පිරමීඩ සෙල්ලමෙන් මැ‍ලේසියාවට සල්ලි ඇද්ද ජාවාරම්කරුවෝ තවත් මෙහෙයුමක

2017-06-28 11:44:00       583
feature-top
පිරමීඩ ජාවාරම මගින් රටේම සල්ලි මැ‍ලේසියාවට ඇද්ද අංක එකේ ජාවාරම්කරුවන් ග්‍රහණයෙන් ගැලවෙන්නට විවිධ සැලසුම් ක්‍රියාවට නංවා ඇති වගට තොරතුරු හෙළිවේ.

මූල්‍ය අපරාධ කොට්ඨාසය ජනපති හා ‍පොලිස්පති අණින් ඇරඹූ විමර්ශන යටපත් කිරීම සඳහා මැ‍ලේසියාවේ ද්‍රවිඩ ජාලය මේ වනවිට වෙන්කර ඇති මුදල රුපියල් කෝටි ගණනකි. එමෙන්ම තමන්ට එරෙහිව යන මාධ්‍ය ප්‍රචාර නවත්වන බව කියා මැ‍ලේසියාවේ ප්‍රධානින්ගෙන් මුදල් ගරාගත් අධ්‍යක්ෂවරුන් ගැනද දැන් කරළියට පැමිණ තිබේ.

රිවිර ඉරිදා සංග්‍රහය මගින් මෙම ජාවාරම ගැන හෙළිදරව් කිරීම ඇරඹූ අප්‍රේල් 30දාම මෙහි මහ මොළකරුවන් හමුවන්නට ගිය යුද හමුදා බුද්ධි අංශයේ කපිතාන්වරයකු ලෙස පෙනී සිටි ජාවාරම්කරුවකු රිවිර පුවත්පතේ ලිපි පළවීම නවත්වා දීමට රුපියල් ලක්ෂ විස්සක කප්පම් මුදලක්ද ඉල්ලා ඇතැයි රිවිර විමර්ශන කණ්ඩායම අනාවරණය කරගන්නා විටත් ලක්ෂ දහයක අත්තිකාරමක්ද ගෙන හමාරය. මේ ගැන අදාළ ස්ථානයේ සීසීටීවී දර්ශනවලින්ද සාක්ෂි සටහන්ව තිබුණි.

අතුරුගිරියේ සිටින පිරමීඩ ජාවාරමට සම්බන්ධ ව්‍යාපාරිකයන් බියවද්දා මුදල් ගත් මෙම විෂමාචාර නිසා හමුදාවෙන් නෙරපනු ලැබූ කපිතාන්වරයා ගැනද මූල්‍ය අපරාධ කොට්ඨාසයේ අවධානය යොමුව ඇත්තේ මොහු මූල්‍ය අපරාධ කොට්ඨාසයද උකස් කර ඇති වග හෙළිවීම නිසාය.

පිරමීඩ ජාවාරම ගැන විමර්ශන ඇරඹී ඇතැයි මාධ්‍ය මගින් හෙළිවීමත් සමග එම ජාවාරමට සම්බන්ධ ප්‍රකෝටිපතියන් බියවද්දවා ඇත්තේ මූල්‍ය අපරාධ කොට්ඨාසය මොවුන්ව අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බව කියමිනි.

මෙම විමර්ශන යටපත් කර මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ලිපිගොනු ඉවත් කරදීමට රුපියල් ලක්ෂ විස්ස බැගින් ඉල්ලා යුද හමුදා බුද්ධි බළකායේ කපිතාන්වරයකු යැයි කියාගත් හොර කප්පිත්තා ව්‍යාපාරිකයන්ද රැගෙන මූල්‍ය අපරාධ කොට්ඨාසයට ගොස් ඇත. එහිදී ව්‍යාපාරිකයන් එළියේ නවතා ඇතුළතට ගොස් ලිපිගොනුව පන්නාගෙන එන බව කියා ඇතුළට ගොස් ඇතුළෙන් ලිපිගොනුවක් රැගෙන ගොස් ව්‍යාපාරිකයන්ට දී මුදල් ගන්නා ජාවාරම ගැන දැන් තොරතුරු අනාවරණය වී ඇත.

මූල්‍ය අපරාධ කොට්ඨාසයේ සිටින දූෂිත කනිෂ්ඨ නිලධාරීන් අල්ලාගෙන හොරට සැදූ ව්‍යාජ ලිපිගොනුවක් ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගැනීමට සැකසූ ලිපිගොනුවක් සේ පෙන්වා මෙම ජාවාරම කරගෙන යන බව හෙළිවී ඇත.

මේ අයුරින් රුපියල් ලක්ෂ විස්ස බැගින් එක් ව්‍යාපාරිකයකුගෙන් පමණක් දෙවරක් මුදල් ගෙන ඇති වගද මේ වනවිට අනාවරණය වෙමින් තිබෙන්නේය.

‍පොලිස්පති අණින් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ප්‍රධානී ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති රවී වෛද්‍යලංකාර මහතාගේ නියෝගය අනුව මෙකී පිරමීඩ ජාවාරමේ මහ මොළකරුවන් කොටු කරන මෙහෙයුම ඉදිරියට යන අතරේ විවිධ ජාවාරම්කරුවන් මෙම කූට ජාවාරම් කරන බව අනාවරණය වී තිබේ.

මේ අයුරින් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ විමර්ශනවලට මුවාවී පිටස්තරයන් ජාවාරම්කරුවන් බියවද්දවා මුදල් ගන්නා අතරේ ජාවාරමට සම්බන්ධ මහ මොළකරුවන් අතරේ සිටින කණ්ඩායමක් හතර අතට මුදල් විසි කරන්නට පටන් ගෙන ඇති වග හෙළිවී තිබේ.

මෙම ජාවාරම කෙරෙන සමාගමේ අධ්‍යක්ෂ ධුරයක් දරන තැනැත්තියකගේ ස්වාමියාද ඒ සඳහා විශාල සටනක් කරගෙන යන වග අනාවරණය විය. එතනෝල් ජාවාරම්කරුවකු මූල්‍ය අපරාධ කොට්ඨාසයේ විමර්ශනවලට බලපෑම් කරන්නට යන වග හෙළිවන්නේ ඒ අනුවය.

මෙම ජාවාරම්කරුවන් විමර්ශන යටපත් කරගැනීම සඳහා ඩීල් දැමීමට මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ප්‍රධානීන් හමුවන්නට තෙවරක්ම උත්සාහ දරා තිබුණි.

මූල්‍ය අපරාධ කොට්ඨාසය මේ වනවිට මෙම පිරමීඩ ජාවාරමට සම්බන්ධ සමාගමේ ගණකාධිකාරවරයාගෙන්ද ප්‍රකාශ ලබාගැනීමේදී ද රහස් රැසක් අනාවරණය කරගෙන හමාරය.

මෙම ජාවාරම සඳහා මීට පෙර ආරක්ෂක අමාත්‍යාංශයේ නීති අංශයක ක්‍රියා කළ පුද්ගලයකු මෙම ජාවාරමේ මහ මොළකරුවකු වන වෙල්වරාජන්ට එරෙහි ‍පොලිස් පරීක්ෂණ යටපත් කරදෙන බව හඟවා රුපියල් මිලියන හතරක රොලෙක්ස් ඔරලෝසුවක් ඇතුළු මුදල් කුට්ටියක් ලබාගත් අයුරු ඡායාරූපද සහිතව සොයා ගැනීමට රිවිර ගවේෂණ කණ්ඩායම සමත් විය.

පිරමීඩ ජාවාරමට සම්බන්ධ ශ්‍රී සමාගමේ අධ්‍යක්ෂවරයකු වන ක්‍රිෂ්ණ ඇතුළු ප්‍රබලයන් සමග පෙර කී නීති ලොක්කා සිටින ඡායාරූප රැසක් අප කණ්ඩායමට රහසිගතව ලබා ගැනීමට හැකිවිය. විජේ ඊශ්වරන්ගේ මහා පරිමාණ පිරමීඩ ජාවාරම යටතේ ගෝලීය ජීවන රටාවකට පාර කියන්නට කරළියට පැමිණි මෙම ව්‍යාපාරය මහරගම කේන්ද්‍ර කරගෙන තවමත් ක්‍රියාත්මක වන ආකාරය ජාවාරමට සම්බන්ධ සියලු අයවලුන්ගේ ඡායාරූපද සහිතව සොයාගත හැකි වුවද විමර්ශනවලට බාධා නොවන ලෙස ඒවා අවශ්‍ය මොහොතේ ජනතාවගේ දැනුවත් වීම සඳහා පළ කිරීමට අපි බලා‍පොරොත්තු වන්නෙමු.

මහරගම සිට ජාවාරම මෙහෙයවන මහ මොළකරු පිරමීඩ ජාවාරම මගින් මහා පරිමාණයෙන් මෙරට සිට විශාලම මුදල් සම්භාරය රැස් කරගත් පුද්ගලයා බව හෙළිවී ඇත. මොහුට විරුද්ධව මෙයට පෙර රහස් ‍පොලිසියේද විමර්ශනයක් සිදුවී ඇතත් විමර්ශනවලට සිදුවූ දෙයක් හෙළිවී නොමැත.

පිරමීඩාකාර ව්‍යාපාර වැනි තහනම් යෝජනා ක්‍රම මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත සහ විනිමය පාලන පනත යටතේද දඬුවම් ලැබිය හැකි වරදකි.

අතුරුගිරියේ නිෂ්පාදනය කරන සෝලා කට්ටලයක් රුපියල් හැටතුන් දහසකට විකුණන්නේ රටම ගොනාට අන්දවමිනි.

එක් පුද්ගලයකු මෙම සෝලා කට්ටලය මිලදීගත් පසුව තවත් දෙදෙනකු සොයා ගැනීමේදී ඔළු ගෙඩි ගණන වෙනුවට එකී භාණ්ඩය සඳහා වෙළෙඳ වටිනාකමක් (උදඪබ ධතභථඥ) යොදාගෙන මහ බැංකුවද ඇන්දවීමට ජාවාරම්කරුවෝ කටයුතු කරති.

2001 දී මෙරට ගෝල්ඩ් ක්වේස්ට් ජාවාරම හඳුන්වා දුන් මහ මොළකරුවන්ම මෙවරද වෙනත් නමකින් කරළියට ගෙන ආවේද පිරමීඩ ජාවාරමක් බව මහ බැංකුව තේරුම් ගන්නා විට රටපුරා ගම් නියම්ගම්වල ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මහමගට ඇද වැටී හමාරය.

සිහින මාලිගාවල පාවී සෝලා කට්ටල මිලදී ගනිමින් ගම්වල කුඹුරු හේන් ‍පොලී මුදලාලිලාට උකස් කර පිරමීඩ ජාවාරම්කරුවන්ට මුදල් ගෙවා අසරණ වී ඒවා සින්න වී මහපාරට ඇද වැටෙන්නට යන ගොවීන්ටද අබ සරණය.

2001දී මෙරටට ගෝල්ඩ් ක්වේස්ට් ජාවාරම හඳුන්වා දී එය තහනම් කළ පසුවත් එහි මුල් පුරුක්වලටද ආදායම් බෙදී යන ලෙසින් අලුත් මුහුණුවරකින් මෙම ජාවාරම සිදුවන්නේය.

මෙතරම් මුදලක් රටින් පැන්නවූ මහ මොළකරුවන් අතරේ සිටින ග්ලෝබල් ලයිෆ්ස්ටයිල් සමාගමේ සභාපති වෙල්වරාජන්ගේ ගුවන් ගමන් බලපත්‍රය අත්හිටුවන්නට මනම්පිටිය මහෙස්ත්‍රාත් උසාවියේ මහෙස්ත්‍රාත්වරයා නියෝග කරන්නේ අහිංසක මිනිසුන් අධිකරණයේ පිහිට පතද්දීය.

අවසානයේ එම නඩුවෙන් ගැලවෙන්නට පැමිණිලිකරුවන්ට මුදල් ගෙවා ගුවන් ගමන් බලපත්‍රය ලබාගත් විගස මහ මොළකරු රට පනින්නේ මූල්‍ය අපරාධ කොට්ඨාසය ඉදිරි විමර්ශන අරඹන මොහොතේදීය.

මේ අයුරින් රටම අගාධයට ඇද දමමින් කිහිප දෙනකු පමණක් ධනපතියන් බවට පත්කරන්නට යන මෙම පිරමීඩ ජාවාරමට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුත්තේ හිමිකරුවන්ට එය වසා දමා පැන යෑමට නොව, අහිංසකයන්ගෙන් උපයාගත් මුදල් සියල්ල යළි රටට ඇද්දවීම උදෙසාය.

මෙම ජාවාරමට එරෙහිව නීතිය හරිහැටි ක්‍රියාත්මක වනතුරු රිවිර ගවේෂණ කණ්ඩායම අවධානයෙන් සිටින බව දන්වමු. ඒ ජාවාරම්කරුවන්ගේ මුදල් බලයට එරෙහිව සටන් කර ජාවාරම්කරුවන්ට අසුවී ලුණුයි බතුයි කා ජීවත්වන ගම් දනව්වල අහිංසකයන් යළි ජීවත් කරවීම උදෙසාය.

ජානක කොඩිතුවක්කු

More News »