රවිරාඡ් එල්ලී මැරුණේ ඇයි
පුස්‌සැල්ලාව වතු ජනතාව පාරට බැස්‌ස අභිරහස

2016-09-27 11:35:00       581
feature-top
තිස්‌ හැවිරිදි රවිරාඡ් රවිශංකර් පුස්‌සැල්ලාව රොච්චයිල් වත්තේ පදිංචිකරුවෙකි. කලක්‌ වතු කම්කරුවකු ලෙස රැකියාවක්‌ කළ රවිරාඡ් අවසානයේ එම රැකියාවට සමු දුන්නේය. ඉන්පසු ජීවත්වීම සඳහා සුළු සුළු රැකියා රැසක්‌ ඔහු කළේය. මත්පැන් පානයටද ඔහු තදින් ඇබ්බැහි වී සිටියේය. අත මිට මුදල් හිඟ නිසා වැඩිපුරම ඔහු පානය කළේ කසිප්පුය.

වතු ආශ්‍රිත බොහෝ දුරට හොර කසිප්පු ජාවාරම කරන්නට සිදු වේ. ඒ දෙමළ වතු කම්කරුවන් බොහෝ දෙනෙක්‌ කසිප්පු බීමට පුරුදු වීම නිසාය. පුස්‌සැල්ලාව පොලිසිය විසින් තම බල ප්‍රදේශය තුළ සිදුවන හොර කසිප්පු ජාවාරම මැඬපැවැත්වීම සඳහා විශාල උත්සාහයක්‌ ගත්තේය. කොතරම් වැටලීම් සිදු කළද මෙම කසිප්පු ජාවාරම සම්පූර්ණයෙන්ම නැවැත්වීමට නොහැකිය.

රවිරාඡ් කසිප්පු බෝතලයක්‌ සමඟ පොලිස්‌ අත්අඩංගුවට පත් වන්නේ සති කිහිපයකට ඉහතදීය. ඉන්පසු පොලිස්‌ නිලධාරීහු ඔහුව හෙල්බොඩ අධිකරණයට ඉදිරිපත් කරන්නේ නීති විරෝධී මත්පැන් ළඟ තබා ගැනීමේ චෝදනාව යටතේය. එහිදී වරදකරු වන ඔහුට දවස්‌ තුනක්‌ ප්‍රජා සේවයේ යෙදීමට උසාවිය විසින් නියෝග කළේය.

උසාවි නියෝග තඹ සතේකට රවිරාඡ් මායිම් කළේ නැත. නෑ හිත මිතුරන් එම නියෝගය අනුව ප්‍රජා සේවයේ යෙදෙන ලෙස උපදෙස්‌ දුන්නත්, ඔහු කිසිදිනක ප්‍රජා සේවයේ යෙදුණේ නැත. අවසානයේ අධිකරණය ලබාදුන් තීන්දුවට ගරු නොකිරීම නිසා රවිරාඡ් වරෙන්තුකරුවකු කළේය.

වරෙන්තුකරුවකු වූ පසු රවිරාඡ් පොලිසියට කට්‌ටි පනිමින් සිටියේය. වරදකරුවකුට හැමදාකම නීතියෙන් සැඟවී සිටීමට නොහැකිය. එය පසක්‌ කරමින් රවිරාඡ් පසුගිය දාහත්වැනිදා පොලිස්‌ අත්අඩංගුවට පත් වූයේය. අත්අඩංගුවට ගත් රවිරාඡ්ව පසුදින අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා පොලිස්‌ සිර මැදිරියේ රඳවා තැබුවේය.

රාත්‍රී පුස්‌සැල්ලාව පොලිසියේ නිලධාරියකු සිර මැදිරියේ රවිරාඡ් ගෙල වැළලාගෙන සිටිනු දුටුවේය. වහාම ඔහු එහි අනෙකුත් නිලධාරීන්ටත් දන්වා රවිරාඡ්ව වහුගපිටිය රෝහල වෙත

රැගෙන ගියේය. ඒ වන විටත් ඔහු මිය ගොසින්ය. රවිරාඡ් තමා ඇඳ සිටි කමිසය ඉරා සිර මැදිරියේ ඉහළ තිබූ කම්බියක ආධාරයෙන් ගෙල වැළලාගෙන තිබුණි. එය කෙසේ සිදු කර ගත්තාද යන්න බරපතළ අභිරහසකි.

රවිරාඡ් ගෙල වැළලාගෙන මිය යැමේ පුවත පුස්‌සැල්ලාව ප්‍රදේශයේ ලැව් ගින්නක්‌ සේ පැතිරුණේය. ඉන්පසු වතු කම්කරු ජනතාව පැවසුවේ පොලිසිය විසින් රවිරාඡ් ඝාතනය කර පසුව එල්ලා දමා ඇති බවයි. එම චෝදනාව පොලිසියට එල්ල කිරීමත් සමඟ වතු ජනතාවත් පොලිසියත් අතර ගැටුමක්‌ නිර්මාණය වූයේය.

පුස්‌සැල්ලාව වතු ජනතාව ගම්පොළ - නුවරඑළිය මාර්ගය පොලිසිය ඉදිරිපසින් වසා දැවැන්ත උද්ඝෝෂණයක්‌ සිදු කළේය. ටයර් පුළුස්‌සා පොලිසියට බණිමින් පැය හතරකට අධික කාලයක්‌ එම මාර්ගයේ වතු ජනතාව විරෝධතාවක නිරත වූහ. එම කාලසීමාව තුළ නුවරඑළිය - ගම්පොළ මාර්ගයේ වාහන ගමනා ගමනයට දැඩි බාධා එල්ල විය.

විරෝධතාකරුවෝ ප්‍රකාශ කර සිටියේ පුස්‌සැල්ලාව ස්‌ථානාධිපතිවරයා සහ එහි නිලධාරීන්ව වහාම මාරු කරන ලෙසත්, මියගිය අයගේ පවුල්වල ඥාතීන්ට සාධාරණය ඉටු කරන ලෙසත්ය. එම විරෝධතාව පොලිස්‌ නිලධාරීන්ට කිසිසේත් මැඬ පැවැත්වීමට නොහැකි විය.

තත්ත්වය එන්න එන්නම දරුණු අතට හැරුණේය. අමාත්‍ය පී. දිගම්බරම් හා මහනුවර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර් විරෝධතාව පැවැත්වෙන ස්‌ථානයට පැමිණියේය. ඉන්පසු ඔවුන් පුස්‌සැල්ලාව පොලි සියට ගොස්‌ රවිරාඡ් සියදිවි නසාගත් බව කියන පොලිස්‌ සිර මැදිරිය පරීක්‍ෂා කර බැලුවේය. එලෙස පරීක්‍ෂා කර තම විරෝධතාකරුවන් හමුවීමට ගියේය.

විරෝධතාකරුවන් එක හෙළාම පැවසුවේ තම ඉල්ලීම් ඉටුකර දෙන ලෙසයි. එම මොහොතේම අමාත්‍ය පී. දිගම්බරම් තම ජංගම දුරකථනයෙන් පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතාට දුරකථන ඇමතුමක්‌ ලබාගෙන වතු ජනතාවගේ ඉල්ලීම් ඔහුට දැනුම් දුන්නේය.

පොලිස්‌පතිවරයා වතු ජනතාවගේ ඉල්ලීම් ඉටුකර දෙන බවට පොරොන්දු වූවේය. මුලින්ම ඔහු පුස්‌සැල්ලාව ස්‌ථානාධිපතිවරයා මාරු කරන බව අමාත්‍ය පී. දිගම්බරම්ගේ ජංගම දුරකථනයෙන් වතු ජනතාවට ඇසෙන ලෙස ප්‍රකාශ කළේය. ඉන්පසු මෙම ගැටලුව නිරාකරණය කරන බව පොලිස්‌පතිවරයා තමාට දැන් වූ බව අමාත්‍යවරයා උද්ඝෝෂකයන්ට පැවසීමෙන් පසු පිරිස විසිර ගියහ.

ගම්පොළ අතිරේක මහෙස්‌ත්‍රාත් කේ. වී. කාංගර මහතා පොලිස්‌ සිර මැදිරිය පරීක්‍ෂා කළ අතර පශ්චාත් මරණ පරීක්‍ෂණ සිදු කිරීම සඳහා මෘතදේහය පේරාදෙණිය ශික්‍ෂණ රෝහල වෙත යවන ලෙස නියෝග කළේය. මීට අමතරව වරෙන්තුකරු ගෙල වැළලාගෙන මියගිය අවස්‌ථාවේ රාජකාරී කළ උප පොලිස්‌ පරීක්‍ෂක ගාමිණී සහ පොලිස්‌ කොස්‌තාපල් දිසානායක යන අයගේ වැඩ තහනම් කිරීමට පියවර ගත්තේය. මේ පිළිබඳව සම්පූර්ණ වාර්තාවක්‌ පොලිස්‌පතිවරයා ඉල්ලා ඇති අතර මේ ලිපිය ලියන මොහොතේවත් එම වාර්තාව පොලිස්‌පතිවරයා වෙත ලැබී නොතිබුණි.

divaina.com
 

More News »