පාතාලයම හොල්ලපු සමයංට වෙච්ච දේ

2017-03-09 10:17:00       612
feature-top
බන්ධනාගාර බස් රථවලට පහරදීම මෙන්ම අධිකරණ ඇතුළේ බෝම්බ අටවා තම විරුද්ධවාදීන් ඝාතනය කිරීමට තරම් ඇතැම් විට පාතාලයෝ සමත් වූහ.

පාතාලයේ කෙරුමකු වූ පාමංකඩ අශෝක ගංගොඩවිල අධිකරණය තුළදී මරා දමන්නට නාවල නිහාල් නමැති පාතාල නායකයා සැලසුම සකස් කරන්නේ ඉතා සූක්ෂ්ම අයුරිනි. මෙහිදී අධිකරණයේ සිරමැදිරියේ සිවිලිම මත ක්‍ලේමෝ බෝම්බයක් සහිත සෙල්ලම් කාරයක් තබා පාමංකඩ අශෝක සිරමැදිරිය වෙත රැගෙන ආ පසුව ඊට මීටර් විසිපහක දුරින් ලොරියක සිට දුරස්ථ පාලකයකින් පුපුරුවා හරින්නේය. ඒ සඳහා යොදා ගත්තේ හමුදාවෙන් පැනගිය කමාන්ඩෝ පුහුණුව ලත් පාතාල සාමාජිකයෙකි.
එසේ තම ප්‍රතිවාදියා අධිකරණය තුළදීම මරා දමන නාවල නිහාල් මරු දකින්නේ තමන්ගේ ඇටකටුවත් මහ‍පොළොවට එක් නොකරය.

‍පොළොවේ පස් වෙනුවෙන් මරා ගන්නා මිනුවන්ගොඩ පාතාලයේ ගෝඩ් ෆාදර් ලෙසින් සිටි අලවතුගොඩ ජයතිලක ගම්පහ අස්ගිරිය පාලම උඩදී බන්ධනාගාර බස් රථයකට පහරදී බන්ධනාගාර නිලධාරීන් දෙදෙනකු හා සිරකරුවකු මරා දමන්නේ තම පාතාල කල්ලි යොදවමින්ය.

2005 ඔක්තෝබර් මස ගම්පහ උසාවියේ පැවැති නඩුවකට එන අසිත හා අසිතගේ ගෝලයා වූ උදයා රැගෙන එන බන්ධනාගාර බස් රථයට අස්ගිරිය පාලම මතදී පහර දෙන්නේ ටිපර් රථයක් බන්ධනාගාර බස් රථය අවහිර වන සේ හරස් කරමිනි. ටිපර් රථයේ සිටි පස්‍පොඩ්ඩා, මාදුළුවේ සාගර, ලොකු අයියා ඇතුළු සිව්දෙනකු ටී-56 ගිනි අවි හතරක් යොදාගෙන මෙම ප්‍රහාරය එල්ල කරන්නේය. ඒත් එහිදී අසිත දිවිගලවා ගත්තේය. එහෙත් එසේ ගිලිහුණු ඉලක්කය සපුරා ගත්තේ මීගමුව බන්ධනාගාරයට ඉතා සූක්ෂ්මව පිස්තෝලයක් යවමිනි.

දකුණේ පාතාලයේ කෙරුමකු වූ සුනිල් රත්නවීර රැගෙන යමින් සිටි බන්ධනාගාර බස් රථයට පහරදී ඔහු පැහැරගෙන වෑන් රථයක දමාගෙන ගොස් රත්නවීරගේ බලකොටුවේදීම මරා දමන්නට එදා වම්බොට්ටාගේ කල්ලියට හැකි වූයේය.

මේ සියලු පාතාල ප්‍රහාර අබිබවා ඇඟකිලි‍පොළා යන චිකාගෝ ක්‍රමයේ ඝාතනයක් දැක ගන්නට හැකිවූයේ පසුගිය සඳුදා (27) පාතාල නායක සමයංට ඇතිවූ ඉරණම සමගය.
කඩුවෙල සිට අවිස්සාවේල්ල දක්වාත්, අතුරුගිරිය, පාදුක්ක, මුල්‍ලේරියාව ‍පොලිස් බල ප්‍රදේශවල මෙන්ම රට පුරාම ඝාතන කොන්ත්‍රාත් මෙහෙයවූ රණා‍ලේ සමයං හෙවත් අරුණ දමිත් උදයංග ප්‍රදේශයට භීතිකාවක් වී තිබුණේය.

සමයං ඝාතනය වන්නේ ඔහුගේ ප්‍රතිවිරුද්ධ පාතාල කණ්ඩායම් දෙකක් වන මාකඳුරේ මධුෂ් හා අංගොඩ ලොක්කාගේ කල්ලි දෙක එක්වී මෙහෙයවූ සූක්ෂ්ම සැලසුමක් අනුවය.

සමයං ඝාතනය කරන්නට අංගොඩ ලොක්කාගේ කල්ලිය මීට පෙර සැලසුම් කරන්නේ කඩුවෙල අධිකරණය තුළදීමය. ඒ සඳහා යොදා ගන්නේ යුද හමුදාවෙන් ඉවත්ව සිටි දක්ෂ වෙඩික්කරුවකු මෙන්ම පාපැදි ශූරයකු වූ චමින්ද සඳමාල් නොහොත් චමීවය. වාහන කොල්ලයකට හිරේට යන චමී වැලිකඩ හිරගෙදර ගණන්කාරයකු ලෙස සිටි සමයංව ගණනකට නොගත් තැන දිගින් දිගටම සමයං කල්ලියේ අරියාදුවලට ලක්වී සිටියදී හිරෙන් නිදහස් වන්නේ යළි සමයංගෙන් පළිගන්නා බවට තර්ජනය කරමින්ය.
චමීගේ වෛරයම ඇතිව ජීවත් වන අංගොඩ ලොක්කා චමීට මයික්‍රෝ පිස්තෝලයක් ලබාදී සමයං මරන්නට පිටත් කරන්නේ දැන්වත් සමයංගේ පීඩනයෙන් මිදිය හැකි බව සිතාගෙනය. කකු‍ලේ රඳවාගෙන පිස්තෝලය කඩුවෙල උසාවි භූමියට රැගෙන එන චමී කඩුවෙලටම සාපයක් වූ සමයංට නඩු විභාගය අතරතුරදීම වෙඩි තබන්නේය. එක් වෙඩිල්ලක් වැදී තුවාල ලබන සමයං එදා මරණයෙන් බේරෙන්නේ මයික්‍රෝ පිස්තෝලය හිරවී ක්‍රියාවිරහිත වීම නිසාය.

2015 සැප්තැම්බර් 23දා සමයං මරණය දැක දැක ජීවිතය බේරාගත්තද ඉකුත් සඳුදා සමයං සොයා මාරයා ආවේ අමුතුම ආකාරයකටය.

සමයං යළිත් කඩුවෙලදී ඝාතනය කිරීමේ තැතක් ඇතැයි අනුමාන කළ නිසා මිරිහාන ‍පොලිස් ඒකක, පෑලියගොඩ ‍පොලිස් ඒකක ඇතුළු ‍පොලිස් කණ්ඩායම් කඩුවෙල අධිකරණ සීමාවේ ආරක්ෂාව ගැන වගබලා ගත්හ.

නමුත් සමයංගේ ඝාතකයන් යෙදුවේ අපූරු සැලසුමකි. කඩුවෙලදී සමයං රැක ගන්නට සියලු දෙනාම සැලසුම් කරද්දී ප්‍රහාරකයන් තෝරා ගන්නේ කාටත් සැක නොහිතෙන තැනකි.

එහෙත් එය පාතාල පිරිස්වලට තේරුණද ආරක්ෂක අංශ එය තේරුම් නොගැනීම හරහා පෙනී යන්නේ ලංකාවේ ආරක්ෂක අංශ අද පත් වී තිබෙන දුර්වල තත්ත්වය මිස අන් යමක් නොවේ.

කළුතර, මල්වත්ත බන්ධනාගාරයේ සිට මීටර් දෙසීයක් පමණ දුරකින් පිහිටි පාළු කඳුගැට සහිත තැනක් ප්‍රහාරයට තෝරා ගත්තේ ප්‍රහාරයේ සැලසුම දක්ෂ යුද පුහුණුවක් ලද අයගේ වීම නිසා විය හැකිය. මාකඳුරේ මධුෂ්ගේ ඇතුළු පාතාල කල්ලිවල යුද්ධයේ මනා අත්දැකීම් ඇති විශේෂ බළකා, කොමාන්ඩෝ වැනි රෙජිමේන්තුවලින් පැන ගිය දක්ෂ ප්‍රහාරකයෝ සිටිති. එපමණක් නොව කොටි ත්‍රස්තවාදීන්ගේ සුවිශේෂ පුහුණුව ලත් රාධා බළකායේ කොටි සාමාජිකයන්ද දකුණේ  පාතාලයේ සාමාජිකත්වය දරති. ‍පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් කොස්ගොඩ සුජීගේ කල්ලියට අයත් කෙනඩි නමැති කොටි සාමාජිකයා දකුණේ මිනිස් ඝාතනවලට අත්අඩංගුවට ගැනීමෙන් පසුව මේ බව තහවුරු වී තිබේ.

කඩුවෙල උසාවියේ පැවැත්වෙන නඩු විභාගය සඳහා සමයං රැගෙන යාමට කළුතර බන්ධනාගාරයේ බස් රථ දෙකක් සූදානම් කෙරෙන්නේය. ඒ සඳුදා උදෑසනය.
ජේලර් විජේරත්න ඇතුළු බන්ධනාගාර නිලධාරීන් එකොළොස් දෙනකු සමග බන්ධනාගාර බස් රථයේ, පාතාල නායක සමයං ඇතුළු අපරාධකරුවන් පස්දෙනකු රැගෙන කඩුවෙල බලා එන්නේ වෙනදාට ලැබෙන ‍පොලිස් ආරක්ෂාවද නොමැතිවය.
බස් රථය කළුතර බන්ධනාගාරයේ සිට කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට එන්නට සැලසුම් කර තිබුණේ අධිවේගී මාර්ගය ඔස්සේය. ඒත් අධිවේගී මාර්ගයට පිවිසීමට ප්‍රථම එතනමඩල ප්‍රදේශයේදී ඉදිරිපසින් ගමන් ගනිමින් තිබූ කැබ් රථයත් මග හරස් වීමත් සමග වෙඩි වරුසාවකට ලක් වන්නේ නොසිතූ මොහොතකය.

කැබ් රථය නිසා බස්රථවලට වේගය අඩාළ වීමත් සමග දෙපස වූ කඳු ගැට දෙසින් ටී 56 අවි යොදාගෙන එල්ල වූ වෙඩි වරුසාවත් සමග සියල්ල මොහොතකට නැවතුණේ වෙඩි හඬට ඉඩක් දෙමිනි. ප්‍රහාරකයන් යුද බිමේදී සතුරු වාහනයකට පහර දෙන්නාක් මෙන් වෙඩි ප්‍රහාරයක් එල්ල කළහ. එක් පසෙකින් වෙඩි ප්‍රහාර එල්ල වන අතරේ අනෙක් පැත්තේ සිටි අවිගත් ප්‍රහාරකයන් බන්ධනාගාර බස්රථය වෙත කඩා වැදුණහ.
‍පොලිස් නිල ඇඳුම් හැඳගත් තුවක්කුකරුවන් තමන්ගේ ඉලක්කය වූ සමයං සොයා බන්ධනාගාර බස් රථය තුළට කඩා වදින්නේ යළි සමයංට හිතාගන්නටවත් ඉඩක් නොතබමිනි.

‍පොලිස් පරීක්ෂකවරයකු ලෙස නිල ඇඳුම් ඇඳගත් තුවක්කුකරුවකු එහි පැමිණෙද්දී ‍පොලිසිය සහායට පැමිණ ඇතැයි බන්ධනාගාර නිලධාරීන්ට සිතුවිල්ලක් පහළ වුවද එයද සිතාගත නොහැකි වන්නේ වෙඩි ප්‍රහාර නොනවතින්නට වූ නිසාය.
බස් රථයට කඩා වැදුණු නිල ඇඳුම් ඇඳගත් අවිකරුවන් තම වෛරය පිරිමසමින් පාතාලයේ කිරුළ ගන්නට වෑයම් කළ සමයංගේ මුහුණ රැලි වෙනතුරු වෙඩි තබා මළ සිරුර බස් රථයේ පාපුවරුව දක්වා ඇදගෙන විත් දමා තිබිණි.

මේ සියල්ලටම ගතවන්නේ විනාඩි කිහිපයකි. කොණ්ඩා කොටට කපාගත් අවිකරුවන්ට පතොරම් ගැබ මාරු කර තවත් ගැබක් යොදන්නට යන්නේ නිමේෂයකි. මෙම වෙඩි හුවමාරුව සිදුවන මොහොතේ බන්ධනාගාර නිලධාරීන්ට ආරක්ෂාව සඳහා ටී 56 අවි පහක් තිබුණද එයින් ගිනිඅවි එකක් ඇරෙන්නට අනෙක්වා අතට ගන්නටවත් ප්‍රහාරකයින්ගෙන් ඉඩක් නොලැබෙන්නේය.

මෙම ප්‍රහාරය එල්ල වත්ම බන්ධනාගාර නියාමක එස්. සන්නිගම් තම තුවක්කුවෙන් පතුරම් ගැබම නිකුත් වන්නට ප්‍රහාරයක් එල්ල කරන්නට උත්සාහ ගත්තද උණ්ඩ පහළොවක් නිකුත් වීමෙන් පසු ඔහුද ‍ලේ විලක් මැද ප්‍රහාරයට ලක්ව මියගොස් තිබුණේය. බන්ධනාගාර ජේලර් විජේරත්නද මෙම ප්‍රහාරයෙන් ජීවිතයෙන් සමු ගත්තේය. තවත් නියාමකයින් පස්දෙනකු තුවාල ලබා සිටියහ.

විනාඩි ගණනක් ඇතුළත ප්‍රහාරකයන් කැබ් රථය අතැර දමා ඩොල්පින් වර්ගයේ වෑන් රථයෙන් පලා ගියහ.

තත්පර ගණනකින් සියල්ල හමාර කළ ප්‍රහාරකයන් එතැනින් පලා යන්නේ පාතාලයද භීතියට ලක් කරමිනි.

අංගොඩ ලොක්කා සමග අතුරුගිරියේ ලඩියා ඇතුළු දහයකට ආසන්න පිරිසක් මෙම ප්‍රහාරයට එක්ව ඇති බවත් ප්‍රහාරයට අනුව ටී 56 අවි හයකට වඩා රැගෙන විත් ඇති බවත් විමර්ශන කණ්ඩායම් තහවුරු කරගෙන තිබේ. අංගොඩ ලොක්කාගේ කල්ලියේ සහායට මාකඳුරේ මධුෂ්ගේ කල්ලිය සියලු පහසුකම් සපයා ඇති බවටද තොරතුරු ලැබි තිබේ.

ප්‍රහාරකයන් සොයා ‍පොලිස් පරීක්ෂණ මෙහෙයවද්දී ප්‍රහාරකයන් පැමිණි වෑන් රථයද මොරගහහේන ප්‍රදේශයේ දමා එම කල්ලිය අතුරුදන් වූහ. එම වෑන් රථයද කොළඹ මරදාන ප්‍රදේශයේදී පැහැරගත් එකක් බව පසුව හෙළි වී තිබේ. මෙකී ඝාතකයන් ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර මගින් විදෙස්ගතවීමේ සූදානමක් ගැනද හෙළිවූයෙන් වහාම කටුනායක හා මත්තල ගුවන් තොටුපළවල ආරක්ෂාවද තර කෙරිණි.

ලෙයට ලෙයින් පළිගන්නා පාතාල මෙහෙයුම් අතරේ සමයං ඝාතනය කරන්නට යෙදූ සැලසුම සුවිශේෂී එකක් වූයේය. බන්ධනාගාර බස් රථය අදාළ ඉලක්කගත තැනට එන මොහොත වන විට කැබ් රථයේ වේගය අඩු කර ඉලක්කය පහසු කර දීමත් මාර්ගය දෙපස අවිකරුවන් කෙටි කාලයක් තුළ ඉලක්කය සපුරා පැන ගැනීමත් සිදුවූ ආකාරය අනුව එය සාර්ථක සැලැස්මක් වූයේය.

මේ අයුරෙන් අංගොඩ ලොක්කාගේ කල්ලිය තම ජීවිතය පරදුවට තබා ආයුධ සන්නද්ධ බන්ධනාගාර නිලධාරීන් සමග සටන් කරන්නට එන්නේත් සමයං තවදුරටත් ජීවත් වුවහොත් තම ජීවිතවල ඉරණම තීරණය වන බව දන්නා නිසාවෙනි.

රණා‍ලේ සමයං කඩුවෙලින් පාතාලයට පයගසා අවිස්සාවේල්ල දක්වාත්, කොළඹ දක්වාත් බලය පතුරුවා පාතාලයේ ගෝඩ් ෆාදර් වීමේ සිහිනයෙන් පෙළුණු අයෙකි. අනෙක් පාතාල කණ්ඩායම් පාතාල ක්‍රියාකාරකම්වල නිරත වුවත් ඔවුන්ටම වෙන්වූ සදාචාරයක් තිබුණේය.

නමුත් සමයං වටා එක්වූ තරුණයන් ගංජා,  මත්පැන් බි විකෘති මනසකින් යුක්තව ගෝත්‍රිකයන් මෙන් දුටු දුටු තැන තමන්ට හිතෙන අය කපා කොටා දමන තරමටම මස් වැද්දන් සේ ක්‍රියා කළහ.

‍පොළොන්නරුවේ උපන් බව කියන සමයං කුඩා කල පටන් දෙමාපියන් අහිමි වූ දරුවෙකි. ඔහු දරුවකු ලෙස හදවඩා ගන්නේ ගුරු යුවළකි. සමයංට අවුරුදු පහේදී හදාවඩාගත් පියා මියගිය පසුව ඔවුන්ට අයත් දේ‍පොළ ඥාතීන්ගෙන් ආරක්ෂා කර ගන්නට මවට හා සමයංට තනිවම සටනක් කරන්නට වූ බව සමයං වරක හෙළි කර තිබුණේය.

කෙසේ වුවත් ගම්මු කියන්නේ මත්කුඩුවලට හුරු වූ සමයං තමන් හදා වඩාගත් දෙමාපියන්ගේ දේ‍පොළත් විකුණා මත්කුඩු පාවිච්චි කළ බවයි. අඹත‍ලේ නගරයේ වූ ඔවුන් සතු කඩකාමර පවා විකුණා දමා රණාල ප්‍රදේශයේ නන්නත්තාර වූ රස්තියාදු කණ්ඩායම් සමග ගංජා හා හෙරොයින් පානයට පුරුදු වූ සමයංගේ අත මුදල් ගැවසුණු නිසා පිරිස් බලයක්ද ඔහු වටා එක්රැස් වන්නේය.

රණාල බටේවේල නිශාන්ත නමැති එම ප්‍රදේශයේ නමක් දිනූ පාතාල කල්ලි ප්‍රබලයාගේ ඇවෑමෙන් කරළියට එන සමයං ගැටුමකට මුල්වී ‍පොලිස් අත්අඩංගුවට පත්ව හිරගෙදරට ගොස් අපරාධකරුවන් අතරේ අපරාධ රැල්ලට අතගසන්නේය.
එතැන් පටන් අපරාධ රැල්ලකට කර ගසන සමයංට මිනීමැරුමක් සඳහා ලක්ෂ පහක කොන්ත්‍රාත්තුවක් ලැබෙන්නේ කෙසෙල්වත්තෙන්ය.

පිටකොටුවේ පලතුරු වෙළෙඳාමේ නිරත වූ පවුල් දෙකක් වූ කිත්සිරි හා නීල්ගේ පවුල් දෙක අතර ගැටුම මුලින්ම කෙළවර වන්නේ නීල්ගේ මරණයෙනි. එම චෝදනාව එල්ල වන්නේ කිත්සිරි ජයසේකර වෙතය. එහි පළිය ගන්නට නීල්ගේ පුත් කෙසෙල්වත්තේ දිනුක හා පවු‍ලේ අය කිත්සිරිගේ පුතා ඝාතනය කළ වරදට සිරගත වන්නේය. එයින් නොනැවතුණ දිනුකලා ලක්ෂ පහක කොන්ත්‍රාත්තුවක් දී සමයං ලවා කිත්සිරි ජයසේකර ඝාතනය කරවන්නේය.

එම කොන්ත්‍රාත් ඝාතනයෙන් කරළියට ආ සමයං යළිත් වැලිකඩ බන්ධනාගාරයට ගොස් පාතාල ලෝකයේ ඉදිරි ගමන සඳහා කණ්ඩායම් රැස් කරන්නේය.
බටේවෙල නිශාන්ත මේ වන විට සුදු වෑන් රථයකින් පැමිණි පාතාලයට එරෙහි කණ්ඩායමක් විසින් අතුරුදන් කර තිබූ නිසා එම කල්ලියට නායකත්වය දුන්නේ කුමාර නොහොත් සරාය.

සරා මේ වන විට රණා‍ලේ පුද්ගලික සමාගමකට සේවකයන් සැපයීමේ කාර්ය සඳහා අතගසා තිබූ අතර සමයංද එහි අයිතිය තමාට ගැනීමට සටනක් කළේය. එම සටනේ ප්‍රතිඵලයක් ලෙස සමයංගේ ගෝලයකු වූ චාමර සරා අතින් ඝාතනයට ලක් විය. එම ඝාතනයට සිරගතවී ඇපමත පැමිණි සරාව මාතරින් ගෙන්වූ කුලී ඝාතකයෙක් යොදවා රණා‍ලේ නගරයේ ධර්ම දේශනාවක් පැවැත්වෙන තැනකදී දෙනෝ දාහක් බලා සිටියදී මරා දැමුවේද සමයංය.

සරා මරා කඩුවෙල බලය අතට ගත් සමයං එතැන් පටන් හෙරොයින් ජාවාරම හරහා තමා වෙත තව තවත් බලය වැඩි කර ගත්තේය. තමන්ට එරෙහිව යන ඕනෑම අයකු කපා කොටා දමන්නට ම්‍ලේච්ඡ කල්ලියක් නිර්මාණය කළේය.

සමයං තමා සමග සිට විරසක වූ අයටද දුන්නේ මරණ වරෙන්තුවය. දිනේෂ් රුවන් ඒ ආකාරයට ඝාතනය වූ අයෙකි. දිනේෂ්ව රණා‍ලේ ආපනශාලාවක් තුළදී ඝාතනය කෙරන්නේ කපා කොටා කුරිරු වධයට ලක් කරමිනි.

කොන්ත්‍රාත් ක්‍රමයට මිනීමරන්නටත්, තමාට අභියෝගයක් වන අය මරා දමන්නටත් පසුබට නොවුණු සමයං කඩුවෙල ව්‍යාපාරිකයන් බියවද්දවා කප්පම් ගන්නටද වූයේය. මාසයකට ලක්ෂ විස්සකට ආසන්න මුදලක් කඩුවෙල ව්‍යාපාරිකයන්ගෙන් හා ගල්මෝල් හිමියන්ගෙන් ලබාගත්හ. මාසිකව කප්පම් ලබාදීම හැර ‍පොලිසියේ සරණක් පැතීමට ව්‍යාපාරිකයන් බිය වූයේ නීතිය ක්‍රියාත්මක කරන ‍පොලිසියේ අයද සමයංට උදව් කරන්නට වූ නිසාය.

සමයංගේ විවාහක බිරිඳට දරු දෙදෙනකු වන අතර දෙවැනි බිරිඳට එක් දරුවකි. මේ වන විට සංවිධානාත්මක අපරාධකරුවකු ලෙස හිස ඔසවා සිටි සමයංට බන්ධනාගාර නිලධාරින්ගේද සහාය නොමඳව ලැබුණේය. ඇතැම් කාලවල සමයං සිටියේ ප්‍රධාන ජේලර්ගේ කාමරයේය.

ඇතැම් විට සමයංගේ ගෝල බාලයන්ද සුළු වැරදිවලට අසුවී හිරගෙදරට ආහ. ඒ ඔහුගේ ආරක්ෂාව පිණිසය. පසුගිය මැතිවරණයේදී බන්ධනාගාරයේ සිට ප්‍රබල දේශපාලනඥයකුට සහාය දුන් සමයං බන්ධනාගාරයේ සිට තම කටයුතු මෙහෙයවූයේය. වරෙක සමයං සතුව තිබි 3ට් වර්ගයේ රුපියල් ලක්ෂයක් පමණ වටිනා ජංගම දුරකථනයක් වැලිකඩ වයි.ඕ. අංශයේදී හමුවූයේය.

බන්ධනාගාරයෙන් ඇපලබා නිදහස්ව යාම ජීවිතය අනතුරේ වැටීමක් වියහැකි නිසා සමයං බන්ධනාගාරය තම මෙහෙයුම් මූලස්ථානය කරමින් බන්ධනාගාරය තුළම රජ සැප වින්දේය.

කඩුවෙල බලය අතුරුගිරියටත් අංගොඩටත් ව්‍යාප්ත කරන්නට යද්දී සමයං හා ප්‍රතිවිරුද්ධ කල්ලිවල ගැටුම් හට ගත්තේය. සමයං අතුරුගිරියේ බාල්දි ප්‍රියන්තව අහවර කර අතුරුගිරියේ බලය ඇල්ලීමට සැලසුම් කළේය. අංගොඩ ලොක්කා අහවර කර අංගොඩ බලය අල්ලන්නට සැලසුම් කළේය.

සමයං නිසා පීඩාවට පත්වූ පිරිස් බාල්දි ප්‍රියන්ත හා අංගොඩ ලොක්කා වටා එක්ව සිටි අතර සමයං එකින් එක ඔවුන්ගේ ගෝල බාලයන් බිල්ලට ගත්තේය.
අංගොඩ ලොක්කාට ඇප මත පැමිණ නිදහසේ ජීවත් වන්නට සමයං ඉඩක් දුන්නේ නැත. ලොක්කාට උදව් කරන අය සොයමින් පීඩාවට පත් කරන අතරේ ලොක්කාගේ ළඟම සිටි රත්තරන්ව අංගොඩදී ඝාතනය කළේය.

වයස අවුරුදු 32ක පමණ තරුණයකු වන අංගොඩ ලොක්කාත් පාතාල ලෝකයට බසින්නේ පාතාලයෙන්ම එල්ලවූ තර්ජන නිසාය. බන්ධනාගාර නියාමකයකු වන්නට ඉල්ලුම් පත්‍ර යොමු කර ඒ සඳහා සුදුසුකම් ලබා යන්නට දින ගණනක් තිබියදී තමාටත් හිතවතුන්ටත් භීෂණයක් වූ අංගොඩ මෝචාව අහවර කර හිරේට යන්නේ නියාමකයකු ලෙස නොව අපරාධකරුවකු ලෙසය.

අංගොඩ මෝචා පාතාලයේ ගෝඩ් ෆාදර් වූ කරාටේ ධම්මිකගෙන් පසු බිහිවූ ප්‍රදේශයටම පිළිලයක් වූ අයකු විය. ලොක්කා සමග සිටින රත්තරන්ගේ අයියාටත් චීටිත් ඇතුළු කණ්ඩායමට මෝචාගෙන් බේරීමට නොහැකි වූ තැන අංගොඩදීම මෝචාව අවසන් ගමන් යවා ලොක්කා පාතාලයට ප්‍රවිෂ්ට වූයේය.

අංගොඩ, මුල්‍ලේරියාව, වැල්ලම්පිටිය, අයි.ඩී.එච්. ප්‍රදේශ කේන්ද්‍ර කරගෙන හිස ඔසවන ලොක්කා දකුණේ පාතාලයේ ප්‍රබල චරිතයක් වූ මාකඳුරේ මධුෂ් සමග ළඟම සබඳකම් පැවැත්වූයේය.

ඒ මේ වන විට මධුෂ්ගේ ප්‍රතිවිරුද්ධ කල්ලිය වන කොස්ගොඩ සුජිගේ කල්ලිය සමයංට උදව් කරන්නට වූ නිසාය.

හෙරොයින් ජාවාරම හා පාතාල බලය වෙනුවෙන් දකුණේ මරා ගන්නා එකී පාතාල කල්ලි දෙක කොළඹ පාතාලයද එකිනෙකට සම්බන්ධ කරගෙන ගැටුමකට මුලපුරා තිබුණේය.

දක්ෂිණ සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති වූ ඩැනී හිත්තැටිය මහතා ඝාතනයේ ප්‍රධාන මොළකරු බව කියන මාකඳුරේ මධුෂ් එම ඝාතනයට යොදා ගත් හර්ෂ යසශ්‍රිව සමයං කල්ලියේ ප්‍රහාරයකට ලක්වන්නේ මේ අතරේය.

සමයං කඩුවෙල අධිකරණයේදී ඝාතනය කිරීමට ආ චමීට පිස්තෝලය ලබාදීමේ වරදට හර්ෂව මරන්නට සැලසුම් කරන සමයං එම ඉලක්කය බොරැල්ල, ඔබේසේකරපුරදී 2016 මාර්තු 03දා සපුරා ගත්තේය. දකුණේ පාතාලය සතු ඝාතකයකු වූ හර්ෂ අනියම් බිරිඳගේ නිවසේ සිටියදී ඝාතනය වූයේය.

මෙම ඝාතනයෙන් වියරු වැටුණු මධුෂ් හා ලොක්කා සමයංට පාඩමක් උගන්වන්නට සැලසුම් කළහ. සමයංට තුන්වේලටම කෑම රැගෙන බන්ධනාගාරයට එන දෙවැනි බිරිඳ ඝාතනය කර හර්ෂගේ අවසන් කටයුතු සිදුවන්නට පෙර සමයංට රිද්දවීම ඔවුන්ගේ අරමුණ වූහ.

ඒ අනුව ඇල්පිටියේ ජෝශප් කොළඹට එවා වැලිකඩ බන්ධනාගාරය අසලදී සමයංගේ බිරිඳව මරා දමන්නට යොදන සැලසුම වැරදී සමයංගේ බිරිඳයැයි සිතා ගැබිනි කාන්තාවකට වෙඩි තබන්නේය.

මෙයින් පසුව සමයංව විශේෂ ආරක්ෂාවක් මධ්‍යයේ රඳවා තැබූ අතර වැලිකඩින් කළුතර බන්ධනාගාරයට යොමු කරන්නේද විශේෂ ආරක්ෂාව සඳහාය.
මෙයින් නොනැවතුණ සමයං අංගොඩ කල්ලියේ රත්තරන් අංගොඩදී ඝාතනය කරවන්නේය. අතුරුගිරියේ කල්ලියේ බණ්ඩාවද අතුරුගිරියේ කොණ්ඩා කපන තැනකදී ඝාතනය කරන්නේය. සමයංගේ භීෂණය නිසා අතුරුගිරිය කල්ලියට නායකත්වය දුන් බාල්දි ප්‍රියන්ත ඔස්ට්‍රේලියාවට පැන ගන්නේය. ලඩියා එම කල්ලියේ තැනට ආවේය.
ලඩියාත් ලොක්කාත් හැම මොහොතේම මරණ වරෙන්තුව අතැතිව සිටියේ සමයං කොයි මොහොතේ හෝ ඉස්සර වන නිසාය. අවසානයේ රටටම පිළිලයක් වූ සමයං ත්‍රාසජනක චිත්‍රපටයක මෙන් අවසන් ගමන් යවන්නේද මෙම කල්ලිවල එකමුතුවෙනි.
කෙසේ වුවද මෙකී ඝාතන රැල්‍ලේදී නිමාවක් දකින්නටද නොමැත.

මෙතුවක් කාලයක් සමයං නිසා හුස්මක්වත් නොගත් ව්‍යාපාරිකයන් දැන් නිදහසේ හුස්ම ගනිති. සමයංගෙන් පීඩනයට පත් වූවන් කොතරම්ද කියා දැනෙන්නේ අතුරුගිරිය, නවගමුව, පාදුක්ක, මුල්‍ලේරියාව ‍පොලිස් වසම්වල තවමත් සමයංගේ මරණයට රතිඤ්ඤා පත්තු වන නිසාය. සමයං මරණයට පත්වූ පසු කිරිබත් උයා බෙදා දුන් අවස්ථාද වූයේය.

මිනීමැරුම් ගණනකට වගකිවයුතු සමයං මීට පෙර අවස්ථාවල හිරගෙදර සිට උසාවි ගෙන යන්නට ‍පොරකන බන්ධනාගාර නිලධාරීන්ද වැලිකඩ සිටියේය. ඒ එක් ගමනක් සඳහා රුපියල් ලක්ෂයක් පමණ වියදම් කර එම නිලධාරීන්ට කන්නට බොන්නට දී අතටද දහස් ගණන් මුදල් දීමට සමයං පුරුදු වී සිටි නිසාය. මේ නිසාම කඩුවෙල උසාවියේදී වෙඩි කන්නට පෙර සමයං උසාවි ආ දිනවල බන්ධනාගාර වාහනයේම නිවසට ගොස් බිරිඳ සමගද කාලය ගත කර යන බව පාතාල මර්දන ඒකක අනාවරණය කර තිබුණේය.

එපමණක් නොව නවගමුව ‍පොලිසියේ කලින් සිටි ‍පොලිස් ලොක්කන්ද සමයංට එරෙහිව ‍පොලිස් ‍පොත්වල අකුරක්වත් නොලියා සියලු වරදාන ලබා ගත් වගද හෙළි වූයේය. හිටපු ‍පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා මේ නිසාම කඩුවෙල වෙළාගත් සමයංගේ පාතාලය මැඬ පවත්වන්නට වත්මන් ‍පොලිස් ස්ථානාධිපති වූ ‍පොලිස් විශේෂ කාර්ය බළකායේ දක්ෂ නිලධාරියකු වූ ‍පොලිස් පරීක්ෂක මංජුල ද සිල්වා පත් කර එවා භීෂණය මැඬ පැවැත්වූයේය.

සමයංගේ ක්‍රියාකාරකම් ඇනහිටියද සමයං අවසන් මොහොත දක්වා හොර රහසේ ව්‍යාපාරිකයන් බියවද්දවා කප්පම් ගත් බව හෙළි වන්නේය. මීට සතියකට පෙර වැලිපිල්ලෑවේ ව්‍යාපාරිකයකු බියවද්දවා ටී-56 අවියක් ගන්නට ලක්ෂ හතරක් නොදුනහොත් මරා දමන බවට තර්ජනය කර තිබුණේය. අවසානයේ එකී පුද්ගලයා තම ඉඩම උකස් කර ලක්ෂ හතරක් සමයංට ලැබෙන්නට සලස්වා මරණ වරෙන්තුවෙන් බේරී තිබුණේය.

එපමණක් නොව කඩුවෙල පුද්ගලික බැංකුවල කළමනාකරුවන් හා සේවකයන්  බියවද්දවා ගනුදෙනුකරුවන්ගේ ගිණුම්වල ශේෂය විමසා කප්පම් ගැනීමේ ක්‍රමයක්ද සමයං පවත්වාගෙන ගොස් තිබුණේය. කඩුවෙල ඉඩමක් හෝ දේපළක් විකුණුවහොත් බැංකුවට දමන මුදල් ගණන සොයා හිමිකරුවන්ගෙන් කප්පම් ඉල්ලාගැනීම සමයංගේ සිරිත විය. මේ ආකාරයට රටට පිළිලයක් වූ සමයං සමාජයට පණිවුඩයක් දෙමින් මරණය උදා කර ගත්තේ අවිගත් පාතාලයන්ගේ ඉරණම රටට කියා දෙමිනි.

සමයංගේ ඝාතනයෙන් පසුව හිරගෙවල්වල සිටින දරුණු ගණයේ අපරාධකරුවන්ට එස්.ටී.එෆ්. ආරක්ෂාව ඉල්ලා සිටින්නට බන්ධනාගාර බලධාරීන් කටයුතු කරමින් සිටිති. නමුත් සංවිධානාත්මක අපරාධ මැඬලන්නට සුවිශේෂ පුහුණුවක් ඇති විශේෂ කාර්ය බළකා භට කණ්ඩායම් සංවිධානාත්මක අපරාධකරුවන් ආරක්ෂා කිරීමට යෙදීම කාලෝචිත නොවන්නේය. සිරකරුවන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කිරීම බන්ධනාගාරයේ වගකීමය. පුහුණුව ලත් නියාමකවරුන් හා බන්ධනාගාර බුද්ධි අංශය ක්‍රියාවට නැංවීමත් රට පුරා බන්ධනාගාර තුළ කිසිදු දුරකථනයක් මගින් පිටත සමාජය සම්බන්ධ කරගත නොහැකි පරිදි ආරක්ෂිත ජෑමර් පද්ධතියක් යෙදවීම විනා මෙකී සංවිධානාත්මක අපරාධ මැඬලීම අසීරුය.

ඊට හේතුව බන්ධනාගාරය තම ආරක්ෂිත නිවස්නයක් කරගෙන පාතාලයන් එහි සිට දුරකථන මගින් සියලු අපරාධ ක්‍රියාත්මක කරවන නිසාය. කොතරම් මෙහෙයුම් සිදුකළත් මාර්ග බාධක යෙදුවත් අපරාධකරුවන් ඇල්ලුවත් ඒවා තාවකාලික පැලැස්තර වන්නේය. ඒ අපරාධකරුවන් සිරගත වන කාලයේදීත් හොඳින් අපරාධ රැල්ල ක්‍රියාත්මක කරවන නිසාය. දැනට සිදුවන අපරාධ රැල්ල විශ්‍ලේෂණය කිරීමේදී අනාවරණය වී ඇත්තේත් සංවිධානාත්මක අපරාධ රැල්ල බන්ධනාගාරය කේන්ද්‍ර කරගෙන සිදුවන වගය.

මේ අනුව කළ යුත්තේ එස්.ටී.එෆ්. වැනි ප්‍රභූ ආරක්ෂක කණ්ඩායම් යොදවා අපරාධකරුවන් ප්‍රභූවරයකුගේ තත්ත්වයට පත් කිරීම නොව ඔවුන්ට අපරාධ කරන්නට ගොඩනැගෙන වටපිටාව නැති කිරීමය.

Wmqgd .ekSu ,la�u mqj;a m; weiqfrks

More News »