කොළඹ පාතාලයේ නොනවතින ඝාතන රැල්ල යළි නැඟිටී

2017-06-22 10:46:00       527
feature-top
ඉසුරු ඝාතනයෙන් පසු හිරගෙදරත් පාටියක්

දකුණේ පාතාලයේ ඝාතන රැල්ල යළි ඇරඹෙද්දී කොළඹ පාතාලයත් තම නිහැ¾ඩියාව අවසන් කරමින් යළිත් ඝාතන රැල්ලකට මුල පුරා ඇත්තේය.

මට්ටක්කුලිය, සමිට්පුර කේන්ද්‍ර කරගත් මෙම මිනිස් ඝාතන රැල්ල ව්‍යාප්ත වන්නේ බලය වෙනුවෙනි. පුතා ඉදිරිපිට පියා ඝාතනය කළ ඝාතන රැල්ලක පළිය ගැනීමක් ලෙසින් යළිත් ඇරඹෙන මට්ටක්කුලියේ පාතාල ඝාතන රැල්ල තවත් වාර ගණනාවකට ඇදී යන්නක් බව ‍පොලිස් ආරංචි මාර්ග පෙන්වා දෙයි.

මට්ටක්කුලිය, සමිට්පුර කේන්ද්‍ර කරගත් කුඩු ජාවාරම්කරුවන්ගේ බලය අලිවත්ත, කූඹිකැ‍ලේ, කදිරාන, ගැමුණු පුර ඇතුළු වතුවලට පවා පැතිරෙන අතර කාලයක් එම ප්‍රදේශවල නඩු විසඳනු ලැබුවේත් පතාලය විසින්මය. මෙම පැතිවල ප්‍රශ්න ‍පොලිසියට ගෙනයන්නන්ටත් පාතාල කණ්ඩායම් ඉඩ දුන්නේ නැත. මට්ටක්කුලිය පාතාලය ‍පෝෂණය වන්නේ ආමි සම්පත්, බ්ලුමැන්ඩල් සංඛ හා දෙමටගොඩ චමින්දලාගේ කල්ලිවල ආනුභාවයෙනි.

කොළඹ පාතාලයේ නිහැ¾ඩියාව නිමවෙමින්  මෙම සතියේ සිදුවූ ඝාතනයට බිලිවන්නේ ගයාන් ජීවන්ත නොහොත් ඉසුරුය. ඉකුත් සඳුදා (05) සිදුවූ මෙම මිනිස් ඝාතනයට ඝාතකයන් පැමිණෙන්නේ යතුරු පැදියකිනි.

විසිහතර හැවිරිදි ඉසුරු තම සිව් හැවිරිදි දරුවාට සපත්තු දෙකක් මිලදී ගන්නට බිරිඳ සමග යන මොහොතේ ඝාතනය කරන අයුරු සී.සී.ටී.වී කැමරාවල පටිගත වූයේය.

සිව් හැවිරිදි දරුවා බලා සිටියදීම ඝාතකයන් ඉසුරුට වෙඩි තබන්නේ යළි හිස ඔසවන්නටත් ඉඩක් නොතබමිනි.
මීට වසර තුනකට ඉහතදී මේ අයුරින් පුතා ඉදිරියේ පියා ඝාතනය කරන්නට කුඩු ජාවාරමට සම්බන්ධ පාතාලයන් කටයුතු කළ සිද්ධියක් මුල්කරගෙන මෙම ඝාතන රැල්ල ඇරඹෙන්නේය.

කොළඹ පාතාලයේ කෙරුමකු වන ආමි සම්පත් මට්ටක්කුලිය සමිට්පුර පදිංචි සුමිත් හෙවත් ලලිත් රුවන්ගෙන් රුපියල් ලක්ෂ දහයක් කප්පම් ඉල්ලා සිටීමේ සිද්ධියක් මුල් කරගෙන මෙම නඩුව නිර්මාණය විය. ඒ 2014 අගෝස්තු මාසයේදීය. සමිට්පුර සුමිත් කුඩු ජාවාරමට යොමුවූ අයකු වූ අතර අතරමැදි කුඩු ජාවාරම අතහැර මුහුදු මාළු ඇළකන්දෙන් ගෙනවිත් මහා පරිමාණයෙන් මාළු ව්‍යාපාරයක්ද කරගෙන ගියේය. ඒ වන විට චූටි උක්කුං ද සමිට්පුරේ කුඩු ජාවාරමෙන් හිස ඔසවමින් සිටි අයකු විය. සමිට්පුර වත්තේ බලය ගැනීමට මේ වනවිටත් චූටි උක්කුං අර අඳිමින් සිටියේය. සුමිත් මේ වන විටත් සමිට්පුර මරණයක් සිදුවූ මොහොතේ මිනී පෙට්ටිය පවා අරන් දුන් අයකු නිසා වත්තේ මුල් තැනක් ඔහුට ලැබුණේය.

එතැනට එන්නට වෙර දැරුවේ චූටි උක්කුංය. සිදුවීම් අතරේ ආමි සම්පත් සුමිත්ට කතාකර මරණ තර්ජනය කර ලක්ෂ දහයක් කප්පම් ඉල්ලන්නේය.

තමට වූ අකරතැබ්බය සුමිත් කියන්නේ සමිට්පුරේ චන්ඩියා වන්නට බලාගෙන සිටි චූටි උක්කුංටය. මල්ලි කප්පම් ඉල්ලලා කෝල් එකක් මට ආවා යැයි සුමිත් කියද්දී චූටි උක්කුංගේ පිළිතුර වූයේ ‘අයියා බයවෙන්න එපා මම කතා කරලා දෙන්නම් කියාය.

එදිනම චූටි උක්කුං හා මල්ලාල්ගේ පුතා සම්පත් සුමිත් සොයා පැමිණෙන විට නිවසේ සිටියේ සුමිත්ගේ පුතා රොෂාන්ය. සුමිත් මුහුදු ගොස් සිටියේය. සුමිත්ට ඒ වන විට මාළු බෝට්ටුවක් තිබුණේය.

සුමිත්ට රාවත්තේ පිහිටි චූටි උක්කුංගේ නිවසට එන්නැයි කියා දන්වා චූටි උක්කුං එතැනින් පිටව යන්නේය. මුහුදු ගොස් සුමිත් නිවසට පැමිණි පසුව චූටි උක්කුංගේ ගෝලයන් දෙදෙනකු වන නිශාන්ත හා මල්ලි එතැනට එන්නේ චූටි උක්කුංගේ පණිවිඩය රැගෙනය.

‘සුමිත් අයියේ චූටි උක්කුං ඔයාව එක්කං එන්න කිව්වා. අපිත් එක්ක යමු’ යැයි උක්කුංගේ ගෝලයන් කියද්දී සුමිත්ගේ පුතා රොෂාන් ඉස්සරවී සුමිත්ගේ තනියට තමන්ගේ ත්‍රිරෝද රථයෙන් යන්නේ රියැදුරාත් සමගය.

චූටි උක්කුංගේ බළකොටුවට යන විට සුමිත්ව පිළිගන්නට අට දෙනෙක් පමණ එහි වූහ. කප්පම් සිද්ධිය ගැන කතා කරන්නට එහි යන සුමිත්ව චූටි උක්කුං පිළිගත්තේ තියුණු ආයුධ සංග්‍රහයකිනි. චූටි උක්කුං තමා ළඟට ආ සුමිත්ට සිතන්නටවත් වෙලාවක් නොතබා පුතා ඉදිරිපිටදීම කඩු කිනිසි ප්‍රහාරයක් දිගට හරහට එල්ල කරන්නට වූයේය. තම පියා බේරෙන්නට ඉදිරියට පනින රොෂාන්ටද මන්න පහර කිහිපයක් වැදුණි. මරු විකල්ලෙන් මෙන් කැපුම් තුවාල මැද දිවයන්නට උත්සාහ කරන සුමිත්ට එළවා එළවා පිහිවලින් අනින්නට වූහ. චූටි උක්කුංගේ මල්ලි එම සිද්ධිය වන තැනට පැමිණ රොෂාන්ගේ බෙල්ලෙන් අල්ලා ‘මූවත් මරපං’ කියා අල්ලාගෙන චූටි උක්කුං ලවා මරවන්නට උත්සාහ ගත්තේය. තම පිය ඇස් පනාපිටම ඝාතනය කරන අයුරු දකුණු ඉන්දියානු චිත්‍රපටයක මෙන් දැකගත් රොෂාන් ඊළඟ නිමේෂයේ සන්නද්ධ පිරිසෙන් ගැලවී පලායන්නේ ජීවිතය කෙසේ හෝ බේරාගන්නටය. දිවි බේරාගන්නට පැනයන රොෂාන් නවතින්නේ ගල් සම්පත්ගේ ගේ අසලය. ගල් සම්පත් යනු හෙරොයින් ජාවාරමට ජීවිතාන්ත සිර දඬුවම් නියමවූවෙකි. ගල් සම්පත්ගේ බිරිඳ ෆසීමාත් මහාධිකරණ නඩු තුනකට උරුමකම් කියා ඇත. ගල් සම්පත්ගේ නිවස අසලට පැමිණ ඇද වැටෙන රොෂාන්ට කොළඹ ජාතික රෝහලට ගෙනයන්නේ ගල්සම්පත්ගේ බෑනා වන පසුගිය සතියේ වෙඩිකා මියගිය ඉසුරුය.

සුමිත් ජීවිතයෙන් සමු ගනිද්දී සුමිත්ගේ පුතා රොෂාන් පිහිපාරවල් අටක් කා ජාතික රෝහ‍ලේ ජීවිතයත් මරණයත් අතර සටනකට මැදිවී සිටියේය.

චූටි උක්කුංගේ කල්ලියට බ්ලුමැන්ඩල් සංඛ, ආමි සම්පත් උදව් කරද්දී සුමිත්ට සහායට සිටියේ දෙමටගොඩ චමින්ද ගේ කල්ලියය.

සුමිත්ගේ මරණයේ පළිය ගන්නට ක්‍රියාත්මක වන පාතාල කණ්ඩායමක් වහාම කඩා වැදෙන්නේ චූටි උක්කුංගේ මහ ගෙදරටමය. පාන්දර 4.00 පමණ පැමිණෙන නාඳුනන තුවක්කුකරුවන් නිවසේ දොරට තට්ටුකර විවෘත කරද්දීම චූටි උක්කුංගේ මවට වෙඩි වරුෂාවක් එල්ල කර අවසන් ගමන් යවන්නේ ලෙයට ලෙයින් පළිය ගන්නටය.

මෙම ඝාතනයෙන් දෙපැත්තම උණුසුම් වූ අතර කාලයත් සමග එම උණුසුම නැවතුනේය. මාස ගණනක් ප්‍රතිකාර ලබා සුමිත්ගේ පුතා රොෂාන් සමිට්පුරට ආවද චූටි උක්කුංගේ කල්ලිවලින් බේරීම අපහසු වූයේය.

කිහිපවරක්ම රොෂාන් මරන්නට උක්කුංගේ ගෝලයන් උත්සාහ ගත්හ. රොෂාන් බාල සොහොයුරන්ට හා සොහොයුරියන්ටද චූටි උක්කුංගේ ගෝල බාලයන්ගෙන් දිගටම අඩන්තේට්ටම් සිදු විය. සුමිත් ඝාතනය කර හිස එසවූ චූටි උක්කුං හෙරොයින් ජාවාරමේ බලය මෙන්ම වත්තේ බලයද ක්‍රමයෙන් තමා අතට ගත්තේය. වත්තේ පැමිණිලි ‍පොලිසියට යන්නට නොදෙන්නටද චූටි උක්කුං වග බලාගත්තේය.

අවසානයේ උක්කුංගේ හිසරදයෙන් මිදෙන්නට සුමිත්ගේ පුත් රොෂාන් කරළියට එන්නේය. තම පවුල රැකගන්නට රොෂාන් කුඩු ජාවාරමටද බසින්නේය. එතැන් පටන් රොෂාන් කුඩු රොෂාන් බවට පත්වන්නේය.

අවසානයේ රොෂාන්ගේ පියාගේ මරණයේ පළිය ගන්නට යෙදූ උපක්‍රමයකට චූටි උක්කුං හසු වූයේය. තුවක්කුරුවන් අතින් චූටි උක්කුං ඇතුළු පස්දෙනකු එකවර මරා දැමෙන්නේ මෙම ප්‍රහාරයෙනි. පසුගිය වසරේ ඔක්තෝබර 23 දා චූටි උක්කුංගේ නිවස පෙනි පෙනී උක්කුං ගමන් ගත් මෝටර් රථයට වෙඩි වර්ෂාවක් එල්ල වූයේය. එතනම උක්කුං සමග රංග මර්වින් ඇතුළු තිදෙනකු මරු දැක්කහ. තවත් අයකු පසුදින රෝහ‍ලේදීම මරණයට පත් වූයේය.

චූටි උක්කුංගේ මල්ලි සුදු වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා බේරුණේය.
මෙම ඝාතනයෙන් සමිට්පුර මෙන්ම කොළඹ පාතාලයද යළි හෙල්ලී ගියේය. සුමිත්ගේ පුතා රොෂාන් හිරේට යන්නේ මෙම ඝාතනය සම්බන්ධවය. චූටි උක්කුං ඝාතනයේ ගෑවුණු සියලු දෙනාම අහවර කරන බවට චූටි උක්කුංගේ පවු‍ලේ අය එළිපිටම තර්ජනය කළහ.

මින් පසුව දෙපැත්තේ ඉතිරිව සිටි කණ්ඩායම් නිරන්තර ගැටුම්වලට මැදිවන්නේ කුඩු ජාවාරම මුල්කරගෙනය. ප්‍රියංකර, ආනමාලු රංග, පද්මිණී, රෝජා ඇතුළු උක්කුංගේ පවු‍ලේ උදවිය සහචරයන් යොදවා කුඩු ජාවාරම මෙහෙයවූහ.

චූටි උක්කුං මියයන විට කුඩු ජාවාරමෙන් කෝටි ගණනක දේපළ අත්කරගෙන සිටියේය. සමිට්පුර ගෙවල් 25ක පමණ හිමිකරු උක්කුං විය.

කෙසේ හෝ මීළඟට තිබුණේ උක්කුංගෙන් පසුව බලය කාට යන්නේද යන්න පිළිබඳවය. උක්කුංගේ බලය රකින්නට මල්ලි සුදු හා මස්සිනා වූ චමින්ද පමණක් සමිට්පුරේ සිටියහ. ඔවුන්ට සහායට ගෝල බාලයන් පනහකට වැඩි පිරිසක්ද එහි වූහ. මෙම කණ්ඩායම් ක්‍රියාත්මක වූයේ කොළඹ පාතාලයේ බලය වෙනුවෙන් දෙමටගොඩ චමින්දට එරෙහිව සටන් කරන ආමි සම්පත් හා බ්ලුමැන්ඩල් සංඛ යටතේය.

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින සුමිත්ගේ පුතාවූ කුඩු රොෂාන් යළි කරළියට ඒම නැවැත්විමට චූටි උක්කුගේ පාර්ශ්වයෙන් උවමනාව විය. ඒ අනුව රොෂාන්ගේ පැත්තට සිටින සියලු දෙනා අහවර කරන්නට ප්‍රතිවිරුද්ධ කල්ලිය පියවර ගත්තේය.

චූටි උක්කුං මැරෙන්නට පෙර සුමිත්ගේ පවු‍ලේ අයට ‍පොලිසියටවත් පැමිණිලි කරන්නට යා නොහැකි විය. මට්ටක්කුලිය ‍පොලිසියට පැමිණිලි කරන්නට ගිය සුමිත්ගේ බිරිඳට හා පුතාට මන්න පහර දෙන්නේ ‍පොලිස් ස්ථානාධිපති ඉදිරිපිටදීය. මොවුන්ට මන්න පහර දෙද්දී ‍පොලිසිය ක්‍රියාත්මක වන්නේ සියල්ල සිදුවූ පසුවය. ‍පොලිසියේ ඇන්ට්‍රි ‍පොත විසිකර මන්න පහරවලින් බේරුණු ඔවුන්ට ඒ මොහොතේ උක්කුංගේ බලයට නැමෙන්නට ද සිදුවූයේය.

උක්කුංලා ගෙනගිය පාලනය යළි අතට ගන්නට සුමිත්ගේ පාර්ශ්වයේ සියලු දෙනා අහවර කරන්නට උක්කුංගේ පාර්ශ්වය ප්ලෑන් ඇන්දේය.
gh
එය යළි කරළියට එන්නේ මේ සතියේය.
සුමිත්ගේ පුතාගේ ජීවිතය බේරාගන්නට රෝහලට ගෙන ගිය වරදට ඉසුරු උදහසට ලක්වී සිටියේය. මේ නිසා උක්කුංගේ කල්ලියේ තාඩන පීඩනවලට ලක්වූ මොවුන්ට කුඩු ජාවාරමට සම්බන්ධව ගැටුම් නිතර ඇතිවූයේය.
අවසානයේ චූටි උක්කුංගේ කල්ලිය ඉසුරු අවසන් ගමන් යවා මෙම සතියේ තම වාඩුව ගත්තේය. ඉසුරුව ඝාතනය වන්නේ සිව් හැවිරිදි පුතාගේ දෑස් පනාපිටය. තවත් අවුරුදු ගණනකින් එම දරුවාත් තම පියාගේ ඝාතකයන් සොයා කරළියට එන තවත් වටපිටාවක් සමිට්පුර ප්‍රදේශයේ සමාජගත වී තිබෙන්නේය.

මේ අයුරින් ඇරඹෙන පාතාල සටන නිමාවක් නොවන බව පැහැදිලිය.
සුමිත්ගේ පුතා රොෂාන් හිරෙන් නිදහස් වන විට මෙම ගැටුම තවත් උග්‍ර විය හැකිය.

පාතාල කල්ලිවල අවි බලයෙන්, කුඩු ජාවාරමේ මුදල් බලයෙන් හිස ඔසවන්නට යන මෙම ඝාතන සංස්කෘතියට දැන්වත් වැට බැඳිය යුතුය. කොළඹ භාර ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරි ලයනල් ගුණතිලක මහතා මෙම ප්‍රදේශවල කූට ජාවාරම් නැවැත්වීමටත් අපරාධ මැඬපැවැත්වීමටත් ගෙන යන ආරක්ෂක වැඩපිළිවෙළ හමුවේ අපරාධවලට නැඹුරු වීමට ඇති ඉඩකඩ නැවතී ඇත. නමුත් සියයට සියයක් මෙම අපරාධ රැල්ල නවත්වා ගත නොහැකිව තිබෙන්නේ පාතාල කල්ලි සංවිධානාත්මකව මෙම අපරාධ ක්‍රියාත්මක කරන්නේ ත්‍රස්තයන් මෙන් ක්‍රියාත්මක වෙමින් නිසාය. ඉසුරුගේ ඝාතකයා සඳහා කළු සනාගේ හා වී මංජුගේ සහාය ලද බවටද පරීක්ෂක කණ්ඩායම් වෙත තොරතුරු ලැබි තිබෙන්නේය.

ඉසුරුගේ ඝාතනයෙන් පසුව මැගසින් බන්ධනාගාරයේ ‘ඊ’ වාට්ටුවේ සිටින චූටි උක්කුංගේ කල්ලියේ ආණමාලු රංග, ප්‍රියංකර, චූටි මල්ලි, ප්‍රදීප් ඇතුළු ගෝලබාලයන් ඩාන්සින් පෙති ගසා සාදයක් දමා තම සතුට බෙදාගත් බවද විමර්ශන කණ්ඩායම් වෙත තොරතුරු ලැබි තිබුණේය.

දැන් කළ යුත්තේ තවත් මිනිස් ජීවිත අහිමි වෙන්නට ඉඩ නොදී පාතාල ක්‍රියා මර්දනයට දීර්ඝකාලීන වැඩපිළිවෙළක් බලධාරීන් එක්වී ක්‍රියාත්මක කරවීමය.

Wmqgd .ekSu ��r mqj;am; weiqfrks

More News »