යකෝ මං කිව්වේ රංගජීවට වැඩේ දීපන් කියලා
මධූෂ්ගෙන් ලොකු පැටීට බැණුම් වරුසාවක්‌

2017-07-03 11:10:00       580
feature-top
දකුණේ පාතාලයේ මහා කෙරුම්කාරයා ලෙස හැඳින්වෙන මාකඳුරේ මධුෂ් නමැත්තා සිය ගෝලබාලයන් යොදාගෙන පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත ප්‍රහාරයක්‌ එල්ල කළේය.

පිළියන්දල නගර මධ්‍යයේදී එල්ල කළ මෙම ප්‍රහාරයෙන් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරියකු සහ 12 හැවිරිදි අහිංසක දැරියක්‌ මියගියහ.

ප්‍රහාරයෙන් පොලිස්‌ පරීක්‍ෂක නියොමාල් රංගජීව ඇතුළු පොලිස්‌ නිලධාරීන් තිදෙනකු ද දරුවන් දෙදෙනකු ද තුවාල ලැබීය.

පොලිස්‌ නිලධාරීන් නොමඟ යවා ඔවුන් වෙත පාතාල කල්ලියක්‌ එල්ල කළ ප්‍රථම ප්‍රහාරය ලෙස මෙය ඉතිහාසගත විය.

මාකඳුරේ මධුෂ් නමැත්තා මෙම ප්‍රහාරය එල්ල කළ ආකාරය එය සැලසුම් කළ ආකාරය මෙන්ම පොලිස්‌ නිලධාරීන් අපරාධකරුවන් නීතියේ රැහැනට නතුකර ගත් ආකාරය පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශයට වෙඩි තැබූ පාතාලයේ දෙවැනි කොටසින් දිගහැරෙයි.

වේගයෙන් ආ ත්‍රිරෝද රථයක්‌ දෙල්ගොඩ සියඹලාපේ ප්‍රදේශයේ පිහිටි එක්‌තරා යතුරුපැදි අලෙවිසලක්‌ ඉදිරිපිට නතර කෙරිණි. ත්‍රිරෝද රථයෙන් බැසගත් පුද්ගලයන් දෙදෙනකු කෙළින්ම ගියේ යතුරුපැදි අලෙවිසල වෙතය.

ත්‍රිරෝද රථයේ පැමිණි දෙදෙනාගෙන් එකකු ගුණපාල නොහොත් සුදු අයියාය. අනෙකා අසිත නොයෙල් කුමාර නොහොත් ආමි අසිතය. මොවුන් දෙදෙනා යතුරුපැදියක්‌ මිලදී ගැනීමට පැමිණ සිටියේ මාකඳුරේ මධුෂ් නමැති පාතාල නායකයාගේ උපදෙස්‌ අනුවය.

යතුරුපැදි අලෙවිසලේ තිබූ සියලු යතුරුපැදි පරීක්‍ෂා කළ සුදු අයියා සහ ආමි අසිත එක්‌ යතුරුපැදියක්‌ තෝරා ගත්හ.

යතුරුපැදිය මිලදී ගැනීම සඳහා ඔවුන් ඉදිරිපත් කළේ වෙනත් පුද්ගලයකුගේ විදේශ ගමන් බලපත්‍රයක ඡායා පිටපතකි.

"අපි බයික්‌ එක ගන්නෙ යාළුවෙකුට. එයාට එන්න විදිහක්‌ නැහැ. මේ පාස්‌පෝර්ට්‌ කොපිය එයාගෙ.

සුදු අයියා සේල්පළේ හිමිකරුට කීවේ සැකයක්‌ නොසිතෙන ආකාරයටය. රුපියල් එක්‌ ලක්‍ෂ විසිපන් දහසක මුදලකට යතුරුපැදිය මිලට ගත් මොවුන් දෙදෙනා එය රැගෙන කෙළින්ම ගියේ පිළියන්දල ප්‍රදේශයටය.

පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විනාශ කිරීමේ මෙහෙයුම මාකඳුරේ මධුෂ් පියවරෙන් පියවර සංවිධානය කර තිබුණේය. මධුෂ් මෙම ප්‍රහාරයට එක්‌ව සිටි තම සගයන් සමඟ දුරකථනයෙන් සම්බන්ධ වෙමින් දිගින් දිගටම උපදෙස්‌ ලබා දුන්නේය.

ප්‍රහාරය එල්ල කිරීම සඳහා දින වෙන් කරගෙන තිබුණේ මැයි මස 09 වැනිදාය. ඒ දිනය ලබාදුන්නේ මොහොමඩ් නවාස්‌ය.

පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශයේ පොලිස්‌ පරීක්‍ෂක නියොමාල් රංගජීව සහ අනෙකුත් නිලධාරීන් මුලාකළ නවාස්‌ හෙරොයින් ජාවාරම්කරුවකු පිළිබඳ ඔත්තුවක්‌ ලබාදී තිබුණේය.

"සර්... පිළියන්දලට ගේන්නෙ මධුෂ්ගෙ බඩු කිලෝ එකකට කිට්‌ටු වෙන්න බඩු තියෙනවා. බඩු ටික ගන්න විදිහට අපි යන්න ඕනෙ..."

මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් මුලාවේ දැමූ නවාස්‌ තම සැලසුමේ මුල් අදියර ක්‍රියාත්මක කළේය.

ඒ වනතුරු නවාස්‌ ලබාදී තිබූ සාර්ථක ඔත්තුවලින් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් මෙහෙයුම් රැසක්‌ කර තිබුණේය. ඒ හරහා හෙරොයින් විශාල ප්‍රමාණයක්‌ අත්අඩංගුවට ගැනීමට ද ඔවුන් සමත්ව සිටියහ.

නවාස්‌ ලබාදුන් මේ තොරතුර හරහා ද සාර්ථක ප්‍රතිඵලයක්‌ අත්වනු ඇතැයි මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීහු සිතූහ.

මෙහෙයුම සඳහා මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් සූදානම් වූහ. පොලිස්‌ පරීක්‍ෂක නියොමාල් රංගජීව ව්‍යාපාරිකයකුගේ වෙස්‌ ගත්තේය. හෙරොයින් තොගය මිලට ගැනීම සඳහා රුපියල් ලක්‍ෂ පනහකට ආසන්න මුදලක්‌ද මත්ද්‍රව්‍ය නාශක අංශයෙන් ලබා ගත්තේය.

පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් මෙහෙයුම සඳහා ඒ ආකාරයට සූදානම් වෙද්දී මධුෂ්ගේ ගෝලබාලයන්ද තම ප්‍රහාරක සැලසුම සඳහා සූදානම් වූහ.

මේ ප්‍රහාරය සඳහා අවශ්‍ය සියලු උපදෙස්‌ ලබා දුන්නේ ඩුබායිහි සිටින මධුෂ් විසින්ය. මොහොමඩ් නවාස්‌ ප්‍රහාරයට සූදානමින් සිටින ආමි අසිතට අවශ්‍ය සියලු තොරතුරු ලබා දුන්නේය.

නාකොටික්‌ එකේ උන් ටික මම දෙතුන් පළකට ගෙන්නලා උන්ව වටේ යවලා අන්තිමේදී පිළියන්දලට ගෙන්නලා දෙන්නම්. අපි උන්ට ඇටෑක්‌ කරන්නෙ පිළියන්දලදී. 09 වැනිදා රෑ 7 - 8 ත් අතර කාල වෙලාවේදී මේ ඇටෑක්‌ එක වෙන්න ඕනෙ.

නවාස්‌ මෙහෙයුමට එක්‌ව සිටින ආමි අසිතට කීවේය. ප්‍රහාරය සඳහා යතුරුපැදිය පැදවීමේ කාර්ය භාරවී තිබූ ලොකු පැටී මේ කිසිවක්‌ දැන සිටියේ නැත. ලොකු පැටී සිතා සිටියේ තමන් ඝාතනය කරන්නට යන්නේ මධුෂ්ගේ ප්‍රතිවාදී පාතාල සාමාජිකයකු බවය.

දෙල්ගොඩින් මිලදී ගත් යතුරුපැදිය පිළියන්දලදී ලොකු පැටී වෙත භාර දුන්නේ සුදු අයියා විසින්ය. යතුරුපැදිය පරීක්‍ෂා කළ ලොකු පැටී එහි නැගී දෙතුන් වතාවක්‌ පිළියන්දල ප්‍රදේශයේ සංචාරය කළේය. ඒ යතුරුපැදිය හැසිරවීම පිළිබඳව පෙර පුහුණුවක්‌ ලබා ගැනීම සඳහාය.

මධුෂ් ලබාදී තිබූ මිලි මීටර් 9 පිස්‌තෝලයක්‌ ආමි අසිත සතු විය. ලොකු පැටීද පිස්‌තෝලයක්‌ තමන් සන්තකයේ තබාගෙන සිටියේය. එම පිස්‌තෝලයද ලොකු පැටී වෙත ලබාදී තිබුණේ මධුෂ් විසින්ය.

පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් හෙරොයින් මෙහෙයුම සඳහා සූදානම් වෙද්දී ආමි අසිත සහ ලොකු පැටී ඔවුන් විනාශ කර දැමීමේ ප්‍රහාරක මෙහෙයුම සඳහා ලකලෑස්‌ති වූහ.

මැයි 09 වැනිදා උදැසන පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් සිය මෙහෙයුම ආරම්භ කළහ. මෙහෙයුමට නායකත්වය දුන්නේ පොලිස්‌ පරීක්‍ෂක නියොමාල් රංගජීවය. රංගජීව ඇල්ටෝ වර්ගයේ මෝටර් රථයකින් මෙහෙයුම සඳහා පිටත් වුණේය. රංගජීව සමඟ කොස්‌තාපල්වරුන් වන අබේවික්‍රම (49446) සහ (67055) චමින්ද යන නිලධාරීන් සිටියහ.

ඔවුන් සියලු දෙනා සිටියේ සිවිල් ඇඳුමෙන්ය. මෙහෙයුම සඳහා මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් රැගත් ජීප් රථ දෙකක්‌ ද සූදානම් කර තිබිණි.

රංගජීව ඇතුළු පොලිස්‌ නිලධාරීන් රැගත් මෝටර් රථයට ඉදිරිපසින් සහ පසුපසින් මෙම ජීප් රථ දෙක ධාවනය කෙරුණේ කිසිවකුටත් සැකයක්‌ නොසිතෙන ආකාරයටය.

මේ අතර නවාස්‌ පොලිස්‌ පරීක්‍ෂක රංගජීව සමඟ නිරතුරුවම දුරකථනයෙන් සම්බන්ධ වුණේය.

"සර් උන් ඩීල් එක කරන්න බොරැල්ල කනත්ත ළඟට එන්න කියනවා, අපි එතනට ගිහින් බලමු."

නවාස්‌ගේ උපදෙස්‌ මත පොලිස්‌ පරීක්‍ෂක රංගජීව ඇතුළු නිලධාරීන් බොරැල්ල කනත්ත අසලට ගියහ. එහෙත් හෙරොයින් ගනුදෙනුව සඳහා ජාවාරම්කරුවන් පැමිණ සිටියේ නැත. මේ ආකාරයට මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් කොළඹ නගරයේ ස්‌ථාන කීපයකට යෑවීමට නවාස්‌ කටයුතු කළේය.

සාමාන්‍යයෙන් හෙරොයින් ගනුදෙනුවක්‌ සිදුවන්නේ ඒ ආකාරයටය. නිශ්චිත ස්‌ථානයක මේ ගනුදෙනු සිදුනොවන්නේ ආරක්‍ෂක හේතූන් මතය. පොලිස්‌ නිලධාරීන් තුළ සැකයක්‌ ඇති නොවීමට නවාස්‌ මේ සැලසුම ක්‍රියාත්මක කිරීමට හැම විටම වගබලා ගත්තේය.

සර්... මේ පාරනම් ෂුවර් එකට බඩු අරගෙන එනවා. උන් එන්න කියනවා පිළියන්දලට අපි එතනටත් ගිහිල්ලා බලමු...."

නවාස්‌ගේ කීමට එකඟ වූ පොලිස්‌ පරීක්‍ෂක රංගජීව ඇතුළු නිලධාරීන් පිළියන්දල නගරයට පැමිණියහ. ඒ වන විට මැයි 09 වැනිදා දිනය අවසන් වෙමින් තිබුණේය. හතර වටින් අඳුර වැටෙමින් තිබිණි.

ඒ වනතුරු රංගජීව රැගත් මෝටර් රථය ධාවනය කරමින් සිටියේ මත්ද්‍රව්‍ය නාශක අංශයේ වෙනත් නිලධාරියකු විසින්ය. රංගජීවගේ වාහනය නිතර පැදවූ අබේවික්‍රම අතරමගදී රියෑදුරු අසුනට අවේ පිළියන්දලදී මෙම හෙරොයින් වැටලීමේ මෙහෙයුම අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වනු ඇතැයි සිතාය. රංගජීව රැගත් මෝටර් රථයට ඉදිරියෙන් සහ පිටුපසින් ජීප් රථ දෙකක්‌ පොලිස්‌ නිලධාරීන් කණ්‌ඩායමක්‌ රැඳී සිටියේ ඕනෑම අවස්‌ථාවකට මුහුණ දීමේ අරමුණ ඇතිවය.

පොලිස්‌ පරීක්‍ෂක රංගජීව සහ කොස්‌තාපල්වරුන් වන අබේවික්‍රම සහ චමින්ද රැගත් මෝටර් රථය පිළියන්දල - සුවාරපොළ මාර්ගයේ ආපන ශාලාවක්‌ ඉදිරිපිට නතර කළේය.

මෝටර් රථය එහි නතර කළේ නවාස්‌ ලබාදුන් උපදෙස්‌ මතය. මේ අතර ලොකු පැටී සහ ආමි අසිත තම ප්‍රහාරය ක්‍රියාත්මක කිරීම සඳහා උපදෙස්‌ ලැබෙනතුරු පිළියන්දල නගරයේ අඳුරු මාර්ගයක රැඳී සිටියහ.

ඒ මොහොතේ ඩුබායි හි සිට මධුෂ්ගෙන් දුරකථන ඇමතුමක්‌ ලැබුණේය. ඇමතුම ලැබුණේ ආමි අසිතගේ ජංගම දුරකථනයටය.

අපිට ඕනෙ උන්ටික ඇවිත් ඉන්නේ. නවාස්‌ මට හැම තොරතුරක්‌ම දුන්නා. පිළියන්දල සුවාරපොල පාරේ මාතර බත්කඩේ ළඟ උන්ගෙ වාහනේ නතර කරලා තියෙනවා. ඇල්ටො කාර් එකක උන් ඉන්නෙ. හරියට වැඩේ කරපං. උඹලා ගැන මම බලාගන්නම්.

මධුෂ් තම ගෝලබාලයන්ට උපදෙස්‌ දුන්නේය. ලොකු පැටී යතුරුපැදිය පිළියන්දල සුවාරපොළ මාර්ගය දෙසට වේගයෙන් ධාවනය කළේය.

තමන් මේ විනාශ කරන්න යන්නේ පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක්‌ බව ලොකු පැටී ඒ මොහොත වන විටත් දැන සිටියේ නැත.

මාතර බත් කඩය ඉදිරිපිට ඇල්ටො වර්ගයේ මෝටර් රථ දෙකක්‌ නතර කර තිබුණේය. පොලිස්‌ නිලධාරීන් සිටින්නේ කුමන රථයේදැයි හඳුනා ගැනීමට නොහැකිව ආමි අසිත කලබල වුණේය.

ආමි අසිත ආපන ශාලාව ඉදිරිපිට නතර කර තිබූ එක්‌ ඇල්ටෝ රථයකට වෙඩි තබන්නට පටන් ගත්තේය. ඒ වෙඩි ප්‍රහාරවලින් මෝටර් රථය සිදුරු කරගෙන ගියද එහි කිසිවකුත් සිටියේ නැත. ආමි අසිත එල්ල කළ වෙඩි ප්‍රහාර වැදුණේ මාතර බත් කඩේ ඉදිරිපිට සිටි අහිංසක දරුවන් තිදෙනකුටය.

එයින් කලබලයට පත්වූ ආමි අසිත කෑගැසුවේය.

මේ වාහනේ කවුරුත් නැහැ මුන් ඉස්‌සරහා කාර් එකේ ඇත්තේ. බයික්‌ එක ඉස්‌සරහට ගනින්.

ආමි අසිතගේ නියෝග මත ලොකු පැටී යතුරුපැදිය ඉදිරිපස මෝටර් රථය වෙත ළං කළේය. ඒ සැනෙකින් ආමි අසිත අත වූ ටී 56 ගිනි අවිය ක්‍රියාත්මක වුණේය. පොලිස්‌ පරීක්‍ෂක රංගජීව ඇතුළු නිලධාරීන් ආමි අසිත එල්ල කළ වෙඩි ප්‍රහාරවලට ගොදුරු වූහ.

තත්පර ගණනක්‌ තුළදී තම ප්‍රහාරය නිමාකළ ආමි අසිත සහ ලොකු පැටී යතුරුපැදියේ නැගී පවනට බඳු වේගයෙන් පිළියන්දල නගරයෙන් පලා ගියහ.

ආමි අසිත සහ ලොකු පැටී රැගත් යතුරුපැදිය නතර වන්නේ මහරගම නගරය ආසන්නයේදීය.

"දැන් අපි දෙන්නගෙ රාජකාරිය ඉවරයි. උඹ කොහොම හරි මිසින් වෙලා පලයන්, මමත් මාරු වෙනවා. අපි වෙන දවසක හම්බවෙමු.

"ආමි අසිත තම සගයා වූ ලොකු පැටීට සමුදුන්නේය. යතුරුපැදිය මහරගම නගරය ආසන්නයේ මහමග අතහැර දැමූ ආමි අසිත අඳුරේම නොපෙනී ගියේය. ලොකු පැටීද මහමග ගමන් ගත් ත්‍රිරෝද රථයක නැගී පලා ගියේ කෙසේ හෝ සැඟවී සිටින බලාපොරොත්තු ඇතිවය.

ඒ වන විට පිළියන්දල නගරය ගිනිගෙන තිබුණේය. තුවක්‌කුකරුවන් එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශයේ කොස්‌තාපල් අබේවික්‍රම අවසන් ගමන් ගොස්‌ සිටියේය. පොලිස්‌ පරීක්‍ෂක රංගජීව සහ චමින්ද බරපතළ තුවාල ලබා සිටියේය.

වෙඩි ප්‍රහාරවලින් මාතර බත්කඩේ හිමිකරුගේ දියණිය වූ සමාධි පතිරණ සහ ඇගේ සොහොයුරන් දෙදෙනාද බරපතළ තුවාල ලබා සිටියහ. තුවාලකරුවන් සියලු දෙනා වහ වහා රෝහල්ගත කිරීමට පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් සහ නගරවාසීන් කටයුතු කළහ.

පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන්ට පිළියන්දලදී එල්ල වූ ප්‍රහාරය පිළිබඳ තොරතුරු ඒ වන විට රට පුරා ලැව්ගින්නක්‌ මෙන් පැතිර යමින් තිබුණේය.

පොලිස්‌පති පූජිත් ජයසුන්දරගේ උපදෙස්‌ මත පොලිස්‌ කණ්‌ඩායම් කීපයක්‌ ඒ මොහොතේම පරීක්‍ෂණ ආරම්භ කළ අතර පොලිසිය සහ විශේෂ කාර්ය බළකාය ප්‍රදේශය වටකර ක්‌ෂණික මෙහෙයුමක්‌ ක්‍රියාත්මක කළහ.

එහෙත් මෙම ප්‍රහාරය එල්ල කළ අපරාධකාරයන් කිසිවකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණේ නැත. මහරගම අතහැර දමා තිබූ යතුරුපැදිය පොලිසිය විසින් සොයාගන්නේ ඉන් පසුවය. බස්‌නාහිර දකුණ නියෝජ්‍ය පොලිස්‌පති වසන්ත වික්‍රමසිංහ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ප්‍රසාද් රණසිංහ, සහකාර පොලිස්‌ අධිකාරි විදුර ජයසිංහ ඇතුළු නිලධාරීන් එම ප්‍රහාරය එල්ල වූ ප්‍රදේශය වෙත ගොස්‌ පරීක්‍ෂණ කටයුතු මෙහෙය වූහ.

මේ අතර ඩුබායිsහි සිටින මධුෂ් දැඩි ලෙස කෝපයට පත්ව සිටියේය. ප්‍රහාරය සඳහා එක්‌වූ තම සගයන්ට දුරකථනයෙන් කතා කර ඔවුන්ට දැඩි ලෙස දොස්‌ පැවරූ මධුෂ් මෙම මෙහෙයුමේ මහා මොළකරු වූ නවාස්‌ටද බැණ වැදුනේය.

"උඹලා මගේ ප්ලෑන් සේරම කාලා දැම්මා. මම කිව්වේ හරියටම රංගජීවයව ඒම් කරලා වැඩේ කරන්න. අන්තිමේදී කොහෙද හිටපු මිනිස්‌සු ටිකක්‌ වෙඩි කෑවා...

මධුෂ් ලොකු පැටීට දුරකථනයෙන් කතා කර බැණ වැදුණේය. මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකය මෙම ප්‍රහාරය පිළිබඳ සෙවීමේ භාරදූර කාර්ය ආරම්භ කළේය. එහි ස්‌ථානාධිපති ජයන්ත පෙරේරාගේ මෙහෙයවීමෙන් පොලිස්‌ කණ්‌ඩායමක්‌ රට පීරන්නට පටන් ගත්තේය.

නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී ප්‍රසාද් රණසිංහ දීර්ඝ කාලයක්‌ තිස්‌සේ රහස්‌ පොලිසියේ රාජකාරි කළ දක්‍ෂ නිලධාරියෙකි. වැළලී ගිය අපරාධ ගොඩ දැමීමේ උපන් හපන්a කමක්‌ ඇති ප්‍රසාද් රණසිංහ මෙම පරීක්‍ෂණය සඳහා නායකත්වය ලබා දුන්නේය.

එමෙන්ම බස්‌නාහිර දකුණ නියෝජ්‍ය පොලිස්‌පති වසන්ත වික්‍රමසිංහද පොලිස්‌ දෙපාර්තමේන්තුවේ හසල දැනුමක්‌ ඇති කීර්තිමත් නිලධාරියෙකි. මේ සියලු දෙනාගේ සාමූහික බැඳීමකින් මෙම විමර්ශන ක්‍රියාත්මක වුණේය.

පොලිස්‌ නිලධාරීන් පිරිසක්‌ සැලසුම් සහගතව ගෙන්වා ගෙන ඔවුන්ට ප්‍රහාර එල්ල කිරීම පොලිස්‌ ඉතිහාසයේ මුල්ම වතාවට සිදුවූ බරපතළ සිදුවීමක්‌ විය. එය සැබැවින්ම පොලිස්‌ දෙපාර්තමේන්තුවට එක්‌වූ කහටපැල්ලමක්‌ විය. ඒ කහට පැල්ලම මකා දැමීමේ භාරදූර කාර්ය භාරගත් ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ප්‍රසාද් රණසිංහගේ නායකත්වයෙන් යුත් නිලධාරීන් ඉතාම ක්‍රමවත් ආකාරයට විමර්ශන කරගෙන ගියහ.

පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශයේ ඔත්තුකරු වූ මොහොමඩ් නවාස්‌ මෙම ප්‍රහාරය පිටුපස සිටින බවට සැකයක්‌ මතුව තිබුණේය. එහෙත් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් තවදුරටත් ඔහු තමන්ගේ පැත්තේ සිටින ඔත්තුකරුවකු බවට විශ්වාස කළහ.

නවාස්‌ගෙන් ප්‍රශ්න කිරීමට අවශ්‍ය බැවින් ඔහු වහාම තමන් වෙත භාර දෙන ලෙස නුගේගොඩ කොට්‌ඨාසයෙන් පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත ඉල්ලීමක්‌ කර තිබුණේය.

ඒ වනතුරුත් පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශය සමඟ සිටි මොහොමඩ් නවාස්‌ හිටි හැටියේම අතුරුදන් වුණේය. නවාස්‌ නුගේගොඩ කෙට්‌ඨාසය වෙත භාර දෙන බවට මත්ද්‍රව්‍ය නාශක අංශය දැනුම්දීමක්‌ ද කර තිබුණේය.

එහෙත් අවසානයේ නවාස්‌ හොර රහසේම රටින් පලා ගියේය. මේ පලා යැමට මත්ද්‍රව්‍ය නාශක අංශයේම නිලධාරීන් පිරිසකගේ සහාය ලැබුණු බවට තොරතුරු පසුව පොලිසිය වෙත ලැබී තිබිණි.

නවාස්‌ රටින් පලා යන්නේ මන්නාරම ප්‍රදේශයට ගොස්‌ මුහුදු මාර්ග ඔස්‌සේය. නවාස්‌ සමඟ ආමි අසිතද පලාගියේය.

මෙම ප්‍රහාරයෙන් පසු ආමි අසිතගේ ඡායාරූපයක්‌ මාධ්‍ය ඔස්‌සේ පළව තිබුණේය. එය දැකීමෙන් අසිත දැඩි ලෙස කලබලයට පත්වුණේය. ඒ වන විට ප්‍රහාරයට එක්‌ව සිටි පුද්ගලයන් සියලු දෙනා ඉන්දියාවට ගෙන්වාගෙන එතැනින් ඩුබායි දේශයට ගෙන්වා ගැනීමට මධුෂ් සැලසුම් කර තිබුණේය.

ප්‍රහාරය එල්ල කිරීමෙන් පසු ආමි අසිත අහංගම තම උපන් ගමට ගොස්‌ සැඟව සිටියේය. එහෙත් පොලිසිය තමන් පසුපස ලුහුබැඳ එනු ඇතැයි සිතූ අසිත බේරුවලටත්, එතැනින් හෝමාගම ප්‍රදේශයටත් ගොස්‌ සැඟවී සිටියේය.

උඹ පුත්තලමට ඇවිත් එතැනින් මන්නාරමට වරෙන්. මන්නාරමේදී උඹට බෝට්‌ටුවක්‌ ලෑස්‌ති කරලා තියනවා පනින්න. මධුෂ් ආමි අසිතට දුරකථනයෙන් කතාකර කීවේය. ඒ අනුව ආමි අසිත හොර රහසේම මන්නාරමට ආවේය. ඒ එනවිට නවාස්‌ ද මන්නාරමට පැමිණ සිටියේය.

ඔවුන් දෙදෙනාට පලායැමට බෝට්‌ටුවක්‌ සූදානම් කර තිබුණේය. ඒ බෝට්‌ටුවේ නැගුණු නවාස්‌ සහ ආමි අසිත ඉන්දියාව ආසන්නයට යනතුරු එහි යාත්‍රා කළහ.

බෝට්‌ටුකරුට රුපියල් පනස්‌ දහසක මුදලක්‌ ලබාදීමට පොරොන්දු වී සිටි අතර එය නවාස්‌ විසින් ලබා දුන්නේය. මේ සියලු සැලසුම් පිටුපස සිටියේ මධුෂ්ය.

ඉන්දියාවට ආසන්න මුහුදේදී ඉන්දීය බෝට්‌ටුවක්‌ පැමිණ නවාස්‌ සහ ආමි අසිත ඊට නංවා ගත්තේය.

ඒ බෝට්‌ටුව රැගෙන ආවේ රාහු නමැති දෙමළ ජාතිකයෙක්‌ය. රාහුට ද ඉන්දීය රුපියල් පනස්‌ දහසක මුදලක්‌ ලබාදීමට පොරොන්දු වී තිබූ අතර එය ලබා දුන්නේද නවාස්‌ය.

නවාස්‌ සහ ආමි අසිත ඉන්දීය බෝට්‌ටුව වෙත නැංවූ ශ්‍රී ලංකා බෝට්‌ටුකරු ආපසු මන්නාරමට ආවේය.

නුගේගොඩ විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ ස්‌ථානාධිපති ජයන්ත පෙරේරා ඇතුළු නිලධාරීන් සිය පරීක්‍ෂණ ක්‍රියාත්මක කළේ ප්‍රහාරය සඳහා යතුරුපැදිය මිලදී ගත් ස්‌ථානයේ සිටය.

යතුරුපැදිය මිලට ගත් ස්‌ථානයේ සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරා දර්ශන පරීක්‍ෂා කළ පොලිස්‌ නිලධාරීන් ත්‍රිරෝද රථයකින් එහි පැමිණෙන පුද්ගලයන් දෙදෙනා පිළිබඳ තොරතුරු සොයන්නට වූහ.

ත්‍රිරෝද රථයකින් බැස යන පුද්ගලයන් දෙදෙනාගෙන් එක්‌ අයකු පාදයක ආබාධයක්‌ ඇති පුද්ගලයකු බව පොලිසිය හඳුනා ගත්තේය.

දින කීපයක්‌ තිස්‌සේ කළ විමර්ශනවලින් පසු යතුරුපැදිය මිලට ගැනීමට එන පාදයක්‌ ආබාධිත පුද්ගලයා කව්දැයි පොලිසිය හඳුනා ගත්තේය. ඔහු වෙන කවරකුවත් නොව අහංගම ආමි අසිත බව හඳුනා ගන්නා විට පොලිසිය ප්‍රමාද වැඩිය.

ජයන්ත පෙරේරා ඇතුළු පොලිස්‌ නිලධාරීන් මන්නාරමට යනවිට ආමි අසිත සහ නවාස්‌ රටින් පැනගොස්‌ සිටියහ. ඔවුන්ට පලා යැමට ආධාර අනුබල දීමේ චෝදනාව මත බෝට්‌ටුකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළේය.

ඊට අමතරව ආමි අසිතගේ බිරිඳ සොහොයුරාගේ පුත්‍රයා සහ බෑණා අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළේ ඔහුට පලායැමට ආධාර කිරීමේ චෝදනාව මතය.

මේ අතර යතුරුපැදිය මිලදී ගැනීමට ආමි අසිත සමඟ පැමිණි අනෙක්‌ පුද්ගලයා රඹුක්‌කන ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලිසිය හඳුනා ගත්තේය. ගුණපාල නොහොත් සුදු අයියා මධුෂ්ගේ හෙරොයින් ජාවාරමේ ප්‍රධානියකු බවද පොලිසිය සොයා ගත්තේය. මිරිහාන විශේෂ අපරාධ ඒකකයේ ස්‌ථානාධිපති ජයන්ත පෙරේරා ඇතුළු නිලධාරීන් දින ගණනක්‌ තිස්‌සේ කළ වෙහෙසකර මෙහෙයුමකින් පසු කැකිරාව ප්‍රදේශයේ නිවසක සැඟවී සිටි සුදු අයියා අත්අඩංගුවට ගත්තේය.

සුදු අයියාගෙන් පොලිසිය කළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලින් හෙළි වූයේ මෙම ප්‍රහාරය සඳහා යැමට යතුරුපැදිය පැදවූයේ ලොකු පැටී බවය.

පොලිස්‌ නිලධාරීන් අහුංගල්ලේ ලොකු පැටී සොයා විමර්ශන ආරම්භ කරන්නේ ඉන් පසුවයි. ඒ වන විට ලොකු පැටී ප්‍රදේශය අතහැර පලා ගොස්‌ සිටියේය. ලොකු පැටී සඟවාගෙන සිටීමට ආධාර අනුබල දුන් ඔහුගේ මස්‌සිනා සිය භාරයට ගත් පොලිස්‌ නිලධාරීන් ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන්නට වූහ.

මේ අතර ලොකු පැටීගේ වැඩිමහල් සොහොයුරා වූ සංජීව ද පොලිසිය අත්අඩංගුවට ගත්තේය.

ප්‍රහාරය සඳහා ලොකු පැටී යොමුකිරීමේ චෝදනාව ඔහු වෙත එල්ල වී තිබුණේය.

මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් තම ගෝලබාලයන්ගේ ඥාතීන්ට කරදර කරන බවට තොරතුරු මධුෂ් වෙත ලැබුණේය.

"මධුෂ් අයියා පොලිසිය අපේ ගෙවල්වල මිනිස්‌සුන්ට කරදර කරනවා. ඒ අයව අල්ලාගෙන යනවා, මොනවා හරි කරන්න වෙයි..."

ලොකු පැටී ඩුබායිහි සිටින මධුෂ්ට දුරකථනයෙන් කතා කර කීවේය. එය ඇසීමෙන් මධුෂ් දැඩිලෙස කෝපයට පත්වුණේය. දිනක්‌ මධුෂ් මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ උසස්‌ නිලධාරියකුට දුරකථනයෙන් කතා කළේය.

මම මාකඳුර මධුෂ් කතා කරන්නේ... උඹලා මගේ කොල්ලන්ගෙ ගෙවල්වල මිනිස්‌සුන්ට කරදර කරනවා. ඒ මිනිස්‌සු හේතුවක්‌ නැතිව අල්ලනවා. අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්න එපා. දන්නවනේ මම හොඳ මිනිහෙක්‌ නොවෙයි. නාකොටික්‌ එකේ උන්ට ගැහුවා වගේ උඹලවත් නැති කරලා දානවා.

මධුෂ්ගේ තර්ජන ගර්ජන පොලිස්‌ නිලධාරීන් ගණනකට ගත්තේ නැත. ඔවුන් මෙම ප්‍රහාරයට සම්බන්ධ සියලු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරගෙන ගියහ.

කොයි මොහොතක හෝ පොලිසිය තමන් අල්ලා ගනු ඇතැයි ලොකු පැටී සිතුවේය. පොලිසියෙන් බේරීමට විවිධ ආරක්‍ෂිත ස්‌ථාන වෙත යැමට ඔහුට සිදුවිය.

ලොකු පැටීගේ ඥතියකු ඉංගිරිය ප්‍රදේශයේ පදිංචිව සිටියේය. ලොකු පැටී ඒ ඥතියාගේ නිවසට ගියේ එහි ආරක්‍ෂිතව සැඟවී සිටීමට හැකි බව සිතමින්ය. ඉංගිරිය හඳපාන්ගොඩ ප්‍රදේශයේ කැලෑවක ආරණ්‍යයක්‌ පිහිටා තිබුණේය. ලොකු පැටී ඒ කැලෑවේ ආරණ්‍යයට නුදුරු ගල්ලෙනක සැඟවී සිටියේය. ලොකු පැටී දිනකට සිගරැට්‌ තිහ හතළිහක්‌ පානය කිරීමට පුරුදුව සිටියේය. කැලෑවේ සැඟවී සිටිද්දී ඔහුට තම අවශ්‍යතාවය සපුරා ගැනීමට නොහැකි විය.

ආරණ්‍යයේ භාවනායෝගී භික්‍ෂූන් වහන්සේලා ද ලොකු පැටීගෙන් තොරතුරු විමසා සිටියහ.

මගේ මල්ලී හදිසියේ නැති වුණා. මම එයාට ගොඩක්‌ ආදරෙයි. එයා නැතිවෙච්ච දුක නිසා මම ජීවිතේ ගැන කලකිරුණා. මමත් භාවනා කරන්න හිතාගෙන මේ කැලෑවට ආවා..."

ලොකු පැටී ගජබින්න ඇදබාමින් භික්‍ෂූන් වහන්සේලා රැවැට්‌ටුවේය. දිගින් දිගටම කැලෑවේ රැඳී සිටීම අපහසු බව තේරුම් ගත් ලොකු පැටී වෙනත් ආරක්‍ෂිත ස්‌ථානයකට යැමට තීරණය කළේය.

ලොකු පැටීගේ සමීපතම මිතුරකු මැදිරිගිරිය මීගස්‌වැව අඹගස්‌වැව ප්‍රදේශයේ පදිංචිව සිටියේය. දුරකථන මාර්ගයෙන් සිය මිතුරා සම්බන්ධ කරගත් ලොකු පැටී මැදිරිගිරියට පැන යැමට තීරණය කළේය.

ලොකු පැටී හොර රහසේම මැදිරිගිරියට පැන ගත්තේය. මිතුරාගේ නිවසේ සිටියේ ඔහුගේ මහලු මව්පියන් පමණි. නිවසේ නවාතැන් ගත්තද පැටීගේ සිත යකාගේ කම්මල මෙන් විය. කොයි මොහොතක හෝ පොලිසියෙන් පැමිණ තමන් කුදලාගෙන යනු ඇතැයි ඔහු සිතුවේය.

තමන් ප්‍රහාරය එල්ල කරන්නට ගොස්‌ තිබුණේ පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසකට බව ලොකු පැටී දැනගත්තේ රූපවාහිනි ප්‍රවෘත්ති නැරඹීමෙන් පසුවය.

ලොකු පැටී තව තවත් බියට පත්වූයේ ඒ බව දැන ගැනීමෙන් පසුවය. මැදිරිගිරියේ නිවස පිහිටා තිබුණේ කැලෑබද ප්‍රදේශයකය. ඒ නිවස ආසන්නයේ දිරාගිය පරණ බස්‌ රථයක්‌ නතර කර තිබුණේය.

ලොකු පැටී රැය පහන් කළේ මේ බස්‌ රථය තුළ සැඟවී සිටිමින්ය. මැදිරිගිරියේ සිටිද්දී මධුෂ් නිතරම ලොකු පැටී සමඟ දුරකථනයෙන් කතා කරන්නට අමතක කළේ නැත.

මට දුක උඹව මෙහෙට ගන්න බැරිවෙච්ච එක ගැන. මම උඹට පුළුවන් උදව්වක්‌ කරන්නම්, පොලිසියෙන් බේරිලා ඉන්න බලපං.

මධුෂ් සිය සගයාට අවවාද කළේය. මේ අතර මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ ස්‌ථානාධිපති ජයන්ත පෙරේරාට ලොකු පැටී සැඟවී සිටින ස්‌ථානය පිළිබඳ තොරතුරක්‌ ලැබී තිබුණේය.

ලොකු පැටී අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමක්‌ ක්‍රියාත්මක කෙරිණි. මෙහෙයුම පිළිබඳව සොයා බැලීම සඳහා නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී ප්‍රසාද් රණසිංහ ද පෞද්ගලිකව මැදිරිගිරියට පැමිණ සිටියේය.

පොලිස්‌ නිලධාරීන් දින තුන හතරක්‌ තිස්‌සේ මැදිරිගිරිය ප්‍රදේශයේ කරක්‌ ගසමින් අති දුෂ්කර ජීවිතයක්‌ ගත කළහ. අවසානයේ පොලිස්‌ නිලධාරීන්ගේ මෙහෙයුම සාර්ථක වුණේය. මැදිරිගිරිය මීගහවැව ගම්මානයේ සැඟවී සිටි ලොකු පැටී අත්අඩංගුවට පත් වුණේය.

පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන්ට ප්‍රහාර එල්ල කිරීම සැලසුම් කළ මධුෂ් ප්‍රහාරයට ඔත්තු සැපයූ නවාස්‌ සහ ප්‍රහාරයට පැමිණි ආමි අසිත හැරෙන්නට ඊට සම්බන්ධ සියලුම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය සමත් වූහ. එහි ගෞරවය සැබවින්ම ඒ නිලධාරීන් වෙත යොමු විය යුතුය.

කෙසේ වෙතත් පොලිස්‌ දෙපාර්තමේන්තුවට කළු පැල්ලමක්‌ එක්‌කළ මේ ප්‍රහාරයේ මහා මොළකාරයන් සියලු දෙනා අත්අඩංගුවට ගත යුතුය. ඔවුන්ට දැඩි දඬුවම් ලබාදිය යුතුය. ඒ අපරාධකාරයන් නීතිය හමුවට ඉදිරිපත් කරනතුරු පොලිසියට ඒ වගකීමෙන් ගැලවී යා නොහැකිය.

බස්‌නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති නන්දන මුණසිංහ නියෝජ්‍ය පොලිස්‌පති වසන්ත වික්‍රමසිංහ, ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී ප්‍රසාද් රණසිංහ යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ ස්‌ථානාධිපති ජයන්ත පෙරේරාගේ මෙහෙයවීමෙන් උප පොලිස්‌ පරීක්‍ෂකවරුන් වන හේමන්ත කුමාර, ශාන්ත ලක්‍ෂ්මන්, සැරයන්වරුන් වන (56951) සුනිල්, (56958) ප්‍රසන්න, කොස්‌තාපල්වරුන් වන (21284) බණ්‌ඩාර, (40248) ප්‍රසන්න, (77687) අමිල, (73338) ලලන්ත, (87762) තුෂාර (81600) සමීර යන නිලධාරීන් පරීක්‍ෂණ පැවැත්වූහ.


Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks

More News »