අගමැති බණ්‌ඩාරනායකට
ඇත්තටම වෙඩි තිබ්බේ කවුද?

2016-10-04 10:46:00       580
feature-top
අගමැති එස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක ඝාතනය කරනු ලැබ වසර 57 ක්‌ සම්පූර්ණ වී තිබේ. 1959 සැප්තැම්බර් 25 වැනිදා හිස මුඩු කළ පුද්ගලයකු විසින් .45 webley Mark VI වර්ගයේ රිවෝල්වරයක්‌ බණ්‌ඩාරනායක මහතාගේ පපුවට එල්ල කර වෙඩි දෙකක්‌ තබන ලදී. වෙබ්ලි මාක්‌ යනු 1915 දී බ්‍රිතාන්‍ය ගිනි අවි සමාගමක්‌ වන webly and scott සමාගම විසින් නිපදවන ලද රිවෝල්වරයකිනි. මෙය පළමුවන ලෝක යුද්ධයේ සුද්දනට මහත් සේ ප්‍රයෝජනවත් විය. බණ්‌ඩාරනායක ඝාතනය සිදු වී වසර 4 කට පසු එම පිස්‌තෝල වර්ගය නිපදවීම අත්හැර දමන ලදී. බණ්‌ඩාරනායක ඝාතනයෙන් වසර 29 කට පසු ඔහුගේ බෑණා වන විජය කුමාරතුංග මිය යන්නේ ද වෙඩි පහරවලිනි. ඔහුට වෙඩි තැබූ තුවක්‌කුව ඔ 56 වර්ගයේ රයිපලයකිනි. බණ්‌ඩාරනායක ඝාතනයට වසර තුනකට පෙර NORINCO නමැති චීන සමාගම ඔ 56 රයිපලය නිපදවීමට පටන්ගෙන තිබිණ. බණ්‌ඩාරනායක ඝාතනය සිදුවන්නේ මධ්‍යහ්නයේදීය. විජය කුමාරණතුංග මරා දමන්නේ ද මධ්‍යහ්නයේදීය. මේ දෙදෙනාම තමන් පදිංචි නිවෙස්‌ ඉදිරිපිටදී වෙඩි කෑහ. එවකට පැවැති යූ. එන්. පී. ආණ්‌ඩුවේ කෲර මර්දනයට ලක්‌වෙමින් තිබූ ජනතා විමුක්‌ති පෙරමුණේ මිනීමරු සන්නද්ධ අංශය වූ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ නියෝග මත විජයට වෙඩි තැබූ බව ලයනල් රණසිංහ නමැති සැකකරුවෙක්‌ පාපොච්චාරණය කළ අතර ඔහු ආරක්‍ෂක අංශවල අත්අඩංගුවට පත්ව ආගිය අතක්‌ නැති විය. බණ්‌ඩාරනායක ඝාතනයේ සැකකරු තල්දූවේ සෝමාරාම නමැති චීවරධාරියෙකි. පසුව ඔහු එල්ලා මරණු ලැබීය. සෝමාරාම එල්ලුම්ගස්‌ යන්නේ තමා අගමැතිතුමාට වෙඩි නොතැබූ බව අවසාන මොහොත දක්‌වාත් කියමිනි. බණ්‌ඩාරනායක මහතාට වෙඩි තැබූ සැනින් හිස මුඩු කළ මිටි මහත පුද්ගලයකු රොස්‌මීඩ් පෙදෙසේ බණ්‌ඩාරනායක පවුලේ නිවස අසල වූ තාප්පයෙන් පිටතට පැන වැඩේ හරි කියමින් කාරයකට ගොඩ වූ බවට සිද්ධිය ඇසින් දුටු බුලත්විට වෙළෙන්දෙක්‌ කීවේය. මේ බව බණ්‌ඩාරනායක මහතාගේ නඩු පිටපත සහ සාක්‍ෂි සටහන් පරීක්‍ෂා කරන අයකුට හෙළි කරගත හැකිය. තාප්පයෙන් පැනගිය පුද්ගලයාගේ නම ඔසී කොරයා බව පසුව හෙළි විය. නඩුවට කැඳවන ලද කල්හි ඔසී කොරයා කියා සිටියේ තමා දේවාලයකට වූ භාරයක්‌ ඔප්පු කිරීමට ඒ දිනවල හිස මුඩු කරගෙන සිටි බවය. ඔසී, දාගොන්නේ විසූ නමගිය දාමරිකයෙකි.

අගමැති බණ්‌ඩාරනායකගේ එවක නිල නිවස වූයේ අදටත් අගමැතිවරුන්ගේ නිල නිවස වන අරලියගහ මන්දිරයය. ඔහුට තව ගෙවල් දෙකක්‌ තිබිණ. ඉන් පළමුවැන්න පිය උරුමයෙන් ලද හොරගොල්ලේ වලව්වය. දෙවැන්න, කොළඹ 7, රොස්‌මිඩ් පෙදෙසේ අංක 65 දරන තැන පිහිටි වින්ටගේල් මන්දිරයය. එංගලන්තයේ ද ටින්ටගේල් නමැති ගම්මානයක්‌ තිබෙන අතර ටින්ටගේල් රාජ මාලිගාව නමැති මාලිගයක්‌ එහි පිහිටා ඇත. 1959 සැප්තැම්බර් 25 වැනි සිකුරාදා අගමැති බණ්‌ඩාරනායක සිටියේ රොස්‌මිඩ් ගෙදර වූ ටින්ටගේල්හි ය. එදා උදේ තල්දූවේ සෝමාරාම භික්‍ෂුව අගමැති හමුවීමට පැමිණියේය. මේ භික්‍ෂුව බොරැල්ලේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්යවරයෙකි. ඔහුට බොරැල්ල හන්දියේ ආයුර්වේද ඇස්‌ වෙදහලක්‌ ද තිබිණ. 1959 සැප්තැම්බර් 25 වැනිදා සෝමාරාම භික්‍ෂුව අගමැති හමුවීමට පැමිණ සිටියේ බොරැල්ලේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයට අදාළ කාරණාවක්‌ සාකච්ඡා කර ගැනීමටය.

* * * * * * * * * * * *

බණ්‌ඩාරනායක ඝාතනය සම්බන්ධයෙන් වැරදිකරු වූ තල්දූවේ සෝමාරාම 1915 අගෝස්‌තු 27 වැනිදා උපදින්නේ තල්දූව රතුගම රැල්ලගේ වාරිස්‌ සිඤ්ෙÆa යන ගිහි නම ඇතිවය. ඔහු හැදුණේ වැඩුණේ දෙහිඕවිටය. ඔහු පැවිදි දිවියට පිවිසෙන්නේ වයස 19 දීය. ඔහු උපසම්පදා ලබන විට වයස 21 කි. ඔහු බණ්‌ඩාරනායක මහතාගේ දේශපාලනය සමඟ ඇදී සිටි අතර මාපිටිගම බුද්ධරක්‌ත නමැති භික්‍ෂුවගේ හිතවතෙක්‌ විය. බුද්ධරක්‌ත භික්‍ෂුව එවකට නාවික ඇමැතිව සිටි විමලා විඡේවර්ධනගේ ඉතා කිට්‌ටු මිතුරියකි. නැව් සමාගමක්‌ පිහිටුවීම සඳහා මුදල් ආයෝජනය කර තිබූ බුද්ධරක්‌ත භික්‍ෂුව බණ්‌ඩාරනායක අගමැතිතුමාගේ ද ආධාරකරුවකු වුවද නැව් සමාගම් සම්බන්ධයෙන් අගමැතිතුමාගේ ප්‍රතිපත්ත අනුගමනය කළ නිසා මහත් කෝපයෙන් පසුවිය. අගමැතිගේ එකී ප්‍රතිපත්තිය වූයේ නැව් සමාගම් පුද්ගලික අංශය සතුව නොව ආණ්‌ඩුව සතුව තිබිය යුතු බවය. අගමැති බණ්‌ඩාරනායක සමඟ එකඟත්වයකට පැමිණීමට නොහැකි වුවහොත් ඔහුගේ ආණ්‌ඩුව පෙරළන බව බුද්ධරක්‌ත භික්‍ෂුව ප්‍රසිද්ධියේ කීහ. එහෙත් ඔහු අප්‍රසිද්ධියේ කීවේ අගමැතිතුමා මරණ බවය. ඒ මිනීමැරුම සඳහා කිසියම් පුද්ගලයකු කුලියට ගැනීමට ඔහු තීරණය කර තිබිණි. එක්‌කෝ ඒ සෝමාරාම චීවරධාරියා විය. එසේ නැතහොත් හිස බූ ගෑ වෙනත් පුද්ගලයෙක්‌ විය.

අගමැතිට වෙඩි තබන්නේ 25 වැනි සෙනසුරාදාය. එළැඹෙන සඳුදා නිව්යෝර්ක්‌ බලා යැමටත් එක්‌සත් ජාතීන්ගේ සමුළුව ඇමතීමටත් අගමැතිතුමා සැලසුම් කරගෙන සිටියේය. 25 වැනිදා උදේ රොස්‌මීඩ් ටින්ටගේල් ගෘහයේ ආලින්දය අගමැති හමුවීමට පැමිණි 20 දෙනකුගෙන් සමන්විත විය. ඒ අතර සිටි සෝමාරාම භික්‍ෂුව අත ලිපිගොනුවක්‌ සහ ලේන්සුවක්‌ විය. ඔහුට එහා පැත්තෙන්, පොලොන්නරුවේ සිට පැමිණි ආනන්ද නමැති භික්‍ෂුවක්‌ වූහ. උදේ 9.15 ට අගමැතිතුමා ඉදිරියට පැමිණ සෝමාරාම භික්‍ෂුව තමා වෙත කැඳවා ගත්තේය. සෝමාරාම භික්‍ෂුව මේ වෙලාවේ සිටියේ බලවත් නොසන්සුන්තාවකිනි. ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ අභිවෘද්ධිය පතා වහා කළ යුතු දේ රැසක්‌ තිබෙන බව ඔහු අගමැතිට කීවේය. අවශ්‍ය දේ ලිතව දෙන ලෙසත් සෞඛ්‍ය ඇමැති ඒ. පී. ජයසූරියට දන්වා එම ඉල්ලීම් ඉටුකර දිය හැකි බවත් අගමැතිතුමා එවිට කීවේය.

එවිට ලිපි ගොනුව අතට ගත් සෝමාරාම එය පෙරළන බව පෙන්වමින් සිවුර තුළට අත රුවා පිස්‌තෝලයක්‌ එළියට ඇද වෙඩි තැබූ බව මෙතැන් සිට ගොනු කෙරෙන සාක්‍ෂි මගින් හෙළි කෙරේ. වෙඩි පහර දෙකක්‌ හෝ වැඩි ගණනක්‌ නිකුත් වූ බවත් බිම ඇදවැටුණු අගමැතිතුමා අමාරුවෙන් නැගී සිට ගෙතුළට දිව ගිය බවත් වාර්තාවල සඳහන්ය. ඔහුගේ පපුව සහ උදරය තුවාල වී තිබිණි.

වෙඩි තැබීමත් සමඟ පොලොන්නරුවේ ආනන්ද හාමුදුරුවන් නැගී සිටි අතර කලබල වූ සෝමාරාම උන්වහන්සේ වෙත පිස්‌තෝලය එල්ල කළේය. ආනන්ද හිමියන් 'බුදුඅම්මෝ' කියමින් මරහඬ තලද්දී සෝමාරාම භික්‍ෂුව අගමැතිතුමාට තව තවත් වෙඩි තබන්නට විය. එම වෙඩිවලින් එකක්‌ අගමැතිතුමාගේ අතට වැදුණේය. අනෙක, අගමැතිතුමා හමුවීමට පැමිණ සිටි ගුණරතන නමැති පාසල් ගුරුවරයකුට වැදුණේය. තුන්වන වෙඩි පහර නිසා රොස්‌මීඩ් නිවසේ වීදුරු දොරක්‌ කුඩු විය. ඒ අතර රට, ජාතිය, ආගම කියමින් සෝමාරාම වියරුවෙන් කෑගසමින් සිටියේය.

ඉංග්‍රීසි කතා කළ එබසින්ම එංගලන්තයේදී නීතිය උගත්, යුරෝපීය ඇඳුම් ඇඳි තරුණ කතෝලික වලව්කාරයකුගේ සිට සිංහල කතා කරන ජාතික ඇඳුම අඳින බෞද්ධ දේශීය නායකයකුගේ තැනට මාරු වී සිටි එස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතා ආරක්‍ෂකයන් ගැන අබමල් රේණුවකවත් තැකීමක්‌ නොකළ සතුරන් පිරිවරාගෙන සිටි දේශපාලනඥයෙකි. 1956 ආණ්‌ඩුව පිහිටුවා ස්‌වල්ප කලක්‌ තුළ විවිධ දක්‍ෂිණාංශික බලවේග ඔහු වටා කැරකෙන්නට වූහ. ඉන් ප්‍රමුඛයෙක්‌ වූයේ 1956 බණ්‌ඩාරනායක මහතාගේ ජයග්‍රහණයට රුපියල් ලක්‍ෂ ගණනක්‌ වැය කළ මාපිටිගම බුද්ධරක්‌ත භික්‍ෂුවය. භික්‍ෂූන්ට අකැප දස අකැප වස්‌තූන් ගැන තඹ සල්ලියකට ගණන් නොගත් ඔහු ප්‍රකට ව්‍යාපාරිකයෙක්‌ විය. ඡන්දයට වැය කළ මුදල් පොලියත් සමඟ උපයා ගැනීම බුද්ධරක්‌ත භික්‍ෂුවගේ අපේක්‍ෂාව වුවද අගමැති බණ්‌ඩාරනායක ඊට උදව් කළේ නැත. ඒ අතර නැව් සමාගම් ප්‍රශ්නය ද මතු විය. ඊළඟට ලංකාව තුළ සීනි සමාගමක්‌ පටන් ගැනීමට බුද්ධරක්‌ත භික්‍ෂුව තැත් කළේය. මේ කටයුතුවලදී අගමැතිතුමා ක්‍රියා කළේ පිලිප් ගුණවර්ධන සහ ආර්. ජී. සේනානායක යන ඇමැතිවරුන්ගේ උපදෙස්‌ මතය. ඒ අනුව නැව් සමාගම පටන් ගැනීමටත් සීනි සමාගම ඇරඹීමටත් බුද්ධරක්‌තට බැරි විය. අගමැති ඉවර කර දැමිය යුතු බවට ඔහු තීන්දු කළේය.

දාගොන්නේ ඔසී කොරයා -

බණ්‌ඩාරනායක ඝාතනයෙන් පසු අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර දාගොන්නේ ඔසී කොරයා ද විය. නම් දැරූ පාතාලකාරයකු වූ ඔහු සුරාබදු පරීක්‍ෂකවරයකුව සිට අරක්‌කු රේන්දකාරයකු සහ කසිප්පු වෙළෙන්දකු බවට පත් වූ දාමරිකයෙකි. අගමැතිට වෙඩි තැබූ රිවෝල්වරය ඔසී කොරයාට අයත් පුද්ගලික ගිනි අවි හයකින් එකක්‌ බව පරීක්‍ෂණවලදී ඔප්පු විය. බණ්‌ඩාරනායක ඝාතන නඩුව යන අතර පැතිර ගිය ප්‍රමුඛ මතයක්‌ වූයේ ඔසී කොරයා භික්‍ෂුවක මෙන් වෙස්‌ වලාගෙන සෝමාරාම භික්‍ෂුව ද සමඟ පැමිණ අගමැතිට වෙඩි තැබූ බවය. එසේත් නැතහොත් ඔහු සෝමාරාමගේ වෙඩි තැබීම අධීක්‍ෂණය කර රොස්‌මීඩ් තාප්පයෙන් පැන පලාගිය බවය. එහෙත් ඔසී කොරයා මේ නඩුවෙන් නිදහස්‌ විය.

බණ්‌ඩාරනායක අගමැතිතුමා ඝාතනය කිරීමෙන් පසු මාපිටිගම බුද්ධරක්‌ත භික්‍ෂුව ගුවන් විදුලියෙන් ශෝක පණිවුඩයක්‌ ද නිකුත් කළේය. ඉන් සති කිහිපයකට පසු ඔක්‌තෝබර් 20 වැනිදා ඔහු අත්අඩංගුවට පත්විය. නොවැම්බර් 21 වැනිදා විමලා විඡේවර්ධන රිමාන්ඩ් කෙරිණ.

අන්තිමේදී බුද්ධරක්‌ත ජීවිතාන්තය දක්‌වා හිරේ ගියේය. සෝමාරාම එල්ලුම්ගස්‌ ගියේය. සිරගත වී ටික කලක සිටින විට දිනක්‌ පන්සිල් ගත් බුද්ධරක්‌ත භික්‍ෂුව උපැවිදි විය. පන්සිල් ගන්නෝ ගිහියෝය. භික්‍ෂුවක්‌ පන්සිල් ගැනීම යනු උපැවිදි බවේ ලකුණකි. කෙසේ වුවද නීතිය ඉදිරිපිට කුමක්‌ සිදුවුවද බණ්‌ඩාරනායක ඝාතනය සිදුකළේ සෝමාරාම ද නැතහොත් ඔසී කොරයා ද යන්න අදටත් රහසකි. සෝමාරාම එල්ලුම් ගසට නගින විට පවා කීවේද තමා අගමැති නොමැරූ බවය.

Wmqgd .ekSu /�K mqj;am; weiqfrks

More News »