නීතියේ ඇස්‌වලට ගසා වැලි මහවැලියේ වැලි හාරන හැටි

2017-06-02 11:43:00       550
feature-top
දැන් වැලි ගොඩ දාන්නෙ බැකෝ දාගෙන ට්‍රැක්‌ටර් දාගෙන...
හැමෝම වැලි මුදලාලිගේ සල්ලිවලට යට වෙලා...

ප්‍රදේශවාසීන් පුන පුනා කීවද මේ සා විනාශයක්‌ සිදු වී ඇතැයි සිහිනෙකින් හෝ සිතුනේ නැත. එහෙත් දැන් අපගේ දෑස්‌ ඉදිරියේ ඒ කාලකණ්‌ණි විනාශය විද්‍යමාන වෙමින් තිබේ. වැලි හොරු මහවැලි ගඟ දෙපස කාබාසිනියා කර හමාරය. ගඟ දිගටම වැලි කැණීම් කරන තොටුපළවල්ය. ගඟට වාහන ගෙන යැමට ගං ඉවුර දෙබෑ කරමින් මහා පාරවල් කපා ඇත. ළඟ, ළඟ ඉවුරු කැපීම නිසා තැන, තැන ඉවුරු කැඩී පස්‌ කඳු ගඟට සේදී ගොස්‌ය. සීතල හිමිදිරියේ ද ගං දිය කිරිමැටි හැලියක්‌ ගානය. වැලි හොරුන්ට තැනක්‌ වේලාවක්‌ නැත. ගඟේ වැලි තිබේ නම් උන් රැයක්‌, දහවලක්‌ නොමැතිව වැලි ගොඩ දමති. ගිරාඳුරුකෝට්‌ට අවට ගම්මානවලට හිරු එබිකම් කරන්නත් මත්තෙන් වැලි හොරු කැණීම් පටන්ගෙන ඇති බව බොර දිය සාක්‍ෂි දරයි. නෙත ගැටෙන දසුන් පෙළට හදවත කකියවන තරම්ය. සීතල හිමිදිරියේ මුළු ගතම දහඩියෙන් නැහැවෙන්නේය. මේ නම් පොළොව මහී කාන්තාව ද නුහූළන මහා අපරාධයකි.

වැලි හොරු තම බලය පතුරුවා හරිමින් ප්‍රදේශවාසීන් භීතියට පත් කර වැලි ජාවාරම ජයටම කරගෙන යන්නාහ. විටෙක එය වාර්තා කිරීමට ගිය මහියංගන 'දිවයින වාර්තාකරු රංජිත් කරුණාවීර මහතාට අමානුෂික ලෙස පහර දෙන තරමට වැලි ජාවාරම්කාරයන් පාතාල මැරයන් ලෙස ක්‍රියාත්මක වේ. එමෙන්ම මහියංගන ප්‍රදේශයේදී මහවැලි ගඟ හරහා වැටුණු වේරගංතොට පාලමේ කණුවල පාදම කොටස පෑදී පෙරළීමේ අවදානමක්‌ ඇති බව හෙළිදරව් කළ මාධ්‍යවේදියා හට හසලක පොලිසිය තුළදී වැලි බලපත්‍ර හිමියන් කිහිපදෙනෙක්‌ම මරණීය තර්ජනය කිරීම පොලිස්‌ දෙපාර්තමේන්තුවට අතුල් පහරකි. එහෙයින් මේ වැලි ජාවාරම ගැන සැබෑ තතු හෙළි කිරීමට ඇතැම් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් බියකින් පසුවෙති. තවත් මාධ්‍යවේදීන් කිහිපදෙනෙකු වැලි ජාවාරම්කාරයන්ගේ මුදලට යට වී වන්දිබට්‌ටකම් කරති. එහෙයින් වැලි ජාවාරම ගැන සැබෑ තතු සොයාගෙන පසුගිය දිනක අපි ගිරාඳුරුකෝට්‌ට ප්‍රදේශයට ගියෙමු. ප්‍රදේශවාසීන්ගේ මඟපෙන්වීම මත බෝට්‌ටුවක නැඟී මහවැලි ගඟ දිගට සංචාරය කළෙමු.

ඉවක්‌ බවක්‌ නොමැතිව කරගෙන යන වැලි ජාවාරම නිසා ගිරාඳුරුකෝට්‌ට අවට බතලයාය, කොටලිය, අක්‌කරපනහ, සී.ටී.සී. ගින්නොරුව, හෙබරව, දහයේ කණුව, විරාණගම, අලුත්තරම සහ ගඟේ යාය වැනි ගම්මාන ගණනාවක ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටිති. එහෙත් මේ වැලි කොල්ලය ගැන කොතරම් අදාළ බලධාරීන්ට කීවද බීරි අලින්ට කරන වීණා වාදනයක්‌ විනා සහනයක්‌ නැති බව එකී ගම්වාසීහු අපට කීහ. මෙතැන් සිට පෙළගැසෙන්නේ ඒ පීඩිත මිනිසුන් කියන දුක හිතෙන කතාවය.

''මහවැලි ව්‍යාපාරය පටන් ගන්නත් කළින් ඉඳලා මේ ගම්වල මිනිස්‌සු පදිංචි වෙලා ඉඳලා තියෙනවා. අපේ තාත්තලා මේ ගමේ පදිංචියට ඇවිත් තියෙන්නෙ 1963 අවුරුද්දේ. ගඟෙන් වතුර ටික අරගෙන ගොවිතැන් කරගෙන බොහෝම සාමකාමී විදිහට මේ ගම්වල මිනිස්‌සු ජීවත් වෙලා තියෙනවා. අවුරුදු හතළිහකට කලින් ඉඳලා මේ ගම්වල මිනිස්‌සු ගඟේ වැලි ගොඩ දැමීම කරලා තියෙනවා. ඒaත් මේ විදිහට ගඟ විනාශ කරලා නෑ. එදා ඒ මිනිස්‌සු ගඟේ කිමිදිලා කූඩෙට වැලි අරගෙන උඩට ගේනවා. මහන්සිය වැඩියි. වැලි ට්‍රැක්‌ටරයක්‌ දාන්න වැඩි කාලයක්‌ යනවා. ඒත් ගඟට හානියක්‌ වෙන්නෙ නෑ...''

''දැන් වැලි ගොඩ දාන්නේ බැකෝ දාගෙන ට්‍රැක්‌ටර් දාගෙන මහා පරිමාණයෙන්. ගඟට යන්න පාරවල් කපලා ගඟ දිගටම ඉවුරු කැඩිලා. ගඟ පළල් වෙලා. ගඟේ තැනින්, තැන විශාල වළවල්. වැස්‌ස කාලෙට මේ පළාතම යට වෙනවා. පහුගිය මාර්තු මාසෙ 14 වැනිදා සවස 6.30 ඉඳලා රෑ 08 විතර වෙනකම් ගඟ මැද ගල් කඩන්න බෝර දැම්මා. එක ගල් බෝරයකින් කැඩිලා විසි වෙච්ච ලොකු ගල් කෑල්ලක්‌ ගමේ ගෙදරක වළං හෝදමින් හිටිය වයසක අම්මා කෙනෙක්‌ ළඟට වැටිලා තිබුණා. පූරුවේ පිනකට ගල් කෑල්ල අම්මාගේ ඇඟට වැදිලා නෑ. ඊට පස්‌සෙත් කිහිප වතාවක්‌ම ගඟ මැද ගල්වලට බෝර දාන ශබ්දය ඇහුණා. මේ විදිහට ගඟේ ගල් කඩන්නේ වැලි ගේන බෝට්‌ටු වැදිලා හානි වෙන නිසා...''

''ඒ වගේම වැලි පටවගෙන යන ටිපර් රථ ගෙවල්වලට පෙරළිලා මිනිස්‌සුන්ට තුවාල වෙලා තියෙනවා. මේ වැලි ජාවාරම ගඟ දිගට විතරක්‌ නෙමෙයි, මඟ දිගටත් මහා විනාශයක්‌. ඒ විතරක්‌ නෙමෙයි මේ වැලි හොරු ගඟ දෙපැත්තේ තියෙන වටිනා ගස්‌කොලන් ටිකත් කපලා ඉරාගෙන ට්‍රැක්‌ටර්වල වැලි යට හංගගෙන ගෙනියනවා. මේ විදිහට මහා පරිමාණයෙන් වැලි ගොඩදාන හුඟදෙනෙක්‌ අපේ ගම්වල මිනිස්‌සු නෙමෙයි. පිට පළාත්වල කෝටිපති ව්‍යාපාරිකයො. ඒ අය වැලි ගොඩදැමීම කරගෙන යන්නෙ ප්‍රදේශවාසීන් බය කරගෙන. කළු ගල්වල ඔලුව ගහගන්න බෑ කියලා ගමේ සමහර මිනිස්‌සු වැලි හොරකම ගැන කතා කරන්න බයයි. අසරණ ගම්මුන්ගේ බය සාධාරණයි. මේ ජාවාරම්කාරයන්ට විරුද්ධව කතා කරනවා කියන එක ජීවිතවලට අවදානමක්‌. රෑට ඇවිත් උස්‌සගෙන යන්නත් ඉඩ තියෙනවා. ඒ තරම් වැලි මාµsයාව ප්‍රබලයි. රජයේ සියලු නිලධාරීන් මේ වැලි හොරුන්ට යට වෙලා ඉන්නේ. ඒත් මේ පරිසරයට කරන විනාශය වෙනුවෙන් කතා කරලා මැරුණත් ප්‍රශ්නයක්‌ නෑ. ඒක මට ගෞරවයක්‌...'' අප සමඟ එසේ අදහස්‌ ප්‍රකාශ කළේ සමන්ත කුමාරය. ගිරාඳුරුකෝට්‌ටේ, අලුත්තරම සී.ටී.සී අංක 119 හි පදිංචි සමන්ත වැලි හොරු හමුවේ කොන්ද කෙලින් තබාගෙන ප්‍රදේශවාසීන්ට ශක්‌තියක්‌ වී සිටින තරුණයෙකි. එමෙන්ම ප්‍රදේශයේ ඇතැම් තරුණයන් වැලි හොරුන්ගේ ඔඩොක්‌කුවේ හුරුතල් වන පසුබිමක සමන්තලා වැනි තරුණයන් ගිරාඳුරුකෝට්‌ට පමණක්‌ නොව මුළු මහත් සමාජයටම ආදර්ශයකි.

සමන්තගේ දෑස්‌ ගඟ දිගේ පාවිණි. අපගේ දැස්‌ කඩතොලු වූ ගං ඉවුර දිගේ ඈතට දිවෙයි. වැලි කැණීම් කිරීමට අවසර දී ඇති දිනයන්හි මහවැලි ගඟ කර්මාන්තපුරයක්‌ වැනිය. දියේ කිමිදෙන මිනිස්‌සු වැලි කූඩ ඔසවාගෙන උඩට එති. වැලි පටවා ගත් විසල් බෝට්‌ටු විදුලි මෙන් ගඟ දිගේ ඉහළ, පහළ දිවෙයි. වැලි පටවාගත් ට්‍රැක්‌ටර් බැරි, බැරි ගාතෙන් ඉවුරු බිඳගෙන ඉහළට ඇදේ. බලා සිටින අපට එය යුද්ධයක්‌ වැනිය. වර්ෂා සමයට පෙර ආහාර රැස්‌ කර තබාගන්නා කූඹින් සේ වැලි ජාවාරම්කාරයො ගඟේ වතුර වැඩි වීමට පෙර බෝට්‌ටු යොදාගෙන වැලි කැණීම් කරති. එක්‌රැස්‌ කරති. ඒ වර්ෂා කාලයට වැඩි මිලට වැලි විකිණීමට හැකි බව ඔවුන් දැන සිටින බැවිනි. තවත් නම් කැණීම් කිරීමට වැලි නැති තරමටම ගඟ සූරාගෙන වැලි ගෙන හමාරය. උස්‌ව තිබූ වැලි කඳු සිඳී ගොස්‌ කළු ගල් මතුව ඇති අයුරු පෙනේ. පසුගිය වසර දහයක පමණ කාලයක සිටම වැලි හොරු මහවැලි ගං කොමළියගේ සීරිමාංශ සූරාගෙන කන්නාහ. එහෙත් ඉවරයක්‌ නැත. තවත් තරුණයකුගේ කතාවෙන් අප අතර පැවති කෙටි නිහැඬියාව බිඳී ගියේය. ඔහු යූ. ජී. ජයන්තය. හෙබරව, ගඟේ යායේ පදිංචිකරුවෙකි. මේ ජයන්ත වේදනාව වචන කරන හැටිය.

''පහුගිය ආණ්‌ඩුව ඉවක්‌ බවක්‌ නැතිව වැලි කැණීම්වලට බලපත්‍ර දුන්නා. අපි හිතුවා යහපාලන රජය පත් වුණාට පස්‌සෙ වැලි ජාවාරම නතර වෙලා අපිට යහපතක්‌ වෙයි කියලා. දැන් මේ ආණ්‌ඩුවත් ඒකම කරනවා. ප්‍රදේශයේ දේශපාලනඥයො දිගට හරහාට වැලි පර්මිට්‌ දෙනවා. ඡන්දවලට වැඩ කරපු කොල්ලො දේශපාලනඥයන්ගෙන් ජොබ් ඉලන්නේ නෑ. ඉලන්නේ වැලි බලපත්‍ර. ප්‍රදේශයේ දේශපාලනඥයන්ට, පොලිස්‌ නිලධාරීන්ට ඇතැම් මාධ්‍යවේදීන්ට වැලි තොටවල් හතර, පහ තියෙනවා. වැලි අදින්න ටිපර් රථ දාලා තියෙනවා. මේක ගෙදර ඉඳලා සල්ලි හම්බ කරන්න පුළුවන් සීතල ජොබ් එකක්‌. ගඟේ බැහැලා වැලි ගොඩ දාන්න, අදින්න ගන්නේ ගමේ මිනිස්‌සුන්ව. ඒ අයට දවසෙ පඩි. හැමදාම දුක විතරයි. ගමට අයිති සම්පත පිටගම්කාරයො ගමේ මිනිස්‌සුන්ගේ කරෙන්ම ඇදගෙන කනවා. උණක්‌ හෙම්බිරිස්‌සාවක්‌ හැදිලා දවසක්‌ වැඩට යන්න බැරි වුණොත් ඊළඟ දවසේ රස්‌සාව නෑ. ඒ තරමටම වැලි මුදලාලිලාගේ නීති තදයි. ඒ වගේම මුදලාලි උදේට දෙන ටාගට්‌ එක කොහොමහරි කවර් කරන්නත් ඕනා...''

''වැලි බලපත්‍ර ගන්නකොට යටත් වෙන කොන්දේසි එකක්‌වත් වැලි ගොඩ දානකොට වලංගු නෑ. වැලි තොටුපළක තියෙන්න පුළුවන් පාරු හෝ ඔරු දෙකක්‌ විතරයි. එක තොටුපළක වැඩ කරන්න පුළුවන් සේවකයින් පස්‌දෙනකුට විතරයි. ඒත් මේ වැලි තොටුපළක බෝට්‌ටු හතර, පහ තියෙනවා. මිනිස්‌සු දහයක්‌ පහළොවක්‌ වැඩ කරනවා. බලපත්‍රයට අනුව වැලි ගොඩ දාන්න පුළුවන් උදේ 6.00 ඉඳලා සවස හය වෙනකම් විතරයි. ඒත් මේ වැලි ජාවාරම්කාරයො ලයිට්‌ ගහගෙන මහා රෑටත් වැලි ගොඩ දානවා. සතියට සඳුදා, බදාදා, සිකුරාදා දින තුන විතරයි වැලි ගොඩ දාන්න පුළුවන්. මාසෙටම වැලි කියුබ් 210 ක්‌ අදින්න පුළුවන්. ඒත් වැලි ජාවාරම්කාරයෝ වැලි කියුබ් 210 එක සතියෙන් අදිනවා. මහියංගනයේ ඉඳලා මනම්පිටිය පාලම දක්‌වා එකම විදිහට වැලි ගොඩදැමීම වෙනවා. ගඟට කරන මේ විනාශය කියන්න තියෙන හැම තැනකටම අපි දැනුම් දුන්නා. ඒත් වැඩක්‌ නෑ. දැන් අපි ජනාධිපතිතුමාට කියන්නෙ ගුවන් යානයකින් ඇවිත් ගඟට කරන මේ විනාශය බලන්න කියලයි...'' ජයන්තගේ කතාව මහවැලි නදිය සේ ගලා යයි. ඉවරයක්‌ නැති තැන හෙබරව ගගේ යායේම පදිංචිකාරිණියක්‌ වන කුමාරි ජයන්තගේ කතාව මැදට පනින්නීය.

''අපි අවුරුදු හතළිහක්‌ නෑව තොටුපළත් මහවැලි අධිකාරියේ නිලධාරීන් මැදිහත් වෙලා වැලි මුදලාලි කෙනෙකුට දීලා. තව ටික දවසකින් අපිට නාන්න තැනක්‌ නැති වෙනවා. ගම්මාන දහයක විතර මිනිස්‌සු මෙතැනින් නානවා. දැනටත් ගඟට ඇවිත් ගෑනු කෙනෙකුට වතුර ටිකක්‌ නාගන්න විදිහක්‌ නෑ. වැලි ගොඩ දාන උන් උසුළු විසුළු කරනවා. ඇඹලයො වගෙ බලාගෙන ඉන්නවා. දරුවෙක්‌ව තනියෙන් ගඟට එවන්න බයයි. රැයක්‌, දවාලක්‌ නැතිව වැලි ලොරි එහා මෙහා යනවා. වාහනවල ශබ්දයට දරුවකුට පොතක්‌ පත්තරයක්‌ බලන්න නෑ. පාරක බැහැලා යන්න බෑ දූවිල්ල. වැස්‌ස කාලෙට පාර මැද මාළු පීනන වළවල්. ගෙවල්වල දූවිලි පිරිලා. ගමේ දරුවන්ට කැස්‌ස, හෙම්බිරිස්‌සාව නැති දවසක්‌ නෑ. සමහර දරුවන්ට ඇදුමටත් ඇවිත්. ඒ කාලේ අපේ ගම්වල ඔය වගේ ලෙඩ තිබුණේ නෑ. අශ්වාස කළේ පිරිසිදු වාතය. ඉස්‌සර අවුරුද්ද පුරා අපේ ළිංවල වතුර තිබුණා. දැන් යන්තම් පෑවිල්ලක්‌ ආව ගමන් වතුර හිඳෙනවා. මේ වැලි ජාවාරමත් එක්‌ක දැන් අපේ ජීවිත උඩු යටිකරු වෙලා තියෙන්නෙ. ඒත් වැලි මුදලාලිලා එක්‌ක අපිට හැප්පෙන්න බෑ. අපේ ජීවිතවලට අනතුරක්‌ වුණොත් නඩුත් නෑ, මොනවත් නෑ. වැලිවලටම යට වෙලා යනවා. ඒ නිසා අපේ ආරක්‍ෂාව අපිම බලා ගන්නවා...'' කුමාරිගේ ගිනියම් හඬ ගං දැලේ හැපී බිඳී යයි. කාලයක සිට හදවත්වල තෙරපෙන ගම්මුන්ගේ වේදනාව මුවින් මුදාහරින්නේ ගිනි බෝල ලෙසය. හෙබරව ගඟේ යාය ගමේ චන්ද්‍රවතීගේ හඬ හිටි හැටියේ උස්‌ විය. ඇයගේ හඬට කුමාරිගේ හඬ ගිලිනි.

''ගඟේ ඉඳලා මීටර් 50 ක දුරින් විදුලි වැට ඇදලා තියෙනවා. ගං ඉවුරේ ඉඳලා විදුලි වැටට මීටර් විස්‌සයි. මේ රක්‍ෂිත ප්‍රදේශයේ තමයි වැලි කඳු ගොඩ ගහලා තියෙන්නෙ. අලි, ඇත්තු යන පාර හරස්‌ වුණ ගමන් ඒ සත්තු අපේ ගම්වලට හැරෙනවා. ගම් වැදෙන අලි කුලප්පු වුණහම ගෙවල් දොරවල් කඩා බිඳ දාලා මහා විනාශයක්‌ කරනවා. අපිට එක පැත්තකින්වත් සහනයක්‌ නෑ. අපේ ගම්වලට මේ වින්නැහිය වුණේ ගඟේ වැලි ගොඩ දාන්න පටන් ගත්තට පස්‌සෙයි. ඒත් මේ විනාශය ගැන කියන්න නිලධාරියෙක්‌ නෑ. සේරම වැලි මුදලාලිගේ සල්ලිවලට යට වෙලා. දැන් අපිට මේ අවනඩුව ගැන කියන්න තියෙන්නේ සමන් දෙවි හාමුදුරුවන්ට විතරයි...''

වැලි බලපත්‍ර නිකුත් කිරීම සිදු කරනු ලබන්නේ මහවැලි අධිකාරියේ නිලධාරීන් විසිනි. එහෙත් මහවැලි ගඟ දෙපස සිදු කරගෙන යන වැලි ජාවාරම නතර කිරීමට එම නිලධාරීන් ක්‍රියානොකිරීම පුදුමයට කරුණකි. එමෙන්ම භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය, පොලිසිය මේ මහා වැලි ජාවාරම හමුවේ මුනිවත රැකීම ප්‍රදේශවාසීන්ට පමණක්‌ නොව අපට ද ගැටලුවකි.

සමනල කඳු වැටියෙන් ඉපිදෙන මහවැලි ගං කොමලියට නිදහසේ ගලා බැසීමට හැක්‌කේ මහියංගනයට පමණි. එතැනින් එහාට මුහුදට වැටෙන තෙක්‌ම ගං කොමළියට මිනිස්‌සු විවිධාකාර කෙණහිලිකම් කරන්නාහ. එහෙත් මේ වැලි ජාවාරම මහවැලි ගඟට පමණක්‌ සීමා වූවක්‌ නොවේ. මෙරට සියලු ගංගා, ඇළ, දොළවල වැලි කැණීම් සිදු කෙරෙති. ඒ වැලි යනු මිනිසාට අත්‍යවශ්‍ය අමුද්‍රව්‍යයක්‌ වී ඇති බැවිනි.

රටේ සංවර්ධන ක්‍රියාවලියට මෙන්ම, ජනතාවගේ ඉදිකිරීම් සඳහා වැලි නැතුවම බැරි ගොඩනැඟිලි ද්‍රව්‍යයකි. එහෙත් එවැනි සහසම්බන්ධයක්‌ තිබුණද ගංගා, ඇළ, දොළ සහමුලින්ම කාබාසිනියා කර වැලි කැණීම් කිරීම රට වතුරෙන් යට කිරීමට පාර කැපීමක්‌ වැනිය. එහෙත් මුදල් ඉදිරියේ තුන, හතරට නැවෙන කාලකණ්‌ණි නිලධාරීන්ට මේ විනාශයන්වල බරපතළකමක්‌a නොතෙරේ. ඔවුහු මොනර කොළ හමුවේ අන්ධ වී සිටිති. අපේ රට මේ තරම් ප්‍රපාතයකට ඇද වැටීමට ප්‍රධාන හේතුව ද නිලධාරීන්ගේ මෙන්ම බලධාරීන්ගේ මේ මන්දබුද්ධික ක්‍රියා පිළිවෙතය. මේ මන්දබුද්ධිකමෙන් නොබිදෙන්න අපේ රටට ගොඩ ඒමක්‌ නැති බව ද සිහිබුද්ධියෙන් අප තේරුම් ගත යුතුය.

Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks

More News »