කොළඹ මහල් නිවාසවලට මුවා වී සිදු කළ කෝටි ගණනක වංචාවේ සුලමුල

2017-03-22 10:43:00       660
feature-top
තමන්ටම කියා නිවසක් සාදා ගැනීම අප කාගේත් සිහිනයකි. එකී නිවාස සිහිනය ඉතා ඉක්මනින් සැබෑ කරගන්නට ඕනෑම අයකු කැමැතිය. නිවාස සිහිනය සැබෑ කරගන්නට ගොස් තමන් දුක් මහන්සි වී හරි හම්බකරගත් සේසතම රටේ නමගිය වංචාකරුවන්ට පුදා දහසක් දුක් කම්කටොලු මධ්‍යයේ නීතියේ පිළිසරණ පතන අය දස දහස් ගණනක් අප සමාජයේ සිටිති.

මධ්‍යම පාන්තිකයන්ගේ පටන් ධනවත් පවුල්වලට අයත් ඇත්තන්ට පවා කෝටි ගණන් වංචා කළ නිවාස ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ සක්විති හොරුන් ගැන අපි මීට පෙර ද හෙළි කළෙමු.

එකී නිවාස ජාවාරම්කරුවන්ගේ වෙළෙඳ ප්‍රචාරයන්ට හසු වී ලක්ෂ ගණනක් අහිමිකරගත් අය අතරේ හමුදාවේ ජෙනරාල්වරුන්, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරුන් ඇතුළු විවිධ තරාතිරම්වල අය ද සිටියහ.

මෙවර අපේ කතාබහට ලක් වන්නේ වසර ගණනක් තිස්සේ රටටම ‍පොලු තැබූ සක්විත්තෙක්ගේ ජාවාරමක් ගැනය. අද වනවිට රටේ නිවාස හා ඉඩම් ප්‍රශ්නයට විසඳුමක් ලෙස කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ඇරඹි සුපිරි මහල් නිවාස සංකල්පය යටතේ මධ්‍යම පාන්තිකයන් වෙනුවෙන් මහල් නිවාස ඉදිකර දෙන බව කියමින් මෙම වංචාවට මුල පුරන්නේ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන්හි ලක්ෂ ගණනින් ප්‍රචාරයක් ද දෙමිනි.

මෙකී ජාවාරම්කරුට එරෙහිව ජනතාව මුල්වරට පෙළගැසෙන්නේ බොරැල්ල ‍පොලිසිය ඉදිරිපිටදීය. ඒ මෙකී ජාවාරම්කරුට එරෙහිව බොරැල්ල ‍පොලිසියේ පැමිණිලි කර තිබුණ ද ඔහු නීතිය තඹ දොයිතුවකට ගණන් නොගෙන සිය කටයුතු දිගටම කරගෙන ගිය නිසාය. අවසානයේ සැකකරු නීතියේ හිඩැස්වලට මුවා වී ගැලවී යන්නට වෙර දරද්දී ‍පොලිසිය ඉදිරිපිට උද්ඝෝෂණ කරන්නට ද පැමිණිලිකරුවෝ වගබලා ගත්හ.

අපට මෙහිදී වඩා වැදගත් වන්නේ මේ සිදුවීම කළ පුද්ගලයා පිළිබඳව නොවේ. මෙමගින් අප මතු කරන්නට උත්සාහ ගන්නේ මෙවැනි වංචාකාරී පුද්ගලයන් සමාජය තුළ බහුලව සිටින බව පෙන්වීමටය. විශේෂයෙන්ම මෙවැනි ව්‍යාපෘති සඳහා මුදල් ගෙවීමේදී විශ්වසනීය නමක් තිබෙන සමාගම් සමග පමණක් කටයුතු කිරීම අතිශයින් වැදගත් වේ.
බොරැල්‍ලේ පිහිටි ආයතනයක් කෝටිපති ව්‍යාපාරිකයකුට එරෙහිව බොරැල්ලට එක්වූ පිරිස් වීදි බැස විරෝධතා දක්වන්නට වූහ.

“ඔයාලා එයාගේ ඔෆිස් එක ඉස්සරහා කෑගහන්න යන්න එපා. එහෙම වුණොත් එයාට බිස්නස් එක කරගෙන යන්න බැරිවෙනවා. මෙතැනට තවත් කට්ටිය ආවොත් තමයි ඔයාලගේ සල්ලි ටික හරි එකතු කරලා ගන්න වෙන්නේ.” යන්න බොරැල්ල ‍පොලිසිය වෙත ගිය අයට එහි ලොක්කන් දුන් උපදෙස විය. අහිංසක මිනිස්සුන්ට අමාරුවේ වැටෙන්නට ඉඩ දී ජාවාරම්කරුවන්ට නිදහසේ තම කාර්යාල පවත්වාගෙන යන්නට උඩගෙඩි දෙන ‍පොලිස් නිලධාරීන්ටත් විරෝධය පාමින් බොරැල්ල ‍පොලිසිය ඉදිරිපිට උද්ඝෝෂණයකට මග පෑදුනේ ඒ අතරය.

‍පොලිසියට එරෙහිව ඇරඹි උද්ඝෝෂණයත් සමග බස්නාහිර පළාත භාර ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති නන්දන මුණසිංහ මහතාගේ සහ කොළඹ දිසාව භාර නියෝජ්‍ය ‍පොලිස්පති ලලිත් පතිනායක මහතාගේ උපදෙස් මත ‍පොලිස් වංචා විමර්ශන ඒකකයට මෙකී විමර්ශන භාර වූයේය.

වංචා විමර්ශන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ ‍පොලිස් අධිකාරී රේණුකා ජයසුන්දර මහත්මියගේ උපදෙස් මත විශේෂ කණ්ඩායමක් විමර්ශන සඳහා පත් කෙරිණ.
අදාළ විමර්ශනවලට අනුව තොරතුරු සොයා ගැනීමට ‍පොලිස් කණ්ඩායම් සමත් වූහ.
මෙකී ජාවාරම කරගෙන ගිය ආයතනයට එරෙහිව ඉකුත් සතිය අග වන විට ‍පොලිස් වංචා විමර්ශන අංශයට ලද පැමිණිලි ගණන හතළිහක් ඉක්මවීය.

සෑම අයකුටම වංචා කළ මුදල රුපියල් ලක්ෂ පහ ඉක්මවා තිබිණ. මට්ටක්කුලිය බස් නැවතුම අසල අක්කර පහක පමණ ඉඩමක සුවපහසු නිවාස එක්දහස් අටසියයක් ඉදිකිරීම සඳහා මොවුන් ප්‍රචාරක කටයුතු කරගෙන ගොස් තිබුණේය.

එක් නිවසක වටිනාකම ලෙස පෙන්වා දී තිබුණේ රුපියල් පහළොස් ලක්ෂ අසූදහසකි. ඒ සඳහා වූ නිවාස සැලසුම් ද මට්ටක්කුලියේ ඉඩමේ ප්‍රදර්ශනය කර තිබුණේය. මුලින් රුපියල් පන්දහසක් ගෙවා අදාළ කොටස වෙන්කර ගැනීමටත් ඉන් සතියකට පසු රුපියල් ලක්ෂ ගණනක් ගෙවා එම ආයතනයේ නීතිඥයා බව කියන අලුත්කඩේ උසාවියේ සිටින නීතිඥයකු ලවා බදු ගිවිසුම් ගැසීමටත් මෙම ආයතනයේ හිමිකරු කටයුතු කර තිබුණේය.

රුපියල් ලක්ෂ හතර ගෙවූ පසු රුපියල් විසිපන්දහස බැගින් වාරික විසිහතරකින් ගෙවා නිවාස සංකීර්ණය ඉදිකළ පසුව ඉතිරි මුදල ගෙවීමටත් ගිවිසුම් ගසා තිබුණු අතර ගිවිසුමට අනුව 2006 දෙසැම්බර් 26 දා නිවාස සාදා අවසන් කර භාර නොදුනහොත් මෙම නිවාස ව්‍යාපෘතිය කරගෙන යන ආයතනය දිනකට රුපියල් තුන්සියය බැගින් එක් හිමිකරුවකුට ගෙවිය යුතුය.

මේ සියලු බලා‍පොරොත්තු මැද තම සිහින මාලිගයේ ඉක්මනින් පදිංචි වන්නට පෙරුම් පිරූ සියලු දෙනා මාසිකව බොරැල්ලට ගොස් එහි කාර්යාලයට මුදල් ද බැන්දෝය.
මට්ටක්කුලියේ ඉඩමට හැකි හැම අවස්ථාවේම ගිය මුදල් ගෙවූ පුද්ගලයන් නිවාස සංකීර්ණයේ වැඩකටයුතු ප්‍රමාද වීම ගැන ප්‍රශ්න නැගුව ද එහි හිමිකරු දුන් පිළිතුර දිනෙන් දින වෙනස් වීම නිසා සැක සංකා මතුවන්නට ද විය.

“මම බොරැල්‍ලේ ආයතනය මාස්පතාම වාරික මුදල් ගෙව්වා. දවසක් කට්ටියක් ඇවිත් කෑගහලා මගෙන් ඇහුවා කොහේද ඔය යන්නේ කියලා. ගේ හදන එකට සල්ලි ගෙවන්න යනවා කිව්වම එතැන අය කිව්වා ‘මුන් අලි හොරු මුන්ට සල්ලි දෙන්න එපා’ කියලා. එදා ඉඳන් තමයි අපි මේ වංචාකරුවන් ගැන සොයන්නට පටන් ගත්තේ.” මෙම වංචාවට අසු වූ ප්‍රියන්ත කුමාර හෙළි කළේය.

ජාවාරම්කරුවන්ට එරෙහි ව්‍යාපාරය කරළියට ආවේ ඒ අයුරිනි.
ජාවාරම්කාර ව්‍යාපාරිකයා ලබාදුන් චෙක්පත් බැංකුවෙන් ප්‍රතික්‍ෂේප වී ඇත්තේ ඒවායේ මුදල් නොවූ නිසාය. අවසානයේ අගරු චෙක්පත් ලබාදීමේ සිද්ධියට ආයතනයේ හිමිකරු රිමාන්ඩ් භාරයට පත් වූයේය.

එයින් පසුව මෙම ජාවාරම ගැන තවත් බොහෝ දෙනා දැනුවත් වුව ද ඇප ලබා පැමිණි සැකකරුගෙන් නැවත මුදල් ලබාගැනීමට හැකිවූයේ දෙසිය දෙනකුට පමණි.

දැනට කෙරෙන විමර්ශනවලට අනුව මෙකී ආයතනයෙන් නිට්ටඹුව, හොරණ, හුනුපිටිය ඇතුළු ප්‍රදේශවල මෙවැනි නිවාස ව්‍යාපෘති අරඹන බව හඟවා රුපියල් කෝටි ගණන් වංචා කර ඇතැයි ද අනාවරණය වන්නේය.

මට්ටක්කුලියේ මධ්‍යම පාන්තිකයන් නිවාස ඉදිකරන බව හඟවා පුද්ගලයන් එක්දහස් අටසිය ගණනකින් මුදල් ගෙන ඇති බවටත් ආපසු ගෙවා ඇත්තේ දෙසිය ගණනකගේ බවත් හෙළි වී ඇත.

විමර්ශන සිදු කරන වංචා විමර්ශන අංශයේ නිලධාරීහු මෙකී ජාවාරමට සම්බන්ධ සියලු තොරතුරු අනාවරණය කරමින් සැකකරුට නීතියේ හිඩැස්වලින් ගැලවී යාමට නොහැකි ලෙස සාක්කි එකරැස් කරන්නට ද වූහ.

මෙකී නිවාස ව්‍යාපෘතියට යොදාගත් මට්ටක්කුලියේ ඉඩමේ අක්කර පහෙන් අක්කර දෙකහමාරකට ගිවිසුමක් ගසා මුදල් නොගෙවා එහි හිමිකරු වූ මරියා ෆ්‍රැන්සිස් නමැති අයට හොරෙන් එම ඉඩමේ තවත් අක්කර දෙකාහමාරක් නිවාස ව්‍යාපෘතියට යොදාගැනීමට සැලසුම් කර ඇති බවත් අනාවරණය වූයේය.

නිවාස එක්දහස් අටසියයක් ඉදිකරන්නට මුදල් පවා ලබාගත්ත ද මෙම ව්‍යාපෘතියේ සැලසුම් පළාත් පාලන ආයතනවලින් අනුමත කර නොමැති බවත්, ඉඩම් හිමිකරුවන් සමග කිසිදු ගිවිසුමකට නොගොස් එම ඉඩම පෙන්වා මහජනතාවගෙන් මුදල් ගෙන ඇති බවත් සනාථ වූයේය.

රුපියල් පහළොස් ලක්ෂ අසූදහසකට කාමර දෙකකුත්, නානකාමර හා සාලයකින් සමන්විත නිවසක් ලබාදෙන බවට සිදුකර ඇති මහා වංචාව ගැන විමර්ශන අරඹා තිබියදීත් ජාවාරම්කරුගේ බොරැල්‍ලේ කාර්යාලය වෙතින් තවමත් මේ ගැන නොදන්නා අයගෙන් මාසික වාරික අයකරමින් තිබේ. බොරැල්‍ලේ පෑන්ඒෂියා බැංකුවේ ඇති ජාවාරම්කරුවන්ගේ ගිණුමකට මුදල් තැන්පත් කර එම රිසිට්පත මෙම ජාවාරම්කාර කාර්යාලයේ රිසිට්පත් නිකුත් කිරීම තවමත් සිදු වන්නේය. අන්තර්ජාලය ඔස්සේ ඔන්ලයින් ක්‍රමයට ද ඇතැමුන් තවමත් මුදල් ගෙවන්නේ මෙම ජාවාරමේ තරම ගැන නොදැනය.

තම වැටුපෙන් හරිහම්බ කරගත් මුදලින් වාරික ගෙවූ රාජ්‍ය සේවකයන්, විදෙස් ගතව සිටි ශ්‍රමිකයන් ඇතුළු මධ්‍යම පාන්තිකයන් රැසක් තම නිවාස සිහිනය සැබෑ කරගන්නට උත්සාහ කර තිබුණ ද අද වන විට ඒ සිහින සියල්ල බොඳවී හමාරය.

මෙකී මහජනතාවගේ මුදල් ගත් ජාවාරම්කරු බත්තරමුල්‍ලේ පිහිටි තම නිවසට ආරක්ෂකයන් හා කැමරා පවා යොදවා සුඛෝපභෝගී ජීවිතයක් ගෙවමින් සිටි බව ද හෙළි වන්නේය. ඔහුගේ දරුවෝ ජාත්‍යන්තර පාසල්වල ඉගෙනුම ලබති. බිරිඳ කොළඹ අවට පාසලක ගුරු වෘත්තියක නිරත වන්නීය.

අහිංසකයන්ට ගිනි ගෙඩි දී තම පවු‍ලේ අයට සුරසැප උරුම කර දුන් මේ ජාවාරම්කරු මට්ටක්කුලියේ නිවාස එක්දහස් ගණනක් ඉදිකර දෙන්නට මුදල් ලබාගත්ත ද අද වනතුරු එහි මුල් ගලක්වත් තබා නොමැත.

මිනිසුන්ගෙන් ලබාගත්ත මුදල්වලින් ප්‍රචාරක දැන්වීම් ආයතනයකට එක්කෝටි ගනනක් ගෙවා දැන්වීම් පළකර ජනතාව මුළා කරන මෙවන් ජාවාරම්කරුවන් නීතියේ හිඩැස්වලින් රිංගා තමන්ට එරෙහිව පැමිණිලි ලද විට ඒවා සිවිල් උසාවියේ නඩු කටයුත්තකට මාරුකර ගැනීම ද සිදු කරන්නේය.

ඇප ලැබිමෙන් අනතුරුව සුළු මුදලක් ගෙවා ගනුදෙනුකරුවන් අතරමං කර යෑම ද ඔවුනට ප්‍රශ්නයක් නොවන්නේ නීතියේ හිඩැස්වලින් තමන් ගලවාගන්නට නීතිඥයන් ද ඉදිරිපත් වන නිසාය.

තමන්ගේම කැදැල්ලක විසීමේ සිහිනය සැබෑ කරගන්නට ගොස් මෙසේ අතරමං වූ දහස් ගණනක් රට පුරා සිටිය දී ඉදිරියේදීවත් මෙවැනි දෙයකට අසුවන්නට පෙර කල්තියාම දැනුවත් වී වංචාකරුවන්ගේ උපක්‍රමවලින් බේරීමට ජනතාව බුද්ධිමත් විය යුතුය.


Wmqgd .ekSu nqoqirK mqj;a m; weiqfrks

More News »