මල්කිගේ මරණයෙන් ගමක්ම හැඬවේ
නූල් පොටෙන් ඝාතකයා අල්ලයි

2016-06-28 11:00:00       582
feature-top
මල්කි සඳමාලි නමැති නව හැවිරිදි දැරියගේ දෙඅත් හා දෙපා ගැට ගසා ඇයට ලිංගික අපයෝජනයක් සිදු කොට ඉන් පසු පාසල් කෑම පෙට්ටියේ වූ ලේන්සුව ගෙන ඇගේ මුව බැඳ ඇය ඝාතනය කළ නරුමයෙකු පසුගිය දා පොලිස් අත්අඩංගුවට පත් විය.

රිදිමාලියද්ද කුඩාලුණුක කනිෂ්ඨ විද්‍යාලයේ හතරවැනි වසරේ ඉගෙනුම ලැබු ඇය මොරාන යලේවල මහියංගණ ලිපිනයේ පදිංචිව සිටියේ දෙමවුපියන් යන ඇගේ වැඩිමහල් සොහොයුරිය සමඟින්ය. උදේශිකා මල්කාන්ති ඇය දහතුන් හැවිරිදිය.

කුඩා මල්කි ඉස්කෝලේ ගියේ අක්කා සමඟින්ය. නිවෙසේ සිට කිලෝමීටර තුනක් පමණ දුරින් කුඩාලුණුක කනිෂ්ඨය පිහිටා ඇත. සමහරදාට ඇය පාසල් යන්නේ අක්කා පදින පාපැදියෙන්ය. නැතහොත් පාරේ බසයෙන්ය. මල්කිගේ පන්ති අවසන් වන්නේ දහවල් එකොළහමාරටය. අක්කාගේ පාසල ඇරෙන්නේ දොළහමාරටය. පාසල නිම වූ සමහර දාට ඇය තනියම ගෙදර ආවාය. නැතහොත් අක්කා ද එනතුරු රැඳි සිට බසයෙන් ගෙදර ගියාය.

ඉකුත් දහහත් වැනිදා ඇය ගෙදර ගියේ තනිවමය. ඒ පාරේ බසයකින්ය. එදා ඇයට වඩාත් ‍තදින් කුසගින්න දැනී තිබිණි. බසයෙන් බැස ඔවුන් ගෙදරට එන පාර පාළුය. කුඹුරු යායට අමතරව තැන තැන කටු පඳුරුය. ඒ අතරින් ඔය ගලාගෙන ගියේය. එහෙත් මල්කිට මේ පාර හොඳට හුරුපුරුදුය. අම්මා දරුවන් එනතුරු පෙරමඟ බලා සිටින්නේ බොහොමයක් වෙලාවට මල්කිගේ පියා කුඹුරු වැඩවල යෙදීම නිසාය.

චූටි දුව අක්කත් එක්ක ඒවි.

දහවල් දොළහ පසුවුවද මල්කි නොපැමිණෙද්දී මව කමලාවතී සිතුවාය. දහවල් දොළහහමාරට පාසල නිම වූ ඇගේ සොහොයුරිය ගෙදර ආවේ අම්මේ කෝ නංගී කියා අසමිනි.

ඇයි පුතේ ඔයත් එක්ක ආවේ නැද්ද අම්මා ඇසුවාය.

අම්මේ මට කලින් නංගි ගෙදර ආවනේ කමලාවතී කලබල වූයේ එතැන් සිටය.

මල්කිගේ අතුරුදන් වීම මහියංගණය පොලීසියට දැනගන්නට ලැබෙන්නේ 119 හදිසි පොලිස් පණිවිඩයක් හරහාය. ඒ වන විට වේලාව පහයි දහයට පමණ ඇත. මල්කි සොයාගන්නට ගමේ හැමෝම එකතු වුවද ඇය සොයා ගැනීමට නොහැකිව මෙසේ 119 හරහා පැමිණිල්ලක් මයියංගණ පොලීසියට ලැබුණේය. හවස හයයි විසිපහට පොලීසියට තවත් පණිවිඩයක් ලැබුණේය. එය ද 119 හරහාය. ඉන් කියැවුණේ අතුරුදන් වූ දරුවාගේ සිරු‍ර පහළ ඔයේ පාවෙන බවය.

සිද්ධිය වූ ස්ථානයට මහියංගණ පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් යන්නේ ඉන් පසුවය. උප පරීක්ෂක චතුරංග ද එතැන විය. ඔහුට ප්‍රදේශය ගැන හොඳ අවබෝධයක් තිබිණි. දැරියගේ සිරුර ඇති ඔයට මීටර දෙතුන් සියයක් මෙහායින් ගමේ පිරිස රැස්වී සිටියහ. ඒ සිදුවූ අපරාධය ගැන කතාබස් කරමින්ය. මල්කිගේ මවගේ විලාපය ඒ අතරින් නිලධාරින්ට ඇසිණ.

කවුද මේක ඉස්සෙල්ලාම දැක්කෙ ස්ථානාධිපතිවරයා රැස්ව සිටි පිරිසගෙන් විමසීය.

සෝමේ අයියයි මහතුන් මාමයි සර්

කෝ සෝමේ... පොඩ්ඩක් එන්න...

පිරිස අතර සිටි සෝමචන්ද්‍ර ඉදිරියට ආවේය.

තමන් ද මේක ඉස්සෙල්ලම දැක්කෙ. ස්ථානාධිපතිවරයා විමසුවේය.

ඔහු හිස සොළවා ඒ බව තහවුරු කළේය.

නිලධාරීහු සෝමේ ද රැගෙන දැරියගේ සිරුර ඇති තැනට ගියහ. ඒ වන විටත් සෝමෙට හීන් දාඩිය දමා තිබුණේය. ඔහුගේ තොලකට වේලි ගොස් ඇති බව උප පරීක්ෂක චතුරංග හොඳින් දුටුවේය. ඔහුට සෝමේ ගැන කිසියම් සැකයක් ඇති විය. වහා සිය ජංගම දුරකථනය අතට ගත් උප පරීක්ෂක චතුරංග සෝමෙගේ පිංතූරයක් කැමරාවට හසුකරගත්තේය. ළා කොළ පැහැති ටී ෂර්ටයක් හැඳ සිටි ඔහු කළු පැහැති කලිසමකින් සැරසී සිටියේය. ස්ථානාධිපතිවරයා සෝමේගෙන් ප්‍රශ්න කළේය. ඔහු තමන් දුටු දේ එකක් නෑර කීවේය.

සෝමේගේ කතාවට සවන් දුන් නිලධාරීන් ඉන් පසුව ඒ අවට නිරීක්ෂණය කළේය. මල්කි දැරියගේ යට ඇදුමක් හා විසිකර දමා තිබු පාසල් පොත් බෑගය ද සොයා ගැනීමට නිලධාරීන්ට හැකිවූයේ ඉන් පසුවය. නිලධාරීන් ඒ වන විට සෝමේ මුදා හැර තිබුණ ද ඔහු වෙත එල්ල වී තිබු සැකය බැහැර කළේ නැත. එම සැකය තවත් තහවුරු වූයේ මල්කිගේ දෙමවුපියන් කළ ප්‍රකාශයක් නිසාය. ඔවුන් කීවේ පාරක ආරවුලක් මත සෝමේ හා ඔවුන් අතර කලක සිට ආරවුලක් තිබු බවය.

රාත්‍රී එකොළහ ද පසුවී තිබු නිසා පර්යේෂණ සාක්ෂි කිසිවක් සොයා ගැනීම නිලධාරින්ට මහත් අපහසුතාවක් විය. ඒ නිසා ඉදිරි විමර්ශන පසුදාට කල් තැබිණ. දහඅට වැනිදාට පහන් විය. සොකෝ නිලධාරීන් මෙන්ම ඇඟිලි සලකුණු නිලධාරීහු සිද්ධිය වූ ස්ථානයට පැමිණ පරීක්ෂණ ආරම්භ කළහ. නිල සුනඛයා ද කැඳවා තිබිණ. කිසියම් හෝඩුවාවක් සොයා ගැනීමේ අදහසින් සොකෝ නිලධාරීන් සියුම් විමර්ශනයක යෙදුණේය. ඒකා සර්ලා ගිය වෙලේ ඉඳන්ම මෙතැනින් හෙල්ලුණේ නැහැ. රෑ පැදුරක් ගෙනත් දාලා මෙතනමයි නිදාගෙන උන්නේ... තවම මූණ හෝදලවත් නැහැ සර්... මිනිහා ගැන අපටත් සැකයි.

ඔවුහු චතුරංගට කීහ. සැකය හිත යට තබා ගත් චතුරංග ද විමර්ශන නිලධාරීන්ට එක් විය. සිද්ධිය වූ ස්ථානය අවට පා සලකුණු කිහිපයක් විය. එම සලකුණු ඇළ තෙක්ම විහිදි තිබිණ.

සර්... කවුරුහරි සෙරෙප්පුවක් දාපු නැති එකෙක් තමයි මේක කරලා තියෙන්නෙ...

එසේ කී චතුරංග එතැන තිබූ ලී පතුරක් ගෙන එම සටහන්වල මිම්මක් ද ලබාගත්තේය.

ඉන්පසු චතුරංගගේ දෙනෙත් දිව ගියේ ඊට නුදුරින් සිටින සෝමේ වෙතය. ඔහු සෝමේ ළඟට කිට්ටු විය.

ආ බං... සෝමේ මුකුත් ආරංචියක් නැද්ද... චතුරංග සෝමෙගෙන් විමසීය.

අනේ නැහැ සර්... මමත් රෑ එළිවෙනකම් හෙව්වා... මට හිතෙන්නේ පිට එකෙක් වගේ මේ අපරාධය කරලා තියෙන්නෙ...

සෝමේ ඇඟට පතට නොදැනී උප පරීක්ෂක චතුරංගට කීවේය.

චතුරංග දෙනෙත් සෝමෙගේ දෙපා වෙතට එල්ල වී තිබිණි. ඔහු එතැනින් නික්ම ගිය පසු අත තිබු ලී කැබැල්ල එහුගේ පා සලකුණ මත තැබු චතුරංග එය හා ලීයේ මිම්ම සමාන බව වටහා ගත්තේය. ඔහු මේ බව ස්ථානාධිපතිවරයාට ද කීවේය.

ඒ වන විට කිසියම් හෝඩුවාවක් සොයමින් සිටි සොකෝ නිලධාරීන්ට කටු පඳුරක පටලැවි තිබු ළා කොළ පැහැති නූලක් සොයා ගැනීමට හැකි වූයේ ඔය අතරය.

මේක මෙතැනට එන්න විදියක් නැහැනේ. සමහර විට අපරාධකාරයා කටු පඳුරු අස්සෙන් යන්න හදද්දි ඇඳුමේ නූලක් ගැලවුණා ද දන්නෙ නැහැ. සොකෝ නිලධාරින් තිබු සැකය ස්ථානාධිපතිවරයාට කීවේය. කොළ පැහැති නූල අතට ගත් ස්ථානාධිපතිවරයාගේ මතකය ඈතට දිව ගියේය.

පෙරදා චතුරංග සිය ජංගම දුරකථනයේ කැමරාවෙන් ලබාගත් සෝමචන්ද්‍රගේ ඡායාරූපය ඔහුගේ මතකයට ආවේය.

සෝමයා ඇඳලා හිටියෙත් කොළ පාට ටීෂර්ට් එකක්. එහෙනම් මේ නූල ඒකේ වෙන්න ඕන. ස්ථානාධිපතිවරයා සිතුවේය. වහා අපරාධ විමර්හන අංශය බාර ස්ථානාධිපතිවරයා හා උපපරීක්ෂක චතුරංග කැඳවූ ඔහු පෙරදා ගත් ඡායාරූපය නැවත පිරික්සා කර බැලීය.

සර් මේක නම් මූ ඇඳගෙන හිටිය ටීෂර්ට් එකේම තමයි.

උපපරීක්ෂකවරයා කීවේය. ඒ අනුව සෝමචන්ද්‍ර වහා පොලීසියට කැඳවූයේ සිද්ධිය ඇසින් දුටු බවට ප්‍රකාශයක් ලබා ගැනීමට යැයි කියමින්ය.

පොලීසියට පැමිණ සෝමචන්ද්‍රගෙන් නිලධාරීන් විමසා සිටියේ පෙරදා ඇඳගෙන සිටි ටීෂර්ට් එක පිළිබඳවය.

උඹ නේද ඒ කෙල්ලව මැරුවේ ස්ථානාධිපතිවරයා සෝමචන්ද්‍රගෙන් ඇසුවේය.

අනේ නැහැ සර්. මට ඒ කෙල්ල ඥාති දුවෙක්නේ සර්. මම එහෙම තිරිසනෙක් ද සර්. සෝමචන්ද්‍ර පරසක්වල ගසමින් දිවුරමින් ස්ථානාධිපතිවරයාගේ කීම ප්‍රතික්ෂේප කළේය.

එහෙනම් මේ නූල එතනට කොහෙන්ද සෝමචන්ද්‍රගේ මුහුණ වෙනස් විය.

අනේ මම දන්නෙ නැහැ සර්.

හරි. කෝ උඹ එදා ඇඳගෙන හිටිය කොළපාට ටීෂර්ට් එක.

සෝමචන්ද්‍ර අන්දුන් කුන්දුන් වූයේ එවිටය. ඔහුගේ තොලකට වියැළෙන්නට විය. නිලධාරීහු ඔහු ද රැගෙන සෝමෙගේ ගෙදරට ගියෝය. සඟවා තිබූ කොළ පැහැති ටීෂර්ටය සොයා ගැනීමට නිලධාරීන්ට හැකි විය. සොයා ගත් නූල එම ටීෂර්ටයෙන් ගැලවී ගිය එකක් බව පිරික්සීමේදී තහවුරු විය. තවදුරටත් ටීෂර්ටය පරීක්ෂා කළ ස්ථානාධිපතිවරයා දුටුවේ ටීෂර්ටයේ ලේ පැල්ලම් දෙක තුනක් ඇති බවය.

මේකට ලේ ගෑවුණේ කොහොමද? ස්ථානාධිපතිවරයා විමසුවේය. සෝමචන්ද්‍ර නිරුත්තය.

ඇත්ත කියපන් තවත් බොරු කරන්න හදන්න එපා.

හිස බිමට පහත් කරගෙන සිටි සෝමචන්ද්‍රට දැන්නම් වැඩේ වැරදුණු බව හොඳින්ම වැටහුණේය.

සර් චූටි නංගිගේ වැලමිට කටු පඳුරුවලට හීරුණා. ඒකේ ලේ තමයි එය ගෑවුණේ. සෝමචන්ද්‍ර මිමිනුවේය.

හරිද මම කිව්වා. මේක තමයි මිනිහා. හරි මොකක්ද උඹ කළේ.

එතැන් පටන් සෝමචන්ද්‍ර සියල්ල හෙළි කළේය.

එදා උදේ වැලි තොටුපළේ ඉඳලා මම උඩපනුල්ල පැත්තට ආවා. උල්හිටිය ඔයේ පාලම ළඟට වෙලා බීඩියක් බිව්වා. ඉන් පස්සේ කුඩාලුණුක හන්දිය පැත්තට පයින් ඇවිදගෙන එනකොට මම දැක්කා සුදු පාට ඉස්කෝලෙ ඇඳුමක් ඇඳගත්ත ළමයෙක් එනවා. වටපිට බැලුවා කවුරුත් පේන්න නැහැ. ඒ හරියෙ දිගටම කුඹුරු යායයි කැලෑවයි තියෙන්නේ. ඒ ළමයා ළඟටම එද්දි මම හඳුනාගත්තා මේ වෙලේගෙදර පුංචි අම්මාගේ බාල දුව කියලා. අපි එයාට කියන්නෙ චූටි නංගි කියලා.

මම පාරෙන් වම් පැත්තේ තියෙන පලු ගහක් ළඟට ගියා. එතැනට ගිහින් මම චූටි නංගිට කතා කළා පොඩ්ඩක් එන්නකො කියලා. එයා ඇහැව්වා ඇයි අයියේ කියලා මම කිව්වා මීයක් තියෙනවා කන්න එන්න කියලා. එයා මගේ ළඟට ආවා. මම කිව්වා කඩපු මීපැණි තියෙනවා අපි කමු කියලා. එයා හිනා වුණා. මම එයාව කිහිලි දෙකෙන් උස්සලා පල්ලෙහා තියෙන කදුර පැත්තට අරන් ගියා. එතැනදි චූටි නංගි කෑ ගැහැව්වා. මම කට අතින් වැහැව්වා. පස්සෙ එයාව මම ඔඩොක්කුවට ගත්තා.

සෝමචන්ද්‍ර කියාගෙන යන කතාව නිලධාරියෙක් සටහන් කරගන්නට විය.

පස්සෙ එයා කෑගහයි කියා බයට එයාගේ ඉස්කෝල ගෙනියන කෑම පෙට්ටියේ තිබුණු ලේන්සුව අරන් කට බැන්දා. ටික වේලාවකින් එයා දඟලන්නේ නැතිව ගියා. මට බය හිතුණා මැරිලා ඇති කියලා. නංගිට සිහිය තිබුණේ නැහැ. ඇස් දෙකත් පියවිලා තිබුණේ. සිහිය එයි කියලා හිතාගෙන නංගිව උස්සලා කරේ තියාගෙන අගල දිගේ පල්ලෙහා තියෙන වතුර බහින ඉම කදුරට ගියා. ගිහින් වතුරෙන් නංගිව තියල පොඩ්ඩක් වෙලා බලාගෙන හිටිය සිහිය ඒවි ද කියලා. ඒත් සිහිය ආවේ නැහැ. මට හිතුණා නංගි මැරිලා ඇති කියලා. මම තවත් සැරයක් නංගිව හොල්ලලා බැලුවා සිහිය එයි ද කියලා. ඒත් එයා දැඟලුවේ නැහැ. මම නංගිව එතැනම වතුරේ තියලා ඔය දිගේ පහළට ගිහින් වැලි තොටුපොළට ගියා. එතැනින් මම අතපය සෝදගත්තා. අතපය සෝදන කොට මම දැක්කා මම ඇඳගෙන හිටිය කොළපාට ටීෂර්ට් එකේ ලේ පැල්ලම් තියෙනවා. මට තවත් බය හිතුණා මම ටීෂර්ට් එක ගලවලා වැලි තොටුපළේ බිම පෙරළිලා තියෙන කුඹුක් ගහ ළඟ මාන පඳුරේ ගැහුවා. ඒ කරලා මම පාරට එනකොට වෙලේගෙදර පුංචි අම්මලාගේ ගෙවල් පැත්තෙන් අඬන කෑගහන සද්දයක් ඇහුණා. මම එහෙම ගෙදර ගිහින් එළියේ වැලක තිබුණු වෙනත් ෂර්ට් එකක් දාගෙන එද්දි තමයි විජේ මාමා මෝටර් සයිකලයෙන් ආවේ.

සෝමචන්ද්‍ර කළ සියල්ලම එසේ පාපොච්චාරණය කළේය. ඉන්පසු සෝමචන්ද්‍රගේ දෑතට මාංචු දැමු නිලධාරීන් ඔහු එදා හැඳ සිටි ඇඳුම් නඩු භාණ්ඩ ලෙස තබා ගත්තේය.

බදුල්ල දිසා බාර නියෝජ්‍ය පොලිස්පති සරත් කුමාර හා බදුල්ල කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන ගලප්පත්ති, සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ යන මහත්වරුන්ගේ උපදෙස් මත මහියංගණ පොලිස් ස්ථානාධිපති තිස්ස කුමාර අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ආර්. ඒ. ඩී. අයි. රාජපක්ෂ නොවිසඳුණු අපරාධ විමර්ශන හා නඩු මෙහෙයුම් අංශයේ ඒකකයේ ස්ථානාධිපති සුදේශ් චතුරංග ඇතුළු නිලධාරීහු රැසක් මේ පිළිබඳ කළ විමර්ශනයට සහභාගි වූහ.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »