පිහිපාරවල් 42කින් කෙළවරවූ ප්‍රථම ප්‍රේමය...

2017-06-26 10:30:00       660
feature-top
මතුගම - පැලවත්තෙන් අම්පාරට ගිය උදාරා
දෙල්ක`දදී මැරුම්කෑවේ කොහොමද ?

ප්‍රියංකා සංකල්පනී පැලවත්ත පහළ හෙවෙස්‌ස ප්‍රදේශයේ පදිංචි තරුණියකි. ඇහැට කනට පෙනෙන රූපයකින් යුක්‌ත වූ ඇය පාසල් අධ්‍යාපනය හැදෑරුවේ එම ප්‍රදේශයේම ජනප්‍රිය පාසලකිනි. කුඩා කල සිට ඇය අධ්‍යාපන කටයුතුවලට වඩා මුල්තැන දුන්නේ බාහිර කටයුතුවලටයි. එම නිසා ඇය හරිහමන් අධ්‍යාපනයක්‌ නොලද්දියක වූවාය. පාසල් යහළු යෙහෙළියෝ අධ්‍යාපන කටයුතුවලට මනස වෙහෙසවද්දී ඇය ආදරය වෙනුවෙන් මනස වෙහෙසුවාය. ඇයට වුවමනා වූයේ අඩු වයසින්ම පෙම්වතියක්‌ වීමටයි.

දෙල්කඳ දී තරුණියව
මරා දමා තිබු අයුරු

උදාර හෙට්‌ටිආරච්චි පැලවත්ත ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි. ඔහු කඩවසම් පෙනුමකින් යුක්‌ත වූවත් ඉතා අහිංසකයෙකු විය. ඔහු පාසල් අධ්‍යාපනය හැදෑරුවේ ප්‍රියංකා සමඟ එකම පාසලේය. උදාරගේ අහිංසක ගති පැවතුම්වලට ගුරුවරු පමණක්‌ නොව එම පාසලේ බොහෝ සිසුවියෝද කැමැත්තක්‌ දැක්‌වූහ. එම නිසා උදාරගේ යහළුවන් අතර වැඩිපුර සිටියේ තරුණියන්ය. ප්‍රියංකා ද උදාරගේ හොඳම යෙහෙළියකි. උදාර අන් තරුණියන්ට වඩා ඇයට වැඩි කැමැත්තක්‌ දැක්‌වූවේය. පාසල් කාලයේදීත් ඉන් පිටතදීත් නිතරම ඔහු ඇය ගැන සොයා බැලුවේය.

අධ්‍යාපන කටයුතුවලට වැඩි දක්‍ෂතාවක්‌ නොදැක්‌වුවත් ප්‍රියංකා පාසල තුළ ජනප්‍රිය චරිතයක්‌ බවට පත්විය. ඒ ඇයගේ සමහර බාහිර ක්‍රියාකාරකම් නිසාය. පියකරු රූපයකට හිමිකම් කියූ නිසා සමහර තරුණයන්ගෙන්ද ඇයට ගැලවුමක්‌ නොමැති විය. පාසලේදීත් ඉන් පිටතදීත් බොහෝ තරුණයෝ ආදරය පතා ඇයගේ පසුපසින් පැමිණියහ. එහෙත් ඒ කිසිදු තරුණයකු සමඟ තරහ නොවී ඔවුන් සමඟ කුළුපගව ඇසුරු කිරීමට තරම් ඇය සමත් වූවාය.

උදාර නිතරම සිටියේ ප්‍රියංකා ගැන විමසිල්ලෙනි. ඔහුට ප්‍රියංකා ගැන ආදරයක්‌ පහළ වූයේ ඇය දුටු මුල් දිනයේදීය. එහෙත් එය ඇයට ප්‍රකාශ කිරීමට තරම් ආත්ම ශක්‌තියක්‌ පසුගිය කාලය පුරාම ඔහුට නොතිබුණි. දිනපතා නිදි වරමින් උදාර කල්පනා කළේ තම ආදරය ඇයට ප්‍රකාශ කරන්නේ කෙසේද කියාය. තවත් ප්‍රමාද වුවහොත් ඇය සදහටම අහිමි වෙතැයි ඔහුට සිතුණේය. එම නිසා හැකි ඉක්‌මනින් තම ආදරය ප්‍රකාශ කළ යුතු යෑයි උදාර සිතුවේය.

දිනක්‌ පාසල අවසන් වී ප්‍රියංකා නිවස බලා යන මොහොතක උදාර වසර ගණනක්‌ තම සිතේ සිර කරගෙන සිටි ආදරය ඇයට පැවසුවේය.

එම මොහොතේ ප්‍රියංකා ඒ ගැන වැඩි උනන්දුවක්‌ නොදැක්‌කුවාය. එහෙත් උදාර තම උත්සාහය අතහැරියේ නැත. දිනපතාම පාහේ ඔහු ප්‍රියංකාට තම ආදරය ප්‍රකාශ කළේය. කලක්‌ ගත වෙද්දී ප්‍රියංකා අන් තරුණයන්ට වඩා විශේෂ දෙයක්‌ උදාරගෙන් දුටුවේය. ඒ සමඟම නොදැනුවත්වම ඇයගේ සිත තුළ උදාර කෙරෙහි ආදරයක්‌ හට ගැනුණි. ඒ සමඟම උදාර සහ ප්‍රියංකා පාසල් කාලයේදීම ප්‍රේමවන්තයෝ බවට පත්වූහ.

ගුරුවරුන්ට සහ දෙමාපියන්ට දැක්‌වූ බිය නිසා කලක්‌ යන තුරුම මෙම ප්‍රේම සම්බන්ධතාව හොර රහසේ පවත්වාගෙන යැමට ඔවුහු වගබලා ගත්හ. ආදරයයි කැස්‌සයි හංගන්න බැහැ කියා කියමනක්‌ අපි සමාජයෙන් අසා ඇත්තෙමු. එය සනාථ කරමින් මොවුන්ගේ ආදර සම්බන්ධතාවයද මාස කිහිපයකට පසු සැවොම දැන ගත්හ.

උදාර එකම සිතින් ප්‍රියංකාට ආදරය කළේය. ඔහුගේ මුළු ලෝකයම වූයේ ඇයයි. එකල පාසලේ ජනප්‍රිය ප්‍රේම සම්බන්ධතාවලින් ප්‍රධාන ස්‌ථානයක්‌ ඔවුනට හිමි විය. වසර ගණනක්‌ ඔවුහු හදවතින්ම ආදරය කළහ.

පාසල් අධ්‍යාපනය නිමවීමත් සමඟ උදාරලාගේ ආදර සම්බන්ධයද දෙදරා ගියහ. ඒ ප්‍රියංකා වෙනත් තරුණයකු සමඟ යහළු වීමත් සමඟයි. උදාර ඇයට ආදරය කළේ මුළු හදවතින්මය. එහෙත් වෙනස්‌ වන සිතක්‌ ඇති ප්‍රියංකා ඔහුට හදවතින්ම ආදරය කර නොතිබුණි.

අවසානයේ උදාරට ඉතිරි වූයේ ප්‍රථම ප්‍රේමයේ විරහ වේදනාව පමණි.

ප්‍රියංකා ඉන්පසු තරුණයන් කිහිප දෙනකු සමඟ ප්‍රේම සම්බන්ධතා ඇති කරගත්තාය. එහෙත් ඒ සියල්ල කෙටිකාලීන ඒවා විය. අවසානයේ ඇය අම්පාර ප්‍රදේශයේ තරුණයකු සමඟ ප්‍රේම සම්බන්ධතාවක්‌ ගොඩනඟා ගත්තාය. මාස කිහිපයක ඇසුරකින් පසු ඔවුහු යුගදිවියට එළඹුණහ.

විවාහයෙන් පසු ඇය තම ස්‌වාමිපුරුෂයා සමඟ අම්පාර ප්‍රදේශයේ පදිංචි වූවාය. ඒ අතර කාලය තුළ ඇය දරුවකු ප්‍රසූත කළාය. වසර කිහිපයක්‌ ඔවුහු සතුටින් කාලය ගත කළහ. එහෙත් පසුව එක්‌වරම දෙදෙනා අතර අඬදබර ඇතිවන්නට වූහ. එහි ප්‍රධාන වැරැදිකාරිය වූයේ ප්‍රියංකා ය. ඇය තම ස්‌වාමි පුරුෂයාගෙන්ද සෑහීමකට පත් නොවූවාය.

තත්ත්වය එන්න එන්නම දරුණු විය. පැය විසිහතර පුරාම දෙදෙනා අතර අඬදබර ඇති වුහ. අවසානයේ ප්‍රියංකා තම අවුරුදු තුනක්‌ වයසැති පිරිමි දරුවා සහ ස්‌වාමිපුරුෂයා අතහැර මතුගම පැලවත්ත ප්‍රදේශයේ පිහිටි මහ ගෙදරට පැමිණියාය. ප්‍රියංකාගේ අවුරුදු තුනක කසාදය අවසානයේ එලෙසින් දෙදරා ගියේය.

විවාහය අතහැර පැමිණි ඇය යළි හැසිරුණේ තනිකඩ තරුණියක මෙන්ය. තම කුසින් උපන් දරුවා ගැනද ඇයට කැක්‌කුමක්‌ නොතිබුණි. ඒ සියල්ල අමතක කර දමා යළිත් වරක්‌ ඇය තරුණයන් කිහිප දෙනකු සමඟ ප්‍රේම සම්බන්ධතා ගොඩනඟා ගත්තාය. එහෙත් පෙර පරිදිම ඒ සියල්ල අතරමඟ නැවතුණි.

උදාර ඒ වන විටත් විවාහ වී නොතිබුණි. ප්‍රථම ප්‍රේමයේ විරහව විඳවමින් ඔහු රාජගිරිය ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක රැකියාවක්‌ කළේය. දිනක්‌ ඔහුට තම ෆේස්‌ බුක්‌ ගිණුම හරහා ප්‍රියංකා සමඟ තොරතුරු හුවමාරු කර ගැනීමට හැකි විය.

ඒ අනුව උදාර ප්‍රියංකාගේ සියලු තොරතුරු දැන ගත්තේය. ඒවා ඇසීමෙන් උදාරගේ සිතේ ඇය ගැන ලොකු අනුකම්පාවක්‌ ඇති විය.

අවස්‌ථාවෙන් ප්‍රයෝජන ගැනීමට ප්‍රියංකා උපන් හපනියකි. ඇය මෙවර සිතුවේ කෙසේ හෝ උදාරගේ ඇඟේ එල්ලී යළි ජීවිතය ගොඩනඟා ගන්නා බවයි.

රැකියාවකුත් නොමැතිව නිවසට වී සිටි ඇය උදාර සමඟ නිතරම කතාබස්‌ කර යළි ආදර සම්බන්ධතාවක්‌ ගොඩනඟා ගත්තාය.

ඇය මෙවර පැවසුවේ අනිවාර්යයෙන්ම උදාරව විවාහ කරගන්නා බවත්, යළි ජීවිතයේ කිසි දිනක දුකක්‌ නොදෙන බවත්ය. ආදරයෙන් අන්ධ වී සිටි උදාර ඒ සියල්ල පිළිගත්තේය. අතීතය අමතක කර තම පළමු පෙම්වතිය ඉක්‌මනින් තමා ළඟට ගත යුතු යෑයි ඔහු තීරණය කළේය.

සති කිහිපයක්‌ යළි ඇසුරු කළ ප්‍රියංකා උදාරට පැවසුවේ තමාටත් කොළඹින් රැකියාවක්‌ සොයා දෙන ලෙසයි. ඒ අනුව උදාර යහළුවකු මාර්ගයෙන් දෙල්කඳ ප්‍රදේශයේ රූපලාවන්‍යාගාරයක රැකියාවක්‌ ඇයට සොයා දුන්නේය. ඒ සමඟම ප්‍රියංකාට නවාතැන් පොළක්‌ද ඒ අවටින් ඔහු සොයා දුන්නේය.

විවේක ලද සැම මොහොතකම දෙදෙනා හමුවී පෙම් සුව වින්දහ. යළිත් වරක්‌ උදාර හදවතින්ම ඇයට ආදරය කළේය. මාස කිහිපයක්‌ ගතවෙද්දී ප්‍රියංකා කොළඹ සංස්‌කෘතියට හුරුපුරුදු වූවාය. උදාර සමඟ ප්‍රේම සම්බන්ධතාව පවත්වාගෙන යන අතරතුර තවත් තරුණයකු සමඟ ප්‍රේම සම්බන්ධතාවයක්‌ ගොඩනඟා ගනිමින් ඇය දෙවැනි වරටත් උදාරට ද්‍රෝහී වූවාය. මේ කිසිවක්‌ නොදත් උදාර ඇයට හදවතින්ම ආදරය කළේය.

නව ප්‍රේම සම්බන්ධතාව නිසා ප්‍රියංකා උදාරව ක්‍රම ක්‍රමයෙන් මඟහැරීමට පටන් ගත්තේය. ඇයට උවමනා වූයේ උදාරව මඟහැර අලුත් තරුණයා සමඟ විවාහ වීමටයි. ප්‍රියංකාගේ වෙනස්‌ වීම උදාරට හොඳින්ම දැනුණි. කුමක්‌ නිසා ප්‍රියංකා වෙනස්‌ වුණාද යන්න ඔහුට එක්‌වරම අවබෝධ නොවුණි. එම නිසා ඔහු ප්‍රියංකාගේ වෙන්වීමට හේතුව කුමක්‌ද යන්න පිළිබඳව හොර රහසේම සොයා බැලුවේය.

ඒ අනුව උදාරට දැනගන්නට ලැබුණේ ප්‍රියංකා තවත් තරුණයකු සමඟ ප්‍රේම සම්බන්ධතාවක පැටලී ඇති බවයි. ඒ සමඟම ඇය හොර රහසේම හෝමාගම ප්‍රදේශයේ රූපලාවන්‍යාගාරයක රැකියාවකට යැමටද සැලසුම් කර ඇති බව ඔහුට දැනගන්නට ලැබුණි. ඒ අනුව යළිත් වරක්‌ උදාර ආදරය හමුවේ අන්ත අසරණ වූවේය.

කරන්නේ කුමක්‌ද කියා සිතා ගැනීමට ඔහුට නොහැකි විය. අවසානයේ යළිත් වරක්‌ ඇයට සමාව දීමට ඔහු තීරණය කළේය. ඒ අනුව ඔහු පැවසුවේ එම අනියම් සම්බන්ධතාව නවතා දමන ලෙසයි. එහෙත් එම වචන ඇය තුට්‌ටුවකටවත් මායිම් නොකළාය.

ප්‍රියංකා එන්න එන්නම උදාරව මඟහැරීමට සියලු කටයුතු සිදු කළාය. අවසානයේ ඇය උදාරගේ දුරකථන ඇමතුමකට පවා පිළිතුරු නොදීමට වගබලා ගත්තාය. එහෙත් උදාර යළි ඇය තමාගේ කර ගැනීමට නොගත් උත්සාහයක්‌ නොමැත. එහෙත් එයින් කිසිදු ඵලක්‌ නොවීය.

අවසන් උත්සාහයත් ගැනීමට ඔහු තීරණය කළේය. ඒ අනුව යහළුවකුගෙන් යතුරුපැදියක්‌ ඉල්ලාගත් උදාර ප්‍රියංකා හමුවීමට ගියේය. එවිට වේලාව රාත්‍රි 7.30 පසුවී තිබුණි. නොසිතූ මොහොතක පැමිණි උදාර දැකීමෙන් ඇය පුදුමයට පත්වූවාය.

ඉතා සන්සුන් ලෙස උදාර පැවසුවේ එක්‌ දෙයකි. මට ඔයත් එක්‌ක විනාඩියක්‌ කතා කරන්න ඕන. ඒක නිසා මගෙත් එක්‌ක එන්න. පළමුව ඇය එයට අකමැති වුණත් උදාරගේ පෙරැත්තය මත ඇය කැමැති වූවාය.

ප්‍රියංකා යතුරුපැදියේ නංවාගත් උදාර පරණ කැස්‌බෑව මාර්ගය ඔස්‌සේ යතුරුපැදිය ධාවනය කළේය. එම මාර්ගයේ පාළු ස්‌ථානයක යතුරුපැදිය නැවතූ ඔහු ප්‍රියංකාට පැවසුවේ අනියම් ප්‍රේම සම්බන්ධතාව නවතා දමා තමා ළඟට යළි පැමිණෙන ලෙසයි. එහෙත් ඇය එයට අකැමැති වුවාය. උදාර යළිත් වරක්‌ බැගෑපත් වෙමින් එම ඉල්ලීම කළේය. එවර ඇය උදාරට බැණ වදිමින් පැවසුවේ තමන්ගේ පාඩුවේ ඉන්නට දී වෙන අතක්‌ බලා ගන්න කියාය.

ඇයට කීමට හැකිවූයේ එපමණකි. ආදරයත්, වෛරයත් අතර පරතරය කෙස්‌ ගසක තරම යෑයි යන කියමන පසක්‌ කරමින් උදාර තම ඉනේ සඟවාගෙන සිටි උල් පිහිය හතළිස්‌ දෙවතාවක්‌ ඇයගේ ශරීරයට කිඳා බැස්‌සුවේය. අවසානයේ වසර ගණනක්‌ අවංකව ආදරය කළ උදාරට සිදුවූයේ තමාට ද්‍රෝහී වූ පෙම්වතිය මරා දමා කූඩුවේ ලගින්නටයි. එය කොතෙක්‌ අනුවණ ක්‍රියාවක්‌ දැයි ඔහුට දැන් පසක්‌ වනවා ඇත. එහෙත් දැන් ඵලක්‌ නොමැත. හදිසි කෝපය නිසා සියල්ල යළි සෑදිය නොහැකි අයුරින් සිදුවී හමාරය. සමාජයේ බොහෝ අයට, මෙය තවත් ආදර්ශයක්‌ වනු ඇත.

Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks

More News »