කැනඩාව පෙන්වා බැංකු ‍පොතෙන් සල්ලි අදින ජාවාරමක්

2017-06-21 12:04:00       662
feature-top
ෆර්දාවට මුවා වූ හිටපු ගුවන් සේවිකාව සල්ලන් වූ හැටි

ෆේස්බුක් මාර්ගයෙන් කැනඩාවට යෑමට වීසා ලබාදෙන මොහමඩ්ගේ ඔන්ලයින් ක්‍රමවේදය මගින් කැනඩා යන්නට දර්ශන් හා ප්‍රදීපන් යන මිතුරන් දෙදෙනාද එක්වූහ. ඒ තමන්ට ලද ඊමේල් පණිවිඩයක් ඔස්සේය.

ෆේස්බුක් ගිණුම මගින් කැනඩා අයැදුම්පත් ඉදිරිපත් කරන්නට මොහොමඩ් එවා තිබූ අයැදුම්පත්‍රය පුරවා තම ජංගම දුරකථන අංකද සහිතව මොවුන් ඊමේල් පණිවිඩය යවන්නේ දහසක් බලා‍පොරොත්තු මැදය.

තෝරාගත් අයට පමණක් වීසා ලබාදෙන බව සඳහන් කර තිබූ හෙයින් මෙම ඊමේල් පණිවිඩයෙන් මාස හයකට පසුව අදාළ වීසා නියෝජිත ආයතනයෙන් කියා කාන්තාවක් අමතන්නේය.

“ඔයාලා කැනඩා යන්න කැමැති නම් අපිට වීසා අරන් දෙන්න පුළුවන්. අපිට මුලින් සල්ලි එපා. ඔයාලගේ බැංකු ‍පොතේ පමණක් සල්ලි ලක්ෂ විසිපහක් දාලා පෙන්වන්න. කැනඩාවට ගියාට පස්සේ අපේ නියෝජිතයාට අපේ මුදල ලක්ෂ විසිහත දෙන්න” යැයි දුරකථන ඇමතුම දුන් කාන්තාව දර්ශන් හා ප්‍රදීපන්ට කීවාය. ඉන්පසුව නැවත දර්ශන් හා ප්‍රදීපන් අමතන්නේ මෙකී කැනඩා යවන ප්‍රධාන නියෝජිතයා ලෙස පෙනී සිටි මොහමඩ්ය.

“ඔයාලගේ වීසා වැඩේට අවශ්‍ය මුදල් බැංකු ගිණුම්වලට දාලා අපිට ‍පොත් දෙන්න. අපිට සතපහක්වත් දෙන්න අවශ්‍ය නැහැ. අපි කැනඩා එම්බසියට වීසා ගන්න යන වෙලාවේ සල්ලි පෙන්නන්න තියෙන්න ඕන” යැයි මොහමඩ් කීය.

මේ වනවිට දර්ශන් තම පවු‍ලේ අය සතු දේ‍පොළ උකස් කර හා හිතවතුන්ගෙන් ණයට ගත් මුදලකින් පුත්තලම හැටන් නැෂනල් බැංකුවේ ගිණුමක් ආරම්භ කර මුදල් තැන්පත් කර තිබිණි. ප්‍රදීපන් ලක්ෂ දහයක මුදලක් තම ගිණුමේ තැන්පත් කර තිබිණි.
“කැනඩා එම්බසිය පිළිගන්නේ එක බැංකුවක් විතරයි. ඔයාලා …. බැංකුවේ ගිණුමක් පටන්ගෙන සල්ලි දාලා මට කියන්න” මොහමඩ් දැන්වීය.

බැංකු ගිණුම් ‍පොත් රැගෙන එන්නට පෙර උප්පැන්න සහතිකය හා ජාතික හැඳුනුම්පත් පිටපතක්ද, අයැදුම්පතක්ද පුරවා කොළඹට රැගෙන එන්නැයි මොහමඩ් කළ දැනුම්දීමකට කොළඹට එන ප්‍රදීපන් හා දර්ශන්ට කොළඹදීත් මොහමඩ් හමුවීම මගහැරෙන්නේ හමුවීමට කිහිප වතාවක්ම උත්සාහ කර තිබියදීය.

“මම අද කැනඩා එම්බසියේ ඉන්නේ. හදිසියේම කැනඩා තානාපතිතුමා එනවා ඇමැතිතුමා එක්ක සාකච්ඡාවකට. මට එන්න වෙන්නේ නැහැ. ඔයාලා කොටුවේ පීපල්ස් පාක් එකට එන්න. මම සුදු උස කෙනෙක් එවනවා. එයාට ඩොකියුමන්ට්ස් ටික දෙන්න.”

ඉන්පසුව යළිත් මොහමඩ් හා ඇගේ නියෝජිතවරිය සම්බන්ධ වන්නේ දුරකථනයෙන් පමණි. කැනඩාව ගැන සිහින මාලිගා පෙන්වා මෙකී තරුණයන් සිහින ලොවක තබන්නට මොහමඩ්ගේ නියෝජිතවරිය ඒ අතරේ කටයුතු කළාය.

එසේම ඔවුන් දෙදෙනාට සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ ලොබියට එන්නැයි මොහමඩ් දැනුම් දෙන්නේ ගුවන් ගමන් බලපත්‍ර දෙක හා බැංකු ‍පොත්ද සමගය. මොහමඩ්ගේ කීමට තම බැංකු ගිණුමේ මුදල් මොහමඩ් කී බැංකුවේ ගිණුමක තැන්පත් කර මේ දෙදෙනා කොළඹට එන්නේ ඉකුත් මාර්තු 30 දාය.

“මට එන්න වෙන්නේ නැහැ. ෆාතිමා රුක්ෂානා කියලා මගේ සෙකට්රි ඉන්නවා. ගර්ල් හොටෙල් ලොබි එකට ඇවිත් ඔයාලට කෝල් කරයි. එතැනදි එයා හම්බවෙලා ඩොකියුමන්ට්ස් දෙන්න” යි මොහොමඩ් පුත්තලමේ සිට කොළඹට එමින් සිටි ප්‍රදීපන් හා දර්ශන් යන දෙමළ තරුණයන්ට දැන්වීය.

හෝටලයේ ලොබියට පැමිණි ෆාතිමා දෙමළ තරුණයන් වූ මේ දෙදෙනාට සිංහලෙන් කතා කිරීම ඔවුන්ටද ප්‍රශ්නයක් වූයෙන් ඒ ගැන විමසා සිටියේ බැංකු ‍පොත් හා ගමන් බලපත් භාරදෙන අතරේය.

පෙනුමෙන් සුරූපී තරුණියක වූ ඇය යුරෝපයේ සිට තමා පැමිණි බවත්, තමාට සිංහල හා ඉංග්‍රීසි භාෂා පමණක් කතා කළ හැකි බවත් තරුණයන් දෙදෙනාගේ ප්‍රශ්නයට විසඳුමක් දෙමින් කීවාය.

ෆාතිමාගේ ජාතික හැඳුනුම්පත් පිටපතක් සමගින් බැංකු ‍පොත් හා ගුවන් ගමන් බලපත්‍ර භාරගත් බවට ලිපියක් තරුණයන් දෙදෙනාට ලබාදී “අපි කැනඩා එම්බසියෙන් වීසා ගහගෙන එනකම් ඔයාලා ගල්කිස්ස හෝටලයේ ලොබි එකට ගිහිල්ලා ඉන්න. අපි එතැනට ඇවිත් පාස්‍පෝට් දෙන්නම්” ෆාතිමා කීවාය.

සවස 4.00ට කලින් එන බව කියූ මොහමඩ් හෝ ෆාතිමාගෙන් පිළිතුරක් නොවුණු නිසා ප්‍රදීපන් හා දර්ශන් දුරකථන ඇමැතුම් දෙද්දී මොහමඩ් පැවසුවේ තමා කැනඩා එම්බසියේ සිටින බවත්, කාර්යබහුල බවත්ය.

සවස 4.00ට කලින් එන බව කියූ මොහමඩ්ගේ දුරකථනය සවස 4.00 වනවිට විසන්ධි වීමත් සමග මේ දෙදෙනා තක්කු මුක්කු වූහ. තමන්ට කොතැනක හෝ වැරදුණාද යන සැකය මත මොවුන් දෙදෙනා වැල්වත්තේ සිටින තමන් දන්නා දෙමළ ජාතික බැංකු කළමනාකරුවකු හට මේ බව දැන්වූහ. එම හිතවතා එම බැංකු ගිණුම අයත් මොහමඩ් කියූ බැංකුවේම කළමනාකරුවකු වූයෙන් ඉක්මනින් ගිණුම ගැන පරීක්ෂා කරගත හැකි විය. එහිදී තහවුරු වන්නේ මේ දෙදෙනාගේ බැංකු ගිණුම්වලින් රත්නපුරේ බැංකුවකින් ලක්ෂ 24ක්ද, පැල්මඩුල්ල බැංකුවෙන් ලක්ෂ 10ක්ද ගෙන ඇති බවය.

වහාම අදාළ බැංකු කළමනාකරුවන් අමතා මේ ගැන දැන්වූ පසුව ඔවුන් දන්වා තිබුණේ නියම ගිණුම් හිමිකරුවන්ට මුදල් ලබාදී ඇති බවය.

තමන්ව විශාල උගුලකට පැටලුණු වග දැනගත් ප්‍රදීපන් හා දර්ශන් ‍පොලිස් මූලස්ථානයට මේ වග පැමිණිලි කළ පසුව මාර්තු 31දා වංචා විමර්ශන අංශයට යොමු කෙරිණි.

කොළඹ භාර නියෝජ්‍ය ‍පොලිස්පති ලලිත් පතිනායක මහතාගේ උපදෙස් පරිදි කොළඹ වංචා විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ‍පොලිස් අධිකාරී රොහාන් ප්‍රේමරත්න මහතා හමුවට ගිය මෙම තරුණයන් දෙදෙනාගේ පැමිණිල්ල ස්ථානාධිපති ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක සී. එම්. ප්‍රනාන්දු ඒකක 02 භාර ස්ථානාධිපති ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක අනිල් ජයන්ත මහතාට යොමු කෙරිණි. ඒ අනුව සියලු තොරතුරු ලබාගත් පසුව මෙම ජාවාරම්කරුවන් කොටු කරන මෙහෙයුමට අවශ්‍ය විමර්ශන ‍පොලිස් සැරයන් ජයමාන්න (15709) හා ‍පොලිස් කොස්තාපල් විමලසිරි (74943) යන අයට පැවරිණි.

විමර්ශන අරඹා මොහමඩ් නමින් සිටි ප්‍රධාන සැකකරු කතා කළ ජංගම දුරකථන අංකය ඔස්සේ විමර්ශන අරඹද්දීම එම අංකය ලබාගන්නට යොදාගත් හැඳුනුම්පත ව්‍යාජ එකක් වග හෙළිවිය. එම තොරතුරු අතරේ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට පැමිණි ෆාතිමා නමැති මුස්ලිම් තරුණිය ගැන සීසීටීවී දර්ශන ඔස්සේ විමර්ශන කළද ඇයව හඳුනා ගැනීම අසීරු විය. ෆාතිමාට බැංකු ‍පොත් දෙන මොහොතේ ප්‍රදීපන් හොරෙන් ගත් ඡායාරූපයක් ජංගම දුරකථනයේ තිබුණද එය හඳුනා ගැනීමටද අසීරු විය.

හෝටලයේ සීසීටීවී දර්ශන ඔස්සේ ෆාතිමා පැමිණි කැබ් රථ අංකය ඔස්සේ ෆාතිමා ගැන තොරතුරු සොයා යන විමර්ශකයෝ තාක්ෂණික ක්‍රමවේද ඔස්සේද මෙහි කොනක් සොයා ගන්නට දින ගණන් වෙහෙසුණහ.

ඒ අතරේ බැංකුවෙන් මුදල් ලබාගැනීමට පැමිණි කොළොන්නාවේ පදිංචි ඉන්දික ලක්මාල් නමැත්තා කොටුකර ගන්නේ සීසීටීවී දර්ශන හා දුරකථන ජාල පරීක්ෂණයක් ඔස්සේය.

මෙම ජාවාරමේ එක් අයකු ඇල්ලූ සැණින් අනකු හසු නොවන පරිදි කොටි ඔත්තු සේවාවේ ‍පොට්ටු අම්මාන්ගේ තියරියෙන් මොහමඩ් නමින් පෙනී සිටි ප්‍රධාන ජාවාරම්කරු කටයුතු කරන බව අනාවරණය විය.

එකෙකුට එකෙක් හඳුනාගත නොහැකි ලෙසින් මෙම සැලැස්ම ක්‍රියාත්මක කර තිබුණි.
බැංකුවට මුදල් ලබාගැනීමට පැමිණි පුද්ගලයා හා බැංකු නිලධාරීන් මුදල් නිකුත් කිරීමේදී ක්‍රියාත්මක කළ ක්‍රමවේදයන් ගැන බැංකු කළමනාකරුවන්ගෙන් හා මුදල් කවුන්ටරයේ සිටි දෙදෙනාගෙන්ද කොළඹට කැඳවා ප්‍රකාශ සටහන් කර ගැනුණේය.

රත්නපුර හා පැල්මඩුල්ල බැංකුවලට අයත් නොවන ගිණුමකින් බැංකු ‍පොත හා හැඳුනුම්පත ඉදිරිපත් කර මුදල් ගැනීමේදී බැංකුව නියම ගිණුමේ හිමිකරු හඳුනා ගන්නට ක්‍රියා කළ ආකාරය ගැන සීසීටීවී දර්ශන මගින්ද විශ්‍ලේෂණය කර ප්‍රකාශ සටහන් කරගැනිණි. බැංකු දෙකේම මුදල් කවුන්ටරවල සිටියේ පුහුණු වන බැංකු නිලධාරියකු හා නිලධාරිනියක බව සටහන් කරගත් ප්‍රකාශවලින් තහවුරු විය.

රත්නපුර බැංකුවට පැමිණ ප්‍රදීපන්ගේ ගිණුමෙන් ලක්ෂ 24 ලබාගන්නට ඉන්දික තුළ චකිතයක් ඇතිවුණද තමාගේ හැඩරුව හා ප්‍රදීපන්ගේ හැඩරුව යම්තාක් දුරට සමාන නිසා කරදරයකින් තොරව මුදල් ලබාගත් වග ඉන්දික හෙළි කළේය. ඉන්දික මීට පෙරත් හොර අත්සන් ගසා බැංකුවකින් මුදල් ගත් සිද්ධියකට හා ‘රෙන්ට් අ කාර්’ ආයතනයක වාහනවල ලිපි‍ලේඛනවල හොර අත්සන් ගසා හසුවීමෙන් හිරේ ගිය අයකු බවද, කැසිනෝ ගැසීමට හුරුවූ අයකු බවද අනාවරණය විය.

ඉන්දිකට මෙම සැලැස්මේ මහ මොළකරු ලෙස සිටි මොහමඩ් නමින් පෙනී සිටි පුද්ගලයා ඔහුගේ නියෝජිතවරිය ලවා බැංකු ගිණුම් ‍පොත් එවා මුදල් ගැනීමේ මෙහෙයුම් අරඹා තිබුණේය. ඉන්දික රත්නපුර බැංකුවෙන් සවස 2.59ට ලක්ෂ 24ක් ගෙන පැල්මඩුල්ල ශාඛාවෙන් 4.03ට ලක්ෂ 10ක් ලබාගෙන යළි පැමිණෙන්නේය.

එතැනින් පසුව මෙම ජාවාරමේ සිටි ෆාතිමා ගැන සොයා යන කොස්තාපල් විමලසිරි විසින් ෆර්දාව සහිත ෆාතිමාගේ ඡායාරූපය නිරීක්ෂණය කර එහි කටුව වැරදි අතට ගසා තිබූ නිසා ඇය මුස්ලිම් ජාතික තරුණියක්ද, නැතිනම් ෆර්දාවෙන් මුහුණ වසාගෙන ආ ජාවරම්කාරියක්ද යන සැකය ඔස්සේ විමර්ශන කෙරිණි. ඇය සිංහලෙන් කතා කිරීමද සැකයට භාජනය වී තිබුණි.

තාක්ෂණ ක්‍රමවේද ඔස්සේ ෆර්දාවෙන් සැඟවී ෆාතිමා ලෙසින් පැමිණියේ කඳානේ පදිංචි මධුෂි නමැති 27 හැවිරිදි රූමත් සිංහල තරුණිය වග අනාවරණය විය. ඇය ගුවන් සේවිකාවක ලෙසද කලක් කටයුතු කළ අයකු බවට තොරතුරු ලැබුණේය.

ඒ අනුව ඇයව මිනුවන්ගොඩ මුස්ලිම් තරුණියකගේ සැලොන් එකකදී මුස්ලිම් තරුණියක් සේ වෙස්ගන්වා ෆර්දාව දමා ඇතැයිද හෙළි විය. මධුෂි ව්‍යාජ ලිපි‍ලේඛනවලට අත්සන් කර වාහන උකස් කරන ජාවාරමකට සැමියා සමග දෙවරක් සිරගත වූ තැනැත්තියක බව විමර්ශනවලදී අනාවරණය විය.

හිර ගෙදරදී හඳුනාගත් අයකු මාර්ගයෙන් මෙම කල්ලිය හඳුනාගත් බව මධුෂි හෙළි කළාය. ඇයට මේ සඳහා ලද මුදල ලක්ෂ එකහමාරකි.

මෙම ජාවාරමේ මහ මොළකරු මෙම කැනඩා ජාවාරමට වෙනමම ජංගම දුරකථන අංක යොදාගෙන මෙහෙයුම රහස්‍ය ලෙස කරන්නටත් සාක්ෂි ඉතිරි නොකරන්නටත් උත්සාහ ගෙන තිබුණි. මෙම මහ මොළකරුගේ බැංකු ගිණුම්වලින් මුදල් හොරට ඇදීමේ ජාලයේ සැඟවුණු චරිත රැසක් තවත් ඇති වග පැහැදිලිය. තවමත් විමර්ශන කණ්ඩායම්වලට හසුවී ඇත්තේ මෙම තිර නාටකයේ නළුවා හා නිළිය පමණය. මෙහි අධ්‍යක්ෂ හා තිර රචකයා තවමත් නිදැල්‍ලේය.

මේ මහා මොළකරු හා ඔහුගේ නියෝජිතවරිය කොටු කිරීමේ මෙහෙයුමක් කොළඹ වංචා විමර්ශන අංශය අරඹා තිබේ. මේ සමග බැංකු පද්ධතිය හෙල්ලී යන කරුණු රැසක් අනාවරණය විය. ඒ බැංකු ගිණුම්වලින් මුදල් අදින්නට මෙම මහ මොළකරුවන් ගෙන යන සූක්ෂ්ම ක්‍රමවේදය ය. බැංකු ගිණුමකින් මුදල් ගැනීමේදී විශාල මුදලක් එකවර ගන්නා විට මීට වඩා ආරක්ෂිත ක්‍රමවේද භාවිත කරන්නට මේ සමග බැංකුවලට සිදුවනු ඇත.

කොළඹ සිට රත්නපුර බැංකුවක් තෝරාගත්තේ විවිධ ව්‍යාපාරිකයන් රත්නපුරට පැමිණ මැණික් ගනුදෙනු සඳහා මුදල් ලබාගන්නා නිසා සැකයක් ඇති නොවන්නට වග සැකකරුවන්ගේ ප්‍රකාශවලින් පැහැදිලිය.

කෙසේ වුවද මෙම ජාවාරම පසුපස සිටින මහ ජාවාරම්කාරයන් සියල්ල ගැන ළඟදීම තොරතුරු අනාවරණය කරගත හැකි යැයි විමර්ශකයක් විශ්වාසය පළකර ඇත. අන්තර්ජාලයේ නොදකින ජාවාරම්කරුවන්ට හසුවී ලක්ෂ ගණන් නැතිකර ගන්නට පෙර දෙවරක් සිතා කටයුතු කිරීම කාගේත් වගකීමය.

Wmqgd .ekSu ��r mqj;am; weiqfrks

More News »