තාජුඩීන් මරණය ඝාතනයක්‌

2016-02-26 11:29:00       659
feature-top
* දහසය දෙනකුගෙන් ප්‍රකාශ ලබා ගනී

සැකකරුවන් අත්අඩංගුවට ගන්න අධිකරණය නියෝග කරයි

සමන්ත ඉලේපෙරුම

අමානුෂික ලෙස පහරදීමට ලක්‌ව සිය මෝටර් රථය තුළ පිළිස්‌සී මියගිය රගර් ක්‍රීඩක මොහොමඩ් තාජුඩීන්ගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්‌ බවට තීරණය කළ කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් නිශාන්ත පීරිස්‌ මහතා ඝාතනයට සම්බන්ධ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ඊයේ (25 දා) නියෝග කළේය.

සිද්ධිය සම්බන්ධ පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්‌ථාවේදී මොහොමඩ් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් සිය නිගමනය ප්‍රකාශයට පත් කරමින් මහෙස්‌ත්‍රාත්වරයා එසේ නියෝග කළේය.

පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්‌ථාවේදී වැඩිදුර වාර්තාවක්‌ මගින් කරුණු දැක්‌වූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිද්ධියට අදාළව මේ වන විට 16 දෙනකුගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති බවත් මියගිය අය ගමන් ගත් වාහනය ඇතුළත් වීඩියෝ පට පරීක්‍ෂණ සඳහා යෑවීමට විදේශීය ආයතන සමඟ සාකච්ඡා සිදු කරන බවත් දන්වා සිටියේය.

මෙම මරණය සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති වාර්තා අනුව මහෙස්‌ත්‍රාත් නිගමනය ප්‍රකාශයට පත් කිරීමට ඇති බැවින් ඒ සඳහා සුදුසු නියෝගයක්‌ නිකුත් කරන ලෙසද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියේය.

ඒ අනුව රගර් ක්‍රීඩක මොහොමඩ් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් සිය නිගමනය ප්‍රකාශයට පත් කළ මහෙස්‌ත්‍රාත්වරයා අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතාගේ හා විශේෂඥ වෛද්‍ය මණ්‌ඩලයේ පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තා ද රස පරීක්‍ෂක හා ජින්ටෙක්‌ ආයතනයේ වාර්තා ද කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක ආයතනයේ වාර්තා ද මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වාර්තා ද පැමිණිල්ල වැඩිදුර වාර්තා මගින් දක්‌වා සිටි පරීක්‍ෂණ කරුණු ද සැලකිල්ලට ගැනීමේදී ලංකා දණ්‌ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය අනුව මනුෂ්‍ය ඝාතනයක්‌ සිදුව ඇති බවත් ඒ අනුව විමර්ශනයේදී හඳුනාගත් සැකකරුවන් හා සිද්ධියට සම්බන්ධ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසත් නියෝග කළේය.

සිද්ධියට අදාළව සොයා ගෙන ඇති සී. සී. ටී. වී. තැටි නොපමාව විදේශීය ආයතනයක්‌ වෙත යවා වාර්තා ලබාගැනීමට පියවර ගන්නා ලෙසද නියෝග කළ නිශාන්ත පීරිස්‌ අතිරේක මහෙස්‌ත්‍රාත්වරයා මුල් පශ්චාත් මරණ පරීක්‍ෂණය සිදු කළ වෛද්‍යවරුන් සම්බන්ධයෙන් වෛද්‍ය විද්‍යාව මගින් පවත්වන පරීක්‍ෂණ තවදුරටත් සිදු කරන ලෙසත් පැමිණිල්ලේ වැඩිදුර විභාගය ලබන 23 දා නැවත කැඳවන ලෙසත් නියෝග කළේය.


Wmqgd .ekSu jhsk mqj;a m; weiqfrks

More News »