ. හොර කසිප්පු පොළකට රිංගන්න ඇති. උදේ ඇඟටත් අමාරු කිව්වා. නැති නම් මුදලාලි එළිවෙනකම් පිලේ ඉන්නේ නෑ...' රන් මැණිකාගේ කටඋත්තරයට අනුව ලෙබ්බේ කසිප්පු බොන තිප්පළ හොයාගෙන පොලිසිය ඉගිලුණා.

ගේ මිදුලේ ඉන්න පොලිස්‌ නිලධාරීන් දැක්‌ක ගමන් කසිප්පු විකුණන සිමියොන් බිරන්තට්‌ටු වුණා. සිමියොන් ඉදිරියේ පොලිසියේ ප්‍රශ්න පොත දිගහැරුණා.

'එදා හවස මුදලාලි ඇවිත් කසිප්පු බීලා ගියා. එයින් එහා මම මොකුත් දන්නේ නෑ මහත්තයෝ...' සිමියොන් පොලිස්‌ නිලධාරීන් ඉදිරියේ බැගෑපත් වුණා.

සිමියොන්ගෙන් ඊට වඩා යමක්‌ දැනගන්න ලැබුණේ නෑ. ලෙබ්බේ අතුරුදන් වෙලා දින හතරකට විතර පස්‌සේ වැව් බැම්ම කිට්‌ටුවට මිනිස්‌ කකුලක්‌ සහ අත්දෙකක්‌ පාවෙලා ඇවිත් තිබුණා. පොලිසිය ලෙබ්බේගේ බිරිඳව ගෙනත් ඒ ශරීර කොටස්‌ පෙන්නුවා.

'අයියො යෙයා තමයි. මේ තීන්නේ මුද්ද, ඔරලෝසුවත්...' ලෙබ්බේගේ බිරිඳ හඬා වැළපෙමින් ස්‌වාමියාගේ මළසිරුරේ කොටස්‌ හඳුනා ගත්තා. පොලිසිය පරීක්‍ෂණ සඳහා පොලිස්‌ සුනඛයන් යොදා ගත්තා. මළ සිරුර ඉව කළ සුනඛයන් ඒ මේ අත දිව්වා. කසිප්පු පොළට යාර 10 ක්‌ ඈතින් නතර වුණ සුනඛයන් බිම හූර, හූර බුරන්න ගත්තා. ඒ තැන සෝදිසි කළ විට ලේ පැල්ලම් කීපයක්‌ තියෙන බව පොලිසිය හඳුනා ගත්තා. පොලිස්‌ බල්ලො කසිප්පු පොළටත්, රන් මැණිකාගේ ගෙදරටත් ගියා. මේ ගෙවල් දෙකම පොලිස්‌ බල්ලෝ ඉව කළාට වෙනත් කිසිම හෝඩුවාවක්‌ හොයාගන්න බැරි වුණා. ඒත් පොලිසිය පසුබට වුණේ නෑ. මුලින්ම සිමියොන්ගේ ගේ සෝදිසි කරන්න පටන් ගත්තා. වැඩි වේලාවක්‌ ගියේ නෑ. කසිප්පු වාඩියේ ලෑල්ල අස්‌සේ සඟවලා තිබුණ සල්ලි පොකැට්‌ටුවක්‌ පොලිසිය හොයාගත්තා.

කෝ මිනිහෝ මේකෙ තිබුණ සල්ලි...?

'මේ... මේ... තියෙනවා සර්...' සිමියොන් වේව්ලන දෑතින් ගේ ඇතුළෙ තිබුණු රුපියල් හත්දාහක්‌ පොලිස්‌ නිලධාරීන් අතට දුන්නා.

'බුදු සර් මම වරදක්‌ කළේ නෑ. මම ඇත්ත කියන්නම්. එදා හැන්දෑවේ මුදාලාලිට ටිකක්‌ වැඩි වුණා. සල්ලි පොකැට්‌ටුවත් අමතක වෙලා ගියා. මම පහුවැනිදාට දෙන්න කියලා පොකැට්‌ටුව තියාගත්තා. මුදලාලි නෑයි කියලා කතාවක්‌ පැතිරිලා ගිය නිසා මම සල්ලි ටික තියාගත්තා....' ගෙදර අය විලාප දෙමින් කියා සිටියෙත් සිමියොන් එදා දවසම ගෙදරින් දොට්‌ට බැස්‌සේ නැති බවයි. ඒත් සිමියොන් නම් පතළ දාමරිකයෙක්‌. තුන්හතර වතාවක්‌ හිර බත් කාපු කෙනෙක්‌.

'ඉතිරි ටික අපි පොලිසියට ගිහින් අහගන්නම්. නගිනවා ජීප් එකට...' සිමියොන් පොලිස්‌ අත්අඩංගුවට පත් වුණා. මළ සිරුරේ කොටස්‌ පරීක්‍ෂා කිරීම සඳහා අධිකරණ වෛද්‍ය අංශයට යොමු වුණා.

'මේ සිරුරේ කොටස්‌ කිඹුලෙකු වැනි සතෙක්‌ විසින් කා දමා තිබෙනවා. සිරුරේ කොටස්‌ අයිති පුද්ගලයා අවුරුදු 48 ක්‌ පමණ වයසක පසු වෙනවා. ඒත් ඉදිරි පරීක්‍ෂණ සඳහා මළ සිරුරේ ඉතිරි කොටස්‌ පරීක්‍ෂා කළ යුතු බව අධිකරණ වෛද්‍ය අංශය තීරණය කළා. ඒ අනුව අධිකරණ වෛද්‍ය අංශය කොළඹ ඉඳලා දමනුකොලපැලැස්‌සේ වැව ළඟට ගියා. ඒත් මළ සිරුරේ ඉතිරි කොටස්‌ හොයන එක ලේසි වුණේ නෑ.

'මේ වැවේ මිනී මසට ඇබ්බැහි වෙච්ච කිඹුලෙක්‌ ඇති. මේ මළ සිරුරේ ඉතිරි කොටස්‌ ඇත්තේ ඒ කිඹුලගේ බඩේ. කිඹුලාගේ බඩ පරීක්‍ෂා කළා නම් හරි...' ඒත් කිඹුලා පණ පිටින් හිටිද්දී බඩ පරීක්‍ෂා කරන්න බෑ. අධිකරණ වෛද්‍ය අංශයේ යෝජනාවෙන් පොලිස්‌ නිලධාරීන් ප්‍රශ්න වැලක පැටලුණා.

ටික වේලාවක්‌ කල්පනා කළ පොලිස්‌ පරීක්‍ෂකවරයා මිනී කන කිඹුලව මරන්න තීරණය කළා. ගම්වාසීන්ගේ උදව් ඇතිව වෙහෙසකර මෙහෙයුමකින් පසු කිඹුලට වෙඩි තබා ගොඩට රැගෙන ආවා. අධිකරණ වෛද්‍ය නිලධාරීන් පරීක්‍ෂණ ආරම්භ කළා. ඔවුන් කියපු විදිහටම ලෙබ්බේගේ ඉතිරි ශරීර කොටස්‌ කිඹුලගේ බඩේ තිබිලා හමු වුණා. එසැණින් ක්‍රියාත්මක වුණු අධිකරණ වෛද්‍ය අංශය ශරීර කොටස්‌ පෝමලින් දියරවල බහා කොළඹ අධිකරණ වෛද්‍ය අංශය වෙත රැගෙන ගියා. කොටස්‌ කිහිපයක්‌ රස පරීක්‍ෂක තැනටත් භාර දුන්නා. තවත් කොටස්‌ කිහිපයක්‌ ඇඟිලි සලකුණු දෙපාර්තමේන්තුවට භාර දුන්නා. ඒ සියලු පරීක්‍ෂණ තුළින් ලෙබ්බේගේ මළ සිරුර බව තහවුරු වුණා. වැදගත්ම තොරතුර හමු වුණේ අධිකරණ වෛද්‍ය අංශයට. ඒ කිඹුල් ආමාශය තුළ තිබූ මිනිස්‌ සිරුරේ කොටස්‌ සමඟ තිබී හමු වූ සරොම් කෑලි දෙක. එකක්‌ මඩකලපු සරමක්‌. අනෙක පිජාමා සරම් කෑල්ලක්‌. පිජාමා සරම් කෑල්ලේ තිබුණේ කොටස්‌ කීපයක්‌ විතරයි.

'මුදලාලි මඩකලපු සරම තමා අඳිනවා. පිජාමා සරොම් අඳින්නේ නෑ. මේක අපේ නෙමෙයි...' ලෙබ්බේගේ බිරිඳ මුදලාලි ඇඳගෙන ගිය කොටු වැටුණු මඩකලපු සරම හඳුනාගත්තා. එතකොට මේ පිජාමා සරම කෑල්ල කාගේද... රතුපාට ඉරි සහිත පිජාමා සරම ගැන සැකකාර සිමියොන්ගෙන් විමසුවත් වැඩක්‌ වුණේ නෑ. සිමියොන්ගේ නිවස අහුමුළු නෑර සෝදිසි කළත් පොලිසියට කිසිම හෝඩුවාවක්‌ ලැබුණෙත් නෑ. අනතුරුව පොලිසියේ උකුසු ඇස රන් මැණිකාගේ ගෙදරට ඉගිලුණා. පැළේ රෙදි පඩංගු අවුස්‌සනකොට පිජාමා සරම් කෑල්ලක්‌ තිබිලා පොලිසිය හොයාගත්තා. සරම් කෑලි දෙකම එකට තබා පරීක්‍ෂණ කරනකොට කෑලි දෙකම එකම සරමක කොටස්‌ කියලා අධිකරණ වෛද්‍යවරුන්ට තහවුරු වුණා. ඒ වෙනකොට අධිකරණ වෛද්‍ය අංශය මළ සිරුරේ හිස්‌ කබලේ කොටස්‌ එකින් එක තබා අලවා නැවත හිස්‌ කබල ගොඩනැඟීමේ සූක්‍ෂම පරීක්‍ෂණයක නිරත වෙමින් හිටියා. කෑලි හතළිස්‌ ගණනකට කැඩිලා තිබුණු හිස්‌ කබල නැවත ගොඩනගද්දී හිස්‌ කබලේ පිටුපස කදිම කැපුම් පහරක්‌ දකින්නට ලැබුණා. පොරෝ පහරකින් මරණය සිදු වී ඇති බව වෛද්‍යවරු තහවුරු කර ගත්තා. මරණයට හේතු වූ පොරොව රන් මැණිකාගේ ගෙදර තිබිලා හමු වුණු අතර හිස්‌ කබලේ කැපුමට ඒ පොරෝ තලය මනාව ගැලපුණා.

ගෑනියකුට මේ වගේ පොරෝ පහරක්‌ එල්ල කරන්න අමාරුයි. මේක කරන්න ඇත්තේ රන් මැණිකාගේ පුතා හීන් කිරියා තමයි කියලා පොලිසිය සැක කළා. පසුව පොලිසිය රන් මැණිකවයි, හීන් කිරියවයි අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන්න පටන් ගත්තා. පොලිස්‌ නිලධාරීන් අඩි දෙක, තුන හප්පනකොට හීන් කිරියා ලෙබ්බේ මරපු හැටි පාපොච්චාරණය කරන්න පටන් ගත්තා.

'එදා රෑ මම ගෙදර එනකොට අම්මයි, නංගියි අඬ, අඬ හිටියා. මුදලාලි පිලේ නිදාගෙන හිටියා. මුදලාලි මොනවහරි කරලා තමයි අම්මලා අඬන්නේ කියලා මගේ හිත කිව්වා...'

'නංගි ඇයි උඹල අඬන්නේ... මොකද වුණේ කියාපං...' කියලා මම කෑගැහුවා.

'ලෙබ්බේ මාමා මට කරදර කළා...' නංගිගේ කටින් වචන පැන්නා. මට ඉහිලුම් දුන්නේ නෑ. කුස්‌සිය මුල්ලේ තිබුණ පොරෝ කෙටිය උස්‌සගෙන ඇවිත් නිදාගෙන හිටිය මුදලාලිගේ ඔලුවට කෙටුවා. පොරෝ තලය ඇතුළටම බැස්‌ස. ලේ එනකොට මට බය හිතුණා. පස්‌සේ මම ගෙයි තිබුණු සරොමක්‌ ඉරාගෙන ඇවිත් තුවාලය තද වෙන්න බැන්දා. එතකොටම මුදලාලිගේ හිස කඩා වැටුණා. කිසිම හැල හොල්මනක්‌ නෑ. පස්‌සේ මමයි, අම්මයි එකතු වෙලා වැවේ කිඹුල් වළට ගිහින් දැම්මා...' හීන් කිරියා වරද පිළිගෙන ලෙබ්බේ ඝාතනය කරපු හැටි සියලු විස්‌තර පොලිසිය ඉදිරියේ වෑමැරුවා.

'එදා රෑ මුදලාලි ගෙට ගොඩ වුණේ කෙළින් කටින් ඉන්න බැරි ගානට වෙරි මතින්. ඒත් වෙනදා වගේ කාලා බීලා පිලට වැටුණේ නෑ. මම එහාට, මෙහාට වෙනකම් ඉඳලා කෙල්ලට අතවර කරන්න පටන් ගත්තා. ඒත් මට කරන්න කිසිම දෙයක්‌ තිබුණේ නෑ. කෙල්ලව විනාශ කරලා හොඳ මිනිහා වගේ පිලට වැටිලා නිදාගත්තා. මම කෙල්ලව තුරුලු කරගෙන අඬ, අඬ ඉන්නකොට තමයි කොල්ලා ගෙදර ආවේ. කොල්ලගෙ හැටි දන්න නිසා වෙච්ච දේ මම කිව්වේ නෑ. ඒත් කොල්ලගේ කෑගැහිල්ලට බයටම කෙල්ල කිව්වා. ඒ එක්‌කම පුතා කුස්‌සියේ තිබුණු පොරොව ගෙනත් මුදලාලිගේ ඔලුවට කෙටුවා. මට අල්ලගන්නවත් වේලාවක්‌ තිබුණේ නෑ...' හීන් කිරියාගේ පාපොච්චාරණය රන් මැණිකා ද තහවුරු කළා. ලෙබ්බේගේ නියම මිනීමරුවා හඳුනාගත්තා.

කිඹුල් ඔත්තුව නිසා නිරපරාදේ හිරේ යන්න ගිය සිමියොන් නිදහස්‌ වුණා. ලෙබ්බේ ඝාතනය කළ වරදට හීන් කිරියා හිරේ ගියා. කිඹුලත් එක්‌ක පස්‌ වෙන්න ගිය ලෙබ්බේගේ මිනී මැරුම හොයාගන්න පුළුවන් වුණේ අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ පළපුරුද්ද සහ විශේෂඥ පුහුණුව නිසා. එහෙම නොවෙන්න ලෙබ්බේගේ මරණය අදටත් අභිරහසක්‌.



Wmqgd .ekSu oskusK mqj;a m; weiqfrks

More News »