භාරත ඝාතනයේ සැකකරුවන්ට වෙඩි

2016-03-03 10:37:00       582
feature-top
කොළඹ මහාධිකරණයේ සිට වැලිකඩ බන්ධනාගාරය දක්වා සැකකරුවන් ප්‍රවාහනය කළ බස් රථයකට ඊයේ (2) සවස 3.00ට පමණ එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනය හා බ්ලුමැන්ඩල් ප්‍රදේශයේ ඝාතනවලට සම්බන්ධ දෙමට‍ෙගාඩ චමින්ද බරපතළ ලෙස තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

සැකකරුවන් ගමන් ගත් බන්ධනාගාර බස් රථය මාලිගාවත්ත ඔස්සේ දෙමටගොඩ හන්දියෙන් බේස්ලයින් මාවතට පැමිණෙද්දී නාඳුනන තුවක්කුකරුවන් පිරිසක් යතුරු පැදියකින් හා මෝටර් රථයකින් පැමිණ මෙම ප්‍රහාරය එල්ල කැර තිබේ.

මේ සිද්ධියෙන් බරපතළ ලෙස තුවාල ලැබූ සිරිනායක පතිරණ චමින්ද රවි ජයනාත් හෙවත් දෙමටගොඩ චමින්ද නමැත්තා ඊයේ (03) රාත්‍රී හදිසි සැත්කමකට භාජනය කළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා සහාසික ලෙස ඝාතනය කිරීමේ චෝදනාවට ලක්ව සිටි චමින්ද ඉන්දියාවට පලාගොස් සැඟවී සිටියදී ඉන්දියාවෙන් පිටුවහල් කිරීමෙන් පසු 2011 ඔක්තෝබර් මස 12 දින කටුනායක ගුවන්තොටුපොළේදී රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා ඇතුළු කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

අපරාධ රැසකට ‍පොලිසියට අවශ්‍යව සිටි දෙමටගොඩ චමින්ද ඉන්දියාව, තායිලන්තය සිංගප්පුරුව වැනි රටවල නිතර සංචාරය කරන පුද්ගලයකු ලෙස ප්‍රචලිතව සිටි අතර වැල්ලම්පිටියේ පප් චුටි නැමැත්තාගේ කොන්ත්‍රාත්තුවකට අනුව අලුත්කඩේ උසාවි සංකීර්ණය අසලදී ජයවර්ධන නමැති බස් රියදුරකුට වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවට 2004 වර්ෂයේදී මුලින්ම අත්අඩංගුවට පත් වූයේය. එම සිද්ධියෙන් පසු ටී-56 වර්ගයේ ගිනි අවි දෙකක් පිස්තෝලයක් සහ තවත් අවි ආයුධ කීපයක් සමඟ 2005 වසරේදී යළිත් අත්අඩංගුවට පත්වූ චමින්ද නමැත්තා අකුරු ලිවීමේ හැකියාව පවා නොමැති අත්සන වෙනුවට ඇඟිලි සලකුණ තබන අයෙකි.

අවසාන වශයෙන් ඔහුට චෝදනා එල්ල වූයේ පසුගිය පාර්ලිමේන්තු මහා මැතිවරණ සමයේ රවි කරුණානායක මහතාගේ ප්‍රචාරක වැඩසටහනකට කඩාවැදී වෙඩි තබා කාන්තාවක ඝාතනය කිරීමේ සිද්ධියකටය.

භාරත ලක්ෂ්මන් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ඇප ලබා දී තිබියදී වෙනත් නඩු සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි චමින්ද ඊයේ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැති නඩු විභාගයකට ඉදිරිපත් කළ යුතුව තිබුණද මොහු ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලකින් සමන්විත භාරත ලක්ෂ්මන් ඝාතන නඩු විභාගයට ඉදිරිපත් කර සිටිනිසා මහේස්ත්‍රාත් අධිකරණයෙන් නඩු සඳහා ඉදිරිපත් කර තිබුණේ නැත. මේ වෙඩි තැබීමේ සිද්ධිය සවස 3.30ට පමණ සිදු වුවද වෙඩික්කරුවන් පෙරවරුවේ සිට උසාවි සංකීර්ණය අසල රැඳී සිටි බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි වාර්තා වෙයි. ඊයේ පස්වරු 3.30ට පමණ අලුත්කඩේ උසාවි සංකීර්ණයේ සිට වැලිකඩ බන්ධනාගාරය වෙත ධාවනය වෙමින් තිබූ එම බස් රථය මාලිගාකන්ද ප්‍රදේශයේ ධාවනය වෙමින් තිබියදී යතුරුපැදියකින් සහ මෝටර් රථයකින් පැමිණි ආයුධ සන්නද්ධ පිරිසක් එය වටකර මෙම ප්‍රහාරය එල්ල කර තිබේ. එම බන්ධනාගාර බස් රථයේ පාතාලයට සම්බන්ධ යැයි කියන ආමි අමිල ඇතුලු තවත් පිරිසක් සිටි බව ද වාර්තා ‍විය. එහෙත් වෙඩි වැදී තිබුණේ දෙමටගොඩ චමින්දට පමණි.

මෙම බන්ධනාගාර රිය සිද්ධිය වූ මාලිගාකන්ද ප්‍රදේශයෙන් පස්වරු 3.30ට පමණ ගමන් කරද්දී මෝටර් කාර් රථයක් සහ යතුරුපැදියකින් පැමිණි පිරිසක් ගිනි අවි රැගෙන බැස එම වෙඩිතැබීම සිදුකර පලාගිය බව සිද්ධිය ඇසින් දුටු පිරිස පවසා තිබේ.

මෙම වෙඩි තැබීම අනුව වෙඩි තැබූ පිරිස දෙමටගොඩ චමින්ද ඉලක්ක කර ඇතැයි සැකකෙරෙන අතර, සිද්ධිය වූ වහාම එහි ගමන් ගත් සෙසු සිරකරුවන් ආරක්ෂිතව එම බස් රථයෙන්ම රැගෙන යාමට බන්ධනාගාර නිලධාරින් පියවර ගෙන තිබුණි. සිද්ධිය සම්බන්ධව දෙමටගොඩ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

සැකකටයුතු වෙඩික්කරුවන් සහ ඔවුන් පැමිණි වාහන හඳුනාගැනීමට හා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විශේෂ මෙහෙයුමක් දියත්කර තිබුණි.



Wmqgd .ekSu kK mqj;a m; weiqfrks

More News »