ගෝස් කැබැල්ලක් තරුණ මවකගේ කුස තුළ දමා මැසූ නාරි වෙදාගේ නාටකය

2017-02-21 09:36:00       663
feature-top
දරු සිහිනයක් සඵල වීම තරම් සතුටක් යුවළකට තවත් නැත. ඒත් ඒ සිහිනය දෑතට එන තෙක් ඔවුන්ගේ හිත ඇත්තේ ආසාවෙන් පිරුණු බයක්, බරක් වැනි හැඟීමකි. ඒ නීරෝගී මවක ලෙස නීරෝගී දරුවකුට ජීවිතය දීම වෙනුවෙනි. ඒ නිසාම දරුවකු කුසට ආ දා සිටම විශේෂඥ වෛද්‍යවරුන් සොයා ගොස් දරුවාගේත්, අම්මාගේත් සුරක්ෂිතතාව ඒ දෑතට භාර කිරීමට අද වැඩි දෙනෙක් හුරු වී සිටිති.

ඒ රටාවට සමාජය හුරු වී ඇති නිසා ළහිරු හා ටෙහානි කළේ ද එයමය. ඔවුන්ගේ පළමු දරුවා ලැබෙද්දී වෛද්‍ය උපදෙස් ලබාගත් ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයාගේ සේවයම ඔවුන් දෙවැනි දරුවාටත් ලබාගත්හ. එසේ වරක් සේවය ලබාගෙන දන්නා කියන කෙනාගෙන් වැඩි පරෙස්සමක් පැතුවත් ඒ විශ්වාසය වෛද්‍යවරයා අතින් ගිලිහී තිබුණි. එයින් ඔවුන් ලද පීඩාව, අසාධාරණය වෙනුවෙන් එම වෛද්‍යවරයාගෙන් කෝටි 10 ක වන්දියක් ඉල්ලා පසුගියදා නඩුවක්ද ගොනු වුණේ ය.

දලුගම කොහොල්විල පාරේ 29 හැවිරිදි ළහිරු දුෂ්‍යන්ත කුලතුංග ව්‍යාපාරිකයෙකි. කිරිබත්ගොඩ ළහිරු බ්‍රාස් ඩීලර්ස් හිමිකරු වන ඔහු විසිතුන් හැවිරිදි ටෙහානි පෙරේරා හා විවාහ වූයේ 2014 වසරේය. ඔවුන්ට වැඩිමහල් දියණිය නුෂෙලි පෞද්ගලික රෝහලකදී සිසේරියන් සැත්කමකින් උපන්නේ 2015 ජනවාරි මාසයේය.

ඇත්තටම දුව ඉපදුන වෙලාවේ වෛද්‍යවරයා කටයුතු කරපු විශ්වසනීය බව හින්දමයි රයන් පුතා ඉපදෙන්න ඉන්න කොටත් අපි ඒ වෛද්‍යවරයාවම හමුවුණේ. පුතා ලැබෙන්න තිබූ 2016 ජනවාරි මාසය වනතුරු සාමාන්‍ය විදිහට මාසෙකට වරක් විශේෂඥ වෛද්‍ය සේවාව මගින් අපි මේ වෛද්‍යවරයාව හමුවුණා.

මම පුතා ලැබෙන්න 2016 පෙබරවාරි 03 වැනිදා පෞද්ගලික රෝහලකට ඇතුළත් වුණා. එදාම මාව පරීක්ෂා කරලා බලපු වෛද්‍යවරයා කිව්වා ‘අද සිසේරියන් එක කරමු. ඕනේ නම් තව දවස් දෙක තුනක් වුණත් තියා ගන්න පුළුවන්’ කියලා.
නව මසක් කුසතුළ රකින දරුවාගේ මුහුණ ඉක්මනින් දැක ගැන්ම හැම අම්මෙකුගේම, තාත්තෙකුගේම ආසාවය.

“කලින් වතාවේ දුව ලැබුණෙත් සිසේරියන් සැත්කමකින්, වගේම එදා හිටපු වෛද්‍යවරයාම මේ වතාවෙත් හිටපු නිසා මට විශේෂ බියක් තිබ්බේ නෑ. නිර්වින්දනය සඳහා ඇවිත් හිටියේ මේ වෛද්‍යවරයාගේම බිරිඳයි.”

එළැඹෙන මොහොතේ දී සිඟිති පුතුගේ මුහුණ දැක ගැන්මට ආසාවෙන් සිසේරියන් සැත්කමට ටෙහානි මුහුණ දෙන අතරේ ශල්‍යාගාරයේ ළහිරුද විය. ඉපදෙන දරු පැටියාගේ මුහුණ දකින්නට ආසාවෙන් හිටියත් බිරිඳ දරුවා බිහි කරනතුරු සැමියෙක් සිටින්නේ හිතේ දැඩි නොසන්සුන් බවකිනි. ඒ සිතුවිලි හිත දරාගෙනම ළහිරු සැත්කම සිදුවන අයුරු බලා සිටියේ ය.

“වෛද්‍යවරයා සැත්කම කළේ ජංගම දුරකථනයෙන් එන ඇමතුම්වලට කතා කරමින්. මට මතකයි තවත් බබාලා හම්බ වෙන අම්මලා තුන්දෙනෙකුට දින දුන්නා. ඒ ඇමතුම්වලින් බබාලා ගන්න රෝහල් ගතවෙන්න, මගේ හිතට ඒ වෙලාවේ වෛද්‍යවරයා ගැන කලකිරීමක් ආවා. බබෙක් හම්බවෙන්න ඉන්න අම්මා කෙනෙක්ගේ බඩක් කපාගෙන ෆෝන් එකෙන් කතා කරනකොට. ඇයි දෙයියනේ ජීවිත දෙකක්නේ.

සැත්කමට විනාඩි 45 ක් විතර ගියා. ඒ කාලයෙන් වැඩි හරියක් ෆෝන් එකේ හිටියේ. මම ඒ වෙලාවේ හිතාගත්තා දන්න කෙනකුටවත් ආයෙ නම් මේ වෛද්‍යවරයා චැනල් කරන්න දෙන්නේ නෑ, කියලා.”

සිය පුතු ඉපදෙන අයුරු බලා සිටි ළහිරුගේ හිතට වෛද්‍යවරයා පිළිබඳ එතෙක් තිබූ විශ්වාසනීය හැඟීම නැති වී ගොස් තිබුණි. ටෙහානි සහ පුංචි පුතු නිරුපද්‍රිතව සිටියත් සැත්කම අවසන් වූ මොහොතේ පටන් ටෙහානි සිටියේ දැඩි වේදනාවකිනි.

“මට දෙවැනි වතාවේ පළමුවැනි වතාවේ සිසේරියන් එකට වඩා කැක්කුමක් තිබුණා. මං වෛද්‍යවරයාට කිව්වාම ‘වේදනා නාශක දීලා තියෙන්නේ කිව්වා. ඊට පස්සේ දවසෙත් කැක්කුම ඒ විදිහමයි. රෑ තදට ඒ කැක්කුම ආවා. හුස්ම ගන්න බැරි තරම් තද කැක්කුමක්. නර්ස්ලා වෛද්‍යවරයාට කතා කරලා කිව්වා. වෛද්‍යවරයා ෆෝන් එකෙන්ම බෙහෙත් කියලා තිබුණා. ආවේ නෑ. මම පෙබරවාරි 06 හෝ 07 වනතුරු රෝහ‍ලේ හිටියා. මගේ පුතාට කිරි ටිකක් දෙන්න තියා පුතාව අත්දෙකට ගන්නත් අමාරු වුණා. රෝහලෙන් පුතාට පිටි කිරි හදලයි පෙව්වේ. ගෙදර ඇවිල්ලා බොන්නත් වේදනා නාශක පෙති දුන්නා. ඔපරේෂන් එකට කපපු තුවාලවල වේදනාවට අමතරව බඩේ වම් පැත්තෙන් එන ඒ අමුතු කැක්කුම බෙහෙත්වලට අඩුවෙලා තියෙන්නේ ටික වෙලාවයි.

දවස් පහකට පස්සේ ආයෙත් ඒ වෛද්‍යවරයාවම චැනල් කරලා පෙන්නුවා. කැක්කුම එනවා කියලා. එච්චර ඕනකමකින් පරීක්ෂා කරලා බැලුවේ නෑ.

‘අවුරුද්දක් ඇතුළත දෙන්නෙක් හම්බ වුණ හින්දා මේ කැක්කුම තියෙන්නේ’ කිව්වා. ආයෙත් වේදනා නාශක පෙතිම ලියලා දුන්නා.”

ටෙහානි කියන්නේ අලුත උපන් පුතුට කිරි දෙන නිසා වේදනානාශක පෙති බිම නතර නොකළ බවයි. එසේ වුවද වේදනාව නිසා හරිහැටි දරුවාට කිරි දෙන්නට තරම් මානසික තත්ත්වයක්ද ඇයට තිබි නැත.

“කිසිම වැඩක් මට කරන්න බෑ. ඇවිදින්න බෑ. කැක්කුම එන්න ගත්තා. ගෙදර අයත් එක්ක සතුටෙන් ඉන්න විදිහක් නෑ, වේදනාව නිසා. ආසාවට බබාලාව වඩා ගන්න බෑ.

මාසයක් විතර යනකොට විටින් විට වියළි කැස්සකුත් එන්න ගත්තා. අපේ සංතෝෂෙන් තිබ්බ ෙදෙනික ජීවිතේ එහෙම පිටින්ම වෙනස් වුණා. ආයෙත් මාසෙකින් මේ වෛද්‍යවරයාවම චැනල් කළා. ඒ වතාවේ වුණත් සාමාන්‍ය විදිහට අතගාලා, අල්ලලා බලලා වේදනා නාශක පෙතිම ලියලා දුන්නා. නමුත් මම ඒ කැක්කුමට හුරුවෙන්න හැදුවා. ඒ තරම් පෙති බොන්න හොඳ නැති නිසා, දරාගන්න බැරිම වෙලාවට විතරක් බිව්වා. මාස එකහමාරකින් ආයෙත් මේ වෛද්‍යවයරයාවම චැනල් කළා. ඇත්තටම ඒ වෛද්‍යවරයාවම චැනල් කළේ මගේ සීසර් සැත්කම කළේ මේ වෛද්‍යවරයා නිසයි.

වෙනදා වගේ පරීක්ෂා කරලා මගෙන් ඇහුවා ‘බඩේ මොකක් හරි අහුවෙනවා. ගෙඩියක්ද, ළමයෙක්ද” කියලා. ළමයෙක් නම් වෙන්න බැ කියලා මම කිව්වා. ඒ වතාවේ ස්කෑන් එකකට ලියලා දුන්නා. ඒත් ඒ වෙලාවේ ඒ රෝහ‍ලේ ස්කෑන් පරීක්ෂාව කරගන්න වෛද්‍යවරයෙක් හිටියේ නෑ. මම වෙනත් පෞද්ගලික රෝහලක වෛද්‍යවරයෙක් හමුවෙලා ස්කෑන් පරීක්ෂාව කරගත්තා. ඒ තරම් මම බයවෙලා හිටියේ, ඒ වෙනකොට වියළි කැස්සත් එක දිගට තිබුණා. ස්කෑන් කරපු වෛද්‍යවරයා කිව්වා ගෙඩියක් වගේ දෙයක් පෙන්නනවා. කැල්සියම් වගේ බැඳිලා තියෙනවා කියලා. ඊට පහුවදා අපි මහාචාර්ය අර්ජුන ද සිල්වා චැනල් කරලා ස්කෑන් පරීක්ෂණ වාර්තාව පෙන්නුවා. වෛද්‍යවරයා මාව පරීක්ෂා කරලා එළියට අතට අහුවෙන ගෙඩියක් තියෙනවා කිව්වා.”

මහාචාර්යවරයා ඔවුන්ට සී.ටී ස්කෑන් පරීක්ෂාවක් සහ තවත් පරීක්ෂාවන් කීපයක් කර ගෙන ඒමට නියම කළේ ය. එම පරීක්ෂණ කරගෙන ඔවුන් එදාම මහාචාර්යවරයා හමු වූහ.

“බඩේ ගෝස් කෑල්ලක් තියෙනවා. ගෙඩියක් වගේ හැදිලා, කැල්සියම් බැඳිලා තියෙන්නේ කියලා මහාචාර්ය අර්ජුන ද සිල්වා කිව්වා. ‘ඒක අයින්කරගන්න ඕන කියලා ඒකට විශේෂඥ ශල්‍ය වෛද්‍ය මොහාන් ද සිල්වා ලියලා දුන්නා. අපි ඒ වෛද්‍යවරයාව හමුවුණා. සී.ටී, ස්කෑන් පරීක්ෂාව බලලා ඒක අයින් කරන්න ඕන කියලා සති දෙකකට එහා දිනයක් දුන්නා ඔපරේෂන් එකට. කලින් සිසේරියන් එක කරපු වෛද්‍යවරයාටත් ඒ රි‍පෝට් පෙන්නන්න කියලා කිව්වා. පහුවදා අපි අර නාරිවේද වෛද්‍යවරයාවම හම්බවුණා. සී, ටී. ස්කෑන් පරීක්ෂාව තිබුණ බෑග් එක දැකලා ඇහුවා, “ඇයි මේ වගේ ලොකු දේකට ගියේ කියලා. “මේක මොකක්ද කියලා හරියටම හොයාගන්නයි කළේ” කිව්වා. වෛද්‍යවරයා ස්කෑන් රි‍පෝට් එක බැලුවා. ඒක බලපු ගමන් මූණ වෙනස් වුණා.

තිගැස්සුණා වගේ, මං ඇහුවා සිසේරියෙන් එකේ ප්‍රශ්නයක්ද කියලා.
“නෑ… මේක ‍ලේ ගෙඩියක් වගේ දෙයක්. මේක මට අදාළ දෙයක් නෙවේ. මේ වෛද්‍යවරයාට කියලම ඔපරේෂන් එක කරගන්න” කියලා. අපි වෛද්‍ය කාමරේ ඉඳගෙන ඉන්දැද්දී වෛද්‍යවරයා නැගිටලා එළියට ගියා.”

නැවතත් ඔවුන් මහාචාර්ය මොහාන් ද සිල්වා හමු වී වෛද්‍යවරයා කළ ප්‍රකාශයද දැනුම් දුන්හ. ටෙහානිගේ සැත්කම සඳහා සති දෙකකට එහා දිනයක් දී තිබුණත් ඒ දිනයට සතියකට කලින් ඇයට අධික වේදනාවක්, තද කැස්සක් සමග උණත් ඇති විය. ඒ නිසාම 2016 මාර්තු 31 රාත්‍රියේම සැත්කම සිදු කිරීමට නියමිත පෞද්ගලික රෝහලට ඇතුළත් වූවාය. ඇයව පරීක්ෂා කර බැලූ මහාචාර්යවරයා ඊට පසුදාම සැත්කම කරන බවට දැනුම් දුන්නේය. ඒත් ඉන්පසු ටෙහානි නොදන්නා දෙයක් සිදුවිය. ඒ ඇගේ සැමියා සහ පියා කැඳවූ වෛද්‍යවරයා ඇගේ තත්ත්වය ගැන කළ පැහැදිලි කිරීමයි.

“මටයි, තාත්තටයි දෙන්නටම කිව්වා මේ ඔපරේෂන් එක කරන්න ගත්තට ඒක සාර්ථකද නැද්ද කියන්නේ බඩ විවෘත කළාට පස්සෙයි. මම බලා‍පොරොත්තු වෙන තැනට ඒක නොගිහින් තිබුණොත් විතරයි ඔපරේෂන් එක කරන්නේ. එහෙම නොවුණොත් ආයෙත් වහලා මම එනවා.” කියලා. ඒකට කැමැතිද අහලා ලියවිල්ලකට අත්සනුත් ගත්තා. ඒ වෙලාවේ අපි පත්වුණේ දරාගන්න බැරි මානසික වික්ෂිප්තභාවයකට. පහුවදා ඔපරේෂන් එක පටන් ගත්තා. පැය තුනකට පස්සේ වෛද්‍යවරයා එළියට ඇවිත් කිව්වා, “මම හිතුවා වගේම ඔයාලා වාසනාවන්තයි. එයාව බේරාගන්න පුළුවන්” කියලා. අපේ පපුවට හරියට හුස්ම වැටුණෙත් එතකොටයි. බඩේ තිබුණ ගෝස් කෑල්ල එළියට ගන්නකොට පස් වගේ කැල්සියම් බැඳිලා තිබිලා. ලොකු ගඳකුත් ඇවිල්ලා තියෙනවා. මේ ගෝස් කෑල්ල තිබිලා තියෙන්නේ ගර්භාශයයි, බඩවැලයි අතරෙ. ඒ නිසා ගර්භාශ බිත්තියත්, මහ බැඩවැ‍ලේ කොටසකුත් නරක් වෙලා. ඒ නරක් වුණ මහ බඩවැ‍ලේ කොටස කපලා අයින් කළ නිසා ටොයිලට් යන ඒවා පිට වෙන්න මහබඩවැ‍ලේ කොටසක් බඩේ පැත්තකින් එළියට අරන් කොලස්ටම් බෑගයක් සම්බන්ධ කළා. ඒ සැත්කමටත් පැය දෙකක් ගියා”

ටෙහානි සැත්කමට මුහුණ දෙද්දී වැඩිම පීඩාව පැමිණියේ ළහිරුට බවට ඔහුගේ වචන තුළ තිබුණි. දින අටකට පසු රෝහලින් නිවසට ආ ටෙහානිගේ කොලස්ටම් බෑගය ඉවත් කර මහ බඩවැල යථා තත්ත්වයට පත්කිරීමේ සැත්කම වූයේ තවත් මාස එකහමාරකිනි. පුතු ඉපදීමේ සිට ඇය ඒ දක්වා සැත්කම් තුනකට මුහුණ දුන් අතර ඒ අවස්ථා තුනේදීම කුසමත කැපුම් තුවාලද සිදු කරන්නට විය.

“වේදනාවයි, කැස්සයි හොඳ වුණා. ඒත් ශරීරය තරබාරු වීම, බරක් උස්සන්න බැරිවීම, දුර ඇවිදින්න බැරිවීම, වෙහෙස දැනීම වගේ අතුරු ආබාධ ගොඩක් ඉතුරු වුණා.

ඒ වගේම ටෙහානිට පුතා ඉපදුණ පෞද්ගලික රෝහ‍ලේ වෛද්‍යවරයාගේ ඉඳල සුළු සේවකයා දක්වා මේ ගෝස් කෑල්‍ලේ ප්‍රශ්නෙ දන්නවා. නමුත් දිගින් දිගටම රෝහල නිහඬව හිටියා විතරයි. ගෝස් කෑල්ල අයින් කරන ඔපරේෂන් එක කළෙත් මේ රෝහල් ව්‍යාපාරයේම තවත් රෝහලක. එහිදී ඔවුන් පාලන මිලකින් තොරව තමයි අයකිරීම් කළේ. එකම දේට එක එක දවස්වලට එක එක ගණන්. තුවාල පිරිසිදු කරන්න ඒ වගේම පුතා ඉපදුන දා ඉඳලා මේ සියලු සැත්කම්වලට ප්‍රතිකාරවලට, ලක්ෂ විස්සකට නොඅඩු මුදලක් වැය වුණා.

පළමුවැනි අවස්ථාවේ ඉඳලා වෛද්‍යවරයා අපට පැහැදිලි නිර්වචනයක් ලෙඩේ ගැන දුන්නේ නෑ. ජීවිත අවදානමකින් මාස පහක් තිස්සේ අනේකවිධ ශාරීරික හා මානසික පීඩාවන්ට ලක් කිරීමත්, දරුවාට මාස 5 ක් යනතුරු මව්කිරි දීමට නොහැකි වීමත්, අති විශාල ධනස්කන්ධයක් වැය කිරීමට සැලැස්වීමත් සම්බන්ධයෙන් මේ පෞද්ගලික රෝහලට සහ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයාත්, වගඋත්තරකරුවන් කරලා කෝටි 10 ක වන්දියක් ඉල්ලලා නඩුවක් අපි ගොනු කළේ මීට මාස 4 කට කලින්. ඒ නඩුව ෆයිල් වුණේ පෙබරවාරි 14 වැනිදා.

එම්.ඩී.ටී.ඩී. පෙරේරා නමින් පැමිණිල්ල ගොනු කර ඇත්තේ ටෙහානිය. ඉතිරිය ඇත්තේ නීතිය අතය. මේ පිළිබඳව අධිකරණය ලබාදෙන තීන්දුව කුමක්දැයි රටම බලා සිටිනවා ඇත.




Wmqgd .ekSu iriúh mqj;a m; weiqfrks

More News »