නාකොටික්‌ රංගජීවට වෙඩි තබා පොලිසියට අභියෝග කළ මධුෂ්ගේ චිකාගෝ මෙහෙයුම...

2017-05-15 10:20:00       545
feature-top
පියා සමඟ වෙසක්‌ දන්සලට ලෑස්‌ති වූ
කුඩා දරුවන් තිදෙනෙක්‌ ප්‍රහාරයට ගොදුරුවේ


ලොව වැඩිම මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් සිටින්නේ කොළොම්බියාව, වෙනිසියුලාව ප්‍රමුඛ දකුණු ඇමෙරිකාවේය. ඔවුන් මත්ද්‍රව්‍ය අලෙවිකරන්නේ ටොන් ගණනින්ය. මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා මොවුහු පෞද්ගලික ගුවන් යානා මෙන්ම නෞකා ද යොදාගනිති.

හෙරොයින් ජාවාරම ප්‍රමුඛව සිද්ධවන්නේ රන් චන්ද්‍රවංකය සහ රන් ත්‍රිකෝණය කේන්ද්‍රකරගත් පාකිස්‌තානය, ලාඕසය, ඇෆ්ගනිස්‌ථානය ප්‍රමුඛ රටවලය. හෙරොයින් නිෂ්පාදනය ජයටම සිදුකරන මේ ප්‍රදේශවලට ඇතුළු වීම එරට පොලිසිවලට තහනම්ය.

ඒ තහනම ක්‍රියාත්මක කර තිබෙන්නේ මත්ද්‍රව්‍ය මෆියා කල්ලි විසින්ය. යම් හෙයකින් පොලිස්‌ නිලධාරීන් මේ ප්‍රදේශවල හෙරොයින් වැටලීමකට ගියහොත් ඔවුන්ට නැවත යහතින් ගමරට බලා යා නොහැකිය. ඒ තරමටම රන්ත්‍රිකෝණය සහ රන්චන්ද්‍රවංකය කේන්ද්‍රකරගෙන හෙරොයින් නිෂ්පාදනය කරන මෆියා කණ්‌ඩායම් ප්‍රබලය.

ශ්‍රී ලංකාව තුළ ද මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලි රැසක්‌ ක්‍රියාත්මක විය. මොහොමඩ් ෂියාම්, කිඹුලාඇළේ ගුණා, කුඩු නූර්, වෙලේසුදා, මොහොමඩ් සිද්ධික්‌ වැනි මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවෝ මෙරට හෙරොයින් ලෝකයේ කිරුළු පැළඳ සිටියහ. ඔවුන්ගෙන් බොහෝ දෙනකු අද ජීවතුන් අතර නැත. ජීවත්ව සිටින උන් සිටින්නේ බන්ධනාගාරවලය.

මේ ජාවාරම්කරුවන් සිය ව්‍යාපාරය කරගෙන ගියේ බොහෝ විට දේශපාලනඥයන්ගේ මෙන්ම ඇතැම් ඉහළ පොලිස්‌ නිලධාරීන්ගේ සහාය ලබාගෙන බව නොරහසකි.

ඔවුන් කිසිවිටෙකවත් පොලිසිය හා ගැටුණේ නැත. බොහෝ විට මේ ජාවාරම්කාරයන් උත්සාහ කළේ පොලිස්‌ නිලධාරීන් සුහදකරගෙන ඔවුන්ට යම් සන්තෝෂමක්‌ ලබාදී ජාවාරම ගැටලුවකින් තොරව කරගෙන යැමටය. එමෙන්ම පොලිසිය හෝ පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් මීට පෙර ඉතිහාසයේ කිසි දිනක හෙරොයින් ජාවාරම් කණ්‌ඩායමක ප්‍රහාරයට ලක්‌ව තිබුණේ නැත.

එහෙත් පසුගිය 09 වැනිදා රාත්‍රියේ ඉතිහාසයේ මුල්ම වතාවට හෙරොයින් ජාවාරමේ යෙදෙන ශ්‍රී ලංකාවේ අංක එකේ පාතාල කල්ලියක්‌ පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත ප්‍රහාරයක්‌ එල්ල කළහ. ඒ ජනාකීර්ණ පිළියන්දල නගර මධ්‍යයේදී ය.

පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් අන්දමන්ද කරමින් එල්ල වූ මෙම ප්‍රහාරයෙන් කොස්‌තාපල් චමින්ද අබේවික්‍රම ජීවිතක්‍ෂයට පත්වුණේය. පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශයේ ජනප්‍රියම නිලධාරියා ලෙස හැඳින් වූ පොලිස්‌ පරීක්‌ෂක නියොමාල් රංගජීව මෙම ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබුවේය.

ප්‍රහාරය එල්ල කළ පාතාල කල්ලියේ ඉලක්‌කය වී තිබුණේ මත්ද්‍රව්‍ය නාශක අංශ ඉතිහාසයේ වැඩිම මෙහෙයුම් ප්‍රමාණයක්‌ කරමින් වාර්තාවක්‌ තබා සිටි පොලිස්‌ පරීක්‌ෂක නියොමාල් රංගජීව මරාදැමීමය.

එහෙත් පාතාල කල්ලියේ ඉලක්‌කය සාර්ථක වුණේ නැත. රංගජීවට අමතරව තවත් පොලිස්‌ නිලධාරියෙක්‌ මෙම වෙඩි ප්‍රහාරවලින් බරපතළ තුවාල ලැබුවේය.

කඹුරුපිටියේ මධුෂ් නමැති පාපතරයා මුළු රටටම මහා පිළිලයක්‌ව සිටියි. මෙරට අංක එකේ පාතාල කල්ලි නායකයකු බවට පත්ව සිටින්නේ මධුෂ්ය. එපමණක්‌ නොව වෙලේසුදාට පසු ශ්‍රී ලංකාවේ අංක එකේ හෙරොයින් ජාවාරම්කාරයන් අතර ඉහළින්ම සිටින්නේ ද මේ පාපතරයාමය.

කළුතරදී බන්ධනාගාර බස්‌ රථයකට ප්‍රහාර එල්ල කර රණාලේ සමයා නමැති පාතාල නායකයා ඇතුළු හත්දෙනකු අවසන් ගමන් යෑවීම පිටුපස සිටියේ ද කඹුරුපිටියේ මධුෂ්ය.

මේ සියලු අපරාධ සිදුකරමින් කඹුරුපිටියේ මධුෂ් ඩුබායි දේශයට වී අති සුඛෝපභෝගී ජීවිතයක්‌ ගතකරයි.

හෙරොයින් ජාවාරම්කාරයන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය නොයෙකුත් ක්‍රමෝපායන් අනුගමනය කරනු ලබයි. පොලිසියට හෙරොයින් ජාවාරම්කාරයන් මෙන්ම හෙරොයින් තොග පිළිබඳව වැදගත් තොරතුරු ලැබෙන්නේ ද හෙරොයින් ජාවාරම්කාරයන්ගෙන්මය. එසේත් නැති නම් මෙම ජාවාරම්වලට සම්බන්ධ ඔත්තුකරුවන් මාර්ගයෙන්ය.

හෙරොයින් ජාවාරම්කාරයන් ලෙස වෙස්‌වලාගත් පොලිස්‌ නිලධාරීන් හෙරොයින් මිලදී ගන්නා මුවාවෙන් ජාවාරම්කාරයන් අතරට ගොස්‌ ඉතාම සූක්‌ෂ්ම ලෙස ඔවුන් අත්අඩංගුවට ගැනීම පොලිසියේ ජනප්‍රියම වැටලීම් ක්‍රමය වෙයි.

එහෙත් පිළියන්දලදී සිදුවුණේ පොලිසිය කිසි ලෙසකින්වත් බලාපොරොත්තු නොවූ දෙයකි. එහිදී සිදුවන්නේ හෙරොයින් ජාවාරම්කරුවන් පොලිසිය මුළාකර ඔවුන් පිළියන්දල නගරයට ගෙන්වා තම පරම සතුරා බවට පත්ව සිටින පොලිස්‌ පරීක්‌ෂක රංගජීව ඝාතනය කිරීමය.

හැමදාමත් හෙරොයින් ජාවාරම්කාරයන් මුළාකර ඔවුන් ග්‍රහණයට ගැනීමට කටයුතු කළ ද පිළියන්දලදී පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් ජාවාරම්කාරයන්ගේ ගැටයට හසුවිය.

මෙම මෙහෙයුම සඳහා ඔත්තුව ලැබෙන්නේ කොළඹ තවත් ප්‍රධාන පෙළේ හෙරොයින් ජාවාරම්කාරයකු හරහාය. මොහොමඩ් නවාස්‌ නමැති හෙරොයින් ජාවාරම්කාරයා සිය ව්‍යාපාර කරගෙන ගියේ වැල්ලම්පිටිය, වෙන්නවත්ත ප්‍රදේශයේය. මීගමුවේ පාතාල කල්ලි නායකයකුව සිටි (අද ජීවතුන් අතර නැත) ෙµරෝස්‌ නමැත්තාගේ ඥති සොහොයුරකු වූ නවාස්‌ මීට මාස 06 කට පමණ උඩදී පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත කොටුවුණේය.

ඒ රුපියල් ලක්‌ෂ ගණනක්‌ වටිනා හෙරොයින් තොගයක්‌ ද සමඟය. නවාස්‌ට හෙරොයින් තොග පිටින් ලැබෙන්නේ කඹුරුපිටියේ මධුෂ් හරහාය.

නවාස්‌ සහ මධුෂ් අතර පවතින හෙරොයින් ජාලය හෙළිකරගන්නට පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් සමත් වූහ. පොලිස්‌ නිලධාරීහු නවාස්‌ගේ මොළය සෝදා හැර ඔහු තමන් වෙත නම්මවා ගත්හ.

කලක්‌ බන්ධනාගාරගතව සිටි නවාස්‌ ඇප මත මුදාහැරීමෙන් පසු නැවතත් වැල්ලම්පිටියට ආවේය. ඔහු පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන්ට පොරොන්දු වී තිබුණේ කිසි දිනක නැවත හෙරොයින් ජාවාරමේ නොයෙදෙන බවටය.

මධුෂ්ගේ හෙරොයින් තොගයක්‌ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන්ට අල්ලාදීමට නවාස්‌ ඉදිරිපත් වන්නේ මේ අතරතුරදීය.

නවාස්‌ හරහා මේ තොරතුරු ලැබෙන්නේ පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශයේ පොලිස්‌ පරීක්‌ෂක නියෝමාල් රංගජීවටය. මේ පිළිබඳව මත්ද්‍රව්‍ය නාශක අංශයේ ප්‍රධානි නියෝජ්‍ය පොලිස්‌පති කමල් සිල්වා දැනුවත් කිරීමට රංගජීව ඇතුළු නිලධාරීහු කටයුතු කළහ.

හෙරොයින් තොගය අලෙවි කිරීමේ අතරමැදියා ලෙස කටයුතු කළේ මොහොමඩ් නවාස්‌ය. පොලිස්‌ පරීක්‌ෂක රංගජීව ඇතුළු නිලධාරීන් දොළොස්‌දෙනකු මෙහෙයුම් සඳහා එක්‌ව සිටියහ.

මේ පිළිබඳව අධිකරණය පවා දැනුවත් කිරීමට මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් කටයුතු කර තිබුණේ මෙහෙයුම ඉතාම විනිවිද භාවයෙන් සිදුකිරීම සඳහාය.

පොලිස්‌ පරීක්‌ෂක රංගජීව හෙරොයින් මිලදී ගන්නා ව්‍යාපාරිකයා ලෙස වෙස්‌වලාගත්තේය. හෙරොයින් තොගය මිලට ගැනීම සඳහා මත්ද්‍රව්‍ය නාශක අංශයෙන් රුපියල් හතළිස්‌පන් ලක්‌ෂයක මුදලක්‌ ද පොලිස්‌ නිලධාරීන් වෙත ලැබී තිබිණි.

වෙසක්‌ පොහොය දිනට පෙර දින එනම් මැයි මස 09 වැනිදා මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට දින වෙන්කර ගත්තේය. එදින උදැසන පොලිස්‌ පරීක්‌ෂක රංගජීව ඇතුළු පොලිස්‌ කණ්‌ඩායම මත්ද්‍රව්‍ය නාශක අංශයෙන් පිටවුණේ සාර්ථක වැටලීමක්‌ කරගැනීමට හැකිවෙතැයි යන බලාපොරොත්තු ඇතිවය.

මෙහෙයුම සඳහා වාහන තුනක්‌ යොදාගෙන තිබිණි. හෙරොයින් ව්‍යාපාරිකයා ලෙස වෙස්‌වලාගත් රංගජීව ඔහුට අයත් ඇල්ටෝ වර්ගයේ මෝටර් රථයෙන් පැමිණ සිටියේය.

පෞද්ගලික වාහනයක්‌ මේ සඳහා යොදාගත්තේ පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශයේ වාහන බොහොමයක්‌ කුඩු ජාවාරම්කාරයන් හොඳින් හඳුනන නිසාය.

මෙම කුඩු ගනුදෙනුවේ අතරමැදියා වූ මොහොමඩ් නවාස්‌ පොලිස්‌ පරීක්‌ෂක රංගජීව සමඟ දුරකථනයෙන් සම්බන්ධ වෙමින් මාර්ගෝපදේශකයා ලෙස කටයුතු කරන්නට පටන් ගත්තේය.

හෙරොයින් ගනුදෙනුකරුවන් ඒ සඳහා නිශ්චිත ස්‌ථාන තෝරාගත්තේ නැත. එවිට ඒ සඳහා නියමකර ගත් වෙලාවක්‌ යොදාගත්තේ ද නැත. එසේ කරන්නේ ආරක්‌ෂක හේතූන් මතය. හෙරොයින් ගනුදෙනුවට සම්බන්ධ පුද්ගලයන් වෙස්‌වලාගත් පොලිස්‌ නිලධාරීන් මුලින්ම කොළඹ, විහාරමහාදේවි උද්‍යානය ආසන්නයට ගෙන්වා ගත්තේය.

රංගජීව ඇතුළු නිලධාරීහු තම ගනුදෙනුකරු පැමිණෙන තුරු සෑහෙන වේලාවක්‌ එහි රැඳී සිටියහ. ඒ අතර නවාස්‌ගෙන් රංගජීවට නැවතත් ඇමතුමක්‌ ලැබුණේය. ඉන් කියෑවුණේ ගනුදෙනුව සඳහා වෙනත් තැනකට යා යුතු බවය.

ඒ ආකාරයට කොළඹ සහ තදාසන්න ප්‍රදේශ හතර පහකටම රංගජීව ඇතුළු නිලධාරීන් ගෙන්වා ගැනීමට හෙරොයින් ජාවාරම්කරුවෝ කටයුතු කළහ. කෙසේ හෝ 09 වැනිදා රාත්‍රිය වන තුරුම රංගජීව ඇතුළු නිලධාරීන් විවිධ ස්‌ථානවල සැරිසරමින් තම ඉලක්‌කය සපුරාගන්නට උත්සාහ කරමින් සිටියහ. වැටලීම සඳහා එක්‌ව සිටි පොලිස්‌ නිලධාරීන් ටී 56 ගිනිඅවි 3 කින් සහ පිස්‌තෝලවලින් සන්නද්ධව සිටියහ. ඕනෑම අවස්‌ථාවකට මුහුණදෙන්නට ඔවුහු සූදානමින් සිටියහ.

රංගජීවගේ මෝටර් රථයේ සිටියේ චමින්ද අබේවික්‍රම සහ තවත් නිලධාරියකු පමණි. මෙහෙයුම් සඳහා යද්දී බොහෝ අවස්‌ථාවලදී රංගජීවගේ මෝටර් රථය පැදවීමේ කාර්යය භාර වී තිබුණේ චමින්ද අබේවික්‍රම වෙතය.

එහෙත් එදින උදෑසන සිට රංගජීවගේ මෝටර් රථය පැදවූයේ කොස්‌තාපල් රණවක විසින්ය.

අවසානයේ පොලිස්‌ කණ්‌ඩායම පිළියන්දල නගරයට සේන්දු වූහ. ඔවුන් පිළියන්දලට ආවේ නවාස්‌ ලබාදුන් තොරතුරකටය. උදැසන සිට මෝටර් රථය පදවමින් විඩාවට පත්ව සිටි රණවක වෙනුවෙන් තම පළපුරුදු රියෑදුරු චමින්ද අබේවික්‍රම මෝටර් රථය පැදවීමේ කාර්යයට එක්‌කරගන්නට රංගජීව කටයුතු කළේය.

ඒ පිළියන්දල නගරයේදී හෙරොයින් ගනුදෙනුව සිදුවනු ඇතැයි යන සිතුවිල්ල රංගජීවගේ සිත තුළ පැළපදියම් වීම නිසාය. පොලිස්‌ කණ්‌ඩායම පිළියන්දල නගරයේ රජයේ බැංකුවක්‌ අසලට පැමිණියේ නවාස්‌ ලබාදුන් උපදෙස්‌ මතය. වෙස්‌වලාගත් රංගජීව ඇතුළු නිලධාරීහු බැංකුව අසල මෝටර් රථය නතර කළහ.

මෙහෙයුමට සම්බන්ධ වී සිටි අනෙක්‌ නිලධාරීන් රැගත් වාහන දෙකින් එකක්‌ රංගජීව සිටි මෝටර් රථයට මීටර් පන්සීයක්‌ පමණ ඉදිරි පසින් නතර කර තිබිණි. අනෙක්‌ වාහන රංගජීවගේ මෝටර් රථයට පසුපසින් නතර කර තිබුණේය.

ඒ වන විට පිළියන්දල නගරය ජනාකීර්ණ වී තිබිණි. මෝටර් රථය නතර කර තිබූ ස්‌ථානයට යාබදව පිහිටා තිබුණේ බත් කඩයකි. වෙසක්‌ පොහොය දින ඒ ස්‌ථානයේ බත් දන්සලක්‌ පැවැත්වීමට එහි හිමිකරු සැලසුම් කර තිබුණේය.

ඒ පිළිබඳව සොයා බැලීම සඳහා ව්‍යාපාරිකයා බත් කඩය අසලට පැමිණ සිටියේ තම දරුවන් තිදෙනා ද සමඟය.

පොලිස්‌ පරීක්‌ෂක රංගජීව ඇතුළු නිලධාරීන් පැමිණ සිටියේ ඇල්ටෝ වර්ගයේ මෝටර් රථයකින්ය. ඔවුන් සිටි රථයට පිටුපසින් ද නතර කර තිබුණේ ඇල්ටෝ වර්ගයේම මෝටර් රථයකි. ඒ රථයේ කිසිවකුත් සිටියේ නැත. එහි පැමිණි අය තේ පානය සඳහා අසල කඩයකට ගොස්‌ සිටියහ.

ජනාකීර්ණ පිළියන්දල නගරය වෙසක්‌ සිරියෙන් ඇළලී ගොස්‌ තිබුණේය. වෙසක්‌ උත්සවය සැමරීම සඳහා විවිධ සැරසිලි මිලදී ගැනීමට පැමිණ සිටියවුන්ගෙන් නගරය පිරී තිබිණි.

පිළියන්දල නගරයේ ඔබමොබ ධාවනය වන දහසකුත් එකක්‌ වාහන අතරින් අලුත්ම යතුරුපැදියක්‌ මතුවුණේය. යතුරුපැදියේ ගමන් කරමින් සිටියේ දකුණේ පාතාලයේ මහා කෙරුම්කාරයා යෑයි කියා ගන්නා මධුෂ්ගේ ගෝලයන් දෙදෙනෙකි.

ඔවුහු සිය ඉලක්‌කය සොයමින් යතුරුපැදියේ නැඟ සාමාන්‍ය වේගයකින් ඉදිරියට යමින් සිටියහ.

පිළියන්දල රාජ්‍ය බැංකුව අසල නතර කර තිබෙන ඇල්ටෝ මෝටර් රථ දෙක හඳුනාගත් පාතාල සාමාජිකයන් දෙදෙනා සිය ප්‍රහාරය සඳහා සූදානම් වූහ. යතුරුපැදිය පිටුපස ගමන්ගත් පුද්ගලයා සිය ගමන් බෑගයේ තිබූ ටී 56 ගිනිඅවිය සැණෙකින් ඉවතට ගත්තේය.

පාතාල සාමාජිකයන් දෙදෙනා රංගජීව ඇතුළු නිලධාරීන් සිටි මෝටර් රථයට පිටුපස නතර කර තිබූ ඇල්ටෝ රථය අසල නතර වූහ. යතුරුපැදිය පිටුපස සිටි පාතාල සාමාජිකයා ඒ රථය වෙත වෙඩි වරුසාවක්‌ එල්ල කරන්නට පටන් ගත්තේ මුළු පිළියන්දලම දෙවනත් කරමින්ය.

ටී 56 ගිනිඅවියෙන් නිකුත් වූ වෙඩි උණ්‌ඩ වාහනය සිදුරු කරගෙන ගියේය. ඇතැම් උණ්‌ඩ මෝටර් රථයට පිටතින් ගොස්‌ අසල වෙළෙඳසල ඉදිරිපිට සිටි අහිංසකයන්ගේ සිරුර විනිවිද ගියේය.

ඇල්ටෝ රථයේ කිසිවකුත් නොමැති බව හඳුනාගත් පාතාල සාමාජිකයන් ඊට ඉදිරියෙන් ඇති ඇල්ටෝ රථය අසලට ගියහ. පිටත සිදුවන වෙඩි තැබීම්වල ශබ්දය රංගජීව ඇතුළු නිලධාරීන්ට ඇසුණේ නැත. ඔවුන් මෝටර් රථයේ වීදුරු සියල්ල වසාගෙන සිටි නිසා පිටතින් ආ ශබ්දයක්‌ ඇසුණේ නැත.

රංගජීව සිටි මෝටර් රථය අසලට ආ පාතාල සාමාජිකයන් දෙදෙනා ඒ රථයට ද වෙඩි වරුසාවක්‌ එල්ල කළහ.

පාතාල සාමාජිකයා රථයට ප්‍රහාර එල්ල කළේ දකුණු පසින්ය. ඒ වන විට රියෑදුරු අසුනේ සිටියේ කොස්‌තාපල් චමින්දය. චමින්දට යාබද අසුනේ රංගජීව සිටියේය. වෙඩි ප්‍රහාර චමින්දගේ හිසට එල්ල වූ අතර ඔහු සිද්ධිය වූ ස්‌ථානයේම මියගියේය. යාබද අසුනේ සිටි රංගජීවගේ හිසට සහ උරහිස ප්‍රදේශවලට වෙඩි ප්‍රහාර එල්ල විය. මෝටර් රථයේ පිටුපස අසුනේ සිටි පොලිස්‌ නිලධාරියා ද වෙඩි ප්‍රහාරයට ලක්‌වුණේය.

තත්පර ගණනකදී සිය ප්‍රහාරය අවසන් කළ පාතාල සාමාජිකයන් දෙදෙනා ජනාකීර්ණ මාර්ගය ඔස්‌සේ අඳුරේම අතුරුදන් වූහ. ඒ වන විට පිළියන්දල නගරය ගිනිගෙන තිබුණේය. භීතියට පත් සිය ගණන් මිනිසුන් හිස්‌ලූලූ අත දිවයන්නට වූහ.

බත් කඩය අසල සිටි ව්‍යාපාරිකයාගේ දරුවන් තිදෙනා වෙඩි ප්‍රහාරයට ලක්‌ව බිම ඇද වැටී විලාප තබමින් සිටියහ. තමන් ඉදිරියේම තම අහිංසක දරුවන් තිදෙනා වෙඩි ප්‍රහාරයට ලක්‌වනු දුටු ව්‍යාපාරිකයා වික්‌ෂිප්තව සිටියේය.

මෙහෙයුමට එක්‌ව සිටි පොලිස්‌ කණ්‌ඩායමේ නිලධාරීන් වහාම ඒ ස්‌ථානය වෙත පැමිණියහ. එහෙත් ඒ වන විට සියල්ල සිදුවී හමාරය. වෙඩි ප්‍රහාරවලින් කොස්‌තාපල් චමින්ද අවසන් ගමන් ගොස්‌ සිටියේය. බරපතළ තුවාල ලැබූ පොලිස්‌ පරීක්‌ෂක රංගජීව සහ තවත් නිලධාරියකු මෝටර් රථය තුළ වැටී සිටියහ.

මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් සහ නගරවාසීහු එක්‌ව තුවාලකරුවන් වහාම රෝහල්ගත කිරීමට කටයුතු කළහ.

කඹුරුපිටියේ මධුෂ්ගේ සැලසුම වී තිබුණේ පොලිස්‌ පරීක්‌ෂක රංගජීව ඝාතනය කිරීමය. එහෙත් මධුෂ්ගේ බලාපොරොත්තු සුන්ව ගොස්‌ තිබුණේය. බරපතළ තුවාල ලැබුව ද රංගජීවට තවදුරටත් ජීවත්වීමේ වාසනාව හිමි විය.

පිළියන්දල වෙඩිතැබීම පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශයට පමණක්‌ නොව මුළු පොලිස්‌ දෙපාර්තමේන්තුව වෙතම එල්ල වූ මරු පහරක්‌ බඳු විය.

රටේ සිවිල් නීතිය බලාත්මක කරන ප්‍රධානතම ආයතනයේ වගකිව යුතු නිලධාරීන් පිරිසක්‌ මුළාකර ඔවුන් විනාශ කිරීම සඳහා පාතාල සන්නද්ධ කල්ලියක්‌ මේ ආකාරයේ ප්‍රහාරයක්‌ එල්ල කළ මුල්ම අවස්‌ථාව ලෙස මෙය ඉතිහාසගත වුණේය.

පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශය ඇතුළු පොලිස්‌ කණ්‌ඩායම් පහක්‌ මෙම ප්‍රහාරය පිළිබඳ පරීක්‌ෂණ පැවැත්වීමේ කාර්යයට එක්‌ව සිටියි.

ප්‍රහාරය සඳහා පාතාල අපරාධකරුවන් දෙදෙනා යොදාගත් යතුරුපැදිය දෙහිවල ප්‍රදේශයේ අතහැර දමා ගොස්‌ තිබියදී පොලිසිය සොයාගත්තේය.

යතුරුපැදිය ප්‍රහාරය සඳහාම මිලදී ගත් එකක්‌ බව අනාවරණය විය. එය මිලදී ගෙන තිබුණේ ප්‍රහාරය එල්ල කිරීමට දින කිහිපයකට උඩදීය. මිලදීගෙන තිබුණේ බියගම ප්‍රදේශයේ යතුරුපැදි අලෙවිසලකින්ය.

යතුරුපැදිය මිලදී ගැනීම සඳහා වෙළෙඳසල වෙත ඉදිරිපත් කර තිබුණේ විදේශ ගමන් බලපත්‍රයක ඡායා පිටපතකි. ඒ ඔස්‌සේ පරීක්‌ෂණ කළ පොලිසිය සොයාගත්තේ එම විදේශ ගමන් බලපත්‍රය ත්‍රිරෝද රථ රියෑදුරකුට අයත් එකක්‌ බවය.

එම විදේශ ගමන් බලපත්‍රය හිමි ත්‍රිරෝද රථ රියෑදුරා පොලිසියට පවසා තිබුණ්‌ තමන් විදේශ

රැකියාවක්‌ සඳහා යැමට සූදානමින් සිටි බවයි. තම විදේශ ගමන් බලපත්‍රය එම රැකියා ඒජන්සිය වෙත ලබාදී තිබූ බව ද ඔහු පොලිසියට ප්‍රකාශ කර තිබුණේය.

මේ සියලු කරුණු කාරණාවලින් හෙළිවන්නේ පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත පාතාල කල්ලිය එල්ල කළ ප්‍රහාරය දීර්ඝ කාලයක්‌ තිස්‌සේ ඉතාම සැලසුම් සහගතව කළ එකක්‌ බවය.

මොවුන් ප්‍රහාරය සඳහා යොදාගත් යතුරුපැදිය පවා මිලදී ගෙන තිබුණේ එය මිලදී ගන්නා පුද්ගලයා හඳුනාගත නොහැකි ආකාරයටය. මෙම ප්‍රහාරයේ මහ මොළකාරයා වන කඹුරුපිටියේ මධුෂ් සියලු සැලසුම් ක්‍රියාත්මක කරන්නේ ඩුබායි සිටය. මේ වන විට දකුණේ පාතාලය පාලනය කරන්නේ මේ පාපතරයා විසින් බවට විවාදයක්‌ නැත.

මධුෂ් නමැති මේ අපරාධකාරයා පාතාල ලෝකය ආක්‍රමණය කරන්නේ 2000 වර්ෂය මුල්කාලයේදී ය. එවකට එල්. ටී. ටී. ඊ. සංවිධානය සමඟ පවා මොහු සමීප සබඳතා පැවැත්වූවේය.

එල්. ටී. ටී. ඊ. ය සමඟ එක්‌වී ආයුධ ජාවාරම් කිරීම මහා පරිමාණ හෙරොයින් ජාවාරම කරගෙන ගිය මධුෂ් ඒ හරහා කෝටිපතියකු බවට පත්වුණේය.

දකුණු පළාතේ සිදුවූ මහා පරිමාණ කොල්ලකෑම්, මිනීමැරුම්, කප්පම් ගැනීම ඇතුළු අපරාධ රැසක්‌ සම්බන්ධයෙන් මේ අපරාධකරුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

එවකට ආරක්‌ෂක ලේකම්වරයාව සිටි ගෝඨාභය රාජපක්‌ෂ ඝාතනය කිරීම සඳහා මොහු එල්. ටී. ටී. ඊ. සංවිධානයෙන් රුපියල් ලක්‌ෂ 50 ක මුදලක්‌ ලබාගෙන තිබූ බවට ද තොරතුරක්‌ පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබුණේය.

දක්‌ෂිණ සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති ඩැනී හිත්තැටියගේ මහතා ඝාතනය කළේ ද මධුෂ්ය. ඒ ඉකුත් 2006 වර්ෂයේ ජුනි මාසයේදීය. මේ ඝාතනය සඳහා හේතු වූයේ ඉඩම් ආරවුලකි. ඩැනී හිත්තැටියගේ මහතා මරාදැමීමට පෙර ඔහුගේ මස්‌සිනා මරාදැමුවේ ද මධුෂ් ඇතුළු කල්ලිය විසින්ය. මේ ආකාරයට දකුණේ සිදුවූ මිනිස්‌ ඝාතන රැසක්‌ සම්බන්ධයෙන් මධුෂ්ට එරෙහිව චෝදනා එල්ල වී තිබෙයි.

මධුෂ් නමැති අපරාධකාරයා පොලිසිය වෙත ප්‍රසිද්ධියේම අභියෝග කරයි. තම ජාවාරම්වලට එරෙහි වන නිලධාරීන්ට අත්විඳින්නට සිදුවන අමිහිරි අත්දැකීම් පිළිබඳව අනතුරු ඇඟවීමක්‌ කිරීමට මධුෂ් පියවර ගෙන තිබුණේය.

පොලිසිය පිළියන්දල ප්‍රහාරයට සම්බන්ධ අපරාධකාරයන් සොයා රට පීරද්දී පුත්තලම බුද්ධි අංශ නිලධාරීන් ද සාර්ථක මෙහෙයුමක්‌ ක්‍රියාත්මක කර තිබිණි. මධුෂ් නමැති අපරාධකරු පොලිසියට එල්ල කළ ප්‍රහාරයට අතුල් පහරක්‌ එල්ල කිරීමට සමත් විය.

මධුෂ් නමැති අපරාධකාරයා පාකිස්‌තානයේ සිට

ශ්‍රී ලංකාවට එවනු ලැබූ රුපියල් කෝටි 200 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක්‌ හලාවත, මුතුපන්තිය මුහුදු තීරයේදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය.

මේ හෙරොයින් තොගය කොළඹට රැගෙන යැමට සූදානම් කර තිබුණේය. වෙලේසුදා නමැති මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයාට පසු ශ්‍රී ලංකාවට හෙරොයින් තොග පිටින් එවීමේ ප්‍රධානියා බවට පත්ව සිටින්නේ මධුෂ්ය.

අපරාධකාරයන්ට රටේ නීතිය අතට ගෙන එය පාලනය කිරීමට ඉඩදිය නොහැකිය. මුළු රටටම මහා පිළිලයක්‌ වෙමින් සිටින මධුෂ් නමැති මේ අපරාධකාරයා හැකි ඉක්‌මනින් අත්අඩංගුවට ගැනීමට කටයුතු නොකළොත් ඉදිරියේදී තවත් දරුණු අත්දැකීම්වලට මුහුණදීමට සිදුවනු නියතය.



Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks

More News »