ප්‍රශ්ණයක්‌ වුණොත් මම උබව ඩුබායිවලට ගන්නවා...
මනූෂ්ගෙන් අසිතට පොරොන්දුවක්‌

2017-06-29 12:14:00       585
feature-top
පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශයට වෙඩි තැබූ පාතාලයෝ...

පොලිස්‌ නිලධාරීන් පාතාල කල්ලි හෝ හෙරොයින් ජාවාරම්කරුවන් පසුපස පන්නාගෙන ගොස්‌ ඔවුන්ට පහරදී විනාශ කර දැමීම ඉතිහාසය පුරා අපට අසන්නට ලැබුණු සාමාන්‍ය සිදුවීම්ය.

එහෙත් පසුගියදා පිළියන්දලින් වාර්තා වුණේ අසාමාන්‍ය සිදුවීමකි.

පාතාල ලෝකයේ සන්නද්ධ කණ්‌ඩායමක්‌ ඉතාම සූක්‍ෂම ලෙස පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක්‌ රවටා ගෙන ගොස්‌ පිළියන්දල නගර මධ්‍යයේදී ඔවුන්ට වෙඩි තබා මහා විනාශයක්‌ සිදුකර පලායැම සැබැවින්ම අසාමාන්‍ය සිදුවීමකි.

මෙම ප්‍රහාරය සමස්‌ත පොලිස්‌ දෙපාර්තමේන්තුව වෙතට එල්ල වූ මරු පහරක්‌ විය. මෙම ප්‍රහාරයෙන් පොලිස්‌ දෙපාර්තමේන්තුවම අන්දමන්ද වුණේය.

ප්‍රහාරයෙන් පොලිස්‌ නිලධාරියකු සහ දොළොස්‌ හැවිරිදි දැරියක්‌ මියගිය අතර පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශයේ පොලිස්‌ පරීක්‍ෂක නියොමාල් රංගජීව ඇතුළු නිලධාරීන් තිදෙනකුද එහිදී බරපතළ තුවාල ලැබීය.

මාකඳුරේ මධුෂ් නමැති පාතාල කල්ලි නායකයා මෙහෙය වූ මෙම ප්‍රහාරය පිළිබඳව සවිස්‌තරව කතාව මෙයින් දිගහැරෙයි.

"පොලිස්‌ නාකොටික්‌ එකේ උන්ගෙන් හරි කරදරයි. මගේ බිස්‌නස්‌වලට වූන් හැමදාම ලෙඩ දානවා. නාකොටික්‌ එකේ දෙතුන් දෙනෙක්‌ ඉන්නවා පරලොව යවන්න. අයි. පී. රංගජීව මුලින්ම අයින් කරලා දාන්න ඕනේ. මුන්ට වැඩක්‌ දුන්නෙ නැත්නම් අපට සිද්ධ වෙන්නෙ බිස්‌නස්‌ සේරම නතර කරලා දාන්න."

මාකඳුරෙ මධුෂ් දුරකථනය ඔස්‌සේ තොරතෝංචියක්‌ නොමැතිව කියවන්නට වුණේය. මධුෂ් දැඩි ලෙස කෝපයට පත්ව සිටියේය. මොහොමඩ් නවාස්‌ මධුෂ්ගේ කෝපය සංසිඳුවාලීමට උත්සාහ කළේය.

මුන් ටික පරලොව යවන්න මම හොඳ ප්ලෑන් එකක්‌ ගහලා තියෙන්නේ. මේ ප්ලෑන් එකේ වැදගත්ම කොටස කරන්න තියෙන්නෙ උඹට. උඹ මම කියන විදිහට වැඩ කළොත් රංගජීවයයි මිනිහගේ ගෝලයෝ ටිකයි නැති කරලා දාන්න පුළුවන්.

මාකඳුරේ මධුෂ් කීවේ දැඩි ස්‌වරයකිනි. දකුණු පළාතට පමණක්‌ නොව මුළු රටටම මහා පිළිලයක්‌ බවට පත්ව සිටින මාකඳුරේ මධුෂ් ඩුබායි දේශයට පලා ගියේ මීට වසර දෙක තුනකට උඩදීය. මුස්‌ලිම් ජාතිකයකු ලෙස වෙස්‌වලාගෙන ඩුබායි දේශයට පලා ගිය මධුෂ් එහි සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයුවේය.

හෙරොයින් ජාවාරමට අමතරව මෙරට ප්‍රධානම පෙළේ පාතාල කල්ලි නායකයකු බවට පත්ව සිටින මේ නරුමයා විසින් විනාශ කළ ජීවිත ගණන මෙතෙකැයි කිව නොහැක.

පසුගිය කාලය පුරා දකුණු පළාතේ සිදුවූ මිනිස්‌ ඝාතන රැසක පිටුපස සිටියේ මාකඳුරේ මධුෂ්ය.

කළුතරදී බන්ධනාගාර බස්‌ රථයකට ප්‍රහාර එල්ල කර පාතාල නායක රණාලේ සමයා ඇතුළු හත් දෙනකු ඝාතනය කිරීමේ සිද්ධියේ මහා මොළකරු වූයේද මධුෂ්ය.

තම ආරක්‍ෂාවට රටින් පලා ගිය මධුෂ් හෙරොයින් ජාවාරම ජයටම කරන්නට පටන් ගත්තේය. දකුණු මුහුදු මාර්ගය ඔස්‌සේ ශ්‍රී ලංකාවට තොග පිටින් හෙරොයින් එවූ මධුෂ් තම ගෝලබාලයන් යොදවා ඒවා රට පුරා බෙදා හැරියේය.

හෙරොයින් ජාවාරම හරහා මධුෂ් මේ වන විට කෝටිපතියකු බවට පත්ව හමාරය. මධුෂ්ගේ හෙරොයින් ජාවාරමට පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ගෙන් විවිධ කෙනහිලිකම් සිදුවන්නට විය.

ඇතැම් පොලිස්‌ නිලධාරීන් මධුෂ්ගේ හෙරොයින් ජාවාරම තම ආදායම් මාර්ගයක්‌ බවට පත්කරගෙන සිටියහ. මධුෂ් පොලිසියට එරෙහිව ප්‍රසිද්ධියේ අභියෝග කරන තත්ත්වයට පත්වන්නේ ඇතැම් පොලිස්‌ නිලධාරීන්ගේ ක්‍රියාකලාපය නිසාය.

පාතාලයේ ගෝර්ඩ් ෆාදර් ලෙස නම් දැරූ නාවල නිහාල්, ගෝනවල සුනිල්, සොත්ති උපාලි වැනි පාතාල නායකයන් එදා පොලිසියට එරෙහිව ප්‍රසිද්ධියේ අභියෝග කළේ ඔවුන් ගොඩනඟාගෙන තිබූ දේශපාලන හයිය නිසාය.

එහෙත් අද තත්ත්වය ඊට ඉඳුරාම වෙනස්‌ය. මාකඳුරේ මධුෂ් නමැති මේ තුට්‌ටුදෙකේ මිනීමරුවා පොලිසියට අභියෝග කරන්නේ දේශපාලන හයියක්‌ බලපුළුවන්කාරකමක්‌ නොමැතිවය.

මධුෂ් තම ගෝලබාලයන් සමඟ එක්‌ව පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන්ට ප්‍රහාරයක්‌ එල්ල කිරීමේ සැලසුම සකස්‌ කරන්නේ මීට මාස තුන හතරකට පෙර සිටය.

මොහොමඩ් නවාස්‌, ඇම්. අසිත, අහංගම සංජීව නමැති තම කල්ලියේ සාමාජිකයන් සමඟ එක්‌ව මෙම ප්‍රහාරය එල්ල කරන ආකාරය පිළිබඳව මධුෂ් පැය ගණනක්‌ සාකච්ඡා කළේය. අන්තර්ජාලය හරහා ලබා ගන්නා දුරකථන ඇමතුම් (වයිබර් ඇමතුම්) මාර්ගයෙන් මෙම සාකච්ඡා සියල්ල සිදුවුණේය.

ප්‍රහාරයේ ප්‍රධාන භූමිකාව රඟදැක්‌වීමේ කාර්යය භාරවී තිබුණේ මොහොමඩ් නවාස්‌ටය. නවාස්‌ යනු මධුෂ්ගේ හෙරොයින් ජාවාරමේ ප්‍රධානියෙකි.

මීගමුව පාතාලයේ කෙරුම්කාරයකුව සිට ඝාතනයට ලක්‌වූ මොහොමඩ් ෙµරෝස්‌ නමැති පාතාල නායකයාගේ ඥති සොහොයුරකු වූ මොහොමඩ් නවාස්‌ හෙරොයින් ව්‍යාපාරය ජයටම කරගෙන ගියේය.

නවාස්‌ මීට වසරකට පමණ උඩදී රුපියල් කෝටි ගණනක හෙරොයින් තොගයක්‌ සමඟ පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබුණේය. මාස ගණනක්‌ බන්ධනාගාරගත කර සිටි නවාස්‌ පසුව ඇප මත මුදාහැර තිබිණි.

පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් හෙරොයින් වැටලීම් සඳහා නවාස්‌ගේ සහාය ලබාගෙන තිබුණේය. නවාස්‌ ලබාදුන් ඔත්තු හරහා වැටලීම කළ පොලිස්‌ නිලධාරීන් හෙරොයින් තොග පිටින් සොයා ගත්හ.

ප්‍රතිවිරුද්ධ හෙරොයින් ජාවාරම්කරුවන් බුරුතුපිටින් අල්ලා දීම සඳහා උදව් උපකාර කළ නවාස්‌ ඒ හරහා පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන්ගේ හොඳහිත දිනාගෙන සිටියේය. ඔවුන්ගේ විශ්වාසය තහවුරු කර ගත්තේය.

මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් නවාස්‌ විශ්වාස කළහ. නවාස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන්ගේ විශ්වාසවන්තම ඔත්තුකරුවකු බවට පත්ව සිටියේය.

මධුෂ් තම සැලසුම ක්‍රියාත්මක කිරීම සඳහා නවාස්‌ගේ සහාය ලබා ගන්නේ ඒ නිසාය. මධුෂ්ගේ උපදෙස්‌ මත නවාස්‌ සුපිරි රංගනයක යෙදුනේය. නවාස්‌ කරන්නේ රංගනයක්‌ බව පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් දැනගන්නා විට සියල්ල සිදුවී හමාරය.

මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන්ට ප්‍රහාර එල්ල කරන ආකාරය පිළිබඳව මධුෂ් මොහොමඩ් නවාස්‌ සමඟ පැය ගණනක්‌ සාකච්ඡා කළේය.

රේඩ් එකකට යන විදිහට (මත්ද්‍රව්‍ය වැටලීමකට යන ලෙස) නාකොටික්‌ එකේ නිලධාරීන් ටික කොහොම හරි ගෙන්නලා උන් ටික නැති කරලා දාමු. මේ වැඩේ උඹ කරන්න ඕනෙ. මොකද උඹ දෙන තොරතුරු පොලිසිය ඉහටත් උඩින් විශ්වාස කරනවා.

මධුෂ් ප්‍රහාරක සැලසුම ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳව නවාස්‌ දැනුවත් කළේය.

මධුෂ් අයියා මේ වැඩේට හොඳ වැඩකාරයො දෙතුන් දෙනෙක්‌ ඕනේ. සාමාන්‍ය මිනිහෙකුට ගහනවා වගේ නෙවෙයි. නාකොටික්‌ කාරයෝ එන්නෙ වෙපන් අරගෙන. අපේ ප්ලෑන් එක පොඩ්ඩක්‌ හරි ගැස්‌සුනොත් අපි සේරටම කන්න වෙනවා."

නවාස්‌ මධුෂ්ට කීවේය. ඒ බව මධුෂ්ද පිළිගත්තේය. ප්‍රහාරය සඳහා දක්‍ෂ වෙඩික්‌කරුවකු අවශ්‍ය විය. එමෙන්ම මෙම ප්‍රහාරය සඳහා යැමට දක්‍ෂ ලෙස යතුරුපැදි පැදවීමේ පුද්ගලයකුද අවශ්‍ය වුණේය.

සන්නද්ධව සිටින පොලිස්‌ නිලධාරීන් පිරිසකට වෙඩි තැබීමට තරම් හයියක්‌ ඇති එකෙකු සොයා ගැනීම පහසු කටයුත්තක්‌ නොවීය. සති ගණනක්‌ තිස්‌සේ මධුෂ් දක්‍ෂ නිර්භීත වෙඩික්‌කරුවකු හොයන්නට වුණේය.

අවසානයේ මධුෂ්ගේ අභිප්‍රාය මුදුන්පමුණුවා ගැනීමට හැකිවිය.

අසිත නොහොත් කුමාර නොහොත් ආමි අසිත මධුෂ්ගේ හෙරොයින් ජාලයේ ප්‍රධානියකු විය. අසිත කලක්‌ යුද හමුදාවේ සේවය කළේය. මීට වසර කීපයකට උඩදී යුද හමුදාවෙන් පලා ආ අසිත නතර වන්නේ මධුෂ්ගේ හෙරොයින් ජාවාරමේ සාමාජිකත්වය ලබාගෙනය.

අසිත නොයෙල් කුමාර ආමි අසිත ලෙස ප්‍රසිද්ධ වන්නේ ඉන් පසුවය. අසිතට අවශ්‍ය වුණේ කෙටි කාලයකින් ධනවතෙකු වීමටය. ඒ වෙනුවෙන් ඕනෑම දහදුරා වැඩක්‌ කිරීමට ඔහු ඉදිරිපත් වුණේය.

අසිත මේ වැඩේට හොඳයි. ඌ කාලයක්‌ ආමි එකේ හිටිය නිසා කාටවත් බය නැහැ. පොලිසිය එක්‌ක ඇටෑක්‌ එකකට වුණත් අසිතයා ලෑස්‌තියි. ඒ නිසා මේ වැඩේට සුදුසුම මිනිහා අසිත".

පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරින්ට ප්‍රහාර එල්ල කිරීම සඳහා සුදුසුම පුද්ගලයා ආමි අසිත බව යෝජනා කළේ නවාස්‌ය. මධුෂ්ද ඒ යෝජනාවට එකඟ වුණේය.

මේ වැඩේ හරියටම කරන්න ඕනේ. එහෙම නොවුණොත් අපි සේරටම බඩකට පුරා කන්න වෙනවා.

මධුෂ් තම සගයාට කීවේය. ප්‍රහාරය පිළිබඳව මොවුන් අතර පැය ගණන් සාකච්ඡා පැවතුණේය.

ආමි අසිත පදිංචිව සිටියේ අහංගමය. මංකොල්ල කෑම්, හෙරොයින් ජාවාරම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ ආමි අසිත දකුණේ පාතාලයේ කෙරුම්කාරයකු බවට පත්වෙමින් සිටියේය.

දකුණු පළාතේ සිදුවූ අපරාධ ගණනාවක්‌ සම්බන්ධයෙන් ආමි අසිත පොලිසියට අවශ්‍යව සිටියේය. පොලිසිය ආමි අසිත සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කළේය.

වරක්‌ රත්ගමදී ආමි අසිත පොලිසියට කොටු වුණේය. එහෙත් ඔහු දන්නා සෙල්ලම් දමා පොලිසියෙන් බේරී පලා ගියේය. පලායන ආමි අසිතට රත්ගම පොලිසියේ නිලධාරීන් වෙඩි තැබුවේ ඔහු ජීවග්‍රහයෙන් හෝ මරාදමා හෝ අල්ලා ගන්නා අරමුණෙන්ය.

පොලිසිය සිදුකළ වෙඩි තැබීමෙන් ආමි අසිත බරපතළ තුවාල ලැබුවේය. ඔහුගේ දකුණු පාදය වෙඩි ප්‍රහාරයට ලක්‌වූ අතර තුවාල සහිතව ඔහු පොලිසියෙන් බේරී පලා යැමට සමත් විය.

ආමි අසිතගේ පාදයේ තුවාලය සුව වුවද ඔහු සදාකාලිකව ඇවිදීමේ අපහසුතාවයෙන් පෙළෙන්නකු බවට පත්කළේය.

පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන්ට වෙඩි තැබීමේ කාර්ය ආමි අසිත වෙත භාර කෙරුණේය.

"උඹ කිසි දේකට බය වෙන්න එපා. මොනවා හරි ප්‍රශ්නයක්‌ වුණොත් මම උඹව ඩුබායිවලට ගන්නවා. මට මේ වැඩේ හරියට කරලා දීපං. මධුෂ් ඩුබායි දේශයේ සිට දුරකථනය ඔස්‌සේ ආමි අසිත සමඟ ප්‍රහාරය පිළිබඳව සාකච්ඡා කළේය.

"මම උඹට දීලා තිබුණු 9mm පිස්‌තෝලය මේ වැඩේට පාවිච්චි කරපං... තව ආයුධ ඕනෙනම් මට කියපං මම ඒ හැම දෙයක්‌ම උඹට දෙනවා...

මධුෂ් ආමි අසිතට අවශ්‍ය සියලු දේ සපයා දීමට පොරොන්දු වුණේය.

මේ අතර මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් කොටුකර ඔවුන්ට වෙඩි තැබීමේ කාර්ය සඳහා යතුරුපැදිය පැදවීමේ භාරධුර කාර්ය සඳහා දක්‍ෂයකු අවශ්‍ය විය. යතුරුපැදියක්‌ දක්‍ෂ ලෙස පැදවීමට පුද්ගලයකු සොයා සති ගණනක්‌ තිස්‌සේ වෙහෙස වූ මධුෂ් අවසානයේ ඊට සුදුසුම පුද්ගලයා සොයා ගත්තේය.

සුජීව රුවන් කුමාර ද සිල්වා නොහොත් "ලොකු පැටී" නමැත්තා මේ අභියෝගාත්මක කාර්ය සඳහා මධුෂ් තෝරා ගත්තේය.

"ලොකු පැටී" මේ වැඩේට හරියටම හරියනවා. හැබැයි මේ ඇටෑක්‌ එක ගැන මිනිහට කලින් මොකුත් කියන්න හොඳ නැහැ. මොකද උගේ කට හරි නැහැ. මේ ගැන තැන තැන කියවන්න ගියොත් අපට මොකුත් කරගන්න බැරි වෙනවා. ඒ නිසා හැම දෙයක්‌ම ප්ලෑන් කරලා වැඩේ කරන්නෙ හෙටයි කියලා මිනිහට මේ ගැන කියන්න.

මධුෂ්ගේ යෝජනාවට නවාස්‌ මෙන්ම ආමි අසිතද කැමති වූහ.

ලොකු පැටී කිසි දිනක මධුෂ් හමුව තිබුණේ නැත. කොටින්ම ලොකු පැටී මධුෂ්ගේ රූපය පවා දැක තිබුණේ නැත. පැටී මධුෂ් දැන හඳුනන්නේ ඔහුගේ වැඩිමහල් සොහොයුරා වන සංජීව මාර්ගයෙන්ය.

අහංගම සංජීව මධුෂ්ගේ සමීපතම සගයකු විය. මධුෂ් සංජීව දෙදෙනා මුණගැසෙන්නේ මීට වසර ගණනකට උඩදීය. ඒ ගාල්ල බන්ධනාගාරය තුළදීය.
 

සංජීව මධුෂ්ගේ හෙරොයින් ජාවාරමේ යාවජීව සාමාජිකයකු විය. තම සොහොයුරු වූ සංජීව හරහා මධුෂ් දැන හඳුනා ගත් ලොකු පැටී ඔහුගේ හෙරොයින් ජාවාරමට සම්බන්ධ වුණේය. මුදල් අගහිඟකම් ඇතිවන හැම අවස්‌ථාවකදීම ලොකු පැටී මුදල් ඉල්ලා ගන්නේ මධුෂ්ගෙන්ය. දිනක්‌ මධුෂ් තම කල්‍යාණ මිතුරා වූ සංජීවට දුරකථනයෙන් කතා කළේය.

"සංජීව මගේ පොඩි වැඩක්‌ තියනවා උඹේ මල්ලි ලොකු පැටීගේ උදව් මට ඕනෙ. මට මිනිහව ලෑස්‌ති කරලා දීපං. වැඩේ කරන්නෙ හෙටයි කියලා තමයි හැම විස්‌තරයක්‌ම කියන්නෙ, මධුෂ් තම මිතුරා වූ සංජීවට කීවේය.

මධුෂ්ගේ ඉල්ලීමට අනුව සංජීව තම සොහොයුරා මුණගැසී ප්‍රහාරක සැලසුම පිළිබඳව ඔහු දැනුවත් කළේය.

"උඹ මධුෂ්ගෙන් රුපියල් ලක්‍ෂ 2 1/2 ක්‌ සල්ලි ඉල්ලගෙන තියනවා. මධුෂ් කිව්වා ඒ සල්ලිවලට හිලව් වෙන්න මේ වැඩේ කරලා දෙන්න කියලා. උඹට තියෙන්නේ බයික්‌ එක පදින වැඩේ විතරයි. වෙඩි තියන්න එකෙක්‌ ඉන්නවා.

සංජීව තම සොහොයුරා වූ ලොකු පැටීට කීවේය. එහෙත් මධුෂ්ගේ සැලසුමේ සියලු විස්‌තර ලොකු පැටී හමුවේ හෙළි නොකිරීමට සංජීව වගබලා ගත්තේය.

ප්‍රහාරය පිළිබඳව ලොකු පැටී තම සොහොයුරාගෙන් තොරතුරු විමසන්නට යන්නේ කුතුහලයෙන් යුතුවය.

"මධුෂ්ගේ තරහකාරයෝ දෙන්නෙක්‌ ඉවර කරලා දාන්න තියෙන්නේ. ඒ ගැන හැම විස්‌තරයක්‌ම වෙලාව ආවහම කියන්නම්. ප්‍රහාරය එල්ල කිරීමට නියමිතව සිටින්නේ පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසකට බව සංජීව දැන සිටියේය. එහෙත් ඒ බව තම සොහොයුරාට නොකීමට වගබලා ගන්නේ මධුෂ් ලබාදුන් උපදෙස්‌ අනුවය.

දිනක්‌ මධුෂ් ලොකු පැටීට දුරකථනයෙන් කතා කළේය. ප්‍රහාරය පිළිබඳව මධුෂ් සහ ලොකු පැටී අතර දීර්ඝ සාකච්ඡාවක්‌ පැවතිණි.

"උඹ මේ වැඩේ හරියට කරලා දෙන්න ඕනේ. මම උඹ ගැන බලා ගන්නම්. උඹට ප්‍රශ්නයක්‌ වුණොත් මම කොහොම හරි උඹව රටින් පන්නනවා. දන්නවනේ මධුෂ්ගේ වැඩ ගැන.

මධුෂ් ලොකු පැටීගේ සිතේ බලාපොරොත්තු රැසක්‌ ඇති කළේය. ලොකු පැටීද තම සිතේ සිරකරගෙන සිටි ප්‍රශ්නයක්‌ මධුෂ් හමුවේ දිගහැරියේය.

මමත් බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නෙ මධුෂ් අයියා. මට ඉන්න හිටින්න ගෙයක්‌ දොරක්‌ නැහැ. අඩුම ගානෙ ගෙයක්‌ හදාගන්න ඉඩම් කෑල්ලක්‌වත් නැහැ. මට ගෙයක්‌ හදාගන්න ඉඩම් කෑල්ලක්‌ අරගෙන දෙන්න පුළුවන්නම් ඒක ලොකු දෙයක්‌ (අවස්‌ථාවෙන් ප්‍රයෝජන ගත් ලොකු පැටී මාකඳුරේ මධුෂ්ට කීවේය.

හරි හරි උඹ මගේ වැඩේ කරලා දීපන්. උඹට ගෙයක්‌ හදාගන්න ඉඩම් කෑල්ලක්‌ අරන් දෙන එක පොඩි වැඩක්‌. මම උඹට ගෙයක්‌ හදාගන්නත් උදව් කරන්නම්. මධුෂ්ට මේ සියලු දේට වඩා මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විනාශ කිරීම වැදගත් විය.

මේ අතර මොහොමඩ් නවාස්‌ තමන් වෙත පැවරුණු කාර්ය ඉතාම සාර්ථක ලෙස කරගෙන ගියේය.

පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් සමඟ නිතර සම්බන්ධ වූ නවාස්‌ හෙරොයින් තොගයක්‌ සමඟ මධුෂ්ගේ ගෝලයකු අල්ලා දීමට අවශ්‍ය තොරතුරු ලබා දෙන්නට පටන් ගත්තේය.

නවාස්‌ දෙපිටකාට්‌ටුවකු බව නොදත් මත්ද්‍රව්‍ය නාශක අංශය ඔහු ලබාදුන් සියලු තොරතුරු හිස්‌මුදුණින් පිළිගත්හ. එපමණක්‌ නොව නවාස්‌ ලබාදුන් තොරතුරු අනුව අදාළ හෙරොයින් වැටලීම සඳහා මෙහෙයුමක්‌ද සූදානම් කර ගත්හ.

මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන්ට ප්‍රහාර එල්ල කිරීම සඳහා යැමට අවශ්‍ය කරන යතුරුපැදිය අලුතින්ම මිලදී ගන්නා ලෙස මධුෂ් තම සගයන්ට උපදෙස්‌ දුන්නේය.

අලුත් යතුරුපැදියක්‌ මිලදී ගැනීමේ කාර්ය භාර කෙරුණේ මධුෂ්ගේ තවත් ගෝලයකු වන ගුණපාල නමැත්තා වෙතය. සුදු අයියා යතුරුපැදිය මිලදී ගැනීමේ කාර්ය සඳහා සම්බන්ධ වුණේය.

මධුෂ්ගේ හෙරොයින් අලෙවි කිරීම මෙන්ම හෙරොයින් අලෙවියෙන් ලැබෙන මුදල් එකතු කිරීමේ කාර්ය භාරවී තිබුණේ සුදු අයියාටය.

"අපිට අලුත්ම බයික්‌ එකක්‌ ඕනෙ කරලා තියෙනවා පොඩි වැඩකට. මම අසිත කියලා කොල්ලෙක්‌ එවනවා. ඌත් එක්‌ක ගිහින් හොඳ බයික්‌ එකක්‌ ගන්න ඕනෙ. මේ වැඩේ බොහොම රහසිගතව වෙන්න ඕනේ.

මධුෂ් සුදු අයියාට දුරකථනයෙන් කතාකර සියලු උපදෙස්‌ ලබා දුන්නේය.

මධුෂ් රුපියල් එක්‌ ලක්‍ෂ විසිපන් දහසක මුදලක්‌ සුදු අයියා වෙත එවා තිබුණේ යතුරුපැදියක්‌ මිලදී ගැනීම සඳහාය.

වෙනත් පුද්ගලයකුගේ විදේශ ගමන් බලපත්‍රයක්‌ යොදාගෙන අලුත්ම යතුරුපැදියක්‌ මිලදී ගැනීමට සුදුඅයියා සැලසුම් කළේය.

"පිළියන්දල නගරය දෙවනත් කරමින් පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් ඝාතනය සඳහා ප්‍රහාර එල්ල කළ අයුරු ලබන සතියේ කොටසින් බලාපොරොත්තු වන්න."



Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks

More News »