බුර්හාන් වානිගේ ඝාතනයෙන් කාශ්මීරය ගිනිගනී

2016-07-20 10:34:00       582
feature-top
ඉන්දු කාශ්මීරය ගිනිගනිමින් පවතී. කාශ්මීර මුස්‌ලිම් වැසියෝ ඇඳිරි නීතියද නොතකා පෙළපාලි යමින් පොලිසියට හා හමුදාවට ගල්මුල් ප්‍රහාර එල්ල කරති. එසේම පොලිස්‌ මුරපළවල් පමණක්‌ නොව හමුදා මුරපළවල් කිහිපයක්‌ ද ගිනිතබා වනසා ඇත. භාරතීය ජනතා පක්‍ෂයට හිතවත් කාශ්මීර දේශපාලනඥයන් කිහිපදෙනකුගේ නිවාස අළුකරන තරමට මෙම ප්‍රචණ්‌ඩත්වය සැහැසි වී තිබේ. මේ සටහන ලියන අඟහරුවාදා දිනය වන විට කාශ්මීරයේ ගැටුම් නිසා මියගිය පිරිස 31 දක්‌වා ඉහළ ගොස්‌ තිබිණි.

කාශ්මීර මුස්‌ලිම් වැසියන් මෙලෙස ප්‍රචණ්‌ඩත්වයට පෙළඹීමට හේතු වූයේ හිස්‌බුල් මුජහිඩීන් සංවිධානයේ හමුදා නායක බුර්හාන් මුෂාෆර් වානි ඉන්දීය ආරක්‍ෂක අංශ ප්‍රහාරයක්‌ මගින් මරණයට පත්වීමයි. පසුගිය 8 වැනිදා බුර්හාන් මරණයට පත් වූ අතර එදින සිට ඉන්දු කාශ්මීරයේ ඇඳිරිනීතිය පනවා ඇත.

විසිහැවිරිදි වියේ පසුවූ බුර්හාන් සමාජ ජාල වෙබ් අඩවි හරහා කාශ්මීර තරුණයන්ට ඉන්දීය හමුදාව සමඟ සටන් වැදීමට ආරාධනා කළ ප්‍රමුඛ චරිතයකි. මොහුගේ අවසන් කටයුතු සඳහා දහස්‌ සංඛ්‍යාත පිරිසක්‌ සහභාගි වීම මගින්ම මේ කැරලි නායකයාගේ ජනප්‍රියතාව හොඳින්ම අවබෝධ විය. කාශ්මීරය උණුසුම්වෙද්දී පාකිස්‌තානය හා ඉන්දියාව අතර ද රාජතාන්ත්‍රිකව උණුසුම් තත්ත්වයක්‌ උදාවී ඇත. බුර්හාන් වානිගේ මරණය සම්බන්ධව පාකිස්‌තාන අගමැතිවරයාත් එරට විදේශ කටයුතු අමාත්‍යාංශයෙත් නිකුත් කළ නිවේදන හේතුවෙන් දිල්ලි ආණ්‌ඩුව බලවත් කෝපයට පත්ව තිබේ. ඉන්දීය හමුදා කාශ්මීර වැසියන්ට එරෙහිව සිදුකරන ප්‍රහාර නිසා ඔවුනගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට ඔවුනගේ ස්‌වංය තීරණ අයිතිය ලබාගැනීම වෙනුවෙන් කටයුතු කිරීමට කාශ්මීර වැසියන්ට අයිතියක්‌ ඇති බවත් පාකිස්‌තාන විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි. බුර්හාන් වානි කාශ්මීර නිදහස්‌ සටන්කාමියෙක්‌ ලෙස පාකිස්‌තාන අගමැති නවාෂ් ශරීෆ් විසින් හැඳින්වීම දිල්ලි විදේශ අමාත්‍යංශය තවත් කෝපකරවන්නක්‌ විය. මේ නිසාම දිල්ලි ආණ්‌ඩුව නිවේදනය කර සිටියේ පාකිස්‌තාන රජය කාශ්මීරයේ දේශපාලනයට අත නොදැමිය යුතු බවයි. එහෙත් බුර්හාන් වානි සමරමින් මුම්බායි ප්‍රහාරයේ ප්‍රධාන මොළකරු ලෙස සැලකෙන හෆීස්‌ සයිඩ් ද පාකිස්‌තානයේදී විශේෂ සමරු උත්සවයක්‌ පවත්වන ලදී. මේ අතර පාකිස්‌තාන විදේශ ලේකම් අසීස්‌ චෞද්රි එරට ඉන්දීය තානාපතිවරයා කැඳවා කාශ්මීරයේ වැසියන්ට එල්ල කරන ප්‍රහාර සම්බන්ධව සිය විරෝධය පළ කර තිබේ.

කාශ්මීරය සම්බන්ධව පකිස්‌තානය සිදුකරන ප්‍රචාර පිළිබඳව නිවේදනයක්‌ නිකුත් කරන ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක විකාශ් ස්‌වරප් පාකිස්‌තානය ඉන්දියාවේ අභ්‍යන්තර කටයුතුවලට අත දැමීම හරහා ඔවුන් හා ත්‍රස්‌තවාදී කණ්‌ඩායම් අතර පවතින බැඳියාව හෙළිදරව් වන බවයි.

කාශ්මීර වැසියන් හා ආරක්‍ෂක අංශ සාමාජිකයන් අතර ඇතිව තිබෙන ගැටුම්වලින් පොලිස්‌ නිලධාරියකු ද මරණයට පත්ව තිබේ. ඉකුත් ඉරිදා පැවැති විරෝධතාවක්‌ මැඬපැවැත්වීමට ගිය පොලිස්‌ නිලධාරීන් පිරිසක්‌ ගමන්ගත් ජීප් රථයක්‌ උද්ඝෝෂකයන් විසින් ජෙලුම් ගඟට තල්ලු කිරීම නිසා අෂ්රොෆ් අහමඩ් නමැති පොලිස්‌ නිලධාරියා මරණයට පත් විය.

සුන්දර කාශ්මීර මිටියාවත මේ ගැටුම් නිසා අසුන්දර වී ඇති අතර මේ ගැටුම් නිසා තුවාල ලැබූ පිරිස 1300 ද ඉක්‌මවයි.

කෙන්යාවේ සංචාරයකින් අනතුරුව දිල්ලියට පැමිණි අගමැති නරේන්ද්‍ර මෝදි වහාම කාශ්මීරයේ ගැටුම් පිළිබඳ විශේෂ සාකච්ඡාවක්‌ කැඳවීය. එම සාකච්ඡාවෙන් පසුව විශේෂ නිවේදනයක්‌ නිකුත් කළ අගමැතිවරයා සන්සුන්ව ක්‍රියාකරන ලෙස කාශ්මීර වැසියන්ගෙන් ඉල්ලා සිටි බව ඉන්දීය පුවත්පත් වාර්තා කර තිබිණි.

මේ අතර ඉන්දීය බුද්ධි අංශ වාර්තා කර තිබුණේ බුර්හාන් වානිගේ ඝාතනයෙන් පසු ඇතිව තිබෙන උණුසුම් තත්ත්වය හමුවේ ලක්‌ෂාර් ඊ ටොයිබා ත්‍රස්‌තවාදීන් ඉන්දීය දේශසීමාවට ඇතුළුවීමේ අවදානම වැඩිවී ඇති බවයි. කාශ්මීර අර්බුදය භාරතීය ජනතා පක්‍ෂ ආණ්‌ඩුවට අලුත් හිසරදයක්‌ නිර්මාණය කර ඇති බව නම් සහතිකය.

Wmqgd .ekSu jhsk mqj;a m; weiqfrks

More News »