අනුන්ගේ ඉඩම්වල සුපිරි නිවාස සංකීර්ණ මවා කෝටි ගණන් ගැරූ හොර ජාවාරම

2017-04-04 11:29:00       583
feature-top
තමන්ට හිමිකාරත්වයක්වත් නැති මට්ටක්කුලිය අක්කර හතර හමාරක නිවාස සංකීර්ණයක් ඉදිකරන බවට ජනතාව මුළාකර බොරැල්‍ලේ පිහිටි ආයතනයක හිමිකරුවන් කර ඇති ප්‍රකෝටි ගණනක වංචාව සක්විති වංචාවටත් වඩා විශාල බව මේ වනවිට අනාවරණය වෙමින් පවතී.

කොළඹ වංචා විමර්ශන අංශය වෙත මෙම සතිය වනවිට ලැබුණු පැමිණිලි අනූවකට (90) අදාළව මොවුන් සිදුකර තිබූ වංචාව රුපියල් අටකෝටි තිස් හතර ලක්ෂයකි. එම පැමිණිලිවලට අමතරව තවත් පැමිණිලි හැත්තෑවක් පමණ ඉදිරිපත් කිරීම සඳහා වංචාවට හසුවූවෝ පැමිණිලි කිරීමට ‍පොරොත්තු ‍ලේඛනයේ සිටිති.

මෙම මහා වංචාවට සම්බන්ධ ප්‍රධානියා සැකපිට කොළඹ වංචා විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගනු ලබන්නේ ඉකුත් 20දාය. බත්තරමුල්‍ලේ සිව්මහල් සුපිරි නිවසක දැඩි රැකවල් මධ්‍යයේ සැඟවී සිටි මෙම සැකකරු තලංගම ‍පොලිසියේ සහාය ඇතිව අත්අඩංගුවට ගනු ලබන්නේ වංචා විමර්ශන අංශයේ ඒකක 02 භාර ස්ථානාධිපතිව සිටි ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක අනිල් ජයන්ත මහතා විසිනි.

එතෙක් ‍පොලිසිවලට කට්ටි පනිමින් සිටි මෙකී මහා සක්විත්තා අධිකරණය හමුවට ඉදිරිපත් කර මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. ඊට අමතරව එම ආයතනයේ අධ්‍යක්ෂ ධුරයක් දැරූ මොහුගේ පියා හා එහි අලෙවි කළමනාකරු ද අධිකරණය හමුවට පමුණුවන්නේ මොවුන්ට එරෙහිව ලද මුල් පැමිණිලිවලටය.

බත්තරමුල්ල, පැලවත්ත අංක 70 දරන ලිපිනයක ලියාපදිංචි කරන මෙම ආයතනය මගින් මට්ටක්කුලිය, මෝල පාරේ අක්කර හතර හමාරක ඉඩමේ මහල් විස්සකින් යුත් කුලුනු පහක නිවාස තුන්දහස් දෙසීයයක් ඉදිකරන බවට සැලසුම් සකස් කර ඇත. මේ සඳහා ඉදිරිපත් කළ ව්‍යාපෘතියේ ඇස්තමේන්තුව ලෙස පෙන්වා තිබුණේ රුපියල් බිලියන අටකි.

කොල්ලුපිටිය ආකේඩියම් ආයතනයෙන් මූලික ගෘහ නිර්මාණ ශිල්පී සැලැස්ම සකස් කර තිබූ අතර එම ආයතනයට ඒ සඳහා ගෙවිය යුතු මිලියන අට වෙනුවෙන් ගෙවා තිබුණේ මිලියන හතරකි. ආරම්භයේදීම එම ආයතනයට මුදල් නොගෙවන මෙකී සක්විත්තන් මීළඟට ‍පොලු තබන්නේ මූලික අදියරේ ‍පොළොවට ෆයිල් බැස්සවීමට ආ ඇක්සස් ෆයිල්ස් සමාගමටය. එම ආයතනයට මූලික අදියරේ ගෙවිය යුතු රුපියල් කෝටි අට හමාරක් නොගෙවීම නිසා මෙම සැකකරුට එරෙහිව රහස් ‍පොලිසියේ පැමිණිලි කර තිබෙන්නේය.

මෙකී සක්විත්තන් මනඃකල්පිත නිවාස සංකීර්ණයක් සඳහා රුපියල් මිලියන 390කට ඉඩමේ හිමිකරු සමග බදු ගිවිසුමක් අත්සන් කර ඇතත් එම මුදල වෙනුවට රුපියල් මිලියන 11ක් පමණ ගෙවා ව්‍යාපෘතිය අරඹා ඇත. අවසානයේ ඉඩමේ කොටස් දෙකක හිමිකරු වන මාරියා ෆ්‍රැන්සිස් නමැති ව්‍යාපාරිකයා මෙකී ජාවාරම්කරුට එරෙහිව දිසා අධිකරණයේ නඩු පවරන්නේ 2015දීය.

නිවාස ඉදිකිරීම් නැවැත්වීම, මහල් නිවාස සංකීර්ණය සඳහා පිටස්තරයන්ගෙන් මුදල් ඉල්ලීම හා ප්‍රචාරණ කටයුතු නතර කිරීම සම්බන්ධව වාරණ නියෝගයක් ගත්තද අසත්‍ය ලිපි‍ලේඛන මගින් වාරණ නියෝගය නවත්වා ගැනීමට මෙම වංචනික සමාගමේ හිමිකරුවෝ කටයුතු කරති. අවසානයේ ඉඩම් හිමිකරු මහාධිකරණයට ගොස් මනඃකල්පිත නිවාස සංකීර්ණය ඉදිකිරීම වෙනුවෙන් මුදල් ලබාගැනීම, දැන්වීම් පළ කිරීම නැවැත්වීමට යළි නියෝගයක් ලබාගෙන ඇත්තේය.

මෙලෙස ජනතාව ගොනාට අන්දවා රුපියල් කෝටි ගණනක වංචාව සිදු කරගෙන යන්නේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල අලුතින් ඉදිවන එපාර්ට්මන්ට් සංස්කෘතිය නියාමනය කිරීමක් සිදුනොවන නිසාය.

අඩුම තරමේ ඉඩමේ අයිතියවත් නොමැතිව නඩු කියන ඉඩමකට කොළඹ නගර සභාවේ නගර සැලසුම් අංශය වෙත ඉදිරිපත් කළ නිවාස අනුමැතිය සඳහා වූ කිසිම ඒකකයක අනුමැතියවත් ලබාදී නොමැති බව විමර්ශනවලින් හෙළි වන්නේ නාගරික සංවර්ධන අධිකාරියේ (උච්ඒ) බලාත්මක අංශයෙන් අවසර ලබාගෙන ඇති වග කියැවුණත් මේ සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ අනුමැතියවත් ලැබි නොමැති බවය.

තමන් වෙත නිවාස මිලදී ගන්නට එන සියලුදෙනා හට සෑම ආයතනයකටම අනුමැතිය සඳහා ලිපි‍ලේඛන දැනටමත් අදාළ අංශවලට යොමු කරමින් තිබෙන බව පෙන්වා මුදල් අයකර ගැනීමට මෙකී සක්විත්තන් සටකපටියන් වී ඇත.

මේ අයුරින් ඉඩමේ සැලසුමවත්, අයිතියවත් නොමැතිව අනුන්ගේ ඉඩමක මනඃකල්පිත නිවාස සංකීර්ණයක් ඉදිකරන්නට යන මෙම සක්විත්තන්ට කෝටි ගණනින් වංචා කරන්නට හැකි වන්නේද හතු පිපෙන්නාක් මෙන් බිහිවන නිවාස ව්‍යාපෘති නියාමනය කිරීමට රාජ්‍ය යාන්ත්‍රණයක් නොතිබිම නිසාය.

අඩුම තරමේ මෙවැනි ඉඩමක නිවාස 3200ක් ඉදිකිරීමේදී මල ප්‍රවාහන පද්ධතියන් බැහැර කිරීමේ පහසුකම්, අපජලය ඉවත් කිරීමේ පහසුකම්, විදුලිය ලබාගන්නා ක්‍රමවේදය පවා තිබේද යන්නවත් මූලික වශයෙන් සලකා නොබැලීම නිසා ජාවාරම්කරුවන්ට ලියකියවිලිවලට මුවා වී වංචාව කරගෙන යන්නට හැකිව ඇත්තේය.

මෙවැනි මහල් නිවාස සංකීර්ණ ඉදි කිරීමේදී නාගරික සංවර්ධන අධිකාරියේ මහල් නිවාස සංකීර්ණ සඳහා සැලසුම් නිරාකරණ සහතිකය, ගුවන් තොටු‍පොළ හා ගුවන් ගමන් කාර්යංශයේ නිරාකරණ සහතිකය, ජල මණ්ඩලයේ නිරාකරණ සහතිකය, විදුලිබල මණ්ඩලයේ හා කොළඹ නගර සභාවේ මල ප්‍රවාහන අංශයේ නිරාකරණ සහතිකය ලබාගෙන තිබේද යන්නවත් කිසිදු පාර්ශ්වයකින් සොයා බැලීමක් කර නැත.

හොරගොල්ල වලව්වට අයත් රුපියල් කෝටි හයකට මිලදීගත් බව කියන අක්කර අටක ඉඩමක අරඹා ඇති නිවාස සංකීර්ණයක් සඳහා මෙම ජාවාරම්කරුට මුදල් ගෙවූ අයටද අද ජලය හා විදුලි පහසුකම්වත් නොමැති නිවාසවලට හිමිකම් කියන්නට සිදුවී ඇත.

සංඝබෝධි පාසල ඉදිරිපිට ඇති මෙම නිවාස ව්‍යාපෘතිය සඳහා රුපියල් ලක්ෂ අටක මුදලක් ගෙවා කොන්ක්‍රීට් කණු හතරක් සහිත තැනක් පමණක් උරුම වූ ජෙරාඩ් පෙරේරා නමැති අයකුද වංචා විමර්ශන අංශය වෙත පැමිණිලි කරන්නේ තම මුදල් අහිමිවීම සම්බන්ධවය. එම නිවාස ව්‍යාපෘතියේ ලක්ෂ විසිපහකට නිවාසයක් ලබාදෙන බව දැන්වීම් පළකර කෝටි ගණනක් වංචා කිරීමට අමතරව ඉදිකළ නිවාසවලට පහසුකම්වත් සපයා නොමැති වග මේ සතියේ හෙළිවන්නේය. එකී නිවාස ව්‍යාපෘතියේ පදිංචිකරුවන්ට වතුර ලැබෙන්නේ බවුසර්වලිනි. විදුලිය දෙන්නේ ජෙනරේටර් මගිනි.

ප්‍රචාරක දැන්වීම්වලට හසුවී ලක්ෂ ගණන් මුදල් අහිමි කරගෙන යන එන තැන් නොමැතිව අසරණ වූවන්ද මේ සමග දහස් ගණනක් සිටින වග අනාවරණය වන්නේය.

තාවකාලිකව මට්ටක්කුලියේ ඉඩමට ලබාගත් විදුලි සම්බන්ධතාවද මේ වනවිට ඉවත් කරගෙන ඇත. මෙම නිවාස ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන පහක ණයක් ඉල්ලා මෙකී ජාවාරම්කරුවන් ඒෂියන් ඇසට් නමැති මූල්‍ය සමාගමකට ඇපයට තබා ඇත්තේ හොරණ ප්‍රදේශයේ මොහු ඇරඹූ නිවාස ව්‍යාපෘතියකට අදාළ ඉඩමේ විකුණුම් ගිවිසුමකි.
මේ අයුරින් නිවසක්, ඉඩමක් ඇපයට තබා ඒෂියන් ඇසට් සමාගම මූල්‍ය පහසුකම් සපයන වග හඟවා එතැනදීත් ගැනුම්කරුවන් මුළාකර මුදල් ලබාගෙන ඇත.

මෙම සිදුවීමෙන් පසුව කොළඹ වංචා විමර්ශන අංශයට පැමිණිලි කරන්නට ආ පැමිණිලිකරුවන් අප මාධ්‍ය ආයතනය හා සම්බන්ධ වූ විට අප ඔවුන්ගෙන් විමසා සිටියේ කිසිදු සොයා බැලීමක් නොමැතිව ඉදිනොකළ නිවාස ව්‍යාපෘතියකට මුදල් ගෙවද්දී බියක් ඇති වූයේ නැද්ද යන්නය. ඒ සියලුදෙනා ජාවාරම්කරුවන් විසින් නිවාස ගන්නට මුදල් ගෙවන පුද්ගලයන්ගේ සල්ලිවලින්ම රුපියල් කෝටි දෙකක් වැයකර කළ ප්‍රචාරණයට හසුවී ඇති වග එම කතාබහවලදී පැහැදිලි වූයේය.

මෙකී වංචාව සිදුකළ වුන් මට්ටක්කුලියේ අක්කර හතර හමාරක ඉඩම පෙන්වා එහි පර්චස් සියයක් රුපියල් කෝටි විස්සකට ලබාගෙන ඇති වග පෙන්වා ඇත්තේ මුලින් පෙන්වූ මාර්ගයට වඩා ප්‍රධාන මාර්ගයට ප්‍රවිශ්ට වන කොටසක් සඳහා එය ගත් වග කියමිනි. මේ අනුව පර්චසයක වටිනාකම ලක්ෂ විස්සක් වන ඉඩමක නිවාස ව්‍යාපෘතියක් මගින් රුපියල් පහළොස් ලක්ෂ අසූ දහසකට පර්චසයක පමණ වපසරියක වූ නිවසක් ලබාගත හැකිද යන්නවත් මොවුන් සලකා බලා තිබුණේ නැත.

අවසාන තුරුම්පුව ලෙස ජාවාරම්කරුවන් ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව සමග එක්වී මට්ටක්කුලිය ඉඩමක මහල් නිවාස 2400ක් ඉදිකිරීම සඳහා කළ තවත් කූට සැලැස්මක්ද හෙළිවී ඇත්තේය. මේ සඳහා නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මුල්ගල තැබිම සඳහා ආරාධිතයා ලෙස එක්වන වගත් එහි එන අය දැනුවත් කර තවත් රැවටීමක් කර ඇත. ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව සමග එක්ව කරන නිවාස ව්‍යාපෘතියක් සඳහා ඇමැතිවරයාගේ අනුමැතිය යැවීමට කියා සකස් කළ ලිපියක් එහි එන ගනුදෙනුකරුවන්ට පෙන්වා තවත් කූට වංචාවකට සූදානම් වෙද්දී මෙකී ජාවාරම්කරුවන් කොළඹ වංචා විමර්ශන අංශයට කොටුවී තිබේ.

එසේ නොවුණා නම් තවත් දහස් ගණනකටද අද මුදල්වත් නොමැතිව හූල්ලමින් සිටින අය අතරේ අනිවාර්යයෙන් බලා සිටීමට සිදුවන්නේය.

මෙවැනි ජාවාරම්කරුවන් මුදල් ලබාගත් පසු ඇතිකර ගන්නා ගිවිසුම ඉදිරියට දමා කෝටි ගණන් වංචා කළත් සිවිල් නඩුවලට හරවාගෙන නීතියෙන් ගැලවී යන උපක්‍රමයක් තම නීතිඥවරුන් සමගම සාදාගෙන තිබුණේය.

කෙසේ වුවද දණ්ඩනීති සංග්‍රහයේ 15 වැනි අධිකාරයට අනුව වංචා කිරීම යන වගන්තියේ 398 වැනි ජේදයට අනුව යමෙකුට දේ‍පොළක් භාරදීමට ‍පොලඹවා එකී ක්‍රියාවන් නොකර හැරීමෙන් හානියක් හෝ පීඩාවක් සිදුවන්නේ නම් එකී තැනැත්තා වංචා කළ පුද්ගලයකු ලෙස සලකන බව දීර්ඝ ලෙස විස්තර කර තිබේ.

මේ අනුව තවදුරටත් ජාවාරම්කරුවන්ට නීතියේ හිඩැස්වලින් ගැලවී අහිංසකයන් මුළා කිරීමට ඉඩ නොදී දණ්ඩනීති සංග්‍රහය යටතේ වංචාවට එරෙහිව ක්‍රියා කිරීමට කොළඹ වංචා විමර්ශන අංශයට හැකි බව නීති විශාරදයෝ පෙන්වා දෙති.

වංචා විමර්ශන අංශයේ වැඩබලන අධ්‍යක්ෂිකා ‍පොලිස් අධිකාරී රේණුකා ජයසුන්දර මහත්මියගේ ජු අධීක්ෂණය යටතේ එහි ස්ථානාධිපති ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක ඕ.වී. අමරබන්දුගේ මෙහෙයවීමෙන් ප්‍රධාන ‍පොලිස් පරීක්ෂකවරුන් වන අනිල් ජයන්ත, අනුර රන්දෙණිය, පිලපිටිය, බස්නායක ඇතුළු නිලධාරීන් විමර්ශන සිදුකරගෙන යන්නේ තවත් මෙවන් සක්විත්තන් හට නීතියෙන් ගැලවීමට ඉඩකඩ නොතබන්නටය.

සුපිරි නිවාස සංකීර්ණ මුවාවෙන් සිදුවන ජාවාරම්වලින් බේරෙන්නේ කොහොමද?නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිගෙන් උපදෙස්

මෙකී ජාවාරම්කරුවන්ට හසු නොවී මහල් නිවාස සංකීර්ණ හා සුඛෝපභෝගී නිවාස සංකීර්ණ මිලදී ගැනීමට පෙර ඒවා මිලදී ගන්නන් දැනුවත් විය යුතු කරුණු කාරණා ගැන අපි නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ජගත් මුණසිංහ මහතාගෙන් විමසා සිටියෙමු.
“ඉඩම්, අයෝජන ගැන නියාමනය වන්නේ සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය මගිනුයි. එම ආයතනය සංවර්ධන ව්‍යාපෘති සඳහා අනුමැතිය දීම ගැන කරුණු සලකා බලනවා. නාගරික සංවර්ධන අධිකාරිය නාගරික ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත්කළ ප්‍රදේශවල අපගේ සැලසුම්වලට අනුකූලව සිදුවනවාද යන්න සොයා බලා අනුමැතිය දීම සිදු කරනවා.

මෙවැනි සංවර්ධන ව්‍යාපෘතියක නිවැරදි බව මැන බැලීමට අදාළ පළාත් පාලන ආයතන මගින් ඉඩමේ විස්තර සොයා බැලීම කළ හැකියි. සාමාන්‍ය මිනිස්සුන්ට නිවසක් ගැනීමේදී ජාවාරම්කරුවන්ට හසු නොවීමට කළ යුත්තේ ව්‍යාපෘතියට අදාළ විස්තර රැගෙන නාගරික සංවර්ධන අධිකාරියට ගොස් අදාළ නීත්‍යනුකූල අවසර ගෙන ඇත්දැයි බැලීම හෝ දේ‍පොළ පිළිබඳ නීතිඥ මහතකු ලවා අදාළ විස්තර පරීක්ෂා කර බැලීමයි.

එමගින් ඉඩම් හිමිකරු කවුරුන්ද, නිවාස ව්‍යාපෘතිය සඳහා සංවර්ධන කාර්යය කරන ආයතනය පිළිබඳ මෙන්ම පළාත් පාලන ආයතනවල අවසර ගෙන ඇත්ද, ඉඩමේ හිමිකරුගේ අයිතිය ලබාගෙන ඇත්ද, පරිසර අධිකාරියේ අවසර ලබාගෙන ඇත්ද, මල ප්‍රවාහන පද්ධතිය, ජල සම්පාදනය මෙන්ම සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ සහතිකය ලබාගෙන තිබේද යන්න සොයාගත හැකියි.

ඇතැම් ව්‍යාපෘතිකරුවන් අනුමැතිය ගන්නටත් පෙර නිවාස විකුණනවා. ආයෝජනය සඳහා නිවාස ඉදි කරන්නට පෙර විකිණීමේ (පඥ ඉචතඥ) ක්‍රමවේදය අවදානමක් දෙයක්. යම් හෙයකින් ඔබ ඉදිනොකළ ගෙයකට විශාල මුදලක් ගෙවා තිබියදී මුදල් ගත් පුද්ගලයා මියගියහොත් මුදල් ලබාගන්නවත් වෙන්නේ නැහැ. සංවර්ධන සැලැස්ම අනුමත නොවී පෙර විකිණීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කරන්න බැහැ.

නාගරික සංවර්ධන අධිකාරියේ හා සහාධිපත්‍ය පිළිබඳ අධිකාරියේ අනුමැතිය නැතිව කාටවත් සතයක්වත් ගෙවන්න එපා කියලා හැමෝගෙන්ම ඉල්ලනවා.”



Wmqgd .ekSu iriúh mqj;a m; weiqfrks

More News »