අබිරහස් ලෙස ඝාතනය කළ අම්බලන්ගොඩ ක්‍රිකට් විරුවා

2016-08-26 11:28:00       658
feature-top
හාහා පුරා කියා අපේ ‘ක්‍රිකට් කතාව’ ලියැවෙන්නට පටන් ගත් කාලයයි, ඒ. එසේ අලුතින්ම ලියැවෙන්නට පටන් ගත් ක්‍රිකට් කතාවට පෙම් බැඳි පුංචි කොලු ගැටයෙක් දකුණේ පුංචි ගමක සිටියේය. ඔහු උපන් ගමේම ඔහුට ක්‍රිකට් වීරයෙක්ද සිටියේය. ඒ ක්‍රිකට් වීරයා අම්බලන්ගොඩ අජිත් ද සිල්වායි. ක්‍රිකට් වීරයාගේ වීරකම් තමන්ගේම කරගත් පුංචි කොලු ගැටයාටද ‘ක්‍රිකට්’ උපතින්ම දායාද වී තිබුණේය. මේ පුංචි කොලු ගැටයා සිය දිවි ගමනේ අතරමග අවසන් හුස්ම හෙළනා තුරුම ක්‍රිකට් ප්‍රේමය අත්හළේ නම් නැත.

අම්බලන්ගොඩ උපන් මේ පුංචි කොලු ගැටයා වූයේ ගෙවුණු සති අන්තයේ නාඳුනන වෙඩික්කරුවකුගේ උණ්ඩයකින් නිහඬ වූ හැලඹගේ ප්‍රේමසිරිය. ඔහු කෝටිපති ව්‍යාපාරිකයකු වූ බව සැබෑවකි. අද ඔහු ගැන කියැවෙන ඒ කතාවට වඩා ඔහුගේ අතීත කතාව වෙනස්ය. එය ක්‍රිකට් කතාවකි. අතීත ක්‍රිකට් කතාවේ රස මුසු අහුමුළු අවුස්සා දැනගන්නට ප්‍රේමසිරි නැතත් ඔහුගේ ජීවිතයම දන්නා ළබැඳි මිතුරෙක් ඇත්තේය. ලාල් රණසිංහ නම් ඔහුගේත් ප්‍රේමසිරිගේත් මිතුරුකමට දශක හතරකට වැඩි අතීතයක් තිබිණි.

මම ප්‍රේමසිරිට වඩා අවුරුදු හතරක් විතර වැඩිමහල්. අපි දෙන්නම ඉගෙන ගත්තේ අම්බලන්ගොඩ ධර්මාශෝකේ. අපි මුණ ගැහුණෙත් ක්‍රිකට් නිසා. මමත් ඉස්කෝ‍ලේ ක්‍රිකට් ගැහුවා. ප්‍රේමසිරි ක්‍රිකට් ගැහිල්ලට ආවේ ‍පොඩි කාලෙමයි. හැබැයි දක්ෂකම් නම් අඩුවක් නැතිව තිබුණා. ලාල් සිය සගයාගේ පුංචිම වයස මතක් කළේය.

චාලි ජයසූරිය කියලා සර් කෙනෙක් තමයි ඒ කා‍ලේ ධර්මාශෝකෙ ක්‍රිකට් භාරව හිටියේ. අජිත් ද සිල්වා හින්දා ඒ කා‍ලේ අම්බලන්ගොඩට ක්‍රිකට් ගැන හොඳ නමකුත් තිබුණානේ. ඒ කා‍ලේ12න් පහළයි, 14න් පහළයි කියලා කණ්ඩායම් දෙකක් තිබුණා. ප්‍රේමසිරිව තෝර ගත්තේ 14න් පහළ කණ්ඩායමට. ඒ 1975 විතර. එතකොටත් ප්‍රේමසිරිගේ වයස අවුරුදු දහතුනයි. එතකොට මම හිටියේ 16න් පහළ කණ්ඩායමේ. ප්‍රේමසිරියි මායි යාළුවෝ වුණේ ඒ නිසා. අවුරුද්දක් යන්නත් කලින් ප්‍රේමසිරිව 16න් පහළ කණ්ඩායමට ගත්තා. 16න් පහළ නායකයත් වුණා. 1977 දී 17න් පහළ නායකයා වුණෙත් ප්‍රේමසිරිම තමයි. ධර්මාශෝකෙ පළමු පෙළ ක්‍රිකට් කණ්ඩායමට ප්‍රේමසිරි මුලින්ම තේරුණේ 16න් පහළ සෙල්ලම් කරද්දී.

ලාල් කියන හැටියට ‘ක්‍රිකට්’ තිබුණේ ප්‍රේමසිරිගේ ඇඟේමයි. වයස පරයන  ක්‍රිකට් දස්කම් පෑ නිසාම ප්‍රේමසිරිට කොළඹ නාලන්දාවෙන් ද ඇරයුමක් ලැබි තිබුණ්ය.

ක්‍රිකට් ඇඟේ් තිබුණට ප්‍රේමසිරි ෆුට් බෝල්වලටත් හුඟක් ආසා කළා. ක්‍රිකට් සෙල්ලම් කරන අතරේ ෆුට්බෝලුත් ගැහුවා. අවුරුදු ගාණක් ෆුඩ්බෝල් ටීම් එකෙත් නායකයා වෙලත් හිටියා. 1980 අවුරුද්දේදී විතර ප්‍රේමසිරිව කොළඹ නාලන්දාවට ගත්තා. ඒ ගත්තේ ක්‍රිකට් නිසාමයි. හැබැයි මාස හතරක්වත් නාලන්දෙට ගියේ නැහැ. ආපහු ධර්මාශෝකෙටම ආවා.

උපන් ගම හැර යන්නට බැරිකමක් ඔහුට තිබෙන්නට ඇත. අයියලා මල්ලිලා අක්කලා නංගිලා පස් දෙනකුගේ ආදරය මැද කෙළිදෙළෙන් ගෙවූ කාලය මගහැර ගන්නටද ඔහුගේ සිත ඉඩ නොදෙන්නට ඇත.

නාලන්දෙ ඉඳලා ප්‍රේමසිරි ආපහු ආපු එක ගැන හැමෝම සතුටු වුණා. හැමෝම දැනගෙන හිටියා ප්‍රේමසිරිගේ දක්ෂකම් නිසා ක්‍රිකට්වලින් දුර ගමනක් යන බව. නාලන්දෙ ඉඳලා ආපු ගමන්ම ධර්මාශෝකෙ පළමු පෙළ කණ්ඩායමේ උපනායකකම ප්‍රේමසිරිට හම්බ වුණා. ඊළඟ අවුරුද්දේ සීනියර් ටීම් එකේ නායකයත් වුණා. ඔය කාලෙම 19න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායමට එංගලන්ත සංචාරයක් ලැබිලා තිබුණා. ඒකට කණ්ඩායම තෝරද්දී අන්තිම විසිදෙනාට ප්‍රේමසිරි තේරුණා. ඒත් අන්තිම පහළොවට තේරෙන්න බැරි වුණා. හැබැයි එහෙම දේවල් වුණා කියලා ප්‍රේමසිරි කවදාවත් දුක් වුණේ නැහැ. එයා එයාගේ ගමන ගියා.

ලැබුණු අවස්ථා ගිලිහී යද්දී වුව සතුටු වූ ප්‍රේමසිරි අසූවේ දශකයේ මුල් කාලයේ පිටපිටම දෙවරක් දක්ෂතම පිට පළාත් පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ඇගයුම් ලැබුවේය. පාසල් ගමන නිම වෙද්දීම ප්‍රේමසිරි බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයට එක්වෙමින් අලුත් ගමනක් ඇරඹුවේය.

ප්‍රේමසිරි ඉගෙනගන්න වැඩවලට ලොකු උනන්දුවක් තිබුණු කෙනෙක් ‍නෙවෙයි. මුලින් ක්‍රිකට්, ෆුඩ් බෝල් දෙකම කළාට පස්සේ ක්‍රිකට් විතරයි සෙල්ලම් කළේ. කොහොමත් ප්‍රේමසිරි ඉස්කෝලෙන් අස්වුණු කා‍ලේ වෙද්දී ප්‍රේමසිරිගේ තාත්තා, සුමනදාස මුදලාලි බිස්නස් කරපු නිසා ප්‍රේමසිරිට සල්ලිවලින් අඩුපාඩු තිබුණෙත් නැහැ. ඉස්කෝලෙන් අස්වුණාට පස්සේ ප්‍රේමසිරිව බ්ලූම්ෆීල්ඩ් එකට ගත්තා. බ්‍රවුන්ස් එකේ රස්සාවකුත් හම්බ වුණා. ඒ කා‍ලේ මුළු ක්‍රිකට් ටීම් එකම වගේ වැඩ කළේ බ්‍රවුන්ස් එකේ. බ්‍රවුන්ස් එකේ ටීම් එකට සෙල්ලම් කරන ගමන් බ්ලූම් ෆීල්ඩ් එකටත් සෙල්ලම් කළා. ඒ කා‍ලේ ප්‍රේමසිරි නතර වෙලා හිටියේ බ්‍රෙන්ඩන් කුරුප්පුගේ ගෙදර. ඒ යාළුකමත් අපේ යාළුකම වගේම හැමදාම තිබුණා.

ළබැඳි මිතුදම්වලටද ක්‍රිකට්වලට සේම ප්‍රේමසිරි බැඳී සිටියා සේය. ඒ මේ ළබැඳි මිතුදම්ද ක්‍රිකට් නිසා ඇති වූ නිසාම වන්නටද බැරි නැත.

කොළඹ හිටියට අපේ යාළුකම් අඩු වුණේ නැහැ. හිතවත්ම අය ළඟින් තියාගන්නයි ප්‍රේමසිරිට නිතරම ඕනෑ වුණේ.
ක්‍රිකට් කතාව පරයා මතුවුණු යහළුකමේ කතාව කියද්දී ලාල්ගේ දෑසද තෙන් විය.

හැම පුංචි දේම මට කියන පුරුද්දක් ප්‍රේමසිරිට තිබුණා. ලාල් කීවේය.

ප්‍රේමසිරිගේ ක්‍රිකට් ගැන රටම කතා කරන්න පටන් ගත්තේ කොළඹ හිටපු කාලෙම තමයි. ලාල් ක්‍රිකට් කතාව නවතා දැමූ තැනින්ම පටන් ගත්තේය.

1983 දී බ්ලූම් ෆීල්ඩ් ටීම් එක අවුරුදු 25 න් පහළ බ්‍රිස්ටල් කප් එක දිනුවා. ඒ ටීම් එකේ ඕපනින් බැට්ස්මන් වුණේ ප්‍රේමසිරි. ප්‍රේමසිරිගේ දක්ෂකම් ගැන හැමෝම දැනගත්තේ ඒ මැච්වලදී හොඳටම ලකුණු ගත්ත නිසා. 1984 දී විතර ප්‍රේමසිරි සිංහ ක්‍රීඩා සමාජයට ආවා. ඒ කා‍ලේ මමත් සිංහ ක්ලබ් එකට සෙල්ලම් කළා. මුලින්ම අපිට තුන්වැනි පෙළ තරගයක් සෙල්ලම් කරන්න හම්බවුණේ ඒ අවුරුද්දේ. ප්‍රේමසිරිගේ දක්ෂකම නිසාම අපි 84 දී තුන්වෙනි පෙළ චැම්පියන්ස්ලා වුණා. ඒ නිසා 1985 දී දෙවැනි පෙළ සෙල්ලම් කළා. ඒකෙන් චැම්පියන්ස්ලා වුණා. 1986 ඉඳලා අපිට පළමු පෙළ සෙල්ලම් කරන්න හම්බ වුණා. අපේ ජයග්‍රහණයේ නියමුවා වුණේ ප්‍රේමසිරි. ක්‍රිකට් ක්ලබ් එකක් පිට පිට අවුරුදු දෙකකදි චැම්පියන්ස්ලා වෙලා පළමු පෙළට ආපු මුල්ම වතාවත් ඒක.

ඔය අතරේ ගාල්ල දිස්ත්‍රික් කණ්ඩායමට ප්‍රේමසිරිව ගත්තා. දිස්ත්‍රික් කණ්ඩායමේ නායකයත් වුණා. පස්සේ දකුණු පළාත් කණ්ඩායමේ නායකයත් වුණා. පළාත් මැච්වලදී දකුණු පළාතට දිනන්න බැරි වුණා හැබැයි ලකුණු සීයේ ඒවා තුනක් අරගෙන ප්‍රේමසිරි තරගාවලියේ වීරයා වුණා.

1990 වසරේදී හැළඹගේ ප්‍රේමසිරි නාමය ශ්‍රී ලංකා ඒ ක්‍රිකට් කණ්ඩායමේ නම් අතර එක්වූයේ ඔහු පිටියේ පෑ දස්කම්වලට වටිනාකමක් එකතු කරමිනි. පාකිස්තාන හා එංගලන්ත සංචාරවලට එක් වෙද්දීද ප්‍රේමසිරිගේ දස්කම් වැඩිවූවා මිස අඩු වුණු බවක් පෙනෙන්නට  තිබුණේ නැත. පළමු පෙළ ක්‍රිකට් තරග 70 කට සිය හැකියාවන් දායක කර ඇති හැලඹගේ ප්‍රේමසිරි තමන්ගේ නම ඉදිරියේ ලකුණු 3366 ක් ලියවාගෙන ඇත්තේ ශකත හයක සහ අර්ධ ශතක 16 ක වටිනාකම ඒ ලකුණුවලට එක්කරමිනි.

කොච්චර හොඳට සෙල්ලම් කළත් ප්‍රේමසිරි ජාතික කණ්ඩායමට තේරුණේ නැහැ. හැබැයි ඒ ගැන කවදාවත් දුක් වුණෙත් නැහැ. කාලයක් යද්දී පවු‍ලේ ව්‍යාපාරවල ‍පොඩි පසුබෑමක් ඇති වුණා. ඒ කා‍ලේ බ්‍රවුන්ස් එකෙන් අස්වෙලා ප්‍රේමසිරි අයියලත් එක්ක එකතුවෙලා බිස්නස් දියුණු කර ගත්තා. තමන්ගේම බිස්නසුත් පටන් ගත්තා. මොන දේ කළත් ක්‍රිකට් එක්ක තිබුණු බැඳිම නම් අඩු වුණේ නැහැ. දිගටම සෙල්ලම් කළා. ඉස්කෝලෙත් එක්ක හිටියා. ඉස්කෝ‍ලේ ළමයින්ට පුරුදු කරන්නත් ගියා. නැති වෙනකම්ම ධර්මාශෝක විශේෂඥ ක්‍රිකට් පුහුණුකරු ප්‍රේමසිරි.

නිතරම ඉස්කෝලෙට ගියෙ නැති වුණාට හැමදාම වගේ පිට්ටනියට ගියා. කවුරු හරි ළමයෙකුගේ බැටින්වල අඩුපාඩුවක් දැක්කොත් එයාම ඒක හදනවා. නැත්නම් කෝච් උදව්වක් ඉල්ලුවොත් කොහොම හරි ගියා. උපුල් තරංග කියන්නේ ඒ විදියට ප්‍රේමසිරි අතින් හැදුණු කෙනෙක්. උපුල් තරංග අදටත් තමන්ගේ බැටින්වල අඩුපාඩුවක් තියෙනවා කියලා තේරුණොත් ප්‍රේමසිරිව හොයාගෙන එනවා.

මුදල් අතින් වුණත් ක්‍රිකට්වල දියුණුව වෙනුවෙන් කරන්න පුළුවන් හැමදේම ප්‍රේමසිරි කළා. ගාලු දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපති විදියටත් සිංහ ක්‍රීඩා සමාජයේ සභාපති විදියටත් තමන්ට පුළුවන් හොඳම විදියට ක්‍රිකට් ඉහළට ගන්නයි ප්‍රේමසිරිට ඕන කළේ. සිංහ ක්‍රීඩා සමාජයේ ක්‍රිකට් පුහුණුවීම් මෑතක් වෙනකල්ම කරගෙන ගියේ ළමයින්ගෙන් එකතු කරපු සල්ලිවලින්. ඒත් පස්සේ ප්‍රේමසිරි කෝච්ගේ ගාස්තුව ගෙව්වා. ඉස්කෝලෙටත් හැම මාසෙම සල්ලි දුන්නා. ගාලු දිස්ත්‍රික්කයෙන්ම ඉස්කෝල දහයක් තෝරාගෙන ක්‍රිකට් කෝච්ගේ ගාස්තුව ගෙව්වා.

ප්‍රේමසිරි ක්‍රිකට් සිය ජීවිතයම කොට ගෙන ජීවත් වූවෙකු බවද ඔහුගේ සගයා කියන්නේය. ජීවිතයේ තැබූ සෑම පියවරකදීම ඔහු ජීවිතය උගෙන ඇත්තේ ක්‍රිකට්වලිනි.

ප්‍රේමසිරි නිතරම කියපු දෙයක් තමයි එයා ගත්ත උපාධිය ක්‍රිකට් කියන එක. සාමූහික හැඟීමෙන් වැඩ කරලා දිනන්න පුළුවන් කියන දේ ක්‍රිකට් නිසා දැනුණා කියලයි ප්‍රේමසිරි නිතරම කිව්වේ. තමන්ගේ සේවකයෝ ගැන විශ්වාසය තියමින් තමන්ගේ ව්‍යාපාර දියුණු කරගන්නත් එයා ඒ ක්‍රිකට්වල තියෙන සමූහික හැඟීම තමයි මුල් කර ගත්තේ. ඒ නිසා මොන වැඩ තිබුණත් ක්‍රිකට් තරගෙකට කතා කළොත් කොහොම හරි යන පුරුද්දක් ප්‍රේමසිරිට තිබුණා.

ධර්මාශෝකේ ආදී ක්‍රිකට් ක්‍රීඩක සංගමය හදාගෙන පාසල් ක්‍රිකට්වලට උදව් වෙන අතරේ ක්‍රිකට් තරගාවලිවලටත් සෙල්ලම් කළා. ඒ තරගවලදීත් තරුණ කා‍ලේ තිබුණු පිතිකරණ දක්ෂතාවයේ අඩුවක් නම් මම දැක්කේ නැහැ. පසුගිය වෙළෙඳ සේවා ක්‍රිකට් තරගාවලියේ අවුරුදු 45 න් ඉහළ තරඟයේ හොඳම පිතිකරුවා වුණා. මේ අවුරුද්දේ තියපු 1996 ලෝක කුසලාන සමරු තරගයේ ලෝක කුසලානය දිනපු කණ්ඩායම එක්ක තරග කරපු කණ්ඩායමේ ප්‍රේමසිරිත් හිටියා.

ප්‍රේමසිරිගේ අලුත්ම ක්‍රිකට් කතායි ඒ. කොතරම් රාජකාරිවලට බැඳී ජීවිතය ගත කළද ක්‍රිකට් කවදත් තිබි ඇත්තේ ප්‍රේමසිරිගේ සියලු රාජකාරිවලට ඉහළිනි.

ප්‍රේමසිරිගේ ආදරණීය බිරිඳ ලාල්ගේ කතාවටම තවත් දේ එකතු කරමින් හඬ අවදි කළේ ක්‍රිකට් ප්‍රේමසිරිට කොතරම් වටිනා දෙයක් වූයේ දැයි කියන්නටයි.

‍පොදු අරමුණක් වෙනුවෙන් වැඩ කරන්න ඉගෙන ගත්තේ ක්‍රිකට් නිසා කියලයි එයා නිතරම කිව්වේ. අපේ දෙවැනි පුතා ‍පොඩි කා‍ලේ බැඩ්මින්ටන්වලට හරි දක්ෂයි. ලංකාවේ පළමුවැනියා වුණා. ඒත් ප්‍රේමේ කිව්වේ බැඩ්මින්ටන් වගේ තනියම කරන ක්‍රීඩාවකින් සාමූහික හැඟීම ඇතිවෙන්නේ නැහැ. ඒ නිසා ක්‍රිකටුත් කරන්න කියලා. එයා කිව්වේ එයා ජීවිතේ හැමදේම ඉගෙන ගත්තේ ක්‍රිකට් නිසා කියලා.

එයාට තිබුණු එකම දුක අම්බලන්ගොඩ දරුවන්ට හරියට ක්‍රිකට් පුරුදු වෙන්න පිට්ටනියක් නොතිබුණු එක. එයා හිතුවේ අම්බලන්ගොඩින් තව දක්ෂ ක්‍රීඩකයෝ බිහි කරන්න ඕන කියලයි.

ඈ කියන්නේ තමන්ගේ දරු තිදෙනාට තාත්තා කෙනෙකුගේ වගකීම අකුරටම ඉටු කරද්දී ක්‍රිකට්වලට ආදරය කරන සියලු දරුවන් වෙනුවෙන්ද ඔහු සිය වගකීම ඉටු කළ බව නොවේද?

ප්‍රේමසිරි අවසන් හුස්ම හෙළනා තෙක්ම ඔහු ඉටු කර ගැනීමට සිතූ ක්‍රිකට් පිටියේ සිහිනය ගැන ලාල්ටද කියන්නට දෙයක් තිබුණේය.

අම්බලන්ගොඩට හොඳ මට්ටමේ ක්‍රිකට් පිට්ටනියක් දෙන්න කියලා ප්‍රේමසිරි ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් කීප වතාවක්ම ඉල්ලුවා. ඒත් ඒකට හොඳ ප්‍රතිචාරයක් හම්බ වුණේ නැහැ. අන්තිමේදී ප්‍රේමසිරි තීරණය කළා තමන්ගේ වියදමින් පිට්ටනියක් හදන්න. ඒකට මීටියාගොඩින් අක්කර 16 ක ඉඩමකුත් බැලුවා. නැති වෙච්ච දවසේ ඉඩමේ ඔප්පුව ලියනවා කියලයි මට කියලා තිබුණේ. අදටත් අපි දන්නේ නැහැ ප්‍රේමසිරිට ඒ වැඩේ කරගන්න පුළුවන් වුණාද කියලාවත්.
ක්‍රිකට් ජීවිතයම කරගත් ක්‍රිකට් ගැන නොනිමි සිහින දුටු හැලඹගේ ප්‍රේමසිරිට තවමත් අබිරහසක් වූ හේතුවක් නිසා සිය ජීවිතය අවසන් කරගන්නට සිදු වූයේය. ඔහුගේ නිහඬවීම දැනෙනු ඇත්තේ ඔහුගේ බිරිඳට, දරුවන්ට, නෑ මිතුරන්ට පමණක් නොවේ. අම්බලන්ගොඩ ක්‍රිකට්වලටද ඔහු නැති අඩුව දැනෙනු ඇත. වෙඩි පහරින් නිහඬ වූයේ කෝටිපති ව්‍යාපාරික ප්‍රේමසිරිම නොව පිත්තෙන් ක්‍රිකට් පිටිය වර්ණවත් කළ හැලඹගේ ප්‍රේමසිරි නම් ක්‍රිකට් දක්ෂයාද ඒ වෙඩි පහරින්ම නිහඬ වී ගොස්ය.



More News »