පැනගිය ජාවාරම්කරු අල්ලන්න වරෙන්තු

2016-04-19 11:46:00       574
feature-top
මිරිහාන විශේෂ රැඳවුම් කඳවුරේ සිටියදී පැනගිය ජාත්‍යන්තර වකුගඩු ජාවාරමට සම්බන්ධ ඉන්දියානු ජාතිකයකු අත්අඩංගුවට ගැනීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (18) වරෙන්තු නිකුත් කළේය.

වකුගඩු ජාවාරමට සම්බන්ධ සැකකරුවන් වකුගඩු සැත්කම කළ මෙරට පෞද්ගලික රෝහල්වල ඇති ‍රෝගීන් පිළිබඳ ලිපි ‍ලේඛන පොලිසියට භාර දෙන්නැයි ද මහේස්ත්‍රාත් අධිකරණය සෞඛ්‍ය අමාත්‍යංශයේ පෞද්ගලික රෝහල් වෛද්‍ය අංශ සංවර්ධන අධ්‍යක්ෂවරයාට නියෝග කළේය.

කොළඹ අපරාධ කොට්ඨාසය (සී.සී.ඩී.) කළ ඉල්ලීම් සලකා බැලීමෙන් පසුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා මේ නියෝග නිකුත් කළේය.

වකුගඩු ජාවාරමට සම්බන්ධ යැයි සැක කෙරෙන විදේශිකයන් අට දෙනා මෙරටදී භාවිතා කළ ජංගම දුරකථන පිළිබඳ දත්ත වාර්තා ලබාදෙන ලෙස ද දුරකථන සමාගම් වලට නියෝග කළේය.

මාර්තු 03 දින සිට රඳවා විමර්ශනය කරන සැකකරුවන් සතුව තිබී ඉන්දියානු රජයට, නීතිඥයින්ට හා වෛද්‍යවරුන්ට හා රෝහල් වලට අදාළ ලිපි ලේඛන 300ක් හා ඉන්දියානු රාජ්‍ය ආයතන, පෞද්ගලික රෝහල්, වෛද්‍යවරුන්, නීතිඥයින්ට අදාළ නිල මුද්‍රා 21ක් අත්අඩංගුවට ගෙන ජාත්‍යන්තර පොලිසිය හරහා වැඩිදුර විමර්ශනය සඳහා ඉන්දියාවට යොමු කර ඇති බව පොලිසිය කරුණු ඉදිරිපත් ‍කළේය.

මේ වකුගඩු සැත්කම් කළේ මෙරට කුමන රෝහල්වලද, එම සැත්කමට කොපමණ මුදලක් අය කළේද? එම වකුගඩු මිලදී ගත්තේ කවුරුන්ද යන වග අනාවරණය කර ගැනීම සඳහා අදාළ ලිපි ලේඛන අවශ්‍ය බව පොලිසිය කරුණු ඉදිරිපත් කළේය.

මෙම සිද්ධියේ පළමු සැකකරු වන විජිතගිරි ලක්ෂ්මන් කුමාර රැඳවුම් කඳවුරේ සිටියදී පැනගොස් ඇති බවට බන්ධනාගාර නිලධාරීන් කළ දැනුම්දීමකින් පසුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා වරෙන්තුව නිකුත් කළ අතර සැකකරුගේ විදේශ ගමන් තහනම් කර ඒ බව ආගමන විගමන පාලකවරයාට දැනුම් දෙන ලෙස ද දන්වා සිටියේය.

වලංගු වීසා නොමැතිව මෙරට රැඳී සිටිමින් වකුගඩු ජාවාරමේ නිරත බවට මාර්තු 03 දින කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් මේ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි. ;

සැකකරුවන් අට දෙනාගෙන් හය දෙනකුගේ වකුගඩු ඉවත් කැර ඇති බවට කරුණු අනාවරණය වන බවද පොලිසිය පැවසීය.

පැනගිය සැකකරු හැර සෙසු 07 දෙනා ඊයේ බන්ධනාගාර අධිකාරිය මඟින් අධිකරණයට ඉදිරිපත් කළේය.

මේ පුද්ගලයන් තවත් අපරාධ වලට සම්බන්ධ දැයි සෙවීමට ඔවුන්ගේ ඇඟිලි සලකුණු ඉන්දියාවට යොමු කර ඇති බව ද පොලිසිය කරුණු ඉදිරිපත් කළේය. පැන ගිය සැකකරු හැර සෙසු පුද්ගලයින් වන කේ.එන්. රාමචන්ද්‍රන්, ඩී.එස්. ශ්‍රී පවන්, ඉමිතියාස් කාන්, වයි.එස්. චාමිස් ක්‍රිස්නා, රාමචන්ද්‍රන් උප්පලා, නන්තු ශ්‍රී ගාන් හා විකි රාජන් ලබන 02 දින දක්වා රඳවා තැබීමට නියෝග කරමින් නඩුව එතෙක් කල් තැබීය.



More News »