ණයකාරයන්ගෙන් බේරෙන්නට තමා විසින්ම අතුරුදහන් කරනු ලැබීම....
බණඩාරගම ව්‍යාපාරිකයාගේ අමුතු සෙල්ලම

2016-09-12 11:01:00       602
feature-top
බම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරික සුලෙයිමාන් ඝාතනය කර සතියක්‌ යන්නට මත්තෙන් තවත් මුස්‌ලිම් ව්‍යාපාරිකයෙක්‌ අතුරුදන් විය. ඒ බණ්‌ඩාරගම අටුළුගම ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් හුසේන් නස්‌රින් නමැත්තෙකි. එම අතුරුදන්වීම රට පුරා මහත් ආන්දෝලනාත්මක සිද්ධියක්‌ බවට පත්විය. විශේෂයෙන්ම ව්‍යාපාරික ප්‍රජාව මහත් භීතියට පත්වූහ. ඔවුන් සිතුවේ අපරාධකරුවන් නිසා නිදහසේ ව්‍යාපාරික කටයුතු කරගෙන යැමේ තත්ත්වයක්‌ රට තුළ උදාවී නොමැති බවයි. තත්ත්වය එසේ තිබියදී අතුරුදන් වූ ව්‍යාපාරිකයාද අතුරුදන්වීමේ සත්‍ය තොරතුරුද පොලිසියට සොයා ගැනීමට හැකිවිය. පහතින් පෙළ ගැසෙන්නේ එම අතුරුදන්වීමේ සත්‍ය සිද්ධියයි.

මොහොමඩ් හුසේන් විවාහක ව්‍යාපාරිකයෙකි. පදිංචිය පානදුර, බණ්‌ඩාරගම, අටුළුගම ප්‍රදේශයේය. ව්‍යාපාරිකයකු වන ඔහු එම ප්‍රදේශයේ පුද්ගලයෙක්‌ විය. එමනිසා ඔහු හිත මිතුරන් ලොකු පිරිසක්‌ද ඇසුරු කළේය. හුසේන්ගේ ප්‍රධාන ව්‍යාපාරය වූයේ බැංකුවල වෙන්දේසි දාන රත්රන් භාණ්‌ඩ මිලදී ගෙන පසුව තොග පිටින් ඒවා විකිණීමයි. කලක සිට මොහු මෙම ව්‍යාපාරය කරගෙන ගිය අතර ඉන් විශාල ලාභයක්‌ද ඉපයූවේය.

කාලය කෙමෙන් ගෙවී ගියේය. හුසේන් සුපුරුදු පරිදි තම ව්‍යාපාරික කටයුතු කරගෙන පවුලේ අය සමඟ කාලය ගත කළේය. මිනිසකුගේ ජීවිතය නොසිතූ මොහොතක ඉතාම සුළු දෙයකින් පවා ජීවිතය වෙනස්‌ වීමට පුළුවන. හුසේන්ට සිදු වුණේ එවැනිම දෙයකි. කිසිසේත් නොසිතූ අයුරින් ඔහුගේ ව්‍යාපාර කටයුතු බිඳ වැටුණි. එන්න එන්නම ආර්ථික අගාධයකට ඇද වැටෙන බව ඔහුට දැණුනි. එයින් ගොඩ එන්නට ඔහු උපරිම උත්සාහ කළත් එය සාර්ථක වූයේ නැත.

හුසේන් ආර්ථික අතින් අන්තයටම වැටුණි. නමුත් තම ව්‍යාපාරික ප්‍රජාවට සහ හිත මිතුරන්ට ඔහු ඒ බවක්‌ පෙන්වූයේ නැත. සුපුරුදු ලෙස කෝටිපති ව්‍යාපාරිකයකු මෙන් ඔහු හැසිරුණේය. යහළුවන් සමඟ කතාබහ කරන විට ඔහු ලොකු වදන් පැවසුවේය. අලුත් මෝටර් රථයක්‌ මිලදී ගන්නා බවත් ව්‍යාපාරයක්‌ පටන් ගන්නා බවත් නිතරම පාහේ හිත මිතුරන්ට පැවසුවේ තමා ආර්ථික අතින් සවිමත් යෑයි ඒත්තු ගැන්වීමටය.

බැංකුවල මුදල් නොමැති වීම නිසා ඔහු දෙන චෙක්‌පත් අගරු (රිටන්) විය. සමහර දිනවල මෝටර් රථයට ඉන්ධන පවා ලබා ගැනීමට නොහැකිව ඔහු ලතවුණේය. තත්ත්වය එන්න එන්නම දරුණු අතට හැරෙන බව ඔහු තේරුම් ගත්තේය. දිවා රෑ නිදි වරමින් හුසේන් කල්පනා කළේ ආර්ථික අගාධයෙන් ගොඩ එන ක්‍රමයකි. එහෙත් සතුටුවිය හැකි කිසිදෙයක්‌ ඔහුට කල්පනා වූයේ නැත.

අවසානයේ හුසේන් තීරණයක්‌ ගත්තේය. ඒ තම හිතවත් ව්‍යාපාරිකයකුගෙන් මුදල් ටිකක්‌ ණයට ලබාගෙන ව්‍යාපාර කටයුතු දියුණු කිරීමටයි. ඒ සඳහා ඔහු තෝරා ගත්තේ කලක සිට ඉතා ළඟින්ම ඇසුරු කළ ව්‍යාපාරිකයෙකි. ඇත්ත තත්ත්වය වසන් කර හුසේන් එම ව්‍යාපාරිකයාට පැවසුවේ තමා අලුත් ව්‍යාපාරයක්‌ පටන් ගන්නා බවත්, ලක්‍ෂ පහක්‌ විතර එයට මදි බවත්, පුළුවන් නම් එය ලබාදෙන ලෙසත්ය. හැකි ඉක්‌මනින් ආපහු එය ලබාදෙන බවත් ඔහු පැවසුවේය. හුසේන් ගැන එම ව්‍යාපාරිකයාට සැකයක්‌ ඇතිවූයේ නැත. ඔහු දෙපාරක්‌ නොසිතා එම මුදල ලබා දුන්නේය. ඔහු වැටී තිබුණ අගාධයෙන් ගොඩ ඒමට එම මුදල කිසිසේත් ප්‍රමාණවත් නොවීය.

ණයට ගත් මුදල දවස්‌ දෙක තුනකින් හුසේන්ට වියදම් විය. යළි ඔහු නන්නත්තාර වූවේය. කෙලෙස හෝ මෙම ආර්ථික ආගාධයෙන් ගොඩඑන බව ඔහු ඉටා ගත්තේය. තව සල්ලි ටිකක්‌ හොයා ගත්තොත් ලෙහෙසියෙන්ම නැගිටින්න පුළුවන් යෑයි ඔහු සිතුවේය. එමනිසා දන්නා හඳුනන ව්‍යාපාරිකයන් කිහිප දෙනකුගෙන් යළි ඔහු මුදල් ණයට ලබා ගන්නේ සියලු දෙනාට ඇත්ත තත්ත්වය වසන් කර විවිධ බොරු පවසමින්ය. නමුත් එලෙස ලබාගත් මුදල්වලින් පවා ඔහු කරගෙන යන ව්‍යාපාරය දියුණු කර ගැනීමට නොහැකි විය.

අවසානයේ හුසේන් කෝටි දෙකහමාරකට අධික මුදලක්‌ හිත මිතුරන්ගෙන් ණයට ගෙන තිබුණි. එහෙත් එම ණයට ගත් මුදල්වලින් පවා ඔහු වැටී සිටි ආර්ථික අගාධයෙන් ගොඩ ඒමට නොහැකි විය. සිදු වූයේ තව තවත් ආර්ථික ආගාධයට වැටීම පමණි. හතර වටේ මිතුරන් ණය මුදල් ආපසු ඉල්ලද්දී කුමන හෝ බොරුවක්‌ පවසා ඔහු මඟහැරියේය. දිගින් දිගටම එය කරගෙන යැමට නොහැකි විය. කොච්චර අසරණ වුවත් ඔහු තමාගේ ඇත්ත තත්ත්වය පිට කිසිවකුටත් පෙන්වූයේ නැත. හැසිරුණේ සාර්ථක කෝටිපති ව්‍යාපාරිකයකු ලෙසින්මය.

හුසේන් හිත මිතුරන්ට එසේ පැවසුවත් තමා වැටී ඇති ආර්ථික අගාධය ගැන සිතමින් නිතරම කල්පනා කළේය. අදහන දෙවියන් නමදිමින් වැටී ඇති අගාධයෙන් ගොඩ ඒමට උදව් කරන ලෙස බැගෑපත්ව ඉල්ලුවේය. කිසිවෙක්‌ ඔහුට පිහිට නොවීය. ලබාදුන් ණය මුදල් හිත මිතුරන් ආපසු ඉල්ලද්දී ඒවා ගෙවා ගැනීමට නොහැකි වීම නිසා අනේක වාරයක්‌ ජීවිතය පවා නැති කර ගැනීමට හුසේන්ට සිතුණි. එහෙත් තම ආදරණීය බිරිඳ සහ දරුවන් ගැන සිතා එම අදහස ඔහු අත්හැර ගත්තේය. සියදිවි හානිකර ගැනීමට අකමැති වූ ඔහු ණයකාරයන්ගෙන් බේරීම සඳහා අපූරු උපක්‍රමයක්‌ ක්‍රියාත්මක කිරීමට සිතා ගත්තේය.

පසුගිය හතරවැනිදා ඉරිදා දිනයකි. එදින හුසේන් තම ව්‍යාපාරිකයන් කිහිප දෙනකු සමඟ ත්‍රිකුණාමලය බලා යැමට පිටත් වූයේ අලුයම් කාලයේදීය. එදින ත්‍රිකුණාමලය රජයේ බැංකුවක රත්තරන් වෙන්දේසියක්‌ පැවැත්වීමට නියමිතව තිබුණි. හුසේන් ඇතුළු ව්‍යාපාරිකයන් ත්‍රිකුණාමලය බලා පිටත් වූයේ එයට සහභාගි වීම සඳහායි. හුසේන් අත කුඩා නොවූත්, විශාල නොවූත් ගමන් මල්ලක්‌ තිබුණේය. තම සගයන්ට ඔහු පැවසුවේ රුපියල් කෝටි ගණනක මුදල් එහි තිබෙන බවයි. නමුත් ඇත්තටම එහි මුදල් තිබුණේ ඉතා සුළු ප්‍රමාණයකි. එනම් රුපියල් විසිදහසකට ආසන්න ප්‍රමාණයකි. එම ගමන් මල්ල පිරී තිබුණේ ඔහුගේ ඇඳුම් පැළඳුම් ආදියෙන්ය.

නියමිත වේලාවට පිරිස ත්‍රිකුණාමලයේ පිහිටි රාජ්‍ය බැංකුව වෙත පිවිසුණේය. රත්තරන් වෙන්දේසිය ආරම්භ විය. විශාල පිරිසක්‌ එයට සහභාගි වී තිබුණි. රත්තරන් භාණ්‌ඩ එකිsන් එකට මිල නියම කර වෙන්දේසි කෙරිණ. හුසේන් කිසිවකුටත් නොදෙවැනිව රත්තරන් භාණ්‌ඩවලට මිල නියම කළේ කෝටිපති ව්‍යාපාරිකයකු මෙන්ය. සමහර රත්තරන් භාණ්‌ඩ නොවටිනා මිල ගණන්වලට ඔහු ඉල්ලුවේය. එය දුටු ත්‍රිකුණාමලයේ ව්‍යාපාරිකයෙක්‌ හුසේන් සමඟ රණ්‌ඩුවීමට පවා පැමිණියේය. වෙන්දේසියේ බොහෝ රත්තරන් භාණ්‌ඩ හුසේන් නොවටිනා ගණන්වලට ඉල්ලා තිබුණි.

වෙන්දේසිය අවසන් වන්නේ පස්‌වරු හතරටය. එවිට වේලාව දෙකයි තිහ පසුවී තිබුණි. හුසේන් සහ තවත් ඔහු සමඟ පැමිණි ව්‍යාපාරිකයකු එළියට පැමිණියේ සිසිල් බීම බෝතලයක්‌ පානය කිරීම සඳහාය. ගතවූයේ නිමේෂයකි. හුසේන් අතුරුදන් වී තිබුණේ එම ව්‍යාපාරිකයාටවත් හිතා ගැනීමට නොහැකි අයුරිනි. ඔහු වෙන්දේසිය පැවතුණ රාජ්‍ය බැංකුව වෙත හනික පැමිණියේ හුසේන් ඇතැයි සිතාය. එහෙත් හුසේන් නොසිටියේය. සතර වටේ විපරම් කළත් ඔහු ගැන කිසිම තොරතුරක්‌ සොයා ගැනීමට නොහැකි විය. කලබල වූ පිරිස වහාම ඒ බව ත්‍රිකුණාමලය පොලිසියට දැනුම් දුන්නේය.

හුසේන්ගේ අතුරුදන් වීම සැමටම ප්‍රහේළිකාවක්‌ විය. ඔහුගේ බිරිඳ සහ දරුවන් හඬා වැළපෙමින් විවිධ මාධ්‍ය ඔස්‌සේ පවා පැවසුවේ තම සැමියා ඉක්‌මනින් සොයාදෙන ලෙසයි. සැවොම සිතුවේ හුසේන්ව කිසියම් පිරිසක්‌ විසින් පැහැරගෙන ඇති බවයි.

පොලිසිය විවිධ අයුරින් පරීක්‍ෂණ කළත් හුසේන්ව පැහැරගත් ආකාරයක්‌ පොලිසියට දිස්‌ නොවීය. පසුදින සියලුම මුද්‍රිත සහ විද්යුත් මාධ්‍යවල ප්‍රධාන මාතෘකාවක්‌ බවට හුසේන්ගේ අතුරුදන්වීම සඳහන් විය.

එහෙත් සිදුවී තිබුණේ මෙයයි. හිතවතා ඉතා සූක්‍ෂම අයුරින් මඟහල හුසේන් යාපනය බස්‌ රථයකට ගොඩ වූවේය. ඔහුට වුවමනා වී තිබුණේ දින කිහිපයක්‌ අතුරුදන්ව සිටීමටයි. ඒ ණයකාරයන්ගෙන් බේරීම සඳහාය. මේ බව ඔහු තම බිරිඳටවත් පවසා තිබුණේ නැත. කාටත් හොරා තම මෙහෙයුම හුසේන් ක්‍රියාත්මක කළේය. එදින රැය ඔහු යාපනයේ ගත කළේය. පසුදින උදෑසන යාපනයේ නගරයෙන් පුවත්පතක්‌ මිලදී ගත් ඔහු දුටුවේ තම බිරිඳ සහ දරු දෙදෙනා හඬා වැළපෙමින් සිටින දර්ශනයකි. එය දැක ඔහුගේ සිත උණු විය. ආදරණීය බිරිඳ සහ දරු දෙදෙනා කොතරම් දුකකින් සිටිනවා ඇත්දැයි කල්පනා කර දහස්‌ වාරයක්‌ සිතින් තැවුණේය.

දරු සෙනෙහස උතුරා ගලා ගියේය. මොන දේ වුණත් තම නිවැසියන්ට කතා කළ යුතු යෑයි ඔහු තීරණය කළේය. දුරකථන කුටියක්‌ වෙත ගිය හුසේන් බිරිඳට සහ දරු දෙදෙනාට පැවසුවේ තමා හොඳින් සිටින බවත්, කිසි දෙයකට බිය නොවන ලෙසත් හැකි ඉක්‌මනින් තමා නිවස වෙත පැමිණෙන බවත් ය. බිරිඳගේ සහ දරුවන්ගේ දුක මඳකට තුනී විය. හුසේන් දුරකථන ඇමතුමක්‌ ලබාදුන් බව මිතුරෙක්‌ පොලිසියට පැවසුවේය.

මුල සිටම පොලිස්‌ නිලධාරීන්ට මෙම ව්‍යාපාරිකයාගේ අතුරුදන් වීම ගැන තිබුණේ බලවත් සැකයකි. ඔවුහු වහාම එම දුරකථන ඇමතුම ලබාගත් ස්‌ථානය සොයාගෙන පරීක්‍ෂණ ආරම්භ කළහ. එහිදී ලබාගත් සී.සී.ටී.වී. දර්ශනවල ඔහු නිරුපද්‍රිතව පැමිණ දුරකථන ඇමතුමක්‌ ලබාගෙන යළි පිටවන අයුරු දිස්‌විය. එම ව්‍යාපාරිකයාට කිසිදු හානියක්‌ සිදුවී නොමැති බව දැනගත් පොලිස්‌ නිලධාරීහු හුසේන් සෙවීමේ වැඩිදුර පරීක්‍ෂණ සිදුකර ගෙන ගියේය.

තමාගේ උපක්‍රමය සාර්ථක යෑයි සිතූ හුසේන් යළි වව්නියාව වෙත පැමිණියේය. එතැන් සිට කොළඹ බලා පැමිණෙන බස්‌ රථයකට ඔහු ගොඩවුණේ කොළඹ බලා පිටත් වීමටයි. ඔහුගේ දෙවැනි සැලසුම වූයේ කොළඹින් - හපුතලයට පැමිණ තම සේවකයකුගේ නිවසේ ටික දිනක්‌ රැඳී සිටීමටයි. විද්‍යාත්මක සාක්‍ෂි ඔස්‌සේ පොලිස්‌ නිලධාරීහු හුසේන්ව ලුහු බැන්ඳේය. මේ පිළිබඳ ඔහු කිසිවක්‌ දැන සිටියේ නැත. කොළඹට පැමිණි හුසේන් හපුතලේ බලා යන බස්‌රථයකට ගොඩ වූයේය. හුසේන් පසුදින එනම් හයවැනිදා හල්දුම්මුල්ල බස්‌ නැවතුම්පළින් බැසීමට සැරසුණේය. බස්‌රථයෙන් බසිනවාත් සමඟම හුසේන් පසුපස ලුහුබැඳ ආ ත්‍රිකුණාමලයේ පොලිස්‌ නිලධාරීහු ඔහු අත්අඩංගුවට ගත්හ.

පොලිස්‌ අත්අඩංගුවට පත්වූ හුසේන්ට සත්‍ය වසන් කිරීමට නොහැකි විය. අවසානයේ ඔහු පොලිස්‌ නිලධාරීන් හමුවේ සියල්ල වැමෑරුවේය. කෝටි දෙකහමාරකට අධික මුදලක්‌ ණයවී ඉන් බේරීම සඳහා තමා විසින්ම සැලසුම් කර පැහැර ගැනීමකට ලක්‌වූවැයි හැඟවීමට තැත්කළ මොහොමඩ් හුසේන් අවසානයේ පොලිස්‌ දැලට කොටු වූයේ එලෙසින්ය.

පැහැරගෙන යැමක්‌ හැඟවීමට මෙවැන්නක්‌ සැලසුම් කිරීම, රජයේ නිලධාරීන් අපහසුතාවට පත්කිරීම, වංචා කිරීම ආදී චෝදනා පහක්‌ යටතේ හුසේන්ව ත්‍රිකුණාමලය අධිකරණයට ඉදිරිපත් කරන ලදී. අවසානයේ ත්‍රිකුණාමලයේ මහෙස්‌ත්‍රාත් සී. ස්‌වර්ණ රාජා මහතා සැකකරු ලබන දහතුන් වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

මෙම සිද්ධිය පිළිබඳව බණ්‌ඩාරගම සහ ත්‍රිකුණාමලය මූලස්‌ථාන පොලිසිය ඒකාබද්ධ වී පරීක්‍ෂණ සිදු කළහ.


More News »