ගැලවුණු නියපොත්තෙන් හෙළි කරගත් ඝාතනය

2016-03-08 01:44:00       582
feature-top
ඇසින් දුටු සාක්කියක් නැතිව කළ තීක්ෂණ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස කාන්තාවක ඝාතනයේ ප්‍රධාන සැකකරුවා පැය හයක් ඇතුළත අල්ලාගැනීමට කල්මුණේ පොලිස් බලධාරීන්ට පසුගිය සතියේ හැකි විය. ඒ ඇය මරා දමා තිබූ තැන තිබී සොයාගත් ලේ තැවරුණු නියපොත්තකිනි. උපායශීලීව ඝාතකයා සිද්ධිය වූ තැනට ගෙන්වා ගත් පොලිස් නිලධාරීහු ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඝාතනයේ සුලමුල ද සොයා ගැනීමට සමත් වූහ.

රාජේන්ද්‍රන් සුලක්ෂණා තිස්තුන් හැවිරිදි එක්දරු මවකි. කල්මුණේ නැප්පිට්ටිමුණෙයි ප්‍රදේශයේ ඇය පදිංචිව සිටියාය. ඇගේ දරුවාට වයස අවුරුදු අටකි. සැමියා ඇඳුම් මසන්නෙක් ලෙස සේවය කළේය. සුලක්ෂණා රැකියාව කළේ කල්මුණේ නගරයේම පිහිටි සර්වෝදයට අනුබද්ධ ප්‍රොපටි ඩිවොලප්මන්ට් නම් වූ මූල්‍ය ආයතනයක කළමනාකාරිනියක ලෙසය. එය මහල් ගොඩනැඟිල්ලක් වූ අතර පිහිටා තිබුණේ කල්මුණේ මඩකලපුව ප්‍රධාන මාර්ගයේය. කල්මුණේ පොලීසියට මීටර් පන්සියයක පමණ දුරකින්ය.

ඒ ඉකුත් විසිහත් වැනිදාය. වේලාව හවස හතරට පමණ ඇත. කල්මුණේ පොලීසියට දිවගෙන ආ වයෝවෘද්ධ අයකු එතැන සිටි නිලධාරියකුට කීවේ තම දියණිය ගෙල කපා මරා දමා ඇති බවය. සිද්ධිය වහා ඉහළ නිලධාරීන් වෙත දැනුම් දෙනු ලැබීය. සහකාර පොලිස් අධිකාරි හේමන්ත ඕවිටිගම, මූලස්ථාන පොලිස් පරීක්ෂක ඇතුළු කණ්ඩායම සිද්ධිය වූ ස්ථානයට යන්නේ ඉන් පසුවය. සිද්ධිය අම්පාර කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රණවීර මහතාට දැනුම් දෙනු ලැබු අතර ඔහුගේ උපදෙස් මත පරීක්ෂණ ඇරැඹිණ.

ප්‍රොපටි ඩිවොලප්මන්ට් මූල්‍ය ආයතනය අවට ඒ වන විටත් බොහෝ පිරිස් එක්රැස්ව සිටියහ. නිලධාරීන් ආයතනයට ඇතුළුව ඉදිරියට යද්දී දකින්නට ලැබුණේ දෙවැනි මහලේ පැසේජය අතර ඇය මරා දමා ඇති අන්දමය. ඇග් එක් අතක රෝම කූප කීපයක්ද තිබෙන අයුරු සොකෝ නිලධාරීහු දුටුහ. .

උප පරීක්ෂක ප්‍රියදර්ශන සෙසු සොකෝ නිලධාරීන්ට උපදෙස් දෙමින් ඝාතනය සිදුවූ ස්ථානය අවට උකුසු ඇස් යොමු කරමින් කිසියම් හෝ හෝඩුවාවක් සොයා ගැනීමට මහත් වෙහෙසක් ගත්තේය.

සර්... මේ නියපොත්තක්...

ලේ වැගිරී තිබූ තැනක ලේ පාටින්ම නොපෙනී තිබූ මිනිස් ඇඟිල්ලක නියපොත්තක් උප පරීක්ෂක ප්‍රියදර්ශන සොයා ගත්තේ එම සියුම් විමර්ශනයේ ප්‍රතිඵලයක් හැටියටය.

මැරුණු ගෑනු කෙනාගේ ද දන්නේ නැහැනේ...

නිලධාරියකු එසේ කීව ද සුලක්ෂණාගේ කිසිදු නියපොත්තක අඩුවක් පෙනෙන්නට නොවීය. එසේ නම් මෙය අපරාධකරුගේ වන්නට ඇත. සහකාර පොලිස් අධිකාරිවරයාගේ නිගමනය එය විය. එසේ නම් අපරාධකරුගේ ඇඟිල්ලක් තුවාල වී තිබිය යුතුය.

විමර්ශන නිලධාරීහු ඒ හෝඩුවාව ඔස්සේ තවත් සාක්කි සොයා ගැනීමට ප්‍රයත්නය දැරූහ. ඒ සුලක්ෂණා මරා දැමුවේ ඇයිදැයි අනාවරණය කරගැනීමටය.

සුලක්ෂණා මූල්‍ය ආයතනයේ කළමනාකාරිනිය ලෙස පත්වී ගත වූයේ මසකටත් අඩු කාලයකි. ඇය ඊට පෙර සේවය කර ඇත්තේ එම ආයතනයේ මඩකලපුව ශාඛාවේය. ඒ වෙද්දී කල්මුණේ මූල්‍ය ආයතනයේ සේවය කර ඇත්තේ උදය කුමාර නමැත්තෙකි. ඔහු මෙම ආයතනයේ සේවය කරද්දී කළ අක්‍රමිකතා රැසක් බලධාරීන්ට හසුවීම නිසා ඔහු මඩකලපුවට මාරු කර සුලක්ෂණා කල්මුණේ ශාඛාවට මාරු කර ඇති බව විමර්ශනයේදී හෙළි විය. ඒ උසස් වීමක්ද සමඟය. සුලක්ෂණා සමඟ තවත් සේවකයෝ තිදෙනෙක් මෙම ආයතනයේ සේවය කරති. ඝාතනය සිදු වූ දින ඉන් දෙදෙනෙක් වෙනත් රාජකාරියක් සඳහා පිටව ගොස් සිටියහ. ඉතිරි පුද්ගලයා ද දහවල් එකයි තිහට පමණ දිවා ආහාරය සඳහා ආයතනයෙන් පිටව ගොස් සිටියේය.

ආහාර ගෙන යළි ආයතනයට පැමිණි එම සේවකයාට දකින්නට ලැබී ඇත්තේ සුලක්ෂණා ගෙල කපා මරා දමා ඇති බවකි. ඔහු මේ බව පොලිසියට නොකියා කෙළින්ම ඇගේ පියාට කත‍ා කොට සැල කර තිබිණි. ආයතනයේ සිට ඇය පදිංචි නැප්පිට්ටිමුණේ වලට දුර කිලෝමීටර හතරකි. සිද්ධිය සැල වූ වහාම එතැනට පැමිණි සුලක්ෂණාගේ පියා තම දියණියට අත්වූ ඉරණම දැක කල්මුණේ පොලීසියට ගියේය.

මේ අතරතුර විමර්ශන දිගටම පැවැති අතර කණ්ඩායමේ සිටි උප පරීක්ෂක ජාලියගේ උකුසු ඇස් සුලක්ෂණාගේ කාර්යාලයීය මේසය මත වූ හෙල්මටයක් වෙත යොමු විය. එය පිරිමි හෙල්මටයකි. එය එතැනට ආවේ කෙසේදැයි කාටත් ප්‍රශ්නයක් ගෙනදුනි. ඔහු වහා මේ බව සහකාර පොලිස් අධිකාරි හේමන්ත මහතාට දැන්වීය.

ඒඇස්පීවරයා එම හෙල්මටය කාගේදැයි විමසුවේ දිවා ආහාරය රැගෙන යළි පැමිණි සේවකයාගෙනි.

සර්... ඕක අර කලින් හිටපු මැනේජර් මහත්තයාගේ... ඔහු කීවේය.

එයාගේ හෙල්මට් එක මෙතනට ආවේ කොහොමද?

සර්... එයා දවල් මෙහෙ ඇවිත් ගියේ. සමහර විට අමතක වෙලා යන්න ඇති.

සේවකයා කිසියම් දෙයක් සඟවන්නට උත්සාහ කරන බව සහකාර පොලිස් අධිකාරිවරයාට වැටහිණි. ඔහු වහා එම සේවකයා ලවා හිටපු කළමනාකරු උදය කුමාර්ට දුරකථන ඇමතුමක් දුන්නේ ඉක්මනින් පැමිණ හෙල්මටය අරන් යන්නැයි පවසන ලෙසට උපදෙස් ද දෙමිනි.

පොලීසියෙන් ඇවිත් ඉන්නවා කියලා කියන්න එපා... තමුසෙ කියනවා ඇවිත් හෙල්මට් එක අරන් යන්න කියලා.

සහකාර පොලිස් අධිකාරිවරයා කී දේ ඒ අයුරින්ම උදය කුමාර්ට කියන්නට සේවකයාට සිදු විය. ගත වූයේ විනාඩි ගණනකි. උදය කුමාර් සිය හිස්වැසුම ගන්නට එතැනට පැමිණියේය. විමර්ශන නිලධාරීන්ගේ උකුසු ඇස් ඔහු වෙත යොමු විණි.

සහකාර පොලිස් අධිකාරිවරයා කෙළින්ම බැලුවේ ඔහුගේ දෑත් දෙසය. ඔහු අතක එක් ඇඟිල්ලක් නවාගෙන සිටී.

මොකද ඔය ඇඟිල්ල නමාගෙන ඉන්නේ.

තුවාලයක් වෙලා සර්...

ඇයි මොකද

මැෂින් එකට අහුවුණා සර්.

හරි. කෝ දිග අරිනවා බලන්න

ඒ සමඟම උදය කුමාර් බියෙන් තැති ගනිමින් මුහුණ පුරා දහදිය බිංදු මතුවන අයුරු සහකාර පොලිස් අධිකාරිවරයාගේ උකුසු ඇසට හසු විය. පළපුරුදු නිලධාරියා සුලක්ෂණා ඝාතනයේ සැකකරු මොහු බව තහවුරු කරගත්තේ ඔහුගේ ඇඟිල්ල හොඳින් නිරීක්ෂණය කිරීමෙන් පසුවය. ඇඟිල්ල ඒ වන විටත් රුධිරයෙන් පෙඟී තිබිණ. බියට පත්ව සිටි ඔහු හෙල්මටය ගන්නට ආවේ පොලීසිය එතැනට පැමිණ සිටින බව නොදැනය.

උදය කුමාර් රඳවාගත් නිලධාරීහු ඔහු අසුනක හිඳුවා ප්‍රශ්න කරන්නට වූහ. මේ වන විට මූල්‍ය ආයතන ගොඩනැඟිල්ල වටා එක්රොක්ව සිටි පිරිස ඉතා කලහකාරී ලෙස හැසිරෙමින් සිටියහ. පිරිසට අමතරව වටා ඇති ගොඩනැඟිලිවලට ද නැඟ ගත් පිරිස් ද කෑකෝ ගසන්නට වූහ. කළමනාකාරිනියගේ ඝාතනය මෙන්ම පොලීසියට එරෙහිව මෙලෙස හඬ නැඟීම සාමාන්‍ය සිරිතක් බව දැනගෙන සිටි සහකාර පොලිස් අධිකාරිවරයා ඒ බව නොතකා සැකකරුගෙන් ප්‍රශ්න කරන්නට වූයේ කළමනාකාරිනිය මරා දැමුවේ මන්දැයි දැනගන්නටය.

මුලින් මුලින් නොයෙකුත් බොරු බේගල් කීව ද ගැලවුණු නියපොත්තෙන් අපරාධය අනාවරණය වන බවට කරුණු කාරණා සහිතව පෙන්වා දුන් සහකාර පොලිස් අධිකාරිවරයා ඇත්ත කියන ලෙස සැකසරුට නියෝග කළේය.

මම දවල් ආවේ මගේ පර්සනල් ෆයිල් එක ගන්න... ඒක ඉල්ලුවාම අපි අතර ප්‍රශ්නයක් ඇතිවුණා. මට ඒ වෙලාවේ තරහ ගියා. මම එයාගේ කම්මුලට ගැහැව්වා. එයත් මට ගැහුවා. ඒ පාරට එයා වැටුණා. අපි පොර බැදුවා. එතකොට එයාගේ කටට මගේ දකුණු අතේ දබරැඟිල්ල ගියා. එයා ඇඟිල්ල හපාගෙන හිටියා. මම බෙල්ල තද කරලා ඇඟිල්ල ඇදලා ගනිද්දී මගේ නියපොත්ත ගැලවුණා. එයා තුඃ ගාලා කටේ තිබුණු නියපොත්ත එළියට විසි කළා. පස්සෙ මම වටපිට බලද්දී පිහියක් දැක්කා . ඒකෙන් එයාගේ බෙල්ල කැපුවා.

උදය කුමාර් පොලීසිය හමුවේ කියන්නට විය. ඇගේ ගෙල සිඳ පිටුපස ඇති වතුර පයිප්පෙන් දෙඅත් හා පිහිය සෝදා දැමු බව ද ඔහු කීවේය. ඒත් තම හිස්වැසුම ගෙන යන්නට අමතක වූ බව ද කීවේය. පසුව ඔහුගේ ප්‍රකාශය සටහන් කරගත් අතර සිද්ධියට පැය හයක් යන්නට මත්තෙන් ඝාතකයා අත්අඩංගුවට ගැනීමටත් සියල්ල හෙළිකර ගැනීමටත් නිලධාරීන්ට හැකි විය.

මරා දැමුණු සුලක්ෂණා දක්ෂ සේවිකාවක වූ අතර ඇය මෙම ආයතනයේ කළමනාකාරිනිය ලෙස පැමිණීමෙන් පසුව සැකකාර උදය කුමාර් කරන ලද අක්‍රමිකතා රැසක් හෙළි කරගැනීමට උත්සාහ දරා ඇති අතර ඒ නිසා දෙදෙනා අතර කිසියම් අමනාපකමක් ඇතිවී තිබෙන බව ද පරීක්ෂණවලදී හෙළි වී ඇත. එහෙත් ඔවුහු එකම ගමේ ඥාතිහු වූහ.

ඇගේ සිරුර පිළිබඳව පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වූයේ ඇය මියගොස් තිබුණේ ගෙල කපා දැමීමෙන් බවය. සැකකරු සුලක්ෂණා මරා දැම්මේ අරමුණෙන්ම පිහියක් ගෙනෙන්නට ඇතැයි පොලීසිය සැක කරයි. පිහිය සොයා ගැනීම සඳහා ඒ අවට ඇති ළිඳක් සම්පූර්ණයෙන්ම වතුර ඉවත් කර සෝදිසියට ලක් කළ ද පිහිය සොයා ගැනීමට තවමත් හැකි වී නැත.

සුලක්ෂණා ඝාතනය සැකකරු විසින් කරන ලද්දක් බවට අධිකරණයේදී ඔප්පු කිරීමට ඔහුගේ ලේ තැවරුණ නියපොත්තේ ඇති පටක කොටස් ඩී. එන්. ඒ. පරීක්ෂණයක් සඳහා යොමු කරන බව කී සහකාර පොලිස් අධිකාරිවරයා මියගිය කාන්තාවගේ මුවේ ඇති පටක කොටස් සමඟ එය සසඳා බලන බව ද කීවේය. මීට අමතරව ඇගේ අතේ ගුලිවී තිබූ රෝම කූප ද ඩි. එන්. ඒ. පරීක්ෂණ සඳහා යොමු කෙරෙනු ඇත.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කොට රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇත.

අම්පාර කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී. ආර්. එල්. රණවීර මහතාගේ අධීක්ෂණය යටතේ අම්පාර හා කල්මුණේ බාර සහකාර පොලිස් අධිකාරි හේමන්ත දික්ඕවිට මහතාගේ මෙහෙයවීමෙන් කල්මුණේ මූලස්ථාන පොලිස් පරීක්ෂක ජබාර් හා අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති කේ. එල්. නිමල් ඇතුළු කණ්ඩායමක් මේ පිළිබඳ පරීක්ෂණවලට එක්වූ අතර අම්පාර සෝකෝ අංශයේ උප පරීක්ෂක ප්‍රියදර්ශන හා බුද්ධි අංශ‍යේ උප පරීක්ෂක ජාලිය යන මහත්වරු විමර්ශනය සාර්ථක කර ගැනීමට සහාය වූහ.

පොලිස් පරීක්ෂණ ඇසුරෙන් ලිපිය සකස් විය.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »