කෝටි 1500ක් වටිනා දකුණු ආසියාවේ ලොකුම කොකේන් තොගය වැටලූ මෙහෙයුම

2016-12-23 10:17:00       589
feature-top
දැන් දැන් අපේ රටට කොකේන් එන්නේ කිලෝ ගණනින්, ගෝනි  ගණනින් නොව කන්ටේනර් ගණනින්ය. මෙවැනි කොකේන් තොගයක නියම මුදල් වටිනාකම ගණන් බැලුවහොත් ‍පෝට් සිටිය හා සමාන තවත් නගරයක් වුව සැදීමට තරම් ප්‍රමාණවත්ය. මෙසේ කන්ටේනර් ගණනින් ලංකාවට ආවත් හෙරොයින් තරම් කොකේන් බොන්නෝ ලංකාවේ නැත. අනුපාතයක් හැටියට ගතහොත් හෙරොයින් උරන්නන් දහසකට කොකේන් උරන්නෝ විසි පහකි. ඒ කොකේන් හෙරොයින්වලට වඩා තුන් හතර ගුණයක් වටිනාකමින් ඉහළ නිසාය.

එසේ නම් මෙතරම් කොකේන් රටට එන්නේ ඇයි? මේවා උරන්නේ කවුරුන්ද? තොග ගණනින් අත්අඩංගුවට පත් වුවත් මේ ජාවාරම නොනවතින්නේ ඇයිද යන්න මේ විට ගැටලුවක් වී ඇත. ඒ නිසා මේ ප්‍රශ්නවලටත් අවසාන මොහොතේ කොටු වූ දකුණු ආසියාවේ ලොකුම කොකේන් තොගය ගැනත් තොරතුරු හෙළිවන්නේ සැඟවුණු රහස් රැසක් සමගිනි.

පසුගිය 9 වැනි දා දකුණු ආසියාවේ ලොකුම කොකේන් තොගය අත්අඩංගුවට ගැනීමට ලංකාවේ මත්ද්‍රව්‍ය කාර්යාංශයට හැකි විය. මෙය සැබැවින්ම මෙරටට පැමිණි කොකේන් තොගයක් නොව ඉන්දියාවට යෑමට තිබූ කොකේන් තොගයක් බව මේ වන විට හෙළි වී ඇත. එහෙත් එය ඇත්තම දැයි ස්ථිර වශයෙන් කීමට හැකියාවක් තවමත් නැත. ඒ මෙම කන්ටේනරය ලංකාවෙන් හමු වූ පළමු කන්ටේනරය නොවන නිසාය. එපමණක් නොව මෙම කන්ටේනරයට අඩංගු ලිපි ‍ලේඛනවල ගැටලු ඇති නිසාය. ඒ නිසා මෙය ඉන්දියාවට යන බැව් කිවූවත් ඇත්තටම ආවේ ලංකාවට ද යන්න ගැන ද සැකයක් ඇත.

දැනට හෙළි වී ඇති තොරතුරුවලට අනුව ඉහත කී කොකේන් තොගය අඩංගු කන්ටේනර් පෙට්ටිය ඉක්වදෝරයෙන් නැව්ගත කර ඇත්තේ පසුගිය ඔක්තෝබර් 02 වැනිදාය. ඒත් ඒ ලංකාවට පැමිණි නැවට නොව වෙනත් නැවකට බව ද දැන් හෙළි වී ඇත. මෙම කන්ටේනර් පෙට්ටිය සමග තවත් කන්ටේනර් පෙට්ටි දෙකක් ජාවාරම්කරුවන් විසින් නැවට ඇතුළු කර ඇත. ඒ තුළ ද තිබි ඇත්තේ මැහෝගනී දැව කඳන්ය. මෙසේ ඔක්තෝබර් 02 දා නැව්ගත කළ කන්ටේනර් පෙට්ටි තුන නොවැම්බර් 18 වැනි දා බෙල්ජියමට පැමිණ ඇත. බෙල්ජියමට පැමිණීමෙන් අනතුරුව මෙම කන්ටේනර් පෙට්ටි තුන එහි දී සැබියුලා නමැති නැවට පටවා ඇත. ලංකාවට පැමිණියේ ඒ සැබියුලා නැවයි.

එම නැව පසුගිය 28 වැනි දා බෙල්ජියමින් පිටත් වී ඇති අතර ඊට පසුව සේන්දු වී ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නගරයටයි. ඩුබායි වරායේ දී මෙකී කන්ටේනර් පෙට්ටි තුනෙන් දෙකක් තවත් නැවකට මාරුකර ඇත. ඒ ඉන්දියාව බලා යාත්‍රා කරන නැවකටය.

එම නැවට එකී කන්ටේනර් දෙක පමණක් ඇතුළු කළත් කොකේන් අඩංගු කන්ටේනර් පෙට්ටිය ඇතුළු කර නැත. එහෙත් නැවේ බලධාරීන් කියන ආකාරයට මෙම කන්ටේනර් පෙට්ටිය ද යන්නට තිබුණේ ඉන්දියාවටය. එසේ නම් අනෙක් කන්ටේනර් පෙට්ටි දෙක සමග එක කන්ටේනර් පෙට්ටියක් නොගියේ ඇයි. සැබැවින්ම එය ප්‍රශ්නයකි.
කෙසේ වෙතත් ඩුබායිහි දී ඉන්දියාව බලා යන නැවට නොපැටවුණ කන්ටේනර් පෙට්ටියත් සමග නැව මෙරටට එන්නේ පසුගිය අටවැනිදාය. එදින නැව මෙරටට පැමිණෙන විටත් අදාළ නැවේ කොකේන් අඩංගු කන්ටේනරයක් ඇති බව මෙරට මත්ද්‍රව්‍ය නාශක කාර්යාශය දැන සිටියහ. ඒ තුළින් ලැබුණ තොරතුරකට අනුවය. මේ නිසා එම කාර්යාංශයේ නිලධාරීන් අධිකරණ නියෝගයක් ද ගෙන අදාළ නැව පැමිණි පසුව එය සෝදිසි කිරීමට පියවර ගෙන තිබුණි.
මේ අනුව නැව අටවැනි දා මෙරට මුහුදු සීමාවට ඇතුළු විය. එසේ ඇතුළු වූ මොහොතේ පටන් නාවික හමුදාවේ බෝට්ටු කිහිපයක් යොදාගෙන සම්පූර්ණයෙන් නැව ආරක්ෂා කරන්නට වූහ. නැව කොළඹ වරායට ඇතුළු කළේ ද එම ආරක්ෂාව යටතේමය. එදින සවසම අදාළ සෝදිසි කිරීම් ආරම්භ කළ අතර එම නැවෙහි මෙරටට ගෙනෙන ලද කන්ටේනර් පෙට්ටි 2070කට ආසන්න ප්‍රමාණයක් තිබිණි. එම කන්ටේනර් පෙට්ටි ගොඩබාන්නට ඉඩ දී සැක සහිත කන්ටේනර් පෙට්ටිය සම්බන්ධව සොයා බැලීමක් ‍පොලිසිය සහ රේගුව එක්ව සිදු කළේය. අවසානයේ දී එකී සැක සහිත කන්ටේනර් පෙට්ටිය සොයා ගැනීමට හැකි වූයේ නැවේ යට කොටසේ තවත් කන්ටේනර් පෙට්ටි තිස් හයකට යටින් ආරක්ෂා සහිතව සඟවා තිබියදීය.

මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් නැවට දන්වා අදාළ කන්ටේනර් පෙට්ටිය එළියට ගෙන පූර්ණ ආරක්ෂාව යටතේ පසුදින දක්වා එය රඳවා ගත්හ.

පසුදින අදාළ කන්ටේනරයේ ලිපි ‍ලේඛන පරීක්ෂා කළ අතර ඒවා ගැටලු සහගත විය. එපමණක් නොව එම පෙට්ටියේ මුද්‍රා ගලවා තිබූ අතර අදාළ කන්ටේනර් පෙට්ටියට නැව් සමාගමේ මුද්‍රාවක් ද තබා නොතිබිණි. ඒ අනුව ආරක්ෂක අංශ විසින් මෙකී සැකකටයුතු කන්ටේනර් පෙට්ටිය විවෘත කළේය. කන්ටේනරය පුරවා තිබුණේ මැහෝගනී ලී තොගයකිනි. එම මැහෝගනී ලී අතින් ඇදඑළියට දැමීමට නොහැකි සේ අසුරා තිබූ නිසා මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් යන්ත්‍රයක ආධාරයෙන් එම ලී එකින් එක එළියට ඇද දැමූහ. මේ අයුරින් සම්පූර්ණ ලී තොගයම ඉවත්කර කන්ටේනර් පෙට්ටිය හිස් කිරීමෙන් පසුව කන්ටේනර් පෙට්ටිය මැද කළු පැහැති ගෝනිවල අසුරා තිබූ කොකේන් තොගයක් සොයා ගැනීමට හැකිවිය.

එය ඉතා විශාල කොකේන් තොගයකි. ‍පොලිසිය මුලින්ම මාධ්‍යයට නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ කිලෝ 800ක් බැරැති කොකේන් තොගයක් සොයාගත් බවයි. එහෙත් පසුව කරන ලද විමර්ශනවල දී එහි සත්‍ය බර කිලෝ 950ක් පමණ වන බව පැහැදිලි විය. ඒ අනුව මෙය මතෛක් දකුණු ආසියානු කලාපයෙන් අත්අඩංගුවට ගැනුණු විශාලතම කොකේන් තොගය බවට ද හෙළිවිය.

කෙසේ වෙතත් මෙම පරීක්ෂණයේ දී හෙළි වුණේ මෙම කන්ටේනරය පසුපස කොලොම්බියානු ජාතිකයන් පස්දෙනකු සිටින බවයි. ඔවුන් පස්දෙනා ඉක්වදෝරයෙන් පිටත් වී ඩුබායි නගරයටත් ඉන් අනතුරුව ඉන්දියාවටත් පැමිණීමට නියමිතව තිබි ඇත. එහෙත් මේ වන විට ඔවුන් පස්දෙනා අතුරුදන් වී ඇත. කෙසේ වෙතත් මේ පස්දෙනා මේ වනවිට ඉන්දියාවට ඇතුළු වී ඇති බවට ද තොරතුරු ලැබි ඇත.

මෙම කන්ටේනර් පෙට්ටිය ඉන්දියාවට යෑමට තිබුණේ නම් ලංකාවට ආවේ කෙසේද යන්න ගැටලුවක් වී ඇත. එසේම ඩුබායිහි දී අදාළ නැවේ තිබූ අනෙක් කන්ටේනර් පෙට්ටි දෙක පමණක් ඉන්දියාවට යවා මෙය පමණක් ලංකාවට රැගෙන ආවේ ඇයිද යන්න ගැටලුවකි.

දැනට ආරක්ෂක අංශවලට ලැබි තිබෙන තොරතුරු අනුව කොකේන් මෙරටින් පිටරටට යවන බව හෙළි වී ඇත. විශේෂයෙන් තේ කොළ අස්සෙහි සඟවා යුරෝපයට යැවීමට උත්සාහ ගන්නවා විය හැකි යැයි ‍පොලිසිය සඳහන් කරයි. එයට හේතු වී ඇත්තේ ලංකාව කෙරෙහි ඇති යුරෝපයේ ඇති විශ්වාසයයි. යුරෝපය ඇතුළු ලෝකයේ බොහෝ රටවල වෙනත් ඕනෑම රටකින් පැමිණෙන භාණ්ඩ දැඩි සෝදිසියට ලක් කළත් ලංකාවෙන් පැමිණෙන භාණ්ඩ එතරම් සෝදිසියකට ලක් නොකෙරේ. එපමණක් නොව ලෝකයේ වැඩිම කොකේන් පානය සිදුවන්නේ ද යුරෝපයේ බව නොරහසකි. ඒ නිසා මෙරට කොකේන් බොන පිරිස අඩුනම් මෙරටින් වෙනත් රටකට යැවීමට ඇති ඉඩකඩත් වැඩිනම් ලංකාව කොකේන් පිටතට යවන මධ්‍යස්ථානයක් නොවන්නේද? එයට පිළිතුරු ළඟදීම හෙළිවනු ඇත.

rivira.lk


More News »