මඟ මරු බිලිගත් නූපන් පුතුනේ නාඬන් අම්මත් නුඹ ළඟ ඉන්නේ!

2015-07-10 10:11:00       571
feature-top
අම්මෙ, මං තව දවස් දෙකකින් අම්මලයි ගෙදර එනවා. බබා හම්බ වෙන්න තව තියෙන්නෙ දවස් කීපයයි. එහෙම කියලා ගිය මගේ රත්තරං දුව අපේ ගෙදර ආවෙ පෙට්ටියකින්. අපි ආසාවෙන් බලන්න හිතා ගත්තු පුංචි කිරිකැටියාත් දැන් අපට නෑ. වනේ වන හතුරකුටවත් මේ වගේ විපතක් වෙන්න එපා. ටිපර් එක ගිහින් තියෙන්නෙ පාර මැද වැටුණු මගේ දුවගේ බඩ උඩින්...

මේ විලාපය ඇහෙන්නෙ කළුගමුව මීවෑව කොහොඹලන්ද වත්තෙන්. හරියටම කිව්වොත් නාරම්මල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසෙ දම්පැලැස්ස ගල්කැටිගෙදර ගම්මානයෙන්. මේ අහිංසකාවියගේ අම්මා අයි. එම්. අයිරාංගනීගේ විලාපය මුළු මහත් රට පුරා ගෙනයන්නෙ වෙනම කතාවක්. මුළු රටේම හෘදයංගම සිත් ඇගේ කතාවෙන් සසල වෙලා.

මේ ඛේදවාචකයට පත්වුණේ අලහකෝන් මුදියන්සේලාගේ රුවනි නාලිකා සුභාෂිණී නම් අවුරුදු 29 ක නවමස් ගැබිනියක්. නාරම්මල ප්‍රාදේශීය සභාවේ සංවර්ධන නිලධාරිනියක ලෙස කටයුතු කළ රුවනි එදා සේවය නිම කැර ප්‍රසූත නිවාඩු දමා ඉකුත් 26 වැනිදා පස්වරු 4.00 ට පමණ ඇගේ ස්වාමිපුරුෂයා සමඟ යතුරුපැදියකින් ගල්කැටිගෙදර නිවස බලා ගමන් කරමින් සිටියාය.

කුරුණෑගල නාරම්මල හරහා මීගමුව ප්‍රධාන මාර්ගයේ දම්පැලැස්ස මංසන්දිය රුවනිගේ ජීවිතය කෙළවර කරන ස්ථානයයැයි ඇයට කිසි ලෙසකවත් සිතෙන්නට නැත. ටිපර් රථයකින් තමාත් සැමියාත් යන යතුරුපැදිය පසුපස විදුලි වේගයෙන් ආ මාරයා හිටි හැටියේ මහත් ශබ්ද නඟමින් යතුරුපැදියේ ගැටිණ. ටිපරය හැපුණු වේගයට රුවනිත් ඇගේ සැමියාත් මහ මාර්ගය අසල බිම වැටුණේ අනපේක්ෂිත ආකාරයෙනි. ඒ හැපීමෙන්වත් ටිපරයේ වේගය බාල නොවිණ. බිම වැටුණු අහිංසකාවිය ආධාර ඉල්ලා වටපිට බැලුවත් ඒ ටිපරයේ යෝධ රෝද ඇගේ අහිංසක කිරිකැටියාත් තළාගෙන ඇගේ උදරය උඩින්ම ගමන් කළේය. රෝද ඇඟ උඩින් ගමන් කරන විට ඇගේ කුස ඔත් කිරිකැටියා එළියට වීසිවී ගියේය.

පුරා මාස නවයක් මෙලොව එළිය දකින්නට ආසාවෙන් අම්මාගේ කුස තුළ තටු ගැසු බිලිදා, මේ අහිංසක මෙලෝ හසරක් නොදත් කිරිකැටියාගේ හිස ගැලැවී පැත්තකට වීසිවී ගියේ නිමේෂයකිනි. රුධිර ගංගා මහමඟ තෙත් කරමින් දුටු දුටුවන්ගේ සිත් කම්පාවෙන් පුරවමින් සිටියේය.

අනේ, මෙහෙම මියගිය මගේ රත්තරං දුව විවාහ වෙලා තවම වසර එකහමාරක්වත් නෑ. සඳකැලුම් පුතා සමඟ එයා හරිම ආදරෙන් හිටියෙ. ඇය හරිම අහිංසක දරුවෙක්. කුරුණෑගල ලක්දාස් මහා විද්‍යාලයයෙන් පළමුවන වසරේ සිට උසස් පෙළ දක්වා එයා ඉගෙන ගත්තා. ඊට පස්සෙ බාහිර උපාධිය හදාරලා ගොඩාක් දුක් විඳලා රස්සාවක් හොයාගත්තෙ. මට දරුවො තුන් දෙනෙක් ඉන්නවා. පිරිමි දරුවො දෙන්නයි. ගැහැනු දරුවයි. අනේ! මං කොහොම ඉවසන්න ද? මේ විදියට මට නැතිවුණේ මගේ එකම කෙල්ල...

ඒ අම්මාගේ ශෝචනීය හඬ මේ විදියට මොන මොනවාදෝ කියාගෙන යනවා කිසිම ඉස්පාසුවක් නැතිව. රුවනිගේ පියා අලහකෝන් මුදියන්සේලාගේ සුනිල් වික්‍රමරත්න (අවු. 58) එයත් හිස් අහස් කුස දෙස බලාගෙන හූල්ලනවා. වෙච්ච දේ ගැන හිතාගන්නත් බැරිව.

ඔය කියන දවසෙ මායි බිරිඳයි ගෙදර ඉන්නකොට කවුද කතා කරලා තියෙනවා දුවට හදිසියක්. එයා නාරම්මල රෝහලට ගෙනාවා කියලා. රිය අනතුරක් ගැන හරි විස්තරයක් කියලා නෑ. ඒත් මං රෝහලට ආවාම මං දැනගත්තා මගේ දුව රිය අනතුරින් ඉතාම දුක්බර විදියට මියගිය බව. එයා ඒ වන විට හිටියෙ දරුවා ලැබෙන්න ඔන්න මෙන්න කියලා. නවමස් ගැබිනියක් විදියට. දුව මට කියලා තිබුණේ තාත්තෙ බබා ලැබෙන්න තව දවස් 5 කට වඩා නෑ කියලයි. මගේ රත්තරං දුව මේ විදියට මහ පාරේ මැරෙන්න එයා මොන විදියෙ පාපයක් කරලා තිබුණ ද දන්නෙ නෑ. අනේ එයාගෙ අයියලයි අම්මයි මාත් හරිම ආසාවෙන් හිටියෙ කිරිකැටියාගේ මුහුණ බලාගන්න. අද අපට බබත් නෑ... රත්තරං දුවත් නෑ. මේ වාගේ අපරාදෙ ජීවිත නැති කරන රියැදුරන්ට දැඩි දඬුවම් දෙන්න ඕනෑ. රිය අනතුරු වෙලා මේ විදියට අහිංසකයන් නැතිවුණාට රියැදුරා සතියකින් දෙකකින් කරදරයක් නැතිව ගෙදර යනවා. එතැනින් ඒක ඉවරයි... ඒත් අපේ දුක සදාකාලිකයි. මේ වගේ රිය අනතුරුවලින් අබ්බාගත වන අය කොච්චර ඇද්ද? මේ වගේ නිහීන රියැදුරන්ට දඬුවම් දෙන්න ලංකාවේ නීති පණ මදි. විශේෂයෙන් මේ ටිපර් රථකාරයො. පාරෙ යනකොට අනෙත් මිනිස්සු ගැන හිතන්නෙම නෑ. ඒ නිසා නේද? අද අපට මෙහෙම වුණේ.

ඔහු අපෙන් විමසයි. රුවනිගේ ස්වාමිපුරුෂයා වන ඩබ්ලිව්. එච්. සඳකැළුම් මහතා ද මේ සිද්ධියෙන් මහත් කම්පනයට පත්ව සිටී. ඔහු කෙතරම් කම්පාවට පත්වී ද යත් කතා කරගන්නට පවා බැරි තත්ත්වයේ පසුවෙයි. කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන හෙතෙම කඳුළු කැට පිරි දෑසින් අප දෙස නෙතු යොමා දෙඅත් හිස බැඳ ඉල්ලා සිටින්නේ කුමක් ද? ඒ යුක්තිය විය යුතුය.

මෙහිදී ප්‍රශ්න කීපයක් මිනිස්කම වෙනුවෙන් නැඟිය යුතුය. දරුවකු ලැබීමට ආසන්න මවක මේ විදිහට යතුරුපැදියක නංවාගෙන යන්නට තරම් අපේ සමාජය බොළඳ වූයේ ඇයි? ඔවුනට තිබෙන දුප්පත් වාහනය මෙය බව හැබෑවකි. ඒත් බසයේ ගමන් කිරීම මීට වඩා ආරක්ෂාකාරී නොවේ ද? අපේ තරුණ සැමියන් මේ පිළිබඳ වඩාත් ගැඹුරින් කල්පනා කළ යුතුය.

අනෙක දිනෙන් දින සිද්ධ වන මාරක රිය අනතුරු වැඩි වුණත් මේවා වළකන ක්‍රමවේද තවමත් විධිමත්ව ක්‍රියාත්මක වී නැත. මේ නීති අපේ නොවේ. රෝමානු කාරයන්ගේය. ඉංගිරිසි කාරයන්ගේය. ඒවා වෙනස් කැර අපේ නීති කොටසක් හදා ගැනීමට දැන් කාලය එළැඹ තිබේ.

නොහික්මුණු රියැදුරනි; ඔබේ ‍වේගය ඔබට මෙන් ම පාරේ යන පදිකයනට ද, අහිංසක බයිසිකල් හා මෝටර් බයිසිකල් වැනි සුළු වාහනවලට ද බරපතළ තර්ජනයකි. වේගය පිනවයි. මරුවා කැඳවයි යන්න සැබෑ ඇත්තකි. ඔබේ නොහික්මුණුකමට වන්දි ගෙවන්නේ ජීවත්ව සිටින අප පමණක් නොවේ. මෙලොව එළිය දකින්නට පෙරුම් පුරා සිටින අහිංසක කිරිකැටියනටත් ඒ වන්දිය ගෙවීමට සිදුවී ඇති බව මේ සිද්ධියෙන්වත් තේරුම් ගත යුතුය.

අප නීති හා නියෝගයන් පිළිපැදිය යුතු වන්නේ ඒ ඒ නීති කඩකිරීමෙන් දඬුවමකට හසුවිය හැකි ය යන බිය නිසා නොවේ. ඒ ඒ නීති රැකීමෙන් මේ මුළුමහත් සමාජයට වන යහපත ගැන සිතාගෙනය.

කොහොඹලන්ද මීවැව පොදු සුසාන භූමියේදී රුවනිගේ නිසල දේහය හා නූපන් කිරිකැටියා වළ දැමීමෙන් පසු මේ ප්‍රශ්නය නිමා නොවන බව පමණක් ඔබට කියමි. අහිංසක රුවනි ඇත්තටම ඔබ මරා දැම්මේ කවුරුන් ද?

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »