යුක්‌තිය සාධාරණය වෙනුවෙන් සටන් වැදුණු නානුඔය සුසී ඝාතනය කලේ කවුද?

2016-09-08 11:08:00       585
feature-top
කන්ද උඩරටින් ඇසුණු වෙඩි හ`ඩක ඇතුල් කතාව

කුඩා ගමන් මල්ලක්‌ උරහිසේ එල්ලාගෙන එය දකුණතින් වැරෙන් ග්‍රහණය කරගත් පුද්ගලයෙක්‌ ආපන ශාලාවක්‌ තුළට පැමිණෙයි. ෆqල් ෙෆaස්‌ හෙල්මට්‌ එකක්‌ දමා ජැකට්‌ එකක්‌ ඇඳගෙන සිටි ඔහු කවුරුද යන්න කිසිවකුටත් හඳුනා ගැනීමට නොහැකිය. කිසිදු කලබයකින් තොරව ඔහු ආපන ශාලාවේ මුදල් අයකැමි (කැෂියර්) සිටි ස්‌ථානය කරා පිය මැන්නේය.



හඳුනාගත නොහැකි පුද්ගලයා පැමිණි ආපන ශාලාව දිවා රාත්‍රී ලෙස පවත්වාගෙන යන එකකි. එහි අයිතිකරු සංජය බණ්‌ඩාරයි. පදිංචිය මහනුවර පිළිමතලාව ය. එය පිහිටා තිබුණේ නානුඔය දුම්රිය හරස්‌ මාර්ගය අසලයි. නම සංජය බණ්‌ඩාර වුවත් කවුරුත් ඔහු ඇමතුවේ "නානුඔය සුසී" යන අන්වර්ථ නාමයෙනි.

"නානුඔය සුසී" ගේ පියා කුඩා කාලයේම මියගොසින්ය. ඉන්පසු සුසීගේ වගකීම තනිකරම පැටවුණේ මවගේ කරමතයි. ඇය වෙනත් වැන්දඹු කාන්තාවන්ටත් ආදර්ශයක්‌ වෙමින් අපරිමිත ධෛර්යකින් යුතුව තම පුත්‍රයා පණමෙන් රැකබලා ගත්තාය. ඇය රැකියාව වශයෙන් කළේ කුඩා වෙළෙඳ සලක්‌ පවත්වාගෙන යැමයි. එයින් ලැබෙන ආදායම අමාරුවෙන් හෝ පවුල නඩත්තු කිරීම සඳහා ප්‍රමාණවත් විය.

කාලයත් සමඟ "නානුඔය සුසී" ගේ පාසල් අධ්‍යාපනය අවසන් විය. පාසලේදී ඔහු අධ්‍යයන කටයුතුවලට වඩා මුල්තැන දුන්නේ බාහිර ක්‍රියාකාරකම්වලටයි. එමනිසා උසස්‌ අධ්‍යාපන වරම් ඔහුට අහිමි විය. ක්‍රීඩා කටයුතුවලට "නානුඔය සුසී" දැක්‌වූයේ පුදුම දක්‍ෂතාවකි. ඔහුගේ ප්‍රියතම ක්‍රීඩාව වූයේ ක්‍රිකට්‌ය. පාසල් කාලයේදී පොත්පත්වලට වඩා සුසීගේ අතේ රැඳුණේ ක්‍රිකට්‌ පිත්තයි.

පාසල් කාලයේ සිටම ඔහු තරමක දඩබ්බරයෙකි. පීරියඩ් එකක්‌ කට්‌කර කොල්ලන් සමඟ රවුම් ගැසීම, මුදල් ඔට්‌ටු දමා ක්‍රිකට්‌ ගැසීම ආදී කටයුතුවලදී මුල්තැන ගන්නේ නානුඔය සුසීය. පුංචි දෙයටත් කෝපවන ඔහු, අනන්තවත් යහළුවන් සමඟ රණ්‌ඩු සරුවල් ඇති කරගෙන තිබේ. එවැනි සමහර ගැටුම් කෙළවර වන්නේ වැඩිහිටියන්ගේ මැදිහත් වීමෙනි. එමෙන්ම නානුඔය සුසීට විවිධ වයස්‌ කාණ්‌ඩවල යහළුවෝ බොහෝ සිටියෝය. එමනිසා පාසල් කාලයේ සිටම ඔහු ජනප්‍රිය චරිතයක්‌ බවට පත්විය.

පාසල් අධ්‍යාපනය හමාර කළ නානුඔය සුසී කෙළින්ම පය තැබුවේ සමාජයටයි. එහිදී ඔහු වටා යහළුවෝ විශාල පිරිසක්‌ එක්‌රොක්‌ වූහ. ඔවුන් සමඟ නානුඔය සුසී කොලු වයසේ කරන්නට ඕනෑ සියලුම දේවල් කළෝය. එවැනි සමහර වැඩවලදී සමාජයෙන් ඇණුම් බැණුම් ඇසූ අවස්‌ථාද බොහෝ තිබේ. ඒ වගේම සමාජයේ පොදු වැඩවලදී ද මූලිකත්වය ගෙන කටයුතු කළේ නානුඔය සුසීය. ප්‍රදේශයේ මළ ගෙයක්‌, බණ ගෙයක්‌ ආදිය තිබුණහොත් නානුඔය සුසී අනිවාර්යයෙන්ම එහි සිටියේය.

ක්‍රිකට්‌වලට නානුඔය සුසී දැක්‌වූයේ දැඩි රුචිකත්වයකි. කන්න නැතත් ඔහුට ගැටලුවක්‌ නැත. එහෙත් ක්‍රිකට්‌ සෙල්ලම් නොකර සිටීමට නොහැකිය. මොන රාජකාරිය තිබුණත් ප්‍රදේශයේ කොල්ලො කුරුට්‌ටෝ සමඟ දිනපතාම ක්‍රිකට්‌ ගැසීම මොහුගේ දින චර්යාවේ එක්‌ අංගයකි. අවසානයේ ඔහු "අග්නි" නමින් සැහැල්ලු පන්දු ක්‍රිකට්‌ කණ්‌ඩායමක්‌ සාදා ගත්තේය. එහි නායකයා වූ ඔහු ලංකාව පුරා ගොස්‌ සැහැල්ලු පන්දු ක්‍රිකට්‌ තරගවලට සහභාගි වූවේය. එලෙස සහභාගි වූ බොහෝ තරගවල ශූරතාව දිනා ගැනීමට "අග්නි" සාමාජිකයන්ට හැකි විය.

යහළුවෝ සමඟ කොතරම් ආශ්‍රය කළත්, ක්‍රිකට්‌ ගැසුවත් නානුඔය සුසී මවගේ උදව් ඇතිව දිවා රාත්‍රී ආපන ශාලාවක්‌ද පවත්වාගෙන ගියේය. එය පිහිටා තිබුණේ නානුඔය දුම්රිය හරස්‌ මාර්ගය අසලයි. ප්‍රදේශයේ දේශපාලකයන්ටත් වඩා නානුඔය සුසී ජනප්‍රිය පුද්ගලයෙක්‌ විය. එමනිසා ඔහුගේ දිවා රාත්‍රී ආපන ශාලාවේ නිතරම සෙනඟ පිරී ඉතිරී සිටියෝය.

කාලයක්‌ දැන හැඳිනගෙන සිටි තරුණියක්‌ සමඟ නානුඔය සුසී විවාහ වූවේය. විවාහයෙන් වසරකට පමණ පසු ඔවුන්ගේ පුංචි කැදැල්ලට දරු පැටියෙක්‌ද එකතු වූවේය. ඉන්පසු සියලු දෙනා සිතුවේ නානුඔය සුසීගේ දඩබ්බරකම් නවතියි කියාය. නමුත් එය එසේ වූයේ නැත.

නානුඔය සුසී යුක්‌තිය, අසාධාරණය වෙනුවෙන් නොබියව නැඟී සිටියේය. ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය භාවිතා කරන පුද්ගලයන්ට ඔහු කිසි සමාවක්‌ දැක්‌වූයේ නැත. සමහර අවස්‌ථාවල එවැනි පුද්ගලයන්ට නානුඔය සුසී අතින් පයින්ද සැලකුවේය. තම ආපන ශාලාව වෙත ඇවිත් චණ්‌ඩිපාට්‌ දමන පුද්ගලයන්ටද ඔහුගෙන් සමාවක්‌ ලැබුණේ නැත. මෙවැනි ක්‍රියාකාරකම් නිසා නානුඔය සුසීට තරහා කාරයෝ පිරිසක්‌ද සිටියෝය.

විවාහ වී දරු පැටියෙක්‌ සිටියත් නානුඔය සුසී ක්‍රිකට්‌ ගැසීම, යහළුවෝ ආශ්‍රය කිරීම, ප්‍රදේශයේ පොදු වැඩවලට සහභාගි වීම අතහැරියේ නැත. ඔහු එවැනි දේවල් කළත් පවුල වෙනුවෙන් ඉටුවිය යුතු යුතුකම් අකුරටම ඉටු කළේය.

සමාජයෙන් කොතරම් තර්ජන ගර්ජන තිබුණත් නානුඔය සුසී කිසි දිනක ඒවාට බියේ තමන්ගේ ජීවන රටාව වෙනස්‌ කළේ නැත. දිනක්‌ වෑන් රථයකින් පැමිණි පිරිසක්‌ නානුඔය සුසීව පැහැරගෙන ගොස්‌ හොඳටම පහරදී කඩුගන්නාව ප්‍රදේශයේ දමා ගොස්‌ තිබිණි. අවසානයේ ඒවාට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මාසයක්‌ පමණ රෝහල් ගතවීමටද ඔහුට සිදුවිය. එවැනි පහරදීම් කළත් ඔහුගේ ජීවන රටාව වෙනස්‌ කිරීමට කිසිවෙකුටත් නොහැකි විය.

නාඳුනන පුද්ගලයාගේ ගමන් මල්ලේ තිබුණේ ගිනි අවියකි. ඔහු පැමිණියේ නානුඔය සුසීට වෙඩි තබා ඝාතනය කිරීම සඳහායි. මේ කිසිවක්‌ නොදැන සිටි නානුඔය සුසී හිතවතෙකු සමඟ කතා බස්‌ කරමින් සිටියේය. නාඳුනන පුද්ගලයා කෙළින්ම නානුඔය සුසී සිටි ස්‌ථානයට පැමිණියේය.

නානුඔය සුසී තමා දෙසට එන පුද්ගලයා ගැන වැඩි උනන්දුවක්‌ දැක්‌වූයේ නැත. ඔහු සිතුවේ ගනුදෙනුකරුවකු පැමිණෙනවා කියාය. නාඳුනන පුද්ගලයා කිසි කලබලයක්‌ නැතිව දකුණත තම ගමන් මල්ල තුළට දමා ගත්තේය. ගතවූයේ තත්ත්පර ගණනකි. වෙඩි ප්‍රහාර තුනක්‌ නානුඔය සුසීගේ පපු පෙදෙසට එල්ල විය. වෙඩි කාගෙනම නානුඔය සුසී පුටුවෙන් පැන මේසය යටට බඩගෑවේය. එහෙත් නාඳුනන තුවක්‌කුකරු මේසය උඩින් එබී තවත් වෙඩි ප්‍රහාර දෙකක්‌ නානුඔය සුසීට එල්ල කළේය.

පළමු වෙඩි ප්‍රහාරය එල්ල වීමත් සමඟම නානුඔය සුසී සමඟ කතාබස්‌ කරමින් සිටි පුද්ගලයා පැන දිව්වේ මරළතෝනි තබමින්ය. වෙඩි තබා අවසන් වූ පසු නාඳුනන තුවක්‌කුකරු කිසි කලබලයකින් තොරව එම ස්‌ථානයෙන් පිටවී ගියේය. රෝහල්ගත කළත් නානුඔය සුසීගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි විය.

මෙම ලිපිය ලියන මොහොත වන විටත් නානුඔය සුසීට වෙඩි තැබූ ඝාතකයා අල්ලා ගැනීමට පොලිසියට නොහැකිවී තිබිණි. කවුරු කෙසේ කීවත් අපරාධකාරයකුට වැඩිකල් සැඟවී සිටීමට නොහැකිය. එම නිසා නානුඔය සුසීගේ ඝාතකයාද නොබෝ කලකින් නීතියේ රැහැනට හසුවෙනු ඇත.



More News »