දෙමටගොඩ චමින්දගෙන් කුඩු කෑ ලොක්කෝ සොක්කෝ

2016-05-05 11:16:00       526
feature-top
සටහන් ‍පොතෙන් හෙළිවන තොරතුරු

මේකාලය පාතාලයන්ටත්, හෙරොයින් ජාවාරම්කරුවන්ටත් එතරම් හොඳ කාලයක් වී නැත.  අඩියෙන් අඩිය සිදුකෙරෙන වැටලීම් සහ මෙහෙයුම් හේතුවෙන් ගොඩක් පාතාලයන්, හෙරොයින් ජාවරම්කරුවන් මේ වන විට ඉන්නේ මහ උළු ගෙදරය.  ඒ නිසා මේ දිනවල බොහෝ ජාවාරම්කරුවන් ඉන්නේ නින්දත් නොනින්දත් අතරය.

ඉහත කී මෙහෙයුම්වල ප්‍රතිඵලයක් ලෙස පසුගියදා වලාන දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති දුමින්ද බාලසූරිය ඇතුළු කාණ්ඩායමක්  මගින් හෙරොයින් ජාවාරමේ ගිණුම්කරණ කටයුතුවල නිරත වූ ප්‍රධානියකු අත්අඩංගුවට ගැනීමට හැකිවිය.  මොහු භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ ප්‍රධාන සැකකරුවකු වූ දෙමටගොඩ චමින්දගේ ගෝලයෙකු වූ අතර ඔහුට පැවරී තිබුණේ චමින්දගේ හෙරොයින් ජාවාරමේ ගිණුම්කරණ කටයුතු කිරීමය.  නාරහේන්පිට කිරි මණ්ඩල මාවතේ පදිංචිව සිටි අතර විසිනව හැවිරිදි මොහු නමින් තරිඳු ප්‍රභාත් නම් විය.  දිරාපත්ව ගිය ලෑලි ගෙදරක ජීවත් වුවත් තරිඳු අත පත ගෑ සල්ලි ප්‍රමාණය කෝටි ගණන් විය.  එහෙත් කිසිදු මුදලක් සාධාරණව හරි හම්බ කළ සල්ලි නොවූ අතර ඒ සෑම මුදලක්ම හෙරොයින් ජාවාරමෙන් හරි ඉපැයූ මුදල් විය.

2015 සැප්තැම්බර් මාසයේදී දෙමටගොඩ චමින්ද බන්ධනාගාර ගතවූයේ පරණ වරෙන්තුවකට අනුවය.  එසේ බන්ධනාගාර ගතවූ චමින්ද ඊට මාසයකට පසුව එළඹි මහ මැතිවරණ සමයේදී දේශපාලන රැලියකට ඔහුගේ ගෝලයන් ලවා වෙඩි තබන අතර එයින් කාන්තාවකුත් තවත් තරුණයකුත් මිය යන්නේ චමින්දගේ තවත් ඔලමොට්ටල වැඩක ප්‍රතිඵල නිසාය.  කෙසේ වෙතත් ඉන් අනතුරුව චමින්දගේ ගෝලයන් පසුපස පොලිසිය පන්නන අතර ඒ වන විටත් චමින්ද විසින් කරගෙන ගිය හෙරොයින් ජාවාරමට විශාල බලපෑම් එල්ලවෙමින් තිබුණේය.  මේ හේතුවෙන් චමින්දගේ ගනුදෙනු දැඩි ලෙස කඩාවැටුණි. එයින් ගොඩඒම සඳහා චමින්දගේ ව්‍යාපාරය හැසිරවීම  තම සමීප මිත්‍රයකුට භාර කළේය.  ඔහු නාරහේන්පිට තරිඳු විය.  තරිඳුත් චමින්දත් අතර මිත්‍රකම අද ඊයේ මිත්‍රකමක් නොවේ.  මේ මිත්‍රකම පටන් ගන්නේ එක්තරා දේශපාලකයකු සමීපයේ වැඩ කරන කාලයේ සිටය.  පාසලෙන් ඉවත් වූ සැණින් තරිඳු මෙම දේශපාලකයා සමීපයට යන අතර ඔහු සමග කටයුතු කරන කාලයේ දෙමටගොඩ චමින්ද ද එම ස්ථානයට පැමිණ ඇත.  එහිදී දෙදෙනා මිත්‍රවී තිබේ.  ඒ මිත්‍රකමේ ප්‍රතිඵලයක් ලෙස තරිඳුට චමින්දගේ හෙරොයින් ජාලයේ ගනුදෙනු සොයා බැලීමට බලය පැවරෙන්නේය.  ඒ පසුගිය වසරේ නොවැම්බර් 21 වෙනිදා සිටය.

ඒ අනුව තරිඳු විසින් හෙරොයින් මිලදී ගැනීමත්, හෙරොයින් බෙදා හැරීමත් ජයටම කරගෙන ගොස් ඇත. ඒ බව තරිඳු අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහු සන්තකයේ තිබී සොයාගත් අපූරු සාක්කියකින් හෙළිවිය.  මේ අපූරු සාක්කිය පිටු 158 කින් සමන්විත පොතක් විය.  මේ පොතේ පිටු 48 කම ලියා ඇත්තේ ගිය වසරේ නොවැම්බර් 21 වනදා සිට මේ වසරේ අප්‍රේල් 24 වනදා තෙක් සිදුකළ ගනුදෙනුය.  මේ ගනුදෙනු එසේ මෙසේ ඒවා නොවීය.  මේ ගනුදෙනු අතර අප නොසිතනා පිරිසකගේ නම් ගම්ද තිබුණේය.  ඒ වෙන කවුරුත් නොව බන්ධනාගාරයේ නිලධාරීන් පිරිසකගේය. ඔවුන්ට ලබා දුන් මුදල් පවා එම පොතේ සටහන් වී තිබුණේ මෙලෙස.

එම පොතට අනුව උඩින්ම නම ලියැවී තිබුණේ බන්ධනාගාර අධිකාරීවරයකු ගැනය.  ඔහු එය සටහන් කර තිබුණේ අදාළ බන්ධනාගාරයේ නම යොදා එස්.  පී. මහත්තයට 15000 යි යනුවෙනි.  එම මුදල ඔහුට ලබා දී තිබුණේ ගිය වසරේ දෙසැම්බර් 24 වෙනිදාය.  එලෙස ලබා දී තිබුණේ නත්තල් සැමරීමටය.  මොහු කෙතරම් පහළට වැටී ඇද්දැයි  ඔහුගේ තනතුර සහ ලබාගත් මුදල කෙරෙහි අවධානය යොමු කරන ඕනෑම කෙනකුට සිතෙන දෙයකි.  එපමණක් නොව මොහු බන්ධනාගාරයේ ජේලර්වරයකුට නිතර වැඩි මුදලක් ලබාදී ඇති බවද එම පොතේ සටහන් අනුව පෙනෙන්නට තිබෙන දෙයකි.  ඔහු සටහන් කර ඇති ආකාරයට එම ජේලර්වරයාට වරක් 25000 ක්ද, තවත් විටෙක 35000 ක් ද වශයෙන් මුදල් ලබාදුන් බව ඔහු සටහන් කර ඇති අතරම ඒ බව ඔහු පිළිගන්නාද දෙයකි.  එහෙත් මොහු සඳහන් කරන්නේ ඔවුන්ගේ නම් ගම් නොදන්නා වුවත්  ඔවුන් දැක්කොත් හඳුනාගත හැකි බව කියාය.  ඇතැම් විට එය තරිඳුගේ සටකපට ප්‍රයෝගයක් විය හැක.  ඔවුන් දුන් උදව් හෙළි කරතොත් නැවත චමින්දට බන්ධනාගාරයේ සිටිය නොහැකි තත්ත්වයක් උද්ගත වෙතැයි අපේක්ෂාවෙනි.

මීට අමතරව ඇතැම් බන්ධනාගාර නිලධාරීන් වෙත රුපියල් 5000, 3000, 2000 වශයෙන්ද මුදල් ලබා දී ඇත.  ඒ සෑම ගනුදෙනුවකට අදාළව ජේලර් මහත්තයාට මෙපමණ මුදල් ප්‍රමාණයක් ලබා දුන්නා යැයි සටහන් කර ඇත.  මේ අතර දෙමටගොඩ චමින්ද බැලීම සඳහා පසුගිය මාර්තු 24 වෙනිදා සිට අප්‍රේල් 24 වනදා දක්වා තමා ගිය බව ඔහු පිළිගන්නා දෙයකි.  එසේ යන සෑම අවස්ථාවකම මොහුගේ තොරතුරු පොතේ අදාළ ජේලර්වරයාට රුපියල් 5000 බැගින් මාසයක් ඒ සෑම අවස්ථාවකම ලබාදී තිබේ.  එසේ ලබාදී බොහෝ අවස්ථාවල චමින්දට බන්ධනාගාරය ඇතුළත විකිණීම සඳහා හෙරොයින් ගුලියක්ද ඇතුළට යැවූ බව තරිඳු සිය සටහන් පොතේ සටහන් දමා ඇත. එපමණක් නොව තවත් එක්තරා තැනක සටහන් දමා ඇත්තේ බන්ධනාගාර නිලධාරීන් සඳහා සාදයක් දැමූ බවත් ඒ සඳහා රුපියල් 16000 ක මුදලක් ලබාදුන් බව කියාය.  මෙහි එක්තරා නමක් නිතර ලියවී ඇති අතර ඔහුව බණ්ඩාර මහතා ලෙස හඳුන්වා ඇත. ඔහුද බන්ධනාගාර නිලධාරියෙකි.

මේ අකාරයෙන්  බන්ධනාගාර නිලධාරීන් හත් දෙනෙකුට මුදල් දුන් බව නම් සහිතව සටහන් කර ඇත. එසේම නම් සටහන් නොකළ බන්ධනාගාර නිලධාරීන් 14 දෙනකුට මුදල් ලබාදුන් බව ඔහු සටහන් කර ඇත. එලෙස ලබාදී ඇති මුදල ලක්ෂ හතරකට ආසන්නට. මේ සියලු දේම හෙරොයින් ජාවාරමේ මුදල් විය. එම මුදලින් තම දරුවන්ටත්, බිරිඳටවත් කන්න දියහැකි දැයි දන්නේ ඔවුන්මය. ඒ කෙසේ වෙතත් ඉදිරි දිනකදී මොවුන්ගේ නම් ගම් බන්ධනාගාර දෙපාර්තුමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. එදාට ඒ මහත්වරුන්ට තරු පිට තරු විසිවනු ඇත.

ඒ බන්ධනාගාර නිලධාරීන්ය, තව නීතිඥයන්ද මෙකී ලේඛනය අනුව මුදල් ලබාගෙන තිබේ. ඔවුන්ට කිසිවක් කිව නොහැකිය. ඒ ඔවුන්ගේ රැකියාව නිසා මුදල් ලබාගත්තා විය හැකිය. ඒ නිසා නීතිඥ මහත්වරු සම්බන්ධයෙන් අපට අමුතුවෙන් අදහස් පළ කිරීමෙන් තේරුමක් නැත.

ඊට අමතරව මෙම සටහන් පොතේ චමින්දගේ හෙරොයින් ව්‍යාපාරයේ ගනුදෙනුද සටහන් කර තිබී ඇත. ඔහු ජාවාරම සඳහා පසුගිය කාලයේ කළ ගනුදෙනුව ලක්ෂ 630 කි. ඉන් හෙරොයින් මිලදී ගැනීම සඳහා ලක්ෂ 320 ක පමණ මුදලක් වැය කොට ඇත. මේ සටහන් පොතෙහි එක්තරා ස්ථානයක නව ගැනුම්කරුවකු සඳහා රුපියල් කෝටියක මුදලක් ලබාදුන් බව ඔහු සඳහන් කර ඇත. එහෙත් ඔහුව නොහඳුනන බවත් දුරකථනය මගින් සම්බන්ධ වී සිදුකළ ගනුදෙනුවක් බවත්, තරිඳු හෙළිකර ඇත. චමින්දගේ හෙරොයින් ස්ථාන තුනකට දමන බවද මෙම සටහන් පොතට අනුව හෙළිවන රහසකි. එම හෙරොයින් දෙමටගොඩ, පෑලියගොඩ, වත්තල යන ස්ථාන තුනකට දමන බවත් පසුගිය කාලයේ දෙමටගොඩ ආදායම පමණක් ලක්ෂ 300 ක් වන බව එම සටහන් පොතට අනුව හෙළිවන කරුණකි. එමෙන්ම එම ආදායමෙන් අක්කා යන නමින් හඳුන්වන අයකුට ලක්ෂ 41 ක් ලබාදුන් බව ඔහු සටහන් කර ඇත. මේ පිළිබඳව තරිඳුගෙන් විමසීමේදී පවසා ඇත්තේ අක්කා යනු චමින්දගේ බිරිඳ බව කියාය. එසේම අයියා නමැති අයකුට ලක්ෂ 270 ක මුදලක් ලබාදුන් බවටද සටහනක් දමා ඇත.

ඒ පිළිබඳව තරිඳු පවසා ඇත්තේ අයියා යනු දෙමටගොඩ චමින්දගේ අයියා බව කියාය. එනම් ඔවුන් චමින්දගේ ව්‍යාපාරයේ යාවජීව සාමාජිකයන් වෙන නිසාය. ලබාදුන් මුදල් අතර චමින්දගේ උපන්දින කේක් ගෙඩියක් සඳහා රුපියල් 8000 ක් වියදම් කොට ඇත. එමෙන්ම පහුගිය අලුත් අවුරුද්ද සඳහා චමින්දගේ දරුවාට රුපියල් 11,000 ක් ගිනිකෙළි මිලදී ගෙන ඇති අතර එම වියදමද සිය සටහන් පොතේ සටහන් දමා ඇත. චමින්ද සිය දරුවන් සමග මෙලෙස අවුරුදු සමරන්නේ තවත් දරුවන් කිහිප දෙනෙකුගේ පියවරුන්ට කුඩු පොවමින් ය. ඒවාට ඔවුන්ද වගකිව යුතුය. චමින්දගේ දරුවා බලාගන්නා ආයා අම්මාට පමණක් රුපියල් 50000ක මුදලක් මාසිකව ලබාදී ඇති බවද අදාළ මේ සටහන් පොතේ සඳහන් කර තිබී ඇත. එපණක් නොව චමින්දගේ ප්‍රාඩෝ රථයට පමණක් මාසිකව රුපියල් 50000 ක මුදලක් ලීසිං වශයෙන් ගෙවූ බවද එහි සටහන් වී ඇත. මේ සියලු ගනුදෙනු අකුරක් නෑර ලියන්නට තරිඳු අමතක කළේ නැත. එපමණක් නොව ඔහු පවා ලබාගත් මුදල්ද අදාළ සටහන් පොතේ සටහන් දමා ඇත.

මේ සටහන් පොතේ හොඳම සටහන වන්නේ තරිඳු විසින් කළ  වියදමකි. ඒ ඔහුට ආරක්ෂාව සඳහා සුර ලබා ගැනීමටය. ඔහු තමන්ගේ ආරක්ෂාව සඳහා ලක්ෂ හතක සුර පැලඳ ඇති බව මෙහිදී හෙළිවිය. ලක්ෂ හතක සුර ලබාගෙන ඇත්තේ කතරගම දේවාලයේ කපු මහතෙකු මගිනි. ඔහුට මාසයකට සැරයක් තමන්ගේ සුර තොගය කතරගම බලා පිටත් කර ඇති අතර ඉන්පසු අදාළ සුර ජීවම් කොට නැවත ගෙන්වාගෙන ඇත. මාසයකට ජීවම් කිරීම සඳහා රුපියල් 50000 ක මුදලක් කපු මහතා වෙත ලබාදුන් බවද තරිඳු තම ගිණුම් පොතේ සටහන් කර ඇත. එහෙත් මොන සුරය ජීවම් කොට දැම්මත් තරිඳුට දේව ආරක්ෂාව තිබුණේ නැත. තරිඳු පොලිසියට කොටු විය.

කෙසේ වෙතත් කෝටි ගණන් සල්ලි අත ගෑවත් තරිඳු හිටියේ ලෑලි ගේකය. ඒ තරිඳුගේ ජීවන ක්‍රමය ය. පොලිසිය පවසන පරිදි තරිඳු කවමදාකවත් මුදල් වංචා කොට නැත. එයට හේතුව චමින්ද වැනි පාතාලයකුට වංචා කිරීමෙන් විඳීමට සිදුවන අනිටු විපාක ඔහු දැන දැනමය. බන්ධනාගාරය පිළිබඳව අමුතුවෙන් කතා කිවයුතු නැත. ඉදිරියේදී කතා එළිවනු ඇත. එදාට කුඩු සල්ලිවලින් බත් කෑ බන්ධනාගාර නිලධාරීන්ට වස බොන්නට සිදුවනු ඇත. කෙසේ වෙතත් මේ වන විට රැඳවුම් නියෝග මත තරිඳු සිටින්නේ මත්ද්‍රව්‍ය කාර්යංශයේ ය. ඉදිරියේ දී තරිඳු හෙළිකරන තොරතුරු පරිදි වැඩි පිරිසකට නින්ද නොයනු ඇත.

Wmqgd .ekSu r mqj;am; weiqfrks

More News »