කොස්ගොඩ සුදු කැස්බෑවා ඉස්සූ කතාවේ කළු චරිත

2016-10-25 11:40:00       591
feature-top
පැහැර ගැනීමට ලක් වූ සුදු කැස්බෑවා

2013 දෙසැම්බර් මාසයේ 06 වෙනිදා කොස්ගොඩ කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයක සිටි දුර්ලභ ගණයේ සුදු කැස්බෑවකු සොරාගත් බව මුළු රට පුරා ලැව්ගින්නක් සේ පැතිර ගියේය. මේ සොරකමට නොයෙකුත් කතා එකතු වූ අතර නොයෙකුත් චරිතද ගෑවිණි. පිරිසක් කීවේ ඉහළ දේශපාලනඥයකුගේ පූජාවක් සඳහා සුදු කැස්බෑවා සොරාගත් බව කියාය. තවත් පිරිසක් කීවේ ගායක අමල් පෙරේරා සොරාගත් බව කියාය. එයට හේතුවූයේ අමල් ඊට දින කිහිපයකට පෙර කැස්බෑවා මිලදී ගැනීමට පැමිණි නිසාය.

එහෙත් මේ සියලු ප්‍රශ්න මැද මාතර වීර පොලිස් කණ්ඩායමක් විසින් සොරාගත් බව කියූ කොස්ගොඩ කැස්බෑවාව එම මධ්‍යස්ථානයේ හිමිකරු වූ චන්ද්‍රසිරි අබේවික්‍රම මහතාගේ නිවසෙන් සොයාගත්තේ එහි හිමිකරු ලෝක බොරු කාරයකු කරමිනි.  එසේ සොයා ගැනීමේදී තවත් සුදු කැස්බෑ පැටියකු හමු වූ අතර එහෙත් එම කැස්බෑවා එම කාලයේදීම අවාසනාවන්ත ලෙස මිය ගියේය.  අවසානයේ එහි හිමිකරුට නඩු දෙකක්ද වැටුණේය.

කාලය වසර තුනක් ගලා ගියේය. පසුගිය මාසයේ දිනෙක කොළඹ ආදුරුප්පුවීදියේ පිහිටි රත්තරන් අලෙවි මධ්‍යස්ථානයක් පිරිසක් විසින් කොල්ලකනු ලැබූහ. කෝටි දෙකහමාරක් පමණ වටිනා රත්තරන් කොල්ලකෑමට නායකත්වය ලබාදුන් බව කියන්නේ බස්නාහිර බුද්ධි කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයෙකි. එය සැබවින්ම අමු අමුවේ සිදුකළ අඳබාල වැඩක් විය.

මෙම කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කොළඹ අපරාධ කොට්ඨාසයට පැවරුණු අතර එතැන් සිට එහි කණ්ඩායමක් සැකකරුවන් පස්සෙන් පන්නන්නට වූහ. මෙලෙස පන්නන විට මෙම කොල්ලයේ කොන්ත්‍රාත්තුව රැගෙන ආ පාතාලයකු අත්අඩංගුවට ගැනීමට එම කණ්ඩායමට හැකිවිය. කෑගල්ල ප්‍රදේශයේ පදිංචි මොහු නමින් ආමි සම්පත් විය. මොහු ආමි සම්පත් වුවත් ඩුප්ලිකේට් ආමි සම්පත් කෙනෙකි. සැබෑ ආමි සම්පත් මේ වන විට ඉන්නේ වැලිකඩය.
ඩුප්ලිකේට් ආමි සම්පත් විශේෂ කාර්ය බළකායේ සෙබළකු විය. ඔහු හමුදාවෙන් පැන ආ අතර එතැන් සිට සිදු කළේ රටේ නැති අපරාධය. අත්අඩංගුවට ගත් ආමි සම්පත් සිය අපරාධ සීට්ටුව හෙළිකරන අතරතුර තවත් අපූරු සිද්ධියක් හෙළි කළේය. එය සැබවින්ම අපේක්ෂා සහගත නොවූ සිද්ධියක් විය.

“සර් අපි තමයි කොස්ගොඩ කැස්බෑවව ඉස්සුවෙත්”
එම හෙළිදරව්වෙන් පොලිසිය පවා අන්දමන්ද විය. ඒ අනුව සම්පත් සිය කතාව පටන්ගත්තේය. සම්පත්ගේ කතාව මත ඔහුගේ එක් ගෝලයකු අත්අඩංගුවට ගත්තේය. ඔහුද සම්පත්ගේ කතාව අනුමත කළේය. එසේම අවසාන වශයෙන් මෙම සිද්ධියේ මහ මොළකරු හෙළි කළේය. ඔහු වෙනින් කවුරුත් නොව මුළු රටම හඳුනාගත් වීර නාවික නිලධාරියෙකි. කොමදෝරු බෝයගොඩය. මෙම සිද්ධියට බෝයගොඩ වැනි අයකු සම්බන්ධ යැයි පොලිසිය පවා සිතුවේ නැත. එහෙත් බෝයගොඩ සිය වැරැද්ද පොලිසිය හමුවේ පිළිගත්තේය. ඒ අනුව මොවුන් විසින් හෙළි කළ කොස්ගොඩ සුදු කැස්බෑ හොරකම මෙසේය. මෙය සැබැවින්ම ඔවුන් කියනදේ පමණි.

සාගරවර්ධන නෞකාවේ කපිතාන්වරයාව සිටි බෝයගොඩ කොටින් විසින් පැහැරගනු ලබන්නේ 1994 වර්ෂයේදීය. එසේ පැහැරගත් බෝයගොඩ වසර අටක කාලයක් එල්. ටී. ටී. ඊ.ය විසින් රඳවා තබා ගන්නා අතර එසේ රඳවාගෙන සිටියදී රජයට විරුද්ධව විරෝධතාවක නිරතවුණේද බෝයගොඩ ඇතුළු පිරිසය. ඒ අනුව 2002 වර්ෂයේදී රජය විසින් අත් අඩංගුවට ගත් කළු කොටියකු නිදහස් කිරීමත් සමග කපිතාන් බෝයගොඩටද නිදහස හිමිවිය. ඒ අනුව නිදහස් වී පැමිණි බෝයගොඩ කොමදෝරු නිලය දක්වා ඉහළට විත් 2004 වර්ෂයේදී විශ්‍රාම යන්නේය.

එලෙස විශ්‍රාම ගිය බෝයගොඩ එතැන් පටන් ව්‍යාපාර ලෝකයට එකතුවන අතර ඔහු මහා පරිමාණයෙන් විසිතුරු මසුන් පිටරට යැවීම සිදුකරගෙන ගියේය. මෙලෙස මේ ව්‍යාපාරය කරන අතරතුර 2013 වර්ෂයේ දිනක බෝයගොඩ වෙත මාලදිවයින් ජාතිකයකු ඇමතුමක් ලබාදී ඇත. ඔහුද එරට ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු බව බෝයගොඩ පවසයි. එම ඇමතුම ලබාදුන් පුද්ගලයා සඳහන් කර ඇත්තේ එරට සිදුකරන පූජාවක් සඳහා සුදු කැස්බෑවකු අවශ්‍ය බවත් එම කැස්බෑවා අවශ්‍ය පුද්ගලයන් ලංකාවට පැමිණෙන බවත් කියාය. ඒ අනුව අදාළ කැස්බෑවා සඳහා රුපියල් කෝටි 10 ක මිලක් නියම වී ඇත.

බෝයගොඩ වැඬේ බාරගත්තත් කැස්බෑවකු ගැන කිසිම තොරතුරක් දැන සිටියේ නැත. ඒ නිසා සුදු කැස්බෑවකු සොයා දෙන ලෙස සිය ගෝලයාට බාර කරන ලදී. ඔහු බෝයගොඩගේ ව්‍යාපාරයේ සාමාජිකයකු විය. ශ්‍යානාත් නමැති මොහු අදාළ අභියෝගය බාරගන්නා අතර ඔහු එය බාරගෙන යන්නේ බොරලැස්ගමුව ප්‍රදේශයේ අයකු හමුවීම සඳහාය. ඔහු නමින් නන්දන විය. ඔහු පොලියට මුදල් ලබාදෙනු ලබන අයකු ලෙස ජීවත් වුවත් ක්‍රියාකාරී අපරාධකරුවකු විය.
ඒ අනුව නන්දන අදාළ අභියෝගය බාරගන්නා අතර මෙහෙයුම සඳහා ලක්ෂ හැටක් අවශ්‍ය බව ඔහු කියා සිටින්නට විය. ඒ අනුව නන්දන සිය මිත්‍රයකු වූ ආමි සම්පත් වෙත ඇමතුමක් ලබාදෙන්නේ අදාළ මෙහෙයුම සඳහාය. ඒ අනුව දිනක් ආමි සම්පත් පැමිණ නන්දනව හමුවන අතර අදාළ කැස්බෑවා සෙවීමට සම්පත් කැමැත්ත පළකරන්නේය.
ඒ අනුව සම්පත් සිය මිත්‍රයන් කිහිප දෙනකුට කැස්බෑවා සම්බන්ධව විස්තර ලබාදෙන අතර දිනක් මාතර මිතුරකු මාර්ගයෙන් සම්පත් වෙත සුදු කැස්බෑවකු සිටින බවට තොරතුරු ලැබේ. එම තොරතුරු ලබාදුන් පුද්ගලයාද යුද හමුදා සාමාජිකයකු ද වූ අතර  ඔහුට තොරතුරු ලැබෙන්නේද එම ප්‍රදේශයේ තරුණයකු හරහාය.

ඒ අනුව සම්පත් විසින් නන්දනටත් නන්දන විසින් බෝයගොඩටත් මේ ඔත්තු දැනුම් දෙන අතර හැකි ඉක්මනින් අදාළ කැස්බෑවා ලබාදෙන බව නන්දන බෝයගොඩට පොරොන්දු වෙයි.

දිනය 2013 දෙසැම්බර් 06වෙනිදාය. එදින සම්පත් කුලියට වෑන් රථයක් ලබාගෙන ඇති අතර කොළඹින් පුද්ගලයන් පස් දෙනෙක් මාතර බලා පිටත්වෙති. එසේ පිටත් වන පිරිස සවස 5ට පමණ මාතරට පැමිණෙන අතර මාතරින් හිටපු යුද හමුදා සෙබළකුත්, තවත් අයකුත් වාහනයට ඇතුළු වෙති. ඒ අනුව සියලු දෙනාම ප්‍රථමයෙන්ම යන්නේ උස්කන්දේ පිහිටි කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයටය. එම ස්ථානයට සංචාරකයන් ලෙස සියලු දෙනා ඇතුළු වන අතර එහෙත් එම ස්ථානයේ සුදු කැස්බෑවකු ඔවුන්ට දකින්නට නොලැබේ. ඒ අනුව පිරිස එතැනින් පිටත් වන අතර රාත්‍රී 9 වන තෙක් වෑන් රථයෙන් එහෙ මෙහේ යාමට පටන් ගනී.

රාත්‍රී 9 ට පමණ පිරිස කොස්ගොඩ කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයට පැමිණෙන අතර ඒ වන විට එම මධ්‍යස්ථානය වසා දමා තිබුණි. ඉන් පසු මාතර යුද හමුදා සෙබළාත්, ජෙරාඞ් නමැති අයත්,තවත් දෙදෙනකුත් මධ්‍යස්ථානය තුළට ඇතුළු වීමට උත්සාහ කළහ. එහෙත් බල්ලන් බිරීම හේතුවෙන් මධ්‍යස්ථානයට ඇතුළු වී ඇත්තේ යුද හමුදා සෙබළාත්, ජෙරාඞ් නමැති අයත්ය. අඩ අඳුරේම මේ දෙදෙනා සුදු කැස්බෑවා සොරා ගන්නා අතර කැස්බෑවා දමා ගන්නේ පොහොර උරයක් තුළටය.

එසේ සොරාගත් කැස්බෑවාත් රැගෙන අධිවේගී මාර්ගය ඔස්සේ පිරිස බොරලැස්ගමුවට පැමිණෙති. ඒ නන්දනගේ නිවසටය. උදෑසන වන විට නන්දනගේ නිවසට රැගෙන එන කැස්බෑවා වතුර බේසමකට දමයි. ඒ වන විටත් කැස්බෑවා නිරුපද්‍රිතව සිටි නිසා නන්දන උදෑසනම බෝයගොඩ වෙත ඇමතුමක් ලබාදෙන්නේ තමන් කැස්බෑවකු සොයාගත් බව සඳහන් කරමිනි. ඒ අනුව බෝයගොඩත් මාලදිවයින් ජාතිකයනුත් නන්දනගේ නිවසට පැමිණෙන අතර එවෙලේම කැස්බෑවාව බෝයගොඩ විසින් මාලදිවයින් ජාතිකයනට ලබාදෙයි. එසේ ලබාදුන් පසු මාතරින් පැමිණෙන වෑන් රථයකට කැස්බෑවා දමාගන්නා අතර පිරිස කැස්බෑවා රැගෙන මිරිස්ස වරායට යති. ඒ ගමනට බෝයගොඩ සහ මාලදිවයින් පිරිස පමණක් සහභාගි වී ඇත.

එහෙත් පැය කිහිපයකට පසු බෝයගොඩ විසින් නන්දන වෙත වීඩියෝ පටයක් එවනු ලබන අතර එම විඩියෝ පටයට අනුව සුදු කැස්බෑවා මියගොස් සිටින අයුරු දැකගැනීමට හැකිවේ. ඒ අනුව බෝයගොඩ පවසන්නේ වැඬේ ගැස්සුණු බවය. එලෙස පවසා බෝයගොඩ නිදහස් වෙන්න හැදුවත් නන්දනගෙන් ගැලවීමක් ලැබුණේ නැත. කිහිප වතාවක් ඇමතුම් ලබාදී තර්ජනය කොට රුපියල් ලක්ෂ 40ක මුදලක් නන්දනලා බෝයගොඩගෙන් ලබාගනිති. කෙසේ වෙතත් එම මුදල ලබාදී ඇත්තේ චෙක්පත් මාර්ගයෙන් නිසා මේ වන විට එම චෙක්පත්ද ලබා ගැනීමට  හැකි වී ඇත.
කෙසේ වෙතත් බෝයගොඩ ඇතුළු පිරිස මෙසේ කීවත් මෙම සිද්ධියේ සැකකටයුතු තැන් කිහිපයක් ඇති බව පොලිසිය පවසයි. එනම් මාලදිවයින් කතාව පොදු කතාවක් වී ඇත. එනම් මෙම සිද්ධියට ප්‍රශ්න කරන ලද මීට පෙර පුද්ගලයන්ද මාලදිවයින් කතාව කියා ඇත. එසේම කොස්ගොඩින් කැස්බෑවා සොරකම් කොට කොළඹට රැගෙන විත් නැවත මාතර ගෙන ගියේ ඇයිද? එවැනි අවදානමක් ගත්තේ කුමක් සඳහාද? මාතරට රැගෙන ගියේ මාලදිවයිනට යැවීමට නම් ඇයි කොස්ගොඩින් රැගෙන එම අවස්ථාවේම එම ස්ථානයට රැගෙන නොගියේ? එසේම කැස්බෑවා මිය ගියා නම් අද වනතෙක් එම කැස්බෑවාගේ කොටස් විසිකළ තැනක් හෝ විනාශ කළ තැනක් කියන්න බැරි ඇයි? එපමණක් නොව එම කැස්බෑවා මාලදිවයින් ජාතිකයන්ට දුන්නේ නම් බෝයගොඩට මුදල් නොලැබුණේ මන්ද? යන්න ගැටලු කිහිපයක් ඉස්මතු වී ඇත. එම ප්‍රශ්නවලට බෝයගොඩට පිළිතුරු නැතිවුවත් අනෙක් පිරිසට තිබිය හැක. ඒ නිසා මෙහි සැබෑ කතාවත්, කැස්බෑවා අවශ්‍ය වූයේ කාටද යන්නත් හෙළිවනු ඇත.

rivira.lk


More News »