රෝගීන් විකුණන් කන ජාවාරමක සුලමුල

2016-08-10 11:19:00       587
feature-top
ශ්‍රීලංකා පොලිසිය හේතුවෙන් බැටකන පානදුරේ පදිංචි පියකු පිළිබඳවත් එසේම දරුණු හදවත් රෝගයකින් පෙළෙන ඔහුගේ දියණිය ගැනත් පසුගිය ඉරිදා රිවිර පුවත්පත ලිපියක් පළ කළේය. එම ලිපිය මගින් සැබැවින්ම අප බලාපොරොත්තු වූයේ පොලිසිය මගින් සිදුවන අසාධාරණය වෙනුවට සාධාරණයත් ඔහුගේ දියණියට මූල්‍ය ආධාරත්ය. එහෙත් කනගාටුවට කරුණ නම් පොලිසියෙන් සාධාරණයක් ඉටුවූයේ නැත. එම ලිපිය දැක හෝ පොලිස්පතිතුමා ක්‍රියාත්මක වේ යැයි අප සිතුවත් අද වනතෙක් සිදුවූ කෙංගෙඩියක් නැත.

එහෙත් පොලිසිය විසින් අපූරු දෙයක් එම පියාට කර ඇත. එනම් නැවතත් පානදුර කොට්ඨාසයෙන්ම පරීක්ෂණ ආරම්භ කිරීමය. කට කැඩෙන තෙක් එම පියා පොලිසියේ ලොකු අයගෙන් ඉල්ලා සිටියේ පානදුර කොට්ඨාසයට අදාළ පරීක්ෂණ භාර නොදෙන ලෙසය. එසේ තිබියදීත් පසුගියදා පානදුර සහකාර පොලිස් අධිකාරීවරයකු වෙත එම පියා කැඳවා තිබුණි. එහෙත් කරන්නට දෙයක් නැත. මේ ශ්‍රී ලංකා පොලිසියේ හැටිය.

එලෙස පොලිසියෙන් පියාට අසාධාරණයක් වුවත් හදවත් රෝගයෙන් පෙළෙන දියණියට යම්කිසි සාධාරණයක් ඉෂ්ට කිරීමට හදවත් ඇත්තෝ පසුගිය සතිය පුරාවටම ඉදිරිපත් වූහ. එය සැබවින්ම සතුට ගෙනදෙන කාරණයක් වූ අතර මේ හදවත් ඇත්තන් නිසා රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් මේ වනවිට එම දරුවා වෙනුවෙන් ලැබී ඇත. එහෙත් එම දියණියට ලක්ෂ පහක මුදලක් අවශ්‍යව ඇත. ඒ නිසා අප ඉල්ලා සිටින්නේ කෙසේ හෝ ඔබට හැකි අයුරින් මේ දියණියට ආධාර කරන ලෙසය.

ඒ අනුව එම ලිපියට අදාළව මේවන විට ලැබී තිබෙන ප්‍රගතිය මෙසේය. එය සතුටත් දුකත් වශයෙන් බෙදී යන අතර තවමත් එම පවුලම සිටින්නේ කියාගත නොහැකි මානසික කඩා වැටීමකය.

කෙසේ වෙතත් අප මෙවර කියන්නට යන්නේ මෙම සිද්ධියේම අතුරු කතාවකි. මෙය අතුරු කතාවක් වුවත් අප හෙළිකරන්නේ මෙය රටට ඉතා වැදගත් කාරණාවක් නිසාය. සැබවින්ම මෙය මහා පරිමාණ ජාවාරමක් නිසාය.
පසුගිය දිනෙක උදෑසනක ඉහත කී අසරණ පියාගෙන් ලියුම්කරුට දුරකථන ඇමතුමක් ලැබුණේය.

“සර් මට අද උදේ මිස් කෙනෙක් කතා කළා. එයා කිව්වා ළමයට ආධාර දෙන්නම් කියලා. හැබැයි එයා කිව්වා හැම එකකම ඔර්ජිනල් රිපෝට් දෙන්න කියලා. මාසෙට එකයි විස්සක් (120,000) දෙන්නම් කිව්වා. දෙන්නද සර්?”
එම අවස්ථාවේ ඔහු සිටියේ සැබෑම සතුටෙන්ය. ඔහුගේ සතුටට බාධා නොකළ ලියුම්කරු එම කාන්තාවගෙන් ඇසිය යුතු ප්‍රශ්නයක් පිළිබඳ ඔහුට දැනුම් දුන්නේය.

“ඔයා අහන්න කොහොමද සල්ලි දෙන්නේ කියලා.”

ඒ අනුව ඔහු දුරකථනය විසන්ධි කළ අතර නැවතත් ඊට විනාඩි දහයකට පසු ලියුම්කරුට ඇමතුමක් ලබාගත්තේය.
“සර් ඒ අය කිව්වා එයාලා වාහනයක් දාලා ටවුන් එකෙන් ටවුන් එකට යනවලු. ඒ සල්ලි එකතු කරලා තමයිලු මාසයට සල්ලි දෙන්නේ” යැයි එම පියා කීවේය.

ඔහු කියූ අයුරින් ලියුම්කරුට එම සල්ලි එකතු කිරීමේ ක්‍රමවේදය පිළිබඳ යම් ආකාරයක ගැටලුවක් ඇති විය. ඒ නිසා එම පියාගෙන් ලියුම්කරු අදාළ කාන්තාවගේ දුරකථන අංකය ලබාගත්තේය.

“මම එයාට කතා කරන්නම්. ඔයා කියන්න මම මල්ලී කියලා. ඕනෑ රිපෝට් මල්ලි ගාව තියෙන්නේ කියලත් කියන්න. ඒවා එයාගෙන් ඉල්ල ගන්න කියලා කියන්න.”

ඒ අනුව මෙම ගනුදෙනුවෙන් එම පියා ඉවත් කළ අතර ලියුම්කරු එම පියාගේ බාල සහෝදරයා ලෙස පෙනී සිටිමින් ඇමතුමක් ලබා ගත්තේය.

ලියුම්කරු:- “හලෝ..”
කාන්තාව:- “ඔව්.. කියන්න”

ලියුම්කරු:- මිස් අර පානදුරේ එක්කෙනාගේ මල්ලි කතා කරන්නේ..
කාන්තාව:- කවුද පානදුරේ..? පොඞ්ඩක් කියන්නකෝ..

ලියුම්කරු:- අර මිස් ප්‍රදීප්. අර බබාගේ පපුවේ ඔපරේෂන් එකක් කරන්න ඉන්නේ.
කාන්තාව:- ආ ඔව්.. ඔව්.. ඉතිං වැඬේට කැමැතිද?

ලියුම්කරු :- ඒක තමයි මිස් අයියා කිව්වා පොඞ්ඩක් මිස් එක්ක වැඬේ කතා කරගන්න කියලා. . .
කාන්තාව:- හා. හා. මට පොඞ්ඩක් කියන්න ඔයා කවුද කියල

ලියුම්කරු:- මම එයාගේ මල්ලි මිස්. .
කාන්තාව:- ඇයි ඔයා කතා කරන්නේ. . ?

ලියුම්කරු:- අයියා කිව්වේ..
කාන්තාව:- ඔව් කියන්නකෝ.

ලියුම්කරු:- දැන් කොහොමද මිස් වෙන්නේ වැඬේ?
කාන්තාව:- මෙහෙමයි. අපිට ඔර්ජිනල් ඩොකියුමන්ට් ඕනේ. අපි අපේ කට්ටිය ටවුන්වලට දාලා සල්ලි එකතු කරනවා.
මේක වාසියක් බලාගෙන නෙමෙයි කරන්නේ. මේක පින්කමක් හැටියට කරන්නේ. අපි හොරු නෙමෙයි. අපි අවංක හිතින් මේ දරුවා වෙනුවෙන් කරන්නේ. අපි ඒ වගේ ගොඩක් අයට සල්ලි හොයලා දීලා තියෙනවා. ගොඩක් අය හොඳ කරලත් තියෙනවා. දැනුත් ඉන්නේ එහෙම වැඩක.

මහා කුසල් රැස් කිරීම සඳහා දේපළ පවා දන් දුන්නන් පිළිබඳ අපි ඉතිහාසයේ මෙන්ම වර්තමානයේද අසා ඇත්තෙමු. එහෙත් මෙවැනි දෙයක් ඇසුවේ පළමු වතාවටය.

ලියුම්කරු:- එතකොට ඔය වාහනවලට තෙල් ගහන්න එපැයි. මිස්ලා කන්නේ?
කාන්තාව:- මම කිව්වනේ මේක පින්කමක් කියලා. බොරු කියන්න ඕනේ නෑනේ අපේ කට්ටියට දවල්ට කෑම පාර්සල් ගන්නවා. එතැනින් එහාට සතපහක් වංචා කරන්නේ නෑ. මාසයට අපි එකයි විස්සක් ඔයාලට දෙනවා. ඔයාලා නවත්තන්න කියනකල් අපි එකතු කරනවා.

ලියුම්කරු:- හරි එහෙනම් මිස් මම අයියට දැනුම් දීලා කතා කරන්නම්කෝ.
කාන්තාව:- ඔයාලා කියන්නකෝ . අපිට එකයි විස්සක් දෙන්න පුළුවන්..

ඒ අනුව එම කතාව එලෙස නිමවිය. ලියුම්කරු නැවතත් පියාට ඇමතුමක් ලබාදුන්නේය. ඔහුට එම කාන්තාවත් ලියුම්කරුත් අතර සිදුවූ කතාව කීවේය. ඔහුටද එලෙස හැසිරෙන ලෙස දැනුම් දුන්නේය.

එදින දහවල් නැවතත් පියා ලියුම්කරුට ඇමතුමක් ලබා දුන්නේය.
“සර් අර ගෑනු කෙනා මට කතා කළා. හොඳටම බැන්නා සර් මට..”

“ඒ ඇයි..”

“මට කිව්වා ඔයා තාත්තනේ ඔයා එක එක්කෙනාට කතා කරන්න දෙන්න එපා ඔයා තීරණයක් ගන්න කියලා. ඊට පස්සේ මම එයාට කිව්වා මට එහෙම කරන්න බෑ කියලා මල්ලිගෙන් අහන්න ඕන කියලා. ඒත් එක්කම තරහා ගිහින් ෆෝන් එක තිබ්බා සර්..”

එම සිද්ධියත් සමග ලියුම්කරුට තේරුම් ගියේ නැවතත් ඇය කතා නොකරන බවය. ඒ නිසා ඒ පිළිබඳ අදහස අත්හල ලියුම්කරු දුරකථනය විසන්ධි කළේ නැවත එම කාන්තාව කතා කළොත් දැනුම් දෙන ලෙස ඉල්ලමිනි.

විනාඩි විස්සක් ගතවූයේ නැත. කාන්තාව ලියුම්කරුට ඇමතුමක් ලබාදුන්නේය. එහෙත් ලියුම්කරු එය විසන්ධි කළ අතර එලෙස විසන්ධි කොට පියාට ඇමතුමක් දුන්නේය .

“අර ගෑනු කෙනා ඔයාට කතා කළාද?‘”
“නෑ සර්” පියා කීවේය.

ලියුම්කරු ඇමතුම විසන්ධි කොට කාන්තාවට ඇමතුමක් ලබාදුන්නේය.
ලියුම්කරු:- මිස් කතා කළේ?

කාන්තාව:- දැන් මොකද ඔයාලා කරන්න ඉන්නේ?
ලියුම්කරු:- මේ අයියා කැමැති නෑනේ මිස්.

කාන්තාව:- ඔයාලගේ අයියට පිස්සු අනේ. ළමයව හොඳ කරගන්න වුවමනාවක් නෑනේ එයාට. එයාගේ තියෙන විස්තරත් එක්ක ඉක්මනට සල්ලි හොයා ගන්න පුළුවන්. කීයක්ද ඔයාලට ඕනේ?

ලියුම්කරු:- ලක්ෂ පහක් විතර.
කාන්තාව:- ඇතිද? අයියෝ සුළු ගාණක් නේ. ඔයාට යමක්කමක් තේරෙන නිසයි කියන්නේ ඔය ඩොකියුමන්ට් ටික අරගෙන දෙන්න මට. මම සල්ලි හොයලා දෙන්නම් දරුවට.

ලියුම්කරු:- මම අයියට කතා කරන්නම් මිස්.
මේ අයුරින් එම කතාබහ නතර විය. එදින කිහිපවතාවක් ලියුම්කරුට ඇමතුම් ලබාදී පත්‍රිකා ටික ඉල්ලුවාය. දින කිහිපයක් කතා කළත් බලන්නම් කියා එයින් ඔහු ගැලවුණේය.

දිනය පසුගිය 18 වැනිදාය. එදින එම කාන්තාව ඇමතුමක් ලබාදුන්නාය.
කාන්තාව:- කොහොමද අනේ ඔයාලගේ වැඬේ?

ලියුම්කරු:- අයියා කැමැති නෑනේ මිස්.
කාන්තාව:- මොකද එයා අකැමැති.

ලියුම්කරු:- මේ පත්තරේ මහත්වරු වගයක් දෙන්න එපා කියලනේ ඕකුන් හොරු කියලා.
කාන්තාව:- පත්තරේ කට්ටිය කීයක් දුන්නද?

ලියුම්කරු:- තවම කීයක්වත් දුන්නේ නෑ.
කාන්තාව:- ඒකනේ. බොරුනේ ඔය යක්කුන්ගේ. ඔයාලට අපරාදේ මේ චාන්ස් එක. අපි එකයි විස්සක් දෙනවනේ. අයියට කියන්නකෝ. හෙට පෝයනේ අපි ගෙදරට එන්නම්.

ලියුම්කරු:- මට පොඩි වෙලාවක් දෙන්නකො මිස්.

ලියුම්කරු දුරකථනය විසන්ධි කළේය. ඒ වනවිටත් එම කාන්තාව එන පොට හොඳ නැති බව ලියුම්කරුට වැටහිණි. මේ පිළිබඳ පියාට දැනුම් දුන් අතර ඔහු කීවේ ඇයව පොලිසියට අල්ලාදෙන ලෙසය. එහෙත් පොලිසිය නමැති වචනය මේ සිද්ධියත් සමග තිත්ත වී තිබුණි. එහෙත් තවමත් එම පියා පිහිට හොයන්නේ පොලිසියෙන් යැයි සිතුණ විට ලියුම්කරුගේ සිතට වේදනාවක් දැනිණි.

මේ අතර තුර කාන්තාව කිහිපවතාවක් ඇමතුම් ලබාගෙන තිබුණේය.
අවසානයේ ලියුම්කරු ඇමතුමක් ලබාගත්තේ ගනුදෙනුව නිම කිරීමේ අරමුණෙනි.

ලියුම්කරු:- මිස් අයිය නම් කැමැත්තක් නෑ.
කාන්තාව:- නෑ නෑ ඔයා තව පාරක් ට්‍රයි කරන්නකෝ කියා ඈ විසන්ධි කළාය.

මේ අතර තුර එම කාන්තාව පියාටද ඇමතුමක් ලබාදී ඇති අතර එහිදී ඔහු පවසා ඇත්තේ ලිපි සියල්ල සහෝදරයා සන්තකයේ ඇති බවත් එහෙත් ඈට නොදෙන බවත්ය. එවිට ඈ බැණවැදී ඇමතුම විසන්ධි කොට ඇත. මේ පිළිබඳව පියා ලියුම්කරුටද දැනුම් දුන් අතර සැබැවින්ම අදාළ කාන්තාව නැවත ඇමතුම් නොදෙනු ඇතැයි සිතුවේය.
වැඩි වෙලාවක් ගතවූයේ නැත. කාන්තාව නැවතත් ලියුම්කරුට ඇමතුමක් ගත්තාය.

කාන්තාව:- අයියා කොළ ටික ඔයාගෙන් ඉල්ල ගන්න කිව්වා.
ලියුම්කරු:- මගෙන්? අයියා කැමැති නෑනේ.

කාන්තාව:- අයියා කැමැති නෑ. ඔයාගෙන් අහලා කරගන්න කිව්වා.
ලියුම්කරු:- හරි දැන් කොහොමද මේක වෙන්නේ?

කාන්තාව:- ඔයාලා අපිට ඔර්ජිනල් ඩොකියුමන්ට් ටික දෙන්න. ඒ වගේම පොලිස් රිපෝට් එකකුත් දෙන්න. ඊට පස්සේ අපි අපේ කට්ටිය දාලා එකතු කරනවා. හැබැයි බොරු කියන්න ඕනේ නෑ නේ ඔය හම්බෙන සල්ලිවලින් අපි පොඩි ගාණක් ගන්නවා.

ලියුම්කරු:- ඒ මොකටද? අපිට සල්ලි අඩුවෙන්ද දෙන්නේ?
කාන්තාව:- නෑ නෑ. අපි ඔයාලට සල්ලි දෙනවා. අපි ගාණක් ගන්නේ අපේ වැඩකරන කට්ටියට පඩි දෙන්න. නිකන් වැඩකරන්න බෑනේ. ඔයාට තේරෙනවා නේ. මම හිතනවා ඔයා අයියට වඩා සමාජය ගැන දැනුමක් තියෙනවා කියලා.
එම කාන්තාව ලියුම්කරුගේ ගුණ වයන්න පටන් ගත්තාය. නියත වශයෙන් ඈ එන්නේ වෙනත් ගනුදෙනුවක් සඳහා බව ලියුම්කරුට වැටහිණි. ආරම්භයේදී කුසල් රැස් කර ගැනීම සඳහා වැඩකරන බව කී ඇය මේ වන විට මහා පින්කම රැකියාවක් බවට පත් කරගෙන ඇති බව ලියුම්කරුට වැටහිණි.

“එතකොට අයියට විතරද එකයි විස්ස දෙන්නේ?” යැයි ලියුම්කරු කාන්තාවගෙන් ඇසීය.
ඒත් සමග ඇගේ කටහඬ පවා වෙනස් විය. ඈ සම්පූර්ණයෙන් නම්‍යශීලි වී මා මෙහි ඇත්ත ගනුදෙනුව කතා කිරීමට පටන් ගත්තාය.

කාන්තාව:- දැන් කාගේ එකවුන්ට් එකටද සල්ලි දාන්නේ?
ලියුම්කරු:- අයියගේ එකට.

කාන්තාව:- හරි එහෙනම් ඔයාගේ එකවුන්ට් නොම්බරෙත් දෙන්න.
ලියුම්කරු:- තේරුණා නේද ඔයාට.

කාන්තාව:- හරි හරි අපිට තේරෙනවානේ. මේ අයියට අපි දෙමු ලක්ෂයක්. ඉතුරු විස්ස ඔයාට දාන්නම්.
ලියුම්කරු:- අයියට ඔයා පොරොන්දු වෙලා තියෙනවනේ එකයි විස්සක් දෙනවා කියලා. එතකොට වැඬේ අවුල් වෙයිද?
කාන්තාව:- හරි අපි ඒ වෙලාවට කියමු මෙච්චරයි හම්බවුණේ කියලා.

ලියුම්කරු:- දැන් ඔයාලා ඔහොම යනකොට පොලිසියෙන් ඇල්ලුවොත් අපිටත් එන්න වෙයිද?
කාන්තාව:- ඒකනේ පොලිස් රිපෝට් එකක් ගන්නේ. ඔර්ජිනල් ඩොකියුමන්ට් ගන්නෙත් ඒකයි. හදිසියේ මොකක් හරි අවුලක් වුණොත් ඔයාට මම කෝල් එකක් දෙන්නම්. ඔයාට තියෙන්නේ අයියවයි බබාවයි පානදුරේ පොලිසියට ගිහින් පෙන්නන්න. එතැන අයට කියන්න ඔයාලගේ අක්කා සල්ලි එකතු කරන්න ගියාම පොලිසියෙන් අල්ලලා කියලා. ඊට පස්සේ එයාලා මැසේජ් එක දෙනවා අපි ඉන්න පොලිසියට. එතකොට බේරෙන්න පුළුවන්.

“මේ අනික අනිවාර්යයෙන් මට ළමයගේ ෆොටෝ එකක් ඕන. මොකද ඒක ලොකු කරලා අපේ වාහනවල ගහනවා.”
ඒ වන විටත් මේ ජාවාරමේ සැබෑ තත්ත්වය ලියුම්කරුට වැටහී තිබුණේය. රෝගාබාධ සහිත දරුවන් විකුණා ජීවත්වීම මොවුන්ගේ රැකියාව වී ඇති බව මනාව තහවුරු විය.

“ඔයාලා කොච්චර කාලයක් සල්ලි එකතු කරනවද?” කාන්තාව ඇසුවාය.
“මාස හයක් විතර”

“අපෝ මාස හයද? අවුරුද්දක් වුණත් පුළුවන් හරිද?” ඈ කීවාය. එසේ කියමින් ඈ ගනුදෙනුව නිමා කළාය.
“දැන් හරිනේ. ඉතුරු ටික ඔයාගේ අතේ. අයියා කැමැති වුණොත් වැඬේ හරි.” කියමින් මා හට හොඳ ලන්සුවක් තබා දුරකථනය විසන්ධි කළාය.

එසේ  ඇමතුම විසන්ධි කළ ඈ දරුවාගේ පියාටද ඇමතුමක් ලබාදී පවසා ඇත්තේ සහෝදරයා පින්කමට කැමැති වූ බවය. එහෙත් ඔහු විරෝධය පා ඇති අතර අවශ්‍යම නම් මේ ගැන කතා කිරීමට රිවිර කාර්යාලයට පැමිණෙන ලෙස දන්වා ඇත. එහෙත් එයින් කෝපාවිෂ්ට වූ ඈ බැණවැදී පවසා ඇත්තේ “තමුසේ අපිව පත්තරේ උන්ට අල්ලලා දීලා ෆොටෝ ගහන්නද යන්නේ. යනවා ඕයි යන්න” කියාය.

කෙසේ වෙතත් එතැන් පසු එම පියාටත් ලියුම්කරුටත් ඇමතුමක් ඇගෙන් ලැබුණේ නැත. එහෙත් ඇයවන් බොහෝ තක්කඩි, දරුවා විකිණීමට ලංසු තැබුවේය. එහෙත් පියාගේ විරෝධතාවය නිසා ඔවුහු යන්න ගියහ.

මෙවැනි වංචාකාරයින් ඉන්නේ අතළොස්සකි. මේ අතළොස්ස නිසා සැබෑ අසරණයන්ටද සමාජයෙන් සරණක් නැත. ඒ නිසා අපට කියන්නට ඇත්තේ එක දෙයකි. මෙම ලිපිය නිසා හෙට සිට වංචාකාරයින් පසු බහින්නේ නැත. මේ ජාවාරම අත් හරින්නේද නැත. එහෙත් අපට කීමට ඇත්තේ මෙවැනි හොරුන් අප අතර සැරිසරන බවය.

Wmqgd .ekSu nqoqirK mqj;a m; weiqfrks

More News »