අම්බලන්ගොඩ භීෂණය වපුරවමින් කුලී මිනී මරුවෝ ඝාතන රැල්ලක

2016-08-22 11:01:00       634
feature-top
අම්බලන්ගොඩ තවත් ව්‍යාපාරිකයෙක්‌ ඝාතනය වෙයි

කලක්‌ කොළඹ පාතාලය සක්‍රීය තත්ත්වයට පත්ව තිබුණේය. මාලිගාවත්ත, බ්ලූමෙන්ඩල්, මෝදර ප්‍රදේශ කේන්ද්‍ර කරගෙන ගොඩනැඟී තිබූ කොළඹ පාතාලය මේ වන විට නිහඬ වී තිබෙයි.

කොළඹ පාතාලය යම් තාක්‌ දුරට නිහඬ වූයේ කොළඹ හොල්ලාගෙන සිටි දරුණු අපරාධකරුවන් වූ ප්‍රින්ස්‌ කොලම්, µdජි, අයුබ් ඛාන්, මාමස්‌මි, ආනමාළු, ඉමිටියාස්‌ ඇතුළු තවත් මැරයන් රැසක්‌ පොලිස්‌ වෙඩි ප්‍රහාරවලින් මරු වැළඳ ගැනීමත් සමඟය.

වර්තමානයේ කොළඹ පාතාලයේ අපරාධකරුවන් ලෙස නම් දරා සිටින දෙමටගොඩ චමින්ද, බ්ලූමෙන්ඩල් සංඛ, ආමි සම්පත් වැන්නවුන් මේ වන විට සිටින්නේ බන්ධනාගාරගතවය.

කොළඹ පාතාලය මෙසේ නිහඬ වුවද දකුණේ පාතාලය ඉතාම දරුණු අන්දමින් සක්‍රීය තත්ත්වයට පත් වෙමින් තිබෙයි.

අම්බලන්ගොඩ කොස්‌ගොඩ ඇල්පිටිය ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් බිහි වී ඇති පාතාල කල්ලි එකිනෙකා මරා ගැනීමට පටන් ගෙන ඇත. මුදල් කොන්ත්‍රාත් මත මිනිස්‌ ඝාතන සිදු කිරීම ද ශීඝ්‍ර ලෙස ඉහළ යමින් තිබෙයි. මේ පාතාල කල්ලි පෝෂණය වන්නේ දකුණේ ඇතැම් දේශපාලනඥයන්ගේ සහාය ලැබීමත්, උසස්‌ පොලිස්‌ නිලධාරීන්ගේ රැකවරණය ලැබීමත් හරහා ය.

වසරක්‌ වැනි කෙටි කාල සීමාවක්‌ තුළදී අම්බලන්ගොඩ හා ඒ අවට ප්‍රදේශවලදී පමණක්‌ සිදු වී ඇති පාතාල මිනිස්‌ ඝාතන හතකි. දකුණේ පාතාලය මෙසේ ගිනියම් වෙද්දී පසුගිය 14 වැනිදා අම්බලන්ගොඩ දී තවත් ව්‍යාපාරිකයකු ඝාතනය කළේය. මේ ඝාතනයෙන් අම්බලන්ගොඩ ජනතාව පමණක්‌ නොව මුළු දකුණු පළාතේම ජනතාව දැඩි භීතියට පත් වූහ.

අම්බලන්ගොඩ ප්‍රදේශයේ ප්‍රකට ව්‍යාපාරිකයකු වූ හැළඹගේ ප්‍රේමසිරි සිය නිවස අසලදීම පාතාල කණ්‌ඩායමක්‌ විසින් වෙඩි තබා ඝාතනය කරන්නේ පසුගිය 14 වැනිදා රාත්‍රි 8.30 ට පමණය.

ප්‍රහාරය එල්ල වන අවස්‌ථාවේ ජීප් රථයේ ගමන් කරමින් සිටි ප්‍රේමසිරිගේ 12 හැවිරිදි පුත්‍රයා දිවි ගලවා ගත්තේ අනූනවයෙන් ය. අමතර පංතියකට සහභාගි වූ සිය පුත්‍රයා රැගෙන නිවෙස බලා එමින් සිටියදී ප්‍රේමසිරි ඝාතනය වන්නේ ඉතාම සාහසික ආකාරයටය. අම්බලන්ගොඩ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වූ හැළඹගේ ප්‍රේමසිරි ගාල්ල ක්‍රිකට්‌ සංගමයේ සභාපතිවරයා ද වූයේය.

දකුණු පළාතේ සුප්‍රසිද්ධ භවානි පපඩම් කර්මාන්ත ශාලාවේ හිමිකරු වූ ප්‍රේමසිරි පපඩම් ටොන් ගණනින් නිෂ්පාදනය කර බෙදාහැරියේය.

අම්බලන්ගොඩ සුමනදාස මාළු වෙළෙඳසල, සුමනදාස µqඩ් සිටි, දොළොස්‌මහේ රෙදිපිළි වෙළෙඳසල ඇතුළු තවත් ව්‍යාපාරික ස්‌ථාන රැසක හිමිකරු වූ ප්‍රේමසිරි ව්‍යාපාරික ලෝකයේ දැවැන්ත ප්‍රතිරූපයක්‌ ගොඩනඟාගෙන සිටියේය.

ගාල්ල ක්‍රිකට්‌ සංගමයේ සභාපති ධුරය ප්‍රේමසිරිට ලැබෙන්නේ ද ඔහු කාලයක්‌ තිස්‌සේ අම්බලන්ගොඩ ප්‍රදේශය පුරා ගොඩනඟාගෙන තිබූ සිය ප්‍රතිරූපය නිසාම ය.

අම්බලන්ගොඩ හැදී වැඩුණු හැළඹගේ ප්‍රේමසිරි සහෝදර සහෝදරියන් හයදෙනකුගෙන් යුත් පවුලේ තුන්වැනියා විය. ඔහු කුඩා කල සිට අධ්‍යාපනය ලැබුවේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙන් ය. හැළඹගේ ප්‍රේමසිරි කුඩා කල සිට ක්‍රිකට්‌ ක්‍රීඩාවට දැක්‌වූයේ සහජ දක්‍ෂතාවකි.

1980 - 81 - 82 කාල සීමාවේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ පළමු පෙළ ක්‍රිකට්‌ කණ්‌ඩායමේ දක්‍ෂතම පිතිකරුවා වූයේ ප්‍රේමසිරිය. ප්‍රේමසිරිගේ දක්‍ෂතා හමුවේ ධර්මාශෝක විද්‍යාලය එකල ජයග්‍රහණ රැසක්‌ අත්කර ගත්තේය.

පාසල් දිවියෙන් සමුගත් හැළඹගේ ප්‍රේමසිරිට ශ්‍රී ලංකා ඒ කණ්‌ඩායම නියෝජනය කිරීමේ වාසනාව ද හිමිවුණේය. අම්බලන්ගොඩ සිංහ ක්‍රීඩා සමාජය ද පසුව කොළඹ බ්ලූම්µSල්ඩ් ක්‍රීඩා සමාජය ද නියෝජනය කළ හැළඹගේ ප්‍රේමසිරි අන්තර් සමාජ ක්‍රිකට්‌ තරග රැසකට සහභාගි වෙමින් සිය දක්‍ෂතාවන් පෙන්නුවේය. ක්‍රිකට්‌ ක්‍රීඩාව කෙරෙහි ප්‍රේමසිරිගේ සිතේ තිබූ ඇල්ම ඔහු ගාලු ක්‍රිකට්‌ සමාජයේ සභාපති ධුරයට පත් වීම තෙක්‌ රැගෙන යැමට සමත් වුණේය. ක්‍රිකට්‌ ක්‍රීඩාව කරන අතරතුරම ප්‍රේමසිරි ව්‍යාපාරික ලෝකයට ද සම්බන්ධ වන්නේය. ඒ මීට වසර විස්‌සකට පමණ උඩදීය.

88/89 භීෂණ සමයේ අම්බලන්ගොඩ නගරය අමු සොහොන් පිටියක්‌ බවට පත්ව තිබුණේය. දැවී ගිය මළ සිරුරු වලින් නගරය විසාලාවක්‌ බවට පත් වුණේය.

මේ කාල වකවානුවේ අම්බලන්ගොඩ නගරය කේන්ද්‍ර කර ගෙන එක්‌තරා සංවිධානාත්මක කණ්‌ඩායමක්‌ ක්‍රියාත්මක වෙමින් සිටියහ. භීෂණයට මුවා වී මොවුන් අම්බලන්ගොඩ නගරයේ රන් ආභරණ වෙළෙඳසල් මෙන්ම වටිනා භාණ්‌ඩ ඇති ආයතන රැසක්‌ කොල්ල කෑහ.

මේ කණ්‌ඩායමට එවකට අම්බලන්ගොඩ පොලිසියේ රාජකාරි කළ පොලිස්‌ පරීක්‍ෂකවරයකු ද සම්බන්ධ වී සිටියේය. රන් ආභරණ ඇතුළු වටිනා දේපළ කොල්ල කෑ මේ සංවිධානාත්මක කල්ලිය වැඩි කාලයක්‌ යන්නට පෙර මහා ධනවතුන් බවට පත් වුහ. 88/89 භීෂණ සමය නිම වෙද්දී ද මොවුන් අම්බලන්ගොඩ නගරයේ කෝටිපතියන් බවට පත්ව සිටියේය.

මේ අතර අම්බලන්ගොඩ නගරයේ ව්‍යාපාරිකයන් අතර කලක පටන් කුල ප්‍රශ්නයක්‌ ඇති වී තිබිණි. අළුයට සැඟවූ ගිනි පුළිඟු මෙන් මේ කුල ප්‍රශ්නය කලින් කල ඉස්‌මතු වන්නට පටන් ගත්තේය.

මේ කුල ප්‍රශ්නය කොයිතරම් දුරදිග ගියේ ද කියතොත් අම්බලන්ගොඩ ව්‍යාපාරිකයන් එකිනෙකා මරා ගන්නා තත්ත්වයට පත්ව තිබිණි.

එකල අම්බලන්ගොඩ නගරයේ වැඩි බලයක්‌ හිමි වී තිබුණේ සලාගම කුලයට අයත් ව්‍යාපාරිකයන්ටය. ලලිත් නමැති ව්‍යාපාරිකයා එකල අම්බලන්ගොඩ නගරයේ වෙළෙඳ ව්‍යාපාරිකයන් අතර ප්‍රධානියා ලෙස කටයුතු කළේය. කරා කුලයට අයත් ව්‍යාපාරිකයන් පිරිසක්‌ ද අම්බලන්ගොඩ නගරයේ සුළු පරිමාණයෙන් ව්‍යාපාර කරගෙන ගියහ. එහෙත් ඔවුන්ට ඉදිරියට ඒමට සලාගම කුලයට අයත් ව්‍යාපාරිකයන්ගෙන් ඉඩක්‌ ලැබුණේ නැත.

අම්බලන්ගොඩ නගරයේ බලය අල්ලා ගෙන සිටි සලාගම කුලයේ ව්‍යාපාරිකයන් සමඟÊසටන් කිරීමට ඉදිරිපත් ව සිටියේ යසරත්න, ධම්මික නමැති ව්‍යාපාරිකයන් දෙදෙනෙකි.

මේ දෙපාර්ශ්වය එකිනෙකා මරා ගැනීමට පටන් ගන්නේ අම්බලන්ගොඩ නගරයේ ව්‍යාපාරිකයන්ගේ ඒකාධිකාරිය තමන් වෙත ලබා ගැනීමේ අරමුණ ඇතිවය.

සලාගම ව්‍යාපාරිකයන් අතර ප්‍රධානියාව සිටි ලලිත් ලබාදුන් බව කියන කොන්ත්‍රාත්තුවක්‌ මත හැලඹගේ ධම්මි ඝාතනය වන්නේය. ඒ 2007 වර්ෂයේදී ය.

අම්බලන්ගොඩ දොළොස්‌මහ ව්‍යාපාරයේ හිමිකරු වූ ධම්මි ඝාතනය කරන්නේ දකුණේ පාතාලයේ නමගිය අපරාධකරුවකු වූ රත්ගම නදුන් ඇතුළු පාතාල සාමාජිකයන් විසින් ය. හැළඹගේ ධම්මි පසුගියදා ඝාතනයට ලක්‌ වූ හැළඹගේ ප්‍රේමසිරිගේ සොහොයුරාය. ධම්මි මරා දැමීම මුළු අම්බලන්ගොඩ නගරය හෙල්ලී ගිය සිදුවීමක්‌ බවට පත්වුණේය.

ලලිත් ඇතුළු ව්‍යාපාරිකයන් පිරිසක්‌ විසින් මුදල් කොන්ත්‍රාත්තුවක්‌ මත මෙම ඝාතනය සිදු කළ බවට රාවයක්‌ මුළු අම්බලන්ගොඩ නගරය පුරාම පැතිර යමින් තිබුණේය. පළිගැනීම් පටන් ගන්නේ එතැන් සිටය. වැඩි දවසක්‌ ගත වන්නට පෙර ලලිත් නමැති ව්‍යාපාරිකයා ද නාඳුනන සන්නද්ධ පිරිසක්‌ විසින් වෙඩිතබා ඝාතනය කළහ. ලලිත් ඝාතනය කළේ ද රත්ගම නඳුන් ඇතුළු පාතාල කල්ලිය විසින් බව හෙළිවන්නට වැඩි කාලයක්‌ ගත වුණේ නැත. මුදල් කොන්ත්‍රාත් මත අම්බලන්ගොඩ එකිනෙකා මරා ගන්නා ව්‍යාපාරිකයන් දෙපාර්ශ්වයේම සාමාජිකයන් ඝාතනය කරන්නේ නඳුන්ගේ පාතාල කල්ලිය විසින්ය.

හැළඹගේ යසරත්න ද හැළඹගේ ප්‍රේමසිරිගේ ඥති සොහොයුරෙකි. ඔවුන් ව්‍යාපාර කළේ එකටය. හැළඹගේ ප්‍රේමසිරි සිය මිතුරකු සමඟÊඑක්‌ වී 'බවානි' පපඩම් කර්මාන්ත ශාලාව ආරම්භ කළේ මීට වසර ගණනකට උඩදීය.

ප්‍රේමසිරිගේ මිතුරා බවානි පපඩම් කර්මාන්ත ශාලාව දියුණු කිරීමට කැප වුණේය. වැඩි කලක්‌ නොගොස්‌ 'බවානි' පපඩම් මුළුÊදකුණු පළාත පුරාම ජනප්‍රිය වන්නට වුණේය. මේ අතරතුර බවානි පපඩම් කර්මාන්ත ශාලාව දියුණු කිරීමට මූලිකත්වය ගෙන ක්‍රියා කළ ප්‍රේමසිරිගේ මිතුරා හදිසි අනතුරකින් මිය ගියේය. මෙම අනතුර සැකකටයුතු ආකාරයට සිදු වූ එකක්‌ බව මුළු අම්බලන්ගොඩ ජනතාවම දැන සිටිය ද එය පොලිස්‌ පොත්වල ලියවුණේ හදිසි අනතුරක්‌ ලෙස ය.

එතැන් සිට හැළඹගේ ප්‍රේමසිරි 'බවානි' පපඩම් කර්මාන්ත ශාලාව සියතට ගෙන එය දියුණු කිරීමට පටන් ගත්තේය. ප්‍රේමසිරිගේ ව්‍යාපාර දියුණු කිරීමට හැළඹගේ යසරත්න හැකි පමණින් උදව් උපකාර කළේය. බවානි පපඩම් කර්මාන්ත ශාලාවේ කොටස්‌කරුවකු වූ ව්‍යාපාරිකයාගේ මරණය පිළිබඳ රහසිගත තොරතුරු රැසක්‌ යසරත්න දැන සිටි බව අම්බලන්ගොඩ ජනතාව අතර ප්‍රසිද්ධ රහසක්‌ බවට පත්ව තිබිණි.

ඒ මරණයට වගකිවයුතු පුද්ගලයකුගෙන් යසරත්න දිගින් දිගටම මුදල් ලබා ගත් බවට ද රාවයක්‌ පැතිර ගොස්‌ තිබිණි. බොහෝ විට ඔහු ඒ මුදල් ලබා ගත්තේ තර්ජනය කිරීම්වලින් බවට ද තොරතුරු අනාවරණය වෙමින් තිබුණේය.

මේ අතරත.=ර හදිසියේම හැලඹගේ යසරත්න ඝාතනය වන්නේ ය. ඒ. 2011 වර්ෂයේදී ය. යසරත්න අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල ඉදිරිපිට පිහිටි අරලිය අවන්හල අසලදී වෙඩි තබා ඝාතනය කළ සන්නද්ධ පිරිසක්‌ දෙනෝදාහක්‌ දෙනා බලා සිටියදී පලා ගියහ.

යසරත්න ඝාතනය කර වැඩි දවසක්‌ ගත වන්නට පෙර විවිධ කටකතා අම්බලන්ගොඩ නගරය පුරා පැතිර යන්නට වුණේය. යසරත්න ඝාතනය කර ඇත්තේ මුදල් කොන්ත්‍රාත්තුවක්‌ මත බවත් එය සිදු කළේ කොස්‌ගම සුජී නමැති පාතාල අපරාධකරු ඇතුළු කල්ලිය විසින් බවත් අම්බලන්ගොඩ නගරය පුරා ප්‍රචාරය වන්නට පටන් ගත්තේය.

හැළඹගේ යසරත්නගේ සොහොයුරු වූයේ හැළඹගේ සරත් ය. අරලිය නමැති හෝටලයේ හිමිකරු වූ සරත් අම්බලන්ගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධව සිටියේ අරලිය සරත් ලෙසය.

සිය සොහොයුරු වූ යසරත්න ඝාතනයෙන් අරලිය සරත් දැඩි ලෙස කම්පනයට පත් වුණේය. අරලිය සරත් එක්‌සත් ජාතික පක්‍ෂයේ ප්‍රබල දේශපාලනඥයන් රැසක්‌ ඉතාම සමීපව ඇසුරු කළේය.

එහෙත් 2011 වර්ෂය වන විට බලයේ සිටියේ මහින්ද රාජපක්‍ෂ රජය නිසා අරලිය සරත්ට සිය සොහොයුරා වෙනුවෙන් සාධාරණයක්‌ කිරීමට ඉඩ ලැබුණේ නැත.

සිය සොහොයුරා මරා දැමුවේ කවුරුන්ද ඒ සඳහා කොන්ත්‍රාත්තුව ලබා දුන්නේ කවුරුන් විසින්ද යන්න පිළිබඳ සියලු තොරතුරු අරලිය සරත් දැන සිටියේය. එහෙත් යසරත්න ඝාතනයට කොන්ත්‍රාත්තුව ලබා දුන් පුද්ගලයා රාජපක්‍ෂ රජයේ ප්‍රබල දේශපාලනඥයන් රැසක්‌ම සමීපව ඇසුරු කළ නිසා තමන්ට සාධාරණයක්‌ ඉටුකර ගත හැකි නොවන බව අරලිය සරත් හොඳින් තේරුම් ගෙන සිටියේය.

තමන්ට අවස්‌ථාවක්‌ ලැබෙනතුරු නිහඬව සිටීමට වගබලා ගත්තේ කළ යුතු වෙනත් යමක්‌ නොවූ නිසා ය. මේ අතර යසරත්න ඝාතනයට සම්බන්ධ කොස්‌ගොඩ සුජී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගන්නේ කටුනායක ගුවන්තොටුපළේදී ය.

වැඩිදුර ප්‍රශ්න කිරිම සඳහා කොස්‌ගොඩ සුජී කොළඹට රැගෙන ආවේය. එහිදී යසරත්න ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ වැදගත් තොරතුරු රැසක්‌ කොස්‌ගොඩ සුජී හෙළි කළේය.

දකුණේ සිදු වූ පාතාල මිනිස්‌ ඝාතන මෙන්ම අපරාධ රැසක තොරතුරු හෙළි කරමින් සිටියදී කොස්‌ගොඩ සුජී මුදා හැරීමට පොලිසියට සිදුවුණේය. ඒ එවකට රජයේ ආරක්‍ෂාව භාරව සිටි එක්‌තරා ප්‍රබලම පුද්ගලයකුගේ නියෝගයකට අනුව බව කියෑවිණි.

කොස්‌ගොඩ සුජීගේ පාපොච්චාරණය අනුව යසරත්න ඝාතනය ගැන තමන් තුළ තිබූ සැකය තහවුරු කර ගැනීමට අරලිය සරත්ට හැකි විය.

රටේ දේශපාලන යුග පෙරළිය සිදුවන්නේ මේ අතරතුරදී ය. 2015 වර්ෂයේ ජනවාරියේ සිදු වූ ඒ මහා දේශපාලන පෙරළියත් සමඟම රටේ නීතිය නැවත ක්‍රියාත්මක වන්නට පටන් ගත්තේය.

දීර්ඝ කාලයක්‌ තිස්‌සේ නිහඬව සිටි අරලිය සරත් නැවත කරලියට ආවේ මේ දේශපාලන පෙරළියත් සමඟය.

බොහෝ සාමකාමී ජීවිතයක්‌ ගත කළ අරලිය සරත් අම්බලන්ගොඩ ප්‍රදේශයේ ව්‍යාපාර කීපයක හිමිකරුවා බවට පත්ව සිටියේය. තම සොහොයුරා වූ යසරත්න ඝාතනයේ සුලමුල හෙළි කරගෙන ඔහුට සාධාරණයක්‌ ඉටුකර දීමට කාලය එළඹ ඇතැයි අරලිය සරත් සිතුවේය.

ඔහු ඒ පිළිබඳව තම හිත මිතුරන්ට ද කියා සිටියේය. යසරත්න ඝාතනයට කොන්ත්‍රාත්තුව ලබා දුන් ව්‍යාපාරිකයාට ද මේ බව සැලව තිබුණේය. යසරත්න ඝාතනය පිළිබඳ පරීක්‍ෂණ ආරම්භ වුවහොත් මහා විනාශයක්‌ සිදුවන බව ඔහු හොඳින් දැන සිටියේය. ඊට පෙර යමක්‌ කළ යුතු බව සිතූ මේ ව්‍යාපාරිකයා අරලිය සරත් කරලියෙන් ඉවත් කිරිමට සැලසුම් කළේය.

මීට මාස කීපයකට උඩදී නාඳුනන සන්නද්ධ කණ්‌ඩායමක්‌ විසින් අරලිය සරත් ඝාතනය කළේ බළපිටිය හීනටිය මාර්ගයේ පැටිවත්ත ප්‍රදේශයේදීය. අරලිය සරත් යතුරු පැදියක යමින් සිටියදී ඔහු පසුපස පන්නා ගෙන ආ සන්නද්ධ පුද්ගලයන් දෙදෙනකු මහ දවල් ඔහුට වෙඩි තබා ඝාතනය කරන්නේ යසරත්න ඝාතනය ද සදාකාලිකවම වළ දමමින් ය.

අරලිය සරත් ඝාතනය කළේ ද කොස්‌ගොඩ සුජීගේ පාතාල කල්ලිය විසින් බවට හෙළි වී තිබුණ ද, ඊට සම්බන්ධ සැකකරුවන් කිසිවකු අත්අඩංගුවට ගෙන තිබුණේ නැත.

දම්වැලක පුරුක්‌ මෙන් මේ ඝාතන සියල්ල එක දිගට සිදුවෙද්දී අම්බලන්ගොඩ නගරයේ ව්‍යාපාරිකයන් මෙන්ම ජනතාව ද සිටියේ දැඩි භීතියෙන් ය.

හැළඹගේ ප්‍රේමසිරි සිය ව්‍යාපාර කටයුතු සාර්ථකව කරගෙන ගියේය. ව්‍යාපාර කටයුතු සඳහා ඔහුට කිසිවකුගෙන් බාධාවක්‌ එල්ල වී තිබුණේ නැත.

අම්බලන්ගොඩ ප්‍රදේශයේ පොදු කටයුතු සඳහා ඔහු අත දිගහැර මුදල් වියදම් කළේය. තම ආයතනවල සේවය කරන දිළිඳු සේවකයන්ට නිවාස ඉදිකර දුන්නේය. ඔවුන්ගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට ද උපකාර කළේය.

මේ අතර අරලිය සරත් හා හැළඹගේ යසරත්න ඝාතනයට ලෙයට ලෙයින් පළි ගැනීමට පිරිසක්‌ සැලසුම් කරමින් සිටියහ. මේ ඝාතන දෙක සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබූ ව්‍යාපාරිකයා ඝාතනය සඳහා ඔවුන් පාතාල ලෝකයේ එක්‌තරා කණ්‌ඩායමක්‌ වෙත කොන්ත්‍රාත්තුවක්‌ ද භාර දී තිබුණේය.

මේ පළිගැනීම ඒ ආකාරයට ක්‍රියාත්මක වෙද්දී හැළඹගේ ප්‍රේමසිරි ඝාතනය වන්නේ ය. මේ ඝාතනය කාලයක්‌ තිස්‌සේ පවතින පළිගැනීමේ සංස්‌කෘතියේ තවත් එක්‌ අවස්‌ථාවක්‌ බව මුළු අම්බලන්ගොඩටම නොරහසකි.

අම්බලන්ගොඩ නගරය කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වන ලෙයට ලෙයින් පළිගැනීම නිම වී නොමැත. හෙට දිනයේදීත් පළිගැනීම් නැවත නැවත සිදුවනු ඇත.

Wmqgd .ekSu ��ir weiqfrks

More News »