හුංගම මව සහ දුව ඝාතනයේ සැකය මාරුවේ

2017-05-12 10:35:00       659
feature-top
වසර 25කට පෙර තාත්තාවත් ඝාතනය කරලා
ඝාතනයට ලක් වූ යමුනා

හුංගම, ගුරු‍පොකුණ බටඅත ප්‍රදේශයේ ඉකුත් 02දා පෙරවරුවේ මව සහ දියණිය ඝාතනය කිරීමේ සිද්ධියත් සමග ගම්වැසියන් පසුවන්නේ දැඩි භීතියකිනි. මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් කුමන අරමුණක් සඳහා මෙම ඝාතන සිදු කළේද යන්න තවමත් නොවිසඳුණු ගැටලුවක් බවට පත්ව ඇත.

බටඅත ප්‍රදේශයේ පදිංචියට පැමිණීමට පෙර සිරියාවතී කාරියවසම් මහත්මිය (72) සිය සැමියා සමග ජීවත්වූයේ ගාල්ල ප්‍රදේශයේය. ඇය දරුවන් පස්දෙනකුගේ මවකි. ඇය සිය සැමියා සමග දරුවන් ලොකු මහත් කිරීමට අනේකවිධ දුක් වින්දාය. වරෙක ‍පොල්අතු වියා මුදලක් හොයාගත් අතර තවත් වරෙක සිප්පිකටු කඩා විකිණුවාය.

ඇගේ වැඩිමහල් දරුවා වන සුසන්ත කාරියවසම් වෛද්‍යවරයකු කිරීම ඇගේ සිහිනය විය. එය සැබෑවක් කරමින් පසුව ඔහු සූරියවැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා ලෙස පත්වූයේය. ඔහුගේ තවත් නැගණියන් දෙදෙනකු විදේශගතය. බාලම නැගණිය වූයේ යමුනා කාරියවසම්ය. ඇය 36 හැවිරිදිය.

ඉඩම සම්බන්ධව පසුගිය කාලයේ විවිධ ආරවුල් පැවැති බව ඔවුන්ගේ පවු‍ලේ ඥාතීහු කියා සිටිති. ඇයගේ සැමියාද මීට වසර 25කට පමණ ඉහතදී ඝාතනයට ලක්ව ඇත්තේ ගාල්ල බද්දේගම ප්‍රදේශයේදීය. එම ඝාතනය සිදුවී ඇත්තේ කුමන කාරණයක් නිසාදැයි නිශ්චිතව හෙළිදරව් වී නැත.

පසු කාලයේදී බාල දියණිය වූ යමුනාත් සමග නිවසේ ඇය තනි වූවාය. මේ අතරවාරයේ යෝජනාවකට අනුව යමුනා, ජයසිංහ කෝර‍ලේ ආරච්චිගේ සම්පත් නමැති අය සමග විවාහ දිවියට එළැඹුණාය. සම්පත් ස්ථිර රැකියාවක් නොකළේය.

බටඅත නිවසේ ඔහු සිය බිරිඳ හා ඇගේ මව සමග වාසය කළේය. ස්ථිර රැකියාවක් නොමැතිව සිටි සම්පත් පසුගිය කාලයේ හම්බන්තොට කාර්මික විදුහ‍ලේ පාඨමාලාවක් හැදෑරීමට පටන් ගත්තේය. එය ශීතකරණ අලුත්වැඩියාව පිළිබඳ පාඨමාලාවකි. සතියේ සෑම දිනකම පෙරවරුවේ ඔහු සිය ස්කූටරයෙන් කාර්මික විද්‍යාලයට ගියේය.

ඉකුත් දෙවැනිදාද සුපුරුදු පරිදි ඔහු කාර්මික විදුහලට ගියේ ස්කූටරයෙනි. පස්මස් ගැබිනියක වූ සිය බිරිඳට පරිස්සමින් ඉන්න යැයි පවසා ඔහු පිටව ගියේය. එදින පෙරවරුවේ දී යමුනා සිය මව සමග කොළඹ බලා යෑමට බලා‍පොරොත්තුවෙන් සිටියාය. ඒ මවගේ අසනීපයකට ප්‍රතිකාර ගැනීම සඳහාය.

එහෙත් කාර්මික විදුහලට ගිය යමුනාගේ සැමියා වේලාසනින්ම නිවසට පැමිණියාය.
“මම එදා උදේ ගෙදරින් යද්දී බිරිඳත් එයාගේ අම්මාත් නිවසේ හිටියා. කාර්මික විදුහලට ගියත් එදා ගුරුවරයා නොසිටි නිසා නැවත උදේ 10.00ට පමණ නිවසට ආවා. ගෙදර එද්දී බිරිඳ මැද කාමරයේ ‍ලේ විලක් මැද වැටී සිටියා. ඇගේ මව ගේ පිටුපස නාන කාමරය අසල ‍ලේ විලක් මැද වැටී සිටියා. මට අදහගන්න බැරි වුණා මොකක්ද වුණේ කියලා. මම ටෙක් එකට ඇඳගෙන ගිය කමිසය ගලවා  ටී ෂර්ට් එකක් ඇඳ ගත්තා. ගෙවල් ළඟ ඉන්න මාම කෙනෙකුටත් සිද්ධිය කිව්වා. මම හනික යතුරුපැදියෙන් ‍පොලිසියට ගියා.” යැයි යමුනාගේ සැමියා වන සම්පත් ‍පොලිසිය හමුවේ කියා සිටියේය.

සිද්ධිය වූ ස්ථානයට හුංගම ‍පොලිස් ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක එච්.ඩී.සී. ප්‍රනාන්දු මහතා ඇතුළු නිලධාරීහු වහා පැමිණියහ.

මෙම සිද්ධියට ටික වේලාවකට පෙර යමුනාගේ සැමියා වන සම්පත් ඇයට දුරකථන ඇමතුමක්ද ලබා දී තිබූ බවට ‍පොලිස් පරීක්ෂණවලදී අනාවරණය විය. එමෙන්ම ඔහු කාර්මික විදුහලෙන් පැමිණ තිබුණේ අවසර පත්‍රයක්ද ලබා නොගෙනය. මේ නිසා ‍පොලිසිය ඔහුගෙන් දිගින් දිගටම ප්‍රශ්න කළේය. පසුගිය කාලයේ බිරිඳ හා ඔහු අතර නිතර නිතර ආරවුල් පැවැති බවටද ‍පොලිසියට හෙළිදරව් වී තිබුණි.

යමුනාගේ සිරුරේ ස්ථාන 20කට පමණද ඇගේ මවගේ සිරුරේ ස්ථාන හතකට වැඩි ප්‍රමාණයකටද තියුණු ආයුධයකින් ඇන තිබිම ‍පොලිස් නිලධාරීන්ගේ දැඩි නිරීක්ෂණයට ලක් විය.

යම් සොරකමක් සඳහා අයකු හෝ පිරිසක් පැමිණියේ නම් මෙවන් දරුණු ඝාතනයක් කරන්නට කිසිදු හේතුවක් නොමැති බව ‍පොලිස් නිලධාරීහු කියා සිටියහ. මෙය හුදෙක්ම පෞද්ගලික ආරවුලක් නිසා සිදුවන්නට ඇතැයි ‍පොලිසියට දැඩි සැකයක් පවතී.

ඝාතනයට ලක්වූ යමුනාගේ සැමියා වරින්වර ‍පොලිසියට කරනු ලැබූ ප්‍රකාශවල පරස්පරතා මතු විය. වරෙක ඔහු කියා සිටියේ තමා දහවල් 11.45ට පමණ නිවසට පැමිණි බවය. පෙරවරු 10.00ට පමණ බිරිඳට දුරකථන ඇමතුමක් දුන් බවද කීවේය. තමා නිවසට එද්දී නිවසේ අල්මාරියේ රෙදි සියල්ල බිම සී සී කඩ දමා තිබූ බවත් අල්මාරියේ පෙට්ටි කීපයක බහා තිබූ රුපියල් ලක්ෂ එකහමාරක පමණ රන් භාණ්ඩ පැහැරගෙන ඇති බවත් ඔහු ‍පොලිස් නිලධාරීන් හමුවේ කියා සිටියේය.

යමුනාත් ඇගේ මවත් දෙවැනිදා පෙරවරු 8.00ට පමණ නිවසේ සිටිනු දුටු බව ප්‍රදේශවාසීහු කියා සිටියහ. මෙම සිද්ධිය එදින පෙරවරු 10.00ට පමණ සිදුවන්නට ඇතැයි ‍පොලිසිය සැක කරයි.

ඝාතනය වූ දින සවස මහනුවර නිල සුනඛ කොට්ඨාසයට අනුයුක්ත ‍පොලිස් කොස්තාපල් එච්.එල්. මහේෂ් මහතාගේ මෙහෙයවීම යටතේ ‍පොලිස් නිල සුනඛ ‘ජෙසික්’ ද රැගෙන එන ලදී.

72 හැවිරිදි සිරියාවතී කාරියවසම් යන අයගේ මළ සිරුර අසල තිබූ මෝල් ගහත්, මිදු‍ලේ තිබූ කැත්තත්, රුධිරය සහිත වූ වතුර කරාමයේත් ඉව ඔස්සේ ජෙසික් ඔබ මොබ ගියද නිසි හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකි විය. වරෙක ජෙසික් යමුනාගේ සැමියා අසලටද ගියේය.

මෝල් ගහේ සහ වතුර ටැංකිය අසල තිබූ කැත්තේ ‍ලේ පැල්ලම් දක්නට නො ලැබුණ ද සිරියාවතී ඝාතනය කර සිටි නිවසේ පිටුපසත්, නාන කාමරයත් අසල කොටසේ ‍ලේ පැල්ලම් කිහිපයක් දක්නට විය. ඝාතනයට ලක්වූ යමුනාගේත් සිරියාවතීගේත් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු හම්බන්තොට රෝහ‍ලේදී සිදු කෙරුණි. එකම තියුණු ආයුධයකින් ඇන මෙම ඝාතන සිදුකර ඇතැයි පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබුණි.

ඝාතනයට ලක්වූ යමුනාගේත් ඇගේ මවගේත් දේහයන් ඔවුන් පදිංචිව සිටි නිවසට රැගෙන එනු ලැබූ අතර අවසන් කටයුතු ඉකුත් සිකුරාදා (05) සවස සිදු කෙරුණේ ගම්වාසීන් විශාල පිරිසකගේද සහභාගිත්වයෙනි.

මෙම ද්විත්ව ඝාතනය පිළිබඳ පරීක්ෂණ කණ්ඩායම් හතරක් යොදවා පරීක්ෂණ ආරම්භ කෙරිණි. දකුණු පළාත භාර ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති ඒ.එෆ්. ප්‍රනාන්දු, හම්බන්තොට සහ තංගල්ල දිසා භාර නියෝජ්‍ය ‍පොලිස්පති චන්දන අලහකෝන් යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ තංගල්ල කොට්ඨාසය භාර ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරි තිලක් ධනපාල මහතාගේ උපදෙස් මත තංගල්ල සහකාර ‍පොලිස් අධිකාරි බි.එම්.එස්. දසනායක මහතාගේ මෙහෙයවීම යටතේ තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක කේ. රංගජීව, හුංගම ‍පොලිස් ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක එච්.බි.සී. ප්‍රනාන්දු යන මහත්වරු ‍පොලිස් පරීක්ෂණ පවත්වති.



Wmqgd .ekSu ��r mqj;am; weiqfrks

More News »