සැලූන් රස්‌සාව අතහැර කුඩු වලට ඇබ්බැහි වූ තරුණයෙකුගේ කතාව
කොන්ඩේ කපන සූරසේනගේ ඔළුව කාපු සුද්දි...

2017-05-24 12:20:00       519
feature-top
අපි ඔහුට සූරසේන යෑයි කියමු. හේ තිස්‌හැවිරිදි වියේ පසුවූ එක්‌දරු පියෙකි. මොහු වැලිගම ප්‍රදේශයට නුදුරු ගම්මානයක පදිංචිව සිටියේය. සූරසේන අකුරු කරන්නට ගියේ අට වසර දක්‌වා පමණි. හේ විලාසිතාවලට දැඩි ලෙස ප්‍රිය කළේය. නා නා මාදිලියේ කොණ්‌ඩා මෝස්‌තර දමා තම කොණ්‌ඩය හැඩ වැඩ කරගැනීමට මොහු කටයුතු කළේය. පාසල් අධ්‍යාපනය හමාර කිරීමෙන් පසු සූරසේන ගමේ අයකුගේ සැලුනයක කොණ්‌ඩා කැපීමට පුරුදු පුහුණු වූයේය. වසර හයක්‌ පමණ මොහු ඒ සැලුනයේ කොණ්‌ඩා කැපීමේ රැකියාව කළේය.

මේ අතරතුරේ සූරසේනට පොළොන්නරුව ප්‍රදේශයේ හිතවතකු හඳුනා ගැනීමට ලැබුණේය. ඔහු ද කොණ්‌ඩා කැපීමේ සැලුනයක්‌ පවත්වාගෙන යන අයෙකි. ගමහැරදා පොළොන්නරුවට ගිය සූරසේන තම හිතවතාගේ සැලුනයේ වසර කිහිපයක්‌ කොණ්‌ඩා කැපීමේ රැකියාව කළේය. මේ අතරේ මොහුට එම ප්‍රදේශයේ තරුණියක්‌ ද දැන හඳුනා ගැනීමට හැකි වූයේය. සූරසේන ඇයට තම හිතේ තියෙන අදහස කීවේය. ඉන්පසු මේ දෙදෙනා පෙම්වතුන් බවට පත්වූහ. සූරසේන තරුණියගේ නිවසට යන්නට එන්නට වූයේය. එහෙත් මොහු මෙම තරුණිය නිත්‍යානුකුලව විවාහ කර ගත්තේ නැත. ඇයත් සමඟ එකට පවුල් කෑවේය.

ඉක්‌බිති සූරසේන පොළොන්නරුව ද හැරදමා මොණරාගල ප්‍රදේශයට ගියේය. එහි සැලුනයක කාලයක්‌ කොණ්‌ඩා කැපීමේ රැකියාව කළේය. ඒ සමඟ පොළොන්නරුව ප්‍රදේශයේ තරුණිය සමඟ පවත්වාගෙන ගිය සම්බන්ධතාවය ද නතර විය. මේ කාලයේ දී දරුණු ලෙස රටේ යුද්ධය පැවතිණි. සූරසේනට යුධ හමුදාවට බැඳීමට අදහසක්‌ පහල වන්නේ මේ කාලයේදීය. ඔහු 2005 වර්ෂයේ දී ශ්‍රි ලංකා යුද හමුදාවට බැඳුණේය මාස දෙකක පමණ පුහුණුවෙන් පසු මොහු මන්නාරම ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක රාජකාරි කළේය. මොහු වසර පහ හයක්‌ පමණ යුද හමුදාවේ රාජකාරි කළේය එක්‌ දිනක. නිවාඩුවට නිවසට පැමිණි සූරසේන යළි රැකියාවට නොගියේය. මේ අතරේ සූරසේන අනුරාධපුර ප්‍රදේශයේ කාන්තාවක්‌ සමඟ ප්‍රේම සම්බන්ධතාවයක්‌ පවත්වාගෙන ගියේය. පසුව සූරසේන ඇය විවාහ කරගත්තේය.

යුද හමුදාව හැරගිය සූරසේන යළි කොණ්‌ඩා කැපීමේ රැකියාව කළේය. දෙහිවල ඇතුළු අග නගරයේ සැලුන් කිහිපයක මොහු කාලයක්‌ සේවය කළේය. යළි උපන් ගමට පැමිණි සූරසේන කොණ්‌ඩා කැපීමේ රැකියාව ද අත්හැර සංචාරක කර්මාන්තයේ රැකියාවක නිරත විය. මේ වනවිට සූරසේනට වසර එකහමාරක දරුවකු ද සිටියේය. හේ කොණ්‌ඩා කැපීමට පමණක්‌ නොව පෙදරේරු වැඩ, වඩු වැඩ කිරීමටද දක්‌ෂයකු විය.

කාලය මේ අයුරින් ගෙවී යන්නට විය. මීට වසර දෙකකට පමණ ඉහතදී සූරසේන මිතුරන් පිරිසක්‌ සමඟ දිය නෑමට අහංගම වෙරළ තීරයට පැමිණියේය. ඔස්‌ටේ්‍රලියානු ජාතික තරුණියක්‌ අහංගම වෙරළ තීරයේ වාඩි වී දෙතොල් මත ඊයම් කොළ කැබැල්ලක්‌ තබාගෙන උරමින් සිටියාය. සූරසේන ඇය අසලට කිට්‌ටු වී ඒ දෙස බලාගෙන සිටියාය. උඹ මොනවාද උරන්නේ සූරසේන ඕස්‌ටේ්‍රලියානු තරුණියගෙන් ඇසුවාය. මේක තමයි ලෝකයේ තියෙන හොඳම ෆන් එක විදේශීය තරුණිය කීවාය. උඹත් මේ කුඩු ටිකක්‌ උරලා බලපන් ලෝකයේ තියෙන හොඳම ෆන් එක ගන්න පුළුවන් විදේශීය තරුණිය කියාගෙන ගියාය. සූරසේන කවදාවත් මත්කුඩු පානය කොට තිබුණේ නැත. මොකක්‌ද මේ ලෝකයේ තියෙන හොඳම ෆන් එක සූරසේන කල්පනා කළේය. ඒ අත්දැකීම විඳදරා ගන්නට ඔහුට ද ආශාවක්‌ ඇති විය.

ඔහු විදේශීය තරුණියගෙන් හෙරොයින් මත්කුඩු ඉල්ලාගෙන ජීවිතයේ පළමු වරට මත් කුඩු පානය කළේය. එදින සූරසේනට ලෝකයේ තියෙන හොඳම ෆන් එක ලබාගැනීම කෙසේ වෙතත් මත් කුඩු පානය කිරීමෙන් පසු වෙරළ තීරයේ ඇද වැටුණේය. ඒ විතරක්‌ නොව වමනය දමමින් මොරදෙන්නට වූයේය. මුල් වතාවේ ඔහොම තමයි දෙතුන් වතාවක්‌ මත් කුඩු පානය කරන විට ඕක හරියාවි, නියම ආතල් එකක්‌ ගන්න පුළුවන් විදේශීය තරුණිය කීවාය. ඒ විතරක්‌ නොව ඕස්‌ටේ්‍රලියානු තරුණිය මත්කුඩු වෙනුවෙන් අතදිග හැර මුදල් වියදම් කළාය. පසුව සූරසේන විදේශීය තරුණිය සමඟ එක්‌ වී සෑම දිනකම පාහේ මත් කුඩු පානය කළේය. මත් කුඩු ගෙනවිත් දුන්නේ ද සූරසේන විසිනි. දඩැල්ල ප්‍රදේශයේ අයකුගෙන් සූරසේන මත් කුඩු ගෙනවිත් විදේශීය තරුණියට දුන්නේය. පසුව දෙදෙනා එකතු වී මත් කුඩු පානය කළහ. ඕස්‌ටේ්‍රලියානු ජාතික යුවතිය මාස දෙක තුනක්‌ මෙරට රැඳී සිටියාය. ඒ කාලය තුළදී සූරසේන දැඩි ලෙස මත් කුඩුවලට ඇබ්බැහි වී සිටියේය.

කොටින්ම කිවහොත් සූරසේන මත් කුඩුවලට ඇබ්බැහි කළේ විදේශීය තරුණිය විසිනි. මේ නිසා සූරසේනට මත් කුඩු නැතිවම බැරිවිය. ඔහුට දිනකට මත් කුඩු මිලිග්‍රෑමයක්‌ පමණ පානය කිරීමට අවශ්‍ය විය. මම මගේ රටට යන විට නුඹට මගේ යතුරුපැදිය දීලා යන්නම් විදේශීය තරුණිය සූරසේනට කීවාය. ඇය මෙරට රැඳී සිටි මාස දෙක තුන තුළ සූරසේන විදේශීය තරුණිය සමඟ එක්‌වී හොඳට විනෝද වූහ. අපි හොඳට ෆන් කරමු. මේක තමයි ලෝකයේ තියෙන හොඳම ෆන් එක විදේශීය තරුණිය නිරන්තරයෙන් කීවාය. මාස දෙක තුනක්‌ මෙරට ගත කළ විදේශීය තරුණිය යළි ඔස්‌ටේ්‍රලියාව බලා පිටත්ව ගියාය. ඇය සූරසේනට දෙන බව කියු යතුරුපැදිය ද ලබා දුන්නේ නැත. සූරසේන මත් කුඩු ලෝලියකු බවට පත්ව සිටියේය.

සූරසේන මත් කුඩු නැතිවම බැරිවිය. හේ මොනදහන් ගැටයක්‌ දමා හෝ මත් කුඩු පානය කිරීමට මුදල් සොයා ගත්තේය.

අලුත් අවුරුද්දෙන් පසු සූරසේන නන්නත්තාර වී සිටියේය. ඒ වන විට ඔහුට හරි හමන් රැකියාවක්‌ තිබුණේ ද නැත. සූරසේන එක්‌ දිනක්‌ ගාල්ල නගරයේ සිට බසයකින් මාතර බලා පිටත් වූයේය. ගමන් ගාස්‌තුව සදහාවත් සූරසේන අත මුදලක්‌ තිබුණේ නැත. ඔහු ටිකට්‌පතක්‌ නොගෙන බසයේ ගමන් කරමින් සිටියේය. හබරාදුව හැඩිවත්ත ප්‍රදේශයේ දී ඉබි යතුරු දමා ගේට්‌ටුවක්‌ වසා තිබෙනු සුරසේන දුටුවේය. ඉබි යතුරු දමා තිබුණේ ගේට්‌ටුවට පිටතිනි. මෙම නිවසේ කිසිවෙක්‌ නැති බවට සූරසේන සිතුවේය. බසය ඉදිරියට ධාවනය වන්නට විය. සූරසේන ගමන් කරමින් සිටියේ බසයේ පාපුවරුවේය. බසයේ වේගය අඩු කළ අවස්‌ථාවක ඔහු බසයෙන් බැස ගත්තේය. ඉන්පසු කිලෝමිටර් දෙක තුනක්‌ මොහු පා ගමනින් අදාළ නිවස වෙත ගියේය.

නිවසේ පිටුපස දොරට අලවංගුවකින් පහරදී මොහු නිවසට ඇතුල් වූයේය. නිවස තුළ සී.සී.ටී.වී කැමරාවක්‌ තිබෙනු සූරසේන දුටුවේය. ඔහු එම කැමරාව රූප නොවදින ලෙස අනික්‌ පසට හැරවූයේය. නිවස තුළ තවත් කැමරාවක්‌ විය. නමුත් සූරසේන එය නොදුටුවේය. සූරසේන තමන් ළඟ තිබූ බෑගයෙන් කමිසයක්‌ ගෙන ඇද සිටි කමිසය ගලවා මාරු කරගත්තේය. ඉන්පසු මොහු නිවසේ අල්මාරි අවුස්‌සමින් තිවසේ තිබූ රුපියල් පන්ලක්‌ෂයකට අධික රන් භාණ්‌ඩ සොරකම් කරගෙන පලා ගියේය. මේ සියල්ල සී.සී.ටී. වී අනික්‌ කැමරවේ සටහන් වී තිබුණේය. මොහු රන් භාණ්‌ඩ සොරකම් කරගෙන එදින නිවසට ගියේ නැත එදින. මිතුරකුගේ නිවසට ගියේය. තම බිරිඳ ලවා වැලිගම ප්‍රදේශයේ උගස්‌ ආයතනයට රන් තැල්ලක්‌ උගස්‌ කළේය. ඉන් රුපියල් 75000 ක්‌ මුදලක්‌ ලබා ගත්තේය. ඒ විතරක්‌ නොව මිතුරන් ලවා ගාල්ල නගරයේ හා මාගාල්ල ප්‍රදේශයේ උගස්‌ ගන්නා ස්‌ථාන කිහිපයකට සොරකම් කරණු ලැබු රන් භාණ්‌ඩ උගස්‌ කළේය.

සූරසේන නිවසේ රන් වළලු දෙක තුනක්‌ තිබෙන්නට හැරෙන්නට හැර සොරකම් කරණු ලැබූ සියලු රන් භාණ්‌ඩ උගස්‌ කොට රුපියල් ලක්‌ෂ 02 ක මුදලකට ආසන්න සංඛ්‍යාවක්‌ ලබා ගත්තේය. මේ අතරතුරේ සූරසේනට රුසියානු ජාතික කාන්තාවක්‌ දැන හඳුනා ගැනීමට අවස්‌ථාව උදා වන්නේය. ඇය රුසියානු ගණිකාවකි. සූරසේන රන් භාණ්‌ඩ සොරකම් කිරීමෙන් ලැබූ මුදලින් රුසියානු ගණිකාව සමඟ දින ගණනාවක්‌ ගත කළේය. ඇති පදමට මත් කුඩු පානය කළේය. රුසියානු ගණිකාව වෙනුවෙන් පැයකට රුපියල් 15000 ක මුදලක්‌ වැය කළේය. සූරසේන ඇයත් සමඟ කා බී හොඳට විනෝද වූයේය. දින කිහිපයක්‌ යන විට සූරසේන ළඟ තිබූ සියලු මුදල් මත් කුඩුවලට හා රුසියානු ගණිකාව වෙනුවෙන් වැය කොට අවසන් වි තිබුණි. මේ අතර සූරසේන කනම්පිටිය ප්‍රදේශයට පැමිණියේ මත් කුඩු රැගෙන යැම සඳහාය. ඔහු මත් කුඩු මිලිග්‍රෑම් 710 ක්‌ සමඟ ගාල්ල පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්‌ථානාධිපති ඩී.ජී.ආනන්ද ඇතුළු නිලධාරීන් කණ්‌ඩායමක්‌ විසින් අත්අඩංගුවට ගනු ලැබිය. සී.සී.ටී. වී කැමරාවේ තිබූ දර්ශනද පොලිසිය රැගෙන විත් පරීක්‌ෂා කළේය. එම දර්ශන අනුව මොහු ගෙවල් බිඳුම් සොරකමට සම්බන්ධ බව අනාවරණය විය. මත් කුඩුවලට අත්අඩංගුවට ගත් සූරසේන සියල්ල පොලිසියේ ඉදිරියෙ පාපොච්ඡාරණය කළේය. සූරසේන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රක්‌ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය. මත්කුඩුවලට ඇබ්බැහිවීම නිසා සූරසේනට සිදුවූයේ හිරේ විලංගුවේ වැටී තම ජීවිතය විනාශ කර ගැනීමටයි. මේ කථාවෙන් අපේ තරුණයන්ට ඉගෙන ගතහැකි පාඩම් බෝහෝය. ගාල්ල මූලස්‌ථාන පොලිස්‌ පරීක්‌ෂක උදය කුමාර මහතාගේ උපදෙස්‌ මත දූෂණ මර්ධන අංශයේ ස්‌ථානාධිපති උ.පො.ප ඩි.ජී.ආනන්ද, පො. සැ. (58988) හසන්ත, පො. කො. (43504) අබේතුංග, පො. සැ. (27683) අනුර, යන නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.

මෙහි එන නම් ගම් මනඃකල්පිතය.




Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks

More News »