සිව් හැවිරිදි පුතුටත් වෙඩි තැබුවේ ඥාතී වෛරය නිසාද? අම්බලන්ගොඩින් තවත් ලේ සෙල්ලමක්‌...

2016-12-14 11:15:00       659
feature-top
හෙණ ගහන වැස්‌සත් සමඟ
උණ්‌ඩ වැස්‌සක්‌ පවුලේ තිදෙනාම බිලි ගනී

අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් පසුගිය කාලයේම පාහේ අසන්නට ලැබුණේ මිනීමැරුම් වැලකි. කොටින්ම කිවහොත් මෙකී මිනී මැරුම් වැල සිදුවූයේ හින්දි චිත්‍රපටවල ඇති දර්ශන පෙළක්‌ මෙනි. අම්බලන්ගොඩ සිදුවන මෙකී මිනීමරාගැනිල්ල නිසා එම ප්‍රදේශයේ ජනතාවද භීතියට පත්ව ඇත්තේය. මෙකී ඝාතනවැලට අලුතින්ම එකතු වූයේ එකම පවුලේ තිදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමයි. මෙම ත්‍රිත්ව ඝාතනයේ දී කටේ කිරිසුවඳවත් නොගිය සිව් හැවිරිදි පුංචි දරුවෙකුටද සිය ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවිය. සැබවින්ම මෙය මහපොළොව නූහුලන අපරාධයකි.

අම්බලන්ගොඩ පොලිස්‌ වසමේ 2016 වසරේ සිදුකළ වෙඩි තැබීම් හයකින් පුද්ගලයින් නවදෙනෙකු ඝාතනයට ලක්‌වී තිබේ. පසුගිය ජනවාරි 10 වැනි දින අම්බලන්ගොඩ රොන්නදූව ප්‍රදේශයේ වසන්ත සොයිසා හෙවත් වසා වෙඩිතබා ඝාතනය කරනු ලැබූ අතර පෙබරවාරි මස 10 වැනි දින බලපිටිය අධිකරණය අසල දී රසික සම්පත් සහ කේ. ඒ. පියරත්න නැමති අයවලුන් වෙඩිතබා ඝාතනය කරනු ලැබීය.

මාර්තු මස 28 වැනි දින අම්බලන්ගොඩ ධීවර වරායේදී සිදුකළ වෙඩිතැබීමකින් සුසන්ත මානවඩු නැමති ව්‍යාපාරිකයෙකු ඝාතනයට ලක්‌වූ අතර ජූලි මස 18 වැනි දින බලපිටිය හීනටිය ප්‍රදේශයේදී මාදුවගේ සරත් නැමති ව්‍යාපාරිකයා වෙඩි තබා ඝාතනය කරනු ලැබීය.

අගෝස්‌තු මස 12 වැනි දින අම්බලන්ගොඩ මානිමුල්ල ප්‍රදේශයේ දී ගාල්ල ක්‍රිකට්‌ සමාජයේ හිටපු සභාපති හැළඹගේ ප්‍රේමසිරි නමැති අය වෙඩිතබා ඝාතනය කරනු ලබන අතර ඉකුත් 05 දා පස්‌වරුවේ අම්බලන්ගොඩ කුලීගොඩදී එකම පවුලේ තිදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියත් සමඟ මෙම වසරේ අම්බලන්ගොඩ පොලිස්‌ වසමේ වෙඩි තැබීමෙන් පුද්ගලයින් නව දෙනෙකු ඝාතනයට ලක්‌ව ඇත.

කලින් සිදු කළ වෙඩිතැබීම් වලට සම්බන්ධ සැකකරුවන් මේ වන විට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පැවසේ. ඒ කොයිහැටි වුවද මේ ඝාතන වැලට අලුතෙන්ම එකතු වූ එකම පවුලේ මව පියා හා පුතුගේ ඝාතනයන් තවමත් අභිරහසක්‌ බවට පත්ව තිබේ. මෙම ලිපිය ලියන මොහොත වනතුරුත් මෙකී ත්‍රිත්ව ඝාතනයට සම්බන්ධ කිසිවෙකු පොලිසිය විසින් කොටුකරගෙන නොතිබුණි. එහෙත් පොලිසිය විසින් පුද්ගලයන් කිහිපදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවද පැවසේ. ඉතා අමානුෂික ලෙස වෙඩිතබා ඝාතනය කොට තිබුණේ අම්බලන්ගොඩ මාදම්පාගම ඉඩම්ගොට ප්‍රදේශයේ පදිංචිව සිටි ඉන්දික ද සොයිසා (32) අගම්පොඩි දේවිකා (27) සිරිමාදුර රන්දික ද සොයිසා (04) නමැති එකම පවුලේ පියා, මව හා පුතුය.

ඉන්දික ද සොයිසා ව්‍යාපාරිකයෙකි. ඔහු තිස්‌දෙහැවිරිදි වියේ පසුවූයේය. ඉන්දික කුරාකූඹියෙකුටවත් වරදක්‌ නොකළ තමන්ගේ පාඩුවේ ජීවත් වූ අයෙකි. ඉන්දිකට මුලදී හරිහමන් රැකියාවක්‌ තිබුණේ නැත. ඉන්දිකගේ මව විදේශතව සිටියදී හරිහම්බකරගත් මුදල් ද යොදවා කුඩාවට සිල්ලර වෙළෙඳාමක්‌ පටන්ගත්තේය.

ඉන්දික තම පියා සමඟ මෙම සිල්ලර කඩය කරගෙන ගියේය. කාලය කෙමින් ගෙවී යමින් තිබුණි. "පුතේ දැන් උඹේ කළ වයසත් හරි කවුරුහරි ගෙදරට කැන්දාගෙන ආවොත් නරකද" ඉන්දිකගේ මව නිරන්තරයෙන්ම ඉන්දිකට කීවාය. ඒ අනුව ඉන්දික දේවිකා නමැති යුවතිය සමග අතිනත ගන්නේය. ඇය ද ඉඩම්ගොට ප්‍රදේශයේ පදිංචිකාරියකි. යෝජනාවකින් යුග දිවියට පිවිසෙන ඉන්දික හා දේවිකා නෑනා මස්‌සිනාලාය. යුගදිවියට පිවිසීමෙන් පසු දේවිකාද ඉන්දිකගේ ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධ වූවාය. ඇය ද තමන්ට පුළු පුළුවන් ආකාරයට වෙළෙඳසලේ කටයුතුවලට උදව් කළාය.

පුතාට හරිහමන් රැකියාවකුත් නැහැ නේ. මේ වෙළෙඳසැල තනියෙන් පුතාට කරගෙන යන්න දෙමු. ඉන්දිකගේ මව පියාට කීවාය. ඒ අනුව මෙතෙක්‌ කල් පිය පුතු දෙපල විසින් එක්‌ව පවත්වාගෙන ගිය ව්‍යාපාරික ස්‌ථානයේ කටයුතු වලින් පියා ඉවත් විය. මේ අතරතුර ඉන්දිකලාගේ කැදැල්ලට තුන්වැන්නකුද එකතු වි සිටියේය. ඒ පුංචි පුතෙකි. සිරිමාදුර රන්දික යනුවෙන් මේ පුංචි පුතුට නම් තැබුවේය. ඉන්දිකලාගේ වෙළෙඳ ව්‍යාපාරයද දිනෙන් දින දියුණු වෙමින් පැවතුණි. කොටින්ම කිවහොත් ඉන්දික දිරිය මිනිසෙකි. ඉන්දිකගේ බිරිඳගේ පර්ශවය යමක්‌ කමක්‌ තිබෙන පවුලකි. දේවිකාගේ පවුලේ අයද ඉන්දිකගේ ව්‍යාපාරික කටයුතු සඳහා උදව් කළාය. ඒ අනුව සිල්ලර කඩයක්‌ ලෙස පවත්වාගෙන ගිය මෙම වෙළෙඳ සල සුපිරි වෙළෙඳ සලක්‌ බවට පත්විය.

රන්දික කුඩා පුතු මේ පුංචි පවුලේ සුරතලා බවට පත්ව සිටියේය. බහතෝරන වියේ පසු වූ මේ පුංචි පුතු සුරතල් වදන් තෙපළමින් සවස්‌ කාලයේ මවත් පියාත් සමඟ මෙම වෙළෙඳ සල තුළ රැඳී සිටින්නේය.

ඉන්දිකලාගේ වෙළෙඳාම දිනෙන් දින දියුණුවට පත්වෙමින් තිබූ අතර ඉන්දික තම ඉඩමට යාබදින් ඉඩම් කැබැල්ලක්‌ද මිලදී ගනු ලැබීය. ඉන්දිකලාගේ නිවස පිහිටා තිබුණේ මෙම ව්‍යාපාරික ස්‌ථානයට

යාබදවය. වෙළෙඳසලේ සිට මීටර් 250 ක්‌ පමණ පිටුපසට වන්නට ඉන්දිකලාගේ මහගෙදර පිහිටා තිබූ අතර එහි මවත් පියාත් පදිංචිව සිටියහ.

ඉන්දික හා දේවිකාගේ කුඩා පුතු මේ වනවිට සිව්හැවිරිදි වියේ පසු වූයේය. රන්දික පෙරපාසල් ගියේ ඒ අවට තිබූ පෙරපාසලකටය. රන්දික පුතුට මව පියා මෙන්ම ආච්චිඅම්මා හා සීයා දැඩි ලෙස ආදරය කළහ. රන්දික පුතුගේ පෙරපාසලේ වාර්ෂික උත්සවය පැවැත්විමට නියමිතව තිබුණේ මෙම මස 19 වැනිදාය. එම උත්සවය වෙනුවෙන් දේවිකා රන්දික පුතුට ඇඳුම් පැළඳුම් සූදානම් කරමින් ලෑස්‌ති වූවාය. පස්‌වරුවේ සිට වෙළෙඳසැල වසන තෙක්‌ ඉන්දික දේවිකා හා පුතු වෙළෙඳසලේ සිටිමට පුරුදුව සිටියහ.

දිනක පමණ සිට ඉන්දිකලාගේ වෙළෙඳසලේ සවිකොට තිබූ සීසීටීවී කෑමරාවද අක්‍රියවී තිබුණි. "වෙළෙඳසලේ තිබෙන සීසීටීවී කැමරාවත් කැඩිලා. මොකක්‌ වෙලාද දන්නේ නැහැ කැමරාව හදාගන්නත් ඕන..." ඉන්දික තම බිරිඳගේ නිවසේ සිට කීවේය. දිනය ඉකුත් 05 වැනිදාය. එදින පස්‌වරුවේ සිට පැවතියේ තද වර්ෂාවකි. රාත්‍රිය වනවිට වර්ෂාව මොරසූරන වර්ෂාවක්‌ බවට පත්ව තිබුණේය. අකුණු ගැසීම්වලින් ද අඩුවක්‌ නොවීය. ඉන්දික තම බිරිඳ හා පුතු සමඟ වෙළෙඳ සලට වී සිටියහ. කුඩා පුතු වෙළෙඳ සැල පිහිටි රාක්‌ක වටා දිව යමින් සිටියේය. වරෙක මේ පුංචි පුතු මවගේ ඇඟේ දැවටෙමින් ඇයත් සමඟ සුරතල් වූයේය. සුරතල් බස්‌තෙපළමින් පෙර පාසලේ පැවැත්වෙන උත්සවය ගැනද මවත් සමග කතා බස්‌කරන්නට ඇත.

ඉන්දික පුරුදු පරිදි වෙළෙඳ සලේ ගනුදෙනු අවසන් කොට ගණන් හිලව් බලමින් සිටියේය. පවුලේ අය එකට ගතකරනු අවසන් රාත්‍රිය මෙය බව ඉන්දික සිහිනෙන්වත් නොසිතන්නට ඇත. ඒ වන විට වෙලාව රාත්‍රි 8.50 ට පමණ වන්නට ඇත. ඒ වනවිටත් වර්ෂාව තදින් පතිත වෙමින් තිබුණේය. හෙණගෙඩි වැටෙනවාක්‌ මෙන් වර්ෂාව ඇදහැළෙමින් තිබුණි. මුහුණු ආවරණය කරගෙන යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්‌කුකරුවන් දෙදෙනෙක්‌ එකවරම වෙළෙඳ සැල තුළට කඩා වැදුණේය. ඔවුහු ඉවක්‌ බවක්‌ නැතිව ටී 56 ගිණි අවියකින් හා මිලිමීටර් නමය වර්ගයේ පිස්‌තෝලයකින් වෙඩි තබන්නට වූහ.

වෙළෙඳසලේ සිටි ව්‍යාපාරිකයාගේ බිරිඳගේ හා පුතුගේ හිස්‌ කබල් පසාරුකරමින් වෙඩි උණ්‌ඩ පිටවන්නට විය. ඉන් නොනැවතුණු තුවක්‌කුකරුවන් වෙළෙඳසල තුළ වැටී සිටි මේ තිදෙනාට යළිත් වෙඩි පිට වෙඩි තබමින් පලා යන්නට වුහ. සහාසිකයන් විසින් සිව් හැවිරිදි වියේ පසුවූ කුඩා පුතුද වෙඩි තබා ඝාතනය කරනු ලැබුවේ ඉතා අමානුෂික අයුරිනි. හිත්පිත් නැති තුවක්‌කුකරුවන් පුංචි පුතුගේ හිසට හා උදරයට වෙඩි උණ්‌ඩ පහක්‌ පමණ තබා තිබුණි. ඝාතකයින්ගේ අරමුණ වන්නට ඇත්තේ කිසිදු සාක්‌ෂියක්‌ ඉතිරි නොකොට පුංචි පුතුද ඝාතනය කිරීමයි. මෙම මස 19 වැනි දින තම මවත් පියාත් සමඟ පෙරපාසල් උත්සවයට යැමට ඇඟිලි ගනිමින් සිටි මේ පුංචි පුතු ඇතුළු පවුලේ අය මරාදමා තිබුණේ ඉතා නින්දිත අයුරිනි. මහපොළව නූහුලන මේ අපරාධයෙන් අම්බලන්ගොඩ ඉඩම්ගොට ප්‍රදේශයම ශෝකයෙන් ඇළලීගොස්‌ ඇත්තේය.

ඒ වනවිට පැවති වර්ෂාව නිසා වෙඩි ශබ්දය ද හරිහැටි අසල්වැසියන්ට ඇසී නැත. මුහුණු ආවරණය කරගෙන පැමිණි දෙදෙනෙකු පලායන අයුරු දැක ඇත්තේ කුඩා දරුවෙකි. පොලිසිය විසින් මෙම ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයින් කිහිප දෙනෙකුගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන ඇත. අපරාධය වූ ස්‌ථානයේ තිබි ටී 56 උණ්‌ඩ 14 ක්‌ හා මිලිමීටර් 09 වර්ගයේ උණ්‌ඩ 04 ක්‌ ද පොලිසිය මගින් සොයාගෙන තිබේ.

පුංචි පවුලක්‌ මේ අයුරින් ඝාතනය කරනු ලැබුවේ ඇයි? තවමත් එය අභිරහසකි. මෙකී ඝාතනයට පෙරදින සීසීටීවී කැමරාව අක්‍රීය කරනු ලැබුවේ කවුද? එය මේ වනවිට දැඩිලෙස කතාබහ වන මාතෘකාවක්‌ බවට පත්ව තිබේ. පුද්ගලික ආරවුලක්‌ නිසා නොඑසේනම් ව්‍යාපාරික ප්‍රශ්නයක්‌ නිසා මෙම ඝාතන සිදුවූවාද යන්න පිළිබඳ පොලිසිය විසින් මේ වනවිට පොලිස්‌ කණ්‌ඩායම් තුනක්‌ යොදවා පුළුල් පරීක්‌ෂණයක්‌ ආරම්භකොට තිබේ. පුද්ගලික කෝන්තරයකට කොන්ත්‍රාත්තුවක්‌ දී පාතාලය ලවා මෙම ඝාතන සිදු කළේද යන්න පිළිබඳව ද මේ වන විට පොලිසියේ අවධානය යොමුවි තිබේ. ඉන්දික හා පවුලේ ඥාතීන් අතර ආරවුලක්‌ තිබූ බවත් ඒ සම්බන්ධයෙන් ඉන්දික අම්බලන්ගොඩ පොලිසියට මීට දින කිහිපයකට පමණ පෙර පැමිණිල්ලක්‌ දමා තිබූ බවද අම්බලන්ගොඩ පොලිසිය කියයි.

මෙම ව්‍යාපාරික ස්‌ථානය අසලදී පසුගිය ඔක්‌තෝබර් මස 01 වැනිදින පුද්ගලයකු පොල්ලකින් ගසා ඝාතනය කොට ඇත. එය මෙම ව්‍යාපාරික ස්‌ථානයේ තිබූ සීසීටීවී කැමරාවේ සටහන්ව තිබි ඇති අතර ඝාතකයින් අල්ලා ගැනිමට එම වීඩියෝ දසුන් උපකාරී වී තිබේ. එම ඝාතනය හා මෙකී ඝාතන අතර සම්බන්ධයක්‌ පවතින්නේද යන්න පිළිබඳවද පොලිසිය පරීක්‌ෂණ පවත්වයි. ඉන්දික ඉඩම්ගොට ප්‍රදේශයේ සිවිල් ආරක්‌ෂක කමිටුවේ සාමාජිකයෙකි මේ නිසා ඔහු පොලිසිය සමග ඉතා සමීපව කටයුතු කරතිබේ. එම ප්‍ර දේශයේ අපරාධ මැඬලීමේ කටයුතු වලදී ඉන්දික පෙරමුණගෙන කටයුතු කර තිබේ. පොලිසියට ඔත්තු ලබා දෙනවා කියා ඉන්දික සමග ඇතමුන් වෛරයෙන් පසු වූ බවටද කටකතාවක්‌ පැතිර යමින් පවතී. මීට දින කිහිපයකට පමණ ඉහතදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු ඉන්දිකගේ වෙළෙඳසලේ බෝඩ්එක බලාගෙන ගිය බවටද කතාවක්‌ තිබේ.

ඒ කොයිහැටි වුවද මෙකී ව්‍යාපාරිකයාගේ බිරිඳගේ හා පුතුගේ මරණයට හේතුව මොළයට හිස්‌කබලට, සිරුරේ අනිකුත් අවයව වලට වූ බහුවිධ තුවාල නිසා බැව් පශ්චාත් මරණ පරීක්‌ෂණයයේදී අනාවරණය වී ඇත.

මෙසේ මරාදැමූ ව්‍යාපාරිකයාගේ බිරිඳගේ හා සිව් හැවිරිදි කුඩා පුතුගේ මෘතදේහයන් පිළිබඳ පශ්චාත් මරණ පරික්‌ෂණය ඉකුත් 07 වැනි දින ගාල්ල කරාපිටිය ශික්‌ෂණ රෝහලේ දී සිදුකරනු ලැබීය. මරා දැමූ තිදෙනාගේම මොළයට හා හිස්‌කබලට වෙඩි වැදී ඇති බව පශ්චාත් මරණ පරික්‌ෂණයේදී අනාවරණය වී ඇත. මෙකී තිදෙනාගේම සිරුරුවලට වෙඩි උණ්‌ඩ 20ක්‌ පමණ වැදී ඇති අතර කුඩා දරුවාගේ හිසට හා උදරයට වෙඩි උණ්‌ඩ හතරක්‌ පමණ වැදී ඇති බැව් පශ්චාත් මරණ පරීතක්‌ෂණයේදී අනාවරණය වී තිබේ.

ව්‍යාපාරිකයාගේ සිරුරට වෙඩි උණ්‌ඩ දහයක්‌ පමණ වැදී ඇති අතර ඔහුගේ බිරිඳගේ සිරුරට වෙඩි උණ්‌ඩ පහක්‌ පමණ වැදී ඇති බවද මෙම පරීක්‌ෂණයේදී අනාවරණය වී ඇත. තුවක්‌කුකරුවන් මුලින්ම මේ අයගේ හිසට වෙඩි තබා ඇති අතර පසුව සිරුරේ අනිකුත් ඉන්ද්‍රියයන්වලට වෙඩි තබා තිබේ. ටී56 ගිනි අවියකින් හා මිලිමීටර් 09 වර්ගයේ පිස්‌තෝලයකින් වෙඩි තබා ඇත.

මරාදැමූ තිදෙනාගේ පශ්චාත් මරණ පරීක්‌ෂණ ගාල්ල කරාපිටිය ශික්‌ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේ ප්‍රධාන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රොහාන් රුවන්පුර මහතා හා සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි ඉෂාණි ප්‍රනාන්දු මහත්මිය විසින් සිදු කරනු ලැබූහ.

අම්බලන්ගොඩ පොලිසිය විසින් මෙම ත්‍රිත්ව ඝාතනය පිළිබඳ පරීක්‌ෂණ පවත්වයි.

divaina.com


More News »