මර්ඩර් කේස්‌ සුයිසයිඩ් කේස්‌ කරන
පොලීසිය ගඳ ගස්‌සන කතාවක්‌...

2017-04-06 10:15:00       662
feature-top
අවුරුදු දාහයක්‌ නාමල්ඔය ප්‍රදේශීය සභාවේ
මන්ත්‍රිවරයෙක්‌, මැරෙනකම් ගමන පයින්
ඇත්ත ගැන කතා කරනකොට පොලිසියෙන් කුණුහරුප වරුෂාවක්‌
අයි.පී. බොරු සාක්‍ෂි දෙන්න යෑයි ඉල්ලීම් කරයි

ඩබ්. ඒ. ධනසේන නාමල්ඔය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකි. සිව් දරු පියෙකි. නිල බලය, ධනබලයට යට නොවූ ජනතා සේවකයෙකි. අසාධාරණය හමුවේ කොන්ද කෙළින් තබාගෙන ක්‍රියාත්මක වූ දේශපාලනඥයෙකි. තර්ජන, ගර්ජන ඉදිරියේ හිස නොනැමූ ඔහුට අවසානයේ මරණය උරුම වූ හැටි අදට ද අභිරහසකි.

සිය දිවි නසාගැනීමට තරම් පෞරුෂය නොමැති පුද්ගලයෙක්‌ නොවන බවත්, සිරුර පුරා තිබූ තැලුම් තුවාලවලින් පෙන්නුම් කළේ වස බී මැරුණු බව නොව පහරදී මරා දැමූ බව ද ඔහුගේ නිවුන් සහෝදරයා වන ධර්මසේන අපට කීවේය. ඔහු කියන විදිහට ධනසේනගේ මරණය ම්ලේච්ඡ ඝාතනයකි. කාකි කෝට්‌ ඇඳගත් නිධන් හොරු පිරිසකගේ යකඩ සපත්තුවලට පෑගී වැළලී ගිය මරණයකි. වසර හතක්‌ වැනි දිගු කාලයක සිට වැළලී ගිය තම සහෝදරයාගේ ඛේදනීය මරණය ගැන සිහිපත් කිරීම ධර්මසේනට වේදනාවකි. විටෙක මරණයට අත වැනීමකි. එහෙත් ඔහු සිතට ධෛර්යය ගෙන, මරණයට අභියෝග කරමින් සහෝදරයාගේ වැළලුණු මරණයට යුක්‌තිය, සාධාරණය බලාපොරොත්තුවෙන් එදා සිට අද දක්‌වා ද නීතියේ පිහිට පතන්නේය. එහෙත් නීතිය ඉදිරියට යන සෑම අවස්‌ථාවකදීම ධර්මසේනට කාකි කෝට්‌කාරයෝ 'බැරියර්' දාන්නාහ. නීතියේ පිහිටක්‌ නැති තැන ඔහු ධනසේනගේ ඛේදනීය මරණය ගැන රටට කියන්නට තීරණය කළේය. මෙතැන් සිට පෙළගැසෙන්නේ ධර්මසේන කියන තම නිවුන් සහෝදරයාගේ අභිරහස්‌ මරණය ගැන කියෑවෙන කතාවය.

අපි පදිංචි වෙලා හිටියේ අම්පාර ඉඟිනියාගල නාමල්ඔය ගොවිජනපදයේ 2 බී ගම්පහ කොළනියේ. අපේ පවුලේ සහෝදර, සහෝදරියන් අටදෙනයි. අක්‌කල හතරයි. මමයි ධනසේනයි නිවුන් සහෝදරයෝ. අපිට වැඩිමහල් සහෝදරයෙක්‌ සහ බාල සහෝදරයෙක්‌ ඉන්නවා. අපි ඉස්‌කෝලේ ගියේ ඉඟිනියාගල ඩී. එස්‌. සේනානායක විද්‍යාලයට. ඉස්‌කොලේ ගිහිල්ලා අවසාන වුණාට පස්‌සේ මම මහියංගන ප්‍රදේශයේ රැකියාවකට ආවා. අදටත් මම කරන්නේ ඒ රස්‌සාව. දැන් මම විවාහ වෙලා මහියංගන ප්‍රදේශයේම පදිංචි වෙලා ඉන්නවා.

මගේ නිවුන් සහෝදරයා වන ධනසේන හොඳට ඉගෙනගෙන තරුණ සංවිධානවල ඉහළ නිලතල දරමින් ඉඳලා 2000 අවුරුද්දේ නාමල්ඔය ප්‍රාදේශීය සභාවට ඡන්දයෙන් තේරී පත් වුණා. නියම ජනතා සේවකයෙක්‌. එක දිගට අවුරුදු දහයක්‌ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා විදිහට වැඩ කළා. ධනසේනගේ මැතිවරණ ව්‍යාපාරයේ පෝස්‌ටර්, කටවුට්‌ නෑ. හිස්‌ කිරි පිටි පෙට්‌ටි ටිකක්‌ අරගෙන, පුංචි කෑලිවලට කපලා මනාප අංකය ලියලා ගෙවල් ගානේ ගිහිල්ලා බෙදනවා. මල්ලිට තිබුණු එකම වාහනය රෝද දෙකේ බයිසිකලය විතරයි. රාජකාරී වැඩකටවත් මල්ලි ප්‍රාදේශීය සභාවේ වාහන පාවිච්චි කළේ නෑ. ඔහුගේ ගමන් බිමන් පාපැදියෙන්. ජනතා සේවය වෙනුවෙන් එහෙම කැප වෙලා හිටිය මගේ මල්ලි 2010 මාර්තු 12 වැනිදා හිටි, හැටියේ මියයනවා.

'මල්ලි වස බීලා...' කියලා මට ආරංචිය ලැබුණේ ඊට පහුවෙනිදා සවස. මම ඒ මොහොතේම මල්ලිගේ ගෙදරට ගිය ගමන් එතැන හිටිය අයගෙන් ඇහුවේ මල්ලි මැරිලා වැටිලා හිටියේ කොහේද? බීලා තියෙන වස වර්ගය මොනවද කියලා. ඒත් අපේ ඥාතීන්, ප්‍රදේශවාසීන් හැමෝම කිව්වේ මැරිලා වැටිලා හිටියේ මල්ලිගේ ගෙදර කුස්‌සිය පැත්තෙ ළිඳ ළඟ, එතැන වස බෝතලයක්‌වත්, වස ද්‍රව්‍යයක්‌වත් තිබුණේ නෑ කියලා. මැරෙනකොට මල්ලි දැඟලුව බවට කිසිම සාක්‍ෂියක්‌ තිබිලත් නෑ. පය පිට පය එකතු කරගෙන මුණින් අතට නිදාගෙන ඉන්නවා වගේ ඉඳලා. පැදුරු දෙකක්‌ එළලා ඒ මත තමයි සිරුර තිබිලා තියෙන්නේ. අඩුම ගානේ පැඳුරක්‌වත් පොඩි වෙලා නෑ. සාමාන්‍යයෙන් වස බීපු කෙනෙක්‌ මැරෙන්නෙ දඟලලා, පොළවේ පස්‌ කාලා. අන්තිම මොහොත් නොසෑහෙන්න වේදනාවක්‌ විඳලා මැරෙන්නේ. වස බීලා මිනිස්‌සු මැරිලා හිටපු තැන් අපි දැකලා තියෙනවා. ඒත් අපේ මල්ලි පොළවට එළලා තිබුණු පැදුරක්‌වත් පොඩි වෙන්න දඟලලා නෑ.

ඒ වගේම වස බිව්වා කියන දවසේ පාන්දර මල්ලි ගෙදරින් ගියාට පස්‌සේ නැවත ගෙදර ඇවිත් නෑ. එදා රෑ 12.30 විතර වෙනකම් අපේ අක්‌කගේ පුතාලා තුන්දෙනයි, අල්ලපු ගෙදර පුතයි, මැරුණු මල්ලිගේ පුතයි ඔය කියන ළිඳ ළඟ කතාබහ කර, කර ඉඳලා තියෙනවා. පුතාලා නිදාගන්න යනකොට පාන්දර 1.30 ට විතර වෙලා. මරණ පරීක්‍ෂණයෙන් කියන්නේ මල්ලි මැරිලා තියෙන්නෙ රෑ 12.00 ට විතර කියලා. මගේ මල්ලි වස බීලා ළිඳ ළඟ වැටිලා හිටියා නම් 12.30 විතර වෙනකම් ළිඳ ළඟ හිටිය පුතාලා දකින්න ඕනෑ. ඒ වගේම එදා රෑ ධාරානිපාත වැස්‌සක්‌ වැහැලා. සාමාන්‍යයෙන් අඟල් 6 ක විතර වළක්‌ වැසෙන විදිහට වැස්‌ස වැහලා. ඒ වැස්‌සටවත් මල්ලිගේ ඇඟවත් පැදුරු දෙකවත් තෙමිලා නෑ. ගේ ඇතුළේ තිබිච්චි පැදුරු එළාගෙන වස බීලා නිදාගන්න මල්ලි එදා රෑ ගෙදරට ඇවිල්ලත් නෑ. මට විතරක්‌ නෙමෙයි මුළු ගමටම මල්ලිගේ මරණය සැක හිතුණා. මම මල්ලිගේ මුළු ඇඟම හොඳට පරීක්‍ෂා කළා. දකුණු අතේ මැණික්‌ කටුවට උඩින් හරි මැදින් අත කැඩිලා තිබුණා. දකුණු කන ළඟ රුපියල් දෙකේ කාසියක්‌ තරම් කැළලක්‌ එක්‌ක හම ගැලවිච්ච ලොකු තුවාලයක්‌ තියෙනවා මම දැක්‌කා. මල්ලි වස බීලා සියදිවි හානි කරගෙන නෑ. කිහිප දෙනෙක්‌ එකතු වෙලා ගහලා මරලා. වැටිලා හිටපු තැනට ගෙනත් දාලා තියෙනවා.

මම ඊට පහුවැනිදාම 2010 මාර්තු 14 වැනිදා පාන්දර අම්පාර කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරිවරයා මුණගැහිලා මල්ලිගේ මරණය සැක සහිතයි කියලා ලිත ලිපියකින් දැනුම් දුන්නා. පොලිස්‌ අධිකාරිවරයා මරණය සම්බන්ධයෙන් මාත් එක්‌ක දීර්ඝව සාකච්ඡා කළා. පස්‌සේ ඉඟිනියාගල පොලිසියට දුරකථනයෙන් කතා කරලා විස්‌තර අහලා 'ධනසේනගේ මරණය සැක සහිතයි. නැවත පරීක්‍ෂණයක්‌ කරන්න..' කියලා අම්පාර බුද්ධි අංශයට භාර දුන්නා. ඒ අනුව මගේ මල්ලිගේ මිනිය පරීක්‍ෂා කරන්න ආපු එස්‌. අයි. මහත්තයා 'උඹලා මේ හදන්නේ මිනිය කුණු කරගෙන ගඳ ගස්‌සන්නද...' කියලා අපේ බාල සොහොයුරාගෙන් අහලා තියෙනවා. අපේ ඥාතීන් පොලිස්‌ නිලධාරීන්ට තියෙන බය නිසා එස්‌. අයි. මහත්තයාට ඕන විදිහට පැමිණිල්ල සටහන් කර අත්සන් කරගෙන මිනිය භාර දීලා. මල්ලිගේ භූමදාන කටයුතු කරලා මම නැවත ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරිවරයා හමු වෙලා 'මල්ලිගේ මරණ පරීක්‍ෂණ හරි හැටි වුණේ නෑ' කියලා දැනුම් දුන්නා.

අධිකාරිවරයා ඒ මොහොතේම ඉඟිනියාගල පොලිසියට නොදන්වා මරණ පරීක්‍ෂණය කරපු එස්‌. අයි. මහත්තයා හමුවෙන්න ආවා. ඒ ගමනට එතුමා මාවත් එක්‌කරගෙන ගියා. අපි එනකොට රාජකාරි වේලාවේ එස්‌. අයි. මහත්තයා හොඳටම නිදි. පොලිස්‌ අධිකාරිවරයා එස්‌. අයි. මහත්තයාට තදින් අවවාද කරලා 'වස බෝතලයක්‌, වස ද්‍රව්‍යයක්‌ මළ සිරුර ළඟ නැතිව සැක සහිත නොවන මරණයක්‌ බව සනාථ කළේ කොහොමද? කියලා තදින් ප්‍රශ්න කළා. ඊට පස්‌සේ මල්ලිගේ මරණ පරීක්‍ෂණ කටයුතු දිසා විමර්ශන ඒකකයේ සී. අයි. මහත්තයෙක්‌ භාර ගත්තා. ඒ මහත්තයා මුලදී කැපවීමෙන් පරීක්‍ෂණ කටයුතු කරගෙන ගියා. ඒත් මල්ලිගේ මරණය වෙලා අවුරුදු දෙකක්‌ ගත වෙලත් දිසා විමර්ශන අපරාධ ඒකකයෙන් සාධාරණයක්‌ වුණේ නෑ. අයි. පී. මහත්තයෙක්‌ මල්ලිගේ මරණ පරීක්‍ෂණ යට ගැසීමට වලිකනවා කියලා පස්‌සේ අපිට දැනගන්න ලැබුණා. පරීක්‍ෂණ හරි හැටි නොවෙන තැන ලිතව මම පොලිස්‌පතිවරයාට දැනුම් දුන්නා.

ටික දවසක්‌ යනකොට මල්ලිගේ මරණ පරීක්‍ෂණ කටයුතු අම්පාර කොට්‌ඨාස අපරාධ විමර්ශන ඒකකයට භාර දීලා තිබුණා. ඒ එක්‌කම මල්ලිගේ මරණය ගැන කටඋත්තරයක්‌ සටහන් කර ගන්න 2012 අගෝස්‌තු මාසෙ 14 වැනිදා අම්පාර කොට්‌ඨාස අපරාධ විමර්ශන ඒකකයට එන්න කියලා මට දැනුම් දුන්නා. මමයි, පොඩි අක්‌කයි දෙන්න අම්පාර කොට්‌ඨාස අපරාධ විමර්ශන ඒකකයට ගියා. පොලිසියේ ගේට්‌ටුවෙන් ඇතුළු වෙනකොටම මල්ලිගේ මරණ පරීක්‍ෂණ යට ගහන්න හදන අයි. පී. මහත්තයා 'ආ උඹ ද ධනසේනගේ අයියා... උඹ අර අහිංසක මිනිස්‌සු වගයක්‌ අල්ලල තියෙනවා. කරුණාකරලා පැමිණිල්ල අයින් කර ගනිං. නැත්තම් තොගෙ මල්ලිගේ මරණයට තොටම තමයි ඇතුළට යන්න වෙන්නේ...' කියලා පහත් වචනවලින් මට බැන්නා. 'හොඳට මතක තියා ගනිං උඹේ මල්ලි මැරුවා නෙමෙයි මැරුණා. උඹේ මල්ලිට වස පෙව්වා නෙමෙයි වස බිව්වා...' කියලා මට තර්ජනය කරලා කොට්‌ඨාස විමර්ශන ඒකකයට අරගෙන ගියා.

එතැනදී ඉදිරියෙන් වාඩි වෙලා හිටියේ මට තර්ජනය කරපු ඒ අයි. පී. මහත්තයාම තමයි. අනිත් පැත්තේ සී. අයි. මහත්තයෙක්‌ වාඩි වෙලා හිටියා. පොලිස්‌ තනතුරුවලට අනුව අයි. පී. ට වඩා සී. අයි. තනතුර උසස්‌. ඒත් මෙතැනදී සී. අයි. ට උපදෙස්‌ දුන්නේ අයි. පී. මහත්තයා. 'අහිංසක මිනිස්‌සුන්ට විරුද්ධව බොරු පැමිණිලි දාලා තියෙනවා. වහාම මේ පැමිණිල්ල ඉල්ලා අස්‌ කරගන්න' කියලා ඒ වේලාවෙත් අයි. පී. මහත්තයා මට තර්ජනය කළා. එතැන පොලිස්‌ කාන්තාවක්‌ ඇතුළුව තවත් නිලධාරීන් පස්‌ දෙනෙක්‌ හිටියා. ඒ පස්‌ දෙනාම මූණට මූණ බලාගෙන හිනා වෙලා බිම බලා ගත්තා. පස්‌සේ මගේ කටඋත්තරය කොට්‌ඨාස විමර්ශන අපරාධ ඒකකයේ සාජන් මහත්තයකුට යොමු කළා. සාජන් මහත්තයා මගේ කටඋත්තරය යතුරු ලියනයෙන් ටයිප් කර ගන්නා අතර තැන් තුනක තිත් සමඟ හිස්‌තැන් තියනවා මම දැක්‌කා. ටයිප් කරලා කටඋත්තරය මට කියවන්න දුන්නම මම ඇහුවා ඇයි සර් මේ හිස්‌ තැන් තියලා තියෙන්නේ කියලා. එතකොට සාජන් මහත්තයා කිව්වා 'ටයිප් රයිටරයේ එක තැනම ඉත්තන් තුනක්‌ කැඩිලා...' ඒ හිස්‌ තැන් තියෙන තැන් යටින් මට අත්සන් කරන්න කියලත් කිව්වා. එතැනදී මම අසරණයි. හිස්‌තැන්වල මට අත්සන් කරන්න සිද්ධ වුණා.

ඒත් මරණය සම්බන්ධයෙන් කිසිම පරීක්‍ෂණයක්‌ සිදු නොවෙන කොට නැවත මම පොලිස්‌ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හා පොලිස්‌ අධිකාරිවරයාට ලිතව දැනුම් දුන්නා. ඊට පස්‌සේ පරීක්‍ෂණ කටයුතු මඩකලපුව භාර ඩී. සී. ඩී. බී. කොට්‌ඨාස විමර්ශන ඒකකයට භාරදීලා තිබුණා. මඩකලපුව භාර ඩී. සී. ඩී. බී. කොට්‌ඨාස විමර්ශන ඒකකයෙන් 2013. 10. 28 වැනිදා මාව කැඳෙව්වා. එතැනදී නිලධාරීන් අට දෙනෙක්‌ විතර වටේට පුටු තියාගෙන මාව ප්‍රශ්න කළා. ඒ අය ප්‍රශ්න කළේ මම මල්ලිව මැරුව විදිහට. එක නිලධාරියෙක්‌ ඇහුවා මල්ලිව ඝාතනය කළ බවට ඔප්පු කරන්න සාක්‍ෂි තියෙනවද කියලා...

'ඔව් සර්...' මල්ලිගේ හත් දවසේ බණ දවසේ බීමතින් ආපු කෙනෙක්‌ මල්ලිව මැරුව හැටි පාපොච්චාරණය කළ හඬ පටයක්‌ අපි ළඟ තියෙනවා' කියලා මම උත්තර දුන්නා.

'ඒ හඬ පටිය දැන් තියෙනවද...' ඒ නිලධාරියා නැවත ප්‍රශ්න කළා.

'ඔව් සර්...' කියලා හඬ පටය මම නිලධාරියාගේ අතට දුන්නා. ඒ නිලධාරියා හඬ පටය තවත් පොලිස්‌ නිලධාරියකුට දීලා පරීක්‍ෂා කරලා බලන්න කියලා අණ කළා. පස්‌සේ ඒ රාළහාමි කාමරයකට ගිහින් ටික වෙලාවකින් එළියට ඇවිත් කිව්වා හඬ පටය ක්‍රියාත්මක වෙන්නෙ නෑ කියලා. මට හිනා ගියා.

'සර් මම එනකොට මහියංගන රෙකෝඩ් බාර් එකකින් හඬ පට තුනක්‌ ගහ ගත්තා. තව දෙකක්‌ තියෙනවා. හඬ පට ගහපු බවට මේ රිසිට්‌ එක...' කියලා මම රිසිට්‌ පතත් පෙන්නුවා.

'ආ... එහෙම නම් කැසට්‌ එක පරණ ඇති. අපි අලුත් එකට දාලා අහන්නම්' කියලා හඬ පටය තියාගෙන ප්‍රශ්න කරපු එස්‌. අයි. මහත්තයා මගේ ඉහේ ඉඳලා පහළටම බලලා 'අපි කටඋත්තර අරගෙන ඉවරයි. තව උසස්‌ නිලධාරියෙක්‌ එනවා එයත් ඔයාගෙන් කටඋත්තරයක්‌ ගනී. එතකන් තේ එකක්‌ එහෙම බීලා එන්න' කියලා මට කුඩයකුත් දුන්නා. එදා උදේ ඉඳලා වැස්‌සා. මගේ අතේ තිබුණු බෑගයත් පොලිසියේ මේසයක්‌ උඩ තියලා එතන හිටපු නිලධාරීන්ටත් කියලා මම තේ එකක්‌ බොන්න ගියා. තේ එකක්‌ බොන්න කිට්‌ටුව කඩයක්‌ නොතිබුණු නිසා මඩකලපුව නගරයටම යන්න වුණා. තේ බීලා පැය බාගයකට විතර පස්‌සේ කොට්‌ඨාස විමර්ශන අපරාධ ඒකකයට ඇවිත් බලන කොට මගෙන් කටඋත්තර ගත්ත කිසිම නිලධාරියෙක්‌ හිටියේ නෑ. මම නිකමට බෑගය ඇරලා බැලුවා. හඬ පට දෙක, රෙකෝඩ් බාර් එකෙන් දීපු රිසිට්‌ පත, මල්ලිගේ මරණයට ආදාළ බෑගයේ තිබුණු සියලුම දේවල් නැති වෙලා. පේන්න හිටියේ එක පොලිස්‌ නිලධාරිණියක්‌ විතරයි. මම ඒ නිලධාරිණිය ළඟට ගිහිල්ලා 'මෙතැන හිටිය සර්ලා කෝ...' කියලා ඇහුවා. එතකොට ඒ නිලධාරිණිය කියනවා 'සිංහල තෙරියමා...' කියලා. ඒත් මම තේ බොන්න යන්න ඉස්‌සර වෙලා ඒ පොලිස්‌ නිලධාරිණිය හොඳට සිංහල කතා කරනවා මට ඇහුණා... දැක්‌කා... එදා තමයි මම මඩකලපුව කොට්‌ඨාස අපරාධ විමර්ශන ඒකකයේ හොරු ඉන්න බව දැනගත්තේ... එහෙම සිද්ධියක්‌ වෙයි කියලා හිතලා සැකකරුගේ පාපොච්චාරණ හඬ පටය සහ මගෙත් හඬ පටයක්‌ රෙකෝඩ් බාරේ එකේ තියලා තමයි මම අපරාධ විමර්ශන ඒකකයට ගියේ. අපි ළඟ අදටත් ඒ හඬ පට තියෙනවා.

අම්පාර කොට්‌ඨාස අපරාධ විමර්ශන ඒකකය පරීක්‍ෂණ කටයුතු කළේ එහෙමයි. ඒත් මම අතහැරියේ නෑ. 119 ට කතා කරලා පොලිස්‌ සහන මැදිරියට දැනුම් දුන්නා. පස්‌සේ මඩකලපුව පොලිස්‌ සහන මැදිරියෙන් 2013 දෙසැම්බර් මස 08 වැනිදා මාව කැඳෙව්වා. එතැනදී මගෙන් ප්‍රශ්න කළා. ඒ ප්‍රශ්න කිරීම් යන අවස්‌ථාවේ නිලධාරීන් දෙදෙනෙක්‌ ජංගම දුරකථනවලින් හොර රහසේ මාව වීඩියෝ කරනවා මම දැක්‌කා. ප්‍රශ්න කරගෙන යන අතරතුර එතැන හිටිය පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා අච්චු පොතක්‌ පෙරළලා 'උඹ මේ වගන්තිය දන්නවද... තවත් පිටුවක්‌ පෙරළලා 'උඹ මේ වගන්තිය දන්නවද...' එහෙම පිටු තුන හතරක්‌ පෙරළලා 'උඹට පිස්‌සු තිබුණට අපිට පිස්‌සු නෑ. උඹේ ඔය මොළේ වයර් කැඩිලා ඇති හදාගනිං... අපි පරීක්‍ෂණ කරගෙන යනවා. හැබැයි බොරුවට කවුරුවත් තලා පෙළා පරීක්‍ෂණ කරන්නේ නෑ. ඒ නිසා මේ ප්‍රශ්නය දිගටම අරගෙන යනවද... නැද්ද... කියලා උඹ හොඳට හිතලා බලලා තීරණයක්‌ ගනිං...' කියලා මට තර්ජනාත්මකව කතා කළා. කිසිම පරීක්‍ෂණයක්‌ වුණේ නෑ. යුක්‌තිය පතාගෙන පොලිසියට ගිය මට අන්තිමට ඉතුරු වුණේ දරාගන්න බැරි වේදනාවක්‌ විතරයි...

ඊට ටික දවසකට පස්‌සේ මේ පරීක්‍ෂණ යට ගහන බුද්ධි අංශ භාරව සිටි අයි. පී. මහත්තයා දුරකථනයෙන් කතා කරලා මට කියනවා 'මචං ධර්මේ කවුරුහරි ඥාති කෙනෙක්‌ උඹේ මල්ලිව මරනවා දැක්‌කා කියලා සාක්‍ෂි දීපං මම ගොඩ දාලා දෙන්නම්...' කියලා. එතකොට මම කිව්වා මගේ මල්ලිව ඇත්තටම මරලා නිසා බොරු සාක්‍ෂි ඉදිරිපත් කරන්නට මට බෑ. ඔබතුමා මහන්සි වෙන්නත් එපා. මම කොහොමහරි ඒක ඔප්පු කරන්නම්' කියලා මම අයි. පී. මහත්තයාට කිව්වා.

මල්ලිව මරන්න හේතුව නිධන් ගනුදෙනුවක්‌. මල්ලිටත් නිධානයෙන් කොටසක්‌ දෙන්න වෙයි කියලා තමයි මරලා තියෙන්නේ. නිධානයෙන් ගත්ත බඩු විකුණලා තියෙන්නේ මේ මරණ පරීක්‍ෂණය යට ගහන්න වලිකන අයි. පී. මහත්තයා. මම ඒ නිධානයෙන් ගත්ත බඩු විකුණපු තැන් හොයාගෙන, ඒ ස්‌ථාන ගැනත් පොලිසියට පැමිණිලි කළා. ඒත් ඒවාට පරීක්‍ෂණ කෙරුණේ නෑ. මේක අමුතු රටක්‌ මහත්තයෝ... බෑග් මලුවල තියෙන ලිපි ලේඛන පොලිස්‌ ස්‌ථානවලදී නැති වෙනවා... නිධන් කොල්ලකරුවන් ඉන්නෙත් පොලිසිවල. යුක්‌තිය පතාගෙන පොලිසියට ගිහින් අපිට කරන්න වෙලා තියෙන්නෙ හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ වැඩක්‌...''

හදවතේ තෙරපෙන ධර්මගේ වේදනාව වචන කර හමාරය. ඔහු සියල්ල විස්‌තරාත්මකව පැහැදිළි කළාය. වැටත් නියරත් ගොයම් කයි නම් මේ අවනඩුව සම්බන්ධයෙන් ධර්මසේනට කළ හැකි දෙයක්‌ නැත. එහෙත් ධනසේනගේ මරණය කාලයේ වැලි තලාවෙන් වැසී යැමට ඉඩ දීම රටේ නීතිය කෙළෙසීමකි. එහෙයින් ජනතා නායකයෙක්‌ව සිට මිය ගිය ධනසේනගේ මරණයට සාධාරණයක්‌ ඉටුකිරීම රටේ වගකීමකි. අපට කියන්නට ඇත්තේ එපමණකි.

Wmqgd .ekSu ,la�u mqj;a m; weiqfrks

More News »