පාසල් ගිය රුවනිට බබෙක්

2015-08-21 03:06:00       569
feature-top
හීන එක්ක ගොඩගැහුණු බලාපොරොත්තු ඉටු කරගන්න අපි කොයිතරම් නම් කාලයක් පෙරුම් පුරනවද? හිතේ එහා මායිම හරියට ඈත පේන සිතිඡුය වගේ.... මේ හීනවලට කෙළවරක් නැහැ. තත්පරෙන් තත්පරේ, දවසින් දවස, හිතේ ගොඩ ගැහිච්ච හීන කන්ද එකපාරටම කඩා වැටෙන්න ගත වෙන්නේ පුංචිම පුංචි තත්පර ගාණක් විතරයි. මේ හීනත් එක්ක ඔයාගේ ජීවිතෙත් කඩා වැටුණොත්.....?

හීන බොඳ වෙලා යනවා, බලාපොරොත්තු කඩා වැටෙනවා. ඒවට වහල් වෙලා ඔයාගෙ ජීවිතේ විනාශ වුණාට පස්සේ බලාපොරොත්තු පොදි ගහගත්ත අම්මා අප්පච්චිගේ කඳුළුවල ණය ගෙවන්න ආත්ම ගාණකටවත් බැහැ.

ආදරේ කියන්නේ සොඳුරු දෙයක් වගේම ඒ ආදරේ ඇතුළේ ගැබ් වෙච්ච භයංකර දේකුත් තියෙනවා. ඔයාගේ පාට පාට හීන ලෝකෙ තේරුම්ගන්න අමාරුයි. අද ආදරය ලිංගිකත්වය මත ගොඩනගාගත්ත දෙයක් බවට පත් වෙලා. අද ආදරෙයි කියලා. හෙට හෝටල් කාමරයක් ඇතුළේ තනි වෙන ඔයා ආදරේ දකින්නේ ලිංගිකත්වය තුළින්. අද සමාජය එතරම්ම විපරිත වෙලා.

සුදු ගවුමෙන් සැරසිලා පොත් මිටිය තුරුලූ කරන් පාසල් යන්න  ඕන දරුවො දරු ගැබක් දරාගෙන උසාවි භූමියේ දහසකුත් වේදනාවන් එක්ක තර්ක විතර්ක මැද්දෙ අතරමං වෙලා.

මේ අතරමං වුණ චරිත අතර රුවනි මට මුණගැහුණේ දිවුලපිටියේ ප‍්‍රදේශයේ පිහිටි එක්තරා ළමා නිවාසයකදී.

ඇය ජීවිතේ මේ විදිහට අතරමං වෙලා ඉන්නේ ඇගේම වරදින්. ඇගේ සුන්දර රූපය, සිනහව දුටුවන්ගේ සිත්සතන් මවිත කරන්නට තරම් ඇය රූමත් යුවතියක්. එහෙත් ඇගේ ජීවිතේ ලියවුණු අඳුරු කථාව ඇගේ රූපය වගේ සුන්දර වුණේ නැහැ. ඇය තවමත් වැටුණු ළිං කටෙන් ගොඩ එන්න මාවතක් සොයනවා. ඒත් ඒ ළිං කටෙන් ගොඩට එන්න පාර කපන්න කාටවත්ම බැහැ.

ඇත්ත

මේ වළට පැන්නේ මමයි...

මේ වළෙන් ගොඩඑන්න  ඕනෙත් මමමයි

ජීවිතේ කියන්නේ මහ පුදුමාකාර දෙයක්. ඇයි මගේ ජීවිතේට මේ වගේ දෙයක් වුණේ කියන එක මට තවමත් හිතා ගන්න බැහැ ඇය ඇගේ කථාවට මුල පිරුවෙ මේ විදිහට.

කළුතර දිස්ත‍්‍රික්කයේ මධ්‍යම පාන්තික පවුලක උපන් ඇය එහා මෙහා දුව පැන්නේ පවුලේ බඩපිස්සි ලෙස කාගෙත් ආදරයට පාත‍්‍ර වෙමින්.

ඇගේ දඟකාරකම්වලට මව්පියන් කෙදිනකවත් තරවටු කළේ නැහැ. මන්ද ගෙදර සියලූ දෙනාගේම සුරතලිය ඇය වුණු නිසා. සහෝදරයන් දෙදෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා වුණු ඇයට සහෝදරයන් දෙදෙනාට වඩා ලොකු ආදරයක් ලැබුණා. රුවනිගේ සහෝදරයින් දෙදෙනා නේවාසිකව ඉගෙන ගනිද්දි රුවනිව සැප පහසුවට පාසල් වෑන් රථයෙන් පාසලට යැව්වා....

කාලයාගේ ඇවෑමෙන් දවසින් දවස ඇය භද්‍ර යෞවනයේ දොරකඩට පැමිණියත් මේ විසිතුරු සමාජය ගැන පුංචි දැනුමක්වත් ඇයට තිබුණෙ නැහැ. රුවනි පාසල් ගියේ ප‍්‍රසිද්ධ බාලිකා පාසලකට. ඇයට උරුම වෙච්ච සුන්දර රූපයක් එක්ක අනංගයාගේ මල් හීසරවලින් අඩුවක් තිබුණෙ නැහැ.

රුවනි කෙමෙන් කෙමෙන් පා තැබුවේ අපොස සා.පෙළ කඩඉමට... සා.පෙළ කඩඉමත් සමඟ ඇගේ කාලසටහන් සියල්ල වෙනස් වුණා. වෙනදා පාසල නිම වෙලා සුපුරුදු විදිහට පාසල් වෑන් රථයෙන් පැමිණි රුවනි උපකාරක පන්ති නිමවෙලා නිවෙසට ආවේ හැන්දෑ වෙලා... දිනපතා පාසල නිමවෙලා උපකාර පන්ති සඳහා සහභාගී වෙන රුවනි ගෙදර ආවේ තනියම නෙමෙයි. යහළුවන් සමඟ... මේ නිසා ඇගේ මව බියෙන් සැකෙන් තොරව ඇය එනතුරු මඟ බලා සිටියා...

පෞද්ගලික බස් රථයෙන් නිතිපතා පැමිණෙන ඇයට එම බස් රථයේ කොන්දොස්තර මහතාගේ බැල්මේ යම් වෙනසක් දැනුණා.

ඇය මානයේ ඉඟි බිඟි පාන කොතෙකුත් පේ‍්‍රම කුරුල්ලන් වටේ කැරකුණද කොන්දොස්තර මහතාගේ බැල්ම ඇයට අලූත් වුණා. දිනපතා නිවෙසට පැමිණෙන බස්රථයේ කොන්දොස්තර මහතාගේ සමහර වදන් රුවනිගේ සිතේ තැන්පත් වෙන්න පටන් ගත්තා.

දවසින් දවස දලූලා වැඩුණු මේ ඇඳුරුම්කම පේ‍්‍රමයකට පෙරළෙන්න මහකාලයක් ගියේ නැහැ. පේ‍්‍රමාන්විත හැඟුමන් හදවතට තුරුලූ කරගෙන ගෙදරට ගොඩවඳින රුවනි ජීවත් වුණේ හීන ලෝකෙක.

අසංක කියන්නේ පෞද්ගලික බස් රථයේ කොන්දොස්තරවරයා. අසංක කුරුණෑගල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු සේවය කළේ කළුතර ප‍්‍රදේශයේ පෞද්ගලික බස් හිමිකරුවෙකුට අයත් බස් රථයක. අසංකගේ ආදරේ තමයි රුවනිගේ ජීවිතේ කුළුදුල් ආදරය වුණේ. මේ නිසා රුවනිගේ හදවතේ අසංකගේ ආදරේ තදින්ම තැන්පත් වුණා.

එහෙත් අසංක කියන්නෙ කවුද? ජීවත් වෙන්නේ කොහෙද? කියලා අසංක කියනවට වඩා එහා දෙයක් දැන ගන්න තරම් රුවනිට උවමනා වුණේ නැහැ.
මට ඔයත් එක්ක ටිකක් නිදහසේ කථා කරන්න  ඕන රුවනි, අපි නිදහස් තැනකට යමුද?

මෙය රුවනිට අසංක කළ පළමු ඇරයුම විය. රුවනි දෙවරක් නොසිතාම එකහෙළා අසංකගේ ඇරයුමට හිස නැමුවේය. ඒ ඇය මේ කුරිරු සමාජය ගැන බරපතළක් නොදන්නා නිසාය.

කාලය ගත විය. රුවනිගෙත් අසංකගෙත් ආදරය සුපුරුදු ලෙස රහසක් ලෙස පැවතුණි. වැඩිමහල් පුතුන් දෙදෙනාට වඩා ඇගේ මවගෙත්, පියාගෙත් එකම බලාපොරොත්තුව වූයේ තම එකම දියණියට හොඳ අධ්‍යාපනයක් ලබා දීමටය. සොහොයුරන් දෙදෙනාගේද ජීවිතය වුයේ තම නැගණියයි.

ඇගේ මව මෙම දරුවන් තිදෙනාටම කෙදිනකවත් අතක් උස්සා තරවටු කළේ නැත. කුමන වරදක් කළද දරු සෙනෙහසට ඒ සියලූ දේ යටපත් විය... ඒ ආදරයත් සමඟ හැදී වැඩුණු රුවනි කෙදිනකවත් ඇගේ ජීවිතය මෙලෙස වරද්දවා ගනීවි යැයි ඇයගේ මව සිහිනෙන්වත් නොසිතන්නට ඇත.... එහෙත් ඇගේ ආත්මය දැන් විනාශ වී හමාරය. කල්පනා බර ලෝකයක අතරමං වී සිටි රුවනි නැවත ඇගේ හඬට පණක් දුන්නා....

මම ජීවිතේ මුලින්ම පේ‍්‍රම සබඳතාවක් කියලා ආදරය කරන්න පටන් ගත්තේ අසංක අයියට. මම හැමදාම උපකාරක පන්ති නිම වෙලා ගෙදර ආවේ අසංක අයියා වැඩ කරපු බස් එකේ. මුලදි එයා සාමාන්‍ය විදිහට කථා කළත්, අසංක අයියා මට ආදරය කරනවා කියලා මට දැනුණා. පස්සේ පස්සේ මගේ හිතත් අසංක අයියට ආදරය කරනවා කියලා මට දැනුණා. අම්මා කවදාවත් මාව සැක කළේ නැහැ. මම කරන්නේ වැරදි දෙයක් කියන එක මම එච්චර හිතුවෙ නැහැ. අසංක අයියා මගේ ජීවිතේට ආව දවසේ ඉඳලා ඉගෙන ගන්න තිබුණු ආසාව ටිකෙන් ටික අඩු වෙලා ගියා. ඒත් අම්මගෙයි, තාත්තගෙයි එකම හීනය වුණේ මාව දොස්තර කෙනෙක් කරන්න. මම සාමාන්‍ය පෙළ පන්තියෙ ඉන්නකොට ලොකු අයියා උසස්පෙළ කරලා රැකියාවකට අයදුම් කරලා හිටියේ. ඒත් ලොකු අයියට මගේ සමහර දේවල් ඉවෙන් වගේ දැනෙන්න ගත්තා. මේ නිසාම පාසල් දිනවලට අසංක අයියා මුණ ගැහෙන්න මම බයවුණා. නිවාඩු දිනවලට මම උපකාරක පන්ති ගියේ ඉගෙන ගන්න තියෙන ආසාවට නෙමෙයි. අසංක අයියටත්, මටත් මුණ ගැහෙන්න වෙන ක‍්‍රමයක් නැති නිසා. එයාගෙන් දුරස්වෙලා ඉන්න හැම මොහොතක්ම මට දැනුණේ කල්පයක් වගේ. ඒ වෙනකොට මට අසංක අයියා නැති ජීවිතයක් ගැන හිතාගන්නවත් බැරුව හිටියේ. අපි හමුවෙලා වෙන් වෙන හැම මොහොතකම මම හිතුවෙ ආයෙත් හමුවෙන මොහොතක් ගැන. අසංක අයියා වෘත්තියෙන් කොන්දොස්තරවරයෙක්. මගේ පවුල් පසුබිමට අසංක අයියා ගැළපෙන්නෙ නැහැ කියලා මගේ යාළුවො කියද්දි මගේ හිත ආදරේ සෙව්වෙ එයාගෙන්. ඒක මගේ හිතත් දන්නවා. ඒක අසංක අයියත් දැනගෙන හිටියා. ඒත් මගේ ජීවිතේ වුණේ අසංක අයියා.


දවසක්, එදා පෝය දවසක් මම ගෙදරින් ආවේ උපකාරක පන්ති යනවා කියලා. අසංක අයියයි මමයි එදා කළුතර බෝධියටත් ගියා. මම එදා ගෙදරින් එනකොට ලොකු අයියත් මගේ පස්සෙන් ඇවිල්ලා. අපි දෙන්නා හැමදාම මුණ ගැහුණ තැනක් තිබුණා. අපි දෙන්නා එතන කථා කරකර ඉන්න කොට ලොකු අයියා ඇවිල්ලා අසංක අයියට ගැහුවා.


එදා අයියා මාවත් ඇදගෙන ගෙදර ගියා. කවදාවත් මම ඒ වගේ දෙයක් කරාවි කියලා විශ්වාස නොකරපු අම්මයි අප්පච්චියි හොඳටම ඇඬුවා. අසංක අයියා ගැන ලොකු අයියා සොයාගත්තු හැමදේම අම්මටයි, අප්පච්චිටයි කිව්වා. දින ගණනාවක්ම මට පාසල තහනම් වුණා. ටික දවසකට පස්සේ අම්මා අප්පච්චිගෙන් අවසර අරන් මට ආයෙම පන්ති යන්න අවසර දුන්නා. නැවත අම්මගෙන් ලැබුණු අවසරයත් සමඟ රුවනි ඉගිල්ලූණේ අසංකට ළං වෙන්න.

අසංක නොදැකපු දින ගණනාව ඇයට දැනුණෙ කල්පයක් වගේ. ගෙදර අම්මා, අප්පච්චිගෙ, අයියලා දෙන්නගේ තාඩන පීඩන නිසාම ඇය සිටියේ වෛරයකින්. මේ නිසාම ඇය අසංකට අසීමිතව ළං වෙන්න ගත්තා. ටියුෂන් පන්ති යන සෑම දිනකම අසංක සමඟ හෝටල් කාමරවල ලැඟුම් ගත්ත රුවනි ආදරය දැක්කේ ලිංගිකත්වයෙන්.


ඒ වෙනකොට රුවනි මුළු ලෝකයටම හොරා ගැහැනියක් වෙලා ඉවරයි. ඒ අතරතුර ඇයට දරුවෙක් හම්බවෙන ලකුණු පහළවීමත් එක්ක ඇගේ මුළු ජීවිතේම දෙපතුලට කඩා වැටුණා.

ඇඟට දැනුණු වෙනස්කම් එක්ක ඉස්කෝලේ යන්න තරම් මානසිකත්වයක් මට තිබුණෙ නැහැ. දරුවෙක් ලැබෙන්න ඉන්නවා කිව්වාම අසංක අයියා එකපාරට කිව්වෙ දරුවා නැති කරමු කියලා. මට බය හිතුණා. මම කිව්වා මාව කොහේ හරි එක්ක යන්න කියලා. අසංක අයියට මාව එක්ක යන්න තැනක් තිබුණේ නැහැ. මට කසාද බඳින්න වයස නැති නිසා දරුවා නැති කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබුණෙ නැහැ.


ඒත් මට මේ කිසිම දෙයක් ගෙදරින් වසන් කරන්න පුළුවන් වුණේ නැහැ. අම්මයි, අප්පච්චියි මාත් එක්ක වචනයක්වත් කථා කළේ නැහැ. ඒ මොනවා වුණත් මාව ගෙදර තියාගත්තා. ඒ හිටියත් ගෙදර මට සැලකුවෙ බෝඩිංකාරියක් විදිහට. ඒත් ඒ හැමදේම මම විඳදරාගෙන හිටියා. අසංක අයියා දවස් ගාණක් හොඳටම බීලා අපේ ගෙදරට ඇවිල්ලා මාව බඳින්න අවසර දෙන්න කියලා අම්මගෙයි, අප්පච්චිගෙයි කකුල් අල්ලලා ඇඬුවා. අසංක අයියගේ බලපෑම් නිසා මට තවදුරටත් ගෙදර ඉන්න පුළුවන්කමක් තිබුණෙ නැහැ.

දවසක් අයියලා දෙන්නා කිව්වා. උඹ ගෙදරින් පලයං. උඹ වගේ නංගි කෙනෙක් හිටියෙ නැහැ කියලා අපි හිත හදාගන්නවා කියලා. මගේ ජීවිතේ විනාශ කරගැනුණේ මා විසින්මයි. මේ දේවල් වලට උත්තර සොයන්න  ඕනෙත් මම නිසා ගෙදරින් එළියට බැහැලා යන්න මම තීරණය කළා. මම යන්නේ කොහෙද? මොකද කරන්නෙ කියලා ගෙදර කවුරුත් මම ගැන සෙව්වෙ නැහැ. මම ගෙදර හිටියත් අම්මලා මාව පවුලෙන් අයින් කළා.

මම එදා එළියට බැහැලා ගියේ ආයෙම ගෙදර යන්න සිතාගෙන නෙමෙයි. එදා අපි දෙන්නා කොළඹට ගිහින් නුවර යන්න තීරණය කළා. අපි එදා ලැඟුම් ගත්ත හෝටල් කාමර හදිසි වැටලීමට ලක් වුණා. මම බාලවයස්කාර නිසා මාව පොලිසීයට අරන් ගියා. අසංක අයියට කරන්න දෙයක් තිබුණේ නැහැ. අපි කැමැත්තෙන් ආව කිව්වත් මට වයස සම්පූර්ණ නැති නිසා මාව පරිවාස ගත කළා. ගෙදරින් මාව භාරගන්න කැමති වුණේ නැහැ. අප්පච්චි උසාවියටවත් මාව බලන්න ආවේ නැහැ. අයියලා දෙන්නා මාව සහෝදරිය විදිහට කවදාවත් භාරගන්න කැමති නැහැ කියලා උසාවියේදි කිව්වා.


රුවනිගෙ අම්මායි, අප්පච්චියි හීන මැව්වෙ ඇයව දොස්තර නෝන කෙනෙක් කරන්න. ඒ සියලූ දේ දැන් බොඳ වෙලා ගිහිල්ලා.


මේ සමාජය ඇතුළේ ඇය දැන් අවලංගු කාසියක් වෙලා. කුසේ තියාගෙන රැකලා, අතපය නොකඩා හදලා අවසානයේ දරුවන්ගෙන් ලැබෙන්නෙ මේ වගේ දුකක් නම්. මේකද අද සමාජය.

දසමාසයක් කුසේ තියාගෙන රැුකලා, ලේ කිරි කරලා පොවලා, කැතකුණු අතගාලා, ඔයාව පෝෂණය කරන්න පුළුවන් නම්, ඔයාගේ හොඳම යාළුවා වෙන්න අම්මාට බැරි වෙන්නේ ඇයි? ගැහැනු ළමයෙකුට වැරදුණොත් වැරදුණාමයි. නැතිවුණ චරිතය නැවත ගන්න බැහැ. අම්මගෙ සෙවණැල්ල දියණිය නම් කවදාවත් ඒ දියණිවරු වැරදි පාරේ යන්නෙ නැහැ.

Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks

More News »