රටම කැලඹූ හන්තානේ විද්‍යා පීඨ සිසුවියන්ට සිදු වූ හිංසනය

2016-08-09 11:39:00       661
feature-top
අංකල්... සර්ගෙන් කරදරයි අනේ අපිව බේරගන්න

“දැනට මාසයකට විතර උඩදී අපේ ඇකඩමි එකේ ඉගෙන ගනිමින් හිටපු මටත් මගේ මිතුරියකටත් තදබල අසනීප තත්ත්වයක් ඇති වුණා. අපේ නේවාසිකාගාරයේ පාලිකාව අපිට කිව්වා චන්දිමාල් සර් එක්ක ගිහින් බෙහෙත් ටිකක් අරගෙන එන්න කියලා. අපි ගියේ සර්ගේ කාර් එකේ. මුලින්ම සර් අපෙන් ඇහුවා ඔයාලා බොන්න කැමැති මොනවද කියලා. අපි මොනවත් කිව්වේ නෑ. ඒත් සර් අපිට ෆේස්ට්‍රි වගයකුයි කිරි තේයි අරන් දුන්නා.

ඊට පස්සේ ඩිස්පැන්සරියකට එක්කගෙන ගිහින් බෙහෙත් අරන් දුන්නා. අන්තිමට සර් අපිව මහනුවර නගරයේ සුප්‍රසිද්ධ රෙදිපිළි වෙළෙද සලකට එක්කගෙන ගියා. ඔයාලා අඳින්න කැමැති මොනවද කියා සර් අපෙන් ඇහුවා. එහෙම කියලා සර් අප එක්කගෙන ගියේ කාන්තා යට ඇඳුම් තියෙන තැනට. අඩුම ගානේ මේවා වත් ගන්න කියලා සර් අපිට කිව්වා. ඊට පස්සේ සර් අපිට යට ඇඳුම් කීපයක් බලෙන්ම වගේ අරන් දුන්නා. ඒත් එක්කම සර් මගේ මිතුරියගේ කරට අත දැම්මා.”

මේ පාපොච්චාරණය මහනුවර පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ පොලිස් පොතේ සටහන් වුයේ අගෝස්තු පළමුවෙනිදා හිමිදිරි උදෑසනය.

පැමිණිල්ල සිදු කරනු ලැබුයේ මහනුවරට නුදුරුව පිහිටි අංක 19 , තපෝදාරාම පාර , හන්තාන යන ලිපිනයේ පවත්වාගෙන ගිය මානව නායකත්ව පුහුණු විද්‍යා පීඨය නම් වු නේවාසික අධ්‍යාපන ආයතනයක ඉගෙනුම ලැබු වයස අවුරුදු 16 සහ 17 පසු වූ සිසුවියන් දෙදෙනකු විසිනි. එම සිසුවියන් දෙදෙනා විසින් මෙලෙස පැමිණිලි කරනු ලැබුයේ තමන් ඉගෙනුම ලබන නේවාසික අධ්‍යාපන ආයතනයේ හිමිකරුට එරෙහිවය. ඔහු නමින් චන්දිමාල් ගමගේය. හෙතෙම ප්‍රදේශයේ පෙනී සිටියේ මනෝ විද්‍යා උපදේශකවරයකු ලෙස සහ අචාර්ය උපාධිධාරියකු ලෙසය. ඔහු මේ වන විට මහනුවර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 11 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කොට සිටී.

හන්තාන මානව හා නිපුණතා සංවර්ධන පීඨයේ විශේෂත්වය වන්නේ එය නේවාසික අධ්‍යාපන ආයතනයක් ලෙස පවත්වාගෙන යෑමය. එම අධ්‍යාපන ආයතනය සඳහා සිසු සිසුවියන් බඳවා ගනු ලැබ ඇත්තේ පසුගිය අප්‍රේල් මස අගදී සහ මැයි මස මුලදී පුවත්පත් දැන්වීම් පළකිරීමෙනි.

ඔහුගේ අධ්‍යාපන ආයතනයේදී අපොස සාමාන්‍ය පෙළ අසමත් සිසු සිසුවියන්ගේ පෞරුෂ වර්ධනය කර පුණරීක්ෂණ පන්ති පවත්වා අ.පො.ස සා.පෙළ විභාගයට සුදානම් කරවීම සිදුවෙන බව කියැවේ. මේ නේවාසික අධ්‍යාපන ආයතනයේ සුවිශේෂතාව වන්නේ නේවාසික අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ට කිසිවෙකුටත් ජංගම දුරකථන භාවිතා කිරීමට අවස්ථාව නොදීමය. එමෙන්ම සිසු සිසුවියන්ට තම දෙමවුපියන් හමු විය හැක්කේද මසකට වතාවක් පමණි. එම හමුවීම සිදු වන්නේ ද නේවාසිකාගාර පාලිකාව ඉදිරිපිටදීය. මේ හේතුව නිසා සිසුවියන්ට අධ්‍යාපන ආයතනයේදී ගෙවුණු මාසයක කාලයකදී කිසියම් අකටයුත්තක් සිදු වුවද එය දෙමවුපියන්ට කීමට තරම් අවස්ථාවක් ලැබී නැත.

එහි නේවාසිකව අධ්‍යාපනය ලබමින් සිටි සිසුවියන් ගණන 18 කි. ඔවුනට පසුගිය මැයි මාසයේ සිට අධ්‍යාපන ආයතනයේ හිමිකරුවා වූ චන්දිමාල් සහ ඔහුගේ මිතුරන් අතින් විවිධ ලිංගික හිංසන සිදු වී ඇත. එහෙත් තවමත් හිරිමල් යොවුන් වියේ පසුවූ මේ යුවතියන් මේ බවක් තම දෙමවුපියන්ට කීමට ගියේ නැත. ඒ ලජ්ජාව සහ නොදැනුවත්කම නිසා විය යුතුය. ඔවුන්ගේ එකම අරමුණ වූයේ මේ වසරේ දෙසැම්බර් මස පැවැත්වෙන අපොස සාමාන්‍ය පෙළ කඩ ඉම කෙසේ හෝ ජය ගන්නටය. ඒ වෙනුවෙන් මේ සිසුවියෝ දිවා රෑ නොබලා පාඩම් කරමින් අධ්‍යන කටයුතු කළහ. ඔවුනට අවැසි වුයේ තම දෙමවුපියන්ගේ බලාපොරොත්තු මල් පල ගන්වන්නටය. එහෙත් දිනෙන් දින කාලය ගත වෙද්දී අධ්‍යාපන අයාතනයේ හිමිකරුගේ සහ ඔහුගේ මිතුරන්ගේ විවිධ ලිංගික අඩන්තේට්ටම්වලට ලක් වීම සිසුවියන්ට ඉවසා දරා ගත නොහැකි වීය.

සිසුවියන්ගේ නේවාසිකාගාරය පිහිටියේ තෙමහල් ගොඩනැගිල්ලක පහළ මාලයේය. මේ ගොඩනැගිල්ල පිහිටි භූමිය තරමක් විශාල එකකි. ඒ වටා විශාල තාප්පයක් බැද තිබේ. මේ නිසා සිසුවියන් කිසිවෙකුටත් නේවාසිකාගාරයේ පාලිකාවගේ අවසරයෙන් තොරව ඉන් පිටතට යෑමට නොහැකිය. නේවාසිකාගාරය පාලනය කරනු ලබන්නේ පාලිකාවන් දෙදෙනෙකු විසිනි. එදින සිටියේ එක් පාලිකාවකි. ඇය මේ නේවාසික අධ්‍යාපන ආයතනයේ පාලිකාවක් මෙන්ම සිසුවියන්ට ගණිතය විෂය ඉගැන්වීම් සිදු කරන ගුරුවරිය ද වෙයි. ඇය අධ්‍යාපන ආයතනයේ හිමිකරුගේ සමීප හිතවතියකි.

දිනය පසුගිය ජුලි 31 වැනිදාය. එදින සිසුවියෝ පිරිස සුපුරුදු පරිදි අධ්‍යාපන කටයුතු නිමා කොට සිය නේවාසිකාගාරයට පැමිණියහ. කෙමෙන් කෙමෙන් රාත්‍රිය උදා වෙමින් තිබිණි. එහෙත් එදින සිසුවියන් පිරිසට වෙනදා මෙන් නොව මොකක්දෝ අමුත්තක් දැනෙන්නට පටන් ගෙන තිබිණි. රාත්‍රී නවයේ කනිසම පසු වෙද්දී නේවාසිකාගාරයේ පාලිකාව එහි මුළුතැන්ගෙට ගොස් මස් බදින්නට පටන් ගත්තාය. මස් බදින සුවඳ නේවාසිකාගාරය පුරා පැතිරී ගියේය. සිසුවියන් තුන් හතර දෙනෙකු හැර අන් සියල්ලෝම තද නින්දේය. මේ අතරතුර නේවාසිකාගාරයේ හිමිකරු වන චන්දිමාල් තම අතිශය හිතවත් කෝටිපති ව්‍යාපාරිකයකු සහ තවත් සගයන් කීප දෙනෙකු සමග නේවාසිකාගාරය පිහිටි භූමියේ ඇති ගෙමිදුලේ මත්පැන් සාදයක් ආරම්භ කරන්නේ රාත්‍රී දහයට පමණය. මත් පැන් සාදය මැදියම් රැය තෙක් ඇදී යද්දී හොඳ හැටි මත්පැන් තොල ගාන චන්දිමාල් ඇතුළු පිරිස තමන් සිටින්නේ කොතැනදැයි යන්න පවා අමතක වන තරමට වෙරි වී හමාරය. විවිධාකාරයේ උසුළු විසුළු නිසාත් මහා ඝෝෂාවක් මැදියම් රැයේ ඇසෙන නිසාත් වරින්වර අවදී වු සිසුවියන් එතෙක් තද නින්දේ පසුවු තම මිතුරියන්ද අවදි කරන්නට පටන් ගන්නේ මේ අතරතුරය.

එතැන් සිට කථාව අපි මේ අධ්‍යාපන ආයතනයේ ඉගෙනුම ලැබූ නම සඳහන් කිරීමට අකමැති වූ සිසුවියකගෙන් අසමු.

“එදා රෑ නවය දහය වෙනකොට අපේ මිතුරියන් අතරින් ගොඩක් අයට හොඳටම නින්ද ගියා. ඒත් අපි කීප දෙනෙක් පාඩම් කරමින් හිටියේ. රෑ දහයට විතර තමයි අපිට මිදුල පැත්තෙන් කටහඩවල් ඇහෙන්න පටන් ගත්තේ ඒ නිසා අපි හොරෙන් ජනෙල්වලින් බැලුවා. එතකොට තමයි අපි දැක්කේ චන්දිමාල් සර් එක්ක අපි දන්න මහනුවර අංකල් කෙනෙකුත් තවත් කීප දෙනෙකුත් එක්ක අපේ නේවාසිකාගාරයේ මිදුලේ තිබෙන බෙන්ච් එකක අරක්කු බෝතල් තියාගෙන බොනවා . එතකොට රෑ දොළහට දොළහහමාරට විතර ඇති. එත් එක්කම අපි ජනේලය ළඟ තියෙන ලයිට් කීපයක් දැම්මා. අපේ ගණිතය උගන්වන මැඩම් සර්ලාට මොනවද අරගෙන අපේ ජනෙල් ළඟින් යනකොට එයා අපව දැක්කා. ආ ළමයි තාම නිදි නැද්ද කියලා මැඩම් අපෙන් ඇහුවා. අපි නෑ කිව්වා. ඒත් එක්කම අපි හොඳටම බය වුණා. ඊට පස්සේ තමයි අපි අපේ යාළුවෝ ඔක්කොටම ඇහැරවලා ගත්තේ.”

“අපි දන්නවා චන්දිමාල් සර්ගේ හැටි. ඒ නිසා අපිට එදා ලොකු බයක් ඇති වුණා. ඊට පස්සේ අපේ යාළුවෝ අතර හිටපු කීප දෙනෙක් බයටම වගේ කියන්න පටන් ගත්තා සර් අපිව හෝටල්වලට ගෙනිච්චා. අපේ ඇඳුම් ගැලෙව්වා. අපිට අරහෙම කළා මෙහෙම දේවල් කළා කියලා. මේ වගේ කථා අපේ යාළුවන් අතර හිටපු සමහරු කියන්න පටන් ගත්තා. මේ කථා අහනකොට අපි හැමෝටම හිතුණේ අපි මහා කරදරයක වැටෙන්න නේද යන්නේ කියලා. අපි දැන් මොනවහරි කරමු කියලා අපි කතා වුණා. ඊට පස්සේ අපි නේවාසිකාගාරයේ ලයිට් දාලා මහා හයියෙන් හිනා වෙන්න, සින්දු කියන්න, කෑගහන්න පටන් ගත්තා. ඊට පස්සේ ටික වෙලාවකින් චන්දිමාල් සර් සහ එයාත් එක්ක හිටපු අය මිදුලේ හිටපු බෙන්ච් එකේ ඉන්නවා අපි දැක්කේ නෑ.”

“ ඒත් අපිට හිතේ තිබුණු බය නැති වුණේ නෑ. ඒ නිසා අපේ යාළුවෝ කීප දෙනෙක් නේවාසිකාගාරයේ කුස්සියට ගිහින් මිරිස්කුඩු අරගත්තා. තවත් අය කවකටු පෙට්ටිවල තිබුණු කවකටු අරගත්තා. සමහරු කොසු වගේම දර පොලු අතට ගත්තා. අපි කතා වෙලා හිටියේ කවුරුහරි අපේ හොස්ටල් එකට අතුළු වුණොත් අපිට කරන්න පුළුවන් හැම දෙයක්ම කරලා අපි බේරෙනවා කියලා.”

“එතකොට ඔයාලාගේ නේවාසිකාගාරයේ මැඩම් කොහෙද හිටියේ.”මම මේ දැරියකගෙන් ඇසුවෙමි.

“මැඩම් එයාගේ කාමරයට යන්න ඇති. අපිට මැඩම් ගැන කිසිම විශ්වාසයක් නෑ. ඒ නිසා අපි එයා ගැන හෙව්වේ නෑ. ඒත් එක්කම අපේ යාළුවෝ කීප දෙනෙක් කිව්වා අපේ සද්දේ ඇහිලාද කොහේද තමයි සර්ලා ගියේ. ගියා කිව්වට ෂුවර් කරන්න බෑ එයාලා මේ වත්තේ ඉන්නවාද දන්නෑ. අපිට නින්ද ගියාම මොනවහරි කළොත් ඒ නිසා ඇහැරිලා පාන්දර වෙනකම් ඉමු කියලා. ඊට පස්සේ පාන්දර දෙක විතර වෙනකොට අපේ හොස්ටල් එකේ වත්ත ඇතුළේ ටෝච් එළි ගහනවා අපි දැක්කා. විවිධ අය හොස්ටල් එක වටේ යනවා වගේ අඩි සද්ද ඇහුණා. හෙමින් යමන්- හෙමින් යමන්- කියලා කියනවා ඇහුණා. ඒ වෙනකොට අපි හැමෝම හොඳටම බය වෙලා හිටියේ. ඒ නිසා අපේ යාළුවෝ කීප දෙනෙක් කිව්වා අපි කොහොමහරි එළියට පැනලා ළඟ ගෙදරකට ගිහින් කථා කරලා උදව් ඉල්ලමු කියලා. ඒකට හිත හයිය අපේ යාළුවෝ හතර දෙනෙක් ඉදිරිපත් වුණා. දෙන්නා බැගින් ඒ හතර දෙනා හෙමිහිට එළියට පැන ගත්තා.”

එතැන් පටන් මේ සිසුවියන් එළියට පැන උදව් ඉල්ලා ගත්තේ කාගෙන්ද යන්න සඳහන් කිරීමට අප කැමැති නැත. ඒ මේ සියලු සිදුවීම් දෙස කාලයක් තිස්සේ අවධානයෙන් සිටි පුද්ගලයකු මේ දරුවන් හට උදව් උපකාර කර ඇති නිසාය. මේ දරුවන්ට අලුයම 3.30 පමණ වෙන විට සිය නිවෙස් වෙත කථා කිරීමට සිය ජංගම දුරකථනය ලබා දී සියලු දරුවන්ගේ දෙමවුපියන් නේවාසිකාගාරය අසලට පැමිණෙන තෙක් දරුවන් දෙස අවධානයෙන් සිට ඇත්තේ මේ උතුම් මිනිසාය. ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් ඔහු ගැන අපි සඳහන් නොකරමු.

ඉන් පසු කථාව අපිට කීවේ නම සඳහන් කිරීමට අකමැති වූ නේවාසිකාගාරයේ සිටි සිසුවියකගේ පියෙකි..

“මට පාන්දර 3.45 විතර කෝල් එකක් ආවා. මම අඳුරන්නේ නැති නම්බර් එකක් වුණත් ආන්සර් කළා. අනිත් පැත්තෙක් ඇහුණේ දැරියකගේ කට හඬක්. අංකල් අපිට කරදරයක්. අනේ අපිව බේරා ගන්න. අපි දැන් ඉන්නේ මේහේ කියලා ඉන්න තැන අපිට කිව්වා.”

“ඒත් එක්කම ඒ ජංගම දුරකථනය අයිති මහත්මයා මට කතා කළා. බය වෙන්න එපා මේ දරුවෝ හතර දෙනෙක් මෙතැන ඉන්නවා. මේ අයගේ ආරක්ෂාව ගැන බය වෙන්න එපා. හැබැයි ඔබතුමා දැන්ම පොලීසියට කථා කරලා හොස්ටල් එකේ ඉන්න ළමයි එළියට ගන්න කටයුතු කරන්න කියලා කිව්වා.”

ඒ වෙන විට නේවාසිකාගාරයෙන් පිටතට පැමිණි දැරියන් සිවු දෙනා තම මිතුරියන් සියලු දෙනාගේ නිවෙස්වල දුරකථන අංක රැගෙන විත් තිබු නිසා මේ පණිවිඩය සියලු සිසුවියන්ගේ නිවෙස් වෙත අලුයම 4.00 පමණ වෙන විට ලබා දීමට ඔවුන් සමත් වී තිබිණි. ඒ සමගම අලුයම 5.30 පමණ වෙන විට නේවාසිකාගාරයේ සිටි සියලු සිසුවියන්ගේ දෙමවුපියන් නේවාසිකාගාරය අසලට පැමිණ සිටියහ. එහෙත් ඔවුන්ට නේවාසිකාගාරය ඇතුළට යෑමට එහි ගේට්ටු විවෘත වූයේ නැත. මේ නිසා දෙමවු‍පියන් නේවාසිකාගාරයේ ගේට්ටුවලට ගසමින් ගේට්ටු විවෘත කරන ලෙස ඉල්ලා සිටියද නේවාසිකාගාරයේ පාලිකාව ගේට්ටු විවෘත කළේ නැත. ඒ සමගම එහි සිටි එක් සිසුවියකගේ සොහොයුරකු තාප්පයෙන් පැන නේවාසිකාගාරයේ ගේට්ටු විවෘත කිරීමට යෑම නිසා ඒ වෙන විට පැමිණ සිටි නේවාසිකාගාරයේ පාලිකාවන් තිදෙනෙකු විසින් ඔහුට හොඳ හැටි කොසු පහරවල් එල්ල කර තිබිණි.

මේ නේවාසිකාගාරයේ සිටි තවත් සිසුවියකගේ නීතීඥවරයකු වන පියෙකුගේ හඬය. .

“අපි හැමෝම පොලිසියේ 119 අංකයට කථා කරලා මේ සිද්ධිය කිව්වත් පොලීසියෙන් උදේ 7.00 වෙනතුරුත් ආවේ නෑ. අන්තිමට මං නීතීඥවරයෙක් ඔයාලා මොනවද කරන්නේ කියලා ටිකක් තදින් කතා කරාට පස්සේ තමයි පොලීසියෙන් ආවේ. ඊට පස්සේ පොලීසිය ඇවිත් නේවාසිකාගාරයේ ගේට්ටු විවෘත කරන ලෙස පාලිකාවට දන්වා සිටියා. පොලීසියත් එක්කම අපි නේවාසිකාගාරයට අතුළු වුණාට පස්සේ තමයි අපේ ඇඟට ලේ ටිකක් ඉනුවේ.”

ඉන් පසුව මහනුවර පොලීසියේ කාන්තා කාර්යාංශයේ කාන්තා නිලධාරිනියන් පිරිසක් සමග පොලිස් බස් රථයක් එහි පැමිණ සියලුම සිසුවියන්, දෙමවුපියන් සහ නේවාසිකාගාරයේ පාලිකාවන් තිදෙනා මහනුවර පොලීසිය වෙත කැඳවා ගෙන එනු ලැබ තිබිණි. මහනුවර පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරිනියන් විසින් සටහන් කර ගනු ලැ‍බූ සිසුවියන්ගේ ප්‍රකාශවලින් අනාවරණය වී ඇත්තේ මෙම අධ්‍යාපන ආයතනයේ හිමිකරු සහ ඔහුගේ සමීපතම කෝටිපති ව්‍යාපාරික මිතුරකු විසින් මේ දැරියන් විවිධ උපක්‍රම යොදා ගෙන හෝටල් සහ ලැගුම්හල් වෙත වරින්වර කැඳවා ගෙන ගොස් සිදු කර ඇති විවිධ ලිංගික හිංසනයන් ගැනය.

එමෙන්ම මේ අධ්‍යාපන ආයතනයේ හිමිකරු සහ ඔහුගේ ව්‍යාපාරික මිතුරා විවිධ අවස්ථාවල නේවාසිකාගාර භූමියේදී සහ ඉන් පිටතදී සිසුවියන් සිප වැලද ගැනීම , සිසුවියන්ගේ ශරීරයේ විවිධ ස්ථාන ස්පර්ශ කිරීම සහ සිසුවියන්ට විවාහ යෝජනා ඉදිරිපත් කිරීම ද කර ඇති බව සිසුවියන්ගේ ප්‍රකාශවලින් අනාවරණය වී තිබේ. චන්දිමාල් නමැත්තා වයස අවුරදු 36 ක පමණ පුද්ගලයකු වූවත් ඔහු සිසුවියන්ට පවසා ඇත්තේ තමා අවිවාහක වයස අවුරුදු 25 ක තරුණයකු බවය. මේ සම්බන්ධයෙන්පොලිස් පරීක්ෂණ සිදු කෙරුණේ මහනුවර පොලීසියේ මුලස්ථාන පොලිස් පරීක්ෂක නිමල් දෙහිගම මහතාගේ පුර්ණ අධීක්ෂණය යටතේය. මහනුවර පොලීසියේ කාන්තා කාර්යාංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ජානකී මහත්මියගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක අයේෂා බණ්ඩාර මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණ සිදු කරමින් සිටී.

ප්‍රධාන සැකකරු වන චන්දිමාල් ගමගේ පසුගිය 4 වැනිදා මහනුවර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 11 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කොට තිබිණි. එමෙන්ම මහනුවර පොලීසියේ කාන්තා කාර්යාංශයේ පොලිස් පරීක්ෂක අයේෂා බණ්ඩාර මහනුවර අධිකරණයෙන් ඉල්ලා සිටියේ සැකකරු මානසික වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කර වාර්තාවක් ලබා ගැනීමට අවශ්‍යව ඇති බවය. එමෙන්ම චන්දිමාල් සමඟ එක්ව සිසුවියන්ට විවිධ ලිංගික අඩත්තේට්ටම් කළ බව කියන ඔහුගේ ව්‍යාපාරික මිතුරකු වන නිමල් පිරීස් නමැත්තා පසුගිය 2 වැනිදා මහනුවර අධිකරණයට අපේක්ෂිත ඇප අයදුමක් ඉදිරිපත් කොට තිබිණි. එම ඇප අයදුම්පත ලබන 09 වැනිදා සලකා බැලීමට නියමිතය.

මේ අතරතුර පසුගිය 03 වැනිදා විවිධ ලිංගික හිංසනයන්ට ලක් වු බවට ප්‍රකාශ ලබා දුන් සිසුවියන් 9 දෙනා අතරින් සිසුවියන් 6 දෙනකු මහනුවර අධිකරණ වෛද්‍ය නිලාධාරියා වෙත ඉදිරිපත් කරනු ලැබ තිබිණි. එම වෛද්‍ය පරීක්ෂණයට සිසුවියන් 9 දෙනා අතරින් තිදෙනෙකු ඉදිරිපත් වීමට අකමැත්ත පළ කොට ඇත. වෛද්‍ය පරීක්ෂණයට ලක් වු කිසිදු සිසුවියක් බාහිර ලිංගික හිංසනයන්ට ලක් වීම් හැර දුෂණයට ලක් වී නොමැති බවට අධිකරණ වෛද්‍ය නිලධාරීයා විසින් මහනුවර අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කොට තිබෙන බවද වාර්තා වෙයි.

අප මේ සම්බන්ධව මහනුවර පොලීසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිමල් දෙහිගම මහතාගෙන් විමසා සිටි අතර ඔහුද තහවුරු කළේ අධිකරණ වෛද්‍ය පරීක්ෂණය අනුව කිසිදු සිසුවියක දුෂණයට ලක් වී නොමැති බව තමාටද වාර්තා වී ඇති බවය. . එහෙත් සිසුවියන්ගේ ප්‍රකාශ අනුව විවිධ ලිංගික හිංසනයන් සිදුව ඇති නිසා ඒ සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කෙරෙන බවද හෙතෙම පැවසීය. එහෙත් මෙම සිදු වීම ඇතැම් මාධ්‍ය මගින් අණාවරණය කර තිබු ආකාරය ගැන මේ සිසුවියන්ගේ දෙමවුපියන් සිටින්නේ නොසතුටිනි. ඊට හේතු වී ඇත්තේ සිසුවියන් 18 දෙනාම අපයෝජනයට ලක් වී ඇති බවට ඇතැම් මාධ්‍ය මගින් පළවි තිබීමය.

මේ සම්බන්ධව නම සදහන් කිරීමට අකමැති සිසුවියකගේ මවක් අපට කීවේ මෙවැනි කතාවකි.

“මේ සිදු වීම මාධ්‍ය මගින් අණාවරණය වුණ එක හොඳයි. ඒත් මේ දරුවන් කිසිවෙකුත් දුෂණයට ලක් වෙලා නැහැ කියන එක දැන් එළි වෙලා තිබෙනවා. දෙවියන්ගේ පිහිටෙන් ඒ දේ සිදු නොවීම ගැන අපි සතුටු වෙනවා. ඒත් විවිධ ලිංගික හිංසනයන් මේ ළමයින්ට වෙලා තිබෙනවා. නමුත් අධිකරණ වෛද්‍ය වාර්තාව එන්නත් පෙර මේ සිසුවියන් 18 දෙනාම දුෂණය වෙලා කියන කතාව තමයි පත්තරවල පළ වෙලා තිබුණේ. ඒක වරැදියි. මොකද මේ ළමයි සමාජයට ආයෙත් යන්න ඕනේ. මේ ළමයි අනාගතයේදී කසාද බඳින්න ඕනේ. ඒ නිසා කරුණාකරලා මේ කථාව හරියට පළ කරන්න. අපි රැවටුණා තමයි. අපේ මානසිකත්වය බිංදුවටම වැටිලා තියෙන්නේ. අපි හැමෝම ලොකු කම්පනයකට පත් වෙලා ඉන්නේ. ඒත් අපි කොහොම හරි මේ ළමයින්ව දැන් මේ අවුරුද්දේ දෙසැම්බර් තිබෙන සාමාන්‍ය පෙළ විභාගයට සුදානම් කරන්න ඕනේ. ඔවුන් විභාගයෙන් සමත් කරවන්න ඕනේ. ඒ වගේම අපේ දරුවන්ට සිදු කරපු ඇතැම් අකටයුතුකම්වලට චුදිතයන්ට නීතියෙන් දඩුවම් ලැබෙන්ඩම ඕනෑමයි” යනුවෙන් ඇය දැඩි කම්පනයෙන් යුතුව අප සමග කියා සිටියාය.

සිසුවියන්ගේ පාර්ශවය වෙනුවෙන් අධිකරණ කටයුතුවලට සහාය වන නීතීඥ තිලක බණ්ඩාර මහතාගෙන්ද අපි කරුණු විමසීමු.

“සිසුවියන්ගේ ප්‍රකාශ අනුව විවිධ ලිංගික හිංසනයන්ට මේ දරුවන් මුහුණ දී තිබෙන බව අණාවරණය වෙලා තිබෙනවා. මෙහි ප්‍රධාන සැකකරු මේ අධ්‍යාපන ආයතනයේ හිමිකරු වන චන්දිමාල් ගමගේයි. ඒ වගේම ඔහුගේ ව්‍යාපාරික මිතුරකු වන මහනුවර පේරාදෙනිය පාර කටුකැලේ පදිංචි ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුටත් චෝදනා එල්ල වෙලා තිබෙනවා. චන්දිමාල් පසුගිය පොසොන් දිනයේ සිසුවියක් එක්තරා ලැගුම්හලකට ගෙන ගොස් තිබෙන්නේ සොකරි නාට්‍ය බලන්න යමු කියලා. එදින එම ලැගුම් හලේදී සිසුවිය සිප වැළද ගෙන යම් ලිංගික හිංසනයක් සිදු කොට තිබෙන බව සිසුවියගේ ප්‍රකාශයකින් අණාවරණය වෙලා තිබෙනවා. ඒ වගේම චන්දිමාල් ගමගේ නමැත්තාගේ ව්‍යාපාරික මිතුරා පොසොන් දිනයේ තවත් සිදුවියක් එක්තරා ලැගුම්හලකට ගෙන ගොස් තිබෙනවා. එම සිසුවිය සිප වැළඳගෙන යම් යම් හිංසනයන් කර තිබෙන බවට කරුණු වාර්තා වෙලා තිබෙනවා. මේ සියලුම ලැගුම්හල් මහනුවර පොලීසියේ පොලිස් කණ්ඩායම් සමග ගොස් සිසුවියන් විසින් හඳුනා ගෙන තිබෙනවා. එමෙන්ම චෝදනා එල්ලවන ව්‍යාපාරිකයාගේ මහනුවර කටුකැලේ තිබෙන කාර්යාලයට සිසුවියන් දෙදෙනකු ගෙන ගොස් සිප වැළඳ ගෙන තිබෙන බව වාර්තා වෙලා තිබෙනවා. එම් ස්ථානත් සිසුවියන් විසින් පොලීසිය සමග ගොස් හඳුනා ගෙන තිබෙනවා. පසුගිය 31 වෙනිදා සිදුවු සිදුවීමත් සමග තමයි මේ සියල්ල අණාවරණය වුණේ. කෙසේ වෙතත් ළමයි තමන්ට සිදුවු ලිංගික හිංසනයන් මෙතෙක් සඟවා ගෙන සිටීම කනගාටුදායක තත්ත්වයක්.” යැයි නීතීඥ තිලක බණ්ඩාර මහතා පැවසීය.

මේ සමස්ථ සිදුවීම දෙස අවධානය යොමු කළහොත් අප කවුරුත් අවබෝධ කර ගත යුතු වන්නේ දෙමවුපියන් සිය දරුවන් මෙවැනි නේවාසික අධ්‍යාපන කඳවුරු වෙත ඇතුළත් කිරීමේදී මීට වඩා සැලකිලිමත් විය යුතු බවය. එමෙන්ම රජයද මෙවැනි අධ්‍යාපන ආයතන යම් නියාමනයකට ලක් කිරීමට අවධානය යොමු කළ යුතුය. මන්ද යත් දරුවන්ගේ විවධ කුසලතා නැංවීම සදහා වෙන මෙවැනි නේවාසික අධ්‍යාපන පීඨ නොහොත් අධ්‍යාපන කඳවුරු මුවාවෙන් විවිධ ජාවාරම් සිදු විය හැකි නිසාය. දෙමවුපියන් සැලකිලිමත් නොවුණහොත් වැනසෙන්නේ අපේ අනාගත දරු පරපුරය. මේ සිදුවීමේ ප්‍රධාන සැකකරු චන්දිමාල් ගමගේ සිය පුවත්පත් දැන්වීම් මගින් සහ දරුවන්ගේ දෙමවුපියන් සඳහා වූ ආරම්භක සම්මන්ත්‍රණයේදී දෙමවුපියන්ට මවා තිබුණේ අපූරු චිත්‍රයකි. එහිදී විවිධ විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු යැයි කියා ගන්නා උදවියගේ සහ මධ්‍යම පළාතේ විවිධ දේශපාලඥයන්ගේ රුව සහ හඬ සහිත වීඩියෝ පට උපයෝගී කර ගනිමින් පෙන්වා ඇත්තේ අපොස සාමාන්‍ය පෙළ අසමත් වු සිසුන් ගොඩ දාන්නට පුළුවන් ලොව එකම ජගතා ආචාර්ය චන්දිමාල් ගමගේ බවය. එම නිසා මේ සිදුවීමේන් දෙමවුපියන් ඉගෙන ගත යුතු පාඩම් බොහෝ බව කිව යුතුය.


Wmqgd .ekSu oskusK mqj;a m; weiqfrks

More News »