හාල් කැලි හතරක්‌ හිරෙන් පැන්නේ
බන්ධනාගාර ලොක්‌කා ගෙදර යවන්නද?

2017-06-13 09:35:00       578
feature-top
මෙරට තුළ ඇති බන්ධනාගාරවලින් සිරකරුවන් පැනයැම යන්න අතීතයේ සිටම වාර්තා වන සිදුවීමකි. එකී වාර්තාවලට අනුව මේ දක්‌වාම එසේ බන්ධනාගාරවලින් පැනගියේ දරුණු ඝනයේ සිරකරුවන් හෙවත් හොඳ වැඩකාරයන් වීමද පෙනෙන්නට තිබුණකි.

ඉස්‌සර එසේ හිරෙන් පැන්නේ මරදන්කඩවල යකඩයා, මරුසිරා වැනි කෙරුමෝය. එහෙත් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට උරුම මෙකී සිරකරුවන් පැනයැමේ හෙවත් "එස්‌කේප්" ඉතිහාසය උඩුයටිකුරු කෙරුණු සිද්ධියක්‌ ඉකුත් සතියේදී මීගමුව බන්ධනාගාරයෙන් වාර්තා විය.

මීගමුව බන්ධනාගාරයේ තරුණ පුද්ගලයන් රඳවා තබන වයි. ඕ. සිර වාට්‌ටුවේ සිටි රැඳවියන් සිව්දෙනකු බන්ධනාගාර තාප්පය සිදුරු කර ඉකුත් 30 වැනිදා අලුයම කාටත් රහසේ බන්ධනාගාරයෙන් පැන යැම එකී සිද්ධිය විය.

එය බන්ධනාගාර ඉතිහාසය උඩුයටිකුරු කෙරුණක්‌ යෑයි අප කියනුයේa බන්ධනාගාරතව සිටින ඇතැමුන්ගේ භාෂාවෙන්ම කිවහොත් මෙහිදී පැනගොස්‌ තිබුණේ හාල් කෑලි හතරක්‌ නිසාය. මෙසේ පැන ගිය තරුණ රැඳවියන් සිව්දෙනා වත්තල, මීගමුව, යාපනය ආදී ප්‍රදේශවල පදිංචිව සිටි චතුර මධුසංඛ, පී. ජෙයකුමාර්, මොහොමඩ් නවුෆර් සහ විපුල සුරංග නමැති සිව්දෙනකු බවද වාර්තා විය.

ඉන් තිදෙනකු සොරකම් ආදී අපරාධ සම්බන්ධයෙන් රක්‍ෂිත බන්ධනාගාරගතව මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටියවුන් වන අතර අනෙක්‌ පුද්ගලයා මිනිස්‌ ඝාතනයක්‌ සම්බන්ධයෙන් සැකපිට රඳවා සිටි අයකු බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

දින කිහිපයක්‌ තිස්‌සේ බන්ධනාගාර තාප්පයේ සිදුරක්‌ සකසා එය කුණු දමන බාල්දියකින් ආවරණය කර ඉකුත් 30 වැනිදා අලුයම අනෙකුත් සිරකරුවන් නිදා සිටියදී තරුණයන් රඳවා සිටි සිර වාට්‌ටුවේ ඉහළින් තිබූ කම්බි දැල නවා ඉන් පිටතට පැමිණ මොවුන් සිව්දෙනා මෙසේ පැනගොස්‌ තිබිණ.

ඒ පලායැම බන්ධනාගාර නිලධාරීන් දැන ගන්නේ පසුදා උදැසනදීය. ඒ තරමටම පැනගිය සිරකරුවන් සිව්දෙනා සූක්‍ෂම වෙද්දී බන්ධනාගාරයේ ආරක්‍ෂාව තිබී ඇත්තේ කුණු මුල්ලේය. එසේ සිදු වූයේ කෙසේද? බන්ධනාගාර නිලධාරීන්ගේද සහාය ඇතිව කිසියම් කුමන්ත්‍රණයකට අනුව මොවුන් සිව්දෙනා පැන ගියේද?

අප එසේ විමසන්නේ දැනට වසරක පමණ කාලයක සිට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තුළ ප්‍රබල බල අරගලයක්‌ ඉස්‌මතු වී තිබෙන නිසාය. එය ඇති වූයේ වත්මන් බන්ධනාගාර කොමසාරිස්‌ ජනරාල් නිශාන් ධනසිංහ මහතා බන්ධනාගාර මුල් පුටුවෙන් පන්නා දැමීමට එක්‌තරා ඉහළම බන්ධනාගාර නිලධාරියකු ඇතුළු පිරිසක්‌ උත්සාහ දැරීමට වීමත් සමගිනි.

ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඇතැම් බන්ධනාගාර නිලධාරීන් යනු ඕනෑම දහදුරා වැඩක්‌ කිරීමට අති දක්‍ෂයෝය. ඒ අනුව තමන්ගේ ඉලක්‌කය ජයගැනීම සඳහා දැනට බන්ධනාගාරගතව සිටින දරුණුම අපරාධකරුවා වුව හිරෙන් පැන්නවීම ඔවුන්ට කිරිකජුය. එවන් දේට ඕනෑ තරම් උදාහරණ බන්ධනාගාර දෙපාර්තමේන්තුව තුළම ඇත.

දැන් ඇතැමුන් නම් කියනුයේ වර්තමානයේ බන්ධනාගාරවල පවතින අධික තදබදය සහ නිලධාරී හිඟය මෙවන් සිදුවීම්වලට ප්‍රබල හේතුවක්‌ වන බවය. එක්‌ පැත්තකින් බලන කල මෙහි යම් සත්‍යයක්‌ ඇත. එහෙත් මීගමුවේදී නම් සිදුවූයේ එවැන්නක්‌ නොවන බව මේ හාල්කෑලි හතර හෙවත් තරුණ සිරකරුවන් සිව්දෙනා බන්ධනාගාර තාප්පය හිල් කර පැන යැම දෙස බැලිමේදී නිකමට මෙන් අපට සිතෙන්නේය.

ඒවා කෙසේ වෙතත් මෙම සිද්ධියත් සමඟ ඒ පිළිබඳ නිරීක්‍ෂණය කිරීමට මීගමුව බන්ධනාගාරයට ගිය බන්ධනාගාර ඇමැති ස්‌වාමිනාදන් මහතා සඳහන් කර තිබුණේ සිරකරුවන් සිව් දෙනා බන්ධනාගාර තාප්පය සිදුරු කර තිබෙන අයුරු දැකීමෙන් තමන් විශ්මයට පත්වූ බවකි. එසේම මෙම සිද්ධිය මුල්කර ගනිමින් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඉහළ පුටුවල වෙනසක්‌ කිරීමට තමන් බලාපොරොත්තු වන බවක්‌ද ඇමැතිවරයා සඳහන් කරනු ලැබීය.

තමන් ඇමැති ධුරයට පත්වීමෙන් පසු පළමු වතාවට බන්ධනාගාරයක්‌ නිරීක්‍ෂණයට ගිය ඇමැතිවරයා එසේ පුටුමාරුවක්‌ කිරීමට බලාපොරොත්තු වන්නේ නම් බන්ධනාගාර කොමසාරිස්‌ ජනරාල් නිශාන් ධනසිංහ මහතාගේ පුටුවද වෙනස්‌ කිරීම බොහෝ දරට සිදුවිය හැකිය.

ඒ අනුව බලන කල මේ කියෑවෙමින් තිබෙන්නේ මීගමුව බන්ධනාගාරයෙන් සිරකරුවන් සිව්දෙනකු පැන යැමත් සමඟ නිශාන් ධනසිංහ මහතා පුටුවෙන් එලවීමේ අරගලය දියත් කළ වුන් ජයගෙන තිබෙන බවක්‌ද? මෙහිදී කවුරු ජයගත්තද සඳහන් කළ යුතු එක්‌ වැදගත් කතාවක්‌ද ඇත. ඒ නිශාන් ධණසිංහ යනු හොරෙක්‌ හෝ දූෂිතයෙක්‌ නොවන බවය. ඔහු බන්ධනාගාර මුල්පුටුවට පැමිණි දිනයේ සිට ඒ බව බන්ධනාගාර දේපාර්තමේන්තුවේම බොහෝ අය අපට කීහ. ඇතැම්විට ඔහුගේ මේ හැසිරීම දූෂිතයන්ට හෙණයක්‌ වී තිබුණාද විය හැකිය.

සත්‍යය එය විය. මේ අනුව පැහැදිලිවම කිවහොත් මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටි හාල් කෑලි හතරක්‌ ප්‍රධාන ගණයේ පලා යැමක්‌ සේ ගතහැකි අන්දමට මෙසේ බන්ධනාගාරයෙන් පැන ගියේ නිශාන් ධනසිංහ මහතා බන්ධනාගාර මුල්පුටුවෙන් පන්නා දැමීම සඳහා දියත් කෙරුණු කුමන්ත්‍රණයේ ප්‍රධාන තුරුම්පුවක්‌ ලෙසින් විය නොහැකිද?

අප එසේ කියන්නේ පසුගිය කාලයේ මෙකී බල අරගලයට අනුව බොහෝ දේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව තුළ සිදුවෙමින් තිබුණු නිසාය. ඇතැම් අවස්‌ථාවල බන්ධනාගාර ඇමැතිවරයාගේ පෞද්ගලික කාර්ය මණ්‌ඩලයේ සිටින අපතයකුද මේ අරගලයේ මහ මොළකරුවකු ලෙස රඟන අන්දමට දකින්නට ලැබිණ.

හේ විටක බන්ධනාගාර කොමසාරිස්‌ ජනරාල්වරයා පිළිබඳ ඇමැතිවරයාට ගතු කීය. ඇමැති ස්‌වාමිනාදන් මහතා ඒවා විශ්වාස කළේද නැද්ද යන්න අපි නොදන්නමෙq. එහෙත් ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්‌ඩලයේ සිටින සමීපතමයා එසේ කළේය.

පසුගිය කාලයේ එක්‌තරා බන්ධනාගාර අධිකාරිවරයකු කුඩු ජාවාරම්කරුවකුගෙන් රුපියල් ලක්‍ෂ 20 ක කප්පමක්‌ ගත් බවට චෝදනා එල්ල වීම නිසා වැඩ තහනමට ලක්‌ වෙද්දී ඔහුව ඉන් බේරා ගැනීමටද මේ ඇමැති ගෝලයා දැඩි ලෙස උත්සාහ ගත් බවක්‌ද වාර්තා විය. කලකට ඉහත එක්‌සත් ජාතික පක්‍ෂයේ ඡේෂ්ට ඇමැතිවරයකු සමීපයේ සිටිමින් කළ කී දේ හමුවේ එතැනින් පන්නා දැමූ මොහු පසුව බන්ධනාගාර ඇමැතිවරයාට සමීප වූවකුද විය. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තරයට ඇඟිලි ගැසීමේ ඇමැති ගෝලයාගේ ක්‍රියාදාමය එසේ වෙද්දී බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ විනය රෙගුලාසිද උල්ලංඝණය කරමින් ඔහු සිදු කළ තවත් දෙයක්‌ පිළිබඳවද ඉකුත් සතියේ වාර්තා වූයේ දුම්බර බන්ධනාගාරය දෙසිනි.

පසුගිය දිනවල කන්ද උඩරට ප්‍රදේශයේ පැවති එක්‌තරා රග්බි ක්‍රීඩා තරගයක්‌ නැරඹීමට ඉහත කී වැඩතහනමට ලක්‌වූ බන්ධනාගාර අධිකාරිවරයාද සමඟින් ගිය මොහු පසුව එකී බන්ධනාගාර ලොක්‌කාද සමඟ දුම්බර බන්ධනාගාර භූමියේ තිබෙන බංගලාවක්‌ වෙත ගොස්‌ සුපිරි විස්‌කි පාටියක්‌ දැමූ බව එහි එහි ඇතැම් නිලධාරීහු අපට පැවසූහ.

බන්ධනාගාර භූමියක්‌ තුළ විස්‌කි පාටි දැමීම බන්ධනාගාර විනය රෙගුලාසි අනුව තහනම්ය. එහෙත් මෙකී ඇමැති ගෝලයාට ඒවා අදාළ වූයේ නැත. මෙම සාදය අතරතුරදීත් නිශාන් ධනසිංහ සාධකය ඔවුන්ගේ එකම මාතෘකාව බවට පත්ව තිබූ බවද අපට දැනගැනීමට ලැබිණ.

මීගමුව බන්ධනාගාරයෙන් සිරකරුවන් සිව්දෙනා පලා යන්නේ මෙකී සාදයෙන් දින කිහිපයකට පසුවය. මේ දෙක අතර කිසියම් සබඳතාවක්‌ තිබෙන්නේදැයි අපි නොදන්නෙමු. එහෙත් එය එසේ සිදු විය. ඔවුන් පාටි දමමින් ධනසිංහ පැන්නීමට කතාබහ කර දින කිහිපයකට පසු මීගමුව බන්ධනාගාරයෙන් සිරකරුවන් සිව්දෙනකතු ඉහත කී අන්දමට පලා ගියේය.

මෙකී සිරකරුවන් සිව්දෙනා පලා යැමේ කතාවේදී මීගමුව බන්ධනාගාරයේ පැවති තත්ත්වය පිළිබඳවද මෙහිදී යමක්‌ සඳහන් කළ යුතුය. මීගමුව බන්ධනාගාරයට නව අධිකාරිවරයකු මෑතකදී පත්ව ආවේ එකී තනතුරට සුදුස්‌සකු පත්කිරීමේ ක්‍රියාදාමයකට අනුවය. එසේ නව අධිකාරි ලෙස පත්ව ආ හේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සිටින ජ්‍යෙෂ්ටයකුද විය.

එහෙත් මොහු එකී තනතුරට පත් කරද්දී බන්ධනාගාර කොමසාරිස්‌ ජනරාල්වරයාට බොහෝ බලපෑම් එල්වූ බවක්‌ ඒ දිනවල දෙපාර්තමේන්තුව අභ්‍යන්තරයෙන් වාර්තා වෙමින් තිබිණි. ඒවා කෙසේ වෙතත් ඔහුව මීගමුව බන්ධනාගාර අධිකාරි ලෙස පත්කිරීම සිදුවිය.

එතැන් පටන් මෙකී නව බන්ධනාගාර අධිකාරිවරයාට විරුද්ධව මීගමුව බන්ධනාගාරය තුළ බොහෝ දේ සිදුවන්නට විය. ඇතැම් නිලධාරීන් ඔහුව අපහසුතාවට පත්කිරීම සඳහාම පසුගිය කාලයේ හිටි හැටියේ ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා නොකළ බවක්‌ද සමහර අවස්‌ථාවල දැනගැනීමට ලැබිණ. මීගමුව බන්ධනාගාරයේ නිලධාරීන්ගේ හිඟයක්‌ තිබුණ බව සත්‍යයකි.

මීගමුව බනAධනාගාරයේ රඳවා සිටි රැඳවියන් 1100 පමණ පිරිසක්‌ බලා ගැනීමට එහි සිටියේ නිලධාරීන් 205 කි. සාමාන්‍යයෙන් එකී රැඳවියන් පිරිස බලා ගැනීමට සිටිය යුතු නිලධාරීන් ගණන 280 පමණ වේ. ඒ අනුව බන්ධනාගාරයේ පැවති නිලධාරී හිඟය 75 ක්‌ පමණය. එහෙත් මීගමුවේ රාජකාරි කළ එකී නිලධාරීන් 205 ට බුද්ධියේ ඌණතාවක්‌ හෝ හිඟයක්‌ තිබවූ බවක්‌ කොතැනකවත් සඳහන් නොවන්නේය.

මේ අනුව මනා පුහුණුවක්‌ සහ පළපුරුද්දක්‌ සහිතව මීගමුව බන්ධනාගාරයේ රාජකාරි කළ නිලධාරීන් පිරිස නිසි අවධානයකින් සිටියේ නම් මේ පලා යැම වලක්‌වාගත හැකිව නොතිබුණේද?

සිරකරුවන් සිව් දෙනා බන්ධනාගාර තාප්පය හිල්කරගෙන පැනයන අවස්‌ථාව වන විට මීගමුව බන්ධනාගාරය තුළ තිබූ සැබෑ වටපිටාව එය විය. ඇත්ත මෙසේ නම් මේ රැඳවියන් සිව්දෙනා බන්ධනාගාරයෙන් පැන ගියේ මෙහි මුලින් සඳහන් කළ දේට අදාළව ඇතිවූ තත්ත්වයක්‌ මත විය නොහැකි?

අප ඒ සඳහන කරනුයේ මෙකී සිකරුවන් පැන යැමේ සිද්ධිය සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුවේ ලොකු පුටු මාරු කරන්නට බලාපොරොත්තු වන ඇමැති ස්‌වාමිනාදන්ට ටිකක්‌ කල්පනා කර බලන්නටය. මේ පිළිබඳ පැහැදිලි විමර්ශනයක්‌ සිදු කෙරෙන්නේ නම් මෙකී සියලු කරුණු ගැන අවධානය යොමු කිරීම ඉතාම වැදගත් බව අපේ හැඟීමය.

එසේම මෙහිදී බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සමස්‌ත නිලධාරීන්ටම ඇසෙන්නට කිවයුතු කතාවක්‌ද අපට ඇත. මෙතෙක්‌ කලක්‌ බන්ධනාගාර කොමසාරිස්‌ ජනරාල් ධුරය පැවතියේ රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරියකු සතුවය. දශක ගණනාවකට පසු එය වෙනස්‌ වූයේ වත්මන් කොමසාරිස්‌ ජනරාල් නිශාන් ධනසිංහ මහතා එම තනතුරට පත්ව ඒමත් සමඟය. අද සිදු කෙරෙමින් තිබෙන කුමන්ත්‍රණ, අරගල සහ කකුලෙන් ඇදීම් හමුවේ සියල්ලන් හුරේ දමද්දී ඔහුව එකී තනතුරෙන් ඉවත් කිරීම හෙට දිනයේ සිදුවීමටද ඉඩ ඇත. එය සිදුවන්නාක්‌ සේම නැවතත් බන්ධනාගාර කොමසාරිස්‌ ජනරාල් ධුරයට රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරියකු පත් කිරීමද බොහෝ දුරට සිදුවිය හැකිය.

එහිදී සියු දෙනාටම සිදුවන්නේ අතට ගත්ත දේ කටේ දාගන්නට බැරිවීමේ විපාකයට මුහුණ දීමට බව සමස්‌ත බන්ධනාගාර නිලධාරීන්ම වටහා ගතයුතුය.

Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks

More News »