දකුණ බියෙන් සලිත කළ චාල්ස් ඇන්තනී බළකායේ අබිරහස් වෙඩික්කරු කොටු කළ හැටි

2016-04-29 09:50:00       532
feature-top
ඊළාම් යුද ඉතිහාසයේ කොටි ත්‍රස්තවාදීන් දකුණේ ඉලක්ක සඳහා යාමට තෝරාගත්තේ පාතාල කණ්ඩායම්ය.

කිඹුලා ඇළ ගුණා, තෙල් බාලා යන දෙමළ පාතාල කල්ලි නායකයන් මෙන්ම මාලිගාවත්තේ මුස්ලිම් පාතාල කල්ලිවලින්ද කොටින්ගේ දකුණේ ප්‍රහාර සඳහා උදව් උපකාර නිතැතින්ම ලැබුණේය. හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියව ඉලක්ක කර පුරහ‍ලේදී පුපුරාගත් මරාගෙන මැරෙන බෝම්බකරු පැමිණෙන්නේද කිඹුලා ඇළ ගුණාගේ පාතාල බළකොටුවේ සිටය.

මේ අයුරින් ඉතිහාසයේ කොටි ත්‍රස්තවාදීන් තම ඉලක්ක සඳහා යාමට පාතාල කණ්ඩායම් පාවිච්චි කෙරුවේ එමගින් පහසුවෙන්ම ඉලක්ක වෙත යාමට ලැබෙන ඉඩ නිසාය.

ඉතිහාසය උඩු යටිකුරු කරමින් අද දකුණේ පාතාලය එල්.ටී.ටී.ඊ. ය යොදාගෙන දකුණේ පාතාල ක්‍රියාකාරකම් කරන්නට පෙලඹී ඇතැයි අනාවරණය වන්නේ ‍පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි අංශය මගින් දකුණේ පාතාලයේ අබිරහස් වෙඩික්කරු කොටුකර ගැනීමත් සමගය.

දකුණු පළාත කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වන සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ ප්‍රධාන පාතාල කල්ලි නායකයකු වන කොස්ගොඩ සුජීගේ කල්ලියේ අබිරහස් වෙඩික්කරුවා ලෙස මතෛක් සැඟවුණු ඝාතන රැල්ලක් කළ පාතාලයේ කොටි ත්‍රස්තයා කොටුවන්නේ එස්.ටී.එෆ්. බුද්ධි අංශයේ උප ‍පොලිස් පරීක්ෂකවරයකුට ලද තොරතුරකිනි. ඔත්තුකරුවකු මාර්ගයෙන් ලද තොරතුරකට අනුව කළ විමර්ශනයකදී මෙකී පාතාලයේ වෙඩික්කරු සොයා යන්නට අවස්ථාව උදාවන්නේ හිටපු ‍පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා දකුණේ අපරාධ රැල්ල ගැන සොයා බලන්නට දුන් නියෝග නිසාය.

සැකකාර කොටි ත්‍රස්තයා සොයා විමර්ශන ඇරඹී ‍පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි අංශය ගාල්ල සිමෙන්ති කර්මාන්තශාලාව අසලදී ඔහුව කොටු කරන්නේ විස්මිත මෙහෙයුමකිනි. කොටි ත්‍රස්තයා ‍පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගේ උගුලට කොටුවන විටත් චීනයේ නොරින්කෝ සමාගමේ නිෂ්පාදිත මිලිමීටර් නවය වර්ගයේ පිස්තෝලයක් හා උණ්ඩ අටක පතොරම් ගැබක්ද ඔහු සතු විය.

ස්ටැන්ලි කෙනඩි ප්‍රනාන්දු හෙවත් ක්‍රිෂාන් නමින් වූ මෙම පාතාල වෙඩික්කරු මතෛක් හමුවූ පාතාල වෙඩික්කරුවන්ට වඩා වෙනස් වන්නේ මොහු කොටි සංවිධානයේ ප්‍රබලම සන්නද්ධ ඒකකය වන චාල්ස් ඇන්තනී බළකායේ ඉදිරි පෙළ සටන්කරුවකු වන නිසාය. කොටි නායක ප්‍රභාකරන්ට ආරක්ෂාව සැපයීමට ප්‍රභාකරන්ගේ පුතා වන චාල්ස් ඇන්තනිගේ නමින් ඇරඹූ චාල්ස් ඇන්තනි බළකායේ දක්ෂ චරිතයක් වන මොහු කොටි සංවිධානයෙන් නම් කරනු ලබන්නේ එලීලෝන් නමිනි. කොළඹ, ජම්පටා පාරේ පදිංචිව සිටි එලීලෝන් කොටි සංවිධානයට එක්වී දුෂ්කර කාලසීමාවන් පසුකර හමුදා ප්‍රහාරවලින් සිව් වතාවක්ම තුවාල ලබා යළි සටන් පෙරමුණට ගිය කොටි වෙඩික්කරුවෙකි. එලීලෝන් තම පියා සමග කොළඹ මාළු මාකට් එකේ රැකියාව කරන්නේ පාසල් අධ්‍යාපනයෙන් පසුවය. දුක්ඛිත ජීවිතයක් ගත කළ මොහු පාස‍ලේ අටේ පන්තියෙන් ඉගෙන ගෙන පියා වූ ස්ටැන්ලි සමග වෙළෙඳාම් කරද්දී මිතුරකු වූ කිලිනොච්චියේ සිටින නාදන් කොටි සංවිධානයට එක් කරගන්න පාර කපන්නේය. සුබන් මාස්ටර් යටතේ මසක පුහුණුවක් ලැබිමෙන් පසුව වසර පහක පමණ කලක් කොටි සංවිධානයට එක්වී කටයුතු කරන්නේය.

වන්නි මානුෂීය මෙහෙයුම් දරුණු සටන් පැවැති මල්ලාවි, සුගන්දිරපුරම්, ආනන්ද පුරම් සටන් පෙරමුණුවලදීත් එලීලෝන් තුවාල ලබා යළි සටන් පෙරමුණට යන්නේය.
යුද්ධයේ අවසන් දින කිහිපය ළඟාවත්ම මැයි 14දා සිවිල් වැසියන් අතරේ සැඟවී රජයේ පාලන ප්‍රදේශයට පැමිණෙන එලීලෝන්ව බුද්ධි අංශයට කොටුවූ පසුව ත්‍රස්ත විමර්ශන කාර්යංශය මගින් මාස 21ක් පුරා රඳවා තබන්නේය. බූස්ස රැඳවුම් කඳවුරේ රඳවා තිබියදී දකුණේ අපරාධ කල්ලියක් වන කොස්ගොඩ සුජීගේ කල්ලිය සමග එලීලෝන් නව සබඳකම් ඇතිකර ගන්නේය.

එමෙන්ම කිඹුලා ඇළ ගුණාගේ බාල සොයුරා වන සුරේෂ් සමග තිබෙන ඥාති සබඳතාව මත සුරේෂ් ඉන්දියාවේ සිට එලීලෝන්ව සුජීවගේ කල්ලියට සම්බන්ධ කරන්නේය. කොටහේන ‍පොලිස් වසමේ කුඩු සෙල්වි නමැති බලය පතුරුවා සිටින කාන්තාවගේ පුතා විසින් එලීලෝන්ගේ සොහොයුරියකට කරන ලද විහිළුවක් දුර දිග ගොස් පවුල් දෙකේ ගහ මරා ගැනීම සන්නද්ධ ගැටුමක් බවට පත්වන්නේය.

සෙල්විගේ පුතාට පහර දුන් එලීලෝන්ගේ සොයුරාට සෙල්විගේ පුතා තිහක පමණ කල්ලියක් සමග විත් පහර දී දරුණු තුවාල සිදුකර තිබුණේය. ඉන්පසු යළිත් සෙල්විගේ පුතාගේ මුහුණ එලීලොන්ගේ සොයුරා කපා දැමීමෙන් පසුව සෙල්විගේ කණ්ඩායම විසින් එලීලෝන්ගේ පවු‍ලේ අයට ගමෙන් පහර දී එළවන්නේය. මේ සිදුවීම් වනවිට පුනරුත්ථාපනය වන කොටි සාමාජිකයන් සමග මරදමඩු ප්‍රදේශයේ පුනරුත්ථාපනය වී යළි සෙල්විගේ අඩවියට පැමිණ ගමෙහි තරුණ කණ්ඩායම් එලීලෝන් වටා එක්කර ගන්නේය. මේ අතරේ කුඩු සෙල්වි තම සොහොයුරා මරා දමන්නට රුපියල් ලක්ෂ දහයක කොන්ත්‍රාත්තුවක් ලබාදී ඇතැයි එලීලෝන් දැනගනී.
කිඹුලා ඇළ ගුණාගේ කල්ලියේ උදව්වෙන් බන්ධනාගාරගතව සිටින පුපුඩි කන්නා මාර්ගයෙන් මිලිමීටර් නවයේ පිස්තෝලයක් එලීලෝන් ලබාගනී.

එලීලෝන් අත්අඩංගුවට ගන්නා විට හමුවන්නේ මෙම පිස්තෝලය ය.
මෙකී පිස්තෝලය යොදාගෙන 2015 සැප්තැම්බර් මාසයේ කුඩු සෙල්විට වෙඩි තබා මරා දමන්නේ ‍පොලිසියට සාක්ෂියක්වත් ඉතුරු නොකරය. මෙම ඝාතනයට සම්බන්ධ සැකකරුවන් එවකට ‍පොලිස් අත්අඩංගුවට ගැනුණද එලීලෝන් කොටුවන්නේ නැත.
එම ඝාතනයෙන් පසුව කොටහේනෙන් පැනගන්නා එලීලෝන් කොස්ගොඩ සුජීවගේ රැකවරණ ලබන්නේ ඉන්පසුවය.

කොස්ගොඩ සුජීව ළඟට යන එලීලෝන්ව ඇල්පිටියේ ජෝශප් හා ඌරගස්මංහන්දියේ මයිකල් ළඟ නතර කරන්නේ පාතාලයේ ඉදිරි ඉලක්ක සඳහාය. මේ අතරේ පාතාලයේ පැරණිතම ප්‍රබල සාමාජිකයකු මෙන්ම පාතාලයේ ගෝඩ්ෆාදර්වරයකු යැයි කියන කනත්තආරච්චිගේ පියරත්න හෙවත් මෝල් පියා හා කොස්ගොඩ සුජී අතර ගැටුමක අළු යට ගිනි ඇවිළෙන්නේය. ඉඳුරුව, බණ්ඩාරිවත්ත විහාරයේ සිටි මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමියන්ගේ නඩු විභාගයක් සඳහා පියරත්න හා රසික යන දෙදෙනා එන අතරේ මරා දමන්නට කොස්ගොඩ සුජී කොන්ත්‍රාත්තුව දෙන්නේ එලීලෝන්ටය. එලීලෝන් ඒ වනවිට සිටින්නේ ඌරගහ මයිකල් සමගය.

ඌරගහ මයිකල්ගේ ත්‍රිරෝද රථයෙන් බළපිටිය උසාවිය ළඟට පැමිණෙන එලීලෝන් සුජීව විසින් එවන ලද සුමුදුගේ යතුරුපැදියට නැග සුමුදු අතේ එවූ මයික්‍රෝ පිස්තෝලයෙන් පියරත්න හා රසිකව අවසන් ගමන් යවන්නේ 2016.02.16දාය.
එම ඝාතනයෙන් පසුව සුජීගේ නියෝග මත ඌරගහ හන්දිය ‍පොලිස් වසමේදී නන්දසිරි සමරසිංහ නමැති අයට වෙඩි තබා ඝාතනය කරන්නේත් බළපිටිය උසාවි ළඟ ඝාතනයට යොදාගත් මයික්‍රෝ පිස්තෝලයෙනි.

මේ අයුරින් පාතාලයේ කොන්ත්‍රාත් මිනිස් ඝාතන රැසකට එලීලෝන් යොදා ගැනෙන්නේ දකුණේ පාතාලයේ අබිරහස් වෙඩික්කරු ලෙස එලීලෝන් යොදා ගනිමිනි.

මෙම ඝාතන එල්.ටී.ටී.ඊ. යේ ‍පොට්ටු අම්මාන්ගේ බුද්ධි අංශය දකුණේ සිදුකළ අපරාධවලට සමානව කරන්නට මොවුහු වගබලා ගත්හ. ඝාතනයකට ඔත්තු බලන්නේ එකෙකි. ආයුධය ගෙන එන්නේ තවකෙකි. ඝාතකයා තවකෙකි. ඝාතකයා රැගෙන යන්නේ තවකෙකි. මොවුන් එකිනෙකාට නොහඳුනන අතර මේ සියලු දෙනා මෙහෙයවන්නේ කොස්ගොඩ සුජීය.

මතෛක් කල් අපරාධ රැසක් අනාවරණය කරගන්නට නොහැකි වී ඇත්තේ සුජීගේ කල්ලියේ මෙවැනි උපක්‍රම නිසාය. මෙම විමර්ශනයේදී හෙළිවන්නේ සුජී මෙම ඝාතන සඳහා උපදෙස්  දෙන්නේ අන්තර්ජාලය යොදාගෙන වයිබර් හා ඉමෝ මගිනි. මෙම දුරකථන ඇමැතුම් හෙළි නොවන බව දැන සුජී එය කළද බුද්ධි අංශ සතුව එවැනි දුරකථන සංවාදවලට සවන් දිය හැකි තාක්ෂණය සතුව ඇත.

සුජීගේ කල්ලියේ ඇල්පිටිය ජෝශප්, ඇල්පිටිය ‍පොලිසියෙන් අල්ලා ගන්නේ වැලිකඩ බන්ධනාගාරය අසලදී ගැබිනි මවකට වෙඩි තැබිමේ සිද්ධියටය. කඩුවෙල, රණා‍ලේ සමයං කල්ලිය හා දකුණේ පාතාල කල්ලි අතර ඇති ගැටුමක් දුරදිග ගොස් සමයංගෙන් පළිගන්නට සමයංගේ බිරිඳ යැයි සිතා ගැබිනි මවකට වෙඩි තබන්නේ ඇල්පිටියේ ජෝශප්ය.

සුජීවගේ කොස්ගොඩ කල්ලියේ සිටි ජෝශප් සුජීගේ විරුද්ධ කල්ලියක් වන මාකඳුරේ මධුෂ් සමගද සබඳතා පැවැත්වූ අයෙකි. සුජීට හොරෙන් මධුෂ් සමග සබඳකම් පැවැත්වූ ජෝශප් පරලොව යවන්නට සුජී නියෝග දෙන්නේ අලුත්ගම සංජීවටය. අලුත්ගම සංජීවගේ නිවසට එද්දී ජෝශප්ව අවසන් ගමන් යවන්නට සංජීවට නියෝග කළද සංජීව එය අනුමත කරන්නේ නැත. අවසානයේ ජෝශප් පරලොව යවන්නට එලීලෝන්ට භාර කෙරෙන්නේය. එලීලෝන් ලවා තමාට එරෙහි වූ අලුත්ගම සංජීවටත් වැඩක් දෙන්නට යන බව සංජීවට සිය හිතවතුන්ගෙන් ඔත්තුව ලැබෙන්නේය. කෙසේ වුවද ජෝශප්ව හා සංජීවව පරලොව යවන්නට දුන් කොන්ත්‍රාත්තුව එලීලෝන් පස්සට දමන්නේ තමන් සමග එකට සිටින අයට සුජීව එල්ල කරන උණ්ඩම තමාටත් කැරකෙන බව දන්නා නිසාය.

බළපිටිය උසාවිය ළඟදී පියරත්නව අවසන් ගමන් යැවූ ප්‍රහාරයට එලීලෝන්ට ලැබෙන්නේ රුපියල් දස දහසක් වීමද මෙම ඝාතන පස්සට දැමීමට හේතු විය. පුනරුත්ථාපනය වුවද සමාජගත වීමට හැකි ආදායම් මාර්ගයක් හෝ රැකියාවක් නොමැති කමින් පාතාලයේ අබිරහස් වෙඩික්කරුවකු බවට පත්වී මිනී මරන එලීලෝන් ගැන විශේෂ කාර්ය බළකා බුද්ධි අංශයට තොරතුරු ලැබෙන්නේ පාතාල කල්ලි අතර ඇරඹෙන මෙකී අභ්‍යන්තර අර්බුදය නිසාය.

පසුගිය කාලයේ සුජීගේ කල්ලිය මුල් වී දකුණේ කළ ඝාතනවල ඝාතකයන් සොයා ගන්නට ‍පොලිසිය අසමත් වන්නේද මෙවන් අබිරහස් වෙඩික්කරුවන් නිසාය. ගාලු දිස්ත්‍රික්කය ඇතුළු දකුණේ අපරාධවල නොවිසඳුණු මිනිස් ඝාතන රැසකට මේ හරහා විසඳුම් සොයා ගැනීමට පාතාල මර්දන කණ්ඩායම් දැන් වෙහෙසෙන්නේය.

දකුණේ මනෝජ් මෙන්ඩිස් ඝාතනයේ සැකකරු වන ‍පොඩි ලැසී සිටින්නේත් කොස්ගොඩ සුජීගේ යටතේය. දැන් දකුණේ පාතාලයත්, කොළඹ පාතාලයත් එකිනෙකට හැප්පෙන්නට පටන්ගෙන ඇත. සියලු කල්ලි ඇනකොටා ගන්නා අතරේ කොන්ත්‍රාත් මිනිස් ඝාතන සඳහා ගිනි අවි පුහුණුව ඇති  සමාජයේ සිටින හමුදා සෙබළුන්, කොටි ත්‍රස්තයන් දැන් දකුණේ වෙඩික්කරුවන් වී ඇත.

දෙමටගොඩ චමින්ද ඉලක්ක කර බන්ධනාගාර බස් රථයට වෙඩි තබන්නට එන හමුදා සෙබළා හමුදා සේවයේ යෙදී සිටියදීම එකී ඉලක්කයට එන්නේ රුපියල් විසි දහසක් ගැනීමටය.

එලීලෝන් පුනරුත්ථාපනය වී සිටියදී දුප්පත්කම නිසාවෙන් පාතාලයට සම්බන්ධ කරගෙන රුපියල් දස දහසකට මිනී දෙකක් මරන්නේත් මුදල් මතය.

සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජගත වෙමින් අපරාධ වපුරන්නට සූදානම් වෙද්දී පසුගිය කාලසීමාවේ පැත්තකට දමා තිබූ ‍පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි අංශය යළිත් අළු ගසා නැගිට්ටවන්නට හැකි නම් අපරාධ රැසක් කල්තියා වළක්වා ගත හැකිය.

සහකාර ‍පොලිස් අධිකාරී සිසිර කුමාර මහතා යටතේ පාතාලය මර්දනය කරන්නට ඇරඹි එස්.ටී.එෆ්. බුද්ධි අංශයේ එදා සිටි දක්ෂ නිලධාරීන් තවමත් සිටින්නේය. ඔවුන්ගේ දක්ෂකම් නිසා මෙදා අබිරහස් වෙඩික්කරු හසුවූවා පමණක් නොව ඉරාන නැවේ කුඩු කිලෝ සියය අල්ලන්නට ඔත්තුව ලැබුණේත් සිසිර කුමාර යටතේ බුද්ධි අංශයේ වැඩ කළ නිලධාරීන් ලබාගත් අත්දැකීම් මත සකසාගත් බුද්ධි තොරතුරු ජාලය නිසාය.

එදා සිසිර කුමාර සමග බුද්ධි අංශය අධීක්ෂණය කළ ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරී වරුණ ජයසුන්දර මහතා යළිත් බුද්ධි අංශය භාරගෙන දක්ෂ නිලධාරීන් නිවැරදි මාවතට යොමු කිරීම නිසා මෙවන් අබිරහස් අපරාධ සොයා ගැනීමට හැකිව ඇත. එම කණ්ඩායම් තව තවත් දිරිමත් කිරීම බලධාරීන්ගේ වගකීමය.



More News »