මරණ ගෙදරට එළවළු ගේන්න ගොස්‌ මැරුම් කා ගෙදර ගිය උදම්මිට සමරේ

2017-01-02 11:30:00       661
feature-top
සමරදිවාකර මොහොට්‌ටි අප්පුහාමිලාගේ ජානක සමන්ත කුමාර සමරදිවාකර නොහොත් 'උදම්මිට සමරේ' වේයන්ගොඩ ප්‍රදේශයේ කුප්‍රකට චරිතයකි.

වේයන්ගොඩ, නිට්‌ටඹුව, ගම්පහ ප්‍රදේශ කේන්ද්‍රකර ගනිමින් පාතාල ආධිපත්‍යයක්‌ ගොඩනඟා ගන්නට උදම්මිට සමරේ උත්සාහ ගත්තේ මීට වසර පහළොවකට විස්‌සකට පෙර සිටය.

1974 වර්ෂයේ උපත ලැබූ ජානක සමන්ත කුමාර සමරදිවාකර කුඩා කල සිටම දඩබ්බරයකු විය. වේයන්ගොඩ උදම්මිට ප්‍රදේශයේ උපත ලැබූ ජානක සමන්ත හරිහමන් අධ්‍යාපනයක්‌ ලැබුවේ නැත.

තරුණ වියට එළඹීමෙන් පසු වේයන්ගොඩ උදම්මිට ප්‍රදේශයේ රස්‌තියාදුකාරයන්ගේ ඇසුරට එක්‌වූ ජානක සමන්ත කුමාර එවකට මහර ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේශපාලනඥයකුගේ බැල මෙහෙවර කිරීමේ කාර්යයට එක්‌ වන්නේ ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ වෙමින්ය.

ජානක සමන්ත කුමාර සමරදිවාකර, උදම්මිට ප්‍රදේශයේ පදිංචිකරුවකු නිසා කවුරුත් ඔහු ඇමතුවේ 'උදම්මිට සමරේ' යන අන්වර්ථ නාමයෙන්ය. පසු කලෙක පාතාල ලෝකයේ කෙළිකාරයන්ගේ නම් ලැයිස්‌තුවට මොහුගේ නම ඇතුළු වන්නේ 'උදම්මිට සමරේ' ලෙසින්ය.

මහර දේශපාලනඥයාගේ මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් උදම්මිට සමරේ ඇතුළු තරුණයෝ රැසක්‌ දැඩි ලෙස වෙහෙසව කටයුතු කළහ. එහෙත් මැතිවරණ ජයග්‍රහණයෙන් පසු මේ දේශපාලනඥයාගෙන් උදම්මිට සමරේටවත් අනෙකුත් තරුණයන්ටවත් ප්‍රති උපකාර ලැබුණේ නැත. සිත් කලකිරීමෙන් සිටි උදම්මිට සමරේ පසු කලෙක මිනුවන්ගොඩ ප්‍රදේශයේ තවත් ප්‍රසිද්ධ දේශපාලන චරිතයකට වැඩ කරන්නට පටන් ගත්තේය. එහෙත් වැඩි කලක්‌ උදම්මිට සමරේ මේ දේශපාලනඥයා සමඟ එකට සිටියේ නැත.

පසුව උදම්මිට සමරේ ඇතුළු පිරිසක්‌ අත්තනගල්ල ප්‍රදේශයේ එක්‌තරා මැර දේශපාලනඥයකු සමඟ සම්බන්ධ වූහ. රඹුටන් අලෙවි කරන වෙළෙන්දන්ගෙන් පවා කප්පම් ලබා ගැනීම හරහා ඉමහත් ප්‍රසිද්ධියක්‌ ලබා සිටි මේ දේශපාලනඥයා උදම්මිට සමරේ තම දේශපාලන වැඩවලට සම්බන්ධ කර ගත්තේ ඉමහත් සතුටින්ය.

මේ දේශපාලනඥයාගේ බහුතරයක්‌ දහජරා වැඩවලට උදම්මිට සමරේ යොදවා ගත්තේය. මහ එකා මහා පරිමාණයෙන් කප්පම් ලබා ගනිද්දී පහළ සිටින පොඩි උන්ද සුළු පරිමාණවලින් කප්පම් ලබා ගන්නට පටන් ගත්හ. කොටින්ම ගම්පහ, නිට්‌ටඹුව, වේයන්ගොඩ ප්‍රදේශවල අහිංසක ව්‍යාපාරිකයන්ට මේ නරුමයන්ගෙන් කිසිදු ගැලවීමක්‌ තිබුණේ නැත.

ගම්පහ, නිට්‌ටඹුව, වේයන්ගොඩ, තිහාරිය, කළගෙඩිහේන ඇතුළු ප්‍රදේශ ගණනාවක ව්‍යාපාරිකයන්ගෙන්, ධනවත් පුද්ගලයන්ගෙන් ප්‍රසිද්ධියේ කප්පම් ලබාගත් අත්තනගල්ලේ දේශපාලනඥයා සිය ප්‍රතිරූපය රටටම පෙන්නුවේය.

උදම්මිට සමරේ කප්පම් ලබා ගැනීම හුරුපුරුදු වන්නේ ද අත්තනගල්ලේ දේශපාලනඥයාගෙන් ලැබුණු ආභාසයෙන්ය. අත්තනගල්ලේ දේශපාලනඥයාගෙන් ලැබුණු රැකවරණය උදම්මිට සමරේට ලොකු හයියක්‌ වුණේය. අපරාධ කිරීමට ඔහු තුළ තිබූ බිය පහව යන්නේ මේ දේශපාලන රැකවරණය නිසාය. එදා මේ ප්‍රදේශවල සේවය කළ පොලිස්‌ නිලධාරීන් පවා සමරේට එරෙහිව කටයුතු කරන්නට දෙවරක්‌ සිතා බැලූහ.

සමන් ජයවීර, වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකි. උදම්මිට සමරේ දේශපාලන හයිය ප්‍රයෝජනයට ගනිමින් කළ දහජරා වැඩ සමන් ජයවීරට රිස්‌සුවේ නැත.

සුළු සිදුවීමක්‌ මුල්කරගෙන සමන් ජයවීර උදම්මිට සමරේ සමඟ පැටලුණේය. අත්තනගල්ලේ දේශපාලනඥයාගේ හයිය ප්‍රයෝජනයට ගත් උදම්මිට සමරේ තම වෛරක්‌කාරයා බවට පත්ව සිටි සමන් ජයවීරට මරණ වරෙන්තු නිකුත් කළේය.

2003 වර්ෂයේ එක්‌තරා දිනකදී උදම්මිට සමරේ තවත් ගෝලයකු සමඟ ගොස්‌ සමන් ජයවීරට වෙඩි තැබුවේය. ඒ වේයන්ගොඩ නගරයට ආසන්න ස්‌ථානයකදීය. වෙඩි ප්‍රහාරයට ලක්‌ව තුවාල ලැබුව ද සමන් ජයවීරට තවදුරටත් ජීවත් වීමේ වාසනාව උරුමව තිබුණේය.

සමන් ජයවීරට වෙඩිතබා ඝාතනයට තැත් කිරීමේ චෝදනාවට උදම්මිට සමරේ අත්අඩංගුවට පත් වුණේය. මාස කීපයක්‌ තිස්‌සේ පැවති නඩු විභාගය කෙළවර වන්නේ උදම්මිට සමරේට රුපියල් හත්දහස්‌ පන්සීයක දඩ මුදලක්‌ සහ වසර දෙකක සිර දඬුවම් ලබා දෙමින්ය.

උදම්මිට සමරේ මුල්වරට ආණ්‌ඩුවේ බෝඩිමට යන්නේa සමන් ජයවීර ඝාතනයට තැත් කිරීමේ සිද්ධිය මතය. වසර දෙකක්‌ බන්ධනාගාරයේ සිටි සමරේ ඉන් පිටතට එන්නේ පරිණත අපරාධකාරයකු ලෙසය.

බන්ධනාගාරයෙන් පිටතට පැමිණි පසු දා සිටම උදම්මිට සමරේ තම වෛරක්‌කාරයා වූ සමන් ජයවීර සමඟ නිතර නිතර පැටලෙන්නට පටන් ගත්තේය. සමරේ ප්‍රසිද්ධියේ කියා සිටියේ කොයි මොහොතක හෝ තමන් සමන් ජයවීරගෙන් පළිගන්නා බවය.

2006 වර්ෂය වන විට අත්තනගල්ලේ දේශපාලනඥයා ප්‍රබල චරිතයක්‌ බවට පත්ව සිටියේය. ඒ ප්‍රබලත්වය උදම්මිට සමරේට ද නොඅඩුව ලැබී තිබිණි. තම බල ප්‍රදේශයේ අපරාධ කිරීමට මොහු බිය වුණේ නැත.

මොන දහජරා වැඩක්‌ කළ ද තම ස්‌වාමියා තමන් බේරාගන්නා බව උදම්මිට සමරේ හොඳින් දැන සිටියේය.

2008 වර්ෂයේ මැයි මස 07 වැනිදා වේයන්ගොඩ ප්‍රදේශය ගිනිගත්තේය. උදම්මිට සමරේ නමැති පාතාල මැරයා වේයන්ගොඩ දී පුද්ගලයන් දෙදෙනකු වෙඩිතබා ඝාතනය කළේ පාතාල ලෝකය නැවත සක්‍රීය වන බව පෙන්වමින්ය.

උදම්මිට සමරේ අතින් ඝාතනයට ලක්‌වුණේ වසර ගණනක්‌ තිස්‌සේ ඔහුගේ වෛරක්‌කාරයකු බවට පත්ව සිටි සමන් ජයවීර සහ ඔහුගේ හිතවතකු වූ මලින් ද නමැති අයෙකි.

මේ ද්විත්ව ඝාතනයෙන් පසු සමරේ වේයන්ගොඩ ප්‍රදේශය අතහැර වෙනත් ප්‍රදේශයකට පලාගියේ පොලිසියෙන් බේරීම සඳහාය. එහෙත් වැඩි දවසක්‌ උදම්මිට සමරේට කට්‌ටිපනිමින් සිටින්නට ඉඩක්‌ ලැබුණේ නැත.

උදම්මිට සමරේ සහ ඔහුගේ ගෝලයකු පොලිසියට කොටු වුණේය.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සමන් ජයවීර සහ මලින්ද ඝාතන නඩුව විභාග කෙරුණේය. නඩු විභාගය අවසානයේ තීන්දුව ප්‍රකාශයට පත් විය. ද්විත්ව ඝාතනයට වැරදිකරු වූ උදම්මිට සමරේට දඩ මුදලක්‌ සහ වසර දෙකක සිරදඬුවම් ලැබුණේ මුළු වේයන්ගොඩ ප්‍රදේශයම අන්දමන්ද කරමින්ය.

එවකට නිට්‌ටඹුව වෙළෙඳ සංගමයේ සභාපතිවරයා වූයේ සුරංග පීරිස්‌ය. නිට්‌ටඹුවේ වෙළෙඳ ව්‍යාපාරිකයන් අතර මෙන්ම සාමාන්‍ය ජනතාව අතර ද බෙහෙවින් ජනප්‍රිය චරිතයක්‌ වූ සුරංග කොයි කාගේත් දුකේදී මෙන්ම සැපේදී ද එකට සිටි තරුණයෙකි.

නිට්‌ටඹුව වෙළෙඳ සංගමයේ සභාපතිවරයා වීමේ අවශ්‍යතාව උදම්මිට සමරේගේ සිතේ තදින්ම ඇඳී තිබූ සිහිනයක්‌ විය. අවස්‌ථා කීපයකදීම ඔහු මේ සිහිනය සැබෑකර ගැනීමට උත්සාහ කළ ද එය සාර්ථක වී තිබුණේ නැත. සුරංග පීරිස්‌ හැම විටම සමරේගේ පරහට සිටියේය.

වෙළෙඳ සංගමේ සභාපති වීමේ සිහිනය බොඳ කිරීම මෙන්ම තවත් සුළු සිදුවීම් කීපයක්‌ නිසා සමරේ සුරංග පීරිස්‌ සමඟ පැටලුණේය.

සුරංග පීරිස්‌ දිනෙන් දිනම ජනප්‍රිය චරිතයක්‌ බවට පත්වීම සමරේට රිස්‌සුවේ නැත. සුරංග කරලියෙන් ඉවත් කිරීමට උදම්මිට සමරේ ඇතුළු ගෝලබාලයන් සැලසුම් කරන්නේ ඉන් පසුවය.

2010 වර්ෂයේ ජුනි මස 10 වැනිදා නිට්‌ටඹුව නගර මධ්‍යයේ පොසොන් සැරසිලි කරමින් සිටි තරුණයන් පිරිසකි. මේ කටයුත්තේ නියමුවා වුණේ සුරංග පීරිස්‌ය. යතුරුපැදියක යමින් ඔහු පොසොන් සැරසිලි සිදුකරන ආකාරය පිළිබඳ සොයා බැලුවේය. මේ අතර මෝටර් රථයක්‌ සුරංග පීරිස්‌ පසුපස ලුහුබැන්දේය.

දෙනෝදාහක්‌ දෙනා බලා සිටියදී මෝටර් රථයෙන් ආ පාතාල මැරයන් පිරිසක්‌ සුරංග පීරිස්‌ට වෙඩි තබන්නට වූහ. ඒ වන විට පොලිස්‌ නිලධාරීන් පවා නිට්‌ටඹුව නගර මධ්‍යයේ රාජකාරී කරමින් සිටිය ද ඔවුන්ට කරකියා ගන්නට දෙයක්‌ ඉතිරිව තිබුණේ නැත.

තත්පර ගණනකදී සිය ඉලක්‌කය සපුරාගත් මැර පිරිස නිට්‌ටඹුව නගරය භීතියට පත් කරමින් පලා ගියහ.

සුරංග පීරිස්‌ අවසන් ගමන් ගියේය. මේ ඝාතනය සිදුවී සෑහෙන දවසක්‌ ගත වුව ද කිසිs පරීක්‌ෂණයක්‌ සිදු කෙරුණේ නැත. සුරංග පීරිස්‌ ඝාතන සම්බන්ධයෙන් වූ විමර්ශනවලට අත්තනගල්ලේ දේශපාලනඥයා කෙළින්ම බලපෑම් කළේය. සුරංග පීරිස්‌ ඝාතනය පිටුපස උදම්මිට සමරේ සිටින බව ප්‍රසිද්ධ රහසක්‌ වුව ද ඔහු අත්අඩංගුවට පත්වුණේ නැත.

වසර කීපයක්‌ තිස්‌සේ කළ පරීක්‌ෂණවලින් පසු සුරංග පීරිස්‌ ඝාතනය කිරීමේ චෝදනාව මත උදම්මිට සමරේ සහ තවත් පාතාල සාමාජිකයන් දෙදෙනෙක්‌ අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වූහ.

දේවක ලසන්ත කුමාර නමැත්තා ද සුරංග පීරිස්‌ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්‌ අත්අඩංගුවට පත් වුණේය. දේවක නමැත්තා ද පාතාල ලෝකයේ කෙරුම්කාරයකු වූ අතර පසු කලෙක මිනුවන්ගොඩදී වෙඩි ප්‍රහාරයකට ලක්‌ව ඝාතනය වුණේය.

සුරංග පීරිස්‌ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් වසර කීපයක්‌ තිස්‌සේ බන්ධනාගාරගතව සිටි උදම්මිට සමරේ ඇපමත මුදාහරින්නේ මීට වසරකට පමණ උඩදීය.

සමරේ නැවත වේයන්ගොඩ ප්‍රදේශයට ආවේය. එහෙත් ඒ වන විට ආණ්‌ඩු පෙරළියක්‌ සිදුවී තිබිණි. අත්තනගල්ලේ දේශපාලනඥයාගේ බලය මුළුමනින්ම බිඳී ගොස්‌ තිබිණි. තම හිතවත් දේශපාලනඥයාගේ බල බිඳී යැම තදින්ම දැනුණේ උදම්මිට සමරේටය.

ඒ වන විට පාතාලයේ කෙරුම්කාරයකුව සිටි සමරේ ස්‌වාධීන අපරාධකාරයකු ලෙස නැඟී සිටින්නට උත්සාහ ගත්තේය.

වේයන්ගොඩ, නිට්‌ටඹුව, තිහාරිය ප්‍රදේශවල ධනවත් ව්‍යාපාරිකයන්ගෙන් මාසිකව කප්පම් මුදල් ලබා ගැනීම සමරේගේ ප්‍රධාන ආදායම් මාර්ගය බවට පත්ව තිබුණේය. ඊට අමතරව 'ඩේලි කලෙක්‌ෂන්' (මුදල් පොලියට දීම) ව්‍යාපාරය ද ජයටම කරගෙන ගිය සමරේ ඒ හරහා ද විශාල මුදලක්‌ උපයා ගත්තේය.

චාමර වේයන්ගොඩ ප්‍රදේශයේම පදිංචි සුළු ව්‍යාපාරිකයෙකි. උදම්මිට සමරේ මෙන්ම චාමර ද අත්තනගල්ලේ දේශපාලනඥයා බලවතකුව සිටි සමයේ ඔහුගේ සුවච කීකරු ගෝලයෝ වූහ.

චාමර ගණේමුල්ලේ සංජීව නමැති පාතාල කෙරුම්කාරයා සමීපව ඇසුරු කළේය. ගණේමුල්ලේ සංජීව කොළඹ පාතාලයේ මහා කෙරුම්කාරයන් ලෙස හඳුන්වන බ්ලූමැන්ඩල් සංඛගේ සහ

ආමි සම්පත්ගේ සමීපතම හිතමිතුරකු විය.

උදම්මිට සමරේ දෙමටගොඩ චමින්ද නමැති පාතාල කෙරුම්කාරයන් සමඟ සම්බන්ධය පැවැත්වූයේ මීට වසර ගණනාවකට පෙර සිටය.

චාමර සහ උදම්මිට සමරේ එකට කා බී එකට දේශපාලනය කළ ද ඔවුන් අතර එතරම් හොඳ සම්බන්ධතාවක්‌ තිබුණේ නැත. මුදල් ආරවුලක්‌ සම්බන්ධයෙන් චාමර සහ උදම්මිට සමරේ අතර ආරවුලක්‌ හටත්තේ මේ අතරතුරදීය. තවත් ආරවුල් කීපයක්‌ නිසා චාමර උදම්මිට සමරේ සමඟ සිටියේ දැඩි වෛරයකින්ය.

උදම්මිට සමරේ තමන් උපන් ගමේ ජනතාවට බෙහෙවින් සමීප චරිතයක්‌ විය. ගමේ කාට හෝ විපතක්‌, කරදරයක්‌ සිදුවූ විම මුලින්ම ඉදිරිපත් වුණේ සමරේය. ගමේ කොහේ හෝ අවමඟුලක්‌ සිදුවුවහොත් එහි පැමිණෙන අයට ආහාර පාන ලබාදීමේ කාර්යය සිදු කළේ උදම්මිට සමරේ විසින්ය. ඒ සියලු වියදම් දැරුවේ ඔහුය.

පසුගිය දා පැවති කඨින පිංකම් මාලාවේදී එක්‌තරා විහාරස්‌ථානයක්‌ වෙත සමරේ රුපියල් විසි ලක්‌ෂයක මුදලක්‌ පූජා කළේ ආගම දහමට තමන් නැඹුරු පුද්ගලයකු බව පෙන්වීමටය.

චාමර සහ සමරේ අතර ආරවුල දිග්ගැස්‌සෙන්නට පටන් ගත්තේය. සමරේ කරළියෙන් ඉවත් කිරීමේ රහසිගත සැලසුමක්‌ සකස්‌ වෙමින් තිබුණේය. එහි ප්‍රධානියා වූයේ චාමරය. ඒ සඳහා ඔහුගේ සොහොයුරා මෙන්ම තවත් කීපදෙනකු ද සම්බන්ධ වී සිටියහ.

සමරේ ඝාතනය කිරීම සඳහා අවශ්‍ය ගිනිඅවිය ලබාගන්නේ ගණේමුල්ලේ සංජීව නමැත්තා හරහාය. දෙමටගොඩදී බන්ධනාගාර බස්‌ රථයකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගණේමුල්ලේ සංජීව බන්ධනාගාරගතව සිටිය ද ඔහු ක්‍රියාකාරී පාතාල සාමාජිකයෙකි. චාමරගේ අවශ්‍යතාව සඳහා වුවමනා කළ ටී 56 ගිනිඅවිය සහ පිස්‌තෝල සංජීව ලබාදෙන්නේ බන්ධනාගාරයේ සිටය.

2016 වර්ෂයේ දෙසැම්බර් 24 වැනිදා රාත්‍රිය උදාවෙමින් තිබිණි. උදම්මිට ගම්මානයේ සිදුවූ අවමංගල්‍යයකට අවශ්‍ය කෙරෙන ආහාර පාන සැපයීමේ කාර්යය සමරේ ඇතුළු සගයන් විසින් භාරගෙන සිටියහ.

එදින රාත්‍රියේ සමරේ ඇතුළු පිරිස වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්‌ථානය වෙත පැමිණෙන්නේ අවමංගල්‍යයට ආහාර පාන සපයාදීමට අවශ්‍ය එළවළු මිලදී ගැනීම සඳහාය. උදම්මිට සමරේ තම ආරක්‌ෂාව සඳහා ගෝලබාලයන් තුන් හතර දෙනකු පිරිවරාගෙන ගමන් බිමන් යැමට පුරුදුව සිටියේය.

පැය කීපයක්‌ ගතවන්නට පෙර එළවළු ඇතුළු අනෙකුත් බඩු බාහිරාදිය ලබාගත් උදම්මිට සමරේ සිය ගෝලබාලයන් ද සමඟ මෝටර් රථයට නැඟුණේ හැකි ඉක්‌මනින් නිවස බලායන අරමුණෙන්ය.

එහෙත් සමරේගේ මාරයා ඒ වන විට මඟ රැකගෙන සිටියේය. වෙසල් වර්ගයේ ජීප් රථයක සහ යතුරුපැදියක නැඟී පැමිණි සන්නද්ධ කණ්‌ඩායම වේයන්ගොඩ දුම්රිය හරස්‌ මාර්ගය අසල පිහිටි පාලම මතදී උදම්මිට සමරේ ගමන්ගත් මෝටර් රථයට පන්න පන්නා වෙඩි තබන්නට වූහ.

ඒ වන විට මෝටර් රථය පදවමින් සිටියේ උදම්මිට සමරේය. යතුරුපැදියෙන් ආ ඝාතකයා එල්ල කළ වෙඩි ප්‍රහාර රැසක්‌ සමරේගේ සිරුර සිදුරු කරගෙන ගොස්‌ තිබිණි.

පාලනයකින් තොරව ඉදිරියට ධාවනය වූ හයිබ්‍රිඩ් මෝටර් රථය වෙළෙඳසලක බිත්තියේ ගැටී නතර වුණේය. ඒ වන විටත් උදම්මිට සමරේ අවසන් ගමන් ගොස්‌ සිටියේය. තම ඉලක්‌කය සපුරාගත් චාමර ඇතුළු සගයන් නිරුපද්‍රිතව පලා ගියහ.

වසර විස්‌සකට ආසන්න කාලයක්‌ තිස්‌සේ පාතාලයට පෙම් කරමින් විවිධ දේශපාලනඥයන්ගේ අතකොළුවක්‌ බවට පත්ව සිටි උදම්මිට සමරේ අවසන් ගමන් යන්නේ වේයන්ගොඩ ප්‍රදේශයට විරාමයක්‌ ලබාදෙමින්ය.

.divaina.com



More News »