විජය ඝාතනයට සොත්ති උපාලි මින්නේරියට යයි...
දිග් විජය කරන්නට පෙර නික්‌ම ගිය කුමරුවා - 03 කොටස

2017-03-06 01:07:00       669
feature-top
'උඹල ප්‍රවේසම් වෙයල්ලා වැල්ලට බඹරු ඇවිත්..' 'බඹරු ඇවිත්' චිත්‍රපටයේ මුදුනත වන්නේ ඒ වාක්‍යයය. 1978 වසරේදී බඹරු ඇවිත් චිත්‍රපටය, ආචාර්ය ධර්මසේන පතිරාජ විසින් නිර්මාණය කරන්නේ, එතෙක්‌ පැවති ආර්ථිකය උඩු යටිකුරු කරමින් විවෘත ආර්ථිකය ශ්‍රී ලංකාවට පැටවීමත් සමගය. ප්‍රාග්ධනය ගලාගෙන ඒම හමුවේ ධීවර ගම්මානයක්‌ ලක්‌වෙන විපර්යාසය නිරුපණය කරමින් නිමාවුණු මේ සිනමා පටයේදී එතෙක්‌ වැල්ලේ රජ කළ මහලු ඇන්ටන් අයියාගේ (ජෝ අබේවික්‍රම) සමස්‌ත ක්‍රියාදාමයම වෙනසකට ලක්‌ කරන්නේ එකවර වැල්ලට පහත් වෙන තරුණ බේබි මහත්තයා (විජය කුමාරතුංග) ඇතුළු පිරිසය. විජයගේ දේශපාලන ආගමනය ද පැවති දේශපාලන පිටියේ සටහන් කළේ එවැනි තත්ත්වයකි. ජනාධිපති ජයවර්ධන ප්‍රමුඛ එජාපයට අභියෝග කිරීම සඳහා දේශපාලන පොර පිටියේ බේබි මහත්තයාගේ චරිත දෙකක්‌ බිහිවී තිබුණි. එකක්‌ රෝහණ විඡේවීරය. අනික විජය කුමාරතුංගය. ශ්‍රී ලංකා මහජන පක්‌ෂය බිහිවන්නේ, දේශපාලන වැල්ලට අලුත් 'බඹර කැලක්‌' කැඳවමිනි.

ශ්‍රීලනිපය පවුල්වාදයේ ඉස්‌මත්තට ගොස්‌ පක්‌ෂයක්‌ නොව අම්මා සහ පුතා රණ්‌ඩු කරනා කුස්‌සියක්‌ බවට පත්වී තිබුණි. ජනමත විචාරණය පැරදවීම සඳහා එජාපයට එරෙහිව සියලු සුගතිශීලි බලවේග ඒකාබද්ධව සිටියදී ශ්‍රීලනිප නායිකාවගේ ගෙදර සිටිමින් අනුර බණ්‌ඩාරනායක විසින් උදව් කරන ලද්දේ, එජාපයේ අභිප්‍රාය වූ 'ලාම්පුව' දිනවන්නටය. අතුරු මැතිවරණ කිහිපයේදී ද ශ්‍රීලනිපයේ හැසිරීම එසේම විය. මේ නිසා ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨ පිරිස්‌ පවා කලකිරී දේශපාලනිකව නන්නත්තාර වී සිටියහ. ඒ සියලු දෙනාගේ දායකත්වය ශ්‍රී ලංකා මහජන පක්‌ෂය පිහිටුවීම සඳහා ලැබුණි. 70-77 ආණ්‌ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකු වූ, ශ්‍රීලනිපයේ උප සභාපතිත්වය දැරූ ටී.බී. ඉලංගරත්න වැනි පරිනත දේශපාලන චරිතයක්‌ මහජන පක්‌ෂය වටා එක්‌ වන්නේ ඒ නිසාය.

විජය සිය බිරිද චන්ද්‍රිකා,
දියණිය යසෝදරා සහ පුතා විමුක්‌ති සමග

මහජන පක්‌ෂයේ අභියෝගය ජනාධිපති ජයවර්ධන සුළු පටු ලෙස භාරගත්තේ නැත. මහජන පක්‌ෂයේ නිල සලකුණ පහන වුවත් එයට තිබූ එකම ආලෝකය බවට පත්වූයේ විජයය. සිනමා නළුවකු විසින් සිය ජනප්‍රියතාවය මත්තෙන් දේශපාලන පිටියේ සිදුකරන 'රංගනය' සියලු දේශපාලන බලවේග කලතා තිබුණි. මින්නේරිය සහ කුණ්‌ඩසාලේ ආසන දෙක සඳහා පවත්වනු ලැබූ අතුරු මැතිවරණ දෙක, මහජන පක්‌ෂයට තිබු දේශපාලන බලය පරික්‌ෂා කරන 'ලිට්‌මස්‌ පරික්‌ෂාව' විය. මින්නේරිය අතුරු මැතිවරණය අතරතුර වූ අතුරු කතාවක්‌, කෙලී සේනානායක විසින් වරක්‌ මාධ්‍යයට කරන ලද සාකච්ඡාවකදී සඳහන් කර තිබුණි. 'මහජන පක්‌ෂයෙන් විජය කුමාරතුංග, මින්නේරියට ජන්දෙ ඉල්ලුවා. 1984 කියල වගේ තමයි මගේ මතකය. ඒ වෙලාවෙ ආණ්‌ඩුවෙන් විජයට විශාල බලපෑම් තිබුණා. ඒක කොතරම්ද කියනවම් සොත්ති උපාලි යොදල විජය මරන්න ආණ්‌ඩුව සැලසුම් කළා. ඒක 'මාරෙට' ආරංචි වෙන්නෙ සොත්ති උපාලිගෙ මල්ලිගෙන්මයි. ඒ වෙන කොට විජයත් අනතුරේ ඉව වැටිල තිබුණෙ. 'මාරෙ' එයාගෙ හයිය සම්පූර්ණයෙන්ම ඒ වෙලාවේ යෙදෙව්වෙ විජයගෙ ජීවිත ආරක්‌ෂාවට.' කෙලී සේනානායක විසින් මෙහිදී 'මාරේ' ලෙස හඳුන්වනු ලබන්නේ නන්දන මාරසිංහය.

මහජන පක්‌ෂයේ බලවේගය විසින්ම මින්නේරිය අතුරු මැතිවරණය හැඳින්වූයේ 'විජිතපුර සටන' ලෙසය. එක්‌ අතකින් විජයගේ ජීවිතයේ කඩඉමක්‌ බවට එය පත්ව තිබුණි. අනෙක්‌ අතට එය විජයගේ දේශපාලනයේ කඩඉමක්‌ විය.

විජය කුමාරතුංග චරිතය සමග එහිදී සටනට පිවිසුණේ, රටේ වැඩි ප්‍රසිද්ධියක්‌ නොමැති ප්‍රාදේශීය දේශපාලන චරිතයන්ය. නමුත් ප්‍රධාන පක්‌ෂ දෙක විසින් ඒ චරිත සඳහා තම බලය හොඳින්ම පොම්ප කර තිබුණි. එජාපය විසින් එස්‌. බී. විඡේකෝන් මින්නේරියේ අපේක්‌ෂකයා ලෙස ඉදිරිපත් කරන ලදී. විපක්‌ෂයේ ඒකාබද්ධතාවය අත්‍යාවශ්‍ය මොහොතක එය දෙකඩ කරමින් විජය සමග තරග කිරීමට ශ්‍රීලනිපය විසින්ද අපේක්‌ෂකයකු මින්නේරියට ඉදිරිපත් කළේය.

සිරිමාවෝ ආණ්‌ඩුවේ, ක්‍රම සම්පාදන නියෝජ්‍ය ඇමැති ධුරය දැරූ සහ මින්නේරියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස 70 - 77 කාලයේ කටයුතු කරන ලද රත්න දේශප්‍රිය සේනානායක ශ්‍රීලනිපයේ අපේක්‌ෂකයා විය. තුන්කොන් සටන අවසානයේ විජයට දෙවැනි තැන හිමිවීම, තමන්ගේ 'ආසියා ඡේ.ආර්. විසින් හතේ කොළෙන්' ගත්තා වැනි හැඟමක්‌ මහජන පක්‌ෂයේ පිරිසට ඇති කළේය.

මින්නේරිය අතුරු මැතිවරණය සමඟ, එම දිනයේම පවත්වන ලද කුණ්‌ඩසාලේ අතුරු මැතිවරණයේ ප්‍රතිපලය, මහජන පක්‌ෂයට ඊටත් වඩා සෝක ජනක විය. කුණ්‌ඩසාලේ සටන සඳහා ජනාධිපති ජයවර්ධන, එජාප වේදිකාවට පිවිසියේ තම බිරියද කැටුවය. ශ්‍රී ල. නි. පක්‌ෂයේ සටන මෙහයවුයේ අනුර බණ්‌ඩාරනායකය. ශ්‍රී.ල. ම. පක්‌ෂ ය වෙනුවෙන් සටන මෙහයවුයේ, චන්ද්‍රිකා කුමාරතුංගය. අක්‌කා සහ මල්ලිගේ ඡන්ද සටන දේශපාලන සටනකට වඩා දුරදිග ගිය පවුලේ ආරවුලක්‌ බව රටට පෙනී ගොස්‌ තිබුණි. විජය )චන්ද්‍රිකාගේ විවාහය අරබයාද හොද හිතකින් පසු නොවූ අනුර, සිය 'ඔටුන්න' විජය විසින් ඩැහැ ගැනීමට සුදානම් වන ආකාරය කල් තියා දුටුවේය.

ප්‍රජා අයිතිය අහෝසි කරන ලද සිරිමාවෝ බණ්‌ඩාරනායක විසින් නියෝජනය කරන ලද අත්තනගල්ල ආසනයේ පුරප්පාඩුව සඳහා පත් කරන්නේ කවුද යන ප්‍රශ්නය මත අනුර සහ විජය අතර මතබේදය මුලින්ම ඇවිලී ගියේය. අත්තනගල්ල ආසනයේ ශාඛා සමිතිවලින් 85%ක්‌ පමණ චන්ද්‍රිකා කුමාරතුංග පුරප්පාඩුව සදහා පත් කරන ලෙස ඉල්ලා සිටි අතර, අත්තනගල්ල ශ්‍රීලනිප මධ්‍ය සංවිධානය විසින් ඒ සඳහා යෝජනා කරන ලද්දේ, අනුරගේ නමය. මේ මොහොතේ විජය සිටගත්තේ චන්ද්‍රිකාගේ පැත්තේය. විජය - අනුර හිතවත්කම අහෝසි වී ගියේ මේ සමගය. ශ්‍රීලනිපයේ උප ලේකම් තනතුර සඳහා විජයගේ නම යෝජනා වී තිබුණේද මේ කාලයේය. අනුර විසින් ඒ සදහා යෝජනා කර තිබුණේ, ඡේ. ආර්. පී. සූරියප්පෙරුමය. අවසානයේ පක්‌ෂයේ උප සභාපති තනතුරට සුරියප්පෙරුම පත්විය.

1985 නොවැම්බර් දෙවැනිදා මහින්ද රාජපක්‌ෂගේ මව වන දන්දිනා සමරසිංහ අභාවප්‍රාප්ත වුවාය. සිරගෙදර සිට ඇප ලබා සිය මව බැලීමට මහින්දට අවස්‌ථාව හිමි විය. එම අවමංගල්‍ය උත්සවයේදී විජය කතාවක්‌ පැවැත්වුවේය. 'මේ ඩී. ඒ. රාජපක්‌ෂ මාතාව දරුවෝ නව දෙනෙක්‌ මේ ලෝකයට බිහි කළා. ඒත් එතුමිය තමන්ගේ දරුවන් එකාට එකා කා කොටා ගන්න සැලැස්‌සුවේ නෑ. සහෝදර සහෝදරියන්ට එක මවකගේ දරුවන් හැටියට එකට ජීවත් වෙන හැටි එතුමිය කියා දුන්නා. මන්ත්‍රී දරුවාට එක විදියකටත්, අනෙක්‌ දරුවාට තව විදියකටත් එතුමිය සැලකුවේ නෑ. අපේ සහෝදර මහින්ද රාජපක්‌ෂගේ මෑණියන්ගේ ජීවිතය අනෙක්‌ වලව්වල බොහෝ දෙනකුගේ ජීවිතවලට ආදර්ශයක්‌.' විජය විසින් මෙසේ විවේචනයට ලක්‌ කරන ලද්දේ, හොරගොල්ල වලව්වේ පවුලේ අසමගිය පිළිබදවය.

මෙම තත්ත්වය මත කුණ්‌ඩසාලේ ඡන්ද සටන දේශපාලන සටනක්‌ සේම බණ්‌ඩාරනායක පවුලේ ඉදිරි දේශපාලනය පිළිබඳ සන්ධිස්‌ථානයක්‌ ද විය. චන්ද්‍රිකා සහ අනුර විසින් සටන මෙහෙයවනු ලැබීම පාලක එජාපයට සතුට ගෙන දෙන කාරණයක්‌ විය. ඒ කාකොටා ගැනීම, අසීරු අභියෝගයක්‌ ජයගැනීම සදහා ඇතුළෙන්ම ලබා දෙන මහත් සහයෝගයක්‌ ලෙස එජාපයට පෙනෙන්නට ඇත.

මැතිවරණ ප්‍රතිඵලය අනුව එජාපක්‌ෂයට ඡන්ද 26280 ක්‌ ද, ශ්‍රී ල. නි. පක්‌ෂ යේ අපේක්‌ෂක දී.මූ.ජයරත්න ඡන්ද 7788 ක්‌ ද, ශ්‍රී ල. ම. පක්‌ෂ යට ඡන්ද 1727 ක්‌ද ලැබී තිබිණ. මේ අනුව එ. ජා. පක්‌ෂයේ ආර්. පී. විඡේසිරි වැඩි ඡන්ද 18492 කින් කුණ්‌ඩසාලේ මන්ත්‍රී ලෙස පත් විය. ශ්‍රී ල. ම. පක්‌ෂයේ මහින්ද සේනානායකගේ ඇපය ද රාජසන්තක වී තිබිණ.

අතුරු මැතිවරණ 'ලිට්‌මස්‌ පරික්‌ෂාව' විජයගේ දේශපාලන අනාගතයට හොඳ කලක්‌ තිබෙන බව පෙන්නුවේ නැත. විජයගේ සිනමාවට නම් මේ හොඳම කාලයක්‌ බවට පත්ව තිබුණි. පිටපිට පස්‌ වතාවක්‌ම ඔහු විසින් සරසවිය සිනමා උළෙලේ ජනප්‍රියම නළුවා ලෙසින් සම්මාන දිනාගෙන, සිංහල සිනමාවේ ජනප්‍රිය කිරුළ තම හිස මත රඳවාගෙන සිටියේය. මාධ්‍ය නිදහස දෝරේ ගලා යමින් තිබූ එජාප ආණ්‌ඩු කාලයේ විජය කුමාරතුංග යන නම ගුවන් විදුලියෙන් සහ රූපවාහිනියෙන් ප්‍රචාරය කිරීම සපුරා තහනම් වී තිබුණි. ගුවන් විදුලියේ වෙළෙද සේවයෙන් ප්‍රචාරය වන විජය ප්‍රධාන චරිතය රඟපාන චිත්‍රපටවල දැන්වීම්වලදී හෝ ඔහුගේ නම කියෑවීම තහනම් විය. ඒ කිසිදු හරබයකට විජයගේ ජනප්‍රියභාවයට අත තබන්නට නොහැකි විය. මේ කාලයේ තිරගත වූ විජය රඟපෑ 'ජය සිකුරුයි' චිත්‍රපටය සිනමා රසිකයන් නරඹන ලද්දේ පෝලිමේ සිටය. එහෙත් දේශපාලනයේ ජය සිකුරුයි යන්න විජයට තවමත් දුරස්‌ථ කියමනක්‌ වී තිබුණි.

1983 වසරේ එල්ටීටීඊ ත්‍රස්‌තවාදීන් විසින් උතුරු පළාතේ සේවය කරමින් සිටි හමුදා සෙබළුන් දොළොස්‌ දෙනෙක්‌ සහ උප ලුතිනන්වරයෙක්‌ ඝාතනය කිරීම නිසා ඇවිලුණු ගින්න වෙනත් දේශපාලන අභිප්‍රායක්‌ සපුරා ගැනීම සඳහා ජයවර්ධන ආණ්‌ඩුව භාවිත කරන්නට පටන් ගත්තේය. බලවත් විදේශ රටක උපකාරයෙන් ජාතිවාදී කෝලාහල ඇතිකොට ආණ්‌ඩුව පෙරළා දැමීමට උත්සාහ ගත්තේය යන චෝදනාව මත, 1983 අංක 4 දරන හදිසි නීති රෙගුලාසි යටතේ නව සමසමාජ පක්‌ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්‌ට්‌ පක්‌ෂය සහ ජවිපෙ වහාම ක්‍රියාත්මක වන සේ තහනම් කිරීමට ආණ්‌ඩුව පියවර ගත්තේය. තහනම් කරන ලද පක්‌ෂයන්හි ක්‍රියාකාරීන් 31 දෙනකු අත්අඩංගුවට ගැනීමට ආණ්‌ඩුව බලාපොරොත්තු වූ නමුත් නව සමසමාජ පක්‌ෂයේ වාසුදේව නානායක්‌කාර, ජවිපෙ නායක රෝහණ විඡේවීර, ජවිපෙ ප්‍රධාන ලේකම් උපතිස්‌ස ගමනායක ඇතුළු දොළොස්‌ දෙනකු සැඟවීම හේතුවෙන් ආණ්‌ඩුවට අත්අඩංගුවට ගත හැකිවූයේ, දහ නවදෙනකු පමණය. සිරගත කරන ලද දේශපාලන සගයන් බැලීම සඳහා පසුදා උදේ හය වන විට විජය සහ චන්ද්‍රිකා ගියෝය. බිස්‌කට්‌,චීස්‌, සිගරැට්‌ ආදිය රැගෙන සිරකරුවන් බලන්නට පැමිණි කුමාරතුංග යුවළ, ඒ සඳහා පැමිණි ප්‍රථම අමුත්තෝ දෙදෙනා වුහ. සිරගෙදර බලධාරීන් විසින් ඔවුන් ආපිට හරවා යෑව්වේ, සිරකරුවන් සමග වචනයක්‌ හෝ කතා කරන්නට ඉඩ නොදීය.

අභූත චෝදනා නගමින් ජුලි කෝලාහලය සඳහා කිසිදු සම්බන්ධයක්‌ නොමැති ජවිපෙ ඇතුළු වාමවාදීන් වෙත තහනම් දැමීමත් සමග යටි බිම් ගත හෙවත් පාතාල දේශපාලනයක්‌ කරා තල්ලු වෙන ලෙස ආණ්‌ඩුව විසින්ම ජවිපෙට බල කරනු ලැබිය.

ජවිපෙ විසින් මර්ධනය සදහා මුහුණදීමට සන්නද්ධ වන්නේ මේ සමගය. ඒ වන විට දේශපාලන පිටියේ ජවිපෙ මොඩලයේම, සම්ප්‍රදායික වාමාංශික නොවන බලවේග මතුවෙමින් පැවතුණි. ඒ සියල්ලේම පාහේ සිටියේ කලක්‌ ජවිපෙ සාමාජිකයන් ලෙස සිටි හෝ එහි අනුගාමිකයන් ලෙස කටයුතු කළ පිරිස්‌ය. සම්ප්‍රදායික වම ලෙස හැඳින්වූ සමසමාජ - කොමියුනිස්‌ට්‌ පක්‌ෂයන්හි කලක්‌ ක්‍රියාකාරිත්වය දැරූ සුළු පිරිසක්‌ ද ඒ සදහා සහභාගී වී සිටියහ. ජවිපෙට වඩා වෙනස්‌ මගක්‌ ගනිමින් සහ එයට එරෙහි වෙමින් මෙම බලවේග කටයුතු කරන ලද අතර උතුරේ නැගී එන ත්‍රස්‌තවාදය සමග එම කණ්‌ඩායම් එකඟතාවයෙන් කටයුතු කරන්නට පටන් ගත්තේය. ජවිපෙ තුළද මේ යෝජනාව විටින් විට පැන නැගුනු නමුත් විඡේවීර ඇතුළු මධ්‍යම කාරක සභාව එයට එරෙහිවීම නිසා එය යටපත්ව ගියත්, එම මතය අත්‍යාවශ්‍ය බව කියා සිටිමින් ජවිපෙ ප්‍රධාන ලේකම් ලයනල් බෝපගේ ඇතුළු කිහිපදෙනකු ජවිපෙන් ඉවත්ව ගියා හෝ එයින් පිටමං කරනු ලැබීය. මෙසේ ජවිපෙන් බැහැර වූ ඊළාම්වාදී ගැති වාමාංශික පිරිස්‌ නව බලවේගයක්‌ ලෙස ගොඩ නැඟෙන්නට පටන් ගත්තේය.

විකල්ප කණ්‌ඩායම ලෙස හැඳින්වූ මෙම පිරිස ජනතා විප්ලවකාරි සංවිධානය ලෙස සංවිධානය වූ අතර අවිස්‌සාවේල්ල කණ්‌ඩායම ලෙසින් ද හැඳින්විය. මඩපාතගේ විමලසේන එහි නායකත්වය දැරීය. මෙම සංවිධානයේ සාමාජිකයන් අටදෙනකු ඉන්දියාවේදී මාස 5ක කාලයක්‌ අවි පුහුණුව ලැබීය. මෙම වැඩසටහන සඳහා ඊ.පී.ආර්.එල්.එµa කණ්‌ඩායම ද සම්බන්ධ විය. ඊ.පී.ආර්.එල්.එµa නායක පද්මනාභ සමග ඉන්දියාවේදී මෙම කණ්‌ඩායම සාකච්ඡා පැවැත්වූ අතර ඔවුන් අවි පුහුණු ලබා දෙන ලද්දේ, තුම්ඹකොනම් හි ඊ.පී.ආර්.එල්.එµa අවි පුහුණු කඳවුරේදීය. 1985 අප්‍රේල් මාසයේ අවි පුහුණුව සඳහා පිටත්ව ගිය ප්‍රථම කණ්‌ඩායම ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව, 1985 දෙසැම්බර් මස දෙවැනි කණ්‌ඩායම පුහුණුව සඳහා ඉන්දියාවට පිටත්ව යැමට නියමිතව තිබිණි. දෙවන කණ්‌ඩායමට කොළඹ සරසවි ස්‌වාධීන ශිෂ්‍ය සංගමයේ සභාපති දයා පතිරණ ඇතුළු දකුණේ සිංහල ජාතිකයන් 15ක්‌ ඊ.පී.ආර්.එල්.එµa සංවිධානය මගින් තෝරාගෙන තිබිණි. ඉන්දියාවට ගිය ප්‍රථම කණ්‌ඩායමේ කිහිප දෙනෙක්‌ අත්අඩංගුවට ගැනීමට සමත්වීමත් දෙවැනි කණ්‌ඩායමේ පුහුණුව සඳහා අවස්‌ථාව අහිමි විය. ඉන්දීය රජයේ ආශීර්වාදය මත උතුරේ පමණක්‌ නොව දකුණේද සන්නද්ධ කල්ලි බිහිවෙන්නට පටන්ගෙන තිබූ අතර ඔවුහු ජවිපෙ සිය විරුද්ධවාදීන් ලෙස හඳුන්වා දෙමින් සිටියෝය. ජවිපෙ ද මුල සිටම මේ පිරිස සමග විරසක වී සිටි අතර, අවි අතට ගත් ජවිපෙ මෙම විරුද්ධවාදීන් මර්ධනය කිරීමට පටන් ගත්හ.

තහනමෙන් පසු ජවිපෙ ද සිය සාමාජිකයන් සඳහා සන්නද්ධ පුහුණුව ලබාදීමට තීරණය කළේය. එය වෙනම පක්‌ෂයේ සන්නද්ධ අංශය ලෙස බිහි කළ අතර දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය නමින් හැඳින්විය. ප්‍රථම සන්නද්ධ පුහුණු වනගත කඳවුර 1986 ජනවාරි 6 වැනිදා මාතලේ ලග්ගලදී පැවැත්විණි. දෙවන සන්නද්ධ පුහුණු කඳවුර 1986 පෙබරවාරි 2වැනිදා පොලොන්නරුවේදීද, අප්‍රේල් 30 වැනිදා රත්නපුරයේදී ද සැප්තැම්බර් 4 වැනිදා කඩුවෙලදීද පැවැත්විණි. මෙම සන්නද්ධ පුහුණු කඳවුරු සතියකට ආසන්න කාලයක්‌ පැවති අතර එහිදී හමුදාවෙන් පලා ආ සෙබළුන් විසින් ටී. 56, ඒ. කේ. 47 වැනි නවීනතම අවි ආයුධ පෙන්වමින් එහිදී පුහුණුව ලබාදෙන ලදී. 1986 වසර තුළ පමණක්‌ ජවිපෙ සන්නද්ධ පුහුණු කඳවුරු 10ක්‌ පමණ රටපුරා විවිධ ස්‌ථානවල පැවති බවට වාර්තා විය. ඒ වන විට ජවිපෙ ශිෂ්‍ය ක්‍රියාකාරිකයන් සහ ස්‌වාධින ශිෂ්‍ය සංගමය අතර බරපතළ ගැටුම් ඇතිවී, ඒවා ලියලා යමින් තිබුණි. මතවාදය අතින් ඊළාම්වාදී වූ ස්‌වාධීන ශිෂ්‍ය සංගමය කොළඹදී බලවත් වීම සමඟ ජවිපෙ ශිෂ්‍ය ක්‍රියාකාරීන්ට පහරදීමට ද පටන් ගත්තේය. දෙමළ ත්‍රස්‌තවාදී කණ්‌ඩායම් වන ඊරෝස්‌ කණ්‌ඩායමේ නායකයකු වන ඩේවිඩ්සන් සමඟ 1980 අප්‍රේල් සිටද ඊ.පී.ආර්.එල්.එµa කණ්‌ඩායම සමඟ 1981 පෙබරවාරි සිටද ස්‌වාධීන ශිෂ්‍ය සංගමය සබඳකම් පැවැත්වීය. ජවිපෙ විසින් දරන ලද ඉන්දීය විරෝධය තුරන් කිරීම සඳහා ඉන්දීය බුද්ධි අංශ විසින් ස්‌වාධින ශිෂ්‍ය සංගමය ඒ වන විට අතකොලුවක්‌ කරගෙන සිටි අතර දෙමළ ත්‍රස්‌තවාදී කල්ලි හරහා මෙහි සාමාජිකයන්ට උතුරේදී පුහුණුව ද දෙනු ලැබීය. ස්‌වාධීන ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරිකයන් පස්‌ දෙනකු ප්ලොට්‌ සංවිධානයේ වව්නියා සන්නද්ධ නායක තාසන් යටතේ නැගෙනහිරදී අවි පුහුණුවද ලබාගෙන තිබිණි. එහි සම්බන්ධීකරණ කටයුතු කරන ලද්දේ ධර්මරත්නම් සිවරාම් හෙවත් තාරකී විසිනි. ප්ලොට්‌ සංවිධානය මගින් 1985 අප්‍රේල් 26 වැනිදා නිකවැරටිය ලංකා බැංකුවට ප්‍රහාරයක්‌ එල්ල කර රුපියල් කෝටියකට අධික මුදල් සහ රන්බඩු කොල්ලකෑ අතර එම කණ්‌ඩායමට එක්‌වූ සිංහල ජාතිකයන් දෙදෙනා අතර පතිරණ ද වූ බව සඳහන්ය. ජවිපෙට එරෙහිව ස්‌වාධීන ශිෂ්‍ය සංගමයේ මැර ප්‍රහාර එන්න එන්නම වැඩිවෙමින් පැවතියේය. තම ගමනට එල්ල කරන මැර ප්‍රහාරය සදහා ජවිපෙ ද ඒ 'හැන්දෙන්ම' පිළිතුරු දෙනු ලැබීය. කොළඹ විශ්වවිද්‍යාලය අසල තුන්මුල්ල හන්දියේදී දයා පතිරණ පැහැර ගත් ජවිපෙ සන්නද්ධ අංශයේ සාමාජිකයෝ, 1986 දෙසැම්බර් 15 වැනිදා, උඳුවප් පසළොස්‌වක පොහොය දිනයේදී බණ්‌ඩාරගම හිරණ තොටුපොල අසළදී බෙල්ලට පිහියෙන් ඇන, කෙටේරියෙන් බෙල්ල කපා ඔහු ඝාතනය කරන ලදී. පොලිසිය හෝ හමුදාව නොමැතිව, වෙනත් දේශපාලන කණ්‌ඩායමක්‌ විසින් මරා දැමූ පළමු ශිෂ්‍ය නායකයා ඔහු විය.

දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ හෙවත් ජවිපෙ සන්නද්ධ අංශයේ ප්‍රථම ඝාතනය බවට පත්වූයේ හම්බන්තොට වීරකැටියේ, ගෝනදෙණියේ විදුහල්පතිවරයෙකි. දෙවැන්නා වූයේ කොළඹ සරසවියේ ස්‌වාධීන ශිෂ්‍ය සංගමයේ නායකයා වූ දයා පතිරණය.



Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks

More News »